ආබ්‍රහම්ගේ මෙන් ඇදහිල්ලක් ඔබට තිබෙනවාද?
‘මනුෂ්‍ය පුත්‍රයා එන කල්හි [ඔහුට ඇත්තෙන්ම, NW] පොළොවේ ඇදහිල්ල සම්බ වේද?’—ලූක් 18:8.
1. කෙනෙකුගේ ඇදහිල්ල ශක්තිමත්ව තබාගැනීම අදදින පහසු දෙයක් නොවන්නේ මන්ද?
අදදින කෙනෙකුගේ ඇදහිල්ල ශක්තිමත්ව තබාගැනීම පහසු දෙයක් නොවෙයි. ක්‍රිස්තියානීන්ගේ අවධානය ආත්මික දේවලින් වෙනතකට හැරවීමට ලෝකය දැඩි පීඩනයක් එල්ල කරයි. (ලූක් 21:34; 1 යොහන් 2:15, 16) බොහෝදෙනෙකුට යුද්ධ, ව්‍යසන, රෝග හෝ කුසගින්න හමුවේ බේරී ජීවත් වීමට වෙර දරන්න සිදු වෙයි. (ලූක් 21:10, 11) රටවල් ගණනාවක, බලවත් ලෞකික සංස්කෘතියක් තිබෙන අතර, තම ඇදහිල්ලට අනුව ජීවත් වන ඕනෑම කෙනෙකුව සලකන්නේ අසාධාරණ කෙනෙකු හැටියට එහෙමත් නැත්නම් උන්මත්තකයෙකු හැටියටයි. තවදුරටත්, බොහෝ ක්‍රිස්තියානීන්ට ඔවුන්ගේ ඇදහිල්ල නිසා පීඩා කරයි. (මතෙව් 24:9) වර්ෂ 2,000කට පෙර යේසූ නැඟූ මෙම ප්රශ්නය ඇත්තෙන්ම යෝග්‍යයයි: ‘මනුෂ්‍ය පුත්‍රයා එන කල්හි [ඔහුට ඇත්තෙන්ම, NW] පොළොවේ ඇදහිල්ල සම්බ වේද?’—ලූක් 18:8.
2. (අ) ක්‍රිස්තියානියෙකුට ශක්තිමත් ඇදහිල්ලක් තිබීම අත්‍යවශ්‍ය වන්නේ මන්ද? (ආ) ඇදහිල්ල සම්බන්ධයෙන් කාගේ ආදර්ශය සලකා බැලීමද අපට ප්‍රයෝජනවත් වන්නේ?
2 එහෙත්, සැබෑව වන්නේ, අපට දැන් ජීවිතය සාර්ථක කරගන්නත්, අනාගතයේදී පොරොන්දු වූ සදාකාල ජීවනය ලබාගන්නත් වුවමනා නම් එම ශක්තිමත් ඇදහිල්ල තිබීම අත්‍යවශ්‍යය යන්නයි. හබක්කුක්ට යෙහෝවා දුන් වචන උපුටා දක්වමින් ප්‍රේරිත පාවුල් මෙසේ ලිව්වා: “මාගේ ධර්මිෂ්ඨයා ඇදහිල්ලෙන් ජීවත්වේ. නුමුත් ඔහු පසුබටවන්නේ නම්, මාගේ ආත්මය ඔහු කෙරෙහි ප්‍රසන්න නැත. . . . ඇදහිල්ල නැතුව [දෙවිව] ප්‍රසන්නකරන්ට නුපුළුවන.” (හෙබ්‍රෙව් 10:38–11:6; හබක්කුක් 2:4) පාවුල් තිමෝතිට මෙසේ පැවසුවා: “ඇදහිල්ලේ යහපත් සටනෙන් සටන්කොට සදාකාල ජීවනය අල්ලාගන්න, ඊට නුඹ කැඳවනු ලැබ . . . සිටියෙහිය.” (1 තිමෝති 6:12) එසේනම්, අඛණ්ඩ ඇදහිල්ලක් ඇතුව සිටීමට හැකි වන්නේ කෙසේද? එම ප්රශ්නය සලකා බැලීමේදී, වර්ෂ 4,000කට පමණ පෙර ජීවත් වූ, එනමුත් ඉස්ලාම්, යුදෙව් හා ක්‍රිස්තියානි යන ප්‍රධාන ආගම් තුනේ තවමත් උසස් ඇදහිල්ලක් ඇති කෙනෙක් ලෙස සලකන්නාවූ මිනිසෙකු දෙස බැලීම අපට ප්‍රයෝජනවත් වේවි. එම මිනිසා නම් ආබ්රහම්ය. ඔහුගේ ඇදහිල්ල එතරම් විශිෂ්ට වුණේ ඇයි? අදදින අපට ඔහුව අනුකරණය කළ හැකිද?
දෙවිගේ මඟ පෙන්වීමට කීකරු වීම
3, 4. තේරා ඌර්වල සිට හාරාන් දක්වා තම පවුල කැඳවාගෙන ගියේ මන්ද?
