ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w99 9/15 4-7 පි.
  • ඇත්තෙන්ම සැලකිලිමත් කෙනෙක්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඇත්තෙන්ම සැලකිලිමත් කෙනෙක්
  • 1999 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • දිළිඳුකම හා පීඩා පවතින්නේ මන්ද?
  • මිනිසුන්ට විසඳිය නොහැකි ගැටලුවක්
  • “ඔබගේ කැමැත්ත . . . පොළොවෙහිද කරනු ලැබේවා”
  • දිළිඳුකමේ නිමාව ළඟා වෙයි
    1998 පිබිදෙව්!
  • අසාධාරණ ලෝකය ඇත්තෙන්ම වෙනස් කළ හැක්කේ කාටද?
    2005 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යේසුස් මෙන් දුප්පතුන් කෙරෙහි සැලකිලිමත් වෙන්න
    2006 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • පීඩිතයන්ට සැනසිල්ල
    1996 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
1999 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w99 9/15 4-7 පි.

ඇත්තෙන්ම සැලකිලිමත් කෙනෙක්

මිනිසුන් දහස් ගණනක් තමන් ඇත්තෙන්ම සැලකිලිමත් බව පෙන්වනවා. අන්‍යයන්ගේ ගැටලු තමන්ට වැඩක් නැතැයි යන අනුකම්පා විරහිත, ආත්මාර්ථකාමී ආකල්පයක් ඔවුන් ඇති කරගන්නේ නැහැ. ඒ වෙනුවට, ඔවුන්ට හැකි සෑම දෙයක්ම ඔවුන් කරනවා. සමහරවිට දුක් විඳීම අඩු කිරීමට ඔවුන්ගේම ජීවිත පවා පරදුවට තබනවා. දුක් වේදනා අඩු කිරීම අතිවිශාල කාර්යයක් වන අතර, ඔවුන්ට පාලනය කළ නොහැකි ප්‍රබල බලවේගයන් නිසා ඔවුන්ට එය තවත් අපහසු කරවනවා.

“සාගින්න තුරන් කිරීමට සෑහෙන ඥානාවබෝධයකින් හා අධිෂ්ඨානයකින් වෑයම්” කළත් ගිජුකම, දේශපාලනික කුමන්ත්‍රණ, යුද්ධ හා ස්වාභාවික විපත් වැනි සාධක මගින් එය නිෂ්ඵල කළ හැකියි කියා එක් ශුභසාධන සේවකයෙක් පවසයි. සාගින්න තුරන් කිරීම, සැලකිලිමත් ජනයා ඉදිරියේ ඇති ගැටලු බොහෝමයකින් එකක් පමණයි. රෝග, දිළිඳුකම, අයුක්තිය හා යුද්ධයෙන් අතිවිශාල ලෙස වේදනා විඳීම වැනි දේවල්වලටත් එරෙහිව ඔවුන් සටන් කරනවා. නමුත් ඔවුන් ජයගනීවිද?

සාගින්න හා වේදනාව අඩු කිරීමට එවැනි “ඥානාවබෝධයකින් හා අධිෂ්ඨානයකින් වෑයම් කරන” අය හරියට යේසුස් ක්‍රිස්තුස්ගේ උපමාවේ විස්තර කළ දයානුකම්පිත සමරිතානුවා වගෙයි කියා සහන සේවා ආයතනයක ප්‍රධාන විධායක පැවසුවා. (ලූක් 10:29-37) නමුත් ඔවුන් මොනවා කළත්, ගොදුරුවන්නන්ගේ ගණන දිගටම වැඩි වෙනවා. එනිසා ඔහු මෙසේ ඇසුවා: “යහපත් සමරිතානුවරයා අවුරුදු ගාණක් තිස්සේ එකම පාර දිගේ දිනපතාම ගමන් කළොත්, එමෙන්ම හැම සතියකම සොරුන්ට ගොදුරු වූ කෙනෙක් පාරේ වැටී සිටිනවා දැක්කොත් ඔහු කුමක් කළ යුතුද?”

