දෙවිගෙන් ලැබුණු පොතක්
“කිසි අනාගතවාක්‍යයක් මනුෂ්‍ය කැමැත්තෙන් කිසි කලක නොපැමිණියේය. නුමුත් මනුෂ්‍යයෝ [ශුද්ධාත්මය] විසින් පොලඹවනු ලැබ, [දෙවිගෙන්] ලැබූ ලෙස කථාකළෝය.”—2 පේතෘස් 1:21.
1, 2. (අ) බයිබලය නූතන ජීවිතයට අදාළ වෙනවාද නැද්ද යන්න ගැන සමහරුන් ප්‍රශ්න කරන්නේ ඇයි? (ආ) බයිබලය දෙවිගෙන් ලැබුණු බව සනාථ කිරීම සඳහා අපිට කුමන සාක්ෂි තුන යොදාගත හැකිද?
බයිබලය, විසිඑක්වන සියවසේ එළිපත්තේ ජීවත් වන මිනිසුන්ට අදාළ වෙනවාද? නැහැ කියා සමහරුන් සිතනවා. “අද රසායනික විද්‍යා පංතියක ඉගැන්වීම සඳහා 1924දී ලියූ රසායනික විද්‍යා පාඩම් පොතක තියෙන තොරතුරු කිසිම කෙනෙක් යොදාගන්නේ නැහැ; එදා සිට රසායනික විද්‍යාව ගැන බොහෝ දේවල් ඉගෙනගෙන තියෙනවා” කියා වෛද්‍ය ඊලයි එස්. චෙසන්, බයිබලය යල්පැන ගිය පොතක් ලෙස තමාට හැඟීයෑමට හේතු පැහැදිලි කරමින් ලිව්වා. මතු පිටින් බැලූ විට මේ තර්කය බුද්ධිමත් එකක් මෙන් පෙනෙනවා. මොකද බයිබල් කාලයේ සිට මිනිසා විද්‍යාව, මානසික සෞඛ්‍යය හා මිනිස් චර්යාව ගැන බොහෝ දේවල් ඉගෙනගෙන තිබෙනවා. එනිසා සමහරුන් මෙසේ කල්පනා කරනවා: ‘මෙතරම් පැරණි පොතක විද්‍යාත්මකව වැරදි තොරතුරු නොතිබෙන්න පුළුවන් කොහොමද? නූතන ජීවිතයට ප්‍රායෝගික වන උපදෙස් එහි අඩංගු විය හැක්කේ කොහොමද?’
2 බයිබලයම එයට උත්තර දෙනවා. දෙවන පේතෘස් 1:21 අපට පවසන්නේ, බයිබල් අනාගතවක්තෘවරුන් ‘ශුද්ධාත්මය විසින් පොලඹවනු ලැබ, දෙවිගෙන් ලැබූ ලෙස කතා කළ’ බවයි. මේ අනුව බයිබලය පෙන්වා දෙන්නේ එය දෙවිගෙන් ලැබූ පොතක් බවයි. කොහොම වුණත්, එය එසේ වන බව අනිත් අයට ඒත්තුගන්වන්න අපිට පුළුවන් වන්නේ කොහොමද? බයිබලය දෙවිගේ වචනය බව තහවුරු කරන සාක්ෂි තුනක් අපි සලකා බලමු: (1) එය විද්‍යාත්මකව නිවැරදියි, (2) නූතන ජීවිතයට ප්‍රායෝගික වන සදාකාලික ප්‍රතිපත්ති එහි අඩංගු වෙනවා, (3) ඓතිහාසිකමය සැබෑ කරුණු මගින් සනාථ වූ ඉටු වී තිබෙන නිශ්චිත අනාවැකි එහි අඩංගු වෙනවා.
විද්‍යාව හා එකඟ වන පොතක්
3. විද්‍යාත්මක සොයාගැනීම් බයිබලයට තර්ජනයක් වී නැත්තේ ඇයි?
3 බයිබලය විද්‍යාත්මක තොරතුරු ඇතුළත් පාඩම් පොතක් නොවෙයි. කොහොම වුණත්, එය සත්‍ය තොරතුරු ඇතුළත් පොතක් වන අතර, කාලය නමැති පරීක්ෂණය හමුවෙහි නොසැලී සිටින්න සත්‍යයට පුළුවන්. (යොහන් 17:18අ) විද්‍යාත්මක සොයාගැනීම් බයිබලයට තර්ජනයක් වී නැහැ. එය විද්‍යාව හා සම්බන්ධ කාරණා ගැන කතා කරද්දී, මිථ්‍යාවන් බව සනාථ වී තිබෙන පුරාණ “විද්‍යාත්මක” කල්පිතයන්ගෙන් සම්පූර්ණයෙන්ම නිදහස්. ඇත්තෙන්ම එහි විද්‍යාත්මකව නිවැරදි ප්‍රකාශයන් පමණක් නොව, නමුත් ඒ කාලයේ පිළිගත් මතවලට සම්පූර්ණයෙන්ම පටහැනි ප්‍රකාශයන්ද තිබෙනවා. උදාහරණයක් හැටියට, බයිබලය සහ වෛද්‍ය විද්‍යාව අතර තිබෙන එකඟත්වය සලකා බලන්න.
4, 5. (අ) පුරාණයේ විසූ වෙදුන් ලෙඩ රෝග සම්බන්ධයෙන් අවබෝධ කරගෙන නොසිටියේ මොනවාද? (ආ) මිසරයේ විසූ වෙදුන්ගේ වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම ගැන මෝසෙස් හොඳින් දැනසිටි බවට නිසැක විය හැක්කේ ඇයි?
