යෙහෝවාගේ ආශීර්වාද ඔබ ඇත්තටම අගය කරනවාද?
යන්තමින් වැළඳුණු සෙම්ප්‍රතිශ්‍යාවකට බෙහෙත් ගැනීම සඳහා මැදිවියේ මහත්මයෙකු වූ කෙනීචී ඔසුසලකට ගියා. බෙහෙත ගත් විට, එය ඔහුට අහිතකර ලෙස බලපෑ අතර, ඒ හේතුවෙන් ඔහුගේ ශරීරය පුරාම කසනසුලු පලු සහ දියර සහිත බිබිලි හටගත්තා. ඖෂධවේදියා ඇත්තටම ඔහුගේ අවශ්‍යතාවලට නිසි අවධානය දුන්නාද යන්න සැක කිරීමට කෙනීචී පටන්ගැනීම පුදුමයට හේතුවක් නොවෙයි.
කෙනීචී ඖෂධවේදියාව සැලකූ ආකාරයටම යෙහෝවා දෙවි ගැන ඇතැම් අය කල්පනා කරනවා ඇති. සර්වබලධාරි දෙවි, යෙහෝවා, පුද්ගලයන් හැටියට අප කෙරෙහි ඇත්තටම උනන්දු වෙනවාද යන්න ඔවුන් සැක කරනවා. දෙවි යහපත් බව ඔවුන් පිළිගත්තත්, පෞද්ගලික වශයෙන් ඔහු අපට සැලකිල්ල දක්වනවා යන්න ඔවුන්ට ඒත්තුගොස් නැහැ. ඔවුන්ට යම් අසීරුතාවලට මුහුණ දෙන්න සිදු වන විට නැතහොත් බයිබල් ප්‍රමිතිවලට ඇලී සිටීමේ ප්‍රතිඵලයක් වශයෙන් දුෂ්කර ගැටලුවලට මුහුණ දෙන්න සිදු වන විට විශේෂයෙන් මෙය සැබෑවක් වෙනවා. විචාර බුද්ධියේ ඌනතාවක් නිසා ඔවුන් තම ගැටලු සලකන්නේ, හරියට දෙවිගේ වරදක් නිසා ඇති වූ ඒවා හා සමානවයි; ඒ කියන්නේ අනපේක්ෂිත ලෙස කෙනීචීට හටගත් කසනසුලු පලු සහ බිබිලිවලට සමානවයි.—හිතෝපදේශ 19:3.
යෙහෝවාව අසම්පූර්ණ මනුෂ්‍යයන් සමඟ නොසැසඳිය යුතුයි. මනුෂ්‍යයන් දැනුමෙන් සහ හැකියාවෙන් සීමා සහිතයි. කෙනීචීගේ ඖෂධවේදියා මෙන්, අනුන්ගේ සැබෑ අවශ්‍යතා සම්පූර්ණයෙන්ම තේරුම්ගැනීමට ඔවුන් අපොහොසත් වෙනවා. ඊට වෙනස්ව, යෙහෝවාගේ ඇස්වලින් කිසිවක් ගිලිහී යන්නේ නැහැ. අපට නැති දේ කෙරෙහි අවධානය යොමු කර, ඇත්තටම අප සතු ආශීර්වාද රාශිය නොසලකා හැරීමේ නැඹුරුවාව අපට තිබෙන නිසා යෙහෝවා බොහෝවිට අපට උපකාර කරන විට, ඒ බව අපට තේරුමක්වත් අගයක්වත් නැහැ. අප මුහුණ දෙන ඕනෑම ගැටලුවක් සම්බන්ධයෙන් යෙහෝවා පිට වරද තබන්න උත්සුක වනවා වෙනුවට, යෙහෝවාගෙන් ලැබෙන, අප භුක්ති විඳින ආශීර්වාද තේරුම්ගැනීමට අප වෑයම් කළ යුතුයි.