‘වෙහෙසට පත් වූ පරිත්‍යාගිකයා නම් මාරාන්තික රෝගය’ වශයෙන් විස්තර කර ඇති දෙයට පහසුවෙන් හසුවීමටත්, කලකිරී නිකම්ම තම උත්සාහය අත්හැරීමටත් මෙය මඟ පෑදිය හැකියි. ඇත්තෙන්ම සැලකිලිමත් වන අය ඔවුන්ගේ උත්සාහය අත් නොහැරීම ප්‍රශංසනීයයි. (ගලාති 6:9, 10) උදාහරණයක් වශයෙන්, බ්‍රිතාන්‍යයේ ජුයිෂ් ටෙලිග්‍රාෆ් පුවත්පතට ලියූ තැනැත්තෙක් යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට ප්‍රශංසා කළා. එසේ කළේ ඔවුන් නාට්සි ජර්මනිය සමයේදී “ඖෂ්විට්ස්හි දුක් දොම්නසින් සිටි යුදෙව්වන් දහස් ගණනකට එයින් මිදීමට උපකාර කළ නිසායි.” “ආහාර හිඟ වූ අවස්ථාවේදී, ඔවුන් අපේ [යුදෙව්] සහෝදර සහෝදරියන් සමඟ පාන් බෙදාගත්තා!” කියා ලේඛකයා පැවසුවා. සාක්ෂිකරුවන් තමන් සතුව තිබූ දෙයින් ඔවුන්ට කළ හැකි සෑම දෙයක්ම කරමින් සිටියා.

ඒත්, යථාර්ථය වන්නේ මොනතරම් ආහාර ප්‍රමාණයක් බෙදාගත්තත් මනුෂ්‍යයන්ගේ දුක් වේදනා සම්පූර්ණයෙන්ම නිම කිරීමට නොහැකි වීමයි. මෙසේ පවසන්නේ දයානුකම්පිත මිනිසුන් කර ඇති දේ අඩු තක්සේරුවක් කිරීමේ අදහසින් නොවෙයි. සුදුසු අන්දමින් දුක් වේදනා අඩු කිරීමට ගන්නා ඕනෑම පියවරක් වටිනවා. එම සාක්ෂිකරුවන් සෙසු සිරකරුවන්ගේ වේදනාව තරමක් දුරට අඩු කළ අතර, අන්තිමේදී නාට්සිවාදය විනාශ වී ගියා. කෙසේවුවත්, එවැනි පීඩා ඇතිවීමට සලස්වන ලෝක පිළිවෙළ තවමත් පවතින අතර, නොසැලකිලිමත්ව කටයුතු කරන විශාල ජන සමූහයක් තවමත් සිටිනවා. ඇත්තෙන්ම, “පොළෝතලයෙන් දිළින්දන්ද මනුෂ්‍යයන් අතරෙන් අසරණයන්ද කා දමන්ට කඩු වැනි දත් සහ පිහියා වැනි හකුදත්ද ඇති පරම්පරාවක් ඇත්තේය.” (හිතෝපදේශ 30:14) මෙසේ වන්නේ මන්දැයි ඔබ කල්පනා කළ හැකියි.

දිළිඳුකම හා පීඩා පවතින්නේ මන්ද?

