පවුල සඳහා සැබෑ උපකාරය
“අමෙරිකාවේ පවුල් අර්බුදයක් පවතිනවායයි පැවසීම සාධාරණයි. දික්කසාද අනුපාත, විවාහයෙන් පිටත ගැබ්ගැනීම්වල සංඛ්‍යාලේඛන [මෙන්ම] බාලයන්ට සහ විවාහ කලත්‍රයන්ට අනිසි ලෙස සැලකීම ආදිය බලද්දී, මීට වඩා වෙනස් නිගමනයකට පැමිණීම අසීරුයි.”
එක්සත් ජනපදයේ රූපවාහිනී විචාරකයෙක් වන ටොම් බ්‍රෝකා විසින් පැවසූ මෙම වචන බොහෝ රටවල්වලට අදාළ කරන්න පුළුවන්. මෙම අර්බුදයෙන් අදහස් කරන්නේ කුමක්ද?
බොහෝ ආකාරවලින් ගත් කල සමාජයේ මූලික අත්තිවාරම් ගල වන්නේ පවුලයි. පවුල අනතුරේ නම්, සමාජයත් අනතුරේ. තවදුරටත්, දරුවන්ට චිත්තවේගීය මෙන්ම මූල්‍යමය උපකාරය ලබා දෙන උල්පත වන්නේ පවුලයි. ඔවුන් තම ජීවිතයේ පළමුවන සහ වඩාත් වැදගත්ම පාඩම ඉගෙනගන්නේ එහිදීයි. ඉතින් පවුල අනතුරේ නම්, දරුවන් ඉගෙනගන්නේ මොනවාද? ඔවුන්ට ආරක්ෂාව ලැබෙන්නේ කොහෙන්ද? ඔවුන් මුහුකුරා යන විට මොන වගේ වැඩිහිටියන් බවට පත් වෙයිද?
මෙම අර්බුදකාරි කාලයේ පවුල සඳහා කිසියම් උපකාරයක් තිබෙනවාද? ඇත්තෙන්ම ඔව්. පවුල දෙවි විසින්ම පිහිටෙවූ ආයතනයක්. (උත්පත්ති 1:27, 28) ඒ වගේම ඔහු තම වචනය වන බයිබලය තුළින් අත්‍යවශ්‍ය පවුල් මඟ පෙන්වීම දී තිබෙනවා. (කොලොස්සි 3:18-21) සමස්ත සමාජයම අපට වෙනස් කරන්න බැරි බව ඇත්තයි, නමුත් අපට බයිබල් උපදෙස් අපේ පවුල සඳහා අදාළ කරගන්න පුළුවන්. මෙය කළ සමහර පුද්ගලයන් ගැන සහ ඔවුන් අත් කරගත් හොඳ ප්‍රතිඵල ගැන අප ඔබට කියන්න කැමතියි.
දික්කසාදය වැළැක්වීම
රටවල් කිහිපයක විවාහයන් සියල්ලෙන් සියයට 50ක් පමණ දික්කසාදයෙන් අවසන් වෙනවා. එය මානව සබඳතාවල මහා පරිමාණයේ බිඳ වැටීමක්! මෙම හේතුව නිසා අවසානයේදී තනි මාපියන් බවට පත් වන බොහෝදෙනෙක්, තම දරුවන්ව ලොකු මහත් කිරීමේදී කරන්නේ ඇත්තෙන්ම ශූර ක්‍රියාවක් බව සත්‍යයයි. එසේ වුණත්, යුවළකට ගැටලු නිරාකරණය කරගෙන එකට සිටීමට පුළුවන් වන විට, එය වඩාත් හොඳ බවට නිසැකවම බහුතරයක් එකඟ වෙනවා.
