අදහන්නන් ව ගැලවීමට යෙහෝවඃ වහන්සේ විසින් “මෝඩකම” උපයෝගි කර ගැනීම
“මක්නිසාද දෙවියන්වහන්සේගේ ප්‍රඥාවේ හැටියට ලෝකයා ස්වකීය ප්‍රඥාවෙන් දෙවියන්වහන්සේව ඇඳින නොගත් බැවින්, “දේශනාකිරීමේ [දේශනා කරනු ලබන දෙයෙහි NW] මෝඩකම” කරණකොටගෙන අදහන්නන් ගළවන්ට දෙවියන්වහන්සේ සතුටුවූ සේක.”—1 කොරින්ති 1:21.
1. යෙහෝවඃ වහන්සේ “මෝඩකම” උපයෝගි කර ගනු ඇත්තේ කිනම් අර්ථයකින් ද, එමෙන් ම ලෝකය එහි ප්‍රඥාවෙන් දෙවියන් වහන්සේ හැඳින නොගත් බව අප දන්නේ කෙසේ ද?
මොනවා? යෙහෝවඃ වහන්සේ මෝඩකම උපයෝගි කර ගන්නවා? ඇත්තෙන් ම නැත! එහෙත් උන් වහන්සේට උපයෝගි කරගත හැක්කේ සහ ඇත්තෙන් ම උපයෝගි කර ගන්නේ, මෝඩකම ලෙස ලෝකයට පෙනෙන දෙයයි. උන් වහන්සේ එසේ කරන්නේ, තමන් වහන්සේ ව දන්නා සහ තමන් වහන්සේට ප්‍රේම කරන අය ව ගලවා ගැනීම සඳහා ය. ලෝකයේ ප්‍රඥාව තුළින්, දෙවියන් වහන්සේ දැන හැඳින ගත නොහැකි ය. යේසුස් වහන්සේ යාච්ඤාවෙන් මෙසේ පැවසූ විට මෙය පැහැදිලි කළ සේක: “ධර්මිෂ්ඨ පියාණෙනි, ලෝකයා ඔබ හැඳින්නේ නැත.”—යොහන් 17:25.
2. යෙහෝවඃ වහන්සේගේ මාර්ග හා ලෝකයේ මාර්ග එකිනෙකට සමාන්තර ව දිවෙන්නාක් මෙන් පෙනිය හැක්කේ කෙසේ ද, එහෙත් සත්‍යය කරුණු මොනවා ද?
2 යේසුස් වහන්සේගේ වචනවලින් අඟවන්නේ, යෙහෝවඃ වහන්සේගේ මාර්ග ලෝකයේ මාර්ගවලින් වෙනස් වන බවයි. මතුපිටින් බලන විට, දෙවියන් වහන්සේගේ අරමුණත් මේ ලෝකයේ අරමුණත් එකිනෙකට සමාන්තර ව දිවෙන බව පෙනෙන්නට පුළුවන. මේ ලෝකයේ ඉලක්කයන්ට දෙවියන් වහන්සේගේ ආශීර්වාදය තිබෙනවා යයි පෙනෙන්නට ද පුළුවන. උදාහරණයක් හැටියට, පොළොව මත සිටින මිනිස් වර්ගයාට සාමකාමී, සන්තෝෂවත්, හා සමෘද්ධිමත් ජීවිතයක් ගෙනෙන්නා වූ ධර්මිෂ්ඨ ආණ්ඩුවක් දෙවියන් වහන්සේ විසින් පිහිටුවනු ඇති බව බයිබලය පවසයි. (යෙසායා 9:6, 7; මතෙව් 6:10) මීට සමාන ව, නව ලෝක ක්‍රමය යයි හඳුන්වනු ලබන දෙය මගින් ජනයාට සාමය, සමෘද්ධිය, හා යහපත් ආණ්ඩුවක් ලබා දීමට ඇති තම අරමුණ ලෝකය හඬ නගා පවසයි. එහෙත් දෙවියන් වහන්සේගේ අරමුණු හා ලෝකයේ අරමුණු එක සමාන නොවේ. යෙහෝවඃ වහන්සේගේ අරමුණ වනුයේ විශ්වයේ අතිශ්‍රේෂ්ඨ පරමාධිපත්යාණන් හැටියට තමන් වහන්සේගේ අයිතිය නිදොස් බව ඔප්පු කිරීම ය. උන් වහන්සේ මෙය කරන්නට යන්නේ පොළොවේ ආණ්ඩු සියල්ල විනාශ කරන්නට යන්නා වූ ස්වර්ගික ආණ්ඩුවක් මගින් ය. (දානියෙල් 2:44, 45; එළිදරව් 4:11; 12:10) එබැවින් දෙවියන් වහන්සේට මෙම ලෝකය සමඟ පොදුවේ කිසිවක් නැත. (යොහන් 18:36; 1 යොහන් 2:15-17) බයිබලය දෙයාකාර ප්‍රඥාවක් ගැන, එනම්—“දෙවියන්වහන්සේගේ ප්‍රඥාව” හා “ලෝකයාගේ ප්‍රඥාව”—ගැන කථා කරන්නේ ඒ නිසා ය.—1 කොරින්ති 1:20, 21.
ලෞකික ප්‍රඥාවේ මූලික දෝෂය
3. ලෝකයේ ප්‍රඥාව සිත් ගන්නා බව පෙනෙන්නට තිබුණත්, මිනිසා විසින් පොරොන්දු වූ නව ලෝක ක්‍රමය කිසිකලෙක තෘප්තිය නොගෙනෙන්නා වූ එකක් වනු ඇත්තේ මන්ද?
