ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w22 දෙසැම්බර් 2-7 පි.
  • සදහටම ජීවත් වෙන්න අපිට පුළුවන්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සදහටම ජීවත් වෙන්න අපිට පුළුවන්
  • 2022 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • යෙහෝවා සදහටම ජීවත් වෙන දෙවි කෙනෙක්
  • අපිව හැදුවෙත් සදහටම ජීවත් වෙන්න
  • දෙවියන්ගේ අරමුණ වෙනස් වෙලා නැහැ
  • ලස්සන අනාගතයක් ළඟ ළඟම!
  • හැමදාටම ජීවත් වෙන්න නම් අපි මොනවාද කරන්න ඕනේ?
    බයිබලයෙන් උත්තර
  • ඇත්තටම සදාකල් ජීවත් විය හැකිද?
    1999 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • හැමදාම ජීවත් වෙන්න පුළුවන්ද?
    2012 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සැමදා ජීවත් වෙන්න ඔබ කැමතිද?
    2004 මුරටැඹ යහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2022 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
w22 දෙසැම්බර් 2-7 පි.

පාඩම් ලිපිය 49

සදහටම ජීවත් වෙන්න අපිට පුළුවන්

‘සදාකාල ජීවනය ලබාගැනීමට ඔවුන් කළ යුතු දේ මෙයයි.’—යොහ. 17:3.

ගීතිකාව 147 සදාකාල ජීවනය පොරොන්දු වී ඇත

මේ ලිපියෙන්a

1. සදාකාල ජීවනය දෙනවා කියලා දෙවියන් දීලා තියෙන පොරොන්දුව ගැන හිතන එක අපිට බලපාන්නේ කොහොමද?

යෙහෝවා දෙවියන්ට කීකරු අයට “සදාකාල ජීවනය” දෙනවා කියලා ඔහු පොරොන්දු වෙලා තියෙනවා. (රෝම 6:23) ඒ පොරොන්දුව ගැන හිතන තරමට ඔහු ගැන අපේ හිතේ තියෙන ආදරේ තව තවත් ගැඹුරු වෙනවා. අනිත් අතට දෙවියන්ට අපි ගැන කොච්චර ආදරයක් තියෙනවාද කියනවා නම් ඔහුත් එක්ක හැමදාටම ඉන්න ඔහු අපිට අවස්ථාව දීලා තියෙනවා.

2. දෙවියන් දීලා තියෙන පොරොන්දුව ගැන හිතන එක අපිට උදව් වෙන්නේ කොහොමද?

2 සදාකාල ජීවනය ගැන දෙවියන් දීලා තියෙන පොරොන්දුව නිසා දැන් අපි මුහුණ දෙන ඕනම අභියෝගයක් විඳදරාගන්න අපිට පුළුවන්. අපිට හතුරුකම් කරන අය අපිව මරනවා කියලා තර්ජනය කළත් අපි කවදාවත් දෙවියන්ව අත්හරින්නේ නැහැ. ඒ ඇයි? මොකද අපි දන්නවා අපි මැරුණත් යෙහෝවාට පුළුවන් අපිව නැවත නැඟිට්ටවලා අපිට සදාකල් ජීවත් වෙන්න අවස්ථාව දෙන්න. (යොහ. 5:28, 29; 1 කොරි. 15:55-58; හෙබ්‍රෙ. 2:15) ඒත් සදහටම ජීවත් වෙන්න අපිට පුළුවන් කියලා විශ්වාස කරන්න තියෙන හේතු මොනවාද?

