සත්‍යය සෙවිය යුත්තේ මන්ද?
බොහෝ ආගමික සංවිධාන, තමන්ට සත්‍යය ඇතැයි කියති, තවද ඔවුහු එය ඉතා උනන්දුවෙන් අන්‍යයන්ට ඉදිරිපත් කරති. කෙසේවුවද, ඔවුහු ඔවුන් අතරම “සත්‍යය” පිළිබඳ මනස් අවුල් කරන වියවුල්සහගත විස්තර ඉදිරිපත් කරති. මේ වනාහි සියලු සත්‍යයන් සාපේක්ෂ බවටත්, පරම සත්‍යයන් නැති බවටත්, තවත් සාක්ෂියක් පමණද? නැත.
මහාචාර්ය වී. ආර්. රූජෙරෝ, දි ආට් ඔෆ් තිංකිං නම් තම පොතේ, තම පුදුමය පළ කරමින් කියා සිටින්නේ, බුද්ධිමත් මිනිසුන් පවා ඇතැම්විට සත්‍යය සාපේක්ෂයයි කියන බවය. ඔහු මෙසේ තර්ක කරයි: “සෑම කෙනෙක්ම තමා විසින්ම සත්‍යය කුමක්ද කියා නිර්ණය කරයි නම්, කිසිවෙකුගේ අදහස් තව කෙනෙකුගේ අදහස්වලට වඩා හොඳ වන්නේ නැත. සියල්ලම සමාන විය යුතුය. තවත්, සියලුම අදහස් සමාන නම්, යම් විෂයක් පර්යේෂණ කිරීමේ ඇති තේරුම කුමක්ද? පුරාවිද්‍යාත්මක ප්‍රශ්නවලට පිළිතුරු සෙවීමට පොළොව කණින්නේ මන්ද? මැද පෙරදිග ආතතීන්හි හේතු සෙවීමට උත්සාහ දරන්නේ මන්ද? පිළිකාව සඳහා සුවයක් සොයා පර්යේෂණ කරන්නේ මන්ද? මන්දාකිනි ගවේෂණ කරන්නේ මන්ද? මෙම ක්‍රියාකාරකම්වල යම් තේරුමක් තිබෙන්නේ, යමෙකුගේ පිළිතුරු තව කෙනෙකුගේ පිළිතුරුවලට වඩා හොඳ නම් පමණි, සත්‍යය වනාහි පුද්ගලයන්ගේ මතිමතාන්තරවලින් බැහැරව වෙන්ව තිබෙන දෙයක් වුවහොත් පමණි.”
ඇත්තෙන්ම, කිසිවෙක් සත්‍යය කියා දෙයක් නොමැති බව ඇත්තටම විශ්වාස කරන්නේ නැත. එය ඖෂධ, ගණිතය හෝ භෞතික විද්‍යාවේ නීති වැනි යථාර්ථයන් හා සබැඳි කල, යම් දේවල් සත්‍යය බව තදබල සාපේක්ෂතාවාදියෙක් පවා විශ්වාස කරනවා ඇත. වායු ගති විද්‍යාවේ නීති පරම සත්‍යයන් ලෙස අප නොසිතුවා නම්, ගුවන් යානයකින් ගමන් කිරීමට අපගෙන් කැමති වනු ඇත්තේ කවුද? සනාථ කළ හැකි සත්‍යයන් ඇත්තටම පවතී; ඒවා තිබෙන්නේ අප වටාය. අපි ඒවා මත අපගේ ජීවිත රඳා පවත්වාගනිමු.
සාපේක්ෂතාවාදයේ ඵලවිපාක
එහෙත්, සාපේක්ෂතාවාදයේ දෝෂ වඩාත් දිස්වන්නේ, සදාචාර විෂය තුළය, මන්ද, එවැනි කල්පනාවන් අතිශයින් හානි සිදු කර තිබෙන්නේ මෙම ක්ෂේත්‍රයටය. දි එන්සයික්ලොපීඩියා අමෙරිකානා මෙම කරුණ ගෙනහැරපායි: “දැනුම හෙවත් දැනගත හැකි සත්‍යය, මිනිසාට අත් කරගත හැකිවේදැයි බරපතළ ලෙස සැකයට භාජන කර තිබේ. . . . කෙසේවෙතත්, හුදෙක් කාල්පනික හෝ හානිකර යමක් කියා සත්‍යය සහ දැනුම යන නිවුන් යථාර්ථය, ප්‍රතික්ෂේප කරනු ලබන කොයියම් මොහොතක වුවත්, මිනිස් සමාජය පිරිහෙයි.”