3 (කලින් ආබ්‍රම් කියා හැඳින්වූ) ආබ්‍රහම් ගැන මුලින්ම සඳහන් වුණේ බයිබලයේ මුල්ම හරියෙයි. උත්පත්ති 11:26හි අපට මෙසේ කියවීමට තිබෙනවා: ‘තේරාට දාව ආබ්‍රම්ද නාහොර්ද හාරාන්ද උපන්නෝය.’ තේරා සහ ඔහුගේ පවුල දකුණු මෙසපොතේමියාවේ සමෘද්ධිමත් නුවරක් වූ කල්දිවරුන්ගේ ඌර් දේශයෙහි ජීවත් වුණා. කෙසේනමුත්, ඔවුන් දිගටම එහි සිටියේ නැහැ. “තේරා තමාගේ පුත්‍රවූ ආබ්‍රම්ද තමාගේ පුත්‍රවූ හාරාන්ගේ පුත්‍රයා වන ලොත්ද තමාගේ පුත්‍රවූ ආබ්‍රම්ගේ භාර්යාව වන තමාගේ යෙහෙළි වූ සාරයිද [සාරාද] කැඳවාගෙන ඔවුන් සමඟ කානාන් දේශයට යන පිණිස ඌර් නම් වූ කල්දිවරුන්ගේ නුවරින් පිටත්ව ගොස් හාරාන්ට පැමිණ එහි වාසයකෙළේය.” (උත්පත්ති 11:31) ආබ්‍රහම්ගේ සහෝදර නාහොර්ද තම පවුල හාරාන් වෙත ගෙන ගියා. (උත්පත්ති 24:10, 15; 28:1, 2; 29:4) එහෙත්, තේරා සමෘද්ධිමත් ඌර්හි සිට ඈත එපිට පිහිටි හාරාන් වෙත ගියේ මන්ද?
4 ආබ්‍රහම්ගේ කාලයෙන් වර්ෂ 2,000කට පමණ පසු, ඇදහිලිවන්ත මිනිසෙකු වූ ස්තේපන් යුදෙව් සැන්හීඩ්‍රින් මන්ත්‍රණ සභාව ඉදිරියේ සිට කතා කරමින්, තේරාගේ පවුල සිදු කළ මෙම අසාමාන්‍ය ස්ථාන මාරුව ගැන පැහැදිලි කළා. ඔහු මෙසේ පැවසුවා: ‘අපගේ පිය වූ ආබ්‍රහම් හාරාන්හි විසීමට පළමුවෙන් මෙසපොතේමියාවේ සිටි කාලයෙහි මහිමාන්විත දෙවි ඔහුට පෙනී: නුඹේ දේශයෙන්ද නෑයන් කෙරෙන්ද තුරන්ව, මා නුඹට පෙන්වන දේශයට එවයි කීවේය. එකල ඔහු කල්දියයන්ගේ දේශයෙන් පිටත්ව හාරාන්හි විසුවේය.’ (ක්‍රියා 7:2-4) තේරා තමාගේ භාර්යාව හා දූපුතුන් රැගෙන හාරාන් වෙතට ගිය විට ආබ්‍රහම් සම්බන්ධයෙන් වූ යෙහෝවාගේ කැමැත්තට ඔහු යටත් වුණා.
5. තම පියා මියගිය පසු ආබ්‍රහම් ගියේ කොතැනටද? මන්ද?
5 තේරාගේ පවුල තම අලුත් නුවරේ පදිංචි වුණා. වසර ගණනාවකට පසු ආබ්‍රහම් “මාගේම දේශය” කියා පැවසූ විට ඔහු අදහස් කළේ ඌර් නොව හාරාන් ප්රදේශයයි. (උත්පත්ති 24:4) කෙසේනමුත්, හාරාන් ආබ්‍රහම්ගේ ස්ථිර වාසස්ථානය වීමට තිබුණේ නැහැ. ස්තේපන් පවසන පරිදි, ‘ඔහුගේ [ආබ්‍රහම්ගේ] පියා මළ කල්හි, දෙවි ඔහු [ඔහුගේ නිවස වෙනස් කර, NW] එතැනින් නුඹලා දැන් වසන්නාවූ මේ දේශයට ගෙනාවේය.’ (ක්‍රියා 7:4) යෙහෝවාගේ මඟ පෙන්වීමට කීකරු වෙමින් ආබ්‍රහම් ලොත් සමඟ යුප්‍රටීස් හරහා කානාන් දේශයට පැමිණුණා.a
6. යෙහෝවා ආබ්‍රහම්ට දුන්නේ කුමන පොරොන්දුවද?