3 දෙවියන් වහන්සේගේ ප්‍රඥාවෙන් මඟ පෙන්වීම නොලබන්නන්ට, ලෝකයේ ප්‍රඥාව සිත් ගන්නා බව පෙනෙන්ට තිබේ. මනස් ඇද බැඳ තබන්නා වූ, උසස් ලෙස නාද වන ලෝකයේ දර්ශනයන් තිබේ. මිනිස් වර්ගයාගේ බුද්ධිමත් ම මනස් ලෙස බොහෝ දෙනෙකු විසින් සැලකෙන අයගේ තොරතුරු, උසස් අධ්‍යාපන ආයතන දහස් සංඛ්‍යාවකින් බෙදා හැරේ. සියවස් ගණනාවක මිනිස් අත්දැකීම්වලින් රැස් කරන ලද ඥානයෙන් විශාල පුස්තකාල පිරී තිබේ. කෙසේ වෙතත්, මේවා තිබුණ ද, ලෝක පාලකයන් යෝජනා කරන්නා වූ නව ලෝක ක්‍රමය විය හැක්කේ අසම්පූර්ණ, පාපයේ කැලැල් සහිත, නැසී යන මනුෂ්‍යයන්ගේ පාලනයක් පමණි. එබැවින්, එම ක්‍රමය, අතීතයේ දී කරන ලද බරපතළ වැරදි බොහොමයක් නැවත කරන්නා වූ ද, මිනිස් වර්ගයාගේ අවශ්‍යතාවයන් සියල්ල තෘප්තිමත් නොකරන්නා වූ ද, අසම්පූර්ණ එකක් වනු ඇත.—රෝම 3:10-12; 5:12.
4. යෝජිත නව ලෝක ක්‍රමය යටත් වනුයේ කුමකට ද, එමෙන් ම එහි ප්‍රතිඵලය කුමක් වනු ඇත් ද?
4 මිනිසාගේ යෝජිත නව ලෝක ක්‍රමය, මිනිස් දුර්වලත්වයන්ට පමණක් නොව, දුෂ්ට ආත්ම ජීවීන්ගේ—එසේ ය, සාතන් නම් යක්ෂයාගේ හා ඔහුගේ භූතයන්ගේ—බලපෑම්වලට ද යටත් වෙයි. ජනයා “ක්‍රිස්තුස්වහන්සේගේ තේජසේ ශුභාරංචි ආලෝකය” විශ්වාස නොකරන තරමට සාතන් ඔවුන්ගේ මනස් අන්ධ කොට තිබේ. (2 කොරින්ති 4:3, 4; එපීස 6:12) ඒ හේතුවෙන්, ලෝකය එන්ට එන්ට ම වියවුල්කම්වලින් පීඩා විඳී. එය දෙවියන් වහන්සේගේ උපකාරය නොමැති ව එමෙන් ම දිව්‍ය කැමැත්ත ගැන කිසි සැලකිල්ලක් නොමැති ව තමා ව පාලනය කර ගැනීමට දරන විනාශකාරී වෑයමෙහි සටන් කරමින්, හානි පමුණුවමින් බලවත් සන්තාපයෙන් සිටී. (යෙරෙමියා 10:23; යාකොබ් 3:15, 16) මෙසේ, ප්‍රේරිත පාවුල් පැවසූ ආකාරයට: “ලෝකයා [ලෝකය NW] ස්වකීය ප්‍රඥාවෙන් දෙවියන්වහන්සේව ඇඳින” ගත්තේ නැත.—1 කොරින්ති 1:21.
5. මේ ලෝකයේ ප්‍රඥාවේ තිබෙන මූලික දෝෂය කුමක් ද?
5 එසේ නම්, නව ලෝක ක්‍රමයක් සඳහා වූ එහි සැලසුම් ද ඇතුළු ව, මෙම ලෝකයේ ප්‍රඥාවේ මූලික දෝෂය කුමක් ද? එය නම්, කිසිවිටෙකත් සාර්ථක ව නොසලකා හැරිය නොහැකි දෙය, ලෝකය විසින් නොසලකා හැරීමයි—එනම්, යෙහෝවඃ දෙවියන් වහන්සේගේ අතිශ්‍රේෂ්ඨ පරමාධිපත්‍යයයි. එය මුරණ්ඩු ලෙස දිව්‍ය පරමාධිපත්‍යය පිළිගැනීම ප්‍රතික්ෂේප කරයි. හිතාමතා ම තම සැලසුම්වලින් යෙහෝවඃ වහන්සේ ව ඉවත් කරන ලෝකය, රඳා පවතින්නේ තමාගේ ම හැකියාවන් හා යෝජනා මත ය. (දානියෙල් 4:31-34; යොහන් 18:37 සසඳන්න.) “ප්‍රඥාවේ පටන්ගැන්ම නම් ස්වාමීන්වහන්සේ [යෙහෝවඃ වහන්සේ NW] කෙරෙහි භයවීම” යයි බයිබලය පැහැදිලි කරයි. (හිතෝපදේශ 9:10; ගීතාවලිය 111:10) එහෙත්, ප්‍රඥාවේ මෙම මූලික අවශ්‍යතාවය ලෝකය ඉගෙනගෙනවත් නැත. එසේ නම්, දිව්‍ය අනුබලය නොමැති ව, ඊට සාර්ථක විය හැක්කේ කෙසේ ද?—ගීතාවලිය 127:1.
රාජ්‍යය දේශනා කිරීම—මෝඩකමක් ද නැතහොත් ප්‍රායෝගික ද?