යේසුස් ක්‍රිස්තුස් වතාවක මෙසේ පැවසුවා: “දිළින්දෝ නුඹලා සමඟ නිතරම සිටිති, නුඹලා කැමති කලක ඔවුන්ට යහපත කරන්ට නුඹලාට පුළුවන.” (මාර්ක් 14:7) දිළිඳුකම හා පීඩා කවදාවත් කෙළවර නොවන බව යේසුස් අදහස් කළාද? සමහර මිනිස්සු විශ්වාස කරනවා වගේ, තමන් කෙතරම් සැලකිලිමත් වෙනවාද කියා පෙන්වීමට දයානුකම්පිත මිනිසුන්ට ප්‍රස්තාවක් දීම සඳහා දුක් වේදනා දෙවිගේ අරමුණේ කොටසක් කළ බව ඔහු විශ්වාස කළාද? නැහැ! යේසුස් එසේ විශ්වාස කළේ නැහැ. මේ දේවල පිළිවෙළ තිබෙන තාක් කල් දිළිඳුකම ජීවිතයේ කොටසක්ව තිබෙයි කියා ඔහු පෙන්නුම් කරමින් සිටියා පමණයි. ඔහුගේ ස්වර්ගික පියාගේ මුල් අරමුණ වුණේ පොළොවේ එවැනි තත්වයන් තිබීම නොවන බවත් යේසුස් දැනගෙන සිටියා.

යෙහෝවා දෙවි පොළොව මැව්වේ දිළිඳුකම, අයුක්තිය හා පීඩා ගහනව තිබෙන තැනක් වීමට නොව, පාරාදීසයක් වීමටයි. ජීවිතය ප්‍රීතියෙන් භුක්ති විඳීමට අවශ්‍ය වන මවිතාකාර දේවල් සපයමින් මනුෂ්‍ය පවුල කෙරෙහි මොනතරම් සැලකිල්ලක් දැක්වුවාද කියා ඔහු පෙන්නුවා. අපේ මුල් දෙමාපියන් වන ආදම් හා ඒව සිටි උයනේ නම වුණත් සලකා බලන්න! “සතුට” යන අර්ථය ඇති එය හැඳින්වූයේ ඒදන් ලෙසයි. (උත්පත්ති 2:8, 9) යම් කාලකණ්ණි, පීඩාකාරි වාතාවරණයක් යටතේ අවම අවශ්‍යතාවලින් දිවි රැකෙන ජීවිතයකට යෙහෝවා මිනිසුන්ව සීමා කළේ නැහැ. යෙහෝවා තම මැවීමේ වැඩය අවසානයේදී, තමා සෑදූ දේ දෙස බලා එය “ඉතා යහපත්ව” තිබුණා කියා ප්‍රකාශ කළා.—උත්පත්ති 1:31.

එසේ නම්, අදදින පොළොව පුරා දිළිඳුකම, පීඩා හා දුක් වේදනා හටගන්වන වෙනත් දේවල් බහුල ලෙස පවතින්නේ මන්ද? වත්මන් දුෂ්ට දේවල පිළිවෙළ පවතින්නේ, අපේ මුල් දෙමාපියන් දෙවිට විරුද්ධව කැරලිගැසීමට තෝරාගත් නිසායි. (උත්පත්ති 3:1-5) කීකරු විය යුතුමයි කියා තමා මවපු අයගෙන් ඉල්ලා සිටීමට දෙවිට අයිතියක් තිබුණාද නැද්ද යන ප්‍රශ්නය එනයින් පැනනැඟුණා. මෙනිසා ආදම්ගෙන් පැවතෙන්නන්ට සීමිත කාලයක් තුළ ස්වාධීන වීමට යෙහෝවා ඉඩහැර තිබෙනවා. මිනිස් පවුලට සිදු වුණ දේ ගැන දෙවි සැලකිලිමත් වුණා. ඔහුට විරුද්ධව කැරලිගැසීමෙන් සිදු වන සියලුම හානි ඉවත් කිරීම සඳහා ඔහු මාර්ගයක් විවෘත කළා. එමෙන්ම වැඩි කල් නොගොස්, යෙහෝවා දිළිඳුකම හා පීඩා පමණක් නොව සියලුම දුක් වේදනාත් කෙළවර කරනු ඇත.—එපීස 1:8-10.