4 පුරාණයේ සිටි වෙදුන් රෝග පැතිරෙන ආකාරය සම්පූර්ණයෙන්ම දැනගෙන සිටියේ නැහැ; ඒ වගේම රෝග වැළැක්වීමේදී සනීපාරක්ෂාවේ තිබෙන වැදගත්කමද ඔවුන් තේරුම්ගෙන සිටියේ නැහැ. නවීන ප්‍රමිති අනුව බලන කල, පුරාණ කාලයේ තිබූ ප්‍රතිකාර බොහොමයක් ම්ලේච්ඡ ඒවා මෙන් පෙනෙන්න පුළුවන්. පැරණිතම වෛද්‍ය පාඩම් පොත්වලින් දැනට තිබෙන එකක් වන්නේ එබ’ස් පැපිරස් කියන ලියවිල්ලයි; එය පො.යු.පෙර 1550 පමණ කාලය දක්වා දිවයන මිසරයේ වෛද්‍ය දැනුමේ එකතුවක්. “කිඹුලෙක් සපා කෑමේ සිට පාදයේ ඇඟිල්ලක නියපොත්තේ වේදනා දක්වා” විවිධාකාර වේදනාකාරි තත්වයන් සඳහා ප්‍රතිකාර ක්‍රම 700ක් එහි අඩංගු වෙනවා. ප්‍රතිකාරවලින් වැඩි ප්‍රමාණයක් ඵලදායක නොවූ අතර, සමහර ඒවා ඉතාමත් අනතුරුදායක වුණා. තුවාලයකට ප්‍රතිකාර කිරීමේදී, මිනිස් අසූචි වෙනත් ද්‍රව්‍යයන් සමඟ මිශ්‍ර කර සාදාගත් තලපයක් ආලේප කිරීම නිර්දේශ කළා.
5 මිසරයේ වෛද්‍ය ප්‍රතිකාර අඩංගු වන මේ ලියවිල්ල ලියනු ලැබුවේ, මෝසෙස්ගේ ව්‍යවස්ථාව ඇතුළත් බයිබලයේ මුල් පොත් ලියූ කාලයේදී පමණය. පොදු යුගයට පෙර 1593දී උපත ලැබූ මෝසෙස් හැදී වැඩුණේ මිසරයේයි. (නික්මයාම 2:1-10) ඵාරාවෝගේ ගෙවැසියන් සමඟ හැදී වැඩුණු මෝසෙස්ව “මිසරයන්ගේ සකල ශාස්ත්‍රයන්හි පුහුණුකරනු” ලැබුවා. (ක්‍රියා 7:22) ඔහු මිසරයේ ‘වෙදුන්ව’ හොඳින් දැනහඳුනාගෙන සිටියා. (උත්පත්ති 50:1-3) ඔවුන්ගේ ඵලදායී නොවූ නැතහොත් අනතුරුදායක වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම ඔහුගේ ලේඛනවලට බලපෑමක් වුණාද?
6. නූතන වෛද්‍ය විද්‍යාව මගින් හොඳ හේතුවලින් යුක්තයයි සලකනු ලබන්නේ මෝසෙස්ගේ ව්‍යවස්ථාව මගින් පනවා තිබූ කිනම් සනීපාරක්ෂක නියමයන්ද?
6 ඊට වෙනස්ව, හොඳ හේතුවලින් යුක්තයයි නවීන වෛද්‍ය විද්‍යාව මගින් සලකනු ලබන සනීපාරක්ෂක නියමයන් මෝසෙස්ගේ ව්‍යවස්ථාවේ ඇතුළත් වුණා. උදාහරණයක් හැටියට, අසූචි කඳවුරෙන් පිටත වළලා දැමිය යුතු බව හමුදා කඳවුරු තැනීම හා සම්බන්ධ නීතියක් මගින් නියම කළා. (ද්විතීය කථාව 23:13) මෙය බෙහෙවින් දියුණු, රෝග වැළැක්වීමේ ක්‍රමයක් වුණා. ජලය ලබාගන්න මූලාශ්‍ර අපවිත්‍ර වීම එමගින් වැළකුණු අතර, අදත් වැඩි වශයෙන් දියුණු වෙමින් පවතින රටවල සෑම අවුරුද්දකම දශලක්ෂ ගණනකට මරු කැඳවන මැස්සන්ගෙන් බෝවෙන ෂිගෙල්ලෝසිස් හා වෙනත් පාචන රෝගවලින් ආරක්ෂා කළා.
7. බෝවෙන රෝග පැතිරීම වැළැක්වීමට උපකාරවත් වූයේ මෝසෙස්ගේ ව්‍යවස්ථාවේ කිනම් සනීපාරක්ෂක නියමයන්ද?
7 බෝවෙන රෝග පැතිරීම වැළැක්වීමට උපකාරවත් වූ තවත් සනීපාරක්ෂක නියමයන් මෝසෙස්ගේ ව්‍යවස්ථාවේ අඩංගු වුණා. බෝවෙන රෝගයක් වැළඳී තිබූ හෝ වැළඳී තිබෙන බවට සැක කළ පුද්ගලයෙකුව වෙන් කර තැබුවා. (ලෙවී කථාව 13:1-5) (සමහරවිට ලෙඩ වී) මියගිය සතෙකුගේ මළකඳකට ස්පර්ශ වූ ඇඳුම් හෝ භාජන නැවත භාවිතයට ගැනීමට කලින් සේදිය යුතුව තිබුණා නැත්නම් විනාශ කර දැමිය යුතුව තිබුණා. (ලෙවී කථාව 11:27, 28, 32, 33) මළ සිරුරක් ස්පර්ශ කළ ඕනෑම කෙනෙකුව අපවිත්‍ර ලෙස සලකනු ලැබූ අතර, ඔහුගේ ඇඳුම් සෝදාගැනීම හා ස්නානය කිරීම ඇතුළු පවිත්‍ර වීමේ ක්‍රියාපිළිවෙළකට යටත් වෙන්න සිදු වුණා. අපවිත්‍රව සිටීමේ දවස් හතක කාලපරිච්ඡේදයේදී, ඔහු අනිත් අයව කායිකව ස්පර්ශ කිරීමෙන් වැළකී සිටිය යුතුව තිබුණා.—ගණන් කථාව 19:1-13.