6 යෙහෝවා ආබ්‍රහම්ට කානාන් වෙත යෑමට සැලැස්සුවේ මන්ද? මීට හේතුව, එම ඇදහිලිවන්ත මිනිසා සඳහා දෙවි අරමුණු කර තිබූ දෙයට එය සම්බන්ධ වී තිබීමයි. යෙහෝවා ආබ්‍රහම්ට මෙසේ පවසා තිබුණා: “නුඹේ දේශයෙන්ද නුඹේ නෑයන් කෙරෙන්ද නුඹේ පියාගේ ගෙදරින්ද පිටත්ව මා විසින් නුඹට පෙන්වන දේශයට යන්න. මම නුඹ මහත් ජාතියක් කරන්නෙමි; නුඹට ආශීර්වාද කොට නුඹේ නාමය කීර්තිමත් කරන්නෙමි; නුඹද ආශීර්වාදයක් වෙන්න. තවද නුඹට ආශීර්වාද කරන්නන්ට මම ආශීර්වාදකරන්නෙමි, නුඹට ශාපකරන්නාට මම ශාපකරන්නෙමි. පොළොවේ සියලු පවුල් නුඹ කරණකොටගෙන ආශීර්වාද ලබන්නෝයයි [කීවේය].” (උත්පත්ති 12:1-3) ආබ්‍රහම්, යෙහෝවාගේ ආරක්ෂාව භුක්ති විඳින්න යන මෙන්ම කානාන් දේශය උරුම කරගන්න යන මහත් ජාතියක පියා වීමට තිබුණා. මොනතරම් කදිම පොරොන්දුවක්ද! නමුත් එම දේශය උරුම කරගැනීම සඳහා ආබ්‍රහම්ට ඔහුගේ ජීවිතයේ විශාල වෙනස්කම් කරන්න සිදු වුණා.
7. යෙහෝවාගේ පොරොන්දු උරුම කරගැනීම සඳහා ආබ්‍රහම් සූදානම්ව සිටිය යුතුව තිබුණේ කුමන වෙනස්කම් කිරීමටද?
7 ආබ්‍රහම් ඌර්වලින් පිට වී ගිය විට, ඔහු සමෘද්ධිමත් නුවරක් අත්හැරිය අතර, ඔහුගේ පියාගේ ඥාතීන් ඇතුළු විශාල පවුල අත්හැරීමට සිදු වෙන්න ඇති. කුලජ්යෙෂ්ඨයන්ගේ ඒ කාලවලදී සුරක්ෂිතභාවය සඳහා මේවා වැදගත් මූලයන් වුණා. ඔහු හාරාන් දේශය අත්හැර ගිය විට, ඔහු තම පියාගේ පවුලේ අයගෙන් හා තම සහෝදර නාහොර්ගේ පවුලෙන් වෙන්ව නොදන්නා දේශයකට ගියා. කානාන්හිදී ඔහු නුවරක පවුරු අතරේ ආරක්ෂාව සෙව්වේ නැහැ. එසේ නොසෙව්වේ මන්ද? ආබ්‍රහම් දේශයට ඇතුල්ව ටික කලකට පසු, යෙහෝවා ඔහුට මෙසේ පැවසුවා: “නැගිට දේශයෙහි දිගටත් හරහටත් යන්න; මක්නිසාද ඒක නුඹට දෙන්නෙමි.” (උත්පත්ති 13:17) හැත්තෑපස් හැවිරිදි ආබ්‍රහම් සහ ඔහුගේ 65-හැවිරිදි භාර්යාව වන සාරා, මේ උපදෙස් පිළිපැද්දා. “ඇදහිල්ලෙන්, ඔහු අන් දේශයක මෙන් පොරොන්දුවේ දේශයෙහි පොරොත්තුවී, . . . කූඩාරම්වල වාසයකළේය.”—හෙබ්‍රෙව් 11:9; උත්පත්ති 12:4.
අදදින, ආබ්‍රහම්ගේ මෙන් ඇදහිල්ලක්
8. ආබ්‍රහම්ගේ හා වෙනත් පුරාණ සාක්ෂිකරුවන්ගේ ආදර්ශය සම්බන්ධයෙන් සලකා බලද්දී, අප වර්ධනය කරගත යුත්තේ කුමක්ද?
8 හෙබ්‍රෙව් 11වන පරිච්ඡේදයෙහි සඳහන් මහත් “[පූර්ව ක්‍රිස්තියානි] සාක්ෂිකාර සේනාව” අතරේ ආබ්‍රහම් හා ඔහුගේ පවුලේ නම් සඳහන් වෙනවා. දෙවිගේ මෙම මුල් සේවකයන්ගේ ඇදහිල්ල ගැන සලකා බලද්දී, පාවුල් ක්‍රිස්තියානීන්ට දිරිගන්වන්නේ ‘සියලු බරද පහසුවෙන් අප අසු කරන පාපයද [ඇදහිල්ලේ ඌනතාවද] අහක දමන්න’ කියායි. (හෙබ්‍රෙව් 12:1) ඔව්, ඇදහිල්ලේ ඌනතාව ‘අපව පහසුවෙන් හසු කරගත’ හැකියි. නමුත් පුරාණ කාලවල විසූ ආබ්‍රහම්ට හා වෙනත් අයට සමානව, පාවුල්ගේ දවසේ මෙන්ම අපගේ දවසේද, අව්‍යාජ ක්‍රිස්තියානීන්ට ශක්තිමත් ඇදහිල්ලක් වර්ධනය කරගැනීමට හැකි වී තිබෙනවා. තමා ගැන හා සෙසු ක්‍රිස්තියානීන් ගැන කතා කරමින් පාවුල් මෙසේ පවසනවා: “අපි වනාහි විනාශවන ලෙස පසුබටවීමට නොව ප්‍රාණය ගැළවෙන ලෙස ඇදහීමට අයිතිවමුව.”—හෙබ්‍රෙව් 10:39.