මිනිසුන්ට විසඳිය නොහැකි ගැටලුවක්

මිනිසා මැවූ දා පටන් ගත වූ සියවස් ගණනාව පුරා, මිනිස්වර්ගයා යෙහෝවාගේ ප්‍රමිතිවලින් තව තවත් ඈත් වී තිබෙනවා. (ද්විතීය කථාව 32:4, 5) මිනිස්සු දෙවිගේ නීති හා ප්‍රතිපත්ති දිගටම ප්‍රතික්ෂේප කරමින් එකිනෙකාට විරුද්ධව සටන් කර තිබෙන අතර, ‘මනුෂ්‍යයන්ට අනතුරු වෙන හැටියට මනුෂ්‍යයෙකු විසින් ඔවුන් කෙරෙහි ආණ්ඩු කර තිබෙනවා.’ (දේශනාකාරයා 8:9) දෙවිගේ ස්වාධිපත්‍යයට යටත් වෙනවා වෙනුවට තමන්ගේම ආකාරයට දේවල් කිරීමට කැමති අයගේ ආත්මාර්ථකාමිත්වය නිසා, සැබෑ යුක්තිය රජයන සමාජයක් ගෙන ඒමට හා බොහෝ දුක් වේදනා ඇති කරන සෑම දෙයකින්ම නිදහස් වීමට දරන වෑයම් නිෂ්ඵල වී තිබෙනවා.

තවත් ගැටලුවක් තිබෙනවා. එය, බොහෝදෙනෙක් මෝඩ මිථ්‍යා විශ්වාසයක් වශයෙන් සලකා පසෙකට දැමිය හැකි දෙයකි. දෙවිට විරුද්ධව කැරලිගැසීමට පොලඹවන්නා නරක දේවලට හා ආත්මාර්ථකාමිත්වයට තවමත් ජනයාව පොලඹවනවා. ඔහු සාතන් නමැති යක්ෂයා වන අතර, “මේ ලෝකයේ අධිපතියා” කියා යේසුස් ක්‍රිස්තුස් ඔහුව හැඳින්වුවා. (යොහන් 12:31; 14:30; 2 කොරින්ති 4:4; 1 යොහන් 5:19) ප්‍රේරිත යොහන්ට දුන් එළිදරව් කිරීමේදී, සාතන්ව හැඳින්වූයේ දුක ඇති කරන ප්‍රබලතම තැනැත්තා හැටියටයි; ‘මුළු ලෝකයා රැවටීම’ සම්බන්ධයෙන් ඔහු මූලිකවම වගකිව යුතුයි.—එළිදරව් 12:9-12.

සමහරු සෙසු මිනිසුන් ගැන කෙතරම් සැලකිලිමත් වුවත්, ඔවුන්ට සාතන් නමැති යක්ෂයාව පහ කිරීමට හෝ ඔහුට ගොදුරුවන්නන්ගේ ගණන වැඩි කරන මෙම පිළිවෙළ වෙනස් කිරීමට හෝ කිසි සේත් නොහැකියි. එසේ නම්, මිනිස්වර්ගයාගේ ගැටලු විසඳීමට අවශ්‍ය වන්නේ කුමක්ද? නිකම්ම සැලකිලිමත් වන කෙනෙක් විසඳුම නොවෙයි. සාතන් හා ඔහුගේ අයුක්තිසහගත මුළු පිළිවෙළම ඉවත් කරන්න කැමැත්තක් හා බලයක් තිබෙන කෙනෙක් අවශ්‍ය වී තිබෙනවා.