සොලමන් දූපත්වල සිටි යුවළකගේ විවාහය දෙකඩ වන තත්වයකට පත් වෙමින් තිබුණා. මුලාදෑනියෙකුගේ පුතෙක් වූ ස්වාමිපුරුෂයා සැහැසිකව සිටි අතර, ඔහුට නරක පුරුදු බොහොමයක් තිබුණා. ඔහුගේ භාර්යාවට, ජීවිතය කොතරම් කටුක වුණාද කියනවා නම්, ඇය සියදිවි හානි කරගැනීමට පවා උත්සාහ කළා. පසුව පුරුෂයා යෙහෝවාගේ සාක්ෂිකරුවන් සමඟ බයිබලය පාඩම් කිරීමට කැමති වුණා. දෙවිව සතුටු කරන්න අවශ්‍ය ඕනෑම කෙනෙකු වැරැද්ද කුමක්ද කියා දැනගැනීම පමණක්ම නොවෙයි, නමුත් ‘නපුරට වෛර කරන්නත්’ අවශ්‍ය වන බව ඔහු ඉගෙනගත්තා. (ගීතාවලිය 97:10) එයට, බොරුකීම, සොරකම් කිරීම, සැහැසිකකම සහ බේබදුකම ආදියත් ඇතුළත් වෙනවා. මෙය ඔහු හෘදයට ගත් අතර, ඉක්මනින්ම තම නරක පුරුදු සහ සැහැසික ලෙස කෝපවීමේ නැඹුරුවාව ජයගත්තා. ඔහුගේ බිරිඳ ඇති වූ වෙනස සම්බන්ධයෙන් මවිතයට පත් වූ අතර, දෙවිගේ වචනයේ බලපෑම හේතුවෙන් ඔවුන්ගේ විවාහය වඩාත් හොඳ අතට හැරුණා.
දකුණු අප්‍රිකාවේ සාක්ෂිකාරියකට, තම ස්වාමි දුව සහ ස්වාමි දුවගේ පුරුෂයා දික්කසාද වීමට සිතමින් සිටින බව දැනගන්න ලැබුණා. සාක්ෂිකාරිය ඇගේ ස්වාමි දුවට විවාහය පිළිබඳව දෙවිගේ දෘෂ්ටිය ගැන කතා කර, පවුලේ සන්තෝෂයට රහස යන නමින් යුත් පොතක් පෙන්නුවා. යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශිත මෙම පොත, යුවළයන්ට ගැටලු විසඳාගන්න බයිබලය උපකාර කරන්නේ කෙසේද යන්නට විශේෂ අවධානයක් දෙමින් විවාහයට අදාළ වන බයිබල් ප්‍රතිපත්ති අවධාරණය කරනවා. ස්වාමි දුවත් ඇගේ පුරුෂයාත් පොත කියවූ අතර, එහි ඉදිරිපත් කර තිබෙන බයිබල් උපදෙස් අවංකවම අදාළ කරගන්න උත්සාහ කළා. එහි ප්‍රතිඵලයක් වශයෙන් දික්කසාද නොවීමට ඔවුන් තීරණය කළා. මේ අයුරින් බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගැනීමෙන් තවත් විවාහයක් සුරැකුණා.
වෙනස් ආගම්
වෙනස් ආගම් තිබෙන කලත්‍රයන් සිටින විවාහයක් ගැන කුමක් කියන්න පුළුවන්ද? බයිබලය, ක්‍රිස්තියානීන්ට ‘ස්වාමීන් තුළ පමණක්’ විවාහ වන ලෙස යථාර්ථවාදීව උපදෙස් දෙනවා. (1 කොරින්ති 7:39) ඒත් සමහර අවස්ථාවලදී, විවාහ කලත්‍රයෙක් ආගම වෙනස් කරන්න ඉඩ තිබෙනවා. එවිට, විවාහයට නැවතීමේ ලකුණ තියන්න අවශ්‍යද? කොහෙත්ම නැහැ.