8, 9. මෝසෙස්ගේ ව්‍යවස්ථාවේ අන්තර්ගත සනීපාරක්ෂාව පිළිබඳ නීති සංග්‍රහය, ඒ කාලය හා බලන කල ඉතාමත් උසස් මට්ටමක තිබුණා කියා පවසන්න පුළුවන් ඇයි?
8 ඒ කාලය හා බලන කල මෙම නීති පද්ධතිය මගින් උසස් ප්‍රඥාවක් හෙළි කරනවා. රෝග පැතිරීම හා වැළැක්වීම සම්බන්ධයෙන් නූතන වෛද්‍ය විද්‍යාව බොහෝ දේවල් ඉගෙනගෙන තිබෙනවා. උදාහරණයක් හැටියට, 19වන සියවසේ ඇති වූ වෛද්‍ය විද්‍යාවේ දියුණුව මගින් විෂ බීජ නාශක—ආසාදිත වීම් අඩු කිරීම සඳහා පවිත්‍රව සිටීම—හඳුන්වා දුන්නා. එහි ප්‍රතිඵලය වූයේ ආසාදිත වීම් හා අකල් මරණ ප්‍රමාණය සැලකිය යුතු ප්‍රමාණයකින් අඩුවීමයි. වර්ෂ 1900දී, යුරෝපීය රටවල් බොහොමයක හා එක්සත් ජනපදයේ, උපතේදී ආයු අපේක්ෂාව අවුරුදු 50කටත් වඩා අඩු මට්ටමක පැවතුණා. එතැන් සිට, එය විස්මයජනක ලෙස වැඩි වී තිබෙන්නේ රෝග මර්දනය කිරීමේදී ලබා තිබෙන වෛද්‍ය ප්‍රගතිය නිසාම නොව, නමුත් වඩා හොඳ සනීපාරක්ෂාව හා ජීවන තත්වයන් නිසයි.
9 ඒත්, රෝග පැතිරෙන ආකාරය ගැන වෛද්‍ය විද්‍යාව මගින් දැනගැනීමට අවුරුදු දහස්ගණනකට කලින් බයිබලය රෝගවලින් ආරක්ෂා වීමේ හොඳ හේතුවලින් යුත් ක්‍රම නිර්දේශ කළා. තමා ජීවත් වෙමින් සිටි කාලයේ ආයු කාලය අවුරුදු 70ක් හෝ 80ක් කියා ඉශ්‍රායෙල්වරුන්ට පැවසීමට මෝසෙස්ට හැකිවීම පුදුමයක් නොවෙයි. (ගීතාවලිය 90:10) එවැනි සනීපාරක්ෂක නියමයන් දැනගැනීමට මෝසෙස්ට හැකි වුණේ කොහොමද? බයිබලයම මෙසේ පැහැදිලි කරනවා: ව්‍යවස්ථා සංග්‍රහය “දෙනු ලැබුවේ දේවදූතයන් කරණකොටගෙනය.” (ගලාති 3:19, NW) ඔව්, බයිබලය මිනිස් ප්‍රඥාවෙන් ලියවුණු පොතක් නොවෙයි; එය දෙවිගෙන් ලැබුණු පොතක්.
නූතන ජීවිතය සඳහා ප්‍රායෝගික පොතක්
10. බයිබලය ලිවීම මීට අවුරුදු 2,000කට කලින් සම්පූර්ණ කරනු ලැබුවත්, එහි අඩංගු උපදෙස් සම්බන්ධයෙන් සැබෑ වන්නේ කුමක්ද?
10 උපදෙස් ලබා දෙන පොත් පත් යල්පැනීමට හා වැඩි කලක් යන්න කලින් සංශෝධනය කිරීමට හෝ ඒ වෙනුවට තව එකක් ලිවීමේ නැඹුරුවාවක් දක්වනවා. ඒත් බයිබලය සැබවින්ම අද්විතීය පොතක්. “ඔබගේ සිහිගැන්වීම් ඉතාමත් විශ්වාසකටයුතු බව ඔප්පු වී තිබේ” කියා ගීතාවලිය 93:5හි [NW] පැවසෙනවා. බයිබලය මීට අවුරුදු 2,000කට ඉහතදී සම්පූර්ණ කරනු ලැබුවත් එහි අඩංගු වන වචන තවමත් අදාළව පවතිනවා. ඒ වගේම අපේ සමේ පාට නැත්නම් අපි ජීවත් වන රට මොකක් වුණත් එහි අඩංගු වන වචන එක හා සමානව බලපෑමකින් යුතුව අදාළ වෙනවා. බයිබලයේ අඩංගු වන “ඉතාමත් විශ්වාසකටයුතු” සදාකාලික උපදෙස් පිළිබඳ උදාහරණ කිහිපයක් සලකා බලන්න.
11. දශක කිහිපයකට කලින්, දරුවන්ව හික්මවීම සම්බන්ධයෙන් දෙමාපියන් බොහෝදෙනෙක් විශ්වාස කරන්න යෙදුණේ කුමක්ද?
