ඔබට මතකද?
ඔබ මෑත මුරටැඹ කලාප කියවීමේ ප්‍රීතිය භුක්තිවිඳ ඇද්ද? එසේනම්, පහත සඳහන් දෑ යළි සිහිකරගැනීම සිත්ගන්නා දෙයක් බව ඔබ දැනගනු ඇත:
▫ ආගමික සත්‍යය සොයාගත හැකිද?
“නුඹලා සැබෑව දැනගන්නවා ඇත, සැබෑවද නුඹලා නිදහස්කරන්නේයයි” යේසුස්වහන්සේ පැවසූසේක. (යොහන් 8:32) යේසුස්වහන්සේ සත්‍ය සොයාගත හැකි බව හුවා දැක්වූවා පමණක් නොව, නමුත් එය සෙවීමේදී අප දෙවියන්වහන්සේට නමස්කාර කළ යුතු බවත් පෙන්වූසේක. සමාරිතානු ස්ත්‍රියකට උන්වහන්සේ මෙසේ පැවසූසේක: “සැබෑ නමස්කාරකරන්නන් විසින් ආත්මයෙන්ද සැබෑකමෙන්ද පියාණන්වහන්සේට නමස්කාරකර[න්නේය.]” (යොහන් 4:23)—4/15, පිටුව 5.
▫ රොබෙ ඒට්යෙන් කවරෙක් වීද, එමෙන්ම ඔහු සිය ලකුණ තබා ගියේ කෙසේද?
රොබෙ ඒට්යෙන් 16වන ශතවර්ෂයේ විසූ මුද්‍රණකරුවෙකි. ඔහු ශුද්ධ ලියවිලි ප්‍රකාශනයට සිය ජීවිතය කැප කළ අතර, මුලින්ම ලියූවක් වශයෙන් බයිබලයේ වචන හෙළි කිරීමට පරිශ්‍රමයක් දැරීය. අංකිත පද වශයෙන් බයිබල් ලියවිල්ල වෙන් කිරීම සඳහා ඔහු යොදාගත් ක්‍රමයම, අදදින සමස්ත ලෝකයෙහිම යොදාගන්නා ක්‍රමය වී තිබේ.—4/15, පිටු 10, 14.
▫ දිනපතා බයිබල් කියවීමෙන් අප ප්‍රයෝජන ලබන්නේ කෙසේද?
ශුද්ධ ලියවිලි නිරන්තරයෙන්ම අප සඳහා නව අරුතක් ගන්නා අතර, අප දැක ඇති, අසා ඇති, එමෙන්ම පෞද්ගලිකව අද්දැක ඇති දේ තුළින් බලන කල, අන්තිම දවස් ගැන දී ඇති අනාවැකි තව තවත් අරුත් බර වේ. ජීවිතයේ අපේම අද්දැකීම් පුළුල් වී, අප සාර්ථකව ගැටලුවලට මුහුණදෙන විට අපි වඩාත් පූර්ණ ලෙස බයිබල් උපදෙස් අගය කරන්නෙමු. (හිතෝපදේශ 4:18)—5/1, පිටුව 15.
▫ බයිබල් පද මතක තබාගත හැක්කේ කෙසේද?
ඔබ බයිබලය කියවත්ම, ඔබට මතක තබාගැනීමට වුවමනා වන තෝරාගත් පාඨ ලකුණු කරන්න, නැතහොත් ඒවා කාඩ්පත් මත පිටපත් කර, සෑම දවසකම ඔබ දකින ස්ථානවල මෙම කාඩ්පත් තබන්න. පද මතක තබාගැනීමට ඔබ වෑයම් කරන විට, ඒවා මත මෙනෙහි කර, ඒවායින් ප්‍රයෝජන ගන්න. එක් වතාවකදී ඕනෑවට වඩා මතක තබාගැනීමට උත්සාහ නොකරන්න, සමහරවිට සෑම සතියකම එකක් හෝ දෙකක් පමණක් මතක තබාගැනීමට උත්සාහ කරන්න.—5/1, පිටු 16, 17.
