කාලය සහ සදාකාලය අප ඒවා ගැන හරියටම දන්නේ මොනවාද?
“කාලය, මනුෂ්‍ය අද්දැකීමේ තිබෙන වඩාත් ගුප්ත දේවල් අතුරින් එකක් ලෙස පෙනෙන්න තිබෙනවා” කියා එක් විශ්වකෝෂයක සඳහන් වෙනවා. ඇත්තෙන්ම කාලය සරල ආකාරයකින් විස්තර කිරීම ඉතාමත් අසීරු දෙයක්. කාලය “ගෙවී යනවා,” “ඉකුත් වෙනවා” සහ “ඉගිළී යනවා” කියාත්, අප “කාල ප්රවාහයක” ගමන් කරනවා කියාත් අප පවසනවා විය හැකියි. නමුත් අප කතා කරමින් සිටින දේ ගැන අප ඇත්තෙන්ම දන්නේ නැහැ.
කාලය නිර්වචනය කර තිබෙන්නේ “සිද්ධීන් දෙකක් අතර තිබෙන පරතරය” ලෙසයි. ඒත් අපේ අද්දැකීම් අපට කියාපාන්නේ කාලය සිද්ධීන් අභිභවා යන දෙයක් බවයි. යමක් සිදු වුණත් නැතත් එය ගෙවී යන බවක් පෙනෙන්න තිබෙනවා. කාලය ඇත්තටම පවතින්නේ නැති අතර එය හුදෙක් මනඃකල්පිත දෙයක් බව එක් දාර්ශනිකයෙක් පවසනවා. අප සතු අද්දැකීම් කන්දරාව නිකම්ම මනඃකල්පිතයන් මත ගොඩනැඟුණු ඒවාද?
කාලය පිළිබඳ බයිබලයේ දෘෂ්ටිය
බයිබලය කාලය පිළිබඳව කිසිම නිර්වචනයක් සපයන්නේ නැහැ. එයින් අඟවන්නේ, ඇතැම්විට සම්පූර්ණයෙන්ම තේරුම්ගැනීමට නොහැකි වන සේ එය මනුෂ්‍ය හැකියාවෙන් ඔබ්බට තිබෙන යමක් බවයි. එය හරියට අපට තේරුම්ගැනීමට අපහසු තෙරක් නොපෙනෙන අභ්‍යවකාශය වගෙයි. පෙනෙන විදිහට කාලය දෙවිට පමණක් සම්පූර්ණයෙන්ම තේරුම්ගත හැකි දෙයක්. මන්දයත් “සදාකාලයෙන් සදාකාලයටම” සිටින්නේ ඔහු පමණක් වන නිසයි.—ගීතාවලිය 90:2.
බයිබලය කාලය නිර්වචනය කරන්නේ නැති වුණත්, කාලය පවතින දෙයක් ලෙස එය විස්තර කරනවා. “ලකුණු පිණිසද ඍතු පිණිසද දවස් පිණිසද අවුරුදු පිණිසද” ක්‍රියා කරන කාල මාපකයන් ලෙස දෙවි “ආලෝකයෝ” එනම් ඉර, සඳ, තාරකා මැවූ බව මෙම විෂයට අවතීර්ණ වන විට බයිබලය අපට පවසනවා. බයිබලයේ වාර්තා කර ඇති බොහෝ සිදුවීම්වල ඒවා සිදු වූ කාලය මනාව පැහැදිලි කර තිබෙනවා. (උත්පත්ති 1:14; 5:3-32; 7:11, 12; 11:10-32; නික්මයාම 12:40, 41) සදාකල් ජීවත් වීමේ බලාපොරොත්තුව අත් කරගැනීම සඳහා එනම් සදාකාලයටම දෙවිගේ වරප්‍රසාද ලබාගැනීම සඳහා, අප ඥානවන්තව භාවිත කළ යුතු යමක් හැටියටත් බයිබලය කාලය සම්බන්ධයෙන් කතා කරනවා.—එපීස 5:15, 16.
සදාකාලික ජීවිතය—එය තර්කානුකූල දෙයක්ද?