6, 7. (අ) දෙවියන් වහන්සේගේ ප්‍රඥාවෙන් මඟ පෙන්වීම ලබන්නන් දේශනා කරනුයේ කුමක් ද, එහෙත් ලෝකය ඔවුන් දෙස බලන්නේ කෙසේ ද? (ආ) ක්‍රිස්තියානි ලෝකයේ පූජකයන් දේශනා කරනුයේ කවරෙකුගේ ප්‍රඥාව අනුව ද, තව ද කුමන ප්‍රතිඵලයක් ඇතුව ද?
6 අනෙක් අතට, දෙවියන් වහන්සේ ව හඳුනන්නෝ දෙවියන් වහන්සේගේ ප්‍රඥාව විදහා පෙන්වන අතර එමගින් මඟ පෙන්වීම ලැබීමට තෝරා ගනිති. යේසුස් වහන්සේ පුරෝකථනය කළ ආකාරයට, ඔවුහු “රාජ්‍යයේ මේ ශුභාරංචිය . . . [ජනාවාස NW] ලොව මුළුල්ලේ” දේශනා කරමින් සිටිති. (මතෙව් 24:14; 28:19, 20) අපගේ පොළොව ආරවුල්, පරිසර දූෂණය, දිළිඳුකම, හා මිනිස් දුක් වේදනාවන්ගෙන් පිරී ඇති මේ අවධියේ, එවන් දේශනා කිරීම ප්‍රායෝගික ද? ලෝකයේ ප්‍රඥාව ඇති අය දකින්නේ, දෙවියන් වහන්සේගේ රාජ්‍යය පිළිබඳ එවන් දේශනා කිරීම ප්‍රායෝගික බවකින් හීන වූ, හුදු මෝඩකමක් ලෙස ය. දේශය නැවකට සමාන කළොත්, ඔවුන් දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ දේශනාකරුවන් ව දකින්නේ එම නැවේ ගමනට මහත් සේ බාධා පමුණුවමින්, පරමාදර්ශී දේශපාලන ආණ්ඩුවක් කරා එහි වර්ධනය බාල කරන්නා වූ නැව් කඳේ ඇලී සිටින යාත්‍රා බෙල්ලන් හැටියට ය. දෙවියන් වහන්සේගේ නව ලෝකය සහ එහි රාජ්‍යය ආණ්ඩුව ක්‍රිස්තුස් වහන්සේගේ මූලික ඉගැන්වීම වුවද, ජනයා විසින් ඒ ගැන දැනගැනීමට අවශ්‍ය කිසිවක් නොපවසා ලෝකයේ ප්‍රඥාවට අනුව දේශනා කරන ක්‍රිස්තියානි ලෝකයේ පූජකයන්ගේ අනුබලය මෙහිලා ඔවුන්ට ලැබේ.—මතෙව් 4:17; මාර්ක් 1:14, 15.
7 ඉතිහාසඥ එච්. ජී. වෙල්ස්, ක්‍රිස්තියානි ලෝකයේ පූජකයන්ගේ මෙම අසමර්ථතාවය වෙත අවධානය යොමු කළේ ය. “යේසුස් වහන්සේ විසින් ස්වර්ග රාජ්‍යය යයි හැඳින්වූ දෙය සම්බන්ධ ඉගැන්වීමට උන් වහන්සේ විසින් දෙන ලද මහත් ප්‍රමුඛත්වය සමඟ, ක්‍රිස්තියානි පල්ලි බොහොමයක ඉගැන්වීම් හා වත්පිළිවෙත් ඒ සම්බන්ධයෙන් දී ඇති සංසන්දනාත්මක නොවැදගත්කම දෙස බලන විට එය පුදුම සහගතයි” ඔහු ලිව්වේ ය. එහෙත්, මේ පරම්පරාවේ අය ජීවනය ලබන්නට නම්, ඔවුන් පළමුකොට පිහිටුවන ලද දෙවියන් වහන්සේගේ රාජ්‍යය ගැන ඇසිය යුතු ය. තව ද එය ඉටු කරලීමට නම්, යමෙක් ඒ පිළිබඳ ශුභාරංචිය දේශනා කළ යුතු ය.—රෝම 10:14, 15.
8. දෙවියන් වහන්සේගේ ශුභාරංචිය දේශනා කිරීම අද දවසේ කිරීමට වඩාත් ම ප්‍රායෝගික දෙය වනුයේ මන්ද, නමුත් දිගු කාලීන ප්‍රයෝජන අත්නොවන්නේ කිනම් ක්‍රියා මාර්ගයකින් ද?
8 එසේ නම්, දෙවියන් වහන්සේගේ ශුභාරංචිය දේශනා කිරීම, අද දවසේ කළ යුතු වඩාත් ම ප්‍රායෝගික දෙයයි. මෙය මෙසේ වනුයේ, ‘අන්තරා සහිත කාලවල් පවතින’ මේ අන්තිම දවස්වල මිනිස් හෘදයන් ප්‍රීතියෙන් පුරවන්නා වූ අව්‍යාජ බලාපොරොත්තුවක් රාජ්‍යය පණිවුඩය මගින් දානය කරන නිසා ය. (2 තිමෝති 3:1-5; රෝම 12:12; තීතස් 2:13) මේ ලෝකයේ ජීවිතය අස්ථිර ව හා කෙටි එකක් ව තිබුණ ද, දෙවියන් වහන්සේගේ නව ලෝකයේ ජීවිතය, මේ පොළොවේ ම ප්‍රීතිය, බහුලත්වය, හා සමාදානය මධ්‍යයේ සදාකාලික එකක් වනු ඇත. (ගීතාවලිය 37:3, 4, 11) යේසුස් ක්‍රිස්තුස් වහන්සේ වදාළාක් මෙන්, “යම් මනුෂ්‍යයෙක් මුළු ලෝකය ලබාගත්තත් තමාගේ ජීවිතය නැතිවුණොත් ඔහුට මොන ලාභයක්ද? නොහොත් මනුෂ්‍යයෙක් තමාගේ ජීවිතය වෙනුවට දෙන්නේ කුමක්ද?” යම් පුද්ගලයෙක් දෙවියන් වහන්සේගේ නව ලෝකයේ ජීවිතය ලැබීමේ අයිතිය නැති කර ගන්නේ නම්, පහවෙමින් තිබෙන මේ ලෝකයෙන් ඇති ප්‍රයෝජනය කුමක් ද? එවන් තැනැත්තෙකුගේ වත්මන් ද්‍රව්‍යමය දේවල් භුක්ති විඳීම නිරර්ථක, හිස්, අස්ථිර එකක් වී තිබේ.—මතෙව් 16:26; දේශනාකාරයා 1:14; මාර්ක් 10:29, 30.