9, 10. අදදින බොහෝදෙනෙක්ට ආබ්‍රහම්ට මෙන් ඇදහිල්ලක් තිබෙන බවට ඇති සාක්ෂි මොනවාද?
9 ආබ්‍රහම්ගේ කාලයට වඩා ලෝකය වෙනස් වී ඇති බව ඇත්තයි. කෙසේනමුත්, අප තවමත් සේවය කරන්නේ ‘ආබ්‍රහම්ගේ දෙවිටම’ වන අතර, ඔහු වෙනස් වෙන්නේ නැහැ. (ක්‍රියා 3:13; මලාකී 3:6) ආබ්‍රහම්ගේ කාලයේදී වාගේම අදදිනත් යෙහෝවා නමස්කාරය ලැබීමට සුදුසුව සිටිනවා. (එළිදරව් 4:11) දේවකැමැත්ත කිරීමේ අරමුණින් ආබ්‍රහම් මෙන් තමන්ගේ ජීවිතවල අවශ්‍ය වෙනස්කම් කරමින් බොහෝදෙනෙක් යෙහෝවාට තමන්ව මුළුමනින්ම කැප කරනවා. පසුගිය වසරේදී, ‘පියාගෙත්, පුත්‍රයාගෙත්, ශුද්ධාත්මයෙත් නාමයට’ වතුර බව්තීස්මය ලැබීමෙන් 3,16,092ක් තම කැපවීමට ප්‍රසිද්ධියේ සාක්ෂි දුන්නා.—මතෙව් 28:19.
10 තම කැපවීම සිදු කිරීම සඳහා මෙම නව ක්‍රිස්තියානීන්ගෙන් වැඩිදෙනෙකුට දුර බැහැර විදේශීය රටවලට ගමන් කරන්න සිදු වුණේ නැහැ. එහෙත්, ආත්මික අර්ථයකින්, ඔවුන්ගෙන් බොහෝදෙනෙක් සැලකිය යුතු දුරක් ගමන් කළා. උදාහරණයක් වශයෙන්, මොරිෂස්හි එල්සි මායාකාරියක්ව සිටියා. හැමෝම ඇයට භය වුණා. එල්සිගේ දියණිය සමඟ බයිබල් පාඩමක් කිරීමට විශේෂ පුරෝගාමියක් සැලසුම් යෙදූ අතර, මෙය එල්සිට ‘අන්ධකාරයෙන් ආලෝකයට එන්න’ මාර්ගය විවෘත කළා. (ක්‍රියා 26:18) තම දියණියගේ උනන්දුව දුටු එල්සි මගේ බයිබල් කතන්- දර පොත පාඩම් කරන්න එකඟ වුණා. ඇයට නිරතුරුවම දිරිගැන්වීමක් අවශ්‍ය වූ නිසා සතියකට තුන් වතාවක් ඇගේ පාඩම පැවැත්තුවා. ඇගේ ආත්ම බන්ධන කටයුතු ඇයට කිසි සන්තෝෂයක් ලබා නොදුන් අතර, ඇයට බොහෝ පෞද්ගලික ගැටලුත් තිබුණා. එහෙත්, අන්තිමේදී, භූතවාදයේ සිට සැබෑ නමස්කාරය දක්වා වූ දිගු ගමන නිම කිරීමට ඇයට හැකි වුණා. ඇගේ සේවාවන් ලබාගන්න ජනයා පැමිණි විට, යෙහෝවාට පමණයි ඔවුන්ව නපුරෙන් ආරක්ෂා කළ හැක්කේ කියා ඈ පැහැදිලි කළා. එල්සි දැන් බව්තීස්ම ලත් සාක්ෂිකාරියක් වන අතර, ඇගේ පවුලෙන් හා හඳුනන අයගෙන් 14දෙනෙක් සත්‍යය පිළිගෙන තිබෙනවා.
11. යෙහෝවාට තමන්ව කැප කරන අය කැමැත්තෙන් සිටින්නේ කුමන වෙනස්කම් කිරීමටද?
11 දෙවිට සේවය කිරීමට පසුගිය වසරේදී තමන්ව කැප කළ අයගෙන් බොහෝදෙනෙකුට එවැනි විශාල වෙනස්කම් කිරීමට සිදු වුණේ නැහැ. නමුත් ඒ හැමෝම ආත්මික මළ තත්වයක සිට ආත්මිකව ජීවත් වන තත්වයක් දක්වා වෙනස් වුණා. (එපීස 2:1) ශාරීරික වශයෙන් ලෝකයේ සිටියත්, ඔවුන් තවදුරටත් එහි කොටසක් නොවෙයි. (යොහන් 17:15, 16) ‘ස්වර්ගයේ නාගරිකත්වය’ තිබෙන ආලේප ලත් ක්‍රිස්තියානීන්ට සමානව, ඔවුන්ද “ආගන්තුකයන් හා තාවකාලික පදිංචිකරුවන්” මෙනි. (පිලිප්පි 3:20; 1 පේතෘස් 2:11, NW) ඔවුන් තම ජීවිත දෙවිගේ ප්‍රමිතිවලට එකඟ කරගත් අතර, සියල්ලටමත් වඩා ඔවුන් දෙවිට හා අසල්වැසියාට තිබෙන ප්‍රේමයෙන් පෙලඹුණා. (මතෙව් 22:37-39) ඔවුන් ආත්මාර්ථකාමී, ද්‍රව්‍යවාදී ඉලක්ක පසුපස හඹා යන්නේවත්, ඔවුන්ට මේ ලෝකයේ යම් යම් දේවල් ඉටු කරගැනීමෙන් තැනක් ලබාගැනීම සඳහා අවශ්‍යතාවක් තිබෙන බව හැඟෙන්නේවත් නැහැ. ඒ වෙනුවට, ඔවුන් පොරොන්දු කරන ලද ‘ධර්මිෂ්ඨකම වාසය කරන අලුත් අහස හා අලුත් පොළොව’ දෙස තම නෙත් යොමා සිටිනවා.—2 පේතෘස් 3:13; 2 කොරින්ති 4:17ආ, 18.
