සැබෑ මිත්‍රයන් අපට අවශ්‍යයි
ජෙනී සහ සූ ප්‍රාණවත් සංවාදයක් පවත්වමින් සිටින්නෝය. හසරැළි නැඟේ, ඇස් දීප්තිමත් වේ—එකිනෙකාට පැවසීමට තිබෙන දේ කෙරෙහි බලවත් උනන්දුව, ඔවුන් හැසිරෙන සෑම විලාසයකින්ම හෙළිදරව් වේ. විවිධ පසුබිම්වලට අයත් වුවත්, ඔවුන්ට එක සමාන අදහස් බොහොමයක් තිබෙන බව පැහැදිලිව පෙනෙන අතර, ඔවුහු එකිනෙකාට මහත් ගෞරවයක් දක්වති.
වෙනත් තැනක, බොහෝ කලක් තිස්සේ එකට වැඩ කර තිබෙන, එරික් හා ඩෙනිස් ව්‍යාපෘතියක නියැලී සිටිත්. ඔවුන් අතර සාමකාමී ස්වභාවයක් තිබෙන අතර, සිනහසීමට වැඩියමක් අවශ්‍ය නොවේ. සංවාදය බැරෑරුම් විෂයන් වෙත මාරු වෙද්දී, ඔවුහු අවංකව අදහස් හුවමාරු කරගනිති. ඔවුහු එකිනෙකාට ගෞරවය කරති. ජෙනී සහ සූ මෙන්, එරික් හා ඩෙනිස් සැබෑ මිත්‍රයෝය.
මෙම විස්තර, ඔබගේම මිත්‍රයන් ගැන කල්පනා කිරීමට සලස්වමින්, ඔබේ හද උණුසුම් කළ හැකිය. අනික් අතට, එවැනි මිත්‍රත්ව ඇති කරගැනීම සඳහා ඒවා ඔබ තුළ ආශාවක් ඇති කළ හැක. ඔබටත් එවැනි මිත්‍රත්වයන් ලබා ගත හැක!
අපට සැබෑ මිත්‍රයන් අවශ්‍ය වීමට හේතුව
අපගේ මානසික සහ ශාරීරික ශුභසාධනය සඳහා, සුවදායක මිත්‍රත්ව අත්‍යවශ්‍ය දෙයකි. කෙසේවෙතත්, අපට තනිකමක් දැනෙන විට, අප තුළ යම් දෝෂයක් තිබෙන බව ඉන් අදහස් නොකෙරේ. තනිකම වනාහි කුසගින්නකි, එනම් අපට සහකාරත්වය අවශ්‍ය කරන බව අඟවන ස්වාභාවික දෙයක් බව ඇතැම් පර්යේෂකයෝ පවසති. හේතුව කුමක් වුවත්, කුසගින්න අඩු කිරීමට හෝ එය ඉවත් කිරීමට ආහාරවලට හැකිසේම, තනිකම අඩු කිරීමට හෝ සම්පූර්ණයෙන්ම නැති කිරීමට පවා හරියාකාර මිත්‍රත්වයකට හැකියාව තිබේ. තවදුරටත්, අපව අගය කරන්නාවූ යහපත් මිත්‍රයන් ඇතුව සිටීම, ලබාගත නොහැකි දෙයක් නොවේ.
මනුෂ්‍යයන්ව මවනු ලැබුවේ සහකාරත්වයේ අවශ්යතාවකිනි. (උත්පත්ති 2:18) සැබෑ මිතුරෙකු හෝ සහකාරයෙකු, “ඉපද සිටින්නෙත් විපත්තියේදී පිහිටවීමටය” කියා බයිබලය පවසයි. (හිතෝපදේශ 17:17) මේ නිසා අවශ්‍ය වූ විටකදී එකිනෙකාගෙන් උපකාර ඉල්ලා සිටීමට අව්‍යාජ මිත්‍රයන්ට හැකි විය යුතුය. එහෙත් උපකාරය ලබාගැනීම සඳහා යම් කෙනෙක් ඇතුව සිටීම හෝ සේවයේදී හෝ සෙල්ලම් කිරීමේදී හෝ සහකාරයෙක් වීමට වඩා දෙයක් මිත්‍රත්වයෙන් අදහස් කෙරේ. හොඳ මිත්‍රයෝ එකිනෙකා තුළ තිබෙන හොඳම ගුණාංග විදහාපාති. හිතෝපදේශ 27:17 මෙසේ පවසයි: “යකඩින් යකඩ මුවහත් වේ; එසේම මනුෂ්‍යයෙක් තම මිත්‍රයාගේ මුහුණ පැහැපත්කරයි.” එකම ලෝහයෙන් සාදන ලද තලයක් මුවහත් කිරීම සඳහා යකඩ කැබැල්ලක් භාවිත කළ හැකි සේම, තව කෙනෙකුගේ මානසික සහ ආත්මික ස්වභාවය මුවහත් කිරීමෙහිලා මිත්‍රයෙකු සාර්ථක විය හැකිය. බලාපොරොත්තු සුන්වීම නිසා අප විෂාදයට පත් වුවහොත්, මිතුරෙකුගේ දයානුකම්පිත බැල්ම හෝ ශුද්ධ ලියවිලිමය දිරිගැන්වීමට අපව නඟාසිටුවීමට හැකිය.
බයිබලයෙහි, ප්‍රේමය, හුරුපුරුදුබව, රහස්‍ය දේවල් රැකීම හා සුහද ආශ්‍රය, මිත්‍රත්වය හා සම්බන්ධව පවතී. මිත්‍රත්වයට අසල්වැසියන්, සෙසු සේවකයන් ආදීන් ඇතුළත් විය හැක. සමහරු ඇතැම් නෑදෑයන්වද තමන්ගේ කිට්ටු මිත්‍රයන් ලෙස සලකති. කෙසේවෙතත්, අදදින බොහෝදෙනෙකුට සැබෑ මිත්‍රයන් සොයාගැනීම සහ මිත්‍රත්වයන් පවත්වාගැනීම අසීරු දෙයකි. මෙය මෙසේ වන්නේ මන්ද? ඔබට සැබෑ සහ කල්පවතින මිත්‍රත්වයන් භුක්තිවිඳිය හැකිද?