ඇත්තෙන්ම කාලය කියන්නේ කුමක්ද කියා තේරුම්ගැනීමට උත්සාහ කිරීම අධෛර්යය කරවනසුලු දෙයක් වන නිසා, බොහෝ මනුෂ්‍යයන්ට සදාකාලික ජීවිතය නැතහොත් සදාකාලයටම ජීවත් වීම පිළිබඳ අදහස මහත් ප්‍රහේලිකාවක් වී තිබෙනවා. කාලය පිළිබඳ අපේ අද්දැකීම් සැමවිටම උපත, වැඩීම, මහලු වීම සහ මරණයට පත්වීම නමැති චක්‍රය වටා ගෙතී තිබීම මෙයට එක් හේතුවක් විය හැකියි. එහෙයින් අප කාලය ගතවීම සම්බන්ධ කරගෙන තිබෙන්නේ මහලු වීමේ ක්‍රියාවලියත් සමඟයි. ඊට වඩා වෙනස් ආකාරයකින් සිතීම කාලය පිළිබඳ මූලික සංකල්පයට පිටුපෑමක් කියා බොහෝදෙනෙකුට හැඟෙනවා. ‘අනිත් සෑම ජීවමාන සත්වයෙකුටම බලපාන නියමයකින් මනුෂ්‍යයන් පමණක් නිදහස් විය යුත්තේ ඇයි?’ කියා ඔවුන් අසන්න ඉඩ තිබෙනවා.
මෙයාකාරයෙන් තර්ක කිරීමේදී නිතරම නොසලකා හරින දෙයක් වන්නේ, මනුෂ්‍යයන් අනිත් මැවිලිවලට වඩා බොහෝ පැතිවලින් දැනටමත් සෑහෙන වෙනස්ය කියන කාරණයයි. උදාහරණයකට, මනුෂ්‍යයන්ට තිබෙන බුද්ධිමත් හැකියාවන් සතුන්ට නැහැ. කවුරු කෙසේ කියා සිටියත් සතුන්ට, උන්ගේ සහජ හැකියාවෙන් මෙහෙයවනු ලබනවාට වඩා ඔබ්බට නිර්මාණාත්මක වීමට හැකියාවක් නැහැ. මනුෂ්‍යයන්ට තිබෙන කලාත්මක හැකියාව හෝ ප්‍රේමය සහ අගය පෙන්වීමේ හැකියාව සතුන්ට නැහැ. දිවිය අරුත්බර කරන මෙම ගුණාංග සහ හැකියාවන් මනුෂ්‍යයන්ට බොහෝ වැඩියෙන් දී තිබෙනවා නම්, ඔවුන්ට වැඩියෙන් ජීවත් වීමට ප්‍රස්තාවත් දී තිබීම, විය නොහැකි දෙයක්ද?
අනිත් අතට, සිතීමේ හැකියාවක් නැති ගස් සමහර අවස්ථාවලදී අවුරුදු දහස් ගණනක් ජීවත් වෙද්දී, බුද්ධිමත් මනුෂ්‍යයන්ට ජීවත් වීමට හැක්කේ සාමාන්‍ය වශයෙන් අවුරුදු 70 සිට 80 දක්වා වීම පුදුමයක් නොවේද? නිර්මාණාත්මක හෝ කලාත්මක හැකියාවක් නැති කැස්බෑවන්ට අවුරුදු 200කටත් වඩා වැඩියෙන් ජීවත් වීමට හැකියාවක් තිබෙද්දී, මේ හැකියාවන් බහුල ලෙස උරුම කර දී තිබෙන මනුෂ්‍යයන් මෙයින් අඩකටත් වඩා අඩු කාලයක් ජීවත් වීම පරස්පර විරෝධී දෙයක් නොවේද?
මනුෂ්‍යයන්ට කාලය සහ සදාකාලය සම්පූර්ණයෙන්ම තේරුම්ගැනීමට නොහැකි වුණත්, සදාකාල ජීවනය පිළිබඳ පොරොන්දුව බයිබලය මත හොඳින් පදනම් වූ බලාපොරොත්තුවක්. එහි “සදාකාල ජීවනය” නමැති පදය ආසන්න වශයෙන් 40 වාරයක් පමණ සඳහන් වෙනවා. නමුත් දෙවිගේ අරමුණ මනුෂ්‍යයන් සදහටම ජීවත් වීම නම් එය දැනටමත් යථාර්ථයක් වී නැත්තේ ඇයි? මෙම ප්රශ්නය ඊළඟ ලිපියේ සාකච්ඡා කරන්න යනවා.