12. තමන්ගේ පැමිණ සිටීමේදී යේසුට “පොළොවේ ඇදහිල්ල” සම්බ වූ බවට සාක්ෂි දෙන්නේ, පසුගිය වසරේ වාර්තා වූ කුමන ක්රියාකාරකමද?
12 ආබ්‍රහම් කානාන්වලට ගිය විට, ඔහු සහ ඔහුගේ පවුලේ අය තනි වූ අතර, ඔවුන්ට උපකාර කිරීමට හා ඔවුන්ව ආරක්ෂා කිරීමට සිටියේ යෙහෝවා පමණයි. කෙසේවුවත්, අලුතෙන් බව්තීස්ම ලත් මෙම ක්‍රිස්තියානීන් 3,16,092දෙනා කොහෙත්ම තනි වී නැහැ. ආබ්‍රහම්ට වාගේම යෙහෝවා ඔවුන්ටත් ශුද්ධාත්මය මාර්ගයෙන් උපකාරයත් ආරක්ෂාවත් සපයන බව සත්‍යයක්. (හිතෝපදේශ 18:10) එහෙත් ඊට අමතරව, ප්‍රබෝධයෙන් පිරි ජාත්‍යන්තර “ජාතියක්” මගින් ඔහු ඔවුන්ට උපකාර කරනවා. එය අදදින සමහර ලෞකික ජාතීන්ට වඩා විශාලයි. (යෙසායා 66:8, NW) පසුගිය වසරේදී, එම ජාතියේ පුරවැසියන් 58,88,650දෙනෙකුගේ ඉහළම සංඛ්‍යාව, දෙවිගේ පොරොන්දු ගැන තම අසල්වැසියන්ට කතා කිරීම මගින් තමන්ගේ ක්‍රියාශීලී ඇදහිල්ල සම්බන්ධයෙන් සාක්ෂි දුන්නා. (මාර්ක් 13:10) උනන්දුමත් පුද්ගලයන්ව සොයමින් ඔවුන් කැපීපෙනෙන පැය ගණනක් වූ පැය 1,18,66,66,708ක් ගත කරමින් මෙම වැඩයෙහි යෙදුණා. ප්‍රතිඵලයක් වශයෙන්, ඇදහිල්ල වර්ධනය කිරීමට කැමැත්තක් දක්වන වෙනත් අය සමඟ බයිබල් පාඩම් 43,02,852ක් පැවැත්වූවා. තවදුරටත් ඔවුන්ගේ ජ්වලිතය විදහාපෑමක් වශයෙන්, මෙම ‘ජාතියෙන්’ 6,98,781දෙනෙක් පූර්ණ-කාලීනව නැතහොත් මාසයක් හෝ ඊට වැඩි කාලයක් පුරෝගාමී සේවයේ හවුල් වුණා. (පසුගිය අවුරුද්දේ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳ තොරතුරු 12 සිට 15 පිටුවල දක්වා ඇත.) මේ විශිෂ්ට වාර්තාව ‘මනුෂ්‍ය පුත්‍රයා එන කල්හි [ඔහුට ඇත්තෙන්ම, NW] පොළොවේ ඇදහිල්ල සම්බ වේද?’ යන යේසුගේ ප්‍රශ්නයට ඒකාන්ත, ජීවමාන උත්තරයක් වෙනවා.
පරීක්ෂණ මධ්‍යයෙහි ඇදහිලිවන්තව
13, 14. කානාන්හි ආබ්‍රහම් හා ඔහුගේ පවුලේ අයට මුහුණ දෙන්න සිදු වුණ දුෂ්කරතා සමහරක් විස්තර කරන්න.
