සියලුම ජනයා සඳහා පොතක්
‘දෙවි මනුෂ්‍යයන්ගේ තරාතිරම් නොබලන කෙනෙක්ය. සියලු ජාතීන් අතරේ ඔහු කෙරෙහි භය ඇතුව ධර්මිෂ්ඨකම් කරන තැනැත්තේ ඔහුට ප්‍රසන්නය.’—ක්‍රියා 10:34, 35.
1. බයිබලය ගැන තමා සිතන්නේ කුමක්ද කියා විමසූ විට මහාචාර්යවරයෙක් ඊට ප්‍රතිචාරය දැක්වූයේ කොහොමද? එමෙන්ම ඔහු තීරණය කළේ කුමක් කිරීමටද?
මහාචාර්යවරයා ඉරිදා දවාලක නිවසේ සිටියේ කිසිම අමුත්තෙකුව බලාපොරොත්තුවෙන් නොවෙයි. ඒත් අපේ ක්‍රිස්තියානි සහෝදරියක් ඔහුගේ ගෙදරට ගොස් කතා කළ අවස්ථාවේදී ඔහු ඇහුම්කන් දුන්නා. පරිසර දූෂණය සහ පොළොවේ අනාගතය වැනි ඔහුගේ සිත්ගත් විෂයන් ගැන ඇය කතා කළා. කොහොම වුණත්, ඈ සාකච්ඡාවට බයිබලය හඳුන්වා දුන්නායින් පසුව ඔහු අවිශ්වාසයේ හැඟීමක් පෙන්නුම් කළා. එනිසා බයිබලය ගැන ඔහු දරන අදහස මොකක්ද කියා ඇය ඔහුගෙන් ඇසුවා.
“ඒක බුද්ධිමත් මිනිස්සු කිහිපදෙනෙක් ලියපු හොඳ පොතක්; ඒත් බයිබලය එච්චර ලොකුවට ගනං ගන්න ඕන පොතක් නෙවෙයි” කියා ඔහු උත්තර දුන්නා.
“කවදා හරි ඔබ බයිබලය කියවල තියෙනවාද?” කියා ඇය විමසුවා.
තමා එසේ කර නැති බව අපහසුතාවට පත් මහාචාර්යවරයාට පිළිගන්න සිදු වුණා.
අනතුරුව ඈ මෙසේ ඇසුවා: “කවදාවත් කියවල නැති පොතක් ගැන ඔබ ඔච්චර නිශ්චිත අදහසක් ඉදිරිපත් කරන්නේ කොහොමද?”
අපේ සහෝදරිය තර්කානුකූලව කතා කළා. බයිබලය පරීක්ෂා කර බැලීමෙන් පසුව, ඒ ගැන යම් අදහසක් ඇති කරගැනීමට මහාචාර්යවරයා තීරණය කළා.
2, 3. බයිබලය බොහෝදෙනෙකුට විවෘත නොවූ පොතක් වී තිබෙන්නේ ඇයි? එමෙන්ම මෙය අපිට කිනම් අභියෝගයක් ඉදිරිපත් කරයිද?
2 එවැනි අදහස් දරන්නේ මේ මහාචාර්යවරයා විතරක්ම නොවෙයි. බොහෝදෙනෙක් බයිබලය කිසිදා පෞද්ගලිකව කියවා නැති වුණත්, ඒ ගැන ඔවුන් යම් නිශ්චිත අදහස් දරනවා. ඔවුන් ළඟ බයිබලයක් තියෙන්න පුළුවන්. එහි තිබෙන සාහිත්‍යමය හා ඓතිහාසිකමය වටිනාකම පවා ඔවුන් පිළිගන්නවා වෙන්න පුළුවන්. ඒත්, එය බොහෝදෙනෙකුට විවෘත නොවූ පොතක්. ‘මට බයිබලය කියවන්න වේලාවක් නැහැ’ කියා සමහර අය කියනවා. ‘පරණ පොතක තියෙන දේවල් මගේ ජීවිතයට අදාළ වෙන්න පුළුවන් කොහොමද?’ කියල තවත් අය සිතනවා. එවැනි අදහස් අපිට සැබෑ අභියෝගයක් එල්ල කරනවා. බයිබලය ‘දේවානුභාවයෙන් බවත් ඉගැන්වීම සඳහා ප්‍රයෝජනවත් බවත්’ යෙහෝවාගේ සාක්ෂිකරුවන් තදින්ම විශ්වාස කරනවා. (2 තිමෝති 3:16) කොහොම වුණත්, තමන්ගේ වාර්ගික, ජාතික සහ මානවවංශික පසුබිම් කුමක් වුවත් තමන් බයිබලය පරීක්ෂා කර බැලිය යුතුයි කියා අපි ඔවුන්ට ඒත්තුගන්වන්නේ කොහොමද?