යෙහෝවා සදහටම ජීවත් වෙන දෙවි කෙනෙක්

3. සදාකාල ජීවනය දෙන්න දෙවියන්ට පුළුවන් කියලා විශ්වාස කරන්න තියෙන හේතු මොනවාද? (ගීතාවලිය 102:12, 24, 27)

3 යෙහෝවා දෙවියන් තමයි ජීවිතේ උල්පත. (ගීතා. 36:9) ඔහු හැමදාටම ඉන්න දෙවි කෙනෙක්. ඒ නිසා අපිට සදාකාල ජීවනය දෙන්න ඔහුට පුළුවන්. ඔහු හැමදාම ඉඳලා තියෙනවා. ඉස්සරහටත් ඔහු හැමදාම ඉන්නවා. මොකද ගීතාවලිය 90:2 දෙවියන් ගැන කියන්නේ ඔහුට ‘පටන්ගැන්මක්වත් අවසානයක්වත් නැහැ’ කියලා. 102වෙනි ගීතිකාවෙත් තියෙන්නේ ඒ වගේම අදහසක්. (ගීතාවලිය 102:12, 24, 27 කියවන්න.) ඒ විතරක් නෙවෙයි හබක්කුක් පවා මේ වගේ දෙයක් ලියලා තියෙනවා. “යෙහෝවා දෙවියනි, ඔබ පුරාතනයේ පටන් සිටියේය. මාගේ දෙවියනි, මාගේ ශුද්ධ තැනැත්තාණෙනි, ඔබ කිසිදා මිය යන්නේ නැත.”—හබ. 1:12.

4. යෙහෝවා දෙවියන් සදහටම ඉන්නවා කියන අදහස තේරුම්ගන්න අමාරු නම් ඒ ගැන අපි වධ වෙන්න ඕනෙ නැත්තේ ඇයි? පැහැදිලි කරන්න.

4 යෙහෝවා ‘සදාකාලයෙන් සදාකාලයටම ඉන්න දෙවි කෙනෙක්’ කියලා තේරුම්ගන්න ඔයාටත් අමාරුද? (යෙසා. 40:28) ඔයාට විතරක් නෙවෙයි ඒක තව හුඟදෙනෙක්ට තියෙන ප්‍රශ්නයක්. ඒක නිසයි සැරයක් එලිහු කිව්වේ “ඔහුගේ පැවැත්ම අවුරුදුවලින් ගණන් කළ නොහැකිය” කියලා. (යෝබ් 36:26) හැබැයි අපිට දෙයක් තේරුණේ නැති නිසාම ඒක ඇත්ත නෙවෙයි කියලා හිතන එක සාධාරණ නැහැ. උදාහරණෙකට ආලෝකය ගැන හිතන්න. ආලෝකය ගැන, ආලෝක කිරණ ගමන් කරන විදිහ ගැන අපි සීයට සීයක්ම දන්නේ නැහැ. හැබැයි එහෙමයි කියලා ආලෝකය කියලා දෙයක් නැහැ කියලා අපි හිතනවාද? නැහැ නේද? යෙහෝවා දෙවියන්ට පටන්ගැන්මක්වත් අවසානයක්වත් නැහැ කියන එක අපිටත් කවදාවත් සීයට සීයක් තේරුම්ගන්න බැරි වෙයි. හැබැයි අපිට තේරුම්ගන්න පුළුවන් දේ, බැරි දේ අනුව කවදාවත් අපේ නිර්මාතෘ ගැන තියෙන සත්‍යය වෙනස් වෙන්නේ නැහැ. (රෝම 11:33-36) බයිබලේ කියනවා ‘දෙවි තම මහත් බලයෙන් පොළොව සාදා අහස්තලය ඇතිරිල්ලක් මෙන් දිගහැරියේය’ කියලා. (යෙරෙ. 51:15; ක්‍රියා 17:24) ඒකෙන් පැහැදිලියි මේ හැම දෙයක්ම හදන්න කලින් ඒ කියන්නේ, ආලෝක වස්තූන් හදන්න කලින් පවා ඔහු හිටියා කියලා. ඒත් අපිට සදහටම ජීවත් වෙන්න පුළුවන් කියලා විශ්වාස කරන්න තියෙන තව හේතු මොනවාද?

අපිව හැදුවෙත් සදහටම ජීවත් වෙන්න

5. මුල් මිනිස් යුවළට තිබ්බේ මොන වටිනා අවස්ථාවද?

