සැලකිල්ල දක්වන්න කවුරුත් නැද්ද?
“පීඩා ලබන්නන්ගේ කඳුළු” කඩා වැටෙන්න පටන්ගෙන තිබෙනවා. ලොව පුරා සිදු වන ගණන් කළ නොහැකි ‘පීඩාවලට’ ගොදුරුවන්නන් විසිනුයි එසේ කඳුළු සලන්නේ. මේ තත්වයට පත් වී සිටින අයට බොහෝවිට හැඟෙන්නේ තමන්ව ‘සනසන්න කෙනෙක් නැහැ,’ තමන් ගැන කිසි කෙනෙක් ඇත්තෙන්ම සැලකිලිමත් වෙන්නේ නැහැ කියලයි.—දේශනාකාරයා 4:1.
මෙසේ කඳුළු කඩා වැටුණත්, සමහරු තම සෙසු මිනිසුන්ගේ දුක් විඳීම ගානකටවත් ගන්නේ නැහැ. යේසුස් ක්‍රිස්තුස්ගේ උපමාවේ සඳහන් සොරුන්ගෙන් පහර කෑ, පාරේ මියැදෙන්න ඔහේ දමා ගිය මිනිසාව පූජකවරයා හා ලෙවීවරයා නොසලකා හැරියාක් මෙන්, ඔවුන් අනිත් අයගේ වේදනා හමුවේ දෙනෙත් පියාගන්නවා. (ලූක් 10:30-32) ඔවුන්ට හා ඔවුන්ගේ පවුල්වලට යම් දුරකට දේවල් හොඳව තිබෙන තාක් කල්, ඔවුන් අන්‍යයන් ගැන සැලකිලිමත් වන්නේ නැහැ. වෙනත් විදිහකින් කිව්වොත්, ඔවුන් පවසන්නේ, “අපිට මොකද?” කියායි.
මේ ගැන අප පුදුම විය යුතු නැහැ. “අන්තිම දවස්වලදී” බොහෝදෙනෙක්ගේ “ජන්ම ස්නේහය” නැති වී යයි කියා ප්‍රේරිත පාවුල් පුරෝකථනය කළා. (2 තිමෝති 3:1, 3) වර්ධනය වී තිබෙන නොසැලකිලිමත් ආකල්ප සම්බන්ධයෙන් එක් නිරීක්ෂකයෙක් කනගාටුව පළ කළා. “සැලකිලිමත් වීමේ හා බෙදාගැනීමේ පුරාණ අයර්ලන්ත දර්ශනය හා සම්ප්රදාය වෙනුවට තමාටම යමක් වැඩි කරගැනීම හා ගැනීම කියන අලුත් ප්‍රතිපත්තියක් ඇති වී තිබෙනවා” කියා ඔහු පැවසුවා. ලොව පුරා, මිනිසුන් අන්‍යයන්ගේ වේදනාව කොහෙත්ම සැලකිල්ලට ගන්නේ නැතුව තමන්ටම යමක් වැඩි කරගන්නවා; එහෙමත් නැත්නම් ලබාගන්නවා.
සැලකිලිමත් වන යමෙක් අවශ්‍යයි
සැලකිලිමත් වන යමෙක් ස්ථිරයෙන්ම අවශ්‍යයි. උදාහරණයක් වශයෙන්, ජර්මනියේ තනිවම විසූ මිනිසා ගැන සිතා බලන්න. “නත්තලේදී මරණයට පත් වූ ඔහු රූපවාහිනිය ඉදිරියේ ඉඳගෙන සිටියදී සම්බ වුණේ වසර පහකට පසුවයි.” දුක්ඛදායක අද්දැකීම්වලින් ජීවිතය එපා වුණු මෙම “දික්කසාද වූ, තනි වූ දුබල මිනිසාව” සොයාගන්න ලැබුණේ ඔහුගේ කුලිය ගෙවන බැංකු ගිණුම අවසන් වූ නිසායි. කිසිවෙක් ඇත්තෙන්ම ඔහු ගැන සැලකිලිමත් වුණේ නැහැ.