3 බයිබලය පරීක්ෂා කර බලන්න වටින පොතක් වීමට හේතු කිහිපයක් අපි සාකච්ඡා කරමු. දේවසේවයේදී අපට හමු වන අයට, ඇතැම්විට බයිබලය පවසන දේවල් තමන් සලකා බැලිය යුතු බව ඒත්තුගන්වමින් ඔවුන් සමඟ තර්කානුකූලව කතා කිරීමට එවැනි සාකච්ඡාවක් අපව සන්නාහ සන්නද්ධ කරවන්න පුළුවන්. ඒ අතරම, බයිබලයම පවසන ආකාරයට ඇත්තෙන්ම එය ‘දෙවිගේ වචනය’ බවට අප තුළ තිබෙන ඇදහිල්ල මේ පුනරීක්ෂණය මගින් ශක්තිමත් විය යුතුයි.—හෙබ්‍රෙව් 4:12.
ලෝකයේ වැඩියෙන්ම බෙදාහරින පොත
4. ලෝකයේ වැඩියෙන්ම බෙදාහරින පොත බයිබලය කියා කියන්න පුළුවන් ඇයි?
4 මුලින්ම, බයිබලය සලකා බැලීමට වටින්නේ එය මුළු මිනිස් ඉතිහාසය පුරා වැඩියෙන්ම බෙදාහැර තිබෙන මෙන්ම පුළුල් ලෙස පරිවර්තනය කර තිබෙන පොත වන නිසයි. අවුරුදු 500කට කලින් සචල අකුරු ක්‍රමයට මුද්‍රණය වූ පළමු සංස්කරණය යොහාන’ස් ගුට’න්බ’ග් මුද්‍රණාලයෙන් එළිදැක්කා. ඇස්තමේන්තුවලට අනුව එතැන් සිට බයිබල් බිලියන හතරක් සම්පූර්ණ වශයෙන් හෝ කොටස් වශයෙන් මුද්‍රණය කර තිබෙනවා. වර්ෂ 1996 වන විට සම්පූර්ණ බයිබලයම හෝ එහි කොටස් භාෂා හා උපභාෂා 2,167කට පරිවර්තනය කර තිබුණා.a මිනිස් පවුලෙන් සියයට 90කට වැඩි ගණනකට අඩුම තරමින් බයිබලයේ කොටසක්වත් තමන්ගේම භාෂාවෙන් කියවීමේ මාර්ගය විවෘත වී තිබෙනවා. ආගමික හෝ වේවා වෙනත් දෙයක් හෝ වේවා වෙන කිසිම පොතක් ඒ ආසන්නයටවත් ළඟා වී නැහැ!
5. බයිබලය ලොව පුරා සිටින මිනිසුන්ට ලබාගත හැකි දෙයක් විය යුතුයි කියා අපි අපේක්ෂා කළ යුත්තේ ඇයි?
5 බයිබලය දෙවිගේ වචනය බව සනාථ කරන්නේ සංඛ්‍යා විතරක්ම නොවෙයි. කොහොම වුණත්, දෙවිගේ ආනුභාවයෙන් යුත් ලිඛිත වාර්තාවක් ලොව පුරා වෙසෙන ජනයාගේ අතට පත් විය යුතු බව ඇත්තෙන්ම අපි අපේක්ෂා කළ යුතුයි. මොකද බයිබලයම අපට පවසන්නේ ‘දෙවි මනුෂ්‍යයන්ගේ තරාතිරම් නොබලන කෙනෙක්ය. සියලු ජාතීන් අතරේ ඔහු කෙරෙහි භය ඇතුව ධර්මිෂ්ඨකම් කරන තැනැත්තේ ඔහුට ප්‍රසන්නය’ කියායි. (ක්‍රියා 10:34, 35) වෙනත් කිසිම පොතක් මෙන් නොව බයිබලය ජාතික දේශ සීමාවන් අභිභවා තිබෙන අතර, වාර්ගික හා ජනවාර්ගික බාධකයන් ජයගෙන තිබෙනවා. ඇත්තෙන්ම, බයිබලය සියලුම ජනයා සඳහා පොතක්!
සංරක්ෂණය කර තිබෙන අද්විතීය වාර්තාවක්
6, 7. බයිබලයේ මුල් ලියවිලිවලින් කිසිවක් දැන් නොමැති වීම ගැන පුදුම නොවිය යුත්තේ ඇයි? එමෙන්ම එමගින් කිනම් ප්‍රශ්නය මතු කරයිද?
6 බයිබලය පරීක්ෂා කර බැලීමට වටින පොතක් වීමට තවත් හේතුවක් තිබෙනවා. එය ස්වාභාවික මෙන්ම මිනිසුන්ගේ බාධාවන් මැද අඛණ්ඩව පැවත තිබෙනවා. මහත් බාධක මැද එය ආරක්ෂා වූ ආකාරය හා සම්බන්ධ වාර්තාවට, ඇත්තෙන්ම අනිත් පැරණි පොත් අතුරින් අද්විතීය තැනක් හිමි වෙනවා.