සමහරවිට ඔබ එවැනි පිරිහීමක් දැක තිබෙනවා විය හැක. නිදසුනක් වශයෙන්, ලිංගික දුරාචාරය වැරදියයි පැහැදිලිව පවසන බයිබලයේ සදාචාර ඉගැන්වීම්, තවදුරටත් සත්‍යයන් ලෙස සලකනු ලබන්නේ කලාතුරකිනි. අවස්ථා චර්යාධර්මය—“ඔබ සඳහා හරි දේ කුමක්දැයි තීරණය කරන්න”—අදදින හාත්පස පැතිර පවත්නා මතයයි. මෙම සාපේක්ෂතාවාදී ආකල්පයෙන් සමාජීය පරිහානිය ඇති වී නොතිබේය කියා කීමට යමෙකුට හැකිද? ලෝක ව්‍යාප්තව පවත්නා ලිංගිකව බෝවෙන රෝග, බිඳුණු පවුල් සහ නහඹර වියේ ගැබ්ගැනීම් මෙයට මනා උදාහරණ බව ස්ථිරය.
සත්‍යය යනු කුමක්ද?
දැන් අපි සාපේක්ෂතාවාදය නමැති බොර වූ ජලාශයෙන් මිදී, සත්‍යය නමැති නිර්මල ජලය ගැන බයිබලයේ කුමක් විස්තර කරනවාද කියා කෙටියෙන් සොයා බලමු. (යොහන් 4:14; එළිදරව් 22:17) බයිබලය තුළ, “සත්‍යය” යනු, දර්ශනවාදීන් විවාද කරන වියවුල්සහගත, තේරුම්ගත නොහැකි යම් සංකල්පයක් නම් නොවේ.
යේසුස්වහන්සේ සිය ජීවිතයේ මුළු අරමුණ සත්‍යය ගැන කතා කිරීමයයි පැවසූ විට, උන්වහන්සේ කතා කරමින් සිටියේ ඇදහිලිවන්ත යුදෙව්වන් සියවස් ගණනාවක් පුරා අගේ කොට සලකා තිබූ යමක් ගැනය. යුදෙව්වන් තම ශුද්ධ ලියවිලි තුළ, “සත්‍යය” නමැති දෙය කියවා තිබුණේ ස්ථිර දෙයක් ලෙස මිස, යම් න්‍යායික දෙයක් ලෙස නොවේ. බයිබලය තුළ, “සත්‍යය” යන වචනය පරිවර්තනය කර තිබෙන්නේ, “’එමෙත්ʹ,” යන හෙබ්‍රෙව් වචනයෙන් වන අතර, ඉන් ඇඟවෙන්නේ, ස්ථිර, දැඩි සහ සමහරවිට සියල්ලටම වඩා වැදගත් වූ රඳාපැවතිය හැකි යමක්ය.
සත්‍යය දෙස එලෙසින් බැලීමට යුදෙව්වන්ට හොඳ හේතු තිබිණ. ඔවුන් තම දෙවියන් වූ, යෙහෝවඃවහන්සේව හැඳින්වූයේ, ‘සැබෑකමේ දෙවියන්වහන්සේ’ ලෙසිනි. (ගීතාවලිය 31:5) මෙය මෙසේ වූයේ, තමන් කරනවායයි යෙහෝවඃවහන්සේ පැවසූ සියල්ල උන්වහන්සේ කළ නිසාය. උන්වහන්සේ යම් දේවල් පොරොන්දු කළ විට, එම පොරොන්දු ඉටු කළසේක. උන්වහන්සේ ආනුභාවයෙන් අනාවැකි ප්‍රකාශ කළ විට, ඒවා ඉටු කරනු ලැබිණ. උන්වහන්සේ අවසාන විනිශ්චයන් ප්‍රකාශ කළ විට, ඒවා ඉෂ්ට කරනු ලැබිණ. ඉශ්‍රායෙල්වරු මිලියන ගණනක් මෙම යථාර්ථයන් ඇසින් දුටු සාක්ෂිකරුවෝ වූහ. ආනුභාවය ලත් බයිබල් ලේඛකයන් ඒවා වාර්තා කළේ, ඉතිහාසය පිළිබඳ ප්‍රශ්න කළ නොහැකි සත්‍යයන් ලෙසිනි. පරිශුද්ධයයි සැලකෙන අනිකුත් පොත් මෙන් නොව, බයිබලයේ අබමල් රේණුවක තරම් මිථ්‍යාවක්වත්, ප්‍රබන්ධයක්වත් නැත. ඒවා ස්ථිර ලෙස පදනම් වී ඇත්තේ, ඓතිහාසික, විද්‍යාත්මක සහ සාමාජීය යථාර්ථයන් තුළය. ගීතිකාකරු යෙහෝවඃවහන්සේ පිළිබඳව මෙසේ පැවසීම ගැන පුදුම වෙන්ට දෙයක් නැත: “ඔබගේ ව්‍යවස්ථාවද සත්‍යයය. . . . ඔබගේ සියලු ආඥා සත්‍යයය. . . . ඔබගේ වචනයේ මුළු අදහස නම් සත්‍යයය.”!—ගීතාවලිය 119:142, 151, 160.