5 යෙහෝවා දෙවියන් මේ පොළොවේ හදපු හැම දෙයක්ම පවතින්න යම් කාලයක් නියම කළා. හැබැයි මිනිස්සුන්ට ඇරෙන්න. මොකද ඔහු එයාලට මැරෙන්නේ නැතුව හැමදාටම මේ පොළොවේ ජීවත් වෙන්න අවස්ථාවක් දුන්නා. හැබැයි දෙවියන් ආදම්ට මෙහෙම කිව්වා. “‘හොඳ හා නරක හඳුනාගැනීම’ යන නමින් හැඳින්වෙන ගසෙන් ඔබ නොකෑ යුතුය. මන්ද එයින් කෑ දවසේදීම ඔබ අනිවාර්යයෙන්ම මැරෙන්නෙහිය.” (උත්. 2:17) ආදම් සහ ඒව යෙහෝවාට කීකරු වුණා නම් එයාලා කවදාවත් මැරෙන්නේ නැහැ. කීකරු වෙලා දිගටම හිටියා නම් ඔහු යම් අවස්ථාවකදී “ජීවන වෘක්ෂයේ පල කන්න” එයාලට ඉඩ දෙයි කියලා අපිට හිතන්න පුළුවන්. ඒක හරියට ‘සදහටම ජීවත් වෙන්න’b යෙහෝවාගෙන් එයාලට ලැබෙන සහතිකයක් වගේ.—උත්. 3:22.

“සදාකාලය”

බයිබලේ “සදාකාලය” කියද්දී හෙබ්‍රෙව් භාෂාවෙන් ගොඩක් වෙලාවට පාවිච්චි කරලා තියෙන්නේ “ඕහ්ලාම්” කියන වචනය. ඒකට අදහස් දෙකක් තියෙනවා. (1) පටන්ගැන්මක්වත් අවසානයක්වත් නිශ්චිතව සඳහන් කරන්නේ නැතුව දිගු කාලයක් පුරා පැවතිලා තියෙන නැත්නම් අනාගතේ දිගු කාලයක් පුරා පවතින දෙයක්. (යොෂු. 24:2; ගීතා. 24:7, 9) (2) කවදාවත් කෙළවර වෙන්නේ නැති දෙයක්. යෙහෝවා දෙවියන් ගැන කතා කරද්දී පාවිච්චි කරලා තියෙන්නේ දෙවෙනියට කියපු අදහස. (ගීතා. 102:12, 24, 27) ‘නව ලොව පරිවර්තනයේ’ “ඕහ්ලාම්” කියන වචනය තැනට ගැළපෙන විදිහට “සදහටම,” “කිසිදා කෙළවරක් නැති” සහ “බොහෝ කාලයක් පුරා” වගේ විදිවලින් පරිවර්තනය කරලා තියෙනවා.

6-7. (අ) මිනිස්සුන්ව හදලා තියෙන්නේ මැරෙන්න නෙවෙයි කියලා තේරෙන්නේ මොන දෙයින්ද? (ආ) ඔයා ආසාවෙන් බලාගෙන ඉන්නේ මොනවා කරන්නද? (පින්තූර බලන්න.)

6 පර්යේෂකයන් කියනවා ජීවිත කාලේදී අපි මොළේට දාගන්න තොරතුරු ප්‍රමාණයට වඩා තව හුඟක් තොරතුරු ගබඩා කරන්න මොළේට හැකියාව තියෙනවා කියලා. 2010දී එක සඟරාවක කියලා තිබුණා මොළේ ගබඩා කරන්න පුළුවන් දත්ත ප්‍රමාණය ගිගාබයිට් මිලියන 2.5ක් විතර කියලා. (Scientific American Mind) තව විදිහකින් කියනවා නම් පැය මිලියන 3ක් (අවුරුදු 300කට වැඩිය) දිග රූපවාහිනී වැඩසටහනක් ගබඩා කරන්න ඒකේ ඉඩ තියෙනවා. හැබැයි මොළේ ගබඩා කරන්න පුළුවන් ඒ ගාණ විතරමයි කියලා කියන්න බැහැ. එහෙම කියනවා නම් අපි මොළේට තියෙන හැකියාව අඩුතක්සේරු කරනවා. කොහොම වුණත් එයාලා කියන විදිහට මොළේ ගබඩා කරන්න පුළුවන් තොරතුරු ප්‍රමාණය එච්චරයි කියලා හිතමු. එහෙම හිතුවත් දෙවියන් මොළේ හදලා තියෙන්නේ අවුරුදු 70කට, 80කට විතරක් නෙවෙයි කියලා ඒකෙන් පැහැදිලියි.—ගීතා. 90:10.