7 බයිබල් ලේඛකයන් පෙනෙන විදිහට ඔවුන්ගේ වචන (ඊජිප්තුවේ මේ නමින්ම තිබෙන පැළෑටියකින් ලබාගත්) පැපිරස් හා (සත්ව හම්වලින් සාදාගත්) පාච්මන්ට්වල තීන්තෙන් වාර්තා කළා විය හැකියි.b (යෝබ් 8:11) කොහොම වුණත් ලිවීම සඳහා යොදාගත් එවැනි ද්‍රව්‍යවලට ස්වාභාවික සතුරන් සිටිනවා. විශාරද ඔස්කා පාරෙට් මෙසේ පැහැදිලි කරනවා: “ලිවීම සඳහා යොදාගත් මේ මාධ්‍යයන් දෙකම තෙතමනයෙන්, පුස්වලින් සහ විවිධ වර්ගයේ ඉහඳ පණුවන්ගෙන් එක හා සමානව ප්‍රබල ආකාරයකින් අවදානමට ලක් වෙනවා. කඩදාසි වගේම ශක්තිමත් හම් පවා, වාතයට නිරාවරණය කළොත් නැත්නම් තෙතමනය ඇති කාමරයක තැබුවොත් කොතරම් පහසුවෙන් නාස්ති වෙනවාද කියා දිනපතා අද්දැකීමෙන් අපි දන්නවා.” එනිසා මුල් පිටපත්වලින් කිසිවක් තවදුරටත් නොමැති වීම ගැන පුදුම විය යුතු නැහැ; සමහරවිට ඒවා බොහෝ කලකට පෙර කොටස්වලට කැඩී යන්න ඇති. ඒත් මුල් පිටපත් ස්වාභාවික සතුරන් විනාශ කළා නම් බයිබලය ආරක්ෂා වුණේ කොහොමද?
8. සියවස් ගණනාවක් පුරා බයිබල් ලියවිලි ආරක්ෂා වුණේ කොහොමද?
8 මුල් පිටපත් ලියා අවසන් වූ වහාම, අත්පිටපත් නිපදවන්න පටන්ගත්තා. ඇත්තෙන්ම හෙබ්‍රෙව් ශුද්ධ ලියවිල්ලේ දැක්වෙන ව්‍යවස්ථාව හා අනෙකුත් කොටස් පිටපත් කිරීම පුරාණ ඉශ්‍රායෙලයේ වෘත්තියක් බවට පත් වුණා. උදාහරණයක් හැටියට පූජක එස්රාව විස්තර කර තිබෙන්නේ, “මෝසෙස්ගේ ව්‍යවස්ථාව ගැන සමර්ථ ලියන්නෙක් [පිටපත්කරුවෙක්, NW]” හැටියටයි. (එස්රා 7:6, 11; සසඳන්න ගීතාවලිය 45:1.) ඒත් නිපදවූ පිටපත්ද දිරාපත්වනසුලු තත්වයක පැවතියා; කාලයක් ගතවීමත් සමඟම ඒවා වෙනුවට අතින් ලියූ වෙනත් පිටපත් සකස් කරන්න සිදු වුණා. පිටපත්, පිටපත් කිරීමේ මේ ක්‍රියාවලිය සියවස් ගණනාවක් පුරා ක්‍රියාත්මක වුණා. මිනිසුන් පරිපූර්ණ අය නොවන නිසා පිටපත් කරන්නන් අතින් සිදු වුණු දෝෂ මගින් සැලකිය යුතු අන්දමකින් බයිබල් පාඨ වෙනස් වුණාද? බහුලව තිබෙන සාක්ෂිවලින් පැවසෙන්නේ එසේ නොවූ බවයි!
9. බයිබල් පිටපත්කරුවන්ගේ දැඩි සැලකිල්ල හා නිරවද්‍යතාව මැසරිට්වරුන් හා සම්බන්ධ නිදසුනෙන් පැහැදිලි වන්නේ කොහොමද?
9 පිටපත්කරුවන් නිපුණත්වයක් ලැබූ පුද්ගලයන් වූවා විතරක් නොවෙයි, නමුත් ඔවුන් පිටපත් කළ වචන කෙරෙහි ගැඹුරු ගෞරවයක්ද ඔවුන්ට තිබුණා. “පිටපත්කරුවා” සඳහා වන හෙබ්‍රෙව් වචනය හා ගණන් කිරීම සහ වාර්තා කිරීම අතර සම්බන්ධයක් තිබෙනවා. පිටපත්කරුවන් දැක්වූ දැඩි සැලකිල්ල හා ඔවුන්ගේ නිරවද්‍යතාව නිදර්ශනය කිරීම සඳහා, පො.යු. හයවන හා දහවන සියවස් අතර කාලයේදී ජීවත් වූ මැසරිට්වරුන් නොහොත් හෙබ්‍රෙව් ශුද්ධ ලියවිලිවල පිටපත්කරුවන් ගැන සලකා බලන්න. විශාරදයෙකු වන ටොමස් හාට්වෙල් හෝන් සඳහන් කළ විදිහට ඔවුන් “මුළු හෙබ්‍රෙව් ශුද්ධ ලියවිලි පුරා [හෙබ්‍රෙව්] හෝඩියේ එක් එක් අකුරු කී වතාවක් සඳහන් වෙනවාද” කියා ගණන් කළා. එයින් අදහස් කරන දෙය ටිකක් කල්පනා කර බලන්න! එක අකුරක් පවා අත්හැරීම වැළැක්වීම සඳහා කැපවීමෙන් කටයුතු කළ මේ පිටපත්කරුවන් හුදෙක් වචන පමණක් නොව, නමුත් අකුරුද ගණන් කළා. එක් විශාරදයෙකුගේ ගණන්බැලීමට අනුව ඔවුන් හෙබ්‍රෙව් ශුද්ධ ලියවිලිවල තනි අකුරු 8,15,140ක් තිබෙන බව ගණන් කළා කියා වාර්තා වෙනවා! එවන් උත්සාහවන්ත වෑයමක් නිරවද්‍යතාවේ ඉහළ මට්ටමක් සහතික කළා.