13 කානාන්හි සිටි ආබ්‍රහම්ට හා ඔහුගේ නිවැසියන්ට බොහෝ දුෂ්කරතාවලට මූණ දෙන්න සිදු වුණා. අඩුම තරමින් එක වතාවකදී හෝ කානාන්වලින් ඔහුට මිසරයට යන්න සිදු කළ දරුණු සාගතයක් ඇති වුණා. එපමණක් නොව, මිසරයේ පාලකයා හා ගෙරාර්හි (ගාසා අසල) පාලකයා, ආබ්‍රහම්ගේ භාර්යාව වූ සාරාව තමන් සතු කරගැනීමට උත්සාහ කළා. (උත්පත්ති 12:10-20; 20:1-18) ආබ්‍රහම්ගේ සත්ව පාලකයන් හා ලොත්ගේ සත්ව පාලකයන් අතර ගැටුම්ද ඇති වූ අතර, මෙය පවුල් දෙක වෙන්වීමට සැලැස්සුවා. ආබ්‍රහම් පරාර්ථකාමී ලෙස ලොත්ට මුලින්ම දේශය තෝරාගැනීමට ප්‍රස්තාව දුන් අතර, සාරවත්බවෙන් හා අලංකාරත්වයෙන් ඒදන් මෙන් දිස් වූ යොර්දාන් දිස්ත්‍රික්කයේ ජීවත් වීමට ලොත් තෝරාගත්තා.—උත්පත්ති 13:5-13.
14 ඈත එපිට පිහිටි ඒලාම්හි රජ හා ඔහුගේ මිත්‍ර පක්ෂයත්, සිද්දීම්හි පහත මිටියාවතේ නුවරවල් පහේ රජවරුත් අතර ඇති වූ යුද්ධයකට ලොත්ව මැදි වුණා. විදේශ රජවරු දේශීය රජවරුන්ව පරාජය කළ අතර, ලොත්ව හා ඔහුගේ බඩුබාහිරාදිය ඇතුළු සියල්ලක්ම පාහේ කොල්ලකනු ලැබුවා. සිදු වී ඇති දේ ආබ්‍රහම්ට සැල වූ විට, ඔහු නිර්භීතව විදේශීය රජවරුන්ව ලුහුබැඳ ගිය අතර, ඔහුට ලොත්ව හා ඔහුගේ පවුලේ අයවත්, එමෙන්ම දේශීය රජවරුන්ගේ බඩුබාහිරාදියත් බේරාගැනීමට හැකි වුණා. (උත්පත්ති 14:1-16) කෙසේවුවත්, එය කානාන්හිදී ලොත් අද්දැක්ක දරුණුම අද්දැකීම නොවෙයි. නගරය දුරාචාරය සම්බන්ධයෙන් ප්‍රසිද්ධ වී තිබුණත්, යම් හේතුවක් නිසා ඔහු සොදොමේ පදිංචි වුණා.b (2 පේතෘස් 2:6-8) නගරය විනාශ වනු ඇතැයි දේවදූතයන් දෙදෙනෙක් අනතුරු ඇඟවූ විට, ලොත් ඔහුගේ භාර්යාව හා දියණියන් සමඟ පලා ගියා. නමුත් ලොත්ගේ භාර්යාව දේවදූතයන්ගේ විශේෂ උපදෙස් ගණන් නොගත් අතර, ප්‍රතිඵලයක් වශයෙන්, ලුණු කණුවක් බවට පත් වුණා. ලොත්ට ඔහුගේ දියණියන් දෙදෙනා සමඟ ශොවර්හි ගුහාවක කාලයක් ජීවත් වීමට සිදු වුණා. (උත්පත්ති 19:1-30) විශේෂයෙන්ම ලොත්, ආබ්‍රහම්ගේ පවුලේ කොටසක් හැටියට කානාන් වෙත පැමිණ තිබූ බැවින් මේ සිද්ධීන් ආබ්‍රහම්ව බොහෝ සෙයින් කැලඹීමට පත් කරන්න ඇති.
15. නන්නාඳුනන රටක කූඩාරම්වල වෙසෙද්දී ආබ්‍රහම් ගැටලුවලට මුහුණ දුන්නත්, පැහැදිලිවම ඔහු වැළකුණේ කුමන නිෂේධාත්මක සිතුවිලිවලින්ද?
15 තමා සහ ලොත්, තම පියාගේ ඥාතීන් සමඟ ඌර්හි හෝ තම සහෝදර නාහොර් සමඟ හාරාන්හි සිට ආරක්ෂා වුණා නම් හොඳයි කියා ආබ්‍රහම් කෙදිනකවත් සිතුවාද? ඔහු කූඩාරම්වල ජීවත් වෙනවා වෙනුවට පවුරුවලින් වට වූ සුරක්ෂිත නගරයක පදිංචි වෙන්න කවදා හෝ කැමැත්තක් දැක්වූවාද? නන්නාඳුනන රටක තැනින් තැන යන්නෙකු වෙමින් කළ පරිත්‍යාගයන් ඇත්තෙන්ම ඥානවන්තද කියා සමහරවිට ඔහු ප්‍රශ්න කරන්න ඇද්ද? ආබ්‍රහම් හා ඔහුගේ පවුල ගැන කතා කරමින්, ප්‍රේරිත පාවුල් මෙසේ සඳහන් කළා: “ඔව්හු තමුන් පිටත්ව ආවාවූ රට සිහිකළෝ නම්, එහි හැරී යන්ට ඔවුන්ට ඉඩප්රස්ථා තිබුණේය.” (හෙබ්‍රෙව් 11:15) එහෙත්, ඔවුන් නැවත හැරී ගියේ නැහැ. දුෂ්කරතාවලින් අධෛර්යය නොවී, ඔවුන් යෙහෝවා කැමති වූ තැන නැවතී සිටියා.