වෙබ්ස්ට’ස් නයින්ත් නියූ කලීජියට් ඩික්ෂනරි නමැති ශබ්දකෝෂයට අනුව, “සන්තෝෂයට හෝ ශුභසිද්ධියට දායක වන යමක්” සේ “ආශීර්වාදයක්” නිර්වචනය කළ හැකියි. මෙය විශේෂයෙන් සැබෑ වන්නේ යෙහෝවාගෙන් ලැබෙන ආශීර්වාදවලදියි යන්න ඔබ අගය කරනවාද?
අසමසම සැපයුම්කරුවෙක්
තම පුරුෂයා හොඳ සැපයුම්කරුවෙකු බව භාර්යාවක් කියන විට, ඇය සාමාන්‍යයෙන් ඉන් අදහස් කරන්නේ ඔහු පවුලේ සන්තෝෂය සහ ශුභසිද්ධිය තකා ප්‍රමාණවත් ආහාර පාන, ඉඳුම් හිටුම් සහ ඇඳුම් පැළඳුම් සපයමින්, පවුලේ අවශ්‍යතා සරිලන ආකාරයකින් බලාකියා ගන්නා බවයි. අපේ සැපයුම්කරු වශයෙන් යෙහෝවා කොතරම් යහපත්ද? මනුෂ්‍යයාගේ නිවස වන අපේ පෘථිවි ග්‍රහයා දෙස වඩාත් කිට්ටුවෙන් බලන්න. එය සූර්යයාගෙන් කිලෝමීටර් 15,00,00,000ක දුරින් පිහිටා තිබෙනවා; එය නම්, පෘථිවිය මත ජීවිතය පවත්වාගෙන යෑමට අවශ්‍ය ප්‍රමාණවත් උෂ්ණත්වයන්ට හොඳින්ම ගැළපෙන දුරයි. අපේ පෘථිවි ගෝලයේ අංශක 23.5ක ඇළය අංග සම්පූර්ණව නිර්මාණය කර ඇති අතර, ප්‍රතිඵලයක් වශයෙන් සරු අස්වනුවලට දායක වන වෙනස් වන ඍතු ඇති වෙනවා. ප්‍රතිඵලයක් වශයෙන්, පෘථිවිය බිලියන පහකට වඩා ජනකායකට ආහාර සපයයි. යෙහෝවා ඇත්තෙන්ම මහිමාන්විත සැපයුම්කරුවෙක්!
එපමණක්ද නොව, පුද්ගලයන් වශයෙන් අප කෙරෙහිත්, අපේ ශුභසිද්ධිය කෙරෙහිත් යෙහෝවා ගැඹුරින් උනන්දුවක් දක්වන බව බයිබලය අපට සහතික කරනවා. නිකම් හිතලා බලන්න: යෙහෝවා බිලියන ගණන් තරු සැමෙකක්ම නමින් දන්නා අතර, ඔහුගේ දැනුමෙන් තොරව එක ගේ කුරුල්ලෙකුවත් පොළොවට වැටෙන්නේ නැහැ. (යෙසායා 40:26; මතෙව් 10:29-31) එසේනම් ඔහුට ප්‍රේම කරන, තම ප්‍රියාදර පුත්‍ර යේසුස් ක්‍රිස්තුස්ගේ අනර්ඝ රුධිරයෙන් මිලේට ගනු ලැබූ මනුෂ්‍යයන්ට ඔහු ඊටත් වඩා කොතරම් සැලකිල්ල දක්වනවා ඇද්ද! (ක්‍රියා 20:28, NW) ප්‍රඥාවන්ත මනුෂ්‍යයා මෙසේ ප්‍රකාශ කළේ හොඳ හේතු ඇතුවයි: ‘යෙහෝවාගේ ආශීර්වාදය පොහොසත්කම ලබා දෙන්නේය, ඔහු ඊට දුක එකතු නොකරන්නේය.’—හිතෝපදේශ 10:22.