10. නූතන පරිවර්තන පදනම් වී තිබෙන හෙබ්‍රෙව් සහ ග්‍රීක් පාඨ නිවැරදි ලෙස මුල් ලේඛකයා ලියූ වචන නියෝජනය කරන බවට තිබෙන්නේ කිනම් ප්‍රබල සාක්ෂිද?
10 ඇත්තෙන්ම, නවීන පරිවර්තන පදනම් වී තිබෙන හෙබ්‍රෙව් සහ ග්‍රීක් පාඨ, මුල් ලේඛකයන්ගේ වචනවල විශ්වාසවන්තභාවයේ විශිෂ්ටත්වය නියෝජනය කරන බවට ප්‍රබල සාක්ෂි තිබෙනවා. අපේ දවස දක්වා ආරක්ෂා වී තිබෙන, ගණන්බැලීමට අනුව සම්පූර්ණ වශයෙන් හෝ කොටස් වශයෙන් හෙබ්‍රෙව් ශුද්ධ ලියවිල්ලේ පිටපත් 6,000ක්ද ක්‍රිස්තියානි ග්‍රීක් ශුද්ධ ලියවිල්ලේ පිටපත් 5,000ක්ද පමණ වන බයිබල් අත්පිටපත්වල අතින් ලියූ පිටපත් දහස්ගණනක සාක්ෂි තිබෙනවා. දැන් තිබෙන අත්පිටපත් බොහොමයක් සම්බන්ධයෙන් පරෙස්සමින් කරන සන්සන්දනාත්මක විශ්ලේෂණයක් මගින්, ඕනෑම පිටපත්කරුවෙකුගේ අතින් සිදු වුණු වරදක් හඳුනාගෙන මුල් ලියවිල්ලේ සඳහන් වී තිබූ දේවල් නිශ්චය කරගැනීමේ හැකියාව පාඨ පිළිබඳ විශාරදයන්ට ලැබී තිබෙනවා. හෙබ්‍රෙව් ශුද්ධ ලියවිල්ලේ පාඨ ගැන අදහස් දක්වමින් මෙසේ සඳහන් කිරීමට විශාරද විලියම් එච්. ග්‍රීන්ට හැකි වුණා: “වෙනත් කිසිම ඉපැරණි කෘතියක් මේ තරම් නිවැරදි ලෙස තොරතුරු සම්ප්‍රේෂණය කර නැති බව අවිවාදයෙන් පිළිගන්න පුළුවන්.” ඒ හා සමාන නිසැකකමක් ක්‍රිස්තියානි ග්‍රීක් ශුද්ධ ලියවිල්ලේ පාඨ කෙරෙහිත් තබන්න පුළුවන්.
11. පළමුවන පේතෘස් 1:24, 25ට අනුව, බයිබලය අපේ දවස දක්වා ආරක්ෂා වී තිබෙන්නේ ඇයි?
11 මුල් ලියවිලිවල තිබූ අනර්ඝ පණිවිඩ සමඟින් ඒවායේ තැන අත්පිටපත්වලට හිමි වී නොතිබුණා නම් බයිබලය මොනතරම් පහසුවෙන් විනාශ වී යන්න තිබුණාද! එහි අඛණ්ඩ පැවැත්මට දායක වන එක හේතුවක් පමණයි තිබෙන්නේ; ඒ හේතුව නම් තම වචනයේ සංරක්ෂකයා හා ආරක්ෂකයා වන යෙහෝවායි. මේ සම්බන්ධයෙන් බයිබලයම 1 පේතෘස් 1:24, 25හි මෙසේ පවසනවා: “මාංසමයවූ සියල්ලෝම තණකොළ මෙන්ය, ඔවුන්ගේ මුළු තේජස තණමල මෙන්ය. තණකොළ වියළීයයි, මල් වැටේ. නුමුත් [යෙහෝවාගේ] වචනය සදාකාලේටම පවතින්නේය.”
මනුෂ්‍යවර්ගයාගේ ජීවමාන භාෂාවන්ට පරිවර්තනය කිරීම
12. සියවස් ගණනාවක් පුරා නැවත නැවත පිටපත් කරනවාට අමතරව බයිබලය මුහුණ දුන් වෙනත් බාධා මොනවාද?
12 නැවත නැවත පිටපත් කිරීම්වලට භාජන වෙමින් සියවස් ගණනක් පුරා අඛණ්ඩව පැවතෙමින් තිබීම විශාල අභියෝගයක්; ඒත් බයිබලය තවත් අභියෝගයකට, එනම් සමකාලීන භාෂාවන්ට පරිවර්තනය කිරීමේ අභියෝගයට මුහුණ දුන්නා. බයිබලය මිනිසුන්ගේ හදවත්වලට කතා කරන්න නම්, එය ඔවුන්ගේ ජීවමාන භාෂාවලින් කතා කළ යුතුයි. කොහොම වුණත්, පරිච්ඡේද 1,100කට හා ඡේද 31,000කට වැඩි ප්‍රමාණයකින් යුත් බයිබලය පරිවර්තනය කිරීම පහසු කාර්යයක් නොවෙයි. ඒ වුණත්, සියවස් ගණනාවක් පුරා කැපවීමෙන් කටයුතු කළ පරිවර්තකයන් ඒ අභියෝගය සතුටින් බාරගත්තා; ඇතැම් අවස්ථාවලදී, ඔවුන් ජයගත නොහැකි සේ පෙනී ගිය බාධාවන්ට මුහුණ දුන්නා.