මෑතකදී යෙහෝවාගේ සාක්ෂිකාරියක් බවට පත් වූ බොට්ස්වානාවල සිටින ස්ත්‍රියකගෙන්, ඇගේ අලුත් ඇදහිල්ල තමාව වෙනස් කර තිබෙන්නේ කෙසේද කියා විමසුවා. ඇය වෙනුවෙන් පිළිතුරු දීමට ඈ ඇගේ පුරුෂයාගෙන් ඉල්ලූ අතර, ඔහු පැවසුවේ මෙයයි: “මගේ බිරිඳ යෙහෝවාගේ සාක්ෂිකාරියක් වෙච්ච දා ඉඳන්, එයාගේ යහපත් වෙනස්කම් හුඟාක් මම දැකලා තියෙනවා. ඉස්සර තිබුණේ නැති සන්සුන්කමකුත් බුද්ධියකුත් එකතු වෙච්ච ධෛර්යයක් දැන් එයාට තියෙනවා. මට තාමත් දුම්පානයෙන් ගොඩ ඒගන්න බැරි වෙලා තිබුණත්, නවත්වන්න ඕන කරන ධෛර්යයත් පෙලඹීමත් එයාට තිබුණා. මගේ බිරිඳ, මගේ දරුවන්ටත්, මටත්, ඒ වගේම අනිත් අයටත් දැන් හුඟාක් ආදරය, සැලකිල්ල පෙන්නනවා. ඉස්සරට වඩා එයා දැන් හුඟක් ඉවසිලිවන්තයි, විශේෂයෙන්ම අපේ දරුවන් එක්ක. අනිත් අයට ඒ අයගේ ජීවිත යහපත් අතට හරවගන්න උදව් කරමින් එයා සේවයේ යෙදෙනවා මම දකිනවා. ඒ වගේම මගෙත් යහපත් වෙනස්කම් මම දැකලා තියෙනවා. මේක වෙලා තියෙන්නේ සම්පූර්ණයෙන්ම එයාගේ ආදර්ශය හින්දා කියලා මම විශ්වාස කරනවා.” බයිබල් ප්‍රතිපත්ති මගින් මෙම විවාහයට මොනතරම් කදිම බලපෑමක් ඇති කර තියෙනවාද! සාක්ෂිකරුවන් නොවන බොහෝදෙනෙක් ඔවුන්ගේ සාක්ෂිකාර කලත්‍රයන් සම්බන්ධයෙන් මීට සමාන අදහස් දක්වා තිබෙනවා.
පියා තම වගකීම් පැහැරහරින විට
පිය දරු සබඳතාව, ශක්තිමත් පවුල් ගොඩනැඟීම සඳහා යතුරක් වෙනවා. ප්‍රේරිත පාවුල් මෙසේ උපදෙස් දෙනවා: “පියවරුනි, නුඹලාගේ දරුවන්ට කෝප නූපදවා, යෙහෝවාගේ හික්මවීමෙන්ද මානසික ශික්ෂණයෙන්ද ඔවුන් ඇති කරන්න.” (එපීස 6:4, NW) එහෙයින් ද විල්සන් කෝටලි නම් සඟරාවේ පළ වූ ලිපියක, තම කාර්යභාරය ඉටු නොකරන පියවරුන් සමාජීය ගැටලු බොහොමයකට වගකිව යුතු බව පැවසීම පුදුමයට කරුණක් නොවෙයි. එම ලිපියේ මෙසේ සඳහන් වෙනවා: “එක්දහස් නවසිය හැටේ සිට 1990 දක්වා කාලය තුළ තම පියවරුන්ගෙන් වෙන්ව සිටින දරුවන්ගේ ප්‍රතිශතය, දෙගුණයකටත් වඩා වැඩි වී තිබෙනවා. . . අමෙරිකානු සමාජයට හානි පමුණුවන වඩාත්ම අවුල්සහගත ගැටලු බොහොමයක් පිටුපස තිබෙන ප්‍රධානම හේතුකාරකයක් වන්නේ පිතෘත්වයේ පිරිහීමයි.”