9. (අ) යේසුස් වහන්සේගේ අනුගාමිකයෙක් වීමට ආරාධනා කරනු ලැබූවෙක් තවත් කාලය සඳහා ඉල්ලා සිටි විට, යේසුස් වහන්සේ ඔහුට අවවාද කළේ කුමක් කිරීමට ද? (ආ) යේසුස් වහන්සේගේ පිළිතුර අප හට බලපෑ යුත්තේ කෙසේ ද?
9 යේසුස් වහන්සේගේ අනුගාමිකයෙක් වීමට උන් වහන්සේ විසින් ආරාධනා කරනු ලැබූ එක් මනුෂ්‍යයෙක් පැවසුවේ මෙසේයි: “පළමුකොට ගොස් මාගේ පියාණන් භූමදානකරන්ට මට අවසර දුන මැනව.” යේසුස් වහන්සේ ඔහුට අවවාද කළේ කුමක් කිරීමට ද? තමාගේ මව්පියන් මිය යන තෙක් බලා සිටීමෙන් ඒ මිනිසා වඩාත් වැදගත් වැඩක් කල් දමනු ඇති බව දැනගත් යේසුස් වහන්සේ මෙසේ පිළිතුරු දුන් සේක: “මළාවූ අය තමුන්ගේ මළවුන් තැන්පත්කරත්වා; නුඹ ගොස් දෙවියන්වහන්සේගේ රාජ්‍යය ප්රකාශකරපන්න.” (ලූක් 9:59, 60) ක්‍රිස්තුස් වහන්සේට කීකරු වීමෙන් ප්‍රඥාව පෙන්වන අයට, රාජ්‍යය පණිවුඩය දේශනා කරන්නන්ට ඇති සිය පැවරුම ඉෂ්ට කිරීමෙන් වැළකී සිටින්නට නොහැක. මේ ලෝකයත් එහි පාලකයනුත් විනාශයකට නියම ව සිටින බව දිව්‍ය ප්‍රඥාව ඔවුන් ව සාවධාන කරවයි. (1 කොරින්ති 2:6; 1 යොහන් 2:17) මිනිස් වර්ගයා සඳහා ඇති එක ම සැබෑ බලාපොරොත්තුව, දිව්‍ය මැදිහත්වීම හා පාලකත්වය තුළ පමණක් රැඳී පවතින බව දෙවියන් වහන්සේගේ පරමාධිපත්‍යයට අනුග්‍රහය දක්වන්නෝ දනිති. (සෙකරියා 9:10) මේ අයුරින්, මේ ලෝකයේ ප්‍රඥාව දරන්නන් දෙවියන් වහන්සේගේ රාජ්‍යය කෙරෙහි විශ්වාස නොකළත්, ඔවුන්ට එම ස්වර්ගික ආණ්ඩුව අවශ්‍ය නොවුවත්, දිව්‍ය ප්‍රඥාවෙන් මඟ පෙන්වීම ලබන්නෝ, යෙහෝවඃ වහන්සේගේ පොරොන්දු කළ නව ලෝකයේ සදාකාල ජීවිතය සඳහා ඔවුන් ව සූදානම් කරමින්, සෙසු මිනිසුන් හට සැබෑ ප්‍රයෝජනය අත්කර දෙන්නා වූ දේ කරති.—යොහන් 3:16; 2 පේතෘස් 3:13.
“විනාශ වන්නන්ට මෝඩකමය”
10. (අ) තාර්සස් හි සාවුල් ඇදහිල්ලට හරවනු ලැබූ විට, ඔහු නියැලුණේ කිනම් වැඩයේ ද, එමෙන් ම ඔහු එය සැලකුවේ කෙසේ ද? (ආ) පුරාතන ග්‍රීක ජාතිකයන් නම් දරා සිටියේ කුමකට ද, නමුත් දෙවියන් වහන්සේ ඔවුන්ගේ ප්‍රඥාව සැලකුවේ කෙසේ ද?