13, 14. (අ) දහනවවන සියවසේ මුල්භාගයේදී බයිබල් පරිවර්තක රොබට් මොෆට් අප්‍රිකාවේදී මුහුණ දුන්නේ කිනම් අභියෝගයටද? (ආ) තමන්ගේම භාෂාවෙන් ලූක්ගේ සුවිශේෂය ලබාගැනීමට හැකි වූ අවස්ථාවේදී, ට්ස්වානා භාෂාව කතා කරන ජනයා ඊට ප්‍රතිචාරය දැක්වූයේ කොහොමද?
13 උදාහරණයක් හැටියට බයිබලය අප්‍රිකානු භාෂාවලට පරිවර්තනය කිරීම සිදු වුණේ කොහොමද කියා සලකා බලන්න. වර්ෂ 1800දී, මුළු අප්‍රිකාව පුරාම තිබුණේ ලිඛිත භාෂා දුසිමක් වගේ ප්‍රමාණයක් විතරයි. සිය ගණනක් වූ වෙනත් කථික භාෂාවලට ලිඛිත ක්‍රමයක් තිබුණේ නැහැ. බයිබල් පරිවර්තකයෙකු වූ රොබට් මොෆට්ට මුහුණ දීමට සිදු වුණු අභියෝගය එයයි. වර්ෂ 1821දී, එනම් ඔහුට වයස අවුරුදු 25දී, දකුණු අප්‍රිකාවේ වෙසෙන ට්ස්වානා භාෂාව කතා කරන සෙනඟ අතරේ මොෆට් ධර්මදූත මෙහෙයක් ඇරඹුවා. ඔවුන්ගේ ලිඛිත නොවූ භාෂාව ඉගෙනගැනීම සඳහා ඔහු මිනිසුන් එක්ක කිට්ටුවෙන් ආශ්‍රය කළා. මොෆට් තම වෑයම අත්හැරියේ නැහැ; කාලයක් ගතවීමත් සමඟම හෝඩි පොත්වල හෝ ශබ්දකෝෂවල ආධාරය නොමැතිව භාෂාව ජයගෙන, එහි ලිඛිත ශෛලියක් ගොඩනැඟූ අතර, ට්ස්වානා වැසියන් සමහරදෙනෙකුට ඒ ලියවිල්ලේ අකුරු කියවන්න ඉගැන්වුවා. වර්ෂ 1829දී, ට්ස්වානාවරුන් සමඟ අවුරුදු අටක් වැඩ කිරීමෙන් පසුව, මොෆට් ලූක්ගේ සුවිශේෂය පරිවර්තනය කිරීම අවසන් කළා. පසු කලෙක ඔහු මෙසේ පැවසුවා: “ශු. ලූක්ගේ සුවිශේෂයේ පිටපත් අරගන්න සැතපුම් සිය ගණනක් දුර ඉඳන් ආපු අය ගැන මම දන්නවා. . . . ඔවුන් ශු. ලූක්ගේ සුවිශේෂයේ කොටස් අරගෙන, ඒ ගැන වැලපුණු ආකාරයත්, ‘කඳුළුවලින් ඔය පොත් ටික සවුත්තු වෙයි’ කියල එක වතාවකට වඩා කියනකං ඒවා පපුවට තුරුලු කරගෙන සතුටු කඳුළු සැලූ ආකාරයත් මම දැකලා තියෙනවා.” ලූක්ගේ සුවිශේෂය කියවන බොහෝදෙනෙකුව දැක, ඔවුන් ළඟ තිබෙන්නේ මොකක්ද කියා ඔවුන්ගෙන් ඇසූ අප්‍රිකානු මිනිසෙකු ගැනත් මොෆට් කතා කළා. “මේක දෙවිගේ වචනය” කියා ඔවුන් උත්තර දුන්නා. “ඕක කතා කරනවාද?” කියා මේ මිනිසා ඇසුවා. “ඔව්, මේක හදවතට කතා කරනවා” කියා ඔවුන් කිව්වා.
14 මොෆට් වැනි කැපවීමෙන් කටයුතු කළ පරිවර්තකයන් අප්‍රිකානුවන් බොහෝදෙනෙකුට මුල් වතාවට ලිඛිතව අදහස් හුවමාරු කරගැනීමේ අවස්ථාව උදා කර දුන්නා. ඒත් පරිවර්තකයන් අප්‍රිකාවේ වෙසෙන මිනිසුන්ට ඊටත් වඩා වටිනා තෑග්ගක් දුන්නා; ඒ තමයි ඔවුන්ගේම භාෂාවෙන් බයිබලය සපයා දීම. ඒ විතරක් නොවෙයි, මොෆට් ට්ස්වානාවරුන්ට දිව්‍ය නාමය හඳුන්වා දුන් අතර, ඔහු තම පරිවර්තනය පුරාම ඒ නාමය පාවිච්චි කළා.c මෙහි ප්‍රතිඵලයක් හැටියට ට්ස්වානාවරුන් “යෙහෝවාගේ මුඛය” කියා බයිබලයට යොමු දැක්වුවා.—ගීතාවලිය 83:17.