7 දෙවියන් අපිව හැදුවේ හැමදාටම ජීවත් වෙන්න ආසාව ඇතුව. බයිබලේ කියනවා “ඔහු සදාකල් ජීවත් වීමේ ආශාව මිනිසාගේ සිතෙහි තබා ඇත” කියලා. (දේශ. 3:11) ඒකයි අපි මරණය සතුරෙක් විදිහට දකින්නේ. (1 කොරි. 15:26) ටිකකට හිතන්න අපි ආදරේ කරන කෙනෙක් මැරුණොත් එයා කොච්චර වයසට ගිහිල්ලා මැරුණත් අපේ හිතට දරාගන්න බැරි වේදනාවක් දැනෙනවා නේද? (යොහ. 11:32, 33) අනිත් අතට ඔයාට බරපතළ අසනීපයක් හැදුණොත් ඔයා බෙහෙත් ගන්නේ නැතුව ඉන්නවාද? නැහැ, අපි බලන්නේ ඉක්මනටම බෙහෙත් අරන් ලෙඩේ හොඳ කරගන්න. මොකද අපිට ඕනෙ තව දවසක් හරි ජීවත් වෙන්න. දැන් ටිකක් මෙහෙම හිතන්න. අපිට සදාකාල ජීවනය දෙන්න යෙහෝවාට වුවමනාවක් තිබුණේ නැත්නම් ඔහු ඒ ආසාව අපේ හිතට දායිද? හැමදාටම ඉන්න පුළුවන් විදිහට අපිව හදයිද? එහෙම හිතන්න බැහැ නේද? දැන් අපි බලමු යෙහෝවා දෙවියන් ඔහුගේ මුල් අරමුණ ඉටු කරන්න දැනටමත් කරලා තියෙන්නේ සහ කරමින් ඉන්නේ මොනවාද කියලා. සදාකල් ජීවත් වෙන්න අපිට පුළුවන් කියන විශ්වාසය තව වැඩි කරගන්න ඒ තොරතුරුත් උදව් වෙයි.

පින්තූරවල අදහස: මහලු සහෝදරයෙක් බෙහෙත් ගොඩක් තියෙන මේසයක් ළඟ වාඩි වෙලා ඉන්නවා. එයා බයිබලේ කියවන ගමන් පාරාදීසේදී කරන්න පුළුවන් දේවල් ගැන හිතනවා. 1. එයා රුවල් බෝට්ටු පදිනවා. 2. එයා චිත්‍රයක් අඳිනවා. 3. එයා දිය ඇල්ලක් බලන්න යනවා.

සදාකල් ජීවත් වෙද්දී කරන්න පුළුවන් දේවල් ගැන හිතන එක දැන් අපිව සතුටින් තියනවා (7 ඡේදය බලන්න)c

දෙවියන්ගේ අරමුණ වෙනස් වෙලා නැහැ

8. යෙසායා 55:11 අපිට දෙන සහතිකය මොකක්ද?