10 යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේරිත වන පාවුල් බවට පත්වූ, තාර්සස් හි සාවුල්, ජීවිතය-ගලවන මෙම වැඩයෙහි නියැලුනේ ය. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ සාවුල් ව හැර වූ විට, උන් වහන්සේ මෝඩ ක්‍රියාවක නියැලෙන්නට ඔහුට පැවරුමක් දෙමින් සිටියා යයි සිතීම සාධාරණ ද? පාවුල් එසේ සිතුවේ නැත. (පිලිප්පි 2:16) ඒ කාලයේ ග්‍රීක් ජාතිකයෝ ලෝකයේ වඩාත් ම බුද්ධිමත් අය ලෙස සලකනු ලැබූහ. ඔවුහු තමන්ගේ ශ්‍රේෂ්ඨ දර්ශනවාදීන් හා ප්‍රඥාවන්ත මනුෂ්‍යයන් ගැන පාරට්ටු කර ගත්හ. පාවුල් ග්‍රීක් භාෂාව කථා කළ ද, ඔහු ග්‍රීක දර්ශනය හා ඉගැන්වීම් අනුගමනය කළේ නැත. ඒ මන්ද? මන්දයත් ලෝකයේ එවන් ප්‍රඥාව දෙවියන් වහන්සේ සමඟ මෝඩකමක් වූ නිසා ය.a පාවුල් සෙව්වේ, ශුභාරංචිය ගෙයින් ගෙට දේශනා කිරීමට තමා ව පෙලඹූ දිව්‍ය ප්රඥාවයි. එතෙක් මෙතෙක් ජීවත්වූ ශ්‍රේෂ්ඨතම දේශකයාණන් වන, යේසුස් ක්‍රිස්තුස් වහන්සේ, ආදර්ශය තබා තිබුණ අතර, ඒ ක්‍රියාව ම කරන ලෙස ඔහුට උපදෙස් දී තිබුණි.—ලූක් 4:43; ක්‍රියා 20:20, 21; 26:15-20; 1 කොරින්ති 9:16.
11. සාරය ගත් කල, පාවුල් සිය දේශනා පැවරුම පිළිබඳවත්, ලෝකයේ ප්‍රඥාව පිළිබඳවත් පැවසුවේ කුමක් ද?
11 දේශනා කිරීමට තමන් ලැබූ පැවරුම පිළිබඳ ව පාවුල් මෙසේ පවසයි: “ක්‍රිස්තුස්වහන්සේ මා යැවුවේ . . . ශුභාරංචිය දේශනාකරන්ටය. නුමුත් ක්‍රිස්තුස්වහන්සේගේ කුරුසිය [වධකණුව NW] නිෂ්ඵල නොවන පිණිස, වචනවල ඥානවන්තකමින් (දේශනාකරන්ට) නොවේය. මක්නිසාද කුරුසියේ [වධකණුවේ NW] [යේසුස් වහන්සේගේ මිදීමේ මිල පූජාව] වචනය විනාශ වන්නන්ට මෝඩකමය; නුමුත් ගැළවෙන්නාවූ අපට ඒක දෙවියන්වහන්සේගේ බලයය. ඒ හැටියට: මම ප්‍රඥාවන්තයන්ගේ ප්‍රඥාව නැති කරන්නෙමි, බුද්ධිමත් අයගේ බුද්ධිය පහකරන්නෙමියි ලියා තිබේ. [දර්ශනවාදියා වැනි] ප්‍රඥාවන්තයා කොතැනද? ව්‍යවස්ථාව උගන්වන්නා කොතැනද? මේ ලෝකයේ [දේවල පිළිවෙළේ NW] වාදකරන්නා කොතැනද? ලෝකයාගේ ප්‍රඥාව දෙවියන්වහන්සේ විසින් මෝඩකළා නොවේද? මක්නිසාද දෙවියන්වහන්සේගේ ප්‍රඥාවේ හැටියට ලෝකයා ස්වකීය ප්‍රඥාවෙන් දෙවියන්වහන්නසේව ඇඳින නොගත් බැවින්, දේශනාකිරීමේ [දේශනා කරනු ලබන දෙයෙහි NW] මෝඩකම කරණකොටගෙන අදහන්නන් ගළවන්ට දෙවියන්වහන්සේ සතුටුවූ සේක.”—1 කොරින්ති 1:17-21.
12. යෙහෝවඃ වහන්සේ, ‘දේශනා කරනු ලබන දෙයෙහි මෝඩකමෙන්’ ඉටුකර ගනුයේ කුමක් ද, එමෙන් ම “ඉහළින් පැමිණෙන ප්‍රඥාව” ලැබීමට කැමති වන්නන් ප්‍රතික්‍රියා කරනු ඇත්තේ කෙසේ ද?
12 මොනතරම් පුදුම සහගත යමක් සේ පෙනුණ ද, මෝඩයන් හැටියට ලෝකයා හඳුන්වන්නන් ම යෙහෝවඃ වහන්සේ ස්වකීය දේශනාකරුවන් වශයෙන් යොදා ගන්නා සේක. එසේ ය, මෙම දේශනාකරුවන්ගේ සේවයේ මෝඩකම තුළින්, දෙවියන් වහන්සේ අදහන්නන් ව ගලවා ගන්නා සේක. මෙම ‘මෝඩකමේ’ දේශනාකරුවන්ට තමන් ව ම මහිමවත් කර ගැනීමට නොහැකි වන පරිද්දෙන් ද, වෙනත් මිනිසුන්ට තමන් හට ශුභාරංචිය ලබා දුන් අය ව මහිමවත් කළ නොහැකි පරිද්දෙන් ද යෙහෝවඃ වහන්සේ කාරණා හසුරුවන සේක. මෙය මෙසේ වනුයේ “කොයි මනුෂ්‍යයෙක්වත් දෙවියන්වහන්සේ ඉදිරියෙහි පාරට්ටුකර නොගන්නා පිණිසය.” (1 කොරින්ති 1:28-31; 3:6, 7) දේශනා කරන්නා වැදගත් කාර්ය භාරයක් ඉටු කරන බව සැබෑවක් වන නමුත්, යමෙක් පණිවුඩය විශ්වාස කරන්නේ නම් එම පුද්ගලයාගේ ගැලවීම සඳහා ක්‍රියා කරන්නේ දේශනා කිරීමට ඔහුට ආඥා කර ඇති එම පණිවුඩය ය. දේශනාකරුවා මෝඩ හා පහත් ලෙස පෙනෙන නිසා, පීඩා කරනු ලබන නිසා, එමෙන් ම ගෙයින් ගෙට යන නිසා “ඉහළින් පැමිණෙන ප්‍රඥාව” ලබා ගැනීමට ආශා කරන්නන්, ඔහුගේ පණිවුඩය අවමන් කොට සලකන්නට යන්නේ නැත. ඒ වෙනුවට, මොළොක් ගුණ ඇත්තන් රාජ්‍යය ප්‍රකාශකයෙක් ව යෙහෝවඃ වහන්සේ විසින් බල පවරනු ලැබුවෙක් හා දෙවියන් වහන්සේගේ නාමයෙන් පැමිණෙන්නෙක් ලෙස සලකා ඔහුට ගෞරව කරනු ඇත. ඔවුහු එම දේශනාකරුවා මුඛයේ වචනයෙන් හා මුද්‍රිත පිටුවලින් ගෙනෙන්නා වූ පණිවුඩයට මහත් වැදගත්කමක් ඇතැයි සලකත්.—යාකොබ් 3:17; 1 තෙසලෝනික 2:13.