15. අදදින බයිබලය මේ තරම් ජීවමාන පොතක් වී තිබෙන්නේ ඇයි?
15 ලෝකයේ විවිධ ප්‍රදේශවල විසූ වෙනත් පරිවර්තකයන්ද ඒ හා සමාන බාධාවලට මුහුණ දුන්නා. සමහරුන් බයිබලය පරිවර්තනය කිරීමේදී තමන්ගේ ජීවිත පවා පරදුවට තැබුවා. මේ ගැන කල්පනා කර බලන්න: බයිබලය පුරාණ හෙබ්‍රෙව් සහ ග්‍රීක් භාෂාවලින් විතරක් දිගටම තිබුණා නම්, ඒක බොහෝ කලකට කලින් “මියැදෙන්න” තිබුණා; මොකද කාලයක් ගතවීමත් සමඟම ඒ භාෂා සම්පූර්ණයෙන්ම වැඩිදෙනෙකුට අමතක වී ගිය අතර, ලෝකයේ බොහෝ ප්‍රදේශවල සිටින බොහෝදෙනෙක් ඒවා දැනගෙන සිටියේ නැහැ. ඒත්, වෙනත් කිසිම පොතක් වගේ නොවෙයි, ලොව පුරා සිටින මිනිසුන්ට තමන්ගේම භාෂාවෙන් “කතා කරන්න” බයිබලයට හැකියාවක් තිබෙන නිසා එය ජීවමානයි. එහි ප්‍රතිඵලයක් හැටියට, එහි අඩංගු වන පණිවිඩය දිගටම ‘එය අදහන්නන් තුළ ක්‍රියා කරනවා.’ (1 තෙසලෝනික 2:13) ද ජෙරූසලම් බයිබල් ඒ වචන මෙසේ පරිවර්තනය කරනවා: “එය විශ්වාස කරන ඔබ අතර එය තවමත් ජීවමාන බලයක්ව තිබේ.”
විශ්වාසය තැබීමට වටින යමක්
16, 17. (අ) බයිබලය විශ්වාසය තැබිය හැකි එකක් වීම සඳහා කිනම් සාක්ෂි තිබිය යුතුද? (ආ) බයිබල් ලේඛක මෝසෙස්ගේ අවංකකම පෙන්වන උදාහරණයක් දෙන්න.
16 ‘ඇත්තටම බයිබලය කෙරෙහි විශ්වාසය තබන්න පුළුවන්ද?’ කියා සමහරුන් කල්පනා කළ හැකියි. ‘ඒක යොමු දක්වන්නේ ඇත්තටම ජීවත් වූ මිනිසුන්ටද? ඇත්තටම තිබුණාවූ ස්ථානවලටද? ඒ වගේම සැබෑවටම සිදු වූ සිදුවීම්වලටද?’ අපි ඒ කෙරෙහි විශ්වාසය තබන්න නම්, එය සැලකිලිමත් හා අවංක ලේඛකයන් අතින් ලියවුණු බවට සාක්ෂි තිබිය යුතුයි. මෙය බයිබලය පරීක්ෂා කිරීම සඳහා තවත් හේතුවක් වෙතට අපිව ගෙන යනවා: එය නිවැරදි මෙන්ම විශ්වාසය තැබිය හැකි යමක් බවට ස්ථිරසාර සාක්ෂි තිබෙනවා.
17 අවංක ලේඛකයන් හුදෙක් සාර්ථකත්වයන් විතරක් නෙවෙයි අසාර්ථකත්වයන්ද, ශක්තිමත් පැති විතරක් නෙවෙයි දුර්වලකම්ද වාර්තා කරනවා. බයිබල් ලේඛකයන් එවැනි ආකාරයේ ප්‍රබෝධජනක අවංකකමක් විදහාපෙන්වූවා. උදාහරණයක් හැටියට මෝසෙස්ගේ අවංකකම සලකා බලන්න. ඉශ්‍රායෙල්හි නායකයා වීමට තමා නුසුදුසු කෙනෙක් කියා සැලකීමට සැලැස්වූ දෙය වන දක්ෂ ලෙස කතා කිරීමට තිබූ නොහැකියාව (නික්මයාම 4:10); ඔහු පොරොන්දු දේශයට ඇතුල් වීම වැළැක්වීමට හේතු වූ ඔහු අතින් සිදු වූ බරපතළ වැරැද්ද (ගණන් කථාව 20:9-12; 27:12-14); රන් වස්සෙකුගේ රූපයක් සෑදීමේදී කැරලිකාර ඉශ්‍රායෙල්වරුන් සමඟ සහයෝගයෙන් කටයුතු කළ ඔහුගේ සහෝදරයා වන ආරොන් හරි ක්‍රියාමාර්ගය ගැනීමෙන් ඉවත්ව සිටීම (නික්මයාම 32:1-6); තම සහෝදරිය වන මිරියාම්ගේ කැරලිකාරකම හා ඇයට අවමන්සහගත ලෙස දඬුවම් ලැබීම (ගණන් කථාව 12:1-3, 10); තම බෑනාවරුන් වූ නාදාබ් හා අබිහු පරිශුද්ධ දේවල් කෙලසීම (ලෙවී කථාව 10:1, 2) සහ දෙවිගේම සෙනඟ නැවත නැවතත් පැමිණිලි කිරීම හා කෙඳිරීම යනාදිය ඔහු නොවළහා වාර්තා කළ දේවල්වලට ඇතුළත් වෙනවා. (නික්මයාම 14:11, 12; ගණන් කථාව 14:1-10) එවැනි ඍජු, විවෘත වාර්තා කිරීමක් මගින් සත්‍යය කෙරෙහි අවංක සැලකිල්ලක් තිබෙන බව පෙනෙන්නේ නැද්ද? තමන් ප්‍රේම කරන අය ගැන, තම සෙනඟ ගැන හා තමන් ගැනම පවා හිතකර හැඟීමක් ඇති නොවන ආකාරයේ තොරතුරු වාර්තා කිරීමට බයිබල් ලේඛකයන් කැමති වූ නිසා, ඔවුන්ගේ ලියවිලි විශ්වාස කරන්න හොඳ හේතු නැද්ද?