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගීතාවලියේ එම වදන් යාච්ඤාවෙන් යෙහෝවඃවහන්සේට මෙසේ ප්‍රතිනාද කළසේක: “ඔබගේ වචනය සත්‍යතාවය.” (යොහන් 17:18) තම පියාණන් පැවසූ සෑම දෙයක්ම සම්පූර්ණයෙන්ම ස්ථිර බවත්, රඳා සිටිය හැකි බවත් යේසුස්වහන්සේ දැන සිටිසේක. ඒ හා සමානව, යේසුස්වහන්සේ, “සත්‍යයෙන්ද පූර්ණව” සිටිසේක. (යොහන් 1:14) ඇසින් දුටු සාක්ෂිකරුවන් වශයෙන් ඉගෙනගත් උන්වහන්සේගේ අනුගාමිකයෝ, උන්වහන්සේ පැවසූ දේවල්, ස්ථිරසාර සත්‍යයන් ලෙසින් අනාගත පරම්පරාවලට වාර්තා ගත කළහ.a
කෙසේවුවද, තමා පොළොවට පැමිණියේ සත්‍යයට සාක්ෂිදැරීමටයයි යේසුස්වහන්සේ පිලාත්ට පැවසූ විට, උන්වහන්සේගේ මනසේ තිබුණේ විශේෂ සත්‍යයකි. යේසුස්වහන්සේ එම ප්‍රකාශය කළේ, “නුඹ රජෙක්දැයි” පිලාත් ඇසූ ප්‍රශ්නයට ප්‍රතිචාර දක්වමිනි. (යොහන් 18:37) යේසුස්වහන්සේ පොළොව මත සිටින විට, උන්වහන්සේගේ ඉගැන්වීම්වල තේමාව හෙවත් හරය වූයේ, තමාම රජ ලෙස ක්‍රියා කරනු ඇති, දෙවියන්වහන්සේගේ රාජ්‍යයයි. (ලූක් 4:43) මෙම රාජ්‍යය, යෙහෝවඃවහන්සේගේ නාමය විශුද්ධ කරනු ඇති බවත්, උන්වහන්සේගේ පරමාධිපත්‍යය නිදොස් කරනු ඇති බවත්, එමෙන්ම ඇදහිලිවන්ත මිනිස්වර්ගයා සදාකාලික, සන්තෝෂවත් ජීවිතයකට යළි පිහිටුවනු ලබන බවත්, යන ඉගැන්වීම වනාහි සියලු අව්‍යාජ ක්‍රිස්තියානීන් බලාපොරොත්තු වන “සත්‍යය” ය. දෙවියන්වහන්සේගේ පොරොන්දු සියල්ලේ ඉටුවීම යේසුස්වහන්සේගේ කාර්යභාරය වටා කේන්ද්‍රගතව තිබෙන නිසා, එමෙන්ම, දෙවියන්වහන්සේගේ සියලු පොරොන්දු “ආමෙන්” හෙවත් සැබෑ වන්නේ තමන්වහන්සේ නිසා වන බැවින්, මෙසේ පැවසීමට යේසුස්වහන්සේට මැනවින් හැකිවිය: “මාර්ගයද සැබෑවද ජීවනයද මමය.”—යොහන් 14:6; 2 කොරින්ති 1:20; එළිදරව් 3:14.