අදදින විඳදරාගැනීම
16, 17. (අ) අදදින බොහෝ ක්‍රිස්තියානීන් මුහුණ දෙන්නේ කුමන දුෂ්කරතාවලටද? (ආ) ක්‍රිස්තියානීන්ට තිබෙන්නේ කුමන ඒකාන්ත ආකල්පයද? ඒ මන්ද?
16 අදදින ක්‍රිස්තියානීන් තුළ එවැනිම විඳදරාගැනීමක් දකින්න තිබෙනවා. දෙවිට සේවය කිරීමෙන් ඔවුන් ඉමහත් ප්‍රීතියක් අද්දැක්කත්, මේ අන්තිම දවස්වල ජීවත් වීම සැබෑ ක්‍රිස්තියානීන්ට ලෙහෙසි පහසු දෙයක් නොවෙයි. ආත්මික පාරාදීසයක ජීවත් වුණත්, ඔවුන් තම අසල්වාසීන් විඳින ආර්ථික පීඩනයන්ම විඳිනවා. (යෙසායා 11:6-9) බොහෝදෙනෙක් ජාතීන්ගේ යුද්ධවල අහිංසක ගොදුරු බවට පත් වී තිබෙනවා. සමහරු අන්ත දුගී තත්වයකට වැටී තිබෙන අතර, එසේ වී ඇත්තේ ඔවුන්ගේම වරදකින් නොවෙයි. ඊට අමතරව, අප්‍රසිද්ධ සුළු පිරිසක් වශයෙන් සිටින ඔවුන්ට, අද්දකින්න සිදු වන ගැටලුද විඳදරාගැනීමට සිදු වෙනවා. බොහෝ රටවල ඔවුන් දැඩි උදාසීනභාවය මධ්‍යයෙහි ශුභාරංචිය දේශනා කරනවා. වෙනත් රටවල ‘අයුතු නීතියෙන් නපුරට මඟ පාදන’ හා ‘නිදොස් තැනැත්තා රහසිගතව වරදට පත් කරන’ අයගේ මුළා කරවන ප්‍රහාර ඔවුන් අද්දකිනවා. (ගීතාවලිය 94:20, 21) නමුත් ඇතැම් රටවල ක්‍රිස්තියානීන් ප්‍රහාරයට ලක් වන්නේ නැහැ. ඔවුන් උසස් ප්‍රමිති රකින නිසා පැසසුමටත් ලක් වී තිබෙනවා. කෙසේවෙතත් එවැනි රටවල පවා ඔවුන් තම පාසැල් මිතුරන් හා සේවා මිතුරන්ගෙන් වෙනස්ව සිටීමේ අවශ්‍යතාව ගැන සාවධානව සිටිනවා. මෙසේ, තම අවට ජනයාගෙන් වැඩිදෙනෙක් නගරවල වෙසෙද්දී කූඩාරම්වල වාසය කළ ආබ්‍රහම්ට ඔවුන් සමාන වෙනවා. ඔව්, ලෝකයේ ජීවත් වෙන අතරේදීම එහි “කොටසක් නොවී” සිටීම පහසු නැහැ.—යොහන් 17:14, NW.
17 එසේනම්, දෙවිට කැපවීම සම්බන්ධයෙන් අප පසුතැවෙනවාද? අනිත් සියලුදෙනා සිටිනවා වගේම අපත් ලෝකයේ කොටසක්ව සිටියා නම් කියා අප සිතනවාද? යෙහෝවාගේ සේවය සඳහා අප කළ පරිත්‍යාගයන් ගැන අපි දුක් වෙනවාද? කොහෙත්ම නැහැ! ආශාවෙන් ඒවා දෙස ආපසු හැරී බලනවා වෙනුවට, දැන් භුක්ති විඳින හා අනාගතයේදී භුක්ති විඳීමට තිබෙන ආශීර්වාද සමඟ අප පරිත්‍යාග කර තිබෙන ඕනෑම දෙයක් සසඳා බලන විට ඒවා ඇත්තටම වටින්නේ නැති බව අප වටහාගන්නවා. (ලූක් 9:62; පිලිප්පි 3:8) ඇරත්, ලෝකයේ සිටින ජනයා ඇත්තටම සතුටෙන්ද ඉන්නේ? ඇත්ත තත්වය නම්, දැනටමත් ප්‍රශ්නවලට අපට ලැබී තිබෙන උත්තර ඔවුන්ගෙන් වැඩිදෙනෙක් තවමත් සොයමින් සිටීමයි. ඔවුන් දුක් විඳින්නේ, දෙවි බයිබලයෙහි අපට සපයා තිබෙන උපදෙස් අප අනුගමනය කරන නමුත් ඔවුන් එසේ නොකරන නිසයි. (ගීතාවලිය 119:105) එමෙන්ම ඔවුන්ගෙන් බොහෝදෙනෙක්, අප සෙසු ඇදහිලිවන්තයන් සමඟ භුක්ති විඳිනවා හා සමාන ක්‍රිස්තියානි මිත්‍රත්වයක් හා ආනන්දජනක ඇසුරක් ලැබීමට ආශාවෙන් සිටිනවා.—ගීතාවලිය 133:1; කොලොස්සි 3:14.
