“සියල්ල වර්ධනයවීම පිණිස කරනු ලැබේවා”
1 අපේ සහෝදරයන් සමඟ අපි කටයුතු කරන විට ඔවුන්ගේ වර්ධනය සඳහා දේවල් කළ යුතුයි. මෙයින් අදහස් කරන්නේ ඔවුන්ගේ ආත්මික ශුභසිද්ධිය ගැන සැලකිල්ලක් දැක්වීම අවශ්‍ය බවයි. යම් භාණ්ඩයක් විකිණීම හෝ සේවාවක් සැපයීම හා සම්බන්ධ ලෞකික රැකියාවක අපි නිරත වී සිටිනවා නම්, අපේ සහෝදරයන්ව කිසිම ආකාරයකින් බාධාවට පත් නොකිරීමට අපි වගබලා ගත යුතුයි.—2 කොරි. 6:3; පිලි. 1:9-11.
2 සමහරුන් සෙසු ක්‍රිස්තියානීන්ව තමන්ගේ ගනුදෙනුකරුවන් හැටියට ඉලක්ක කරගෙන ව්‍යාපාර පටන්ගෙන තිබෙනවා. භාණ්ඩ හෝ සේවා සපයන සමහර අලෙවි ආයතන තමන්ගේ නියෝජිතයන්ව උනන්දු කරන්නේ සෑමකෙනෙකුවම තමන්ගේ ගනුදෙනුකරුවන් හැටියට සලකන්න කියායි. තම ආගමේ සාමාජිකයන්වද එසේ සලකන්න කියා ඔවුන් පවසනවා. තමන්ගේ ව්‍යාපාරික කටයුතුවලට සම්බන්ධ වෙන්න කියා සෙසු සහෝදරයන්ව දිරිමත් කිරීමේ අරමුණින් සමහර සහෝදරයන් සාක්ෂිකරුවන්ගේ විශාල හමුවීම් සංවිධානය කර තිබෙනවා. තවත් සමහරු සෙසු සහෝදරයන්ගේ ඉල්ලීමකින් තොරව තමන්ගේ ව්‍යාපාරය පිළිබඳ තොරතුරු ඇතුළත් පත්‍රිකා, විවරණිකා, අන්තර් ජාලය ඔස්සේ හෝ කැසට් පටි මාර්ගයෙන් ඔවුන්ට ලබා දීමට උත්සාහ කර තිබෙනවා. ක්‍රිස්තියානියෙකු තම දිව්‍යාණ්ඩු ක්‍රියාකාරකම්වල හවුල් වන විට, එම අවස්ථා තම ආත්මික සහෝදරයන්ගෙන් වාසි ප්‍රයෝජන ලබාගැනීමේ අරමුණින් යොදාගැනීම සුදුසුද? නැහැ!—1 කොරි. 10:23, 24, 31-33.
3 සහෝදරයන් පරෙස්සම් විය යුතුයි: සහෝදරයෙකුට තවත් සහෝදරයෙකු සමඟ හවුලේ ව්‍යාපාරයක් කළ නොහැකි බව එයින් අදහස් කරන්නේ නැහැ. මෙය පෞද්ගලික කාරණයක්. කොහොමවුණත්, ඇතැම් අය ගිජුකම වඩවාලන ව්‍යාපාරික කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර එම ව්‍යාපාරවල හවුල්කරුවන් වෙන්නත් එයට මුදල් ආයෝජනය කරන්නත් කියා සෙසු ඇදහිලිවන්තයන්ට උනන්දු කරනවා. මෙසේ ආරම්භ කරන ව්‍යාපාරවලින් බොහොමයක් බංකොලොත් වන අතර, ඒවායෙහි හවුල්කරුවන්ට විශාල පාඩු අද්දකින්න සිදු වෙනවා. එවැනි ව්‍යාපාරයකට හවුල් වූ අය, එයට සම්බන්ධ වූයේ ඉක්මනින් ලාභ ලැබීමේ ආශාවෙන් විය හැකියි. එනමුත් එය සංවිධානය කළ තැනැත්තා, සිදු වූ පාඩුව ගැන තමන්ට කිසිම දෝෂාරෝපණයක් කළ නොහැකියි කියා නොසිතිය යුතුයි. ව්‍යාපාරය බංකොලොත් වුණොත්, එය තම සහෝදරයන්ගේ ආත්මික මෙන්ම ශාරීරික ශුභසිද්ධියට බලපාන ආකාරය ගැන, ව්‍යාපාරය ආරම්භ කිරීමට කලින්ම එය සංවිධානය කරන්නා පරෙස්සමින් සිතා බැලිය යුතුයි. සභාවේ වගකීම් දරන අය තමන්ගේ ලෞකික කටයුතුවලට සෙසු සහෝදරයන්ව හවුල් කරවාගැනීම ගැන විශේෂයෙන්ම කල්පනාකාරි විය යුතුයි. මන්ද අනිත් අය වගකීම් දරන අයව ගෞරවයෙන් සලකමින් ඔවුන් කෙරෙහි වැඩි විශ්වාසයක් තබන නිසයි. මෙසේ අනිත් අය තමන් කෙරෙහි තබන විශ්වාසයෙන් අයුතු ප්‍රයෝජන ගැනීම වැරදියි. සහෝදරයෙක් තමාට අනිත් අයගෙන් ලැබෙන ගෞරවය නැති වෙන විදිහට කටයුතු කළොත්, ඔහුගේ සේවා වරප්‍රසාද පවා අහිමි වීමට ඉඩ තිබෙනවා.
4 අපේ ඉලක්කය විය යුත්තේ, ‘සියල්ල වර්ධනය පිණිස කිරීමයි.’ (1 කොරි. 14:26ආ) සභාව ඇතුළත ව්‍යාපාරික කටයුතු කිරීම හා එවැනි දේවල් සඳහා සහෝදරයන්ව පෙලඹවීමෙන් වැළකී සිටිය යුතුයි. එකට එක්රැස්වීම සඳහා අපට දී තිබෙන ශුද්ධ ලියවිලිමය හේතුවලට එවැනි දේවල් කොහොමටවත් සම්බන්ධ නැහැ.—හෙබ්‍රෙ. 10:24, 25.