තම පියවරුන්ගෙන් මඟ පෙන්වීමක් නොලබන දරුවන්, අනිවාර්යයෙන්ම අසාර්ථක වන බව මෙයින් අදහස් වෙනවාද? ඇත්තෙන්ම නැහැ. අතීතයේ විසූ ගීතිකාකරු මෙසේ පැවසුවා: ‘මගේ පියාද මවුද මා අත්හැරියෝය, නුමුත් යෙහෝවා මා පිළිගන්නේය.’ (ගීතාවලිය 27:10) තායිලන්තයේ සිටින නව හැවිරිදි පිරිමි ළමයෙක් මෙය සත්‍යයක් බව වටහාගත්තා. ඔහු බිළිඳෙක්ව සිටියදී ඔහුගේ මව අහිමි වූ අතර, ඔහුව තියාගන්න අකමැති වූ දරුවාගේ පියා ආච්චි ළඟ ඔහුව දාලා ගියා. තමාව කිසි කෙනෙකුට අවශ්‍ය නැතැයි සහ තමාට ආදරය කරන්නේ නැතැයි යන හැඟීම් නිසා පිරිමි ළමයා කැරලිකාර වූ අතර, චණ්ඩියෙක් ලෙස නම් දරා සිටියා. ඔහු තම ආච්චිට පවා තර්ජනය කළා. ඔහු නිතරම ප්‍රාදේශීය රාජ්‍ය ශාලාව අසල සිටගෙන සිටින බව සැලකිල්ලට ගත් යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ පූර්ණකාලීන එවැන්ජලිස්තවරියන් දෙදෙනෙක්, එක් දවසක ඔහුව තමන්ගේ නිවසට ආරාධනා කළා.
ඔවුන් ඔහුට දෙවි ගැන පැවසුවා. එනම් ඔහු හරියට පියෙක් වගේ තම දරුවන්ට ප්‍රේම කරන බව පැවසුවා. ඒ වගේම දෙවි ඇදහිලිවන්ත මනුෂ්‍යයන්ට පොරොන්දු වී තිබෙන භූමික පාරාදීසය ගැනත් ඔවුන් පැවසුවා. (එළිදරව් 21:3, 4) මේ සියල්ල ළමයාගේ සිත්ගත් අතර, තවදුරටත් ඉගෙනගන්න ඔහු දිනපතා පැමිණියා. ඇත්තටම දෙවිව තම පියා කරගැනීමට අවශ්‍ය නම්, චණ්ඩිකම් කිරීම නැවැත්විය යුතු බව සාක්ෂිකරුවන් ඔහුට පැවසුවා. මෙසේ සඳහන් වන රෝමවරුන්ට ලියූ පාවුල්ගේ වචනවලට මෙය අනුකූල වුණා: “පුළුවන් නම්, නුඹලාගෙන් විය හැකි ප්‍රමාණයට, සියලු මනුෂ්‍යයන් සමඟ සමාදානයෙන් සිටින්න.” (රෝම 12:18) ඒ වගේම තම ආච්චිත් සමඟ කරුණාවන්තව කටයුතු කරන්න ඔහුට සිදු වෙනවා. (1 තිමෝති 5:1, 2) ඉක්මනින්ම ඔහු බයිබල් ප්‍රතිපත්ති ක්රියාවේ යෙදවූ අතර, ආච්චිත් සමඟ වූ ඔහුගේ පවුල් සම්බන්ධය වඩාත් යහපත් අතට හැරුණු බවට කිසිම සැකයක් නැහැ. (ගලාති 5:22, 23) අසල්වාසීන් ඔහුගෙන් දිස් වූ වෙනස්කම් දුටු විට එය කොතරම් ඔවුන්ට කාවැදුණාද කියනවා නම් ඔවුන්ගේ දරුවනුත් යෙහෝවාගේ සාක්ෂිකරුවන් සමඟ බයිබලය පාඩම් කරනවා දකින්න ඔවුන්ට අවශ්‍ය වුණා!