8 ආදම් සහ ඒව දෙවියන්ට අකීකරු වෙලා එයාලගේ දරුවන්ට මරණය උරුම කරලා දුන්නත් යෙහෝවා දෙවියන්ගේ මුල් අරමුණ වෙනස් වුණේ නැහැ. (යෙසායා 55:11 කියවන්න.) කීකරු වෙන හැමෝටම සදාකාල ජීවනය දෙන්න ඔහු තාමත් ආසාවෙන් බලන් ඉන්නවා. යෙහෝවා කියලා තියෙන දේවල්වලින් සහ ඔහුගේ අරමුණ ඉටු කරන්න ඔහු මේ වෙද්දීත් කරලා තියෙන දේවල්වලින් ඒක අපිට පැහැදිලියි.

9. යෙහෝවා දෙවියන් පොරොන්දු වෙලා තියෙන්නේ මොකක්ද? (දානියෙල් 12:2, 13)

9 යෙහෝවා දෙවියන් මැරුණ අයව නැවත නැඟිට්ටවලා එයාලට සදාකාල ජීවනය ලබාගන්න අවස්ථාව දෙනවා කියලා පොරොන්දු වෙලා තියෙනවා. (ක්‍රියා 24:15; තීත. 1:1, 2) මැරුණ අයව නැවත නැඟිට්ටවන්න ඔහු ගොඩක් ආසාවෙන් ඉන්නවා කියලා යෝබ් පවා විශ්වාස කළා. (යෝබ් 14:14, 15) නැවත නැඟිටීම සහ සදාකාල ජීවනය ගැන දානියෙලුත් දැනන් හිටියා. (ගීතා. 37:29; දානියෙල් 12:2, 13 කියවන්න.) යේසුස්ගේ කාලේ හිටපු යුදෙව්වන් පවා පිළිගත්තා දෙවියන්ට විශ්වාසවන්තව ඉන්න අයට “සදාකාල ජීවනය” ලැබෙනවා කියලා. (ලූක් 10:25; 18:18) යේසුත් ඒ ගැන කීප සැරයක්ම කතා කරලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි යෙහෝවා දෙවියන් යේසුස්ව නැවත නැඟිට්ටවලත් පෙන්නුවා.—මතෙ. 19:29; 22:31, 32; ලූක් 18:30; යොහ. 11:25.

සාරෆෙත් නුවරේ හිටපු වැන්දඹුවගේ පුතාව එලියා නැවත නැඟිට්ටුවාම ඒ වැන්දඹුව ගොඩක් සතුටු වෙනවා.

එලිෂා කරපු නැවත නැඟිටුවීම ගැන හිතන එකෙන් ඔයාට ලැබෙන සහතිකය මොකක්ද? (10 ඡේදය බලන්න)

10. අතීතයේ වුණ නැවත නැඟිටීම්වලින් ඔප්පු වෙන්නේ මොකක්ද? (පින්තූරය බලන්න.)

10 යෙහෝවා තමයි ජීවය නිර්මාණය කරපු කෙනා. ඒ නිසා කෙනෙක්ට ආයෙත් ජීවිතය දෙන එක ඔහුට මහ ලොකු දෙයක් නෙවෙයි. සැරයක් ඔහු එලියාට බලය දුන්නා සාරෆෙත් නුවරේ හිටපු වැන්දඹුවගේ පුතාව නැවත නැඟිට්ටවන්න. (1 රාජා. 17:21-23) ඒ වගේම දෙවිගේ බලයෙන් එලිෂා ෂුනෙම් ජාතික ස්ත්‍රියගේ පුතාට ආයෙත් ජීවිතය දුන්නා. (2 රාජා. 4:18-20, 34-37) ඒ නැවත නැඟිටුවීම් දෙකෙන් සහ බයිබලේ සඳහන් වෙන අනිත් නැවත නැඟිටුවීම්වලින් ඔප්පු වෙන්නේ මොකක්ද? කෙනෙක්ට ආයෙත් ජීවිතේ දෙන්න යෙහෝවා දෙවියන්ට බලය තියෙනවා. ඔහු ඒ බලය යේසුස්ටත් දීලා තියෙනවා. යේසුස් මේ පොළොවේ ඉද්දී කරපු දේවල්වලින් ඒක හොඳටම පැහැදිලියි. (යොහ. 11:23-25, 43, 44) දේවරාජ්‍යයේ රජ විදිහට යේසුස්ට දැන් “ස්වර්ගයෙහිත් පොළොවෙහිත් සියලුම බලය” දීලා තියෙනවා. (මතෙ. 28:18) ඒ නිසා “සොහොන් ගෙවල්වල සිටින සියලුදෙනාවම” නැවත නැඟිට්ටවලා එයාලට සදාකාල ජීවනය ලබාගන්න අවස්ථාව දෙන්න ඔහුට පුළුවන්.—යොහ. 5:25-29.