▫ වෙනත් සුවිශේෂ ලේඛකයන් විසින් සපයනු ලැබූ දේවලට වඩා ලූක් සුවිශේෂයේ අඩංගු වන්නේ කුමන අමතර තොරතුරුද?
ලූක් වාර්තාවෙන් සෑහෙන කොටසක් මතෙව්ගේ වාර්තාවට සමානව තිබුණද, සියයට 59ක් වෙනස්ය. ලූක් තම පොතට අසහාය වූ ප්‍රාතිහාර්යයන් හයක් වාර්තා කළ අතර, වෙනත් සුවිශේෂ ලේඛකයන් විසින් වාර්තා නොකරනු ලැබූ යේසුස්වහන්සේගේ උපමාවලින් දෙගුණයකට වැඩි ප්‍රමාණයක් ඔහු වාර්තා කළේය.—5/15, පිටුව 12.
▫ වර්ෂ 1935දී විශේෂ සත්‍යයේ කුමන ආලෝක විහිදුවීම් හෙළිවීද?
තවද, එළිදරව් 7:9, 14හි සඳහන් මහත් සමූහය යොමු දක්වා ඇත්තේ, ස්වර්ගයේ ද්විතීයික පන්තියකට නොව, නමුත් භූමික බලාපොරොත්තු තිබෙන අයට බව යෙහෝවඃවහන්සේගේ සෙනඟ එම වර්ෂයේදී තේරුම්ගත්හ. (යොහන් 10:16)—5/15, පිටුව 20.
▫ වියෝ දුකින් පෙළෙන්නන්ව සැනසීමට අපට හැක්කේ කුමන ප්‍රායෝගික මාර්ගවලින්ද?
සවන්දෙන්න. භය සැක දුරු කරන්න. සහාය දීමට ඉදිරිපත් වී සිටින්න. යෝග්‍ය අවස්ථාවන්හිදී, මූලික පියවර ගන්න. සැනසිලිදායක ලිපියක් හෝ කාඩ්පතක් ලියන්න. ඔවුන් සමඟ යාච්ඤා කරන්න. (යාකොබ් 5:16) ඔවුන්ට දිගටම උපකාර කරන්න. —6/1, පිටු 13, 14.
▫ ආගමිකව බෙදුණු පවුල්වල සිටින අයට විඳදරාගැනීමට උපකාර කිරීම සඳහා ආත්මික සහෝදර, සහෝදරියන්ට කළ හැක්කේ කුමක්ද?
නිතිපතාම, සෑම අවස්ථාවකදීම, ඔවුන්ව දිරිගැන්වෙන අන්දමින්, ඒකාන්ත ලෙසින් සහ සහනදායක වචනවලින් කතා කරන්න. (1 තෙසලෝනික 5:14) මෙය ඔවුන්ගේ මනසට හා ශරීරයට සුවයක් මෙන් ක්‍රියා කරයි. ප්‍රායෝගික හා යෝග්‍ය වන අවස්ථාවලදී ඔවුන්ව ඔබේ දිව්‍යමය හා සමාජීය ක්‍රියාකාරකම්වලට ඇතුළත් කරගන්න. ඔබේ යාච්ඤාවලදී ඔවුන්ව ඇතුළත් කරන්න. (රෝම 1:9; එපීස 1:16)—6/1, පිටුව 29.
▫ ක්ෂේත්‍ර සේවයේ යෙදෙන විට, ඉවසීම ක්‍රියාවට නැංවීමෙන් කුමන විපාක ලැබේද?
මුහුණදීමට සිදුවන ඕනෑම උදාසීනකමක් හෝ විරුද්ධවාදීකමක් දරාගැනීමට රාජ්‍ය ප්‍රචාරකයාට ඉවසීම උපකාර කරයි. කෝප වූ නිවැසියන් සමඟ වාද කරනවා වෙනුවට, ඉවසිලිවන්ත දේවසේවකයන්ට මෘදු උත්තරයක් දීමට නැතහොත් සන්සුන්ව එම ස්ථානයෙන් ඉවත්වීමට හැකි වන්නේය, මෙලෙස සාමය හා ප්‍රීතිය රැකගනු ලැබේ. (මතෙව් 10:12, 13) එපමණක්ද නොව, බැටළු ගුණැති අය රාජ්‍ය පණිවුඩයට ඇදී එන්නෝය.—6/15, පිටුව 9.