අපව පොහොසත් කරන ආශීර්වාද
මහත් වටිනාකමකින් යුත් යමක් අප සතුව තිබෙන අතර, ඒ සඳහා අපට ගැඹුරු කෘතඥතාවක් තිබිය යුතුයි. ඒ කුමක්ද? “රන්රිදී දහස් ගණනකට වඩා ඔබගේ මුඛයෙන් නික්මුණු ව්‍යවස්ථාව මට යහපත්ය” කියා පවසන විට, එය කුමක්ද කියා බයිබලය හඳුන්වා දෙයි. (ගීතාවලිය 119:72; හිතෝපදේශ 8:10) අනර්ඝ රන් කොතරම් වටිනා යමක් වුවද, යෙහෝවාගේ ව්‍යවස්ථාවට ඊටත් වඩා ආශා විය යුතුයි. ඔහුගේ ව්‍යවස්ථාව පිළිබඳ ඒකාන්ත දැනුමත්, සත්‍යය අවංක ලෙස සොයන්නන්ට යෙහෝවා ලබා දෙන තීක්ෂ්ණ බුද්ධිය සහ විචාර බුද්ධියත් නිධානයක් සේ සැලකිය යුතු දේවල් වෙනවා. අපටම ආරක්ෂාව සලසාගන්නත්, දුෂ්කර තත්වයන්වලට උර දෙන්නත්, ගැටලු සමඟ සාර්ථකව කටයුතු කරන්නත්, ඒ අනුව සෑහීමට පත් වී සන්තෝෂයෙන් සිටීමටත් ඒවා අපව සන්නද්ධ කරවනවා.
ඉතා ළාබාල අය සම්බන්ධයෙන් පවා මෙය සැබෑවක්. යෙහෝවාගේ ව්‍යවස්ථාව අනුගමනය කිරීමෙන් කුඩා දැරියක් තම ගැටලු නිරාකරණය කරගත් ආකාරය සලකා බලන්න. ආකෙමී කියන දැරිය, ටෝකියෝ අසල ජීවත් වෙනවා. ඇයව පුහුණු කරද්දී ඇගේ මවත් පියාත් බයිබල් ප්‍රමිති අදාළ කරගත් අතර, යෙහෝවා සඳහාත් අසල්වාසියා සඳහාත් ප්‍රේමයක් වර්ධනය කරගැනීමට තම දියණියට වචනයෙන් සහ ආදර්ශයෙන් උපකාර කළා. පාසැලේදී මුහුණ දෙන්න සිදු විය හැකි ගැටලු මොනවාදැයි කලින්ම නිශ්චය කරගෙන, ඔවුන්ට හැකි උපරිමයෙන් ඇයව සූදානම් කරන්න ඔවුන් උත්සාහ කළා. කෙසේවෙතත්, ආකෙමී ප්‍රාථමික පාසැලට ඇතුල් වූ විට, ඇය කෑම කන්න කලින් යාච්ඤා කළ නිසාත්, හෘදය සාක්ෂියට එකඟව, ශුද්ධ ලියවිලිවලට විරුද්ධ වූ ඇතැම් ක්‍රියාකාරකම්වලින් වැළකී සිටි නිසාත්, ඇගේ පංතියේ ඇතැම් ශිෂ්‍යයන් ඇයව “වෙනස්” කෙනෙකු සේ සැලකුවා. වැඩි කල් යන්න මත්තෙන්, ඇය හිරිහැර කරන්නන්ගේ කණ්ඩායමක ඉලක්කයට ලක් වුණ අතර, පාසැලෙන් පසු ඔවුන් ඇයව කොටු කර, ඇගේ මුහුණට අතුල් පහර ගසමින්, ඇගේ අත් රිදෙන සේ අල්ලා කරකවා, ඇයව සමච්චලයට ලක් කරන්න වුණා.