11 දශක කිහිපයකට පෙර බොහෝ දෙමාපියන් දරුවන් පුහුණු කිරීම හා සම්බන්ධ “නවීන පන්නයේ අදහස්වල” පෙලඹවීම යටතේ “තහනම් කිරීම් තහනම් දෙයක්” කියා සිතුවා. දරුවන්ට සීමා පැනවීමෙන් ඔවුන්ගේ සිතේ කම්පනය හා කනස්සල්ල ඇති වෙයි කියා ඔවුන් බිය වුණා. දෙමාපියන් තමන්ගේ දරුවන්ට ඉතාමත් සුළු නිවැරදි කිරීමක් කරනවා හැර වෙනත් දෙයක් කිරීමෙන් වැළකී සිටිය යුතු බව හොඳ චේතනාවකින් කටයුතු කළ උපදේශකයන් තරයේ කියා සිටියා. එවැනි විශේෂඥයන් බොහෝදෙනෙක් දැන් “තරයේ කියා සිටින්නේ, දරුවන්ව පාලනය කිරීම නැවතත් තම අතට ගැනීම සඳහා දෙමාපියන් තරමක් දැඩි විය යුතු බවයි” කියා ද නියූ යෝක් ටයිම්ස් වාර්තා කරනවා.
12. ‘හික්මවීම’ යනුවෙන් පරිවර්තනය කර තිබෙන ග්‍රීක් නාමපදයෙන් අදහස් වන්නේ කුමක්ද? එමෙන්ම දරුවන්ට එවැනි හික්මවීමක් අවශ්‍ය වන්නේ මන්ද?
12 කොහොම වුණත්, දරුවන්ව පුහුණු කිරීම හා සම්බන්ධ විෂය ගැන නිශ්චිත හා සමබර උපදෙස් බයිබලය පුරාම සපයා තිබෙනවා. එහි මෙසේ දැනමුතුකම් දෙනවා: “පියවරුනි, නුඹලාගේ දරුවන්ට කෝප නූපදවා, [යෙහෝවාගේ] හික්මවීමෙන්ද අවවාදයෙන්ද ඔවුන් ඇතිකරන්න.” (එපීස 6:4) ‘හික්මවීම’ ලෙස පරිවර්තනය කර තිබෙන ග්‍රීක් නාමපදයෙන් අදහස් කරන්නේ, “ඇති දැඩි කිරීම, පුහුණු කිරීම, උපදෙස් දීම” යනාදියයි. එවැනි හික්මවීම හෝ උපදෙස් දීම දෙමාපියන්ගේ ප්‍රේමයේ සාක්ෂියක් බව බයිබලය පවසනවා. (හිතෝපදේශ 13:24) හරි දෙය සහ වැරදි දෙය පිළිබඳ පුළුල් අවබෝධයක් ලබාගැනීමට ඔවුන්ට උපකාරවත් වන සදාචාරය හා සම්බන්ධ පැහැදිලි මාර්ගදර්ශකවල මඟ පෙන්වීම යටතේ දරුවන් සඵල වෙනවා. සුරක්ෂිතභාවයේ හැඟීමක් ඇති කරගැනීම සඳහා මනා පාලනයකින් යුතුව දෙන හික්මවීම ඔවුන්ට උපකාරවත් වෙනවා; තමන්ගේ දෙමාපියන් තමන් ගැනත් තමන් මොන වගේ පුද්ගලයන් වෙනවාද යන්න ගැනත් සැලකිල්ල දක්වන බව එය ඔවුන්ට කියා දෙනවා.—හිතෝපදේශ 4:10-13 සසඳන්න.
13. (අ) හික්මවීම හා සම්බන්ධ කාරණයේදී, බයිබලය කිනම් අවවාද සපයයිද? (ආ) බයිබලය නිර්දේශ කරන්නේ කිනම් ආකාරයේ හික්මවීමක්ද?
13 ඒත්, හික්මවීම හා සම්බන්ධ මේ කාරණයේදී බයිබලය දෙමාපියන්ට අනතුරු ඇඟවීමක් කරනවා. දෙමාපිය අධිකාරිය කවදාවත් අයුතු ලෙස පාවිච්චි නොකළ යුතුයි. (හිතෝපදේශ 22:15) කවදාවත් කිසිම දරුවෙකුට කුරිරු ලෙස දඬුවම් නොකළ යුතුයි. බයිබලයට එකඟව ජීවත් වන පවුල් තුළ ශාරීරික හිංසාවට කිසිම තැනක් නැහැ. (ගීතාවලිය 11:5) දරුවෙකුගේ චෛතසික ස්වභාවය බිඳ දැමිය හැකි පරුෂ වචන, නිරතුරුව එල්ල වන විවේචන හා වේදනාකාරි ඇනුම් පද යන සියල්ල මගින් සිදු කරන චිත්තවේගීය හිංසාවටද කිසිම ඉඩක් නැහැ. (හිතෝපදේශ 12:18 සසඳන්න.) බයිබලය නැණවත් ලෙස දෙමාපියන්ට මෙසේ දැනමුතුකම් දෙනවා: “පියවරුනි, නුඹලාගේ දරුවන් කල නොකිරෙන පිණිස [නැතහොත්, “ඔවුන් තුළ තිබෙන ධෛර්යය සම්පූර්ණයෙන්ම ඉවත් නොකරන පිණිස,” ෆිලිප්ස්] ඔවුන් කෝප නොකරන්න. (කොලොස්සි 3:21) බයිබලය වැළැක්වීමේ ක්‍රම නිර්දේශ කරනවා. තම දරුවන් තුළ සදාචාරාත්මක හා ආත්මික සාරධර්ම පැලපදියම් කිරීම සඳහා විවේකීව සිටින අවස්ථාවලින් ප්‍රයෝජන ගන්න කියා ද්විතීය කථාව 11:19 දෙමාපියන්ගෙන් උදක්ම ඉල්ලා සිටිනවා. දරුවන් ඇති දැඩි කිරීම හා සම්බන්ධ එවන් පැහැදිලි හා සාධාරණ උපදෙස් බයිබල් කාලවලදී මෙන්ම අද කාලයටත් අදාළ වෙනවා.