11. යේසුස්ගේ ජීවිත පූජාව නිසා අපිට සදාකාල ජීවනය ලැබෙන්නේ කොහොමද?

11 යෙහෝවා දෙවියන් ඇයි ඔහු වැඩියෙන්ම ආදරේ කරපු පුතාට දුක් විඳලා මැරෙන්න ඉඩ දුන්නේ? ඒකට හේතුව යේසුස් මෙහෙම පැහැදිලි කළා. “දෙවි මුළු ලෝකයටම කොතරම් ප්‍රේම කළාද කියනවා නම් ඔහු තමාගේ එකම පුත්‍රයාව ඔවුන් වෙනුවෙන් ලබා දුන්නා. එසේ කළේ ඔහු කෙරෙහි විශ්වාසය තබන සෑම කෙනෙක්ම විනාශ නොවී ඔවුන්ට සදහටම ජීවත් වීමේ ප්‍රස්තාව ලබාගැනීම සඳහායි.” (යොහ. 3:16) අපේ පව් වෙනුවෙන් යේසුස්ගේ ජීවිතය වන්දියක් විදිහට දීලා දෙවියන් සදාකාල ජීවනයට යන දොරටුව විවෘත කළා. (මතෙ. 20:28) යේසුස්ගේ ජීවිත පුජාව කියන්නේ දෙවියන්ගේ අරමුණ ඉටු වෙන්න අත්‍යවශ්‍යම දෙයක්. බලන්න ඒ ගැන පාවුල් කියන දේ. “මරණය පැමිණියේ එක් මිනිසෙකු මාර්ගයෙනි. එලෙසම එක් මිනිසෙකු මාර්ගයෙන් මිය ගිය අයගේ නැවත නැඟිටීමද සිදු වේ. ඇත්තෙන්ම ආදම් නිසා සියලුදෙනාම මිය යති. නමුත් ක්‍රිස්තුස් නිසා සියලුදෙනාටම ජීවනය ලැබේ.”—1 කොරි. 15:21, 22.

12. දෙවියන්ගේ අරමුණ ඉටු කරන්න දේවරාජ්‍යයෙන් කරන වැඩ කොටස මොකක්ද?

12 යේසුස් ඔහුගේ අනුගාමිකයන්ට මෙහෙම යාච්ඤා කරන්න ඉගැන්නුවා. ‘ඔබගේ රාජ්‍යය පැමිණේවා! ඔබගේ කැමැත්ත පොළොවෙහිද සිදු වේවා!’ (මතෙ. 6:9, 10) මිනිස්සු මේ පොළොවේ හැමදාටම ජීවත් වෙනවා දකින්නයි දෙවියන් කැමති. ඒ අරමුණ ඉටු කරන්න ඔහු දේවරාජ්‍යයේ රජ විදිහට යේසුස්ව පත් කරලා තියෙනවා. ඒ වගේම යේසුස්ට සහාය වෙන්න 1,44,000දෙනෙක්වත් පොළොවෙන් තෝරගෙන තියෙනවා. ඒ හැමෝම එකතු වෙලා තමයි දෙවියන්ගේ අරමුණ ඉටු කරන්නේ.—එළි. 5:9, 10.

13. දෙවියන් දැන් කරන්නේ මොනවාද? ඒකට හවුල් වෙන්න ඔයාට කරන්න පුළුවන් මොනවාද?