කුඩා ආකෙමී එකට එක කරන්න ගියේවත්, ඇගේ වධකයන් ඉදිරියෙහි භයින් ගුලි ගැසී සිටියේවත් නැහැ. ඒ වෙනුවට, ඉගෙනගෙන තිබූ දේ අදාළ කරගන්න ඇය වෑයම් කළා. ඇගේ කදිම හැසිරීමේ සහ එඩිතරකමේ ප්‍රතිඵලයක් වශයෙන්, ඇය සෙසු ශිෂ්‍යයන් බොහෝදෙනෙකුගේ ගෞරවය දිනාගත්තා. ඔවුන් කාරණය ගුරුවරියගේ අවධානයට ලක් කළ අතර, එදා පටන්, ආකෙමී පාසැලේදී තවදුරටත් හිරිහැරවලට ලක් වුණේ නැහැ.
දුෂ්කර තත්වයන් සමඟ සාර්ථකව කටයුතු කිරීමට ආකෙමීට උපකාර කළේ කුමක්ද? ඇගේ දෙමාපියන් ඇය තුළ පැලපදියම් කර තිබූ යෙහෝවාගෙන් ලද ඒකාන්ත දැනුම, තීක්ෂ්ණ බුද්ධිය සහ ප්රඥාවයි. යේසුගේ විඳදරාගැනීම ගැන ඇය හොඳින් දැන සිටි අතර, ඔහුගේ ආදර්ශය අනුගමනය කිරීමට එය ඇයට පෙලඹවීමක් වුණා. මිනිස්සු වැරදි දේවල් නොදැනුවත්කමින් කරන බව තේරුම්ගන්න බයිබලය ඇයට උපකාරවත් වුණ අතර, එම හිරිහැර කරන්නන් කළ වැරදි දේවලට ද්වේෂ කළත් අදාළ පුද්ගලයන්ට වෛර නොකිරීමට අවශ්‍ය තීක්ෂ්ණ බුද්ධියත් එය ඇයට ලබා දුන්නා.—ලූක් 23:34; රෝම 12:9, 17-21.
ඇත්තෙන්ම, තම දරුවන් සමච්චලයට සහ හිරිහැරයට ලක් වෙනවා දකින්න කිසිම දෙමාපියෙකුට වුවමනා නොවන බවට සැකයක් නැහැ. කෙසේවෙතත්, සිදු වූ දේ පිළිබඳව තොරතුරු සියල්ල දැනගත්තායින් පසු ආකෙමීගේ දෙමාපියන් කොතරම් ආඩම්බර වුණාද කියා ඔබට සිතාගත හැකිද? එවන් දරුවන් ඇත්තටම යෙහෝවාගෙන් ලද ආශීර්වාදයක්.—ගීතාවලිය 127:3; 1 පේතෘස් 1:6, 7.
යෙහෝවා කෙරෙහි ඉවසිලිවන්තව බලා සිටීම
කෙසේනමුත්, යෙහෝවාගෙන් ආශීර්වාද ලබන්න කලින්, ඇතැම් අවස්ථාවලදී ඔහුගේ කාලය පැමිණෙන තෙක් බලා සිටීමට ඔබට සිදු වෙනවා. යෙහෝවා ඔබේ තත්වය දන්නා අතර, ඉන් ඔබට වැඩිම යහපතක් සැලසෙන අවස්ථාවේදී ඒ එක් එක් අවශ්‍යතාව පිරිමසනවා. (ගීතාවලිය 145:16; දේශනාකාරයා 3:1; යාකොබ් 1:17) ඔබ පලතුරුවලට ප්රියකමක් දක්වනවා ඇති; එනමුත් එය කෑමට ගැනීමට සුදුසු තත්වයට එන්න කලින් එම පලතුරු ඔබට ඉදිරිපත් කළ ආගන්තුක සත්කාර කරන්නෙකු ගැන ඔබට හිතෙන්නේ කුමක්ද? ඇපල් ගෙඩියක්, දොඩම් ගෙඩියක් හෝ වෙන යමක් හෝ වේවා, ඔබ ලබාගන්නා පලතුරු, ඉදුණු, රසවත්, පැණි රසින් සපිරි තත්වයක තිබෙනවාට ඔබ මනාපයක් දක්වනවා ඇති. ඒ හා සමානව, යෙහෝවා ඔබට අවශ්‍ය දේ, නියම කාලයට කලින්වත් පසුවවත් නොව හරි වේලාවට සපයනවා.
