සමඟියෙන් එකට බැඳී සිටිමු
1 අරුම පුදුම නිර්මාණයක් වන මිනිස් සිරුර ගැන සිතන විට ඔබට මවිතයක් දැනුණු අවස්ථා මතකද? (ගීතා. 139:14) සිරුරේ සෑම අවයවයක්ම එකිනෙක සමඟ මනා සහයෝගයකින් ක්‍රියාත්මක වේ. දේවවචනයෙහි ක්‍රිස්තියානි සභාවද මනා සහයෝගයකින් ක්‍රියාත්මක වන සිරුරකට සමාන කර ඇත. මූලිකයා වන ක්‍රිස්තුස් යටතේ සභාවේ සියලුම සාමාජිකයන් ‘සමඟියෙන් එකට බැඳී සිටින අතර, අවශ්‍ය දේ සපයන සෑම සන්ධියක් ආධාරයෙන් සහයෝගයෙන් ක්‍රියා කිරීමට සලසා ඇත.’ (එපී. 4:16අ, NW) මෙසේ, පුදුම දේවල් සිදු කිරීමට තම එක්සත් සෙනඟව යොදාගැනීමට යෙහෝවාට හැකි වේ.
2 මුල් සියවසේ සභාවේ සාමාජිකයෝ එකිනෙකාගේ ආත්මික සහ ද්‍රව්‍යමය අවශ්‍යතා සපුරාගැනීමේදී “එක්සිත්ව” කටයුතු කළෝය. (ක්‍රියා 2:44-47) යෙහෝවාගේ අනුබලය ඇතුව ඔවුන් දරුණු විරුද්ධවාදීකම්වලට මුහුණ දුන්නෙත්, ඒවා ජයගත්තෙත් එක්සත්කමින්ය. (ක්‍රියා 4:24-31) ඔවුහු ගිය ගිය තැන රාජ්‍යය පිළිබඳ පණිවිඩය ප්‍රකාශ කරමින්, එවකට දේශ ගවේෂණයෙන් සොයාගෙන තිබූ ලෝකය පුරා ශුභාරංචිය පතළ කළෝය. (කොලො. 1:23) නූතන කාලවල ක්‍රිස්තියානි සභාව මේ හා සමාන දේවල් වඩාත් පුළුල් පරිමාණයකින් එක්සත්ව ඉටු කර ඇත. මෙම එක්සත්කමට දායක වන හේතු සාධක මොනවාද?
3 එකට බැඳ තබන දිව්‍ය ඉගැන්වීම්: අපගේ නමස්කාරය හේතුවෙන් අපි ලොව පුරාම එක්සත්ව සිටිමු. මෙවැන්නක් සිදු වන්නේ කෙසේද? ‘නියම වේලාවට ආත්මික කෑම’ සැපයීම සඳහා පිළියෙළ කර ඇති යෙහෝවාගේ දෘශ්‍යමාන මාධ්‍යය අප විසින් පිළිගනු ලබන නිසාය. (මතෙ. 24:45) සභාවෙහි ගුරුවරුන් ලෙස ඔහු දී ඇති “තෑගි වශයෙන් මනුෂ්‍යයන්ද” අපි අගය කරන්නෙමු. ආත්මික පෝෂණයක් අපට දීම සඳහා යෙහෝවා ලබා දෙන සැපයුම් යටහත්ව පිළිගන්නා අතරේදී, දේවවචනය ගැන අපගේ අවබෝධය වැඩි වර්ධනය වේ. එවිට යේසුස්ගේ ගෝලයන් ලෙස ඔහුව අනුකරණය කිරීමට අප සියල්ලන් තුළ පොදු ආශාවක් හටගනී. “ඇදහිල්ලෙන් එක්සත්ව සිටීම කරා” එළඹීමට අවංක උත්සාහයක් දරමින් අප විසින් දේවවචනය නිරතුරුවම අධ්‍යයනය කළ යුතුය. (එපී. 4:8, 11-13, NW) දිනපතා බයිබලය කියවීමෙන් අපගේ ආත්මික එක්සත්කමට ඔබ දායක වෙමින් සිටිනවාද?