මෙම සත්‍යය සම්පූර්ණයෙන්ම රඳාපැවතිය හැකි යමක් සේ පිළිගැනීම, අදදින ක්‍රිස්තියානීන්හට විශාල අර්ථයක් ගනී. දෙවියන්වහන්සේ කෙරෙහි ඔවුන්ගේ ඇදහිල්ල සහ උන්වහන්සේගේ පොරොන්දු කෙරෙහි ඔවුන්ගේ බලාපොරොත්තුව සත්‍යය කරුණු මත, නොහොත් යථාර්ථය මත පදනම් වී ඇති බව මින් අදහස් කරයි.
සත්‍යය ක්‍රියාවට නැංවී
බයිබලය, සත්‍යය සමඟ ක්‍රියාව සම්බන්ධ කොට තිබීම ගැන පුදුම වෙන්ට දෙයක් නැත. (1 සාමුවෙල් 12:24; 1 යොහන් 3:18) දේව-භයැති යුදෙව්වන්හට, සත්‍යය වනාහි දර්ශනවාදය සඳහා වූ විෂයක් නොවීය; එය වනාහි ජීවන මාර්ගයක් විය. “සත්‍යය” සඳහා වූ හෙබ්‍රෙව් වචනය “විශ්වාසවන්තභාවය”ද අදහස් කළ හැකි වූ අතර, තම වචනය මත ක්‍රියා කරන බවට විශ්වාස කළ හැකි යමෙකුව විස්තර කිරීමට භාවිත කරන ලදි. යේසුස්වහන්සේ තම අනුගාමිකයන්ට ඉගැන්වූයේ සත්‍යය දෙස එම ආකාරයෙන්ම බලන ලෙසය. උන්වහන්සේ ඵරිසිවරුන්ගේ කුහකකම, එනම්, තමන්ගේ ධර්මිෂ්ඨ වචන සහ ඔවුන්ගේ අධර්මිෂ්ඨ ක්‍රියා අතර ඇති මහා වෙනස ගැන විනිශ්චය, ඉතා තදින් ප්‍රකාශ කළසේක. තවද තමා ඉගැන්වූ සත්‍යයට අනුව ජීවත් වීම මගින් උන්වහන්සේ ආදර්ශය තැබූසේක.
එබැවින්, ක්‍රිස්තුස්වහන්සේගේ සියලු අනුගාමිකයන් සම්බන්ධයෙන්ද එය එසේ විය යුතුය. ඔවුන්හට, දෙවියන්වහන්සේගේ වචනයේ සත්‍යතාවන්, එනම් යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පාලනය යටතේ දෙවියන්වහන්සේගේ රාජ්‍යය පිළිබඳ මනබන්ඳනීය ශුභාරංචිය, හුදෙක් තොරතුරුවලට වඩා ඉතා බොහෝ සෙයින් වැඩි යමකි. එම සත්‍යය ඔවුන්ව ක්‍රියාවට පොලඹවයි, ඒ අනුව ජීවත් වීමටත්, එය අන්‍යයන් සමඟ බෙදාගැනීමටත් ඔවුන්ට බල කරයි. (යෙරෙමියා 20:9 සසඳන්න.) පළමු සියවසේ ක්‍රිස්තියානි සභාව, ක්‍රිස්තුස්වහන්සේගේ අනුගාමිකයන් වශයෙන්, තමන් වැළඳගත් ජීවන මාර්ගය, ඇතැම්විට හඳුන්වනු ලැබුවේ, “සත්‍යතා[වය]” හෙවත් “සත්‍යතාවේ මාර්ගය” යනුවෙන්ය.—2 යොහන් 4; 3 යොහන් 4, 8; 2 පේතෘස් 2:2.