යෝසෙප්ගේ අද්දැකීම යළි සිහියට නඟන්න. ඔහුගේ අතින් කිසිම වරදක් සිදු නූණත්, මිසරයේ ඇඳිරි ගෙයක සිටීමට ඔහුට සිදු වුණා. සෙසු සිරකරුවෙක්, එනම් ඵාරාවෝගේ කුසලාන දරන්නා නිදහස් වෙන්න බලාපොරොත්තුවෙන් සිටි අතර, යෝසෙප්ගේ තත්වය ඵාරාවෝගේ අවධානයට ලක් කරන්න පොරොන්දු වුණා. එනමුත් ඔහු නිදහස ලැබුවායින් පසු, ඔහු යෝසෙප්ව සම්පූර්ණයෙන්ම අමතක කළා. යෝසෙප්ව අත්හරිනු ලැබූ බවක් පෙනෙන්න තිබුණා. කෙසේවෙතත්, සම්පූර්ණ වර්ෂ දෙකකට පසු, ඔහුව අන්තිමේදී සිරගෙයින් මුදාහරිනු ලැබූ අතර, අවසානයේදී මිසරයේ දෙවන පාලකයා හැටියට පත් කරනු ලැබුවා. නොඉවසිලිවන්ත වෙනවා වෙනුවට, යෝසෙප් යෙහෝවා කෙරෙහි බලා සිටියා. මේ නිසා ඉශ්රායෙල්වරුන්, මිසරවරුන් දෙපාර්ශ්වයේම ජීවිත ආරක්ෂා වීම අදහස් කළ ආකාරයකින් ඔහුට ආශීර්වාද කරනු ලැබුවා.—උත්පත්ති 39:1–41:57.
මාසාෂී උතුරු ජපානයේ සභාවක සිටි වැඩිමහල්ලෙක්. ඔහු සිටියේ ඇඳිරි ගෙයක නොවන මුත්, යෙහෝවා කෙරෙහි බලා සිටින්න ඔහුට සිදු වුණා. ඇයි? සුදුසුකම් ලත් ක්‍රිස්තියානි දේවසේවකයන් පුහුණු කිරීම සඳහා පාසැලක් වන උපස්ථායක පුහුණු පාසැල ජපානයෙහි පිහිටුවනු ලැබූ දා පටන්, එයට සහභාගි වීම ඔහු තම උනන්දුමත් ඉලක්කය කරගෙන තිබුණා. එම වරප්‍රසාදය ගැන ඔහු බලවත් ලෙස යාච්ඤා කළා. ඔහුගේ පුරෝගාමී සහයකයාට ඇරයුම් කරනු ලැබුවත්, කොතරම් බලවත් ආශාවක් තිබුණත්, මාසාෂීට ඇරයුමක් ලැබුණේ නැහැ. ඔහු ඉතා බලාපොරොත්තු කඩ වුණු තත්වයකට පත් වුණා.