බලවත්, කෑදර රදළයන්ගේ ගොදුරු බවට පත් වන අසරණයන් ගැනත් සිතා බලන්න. එක් ප්‍රදේශයක, “පීඩා හා සාගතය නිසා” 2,00,000ක පමණ ජනතාවක් (ජනගහනයෙන් හතරෙන් එකක්) “මියගියා.” ඔවුන් එසේ මියගියේ ඔවුන්ගේ ඉඩම් කෲර ලෙස තමන්ගෙන් පැහැරගත්තායින් පසුවයි. එසේ නැතහොත්, විශ්වාස කළ නොහැකි තරමේ ම්ලේච්ඡ ක්‍රියාවලට නිරාවරණය වූ දරුවන් ගැන සිතා බලන්න. එක් වාර්තාවක් මෙසේ පැවසුවා: “වෙනත් තරුණයන් විසින් ඇතැම් අවස්ථාවලදී සිදු කළ ඝාතනයන්, පහර දීම්, දූෂණය කිරීම් යනාදි විවිධ දාමරික ක්‍රියා දැක ඇති [රටක] දරුවන්ගේ ප්‍රතිශතය පුදුමය දනවන්නක්.” එවැනි අයුක්තිසහගත දේවලට ගොදුරු වූවෙක් “මා ගැන කවුරුහරි ඇත්තෙන්ම සැලකිලිමත් වෙයිද?” කියා ඉතා කනගාටුවෙන් ඇසිය හැක්කේ මන්දැයි ඔබට තේරුම්ගත හැකියි.
එක්සත් ජාතීන්ගේ වාර්තාවකට අනුව, සංවර්ධනය වෙමින් පවතින ලෝකයෙහි බිලියන 1.3ක ජනතාවකට, දවසකට එ.ජ. ඩොලරයකටත් වඩා අඩු මුදලකින් ජීවිතය ගැටගහගන්න සිදු වී තිබෙනවා. සැලකිලිමත් වන යමෙක් ඇද්දැයි ඔවුන් කල්පනා කරනවා විය යුතුයි. එසේම දි අයිරිෂ් ටයිම්ස්හි වාර්තාවකට අනුව, සරණාගතයන් දහස් ගණනක්, “අකමැත්තෙන් වුවත් සරණාගත කඳවුරක නැත්නම් අකාරුණික ලෙස සලකන රටක ඉන්න සිදුවීමේ හෝ යුද්ධයෙන් හෝ වාර්ගික බෙදීම් නිසා භේදභින්න වූ [නැත්නම්, දෙකඩ වී ගිය] මව්බිමකට නැවතත් යන්න වෑයම් කිරීමේ” කාරණයට මුහුණ දී සිටිනවා. එම වාර්තාවේම මෙම තැතිගන්වනසුලු අද්දැකීම අත්හදා බැලීමට ආරාධනා කරනවා: “ඔබේ ඇස් වහගන්න, තුනට ගණන් කරන්න, මේ දැන් දරුවෙක් මැරුණා. ඒ මියගියේ, අදදින මන්දපෝෂණයෙන් නැත්නම් වළකාගත හැකි රෝගයකින් මියයන දරුවන් 35,000න් එක්කෙනෙක්.” එසේ නම්, බොහෝදෙනෙක් වේදනාවට හා දුකට පත්වීම පුදුමයක්ද!—යෝබ් 7:11 සසඳන්න.
මේ සියල්ල මෙසේ සිදුවීමටද අදහස් කර තිබුණේ? යථාර්ථවාදීව බලන කල, සැලකිලිමත් වන පමණක් නොව නමුත් ජනයාගේ දුක් විඳීම නවතා සියලු වේදනාවන් සුව කිරීමට බලය තිබෙන කෙනෙක් සිටිනවාද?
[2වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
Cover and page 32: Reuters/Nikola Solic/Archive Photos
[3වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
A. Boulat/Sipa Press