සාමකාමී ස්ප්‍රීතුවක්
ප්‍රේරිත පාවුල් කොලොස්සිවරුන්ට මෙසේ ලිව්වා: “මේ සියල්ලට උඩින් ප්‍රේමය නැමති සම්පූර්ණකමේ බැම්ම බැඳගන්න. [ක්‍රිස්තුස්ගේ] සමාදානය නුඹලාගේ සිත්වල ආණ්ඩුකෙරේවා.” (කොලොස්සි 3:14, 15) සාමකාමී ස්ප්‍රීතුවක් සහ හෘදයාංගම ප්‍රේමය ස්ථිරවම පවුලක් එකට බැඳ තබනවා. ඒ වගේම දිගු කලක් පුරා පවතින පවුල් භේද සමතයකට පත් කරන්න එයට හැකියි. ඇල්බේනියාවේ ජීවත් වන රූකියා, පවුලේ ඇති වූ එකඟ නොවීමක් නිසා, අවුරුදු 17ක් පුරා ඇගේ මල්ලිත් සමඟ කිසිම කතා බහක් තිබුණේ නැහැ. ඇය යෙහෝවාගේ සාක්ෂිකරුවන් සමඟ බයිබලය අධ්‍යයනය කළ විට, දෙවිගේ සෑම සේවකයෙක්ම අනිත් අයත් සමඟ සාමය ඇති කරගන්න උනන්දු විය යුතු බව ඇය ඉගෙනගත්තා. මන්දයත් “සමාදානය සොයා, එය පස්සේ දුවාවා” කියා බයිබලයේ පවසන නිසයි.—1 පේතෘස් 3:11.
ඇය තම මල්ලිත් සමඟ සමාදාන විය යුතු බව රූකියා අවබෝධ කරගත්තා. ඇය මුළු රාත්‍රිය පුරාම යාච්ඤා කළ අතර, පසුවදා උදෑසන, හදේ චකිතයකින් යුතුව ඇගේ මල්ලිගේ නිවස කරා පියමං කළා. රූකියාගේ මල්ලිගේ දුව දොර විවෘත කර පුදුමයෙන් යුතුව මෙසේ ඇසුවා: “ඔයා මෙහෙ මොනවද කරන්නේ?” තමාට මල්ලිත් සමඟ සමාදාන වෙන්න අවශ්‍ය බව පැහැදිලි කරමින් රූකියා බොහොම සන්සුන්ව ඇගේ මල්ලිව බලන්න හැකිදැයි විමසුවා. ඒ ඇයි? මන්දයත් මෙය දෙවිගේ කැමැත්ත බව ඇය දැන් වටහාගෙන තිබෙන නිසයි. ඇගේ සහෝදරයා ඊට හොඳ ප්‍රතිචාරයක් දැක්වූ අතර, ඔවුන්ගේ නැවත එකතු වීම වැලඳගැනීම්වලින් සහ සතුටු කඳුළින් සනිටුහන් වුණා. බයිබල් ප්‍රතිපත්ති අනුගමනය කිරීම නිසා පවුලක් නැවත එකමුතු වුණා.
නරක ආශ්‍රිතයන්
“පොදුවේ ගත් කල අද ළමයෙක් දිනකට පැය හතක් රූපවාහිනිය නරඹනවා. ප්‍රාථමික අධ්‍යාපනය අවසන් කරන විට, ඔවුන් මිනිමැරුම් අටදාහකට සහ සැහැසික ක්‍රියා ලක්ෂයට වැඩි ප්‍රමාණයක් දැක තිබෙනවා.” අතිශයින් සාර්ථක පවුල්වල තිබෙන ගුණාංග හත (ඉංග්‍රීසියෙන්) යන පොතෙහි එලෙස සඳහන් වෙනවා. එවැන්නකට නිරාවරණය වීමෙන් දරුවෙකුට ඇති වන බලපෑම කුමක්ද? ඒ සම්බන්ධයෙන් “ප්‍රවීණයන්” එකඟත්වයකට නොඑන නමුත්, නරක ආශ්‍රිතයන්ට එරෙහිව බයිබලය දැඩි ලෙස අනතුරු අඟවනවා. උදාහරණයකට එය මෙසේ පවසනවා: “අඥානයන්ගේ සමාගම්කාරයාට වේදනා සිදුවන්නේය.” (හිතෝපදේශ 13:20) ඒ වගේම එය මෙසේද පවසනවා: “නපුරු සමාගමෙන් හොඳ චරිත නරක්වන්නේය.” (1 කොරින්ති 15:33) නරක ආශ්‍රිතයන් සැබෑ පුද්ගලයන් වුණත්, රූපවාහිනී වැඩසටහනක සිටින අය වුණත්, මේ ප්‍රතිපත්තිය සත්‍යයක් හැටියට අප දූරදර්ශීව සැලකිල්ලට ගන්නවා නම් පවුල් ජීවිතය වඩා සාර්ථක වෙන්න පුළුවන්.