“ඔබගේ කැමැත්ත . . . පොළොවෙහිද කරනු ලැබේවා”

මේ දුෂ්ට දේවල පිළිවෙළ විනාශ කිරීමට දෙවි පොරොන්දු වෙනවා. එසේ කිරීමට කැමැත්ත හා බලය යන දෙකම ඔහුට තිබෙනවා. (ගීතාවලිය 147:5, 6; යෙසායා 40:25-31) දානියෙල්ගේ අනාවැකිමය පොතේ මෙසේ පවසා තිබෙනවා: ‘ස්වර්ගයේ දෙවි කිසි කලක නැති නොවන්නාවූ රාජ්‍යයක් පිහිටුවන්නේය, ඒකේ ආණ්ඩුව අන් සෙනඟකට අත් අරිනු නොලබන්නේය; ඒක ඒ සියලු රාජ්‍යවල් පොඩි කර නැති කරන්නේය, එයද සදාකාලේටම පවතින්නේය.’ ඔව්, සදාකාලයටම. (දානියෙල් 2:44, 45ආ) “ඔබගේ රාජ්‍යය ඒවා. ඔබගේ කැමැත්ත ස්වර්ගයෙහි මෙන් පොළොවෙහිද කරනු ලැබේවා” කියා යාච්ඤාව තුළින් දෙවිගෙන් ඉල්ලන්නයයි යේසුස් ක්‍රිස්තුස් තම ගෝලයන්ට ඉගැන්නූ විට ඔහුගේ මනසේ තිබුණේ මෙම සදාකාල, යහපත සලසන ස්වර්ගික ආණ්ඩුවයි.—මතෙව් 6:9, 10.

යෙහෝවා මිනිස් පවුල ගැන ඇත්තෙන්ම සැලකිලිමත් වන නිසා ඔහු එවැනි යාච්ඤාවලට පිළිතුරු දෙනවා. ගීතාවලිය 72හි අනාවැකිමය වදන්වලට අනුව, යේසුස්ගේ පාලකත්වයට සහාය දෙන දිළිඳු, හිරිහැරයට ලක් වූ හා පීඩා විඳින අයට සදාකාල සහනය ගෙන දීමට දෙවි තම පුත්, යේසුස් ක්‍රිස්තුස්ට බලය දෙනු ඇත. මෙබැවින් ආනුභාව ලත් ගීතිකාකරු මෙසේ ගැයුවා: ‘ඔහු [දෙවිගේ මෙසියානු රජ] සෙනඟ අතරෙහි වූ දුප්පතුන් විනිශ්චය කරන්නේය. දිළිඳුන්ගේ දරුවන් ගළවන්නේය, පීඩාකරන්නා කැබලි කරන්නේය. . . . ඔහු මොරගසන දිළිඳාද උපකාරකාරයෙක් නැති දුප්පතාද මුදාහරින්නේය. ඔහු දුප්පතුන් සහ දිළිඳුන් කෙරෙහි අනුකම්පා කරන්නේය, දිළිඳුන්ගේ ප්‍රාණයන් ගළවන්නේය. ඔහු ඔවුන්ගේ ප්‍රාණය පීඩාවෙන්ද බලාත්කාරයෙන්ද මුදන්නේය; ඔවුන්ගේ ලේ ඔහුගේ ඇස් හමුවෙහි අනර්ඝ වන්නේය.’—ගීතාවලිය 72:4, 12-14.

අපේ දවස් සම්බන්ධ දර්ශනයකදී ප්‍රේරිත යොහන්, දෙවි විසින් පිහිටෙවූ සම්පූර්ණයෙන්ම අලුත් දේවල පිළිවෙළක්, එනම් ‘අලුත් අහසක් හා අලුත් පොළොවක්’ දැක්කා. දුක් වේදනා විඳින මනුෂ්‍යවර්ගයාට මොනතරම් ආශීර්වාදයක්ද! යෙහෝවා කිරීමට යන දේ පුරෝකථනය කරමින් යොහන් මෙසේ ලිව්වා: ‘තවද: මෙන්න, දෙවිගේ මණ්ඩපය මනුෂ්‍යයන් සමඟය, ඔහු ඔවුන් සමඟ වාසය කරන්නේය, ඔව්හු ඔහුගේ සෙනඟ වන්නෝය, දෙවිම ඔවුන් සමඟ සිට ඔවුන්ගේ දෙවි වන්නේය. ඔහු ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු පිසදමන්නේය; මරණය තවත් නොවන්නේය; වැලපීමත් හැඬීමත් වේදනාවත් තවත් නොවන්නේය. මක්නිසාද පළමු දේවල් පහව ගියේයයි සිංහාසනයෙන් කියන මහත් හඬක් මට ඇසුණේය. සිංහාසනය පිට වැඩහුන් තැනැත්තා කතා කොට: බලව, සියල්ල අලුත් කරමියි කීවේය. තවද ඔහු කතා කොට: ලියන්න. මක්නිසාද මේ වචන විශ්වාසය, සැබෑයයි කීවේය.’—එළිදරව් 21:1-5.