13. (අ) වධ කණුවේ ඇණ ගසනු ලැබූ ක්‍රිස්තුස් වහන්සේ පිළිබඳ දේශනා කිරීම යුදෙව්වන් හා ග්‍රීක්වරුන් සැලකුවේ කෙසේ ද? (ආ) යේසුස් වහන්සේගේ අනුගාමිකයන් වීමට බොහෝ දෙනෙක් කැඳවනු නොලැබුවේ කිනම් සමූහ අතරින් ද, ඒ මන්ද?
13 දෙවියන් වහන්සේගේ මාර්ග පිළිබඳ සිය සාකච්ඡාව තවදුරටත් කරගෙන යමින් පාවුල් මෙසේ පවසයි: “යුදෙව්වරු ලකුණු ඉල්ලති, ග්රීක්වරු ප්‍රඥාව සොයති. නුමුත් අපි කුරුසියෙහි [වධකණුවෙහි NW] ඇණගසනු ලැබූ ක්‍රිස්තුස්වහන්සේ දේශනාකරමුව. උන්වහන්සේ යුදෙව්වරුන්ට පැකිලීමක්ය, අන්‍යජාතීන්ට මෝඩකමය; නුමුත් කැඳවනු ලැබූ යුදෙව්වරුන්ට සහ ග්‍රීක්වරුන්ටත් දෙවියන්වහන්සේගේ බලය සහ දෙවියන්වහන්සේගේ ප්රඥාවත්ය. මක්නිසාද දෙවියන්වහන්සේගේ මෝඩකම [මෝඩ වූ දෙය NW] මනුෂ්‍යයන්ට වඩා ප්‍රඥාවන්තය; දෙවියන්වහන්සේගේ දුර්වලකම [දුර්වල වූ දෙය NW] මනුෂ්‍යයන්ට වඩා බලවත්ය. මක්නිසාද සහෝදරයෙනි, නුඹලාගේ කැඳවීම, එනම් මාංසය ලෙස ප්‍රඥාවන්ත බොහෝ දෙනෙක්වත් බලවන්ත බොහෝ දෙනෙක්වත් වංශවත් බොහෝ දෙනෙක්වත් කැඳවනු නොලැබූ බව බලාපල්ලා. නුමුත් දෙවියන්වහන්සේ ප්‍රඥාවන්තයන් ලජ්ජාවට පමුණුවන පිණිස ලෝකයේ මෝඩ දේවල් තෝරාගත්සේක; දෙවියන්වහන්සේ ශක්තිමත් දේ ලජ්ජාවට පමුණුවන පිණිස ලෝකයේ දුර්වල දේවල් තෝරා ගත්සේක.”—1 කොරින්ති 1:22-27; යෙසායා 55:8, 9 සසඳන්න.
14. (අ) තමන්ගේ සාක්ෂි පත්‍ර ගැන අසනු ලැබුවොත්, යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් යොමු දක්වනුයේ කුමකට ද? (ආ) ලෝකයේ යම් ප්‍රඥාවක් පෙන්වමින් ග්‍රීක්වරුන් ව සතුටු කිරීම පාවුල් ප්‍රතික්ෂේප කළේ මන්ද?