13 යෙහෝවා දෙවියන් අද “මහත් සමූහයක්” එක් රැස් කරනවා. දේවරාජ්‍යයේ යටත් වැසියන් වෙන්න එයාලව පුහුණු කරනවා. (එළි. 7:9, 10; යාකො. 2:8) අද මුළු ලෝකෙම යුද්ධ, අපරාධ නිසා බෙදිලා තිබුණත් ඒ සෙනඟ ජාති, කුලමල, පෞද්ගලික තරහා මරහා හැම දෙයක්ම පැත්තකට දාලා එක පවුලක් වගේ එක්සත්ව ඉන්නවා. අනාවැකිවල කියන විදිහට එයාලා කඩුවලින් නගුල් හදාගන්නවා. (මීකා 4:3) යුද්ධවලට හවුල් වෙලා අනිත් අයගේ ජීවිත විනාශ කරනවා වෙනුවට එයාලා දෙවියන් ගැනත් ඔහුගේ අරමුණු ගැනත් මිනිස්සුන්ට කියලා දීලා “සැබෑ ජීවිතය” තදින් අල්ලගන්න එයාලට උදව් කරනවා. (1 තිමෝ. 6:19) එයාලා දේවරාජ්‍යයට සහයෝගය දෙන නිසා පවුලේ අය කොච්චර විරුද්ධ වුණත් කොච්චර ආර්ථික ප්‍රශ්නවලට මුහුණ දෙන්න වුණත් එයාලට ලොකු විශ්වාසයක් තියෙනවා යෙහෝවා එයාලව බලාගනියි කියලා. (මතෙ. 6:25, 30-33; ලූක් 18:29, 30) ඒ හැම දේකින්ම පැහැදිලියි දේවරාජ්‍යය කියන්නේ බොරුවක් නෙවෙයි කියලා. ඒ වගේම මෙච්චර කල් ඉටු වුණා වගේ දෙවියන්ගේ අරමුණේ ඉතුරු ටිකත් අනිවාර්යයෙන්ම ඉටු වෙනවා කියලා අපිට කිසිම සැකයක් නැහැ.

ලස්සන අනාගතයක් ළඟ ළඟම!

14-15. මරණය සදහටම නැති වෙනවා කියන පොරොන්දුව අන්තිමේදී ඉටු වෙන්නේ කොහොමද?

14 යේසුස් තමයි දැන් දේවරාජ්‍යයේ රජ. ඒ නිසා ඔහුට පුළුවන් යෙහෝවා දෙවියන් දීලා තියෙන හැම පොරොන්දුවක්ම ඉටු කරන්න. (2 කොරි. 1:20) 1914 ඉඳන් යේසුස් ඔහුගේ සතුරන්ට විරුද්ධව පියවර ගන්න පටන්ගත්තා. (ගීතා. 110:1, 2) යේසුස් ඔහුගේ හවුල් පාලකයන් එක්ක එකතු වෙලා දුෂ්ටකම අතුගාලා දාලා සම්පූර්ණ ජයක් අත් කරගන්න දවස වැඩි ඈතක නැහැ.—එළි. 6:2.

15 දහස් අවුරුදු පාලන කාලේදී යේසුස් මැරුණ අයට ආයෙත් ජීවිතේ දීලා කීකරු මිනිස්සුන්ව ටිකෙන් ටික පරිපූර්ණත්වයට ගේනවා. අවසන් පරීක්ෂණයෙන් පස්සේ යෙහෝවා දෙවියන් සමහරුන්ව ධර්මිෂ්ඨයි කියලා තීරණය කරනවා. එයාලා මේ ‘පොළොව උරුම කරගෙන එහි සදාකල් ජීවත් වෙනවා.’ (ගීතා. 37:10, 11, 29) ඊටපස්සේ “අන්තිම සතුරා වන මරණයට” ආයේ කවදාවත් හිස ඔසවන්න බැහැ.—1 කොරි. 15:26.

16. අපි යෙහෝවාට සේවය කරන්න පෙලඹෙන්න ඕන ප්‍රධාන හේතුව මොකක්ද?