18. බයිබල් ලේඛකයන්ගේ ලියවිලි විශ්වාසය තැබිය හැකි බවට සනාථ වන්නේ කුමකින්ද?
18 බයිබලය ලියූ අයගේ වෙනස් නොවනසුලු බව ඔවුන්ගේ ලියවිලි විශ්වාසය තැබිය හැකි බව තහවුරු කරනවා. මිනිසුන් 40දෙනෙකු අවුරුදු 1,600ක පමණ කාලයක් පුරා සුළු කාරණාවලදී පවා එකඟත්වයකින් යුතුව කටයුතු කර තිබීම සැබවින්ම විශිෂ්ට දෙයක් වෙනවා. කොහොම වුණත්, වංචනික දෙයක් පිළිබඳ සැකයක් ඇතිවීම වැළැක්වීම සඳහා එම එකඟත්වය ඉතාමත් පරෙස්සමින් සැලසුම් කළ එකක් නොවෙයි. ඊට වෙනස්ව, විවිධ විස්තර පිළිබඳව එකඟත්වයකට පැමිණීම සඳහා ඒවා කලින් සැලසුම් නොකළ බව පැහැදිලියි; බොහෝවිට එක විට සිදු වූ දේවල් සම්බන්ධයෙන් එකඟත්වය පැහැදිලියි.
19. යේසුව අත්අඩංගුවට ගැනීම හා සම්බන්ධ සුවිශේෂ වාර්තාව මගින් පැහැදිලි ලෙස කලින් සැලසුම් නොකළ එකඟත්වයක් හෙළි වන්නේ කොහොමද?
19 මෙය පැහැදිලි කරගැනීම සඳහා, යේසුව අත්අඩංගුවට ගත් රාත්‍රියේදී සිදු වූ දෙය සලකා බලන්න. ගෝලයන්ගෙන් එක් කෙනෙක් කඩුවක් ඇද උත්තම පූජකයාගේ සේවකයාට පහර දී ඔහුගේ කන කැපූ බව සුවිශේෂ ලේඛකයන් හතරදෙනාම වාර්තා කරනවා. කොහොම වුණත්, යේසු “ඔහුගේ කන අතගා සුව [කළා]” කියා අපට පවසන්නේ ලූක් විතරයි. (ලූක් 22:51) ඒත් “ප්‍රේමවන්ත වෛද්‍යාචාරි තැන” වශයෙන් හඳුනාගෙන සිටි ලේඛකයෙකුගෙන් අපි බලාපොරොත්තු විය යුත්තේ එවැනි දෙයක් නොවෙයිද? (කොලොස්සි 4:14) එතැන සිටිය ගෝලයන්ගෙන් කඩුවක් පාවිච්චි කළ තැනැත්තා පේතෘස් කියා යොහන්ගේ වාර්තාව අපට පවසනවා; කලබලකාරි හා අපරීක්ෂාකාරි ලෙස කටයුතු කිරීමේ පේතෘස්ගේ නැඹුරුවාව සලකාබැලීමේදී, එය පුදුම විය යුතු දෙයක් නොවෙයි. (යොහන් 18:10; සසඳන්න මතෙව් 16:22, 23 සහ යොහන් 21:7, 8.) පෙනෙන විදිහට අනවශ්‍ය විස්තරයක් විය හැකි තවත් දෙයක් යොහන් මෙසේ වාර්තා කරනවා: “ඒ දාසයාගේ නම මල්කස්ය.” යොහන් විතරක් ඒ මිනිසාගේ නම සඳහන් කරන්නේ ඇයි? වෙනත් දෙයක් ගැන සඳහන් කරන අතරේදී කළ සුළු කරුණක් මගින් මෙම විස්තරය සපයන්නේ, යොහන්ගේ වාර්තාවේ පමණයි: යොහන්ව ‘උත්තම පූජකයා අඳුනාගෙන සිටියා.’ උත්තම පූජකයාගේ ගෙවැසියන්ද ඔහුව අඳුනාගෙන සිටියා; සේවකයන් ඔහුව දැනහඳුනාගෙන සිටි අතර, ඔහුද ඔවුන්ව දැනහඳුනාගෙන සිටියා.d (යොහන් 18:10, 15, 16) ඒ අනුව අනිත් සුවිශේෂ ලේඛකයන්ට අමුත්තෙක්ව සිටි නමුත් යොහන්ට එසේ නොවූ තුවාල ලැබූ මිනිසාගේ නම යොහන් සඳහන් කිරීම ඇත්තෙන්ම සාමාන්‍ය දෙයක්. මේ සෑම කාරණාවක් අතරම තිබෙන එකඟත්වය විශිෂ්ටයි, ඒත් පැහැදිලිවම එය හිතාමතා සිදු කළ දෙයක් නොවෙයි. ඒ හා සමාන උදාහරණ බොහෝමයක් බයිබලය පුරා තිබෙනවා.