ඔව්, මේ වචන විශ්වාසවන්ත හා සැබෑ බැවින්, අපට ඒවා විශ්වාස කළ හැකියි. වැඩි කල් නොගොස් යෙහෝවා දිළිඳුකම, සාගින්න, පීඩා, අසනීප හා අයුක්තිසහගත හැම දෙයක්ම පොළොවෙන් තුරන් කිරීමට ක්‍රියා කරාවි. මේ සඟරාව බොහෝවිට ශුද්ධ ලියවිලිවලින් හුවා දක්වා ඇති පරිදි, සාක්ෂි බොහෝමයකින් පෙන්නුම් කරන්නේ මේ පොරොන්දු ඉටු වෙන කාලයේ අපි ජීවත් වන බවයි. දෙවි පොරොන්දු වූ අලුත් ලෝකය අත ළඟයි! (2 පේතෘස් 3:13) වැඩි කල් නොගොස්, යෙහෝවා ‘මරණය සදාකාලයටම ගිල දැමීමට’ හා ‘සියලු මුහුණුවලින් කඳුළු පිස දැමීමට’ යනවා.—යෙසායා 25:8.

මෙය සිදු වන තුරු, දැන් පවා අවංකවම සැලකිලිමත් වන අය සිටීම ගැන අපට ප්‍රීති විය හැකියි. ප්‍රීතිවීමට වඩාත් ලොකුම හේතුව වන්නේ යෙහෝවා දෙවිම ඇත්තෙන්ම සැලකිලිමත් කෙනෙක් වීමයි. ඔහු ළඟදීම සියලු පීඩා හා දුක් වේදනා තුරන් කරනු ඇත.

ඔබට යෙහෝවාගේ පොරොන්දු කෙරෙහි සම්පූර්ණ විශ්වාසය තැබිය හැකියි. ඔහුගේ සේවක යෝෂුවා ඇත්තෙන්ම එසේ කළා. කිසි සැකයකින් තොරව, ඔහු දෙවිගේ පුරාණ ජනයාට මෙසේ පැවසුවා: “නුඹලාගේ දෙවිවූ [යෙහෝවා] නුඹලා ගැන කී සියලු යහපත් දේවලින් එක දෙයක්වත් අත්නෑරුණ බව නුඹලාගේ මුළු සිතෙනුත් මුළු ආත්මයෙනුත් නුඹලා දන්නහුය; එයින් එක දෙයක්වත් අත්නෑරී සියල්ලම නුඹලාට පැමුණුණේය.” (යෝෂුවා 23:14) එබැවින්, වත්මන් ලෝක පිළිවෙළ පවතින කාලය තුළදී ඔබට මුහුණ දෙන්න සිදු විය හැකි පරීක්ෂා මගින් ඔබව යටපත් කිරීමට ඉඩ නොහරින්න. යෙහෝවා සැලකිලිමත් වන නිසා, ඔබේ සියලු කාංසාවන් ඔහු මත තබන්න.—1 පේතෘස් 5:7.

[7වන පිටුවේ පින්තූර]

දෙවිගේ පොරොන්දු වූ නව ලෝකයේදී, දිළිඳුකම, පීඩා, අසනීප හා අයුක්තිය පොළොවෙන් තුරන් වනු ඇත

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න