කෙසේවෙතත් තම හැඟීම් සමඟ කටයුතු කිරීමට ඔහු පියවර ගත්තා. ඔහු බයිබලය සහ වොච් ටවර් සමිතිය මගින් ප්‍රකාශයට පත් කළ ප්‍රකාශන අධ්‍යයනය කරමින්, නිහතමානී වීම සහ තම හැඟීම් පාලනය කිරීම වැනි විෂයන්වලට අවධානය යොමු කළා. ඔහු තමාගේ කල්පනාව යළි සකස් කළ අතර, එහි ප්‍රතිඵලයක් වශයෙන් තම පැවරුම තුළ වැඩි තෘප්තියක් අද්දුටුවා. එවිට, අපේක්ෂා නොකළම අවස්ථාවකදී, පාසැලට සහභාගි වෙන්න ඔහුට ඇරයුමක් ලැබුණා.
ඉවසීම සහ නිහතමානීකම වැනි ගුණාංග වර්ධනය කර තිබුණු නිසා, පාසැලින් ඔහු ඊට වඩා වැඩි ප්‍රයෝජනයක් නෙළාගත්තා. පසුව, සංචාරක අවේක්ෂකයෙකු ලෙස තම සහෝදරයන්ට සේවය කිරීමේ වරප්‍රසාදය මාසාෂීට ලැබුණා. ඔව්, මාසාෂීට අවශ්‍ය වුණ දේ මොකක්ද කියා යෙහෝවා දැන සිටි අතර, ඉන් වැඩිම යහපතක් ඉටු කරගත හැකි අවස්ථාවේදීමයි එය සැපයුවේ.
ඔහුගේ ආශීර්වාද පතන්න
එබැවින්, යෙහෝවා ඖෂධවේදියාට සමාන නැහැ. යෙහෝවාගේ සැලකිල්ල සහ උනන්දුව තේරුම්ගන්න අප අපොහොසත් වුණත්, ඔහුගේ කරුණාවන් විවිධ ස්වරූපවලින් පැමිණෙනවා; එසේ පැමිණෙන්නේ ඒවායින් අපට වැඩිම යහපතක් සිදු කරන අවස්ථාවන් සහ මාර්ගවලිනුයි. එබැවින් ඔහුගේ ආශීර්වාද දිගටම පතන්න. ස්තුතිපූර්වක වීමට දැනටමත් ඔබට හේතු බොහොමයක් තිබෙන බව සිහියේ තබාගන්න. පෘථිවියේ දිගටම ජීවත් වීම සඳහා මූලික සැපයුම් දීමෙන් ඔබට ආශීර්වාද කර තිබෙනවා. යෙහෝවා ගැනත් ඔහුගේ පරිපූර්ණ මාර්ගයන් ගැනත් ඔබට දැනුමක් ලබා දී තිබෙනවා. ඔබට තීක්ෂ්ණ බුද්ධිය දී තිබෙනවා. එමෙන්ම ඔබ විචාර බුද්ධිය අත් කරගෙන තිබෙනවා. මේ සියල්ල ඔබේ ශුභසිද්ධිය සහ සන්තෝෂයට දායක වෙනවා.
යෙහෝවාගේ ආශීර්වාද වඩාත් පූර්ණ ආකාරයකින් අද්දැකීමට, බයිබලය නිතිපතා අධ්‍යයනය කිරීමෙහි නිරත වී සිටින්න. යෙහෝවාගේ ආනුභාවය ලත් වචනයෙහි මැණික් වැනි ඉගැන්වීම් තේරුම්ගෙන අදාළ කරගැනීමට උපකාර සඳහා යෙහෝවාට කන්නලව් කරන්න. ඔබට කිසිම හිඟයක් ඇති නොවන පරිද්දෙන්, ඒවා ඔබව සැබවින්ම පොහොසත් කරාවි. ඔව්, දැන් ඔබට සන්තෝෂය සහ සෑහීමත්, මතුවට නව ලෝකයේ බහුල වශයෙන් ජීවනයත් ඒවායින් අදහස් කරන්න යනවා.—යොහන් 10:10; 1 තිමෝති 4:8, 9.
[23වන පිටුවේ පින්තූරය]
යෙහෝවාගේ ආශීර්වාදය රනටත් වඩා අනර්ඝයි