අනිත් අයට උපකාර කරන්න ඔබ ‘කැමතිද?’
1 යේසුස් මිනිසුන් කෙරෙහි අව්‍යාජ සැලකිල්ලක් දැක්වුවා. ලාදුරු රෝගියෙක් බැගැපත් ලෙස උපකාරය ඉල්ලු අවස්ථාවේදී යේසුස් ඔහුගේ අත දිගහැර, ඒ මිනිසා මත අත තබා, ‘මම කැමතියි, පවිත්‍ර වෙන්න’ කියා පැවසුවා. (මාක් 1:40-42 අකුරු ඇල කළේ අපය.) අනිත් අයට උපකාර කිරීමේදී යේසුස්ට තිබුණා හා සමාන ආකල්පයක් ඇති කරගන්න අපට හැක්කේ කුමන ආකාරවලින්ද?
2 උනන්දුව දක්වන අය: උනන්දුව දක්වන අයට යෙහෝවාගේ නමස්කාරකයන් බවට පත්වීම සඳහා උපකාර කිරීමේ කාර්යයට සභාවේ සිටින සෑම සාමාජිකයෙක්ම හවුල් වෙනවා. අලුත් අය රැස්වීම්වලට පැමිණෙන විට ඔවුන්ව පිළිගන්න. ඔවුන්ව දැනහඳුනා ගන්න. ඔවුන්ව දිරිමත් කළ හැකි ආකාර සොයා බලන්න. ඔවුන් දක්වන අදහස් පැසසුමට ලක් කරන්න. බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගැනීමට ඔවුන් වෑයම් කරද්දී එය අගය කරන්න. සභාව තුළින් සැබෑ මිතුරන් ඇති කරගැනීමට හැකි බව තේරුම්ගන්න ඔවුන්ට උපකාර කරන්න.
3 සෙසු ඇදහිලින්තයන්: “ඇදහිල්ලේ පවුලට අයිති වූවන්” විවිධාකාරවලින් අපේ උපකාරය ලබන්න වටිනවා. (ගලා. 6:10) හුඟදෙනෙක් අසනීප සමඟ මහත් පොරබැදීමක් කරනවා. ඔවුන්ව බලන්න ගොස් දිරිගැන්වීමේ වදන් කතා කිරීමෙන් ඔබට පුළුවන් ඔවුන්ට අවශ්‍ය කරන ඇසුර ලබා දෙන්න. සමහරවිට ප්‍රායෝගික ආකාරවලින්ද උපකාර කරන්න පුළුවන්. තවත් සමහරු වෙනත් දුෂ්කරතා අද්දකිනවා. ඔවුන්ට සවන් දීම සඳහාත් ඔවුන්ව ගොඩනැංවීම සඳහාත් කාලය වැය කිරීමෙන් ඔබේ සැලකිල්ල පෙන්වන්න. (1 තෙස. 5:14) වැඩිමහල්ලන් ඔවුන්ගේ වගකීම් ඉටු කරද්දී අපේ සහයෝගය ඔවුන්ට අවශ්‍යයි. (හෙබ්‍රෙ. 13:17) කැමැත්තෙන් ඉදිරිපත් වී උපකාර කිරීමේ ස්වභාවයක් විදහාපෙන්වීමෙන් අපට පුළුවන් සෙසු ඇදහිලිවන්තයන්ට “ශක්තිය සපයන ආධාරකයක්” වීමට.—කොලො. 4:11, NW.
4 පවුලේ සාමාජිකයන්: මිනිසුන්ට සැලකිල්ල දැක්වීම සම්බන්ධයෙන් යේසුස් තැබූ ආදර්ශය අපේම පවුල තුළ අනුගමනය කිරීමට අප වෑයම් කළ යුතුයි. ‘යෙහෝවාගේ හික්මවීමෙන්ද අවවාදයෙන්ද තමන්ගේ දරුවන්ව ඇති කරන්න’ දෙමාපියන්ව පොලඹවන්නේ දරුවන් කෙරෙහි තිබෙන ගැඹුරු සැලකිල්ලයි. (එපී. 6:4) පවුලේ පාඩම, සභා රැස්වීම් හා ක්ෂේත්‍ර සේවය සඳහා නියමිත වේලාවට සූදානම්ව සිටීමෙන් තමන්ගේ කොටස කරන්න දරුවන්ට හැකියි. තමන්ගේ දෙමාපියන් වයසට යද්දී මුහුණ දීමට සිදු වන දුෂ්කරතා සමඟ සාර්ථකව කටයුතු කිරීම සඳහා ඔවුන්ට මෘදු ලෙස උපකාර කිරීමෙන් යේසුස් මෙන් දයාව පෙන්වන්න වැඩුණු දරුවන්ට පුළුවන්. මේ ආකාරවලින් හා වෙනත් ආකාරවලින් අපි සෑම කෙනෙකුටම “අපේම පවුල තුළ දේවභක්තිය ක්‍රියාවට නැඟිය” හැකියි.—1 තිමෝ. 5:4, NW.
5 යේසුස් වගේ අපිත් අනිත් අයට උපකාර කරද්දී ගැටලු ප්‍රශ්න අඩු කරගන්නත් අපේ පවුලේ අයට මෙන්ම සභාවට තව තවත් ළං වෙන්නත් අපට හැකියි. වැදගත්ම දෙය වන්නේ එසේ අනිත් අයට උපකාර කිරීමෙන් අපි “දයාබර කරුණාවල පිය වූ” යෙහෝවාව ගෞරවයට පත් කිරීමයි.—2 කොරි. 1:3.