14, 15. (අ) හුදෙක් නැණවත් උපදෙස්වලට වඩා බයිබලය තවත් දේවල් සපයන්නේ කිනම් ආකාරවලින්ද? (ආ) එකිනෙකා සමාන අය හැටියට සැලකීමට විවිධ වාර්ගික හා ජාතීන්ට අයත් පුරුෂයන්ට හා ස්ත්‍රීන්ට උපකාරවත් වන්නේ කිනම් බයිබල් ඉගැන්වීම්ද?
14 බයිබලය හුදෙක් නැණවත් උපදෙස්වලට වඩා වැඩි යමක් සපයනවා. එහි අඩංගු වන පණිවිඩය හදවතට කාවදිනවා. හෙබ්‍රෙව් 4:12 මෙසේ පවසනවා: “[දෙවිගේ] වචනය ජීවමානය, බලවත්ය, කොයිම දෙමුහත් කඩුවකටවත් වඩා තියුණුය, ප්‍රාණය හා ආත්මයද සන්ධි හා ඇට මිදුළුද වෙන්කරන තරමට කාවදින්නේය, සිතේ සිතිවිලිද අදහස්ද විමසන්නේය.” බයිබලයේ පොලඹවනසුලු බලය පිළිබඳ උදාහරණයක් සලකා බලන්න.
15 අද ජීවත් වෙන මිනිස්සුන් වාර්ගික, ජාතික සහ මානවවාංශික වැට කඩොලුවලින් වෙන් වී සිටිනවා. ලොව පුරා සිදු වන යුද්ධවලින් අහිංසක මිනිසුන්ව බුරුතු පිටින් ඝාතනය කිරීමට මිනිසුන් විසින් ඇති කර තිබෙන එවැනි බාධා හේතු වී තිබෙනවා. අනිත් අතට, විවිධ වාර්ගික හා ජාතීන්ට අයත් පුරුෂයන් හා ස්ත්‍රීන් එකිනෙකාව සමානත්වයෙන් සැලකීමට උපකාර කරන ඉගැන්වීම් බයිබලයේ අඩංගු වෙනවා. උදාහරණයක් හැටියට, දෙවි ‘සියලු මනුෂ්‍ය ජාතීන් එක් කෙනෙකුගෙන් මැව්වා’ කියා ක්‍රියා 17:26හි පවසනවා. මෙයින් පැහැදිලි වන්නේ, ඇත්තෙන්ම ඇත්තේ එක වර්ගයක් පමණක් බවයි; ඒ මනුෂ්‍යවර්ගයයි! “[දෙවි] අනුව යන්නෝ වෙන්න” කියා බයිබලය තවදුරටත් අපව දිරිගන්වනවා; එහි දෙවි ගැන මෙසේ පවසනවා: ‘දෙවි මනුෂ්‍යයන්ගේ තරාතිරම් නොබලන කෙනෙක්ය. සියලු ජාතීන් අතරේ ඔහු කෙරෙහි භය ඇතුව ධර්මිෂ්ඨකම් කරන තැනැත්තේ ඔහුට ප්‍රසන්නය.’ (එපීස 5:1; ක්‍රියා 10:34, 35) බයිබලයේ සඳහන් ඉගැන්වීම් අනුව ජීවත් වීමට සැබවින්ම වෑයම් කරන අයට මේ දැනුම එක්සත් කරවන බලපෑමක් වී තිබෙනවා. එය මිනිසා විසින් ඇති කර තිබෙන මිනිසුන්ව බෙදා වෙන් කරන වැට කඩොලු කඩා බිඳ දමමින් ගැඹුරුම මට්ටමකට, එනම් හදවතටම බලපානවා. ඇත්තෙන්ම එය අදදින ලෝකය තුළ බලපෑමක් කරනවාද?
16. යෙහෝවාගේ සාක්ෂිකරුවන් අතර සැබෑ ජාත්‍යන්තර සහෝදරත්වයක් තිබෙන බව පෙන්වන අද්දැකීමක් සඳහන් කරන්න.
16 ඇත්තෙන්ම එය එසේ කරනවා! යෙහෝවාගේ සාක්ෂිකරුවන් ඔවුන්ගේ ජාත්‍යන්තර සහෝදරත්වය සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් උසුලනවා; සාමාන්‍යයෙන් එකිනෙකා සමඟ සාමකාමී ලෙස කටයුතු නොකරන විවිධ පසුබිම්වල සිටින ජනයාව එමගින් එක්සත් කරවනවා. උදාහරණයක් හැටියට රුවන්ඩාවේ වාර්ගික අරගලය පැවති කාලයේදී, එක් එක් ගෝත්‍රයට අයත් යෙහෝවාගේ සාක්ෂිකරුවන් තමන්ගේ ජීවිත පරදුවට තබමින් අනිත් ගෝත්‍රයේ සිටින තමන්ගේ ක්‍රිස්තියානි සහෝදර සහෝදරියන්ව ආරක්ෂා කළා. එක් අවස්ථාවකදී, හුටු සාක්ෂිකරුවෙක් තමාගේ සභාවේ සිටි හයදෙනෙකුගෙන් යුත් ටුට්සි පවුලක් තමාගේ නිවසේ සඟවාගෙන සිටියා. පසුව මේ ටුට්සි පවුලව සොයාගෙන මරා දැමීම කනගාටුවට කරුණක්. ඒ අවස්ථාවේදී හුටු සහෝදරයා සහ ඔහුගේ පවුලේ අය ඝාතකයන්ගේ මහත් කෝපයට ලක් වූ අතර, ඔවුන්ට ටැන්සානියාවට පලායෑමට සිදු වුණා. ඒ හා සමාන අද්දැකීම් බොහොමයක් වාර්තා වුණා. බයිබලයේ සඳහන් පණිවිඩයේ තිබෙන පොලඹවනසුලු බලය තමන්ගේ හදවත්වලට ගැඹුරින් කාවැදී තිබෙන නිසා එවන් එක්සත්කමක් ඇති කරගත හැකි දෙයක් බව යෙහෝවාගේ සාක්ෂිකරුවන් එකහෙළා පිළිගන්නවා. වෛරයෙන් පිරුණු මේ ලෝකයේ මිනිසුන්ව එක්සත් කරවන්න බයිබලයට හැකියි යන කාරණය, එය දෙවිගෙන් ලැබුණු පොතක් බවට ප්‍රබල සාක්ෂියක් වෙනවා.