ලක්සෙම්බර්ග්හි සිටින මවක් යෙහෝවාගේ සාක්ෂිකාරියක් සමඟ බයිබලය පාඩම් කරමින් සිටියා. ඇගේ සත් හැවිරිදි සහ අට හැවිරිදි දියණියන් දෙන්නා සන්ධ්‍යා කාලයේදී හුඟාක් සණ්ඩු සරුවල් කරන අතර, බොහෝ ප්‍රචණ්ඩකාරි බව එක් දිනක ඇය සාක්ෂිකාරියට පැවසුවා. සන්ධ්‍යා කාලයේදී දැරියන් කුමක්ද කළේ කියා සාක්ෂිකාරිය විමසුවා. ඇය කුස්සිය පිරිසිදු කරන අතරතුර ඔවුන් රූපවාහිනිය නැරඹුවායයි මව පැවසුවා. මොන වගේ වැඩසටහන්ද? “ආ, ඒ නිකං කාටූන් වගයක්” යයි මව පිළිතුරු දුන්නා. එවැනි වැඩසටහන් නිතරම සැහැසික ඒවා බව ඇගේ අමුත්තා සඳහන් කළ විට, ළමුන්ගේ මව ඒවා අධීක්ෂණය කරන බවට පොරොන්දු වුණා.
පසුවදාම, ඇගේ දියණියන් නරඹමින් සිටි කාටූන් දැක්ක විට, තමා තිගැස්සී ගිය බව මව පැවසුවා. තමන්ට හසු වන සෑම දෙයක්ම කෲර ලෙස විනාශ කළ, පිටසක්වලින් පැමිණි භයානක අද්භූත සත්වයන්ව එහි තිරගත වුණා. යෙහෝවා සැහැසියාව ද්වේෂ කරන බවත්, අප එවැනි කෲර දේවල් බලනවාට ඔහු සතුටු නැති බවත් තම දියණියන්ට ඇය පැහැදිලි කළා. (ගීතාවලිය 11:5) දැරියන්ට යෙහෝවාව ප්‍රසන්න කිරීමට ඕනෑ වී, රූපවාහිනිය නරඹනවා වෙනුවට චිත්‍ර අඳින්නත්, සායම් කරන්නත් එකඟ වුණා. විගස ඔවුන්ගේ කලහකාරි හැසිරීම වෙනස් වූ අතර, පවුල් වාතාවරණය වැඩිදියුණු වුණා.
බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගැනීමෙන් පවුල් ජීවිතය වැඩිදියුණු වන බව පෙන්වීමට මේවා උදාහරණ කිහිපයක් පමණයි. බයිබලය සෑම කාරණයක් සම්බන්ධයෙන්ම උපදෙස් සපයනවා. එය විශ්වාසකටයුතු වන අතර, යහපත උදෙසා ප්‍රබල බලපෑමක් ඇති කරනවා. (හෙබ්‍රෙව් 4:12) මනුෂ්‍යයන් බයිබලය අධ්‍යයනය කර, අව්‍යාජව එහි පවසන දේ අදාළ කරගැනීමට උත්සුක වන විට, පවුල් ශක්තිමත් වෙනවා; පෞද්ගලිකත්වයන් වඩා යහපත් අතට හැරෙනවා; ඒ වගේම වැරදි මඟහරින්න පුළුවන්. පවුලක එක් සාමාජිකයෙක් පමණක් දෙවිගේ උපදෙස් අනුගමනය කරනවා වුණත්, දේවල් වඩා යහපත් අතට හැරෙනවා. සත්‍යවශයෙන්ම ජීවිතයේ සෑම අංගයකදීම, මෙලෙස ලියූ දාවිත් මෙන් අපත් දෙවිගේ වචනය සැලකිය යුතුයි: “ඔබගේ වචන මාගේ පාදයන්ට පහනක්ය, මාගේ මාවතට එළියක්ය.”—ගීතාවලිය 119:105.
[5වන පිටුවේ පින්තූරය]
බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගැනීමෙන් පවුල් ගැටලු විසඳා ඇත