20. අවංක හදවත් ඇති ජනයාට බයිබලය ගැන දැනගැනීමට අවශ්‍ය වන්නේ මොනවාද?
20 එසේනම් බයිබලය විශ්වාස කරන්න අපිට පුළුවන්ද? නිසැකවම පුළුවන්! බයිබල් ලේඛකයන්ගේ අවංකකම හා බයිබලයේ අභ්‍යන්තර අනුරූපීතාව මගින් එය අව්‍යාජ ලියවිල්ලක් බව දැක්වෙනවා. බයිබලය “සැබෑකමේ දෙවිවූ [යෙහෝවාගේ]” ආනුභාවයෙන් ලියවී තිබෙන නිසා, අවංක හදවත් ඇති මිනිසුන් එය කෙරෙහි විශ්වාසය තැබීම සඳහා එය දැනගැනීම අවශ්‍යයි. (ගීතාවලිය 31:5) ඊළඟ ලිපිය සාකච්ඡා කරද්දී දැකීමට යන පරිදි, බයිබලය සියලුම ජනයා සඳහා පොතක් වීමට හේතු සම්බන්ධයෙන් තවත් අමතර හේතු සාධක තිබෙනවා.
[පාදසටහන්වල]
a එක්සත් බයිබල් සමිති මගින් ප්‍රකාශයට පත් කළ සංඛ්‍යා මත පදනම් වෙයි.
b දෙවන වරට රෝමයේ සිරගතව සිටි කාලයේදී, “පොත්ද, ප්‍රධානකොට සම්පොත්ද” ගෙනෙන්න කියා පාවුල් තිමෝතිගෙන් ඉල්ලා සිටියා. (2 තිමෝති 4:13) සිරගතව සිටි කාලයේදී අධ්‍යයනය කිරීම සඳහා හෙබ්‍රෙව් ශුද්ධ ලියවිල්ලේ කොටස් පාවුල් ඉල්ලමින් සිටියා විය හැකියි. පැපිරස් ලියවිලි මෙන්ම සම්වලින් සෑදූ වෙනත් ලියවිලිද ඊට ඇතුළත් වූ බව “ප්‍රධානකොට සම්පොත්ද” යන වාක්‍යඛණ්ඩයෙන් ඇඟවිය හැකියි.
c වර්ෂ 1838දී, මොෆට් ක්‍රිස්තියානි ග්‍රීක් ශුද්ධ ලියවිලි පරිවර්තනය කිරීම සම්පූර්ණ කළා. ඔහු සමඟ වැඩ කළ තැනැත්තෙකුගේ උපකාරය ඇතුව ඔහු 1857දී හෙබ්‍රෙව් ශුද්ධ ලියවිලි පරිවර්තනය කිරීම අවසන් කළා.
d උත්තම පූජකයා සහ ඔහුගේ ගෙවැසියන් සමඟ යොහන් කිට්ටු සබඳතාවක් පැවැත්වූ බව වාර්තාවේ පසුව සඳහන් වෙන දේවලින් තවදුරටත් පැහැදිලි වෙනවා. යේසුගේ ගෝලයන්ගෙන් කෙනෙක් කියා උත්තම පූජකයාගේ තවත් දාසයෙක් පේතෘස්ට චෝදනා කරන අවස්ථාවේදී, ඒ දාසයා “පේතෘස් විසින් කන කැපූ තැනැත්තාගේ නෑයෙක්” කියා යොහන් පැහැදිලි කරනවා.—යොහන් 18:26.
ඔබ උත්තර දෙන්නේ කොහොමද?
◻ බයිබලය ලෝකයේ බහුතරයකට ලබාගත හැකි පොතක් විය යුතු බවට අපි අපේක්ෂා කළ යුත්තේ ඇයි?
◻ බයිබලයේ අඩංගු දේවල් නිවැරදිව ආරක්ෂා වූ බවට කිනම් සාක්ෂි තිබෙනවාද?
◻ බයිබලය පරිවර්තනය කළ අය කිනම් බාධාවන්ට මුහුණ දුන්නාද?
◻ බයිබල් ලියවිලි විශ්වාස කළ හැකි බව කුමකින් තහවුරු වෙයිද?