සැබෑ අනාවැකිවලින් යුත් පොතක්
17. බයිබල් අනාවැකි මිනිසා විසින් කරන අනාවැකි හා සමාන නොවන්නේ කොහොමද?
17 “ශුද්ධ ලියවිල්ලේ සඳහන් කිසිම අනාවැකියක් කිසිඳු පෞද්ගලික අර්ථ නිරූපණයකින් හට නොගත්තේය” කියා 2 පේතෘස් 1:19හි [NW] පවසනවා. බයිබල් අනාගතවක්තෘවරු ඒ කාලයේදී ලෝකයේ සිදු වෙමින් පැවති කටයුතුවල ප්‍රවණතාව විග්‍රහ කර බලා, ඉන් අනතුරුව එම වර්ධනයන් පිළිබඳව තමන්ගේ පෞද්ගලික අර්ථ නිරූපණයන් මත පදනම් වූ බුද්ධිමත් අනාවැකි පළ කළේ නැහැ. ඒ වගේම ඔවුන් අනාගතයේදී සිදු විය හැකි ඕනෑම දෙයකට ගැළපෙන විදිහට අපැහැදිලි අනාවැකි පළ කළේ නැහැ. ඉතා විශිෂ්ට ලෙස නිශ්චිත වූද, ඒ කාලයේ ජීවත් වූ මිනිසුන් සිතීමට ඉඩ තිබූ දෙයට විරුද්ධ වන දෙයක් පුරෝකථනය කළ බයිබල් අනාවැකියක් අපි උදාහරණයක් හැටියට සලකා බලමු.
18. පුරාණ බබිලෝනීය වැසියන්ට නිසැකවම දැඩි සුරක්ෂිතබවක් දැනුණේ ඇයි? ඒත්, යෙසායා බබිලෝනිය ගැන පුරෝකථනය කර තිබුණේ කුමක්ද?
18 පොදු යුගයට පෙර සත්වන සියවස වන විට බබිලෝනිය, බබිලෝනීය අධිරාජ්‍යයේ අපරාජිත ලෙස පෙනෙන්න තිබූ අගනගරයව තිබුණා. මේ නගරය වටා යුප්‍රටීස් ගඟ දෙපැත්තටම විහිදී තිබූ අතර, පළල් හා ගැඹුරු අගල් මෙන්ම ඇළ මාර්ග ජාලයක් තැනීමට ගඟේ ජලය යොදාගත්තා. ආරක්ෂක ටැඹවලින් ශක්තිමත් කර තිබූ විශාල ද්විත්ව පවුරු පද්ධතියක් මගින් නගරය ආරක්ෂා කරනු ලැබුවා. බබිලෝනියේ වැසියන්ට ඉමහත් සුරක්ෂිතකමක් හැඟුණ බවට කිසිම සැකයක් නැහැ. ඒත්, පො.යු.පෙර අටවන සියවසේදී, එනම් බබිලෝනිය එහි තේජසේ හිනිපෙත්තට ළඟා වෙන්න කලින්ම පවා අනාගතවක්තෘ යෙසායා මෙසේ පුරෝකථනය කළා: “බබිලෝනිය [දෙවි] විසින් නාස්තිකළ සොදොමටද ගොමොරාවටද සමානවන්නේය. එහි කවදාවත් වැසියෙක් නොවන්නේය, පරම්පරාවෙන් පරම්පරාවට කිසිවෙක් එහි නොවසන්නේය. අරාබියයා එහි තමාගේ කූඩාරම තබාගන්නේවත් එඬේරු තමුන්ගේ බැටළුවන් එහි ලග්ගවන්නේවත් නැත.” (යෙසායා 13:19, 20) මේ අනාවැකියෙන් බබිලෝනියේ විනාශය පමණක්ම නොව, නමුත් එය සදහටම ජනශුන්‍ය ප්‍රදේශයක් වන බවටත් පුරෝකථනය කළ බව සැලකිල්ලට ගන්න. මේ මොනතරම් එඩිතරකමකින් ප්‍රකාශ කළ අනාවැකියක්ද! යෙසායා ඔහුගේ අනාවැකිය ලිව්වේ, පාළු වූ බබිලෝනිය නිරීක්ෂණය කිරීමෙන් පසුවද? නැත කියා ඉතිහාසය පිළිතුරු දෙනවා.
19. යෙසායාගේ අනාවැකිය පො.යු.පෙර 539 ඔක්තෝබර් 5වනදා සම්පූර්ණයෙන්ම ඉටු වුණේ නැත්තේ ඇයි?