▫ බයිබල් සත්‍යය දැන සිටීම එතරම් වැදගත් මන්ද?
සත්‍යය දැන සිටීමෙන් අපව, බොරුවලින්, මුළා කිරීම්වලින් සහ මිථ්‍යා විශ්වාසවලින් නිදහස් කරයි. අප ඒ අනුව ජීවත් වන විට, අසීරුතා විඳදරාගැනීමට සත්‍යය අපව ශක්තිමත් කරන අතර, පරීක්ෂාව යටතේ නොසැලී සිටීමට අපට හැකි කරවමින් අප තුළ බලාපොරොත්තුවක් ඇති කරයි.—7/1, පිටුව 8.
▫ අභිෂේක ලත් ක්‍රිස්තියානි සභාව ස්වාභාවික ඉශ්‍රායෙල්වරුන්ගෙන් ලබාගත්තේ කුමන මූලික වගකීමද?
ජාතීන් අතර යෙහෝවඃවහන්සේගේ මහිමතාවට සාක්ෂිදැරීමේ වරප්‍රසාදය. (යෙසායා 43:21; 1 පේතෘස් 2:9)—7/1, පිටුව 19.
▫ පුරුෂයෙකු තම භාර්යාවට ‘ගෞරව කළ’ යුතු බවට වූ ප්‍රේරිත පේතෘස්ගේ වචනවලින් කුමක් අඟවයිද? (1 පේතෘස් 3:7)
තම භාර්යාවට ගෞරව කරන පුරුෂයා, ඇයව නින්දාවට හෝ අවමානයට ලක් නොකරයි. ඒ වෙනුවට, පෞද්ගලිකව හා ප්‍රසිද්ධියේ කරන, කියන දෙයින්, ඇයව උසස් කොට සලකන බව ඔහු විදහා පෙන්වන්නේය. (හිතෝපදේශ 31:10-31)—7/15, පිටුව 19.
▫ පසුතැවිලි නොවන වරදකරුවෙකු සභාවෙන් නෙරපීම ප්‍රේමනීය යමක්යයි කිව හැක්කේ මන්ද?
සභා ඇසුරෙන් ඉවත් කිරීම වනාහි යෙහෝවඃවහන්සේ සඳහාත්, උන්වහන්සේගේ මාර්ග සඳහාත් ප්‍රේමය දැක්වීමේ ප්‍රකාශයකි. (ගීතාවලිය 97:10) මෙම ක්‍රියාමාර්ගය ගැනීම ධර්මිෂ්ඨ ක්‍රියාමාර්ගයක් අනුව යන අය සඳහා ප්‍රේමය පෙන්වීමක් වේ, මන්දයත් ඔවුන් කෙරෙහි නරක බලපෑමක් කළ හැකි අයව එමගින් ඔවුන් අතරින් පහ කර දමනු ලබන බැවිනි; එමෙන්ම මෙමගින් සභාවේ නිර්මලභාවයද රකිනු ලැබේ. (1 කොරින්ති 5:1-13)—7/15, පිටුව 25.
▫ මතෙව් 24:45-47හි යේසුස්වහන්සේ විසින් පවසනු ලැබූ “විශ්වාසවූ නුවණ ඇති දාසයා” අදදින හඳුනාගත හැක්කේ කෙසේද?
බයිබලය මත පදනම් ප්‍රකාශන සැපයීමෙන්, “රාජ්‍යයේ . . . ශුභාරංචිය” ඉගැන්වීමෙන් හා දේශනා කිරීමෙන්, එමෙන්ම ඔවුන් දේවවචනය වන බයිබලය සමීපයෙන් පිළිපැදීම යන ඔවුන්ගේ වැඩය මගින් ඔවුන්ව විශේෂයෙන්ම හඳුනාගනු ලැබේ. (මතෙව් 24:14; 28:19, 20)—8/1, පිටුව 16.