ඔවුන්ගේ උතුම්ම මිත්‍රයාණන් විසින් උසුලනු ලැබීම
එක් මිත්‍රත්වයක් යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ව විශේෂයෙන් උසුලයි. එය වනාහි ඔවුන්ගේ උතුම්ම මිත්‍රයාණන් වන, යෙහෝවඃවහන්සේ සමඟ වූ අනර්ඝ මිත්රත්වයයි. (යාකොබ් 2:23 සසඳන්න.) ඇදහිල්ලට මහත් පරීක්ෂා එල්ල වෙන කාලවලදී උන්වහන්සේ ඔවුන්ට අනුබලය දෙනසේක.
ඒකාධිපති පාලනය යටතේ අඛණ්ඩතාව පිළිබඳව සාක්ෂිකරුවන්ගේ වාර්තාව බොහෝ නිරීක්ෂකයන් විසින් ප්‍රශංසාවට ලක් කොට තිබේ. කොමියුනිස්ට් ගාල් කඳවුරුවල වසර ගණනාවක් ගත කිරීමෙන් පසුව චෙකොස්ලොවැකියාව හැර ගිය, දර්ශනය හා ස්වභාව විද්‍යාව පිළිබඳ ආචාර්යවරයෙක් වූ යිර්ෂි කෘපිච්කා ඔවුන්ගෙන් එක්කෙනෙකි. රෙනෙසාන්ස් රෝසූමු (බුද්ධියේ පුනරුදය) නමැති සිය පොතෙහි, මධ්‍යස්ථභාවය නිසා සිරගත කරනු ලැබූ සාක්ෂිකරුවන්ගේ දුක්වේදනා හා ස්ථිරභාවය පිළිබඳව ඔහු අදහස් දක්වයි.
කොමියුනිස්ට්වාදී ආණ්ඩුව යටතේ, යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් බොහෝදෙනෙක් ඇදහිල්ල නිසා සිර අඩස්සියට නියම කරනු ලැබූහ. සිරගතව සිටියත්, යුද්ධ අවශ්‍යතා සඳහා යුරේනියම් පතල්වල වැඩ කිරීම ඔවුහු ප්‍රතික්ෂේප කළහ. (යෙසායා 2:4) වර්ෂ 1952දී මෙම පතල්වලින් එකක් අසල කෘපිච්කා දුටු දර්ශනයක් ඔහු විස්තර කරයි. දරුණු ශීත දේශගුණයේ අයිස්වලින් වැසුණු ප්‍රතිමා බඳු රූප දෙකක් ඔහු දුටුවේය. ඔවුන්ගේ හිස් සහ ශරීරයේ ඉහළ කොටස ලෝහ පීප්පවලින් වැසී තිබිණ.
කෘපිච්කා මෙසේ ලියයි: “හිමිදිරියේ සිට ඔවුන් දෙදෙනා සිරගෙයි වැරහැලි ඇඳගෙන එතන හිටගෙන හිටියා. ශීතලෙන් ගල්ගැසුණු කකුල්වලින් එපමණ වේලාවක් සිටගෙන සිටින්ට ඔවුන්ට හැකි වූයේ කෙසේද? ඇදහිල්ලෙන් ලැබූ ශක්තියෙනි. පීප්ප, පරණ මෙන්ම මලකඩ කා තිබුණා. කුරිරු පුද්ගලයෙකු විසින් ඔවුන්ගේ හිස් සහ උරහිස් මතට ඒවා කෙතරම් තදින් ඔබා තිබුණාද කිවහොත්, එක් පීප්පයක දාරයේ තිබූ කඩතොලු එම පුරුෂයන්ගෙන් එක්කෙනෙකුගේ ජැකැට්ටුව සිදුරු කරමින් සම කැපී යෑම නිසා, ජැකැට්ටුවේ අත දිගේ ලේ බින්දු බින්දු ගලා වැටුණා.
“ආරක්ෂක භටයා අපගේ භටපෙළ ඔවුන් ඉදිරියෙන් නතර කළ අතර, සේනාධිපති අපට කෙටි කතාවක් ඉදිරිපත් කළා. වැඩ කිරීම ප්‍රතික්ෂේප කිරීම කැරලිගැසීමක් වන බවත්, ඊට සරිලන ආකාරයෙන් දඬුවම් කරන බවත් ඔහු පැවසුවා. යුද්ධයට හා මිනීමැරීමට විරුද්ධ, හැඟීම් බර විකාර කතා කිසිවක් මේ විරුද්ධකාරයන්ට, සමාජවාදයේ මේ සතුරන්ට, පිහිට වෙන එකක් නැහැ.”
එම සේනාධිපතිවරයා ලෝහ දණ්ඩක් ගෙන පීප්පවලින් එකකට පහරක් ගැසුවේය. එහි සිටි මිනිසා පීප්පයත් සමඟම ඇද වැටුණේය. ඊළඟට සිදු වූ දෙය කෘපිච්කාගේ මතකයේ ගැඹුරටම කාවැදී තිබේ.
ඔහු මෙසේ ප්‍රකාශ කරයි: “පීප්ප තුළින් ගී ගයන හඬක් ඇසුණා. සෞම්‍ය හඬවල්, කොතැනක සිටියත් ඕනෑම දෙයක්—පරණ මල බැඳුණු යුරේනියම් පීප්පවල සිට ගී කීමට දරන උත්සාහයන් පවා—අසන්ට හැකියාව තිබෙන දෙවියන්වහන්සේට හීන් හඬින් කළ යාච්ඤාවක්. විශාල දෙව්මැදුරක ගයන ගීතිකාවකට වඩා වැඩි හඬකින් උන්වහන්සේට එය ඇසෙයි.”
වර්ෂ 1993 සැප්තැම්බර් 1වනදා, චෙක් සමූහාණ්ඩුවේ සිටින යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ කටයුතුවලට නිලමය නීතික පිළිගැනීම ලැබිණ. ඔවුන්ගේ ක්‍රිස්තියානි අධ්‍යාපනික කටයුතු නිදහසේ කරගෙන යෑමට චෙක් සාක්ෂිකරුවෝ දැන් බොහෝ සෙයින් සතුටු වෙති. එසේය, ඔවුන්ගේ උතුම්ම මිත්‍රයාණන් වන යෙහෝවඃවහන්සේ ගැන අන්‍යයන්ට කීමෙන් ඔවුහු ඉමහත් ප්‍රීතියක් ලබති.
[7වන පිටුවේ පින්තූරය]
චෙක් සමූහාණ්ඩුවේ සමුළුවට පැමිණ සිටි අය