19 බබිලෝනිය පො.යු.පෙර 539 ඔක්තෝබර් 5වනදා රාත්‍රියේදී මහා කෝරෙෂ් යටතේ සිටි මේද-පර්සියානු යුධ හමුදා අතට පත් වුණා. කොහොම වුණත් යෙසායාගේ අනාවැකිය ඒ අවස්ථාවේදී සම්පූර්ණයෙන්ම ඉටු වුණේ නැහැ. කෝරෙෂ්ගේ අතට පත්වීමෙන් පසුව, දුර්වල තත්වයක පැවතුණත් ජනාවාස වූ බබිලෝනියක් සියවස් ගණනාවක් පුරා දිගටම පැවතුණා. පොදු යුගයට පෙර දෙවන සියවසේදී, එනම් යෙසායාගේ මළ මුහුදේ ලියවිලි පිටපත් කළ කාලයේදී, පාතියන්වරු බබිලෝනිය තමන්ගේ පාලනය යටතට ගත්තා; ඒ කාලයේදී එය අවට ජාතීන් සටන් කර ලබාගැනීමට දැඩි ආශාවක් දැක්වූ දෙයක් ලෙස සලකනු ලැබුවා. පොදු යුගයට පෙර පළමු සියවසේදී යුදෙව්වන් “මහත් සංඛ්‍යාවක්” එහි ජීවත් වෙමින් සිටි බව යුදෙව් ඉතිහාසඥ ජොසීෆස් වාර්තා කළා. ද ක්‍රේම්බිජ් ඒන්ෂන්ට් හිස්ටරි පවසන විදිහට, තමාර්හි වෙළඳුන් පො.යු. 24දී බබිලෝනියේ පිහිටි සමෘද්ධිමත් වෙළඳ ජනපදයක් සොයාගත්තා. පොදු යුගයේ තුන්වන සියවසේ අවසන් භාගය වන විටත් බබිලෝනිය සම්පූර්ණයෙන්ම පාළු වී තිබුණේ නැහැ; ඒත් යෙසායාගේ පොත සම්පූර්ණ කර තිබුණේ ඒ කාලයටත් වඩා බොහෝ කලකට පෙරයි.—1 පේතෘස් 5:13.
20. කාලයක් ගතවීමත් සමඟම බබිලෝනිය “ජරාවාස ගොඩවල්” බවට පත් වූ බවට කිනම් සාක්ෂි තිබෙනවාද?
20 බබිලෝනිය ජනශුන්‍ය නගරයක් බවට පත් වෙනවා දැකීමට යෙසායා ජීවත් වුණේ නැහැ. ඒත් අනාවැකිය සැබෑ කරමින් පසුකාලයකදී බබිලෝනිය “ජරාවාස ගොඩවල්” බවට පත් වුණා. (යෙරෙමියා 51:37) (පොදු යුගයේ හතරවන සියවසේ උපත ලැබූ) හෙබ්‍රෙව් විශාරද ජෙරෝම් පවසන පරිදි, ඔහුගේ දවස වන විට, බබිලෝනිය “විවිධ වර්ගයේ සතුන්” ලැග්ග දඩ බිමක්ව තිබුණා; බබිලෝනිය මේ දක්වා පාළුව පවතිනවා. විදේශිකයන්ව ආකර්ෂණය කරගන්න තැනක් බවට බබිලෝනිය නැවත ප්‍රතිසංස්කරණය කළත්, බබිලෝනියෙන් “නාම මාත්‍රයද ඉතිරි අයද” සදහටම නැති වී ගොස් තිබෙනවා.—යෙසායා 14:22.
21. නොවරදිනසුලු නිරවද්‍යතාවකින් අනාගතය ගැන කලින් පැවසීමට විශ්වාසවන්ත අනාගතවක්තෘවරුන්ට හැකියාවක් තිබුණේ ඇයි?
21 අනාගතවක්තෘ යෙසායා බුද්ධිමත් ලෙස අනුමාන කිරීමක් කළේ නැහැ. ඒ වගේම අනාවැකියක් ලෙස පෙන්වීම සඳහා ඔහු ඉතිහාසය යළි ලීවේ නැහැ. යෙසායා සැබෑ අනාගතවක්තෘවරයෙක්. අනෙකුත් විශ්වාසවන්ත බයිබල් අනාගතවක්තෘවරුන් සියලුදෙනාම ඒ හා සමානයි. අනෙකුත් මිනිසුන්ට කළ නොහැකි දෙයක්, එනම් නොවරදිනසුලු නිරවද්‍යතාවකින් අනාගතය කලින් පවසන්න මේ පුරුෂයන්ට හැකිවීමට හේතු වූයේ කුමක්ද? එයට පිළිතුර පැහැදිලියි. අනාවැකි මුලින්ම පිට කළේ අනාවැකිවල දෙවි වන යෙහෝවා, එනම් “අන්තිමය මුල පටන්ද තවම සිද්ධනූණදේ පුරාණයේ පටන්ද [දන්වන තැනැත්තායි].”—යෙසායා 46:10.
22. තමන් විසින්ම බයිබලය පරීක්ෂා කර බැලීමට අවංක හදවත් ඇති අය තුළ පෙලඹීමක් ඇති කිරීම සඳහා අපි අපේ උපරිමය කළ යුත්තේ මන්ද?