14 යේසුස් වහන්සේ පොළොව මත සිටිය දී, යුදෙව්වෝ ස්වර්ගයෙන් ලකුණක් ඉල්ලා සිටියහ. (මතෙව් 12:38, 39; 16:1) එහෙත් යේසුස් වහන්සේ කිසිදු ලකුණක් දීම ප්‍රතික්ෂේප කළ සේක. මීට සමාන ව, අද දින යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් ලකුණුවලින් සමන්විත සාක්ෂි පත්‍ර කිසිත් ඉදිරිපත් කරන්නේ නැත. ඒ වෙනුවට, ඔවුහු යෙසායා 61:1, 2; මාර්ක් 13:10; හා එළිදරව් 22:17 වැනි බයිබල් වගන්තිවල වාර්තා කර ඇති පරිදි, ශුභාරංචිය දේශනා කරන්නට තමන්ට ලැබී ඇති බල පැවරුම වෙත අවධානය යොමු කරති. අතීතයේ විසූ ග්‍රීක්වරුන් ප්‍රඥාව, උසස් අධ්‍යාපනය සඳහා බැලුවේ මේ ලෝකයේ දේවල් දෙස ය. පාවුල් මේ ලෝකයේ ප්‍රඥාව සම්බන්ධයෙන් අධ්‍යාපනයක් ලබා සිටිය ද, එය විදහා පෙන්වීමෙන් ග්‍රීක්වරුන් සතුටු කිරීම ඔහු ප්‍රතික්ෂේප කළේ ය. (ක්‍රියා 22:3) සාහිත්‍යමය ග්‍රීක් ශෛල්‍ය යොදවනවා වෙනුවට, ඔහු කථා කළේ සහ ලීවේ, පොදු ජනයාගේ කථා ව්‍යවහාරයෙහි පමණක් පැවති ග්‍රීක් ශෛල්‍යයෙන් ය. පාවුල් කොරින්තිවරුන්ට මෙසේ පැවසී ය: “මා නුඹලා වෙතට ආ කල්හි දෙවියන්වහන්සේගේ රහස නුඹලාට එළිදරව් කරමින් ආවා මිස [මම] කථාවේවත් ප්‍රඥාවේවත් උතුම්කමින් යුක්තව නාවෙමි. . . . මාගේ කථාවත් මාගේ දේශනාකිරීමත් ප්‍රඥාවේ සිත් පොලඹවන්නාවූ වචනවලින් නොව ආත්මයාණන්වහන්සේගේද [ආත්මයේ ද NW] බලයේද ප්‍රකාශකිරීමෙන් විය. එසේ වුණේ නුඹලාගේ ඇදහිල්ල දෙවියන්වහන්සේගේ බලයෙන් මිස මනුෂ්‍යයන්ගේ ප්‍රඥාවෙන් නොපිහිටන පිණිසය.”—1 කොරින්ති 2:1-5.
15. ශුභාරංචියට සමච්චල් කරන්නන්ට පේතෘස් මතක් කරනුයේ කුමක් ගැන ද, එමෙන් ම වත්මන් තත්ත්වය නෝවාගේ දවසට සමාන වනුයේ කෙසේ ද?
15 පැමිණෙන්නා වූ දෙවියන් වහන්සේගේ නව ලෝකය පිළිබඳ ශුභාරංචියටත්, ළඟා වෙමින් තිබෙන්නා වූ මේ ලෝකයේ අවසානයටත් මෙම අන්තිම දවස්වල දී සමච්චල් කරන්නන්ට, නෝවාගේ දවසේ ලෝකය “ජලගැල්මට යටවී විනාශවූ බව” ප්‍රේරිත පේතෘස් විසින් මතක් කර දෙනු ලබයි. (2 පේතෘස් 3:3-7) මහත් ව්‍යසනකාරී වූ එම අවසානයට මුහුණ දෙමින්, නෝවා කළේ කුමක් ද? බොහෝ දෙනෙක් ඔහු ගැන සිතන්නේ නැව සාදන්නෙක් හැටියට පමණකි. එහෙත් දෙවියන් වහන්සේ පුරාතන ලෝකය කෙරෙහි ජල ගැල්ම ගෙනා විට, උන් වහන්සේ “ධර්මිෂ්ඨකමේ දේශනාකාරයෙක්වූ නෝවා තවත් සත්දෙනෙකුත් සමඟ ආරක්ෂාකළ” බව පේතෘස් පවසයි. (2 පේතෘස් 2:5) ජල ගැල්මට පෙර ජීවත්වූ අභක්තිකයන්, තමන්ගේ ලෞකික ප්‍රඥාවෙහි පිහිටා, නිසැක ව ම නෝවා දේශනා කළ දෙය කෙරෙහි සමච්චල් කරමින්, ඔහු ව මෝඩයෙක්, යථාර්තවාදී නොවන්නෙක්, හා ප්‍රායෝගික නොවන යමෙක් හැටියට හඳුන්වන්නට ඇත. යේසුස් වහන්සේ අපගේ පරම්පරාව නෝවාගේ දවසට සමාන කළ බැවින්, අද දිනත් සැබෑ ක්‍රිස්තියානිහු මේ හා සමාන තත්ත්වයකට මුහුණ දෙති. කෙසේ වුවත්, සමච්චල් කරන්නන් සිටිය ද, රාජ්‍යයේ ශුභාරංචිය පිළිබඳ දේශනා කිරීම හුදු කථා බහ කිරීමට වඩා යමකි. නෝවාගේ දවසේ කරන ලද දේශනා කිරීම මෙන්, එය දේශනාකරුවාටත්, ඔහුට සවන් යොමන අයටත් ගැලවීම අදහස් කරයි!—මතෙව් 24:37-39; 1 තිමෝති 4:16.
‘ඥානවන්තයන් වීමට මෝඩයන් බවට පත්වීම’
16. අර්මගෙදොන් හි දී මේ ලෝකයේ ප්‍රඥාවට කුමක් සිදුවනු ඇත් ද, දෙවියන් වහන්සේගේ නව ලෝකය තුළට බේරී ඇතුල් වනු ඇත්තේ කවරහු ද?
16 වැඩි කල් යන්නට මත්තෙන්, අර්මගෙදොන් හි දී, යෙහෝවඃ දෙවියන් වහන්සේ ‘ප්‍රඥාවන්තයන්ගේ ප්‍රඥාවන්’ සියල්ල ම විනාශ කරනු ඇත. තමන්ගේ නව ලෝක ක්‍රමය මිනිස් වර්ගයාට වඩාත් හොඳ තත්ත්වයන් ගෙනෙනු ඇති ආකාරය පුරෝකථනය කළ ‘බුද්ධිමතුන්ගේ බුද්ධිමත්කම්’ සියල්ල ම උන් වහන්සේ බලෙන් ඉවත් කරනු ඇත. සර්වබලධාරී “දෙවියන්වහන්සේගේ මහත් දවසේ යුද්ධය”, රැවටීමේ අටියෙන් බොරු තර්ක මත පදනම් වූ වාදයන් ද, සියලු දර්ශනයන් ද, මේ ලෝකයේ ප්‍රඥාව ද පුළුස්සා දමනු ඇත. (1 කොරින්ති 1:19; එළිදරව් 16:14-16) එම යුද්ධයෙන් බේරී දෙවියන් වහන්සේගේ නව ලෝකයේ ජීවනය ලබන්නට යන එක ම පිරිස වනු ඇත්තේ, මේ ලෝකය විසින් මෝඩකම ලෙස හඳුන්වන දෙයට—එසේ ය, යෙහෝවඃ වහන්සේගේ මහිමාන්විත රාජ්‍යයේ ශුභාරංචියට—කීකරු වන්නන් ය.
17. යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් ‘මෝඩයන්’ බවට පත්වී ඇත්තේ කෙසේ ද, එමෙන් ම ශුභාරංචිය දේශනා කරන දෙවියන් වහන්සේගේ දේශනාකරුවන් අධිෂ්ඨාන කරගෙන සිටින්නේ කුමක් කිරීමට ද?
17 යෙහෝවඃ වහන්සේගේ ආත්මයෙන් මඟ පෙන්වීම ලබන, උන් වහන්සේගේ සාක්ෂිකරුවෝ, ලෝකය විසින් මෝඩකම ලෙස හඳුන්වනු ලබන දෙය දේශනා කිරීමට ලජ්ජා නොවෙති. ලෞකික වශයෙන් ප්‍රඥාවන්ත වන්නට වෑයම් කරනවා වෙනුවට, ඔවුන් ‘මෝඩයන්’ බවට පත් වී තිබේ. කෙසේ ද? තමන් ඥානවන්ත අය වන පිණිස රාජ්‍යයේ ශුභාරංචිය දේශනා කිරීම මගිනි, එය පාවුල් මෙසේ පැවසුවාක් මෙනි: “නුඹලා අතරෙහි යමෙක් මේ ලෝකයෙහි [දේවල පිළිවෙළේ NW] ප්‍රඥාවන්තයෙකැයි සිතන්නේ නම්, ඔහු ප්‍රඥාවන්ත වන පිණිස මෝඩයෙක් වේවා.” (1 කොරින්ති 3:18-20) ශුභාරංචිය දේශනා කරන යෙහෝවඃ වහන්සේගේ දේශනා කරන්නෝ තමන්ගේ පණිවුඩයේ ඇති ජීවිතය ගලවන වටිනාකම දන්නා අතර, අර්මගෙදොන් හි මේ ලෝකයේ හා එහි ප්‍රඥාවේ අවසානය දක්වා අත් නොහැර දිගට ම දේශනා කරනු ඇත්තාහ. යෙහෝවඃ දෙවියන් වහන්සේ ඉක්මනින් ම, ස්වකීය සර්වලෝක පරමාධිපත්‍යය නිදොස් කරමින්, “දේශනාකිරීමේ [දේශනා කරනු ලබන දෙයෙහි NW] මෝඩකම” කෙරෙහි දැන් ඇදහිල්ල තබන්නා වූ ද ඒ මත ක්‍රියා කරන්නා වූ ද සියල්ලන්ට සදාකාල ජීවිතය ගෙනෙනු ඇත. w92 9/15
[පාදසටහන්වල]
a පුරාතන ග්‍රීසියේ විසූ ප්‍රඥාවන්ත මනුෂ්‍යයන්ගේ සියලු දර්ශනවාදී තර්ක හා සමීක්ෂණයන් මැද වුවද, ඔවුන්ගේ ලියවිලිවලින් පෙන්වන්නේ, ඔවුන් බලාපොරොත්තුව සඳහා සැබෑ පදනමක් සොයා ගෙන නොතිබූ බවයි. මහාචාර්යවරුන් වන ජේ. ආර්. එස්. ස්ටෙරට් හා සැම්යල් ඇන්ගස් මෙසේ පවසති: “ජීවිතයේ ශෝචනීය දෑ පිළිබඳ ව, ප්‍රේමයේ පහව යාම පිළිබඳ ව, බලාපොරොත්තුවේ රැවටිලිකාර ස්වභාවය පිළිබඳ ව, හා මරණයේ අනුකම්පා රහිත භාවය පිළිබඳ ව ශෝක ජනක විලාපයන් වැඩි ප්‍රමාණයක් වෙනත් කිසිදු සාහිත්‍යයක දක්නට නොලැබේ”.—ෆන්ක් ඇන්ඩ් වග්නල්ස් න “ස්ටෑන්ඩර්ඩ්” බයිබල් ඩික්ෂනරි, 1936, පිටුව 313.
ග්රීක්වරු ලෞකික ප්‍රඥාවට යොමු වී සිටි අතර, පාවුල්ගේ දේශනා කිරීම බොහෝ විට දුටුවේ මෝඩකමක් ලෙසිනි
ඔබගේ පිළිතුරු මොනවා ද?
◻ කිනම් දෙයාකාර ප්‍රඥාවක් ඇත්තේ ද?
◻ ලෝකයේ ප්‍රඥාවේ ඇති මූලික දෝෂය කුමක් ද?
◻ කරන්නට තිබෙන වඩාත් ම ප්‍රායෝගික දෙය ශුභාරංචිය දේශනා කිරීම වනුයේ මන්ද?
◻ ලෝකයේ සියලු ප්‍රඥාවට ඉක්මනින් ම කුමක් වනු ඇත් ද?
◻ ලෝකය මෝඩකම ලෙස හඳුන්වන දෙය දේශනා කිරීමට යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් ලජ්ජා නොවන්නේ මන්ද?