16 අපි බලපු විදිහට සදාකාල ජීවිතය කියන්නේ නිකම්ම නිකම් සුරංගනා කතාවක් නෙවෙයි. ඒක විශ්වාස කරන්න බයිබලේ හොඳ පදනමක් තියෙනවා. මේ අවසාන කාලේ මොන දේට මුහුණ දෙන්න වුණත් දිගටම දෙවියන්ට විශ්වාසවන්තව ඉන්න ඒ බලාපොරොත්තුව අපිට උදව් වෙනවා. හැබැයි අපි යෙහෝවාට සේවේ කරන්න ඕනෙ සදාකාල ජීවනය ලබාගන්න ඕනෙ නිසාම නෙවෙයි. යෙහෝවා දෙවියන්ට, යේසුස්ට තියෙන ආදරේ නිසා. (2 කොරි. 5:14, 15) ඒ ආදරේ තමයි එයාලව ආදර්ශයට ගන්න, අනිත් අයට අපේ බලාපොරොත්තුව ගැන කියන්න අපිව පොලඹවන්නේ. (රෝම 10:13-15) ඒ විදිහට අපි අපි ගැනම විතරක් හිතන්නේ නැතුව අනිත් අය වෙනුවෙන් දේවල් කරනවා නම් අපිට සදාකාල ජීවිතේ දෙන්න යෙහෝවා ආසාවෙන් ඉන්නවා. (හෙබ්‍රෙ. 13:16) මොකද ඒ වගේ අයව යාළුවන් කරගන්න තමයි ඔහු කැමති.

17. අපි එක් එක් කෙනාට තියෙන වගකීම මොකක්ද? (මතෙව් 7:13, 14)

17 සදාකාල ජීවනය ලබාගන්න ඔයාටත් පුළුවන්ද? ඔව්. මොකද යෙහෝවා දෙවියන් ඒ අවස්ථාව හැමෝටම දීලා තියෙනවා. හැබැයි සදාකාල ජීවනයට යන පාරට ඇතුල් වෙලා ඒකේ දිගටම යනවාද නැද්ද කියන තීරණය තියෙන්නේ ඔයාගේ අතේ. (මතෙව් 7:13, 14 කියවන්න.) ඒත් ඒ ජීවිතේ කොයි වගේද? ඒ ගැන අපි ඊළඟ ලිපියෙන් බලනවා.

ඔයාගේ උත්තරේ මොකක්ද?

  • මිනිස්සුන්ව හදලා තියෙන්නේ සදාකල් ජීවත් වෙන්න කියලා කියන්න තියෙන සාක්ෂි මොනවාද?

  • මිනිස්සුන්ට සදාකාල ජීවනය දෙන්න දෙවියන්ට තිබ්බ අරමුණ වෙනස් වෙලා නැහැ කියලා අපි දන්නේ කොහොමද?

  • සදාකාල ජීවනය ලබන්න අපි වැඩියෙන්ම ආස වෙන්න ඕනෙ මොන හේතුව නිසාද?

ගීතිකාව 141 ජීවිතය සැබෑම ත්‍යාගයක්

a සදහටම ජීවත් වෙන්න ඔයාත් ආසාවෙන් බලන් ඉන්නවාද? ඔව්, යෙහෝවා දෙවියන් පොරොන්දු වෙලා තියෙනවා මැරෙන්නේ නැතුව හැමදාටම ජීවත් වෙන්න පුළුවන් කාලයක් ගේනවා කියලා. ඒත් ඔහු ඒ පොරොන්දුව ඉටු කරයි කියලා විශ්වාස කරන්න තියෙන හේතු මොනවාද? ඒ ගැන අපි මේ ලිපියෙන් බලනවා.

b “සදාකාලය” කියන කොටුව බලන්න.

c පින්තූරේ අදහස: සදාකල් ජීවත් වෙද්දී කරන්න පුළුවන් දේවල් ගැන මහලු සහෝදරයෙක් හිතනවා.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න