18. ක්‍රිස්තියානීන් ආබ්‍රහම් මෙන් නිර්භීතකමක් පෙන්වන විට අවසාන ප්‍රතිඵලය කුමක්ද?
18 ලොත්ව අල්ලාගත් අය පසුපස හඹා ගිය අවස්ථාවේදී ආබ්‍රහම් නිර්භීත වුණාක් මෙන්, අපත් සමහර අවස්ථාවලදී නිර්භීතව සිටිය යුතු බව සත්‍යයයි. අප එසේ සිටින විට, අවසාන ප්‍රතිඵලවලට යෙහෝවා ආශීර්වාද කරනවා. උදාහරණයක් වශයෙන්, නිකායික ප්රචණ්ඩත්වයේ ප්‍රතිඵලයක් වශයෙන් උතුරු අයර්ලන්තය වෛරයෙන් ගිලී තිබෙන නිසා, මධ්‍යස්ථව සිටීමට නිර්භීතකම අවශ්‍යයි. එනමුත් ඇදහිලිවන්ත ක්‍රිස්තියානීන් යෝෂුවාට දුන් යෙහෝවාගේ මෙම වචන අනුගමනය කර තිබෙනවා: “ශක්තිමත්ව ධෛර්යවත්ව සිටින්න; තැතිනොගන්න, නොකැලඹෙන්න. මක්නිසාද නුඹ යන සෑම තැන්හිම නුඹේ දෙවිවූ [යෙහෝවා] නුඹ සමග [සිටින්නේය].” (යෝෂුවා 1:9; ගීතාවලිය 27:14) වසර ගණනාවක් පුරා ඔවුන්ගේ අභීත ස්ථාවරය ඔවුන්ට ගෞරවය ගෙන දී ඇති අතර, අදදින ඒ රටේ සෑම ප්රජාවකටම නිදහසේ දේශනා කරන්න ඔවුන්ට හැකියි.
19. ක්‍රිස්තියානීන් සිටීමට කැමති වන්නේ කොතැනකද? එමෙන්ම ඔවුන් යෙහෝවාගේ මඟ පෙන්වීම අනුගමනය කරන විට ඔවුන් ස්ථිර විශ්වාසයකින් අපේක්ෂා කරන්නේ කුමන ප්‍රතිඵලයද?
19 අප මොන තත්වයකට මුහුණ දුන්නත්, යෙහෝවාගේ මඟ පෙන්වීම අනුගමනය කරනවා නම්, අවසාන ප්‍රතිඵලය වනු ඇත්තේ ඔහුට මහිමය ගෙන ඒමත්, අපට දිගු-කාලීන ප්‍රයෝජන ලැබීමත් බව අප කිසිදා සැක නොකළ යුතුයි. අභියෝගවලට මුහුණ දීමට හා පරිත්‍යාග කිරීමට සිදු වුවත්, යෙහෝවාගේ සේවයෙහි නිරත වීම තරම් හොඳ දෙයක් අපට නැහැ; එම සේවයේදී අපේ ක්‍රිස්තියානි සහෝදරයන් සමඟ ඇසුර භුක්ති විඳීමටත්, දෙවි පොරොන්දු වී තිබෙන සදාකාල අනාගතය දෙස ස්ථිර විශ්වාසයකින් බලා සිටීමටත් අපට හැකියාව ලැබෙනවා.
[පාදසටහන්වල]
a ලොත්ගේ පියා, එනම් ආබ්‍රහම්ගේ සහෝදරයා මියගිය විට ආබ්‍රහම් තම බෑනා වූ ලොත්ව හදාගන්න ගත්තා විය හැකියි.—උත්පත්ති 11:27, 28; 12:5.
b රජවරුන් සතරදෙනෙකුගේ ග්‍රහණයට අසු වුණායින් පසුව වැඩි සුරක්ෂිතභාවයක් ලබාගැනීම සඳහා ලොත් නගරයක පදිංචි වූ බව සමහරු ප්‍රකාශ කර තිබෙනවා.
ඔබට මතකද?
◻ ශක්තිමත් ඇදහිල්ල අත්‍යවශ්‍ය මන්ද?
◻ තමාට ශක්තිමත් ඇදහිල්ලක් තිබූ බව ආබ්‍රහම් පෙන්වූයේ කෙසේද?
◻ කෙනෙකුගේ ජීවිතයේ වෙනස්කම් කිරීම කැපවීමට සම්බන්ධව තිබෙන්නේ කෙසේද?
◻ කුමන ගැටලුවකට මුහුණ දුන්නත් දෙවිට සේවය කිරීමට අප සතුටු වන්නේ මන්ද?
[7වන පිටුවේ පින්තූර]
පොරොන්දුව උරුම කරගැනීම සඳහා ආබ්‍රහම් තම ජීවිතයේ විශාල වෙනස්කම් කිරීමට කැමැත්තෙන් සිටියා
[9වන පිටුවේ පින්තූර]
යේසුට, තම පැමිණ සිටීමේදී “පොළොවේ ඇදහිල්ල” සම්බ වූ බව සාක්ෂි මගින් පෙන්නුම් කරයි