4 ක්‍රිස්තියානි ඇසුරෙන් එක්සත් වී: ක්‍රිස්තියානි රැස්වීම්වලදී කිට්ටු ඇසුරකින් අපව එකට බැඳ තබාගන්නේ ප්‍රේමයයි. මෙම රැස්වීම්වලදී අපි “එකිනෙකා ගැන සිතේ තබාගනිමු.” (හෙබ්‍රෙ. 10:24, 25) මින් අදහස් කරන්නේ බාහිර පෙනුම දෙස බැලීමට වඩා වැඩි යමකි. අප සහෝදරයන්ව සැබවින්ම දැනහඳුනා ගත යුතුය. යෙහෝවා ඔවුන්ව අනර්ඝ ලෙස සලකමින් ඔවුන් දෙස බලන ආකාරයටම අපත් ඔවුන් දෙස බැලිය යුතුය. (හග්. 2:7, NW පාද සටහන.) ඔවුන් සිය ඇදහිල්ල ප්‍රකාශ කරන ආකාරයට සවන් දෙන විට, ඔවුන් කෙරෙහි අපට දැනෙන ප්‍රේමය තවත් ගැඹුරු වන අතර, එහි ප්‍රතිඵලයක් ලෙස අපගේ සමස්ත එක්සත්කම ශක්තිමත් වේ. ඔබ නම් දරා සිටින්නේ රැස්වීම්වලට නිතිපතා පැමිණෙන කෙනෙකු ලෙසද?
5 ක්ෂේත්රයෙහි හවුල් වැඩකරුවෝ: සෙසු ඇදහිලිවන්තයන් සමඟ එක්වී ශුභාරංචිය දේශනා කරන විට, දෙවිගේ කැමැත්ත කිරීමෙහි අපව එක්සත් කරවයි. ප්‍රේරිත පාවුල් ‘දෙවිගේ රාජ්‍යය උදෙසා තම හවුල් සේවකයන්ව’ අගය කළේය. (කොලො. 4:11) අද්දැකීම් බෙදාගැනීම සහ දේවසේවයෙහි හවුල් වෙද්දී එකිනෙකාට සහාය වීම අපගේ ක්‍රිස්තියානි පැවරුම ඉටු කිරීමට උපකාරවත් වන අතර, අපගේ එක්සත්කමේ බැමිද ශක්තිමත් කරයි.—කොලො. 3:14.
6 ශුද්ධාත්මයේ එක්සත් කරවන බලපෑම: යෙහෝවාගේ කැමැත්ත කිරීමට අප මුළු වැර යොදා උත්සාහ දරන විට, සිය ආත්මය තුළින් ඔහු අපට ආශීර්වාද කරයි. එවිට, එකිනෙකා අතර ඉස්මතු වන එකඟ නොවීම් සමතයකට පත් කිරීම පහසු වන අතර, සමඟියෙන් එකට ජීවත් වීමටද පුළුවන. (ගීතා. 133:1) තවද “සමාදානයේ බැම්මෙන් ආත්මයේ එකමුතුකම පවත්වාගන්ට” එය පොලඹවයි. (එපී. 4:3) එකිනෙකා සමඟ කටයුතු කිරීමේදී ආත්මයේ ඵල විදහාපෙන්වීමෙන් දෙවිගේ ජනයා අතර පවතින සමඟියට දායක වන්නට අප සැමට පෞද්ගලිකව දායක වන්නට පුළුවන.—ගලා. 5:22, 23.
7 ක්‍රිස්තුස්ගේ නායකත්වය යටතේ එක්සත්ව එකට සේවය කිරීමෙන් “මුළු ශරීරය ප්‍රේමයෙන් වැඩී, වර්ධනය වේ.” (එපී. 4:16ආ, න. අ.) මීට අමතරව, එය ‘සමාදානය දෙන දෙවිව’ ගෞරවයට පත් කරයි.—රෝම 16:20.