22 එහෙමනම් බයිබලය පරීක්ෂා කර බැලීමට වටිනවාද? එය එසේ බව අපි දන්නවා! ඒත් බොහෝදෙනෙක් ඒ බව ඒත්තුගන්නේ නැහැ. ඔවුන් කවදාවත් එය කියවා නැති වෙන්න පුළුවන්; ඒ වුණත් ඔවුන් බයිබලය ගැන විවිධ මත ඇති කරගෙන තිබෙනවා. කලින් ලිපියේ ආරම්භයේදීම සඳහන් කළ මහාචාර්යවරයා ගැන සිතන්න. ඔහු බයිබල් පාඩමක් කරන්න එකඟ වී, බයිබලය පරෙස්සමින් අධ්‍යයනය කළාට පසු, බයිබලය කියන්නේ දෙවිගෙන් ලැබුණු පොතක් කියන නිගමනයට පැමිණියා. කාලයක් ගතවීමත් සමඟම ඔහු යෙහෝවාගේ සාක්ෂිකරුවෙක් හැටියට බව්තීස්ම වුණා; ඒ වගේම අද ඔහු වැඩිමහල්ලෙක් හැටියට සේවය කරනවා! තමන් විසින්ම බයිබලය පරීක්ෂා කර බැලීමෙන් පසුව ඒ ගැන යම් අදහසක් ඇති කරගැනීමට අවංක හදවත් ඇති අය තුළ පෙලඹීමක් ඇති කිරීම සඳහා අපි අපේ උපරිමය කරමු. ඔවුන් කෙළින්ම අවංක පරීක්ෂණයක් කරනවා නම්, මේ අද්විතීය පොත, එනම් බයිබලය සැබවින්ම සියලුම ජනයා සඳහා පොතක් කියා ඔවුන් වටහාගන්න යන බව අපට නිසැකයි.
ඔබට පැහැදිලි කළ හැකිද?
◻ බයිබලය මිනිස් ප්‍රභවයකින් නොවන බව පැහැදිලි කිරීම සඳහා ඔබ මෝසෙස්ගේ ව්‍යවස්ථාව යොදාගන්නේ කොහොමද?
◻ නූතන ජීවිතය සඳහා ප්‍රායෝගික වන්නේ බයිබලයේ සඳහන් කිනම් සදාකාලික ප්‍රතිපත්තිද?
◻ යෙසායා 13:19, 20හි සඳහන් අනාවැකිය, එහි දැක්වෙන සිද්ධිය සිදු වුණාට පසුව ලියා නොතිබෙන්න පුළුවන් වන්නේ ඇයි?
◻ අප අවංක හදවත් ඇති අයව දිරිගැන්විය යුත්තේ කුමක් කිරීමටද? එමෙන්ම එසේ කළ යුත්තේ ඇයි?
[19වන පිටුවේ කොටුව]
ඔප්පු කළ නොහැකි දේවල් ගැන කියන්න පුළුවන් මොනවාද?
ස්වාධීන භෞතික සාක්ෂි නොමැති ප්‍රකාශන බොහොමයක් බයිබලයේ අඩංගු වෙනවා. උදාහරණයක් හැටියට, ආත්ම ජීවීන් වාසය කරන අදෘශ්‍යමාන විෂයක් ගැන එහි පවසන දේවල් විද්‍යාත්මකව ඔප්පු කිරීමට හෝ ඔප්පු නොකිරීමට නොහැකි වේ. එවැනි ඔප්පු කළ නොහැකි යොමු දැක්වීම් මගින් බයිබලය හා විද්‍යාව අතර ගැටීමක් ඇති වෙනවාද?
ග්‍රහයන් පිළිබඳ භූ විද්‍යාඥයෙකු මුහුණ දුන් ප්‍රශ්නය වුණේද එයයි; ඔහු අවුරුදු කිහිපයකට කලින් යෙහෝවාගේ සාක්ෂිකරුවන් සමඟ බයිබලය අධ්‍යයනය කරන්න පටන්ගත්තා. “බයිබලයේ සඳහන් සමහර ප්‍රකාශයන් විද්‍යාත්මකව ඔප්පු කරන්න මට බැරි වුණු හින්දා මුලදී බයිබලය පිළිගන්න එක මට අමාරු දෙයක් වුණා කියා කියන්න ඕනෙ” කියමින් ඔහුගේ මුල්ම හැඟීම් ඔහු සිහිපත් කරනවා. මේ අවංක මිනිසා බයිබලය අධ්‍යයනය කිරීම දිගටම කරගෙන ගිය අතර, එය දෙවිගේ වචනයම වන බව තිබෙන සාක්ෂිවලින් පැහැදිලි වන බව කාලයක් ගතවීමත් සමඟම ඔහු ඒත්තුගත්තා. “ස්වාධීනව බයිබලයේ සඳහන් හැම කරුණක්ම ඔප්පු කරගැනීමට මා තුළ තිබූ අභිලාෂය එයින් ක්‍රමානුකූලව පහ වී ගියා” කියා ඔහු පැහැදිලි කරනවා. “විද්‍යාත්මක කාරණා කෙරෙහි නැඹුරුවාවක් දක්වන පුද්ගලයෙක් ආත්මික දෘෂ්ටිකෝණයකින් බයිබලය පරීක්ෂා කිරීමට කැමති විය යුතුයි, නැත්නම් ඔහුට කවදාවත් සත්‍යය පිළිගන්න ලැබෙන්නේ නැහැ. බයිබලයේ සඳහන් සෑම ප්‍රකාශයකටම සාක්ෂි සැපයීමට විද්‍යාවෙන් බලාපොරොත්තු විය නොහැකියි. ඒත් යම් ප්‍රකාශයන් ඔප්පු කරන්න බැරි වූ පමණින්ම ඒවා අසත්‍යයි කියා අදහස් වෙන්නේ නැහැ. වැදගත් දෙය වන්නේ, බයිබලයේ නිරවද්‍යතාව ඔප්පු කළ හැකි ඕනෑම දෙයක් මගින් තහවුරු වී තිබීමයි.”
[17වන පිටුවේ පින්තූරය]
ඒ කාලය හා බලන කල ඉතාමත් උසස් ආකාරයේ සනීපාරක්ෂක නියමයන් මෝසෙස් වාර්තා කළා