ගෙවන්ට සිදුවන ඕනෑම දෙයකට වඩා වටින නිධානයක්
ඇත්තෙන්ම, දෙවියන්වහන්සේගේ වචනයේ සත්‍යතාවන් පිළිගැනීමේදී යමක් ගෙවන්ට සිදුවේ. පළමුව, හුදෙක් සත්‍යය ඉගෙනගැනීමම, සසල කරවන ඇද්දැකීමක් වන්ට පුළුවන. දි එන්සයික්ලොපීඩියා අමෙරිකානා මෙසේ නිරීක්ෂණය කරයි: “සත්‍යය බොහෝවිට එකඟ නොවිය හැකි දෙයක්ය, මන්ද, එය අගතීන් හෝ මිථ්‍යාවන්ට අනුබල දීමට අපොහොසත් වන නිසාය. අපගේම විශ්වාසයන්, විශේෂයෙන්ම අප විශ්වාසය තැබු ආගමික නායකයන් විසින් උගන්වනු ලැබූ විශ්වාසයන්, බොරු බවට හෙළිවනවා දකින විට එය බලාපොරොත්තු සුන් කරයි. ඇතැම් අයට එම අද්දැකීම, තමන් විශ්වාසය තැබු දෙමාපියන් ඇත්තටම රහසිගත අපරාධකරුවන් බව සොයාගැනීමට සමානය. එහෙත්, ආගමික සත්‍යතාවන් සොයාගැනීම, වියවුලක් යටට වී ජීවත් වනවාට වඩා හොඳ නොවන්නේද? බොරු මගින් රවටනු ලැබ සිටිනවාට වඩා සැබෑවන් දැනගැනීම වඩාත් හොඳ නොවන්නේද?b—යොහන් 8:32; රෝම 3:4 සසඳන්න.
දෙවනුව, කලින් අපගේ මිත්‍රයන් වී සිටි අය විසින් අපව පිළිනොගැනීමද, ආගමික සත්‍යයට අනුව ජීවත් වීම නිසා සිදුවිය හැක. බොහෝදෙනෙක්, “දෙවියන්වහන්සේගේ සත්‍යය බොරුවකට මාරුකර” ඇති ලෝකයක, දේවවචනයේ සත්‍යයට ඇලී සිටින අයව අමුතු අය මෙන් පෙනී යා හැකි අතර, ඇතැම්විට, ඔවුන්ගෙන් වැළකී සිට, ඔවුන්ව වරදවා තේරුම්ගනු ලැබිය හැක.—රෝම 1:25; 1 පේතෘස් 4:4.
එහෙත්, ගෙවන්ට සිදුවන මෙම දෙයාකාර මිලට සත්‍යය වටී. සත්‍යය දැනගැනීම අපව, බොරුවලින්, මිථ්‍යා විශ්වාසවලින් සහ ආත්ම බන්ධන ක්‍රියාවලින් නිදහස් කරයි. තවද අප ඒ අනුව ජීවත් වන විට, අසීරුතා විඳදරාගැනීමට සත්‍යය අපව ශක්තිමත් කරයි. දෙවියන්වහන්සේගේ සත්‍යතාව එතරම්ම රඳා පැවතිය හැක, එමෙන්ම හොඳින් පදනම් කොට ඇත, තවද එය අප තුළ බලාපොරොත්තුවක් ඇති කරන අතර, ඕනෑම පරීක්ෂාවක් යටතේ ස්ථිරව සිටීමට එය අපට හැකිකම ලබා දෙයි. ප්‍රේරිත පාවුල් මෙම සත්‍යය, සොල්දාදුවන් යුද බිමට යන විට පැළඳි, පුළුල්, ශක්තිමත් පටියකට, හෙවත් ඉන පටියකට සමාන කිරීම පුදුමයක් නොවේ!—එපීස 6:13, 14.
බයිබල් හිතෝපදේශය මෙසේ පවසයි: “සත්‍යයද ප්‍රඥාවද ඉගනගැන්මද නුවණද මිලේට ගනින්න, ඒවා නොවිකුණා තබාගනින්න.” (හිතෝපදේශ 23:23) සත්‍යය සාපේක්ෂී දෙයක් නැතහොත් නොපවතින දෙයක්ය කියා බැහැර කිරීම, ජීවිතයෙන් ලබාගත හැකි වඩාත් ප්‍රියජනක තෘප්තිමත් කරවන දේවල් අහිමි කරගැනීමකි. එය සොයාගැනීම, බලාපොරොත්තුව සොයාගැනීමකි; එය දැනගෙන එයට ප්‍රේම කිරීම, විශ්වයේ මැවුම්කරුවාණන් සහ උන්වහන්සේගේ ඒක-ජාතක පුත්‍රයාණන් දැනගෙන ප්‍රේම කිරීමය; ඒ අනුව ජීවත් වීම, අරමුණක් සහ මනසේ සාමය ඇතුව දැනුත්, සදාකාලයටත් ජීවත් වීමය.—හිතෝපදේශ 2:1-5; සෙකරියා 8:19; යොහන් 17:3.
[පාදසටහන්වල]
a යේසුස්වහන්සේ සිය වචනවල සත්‍යතාව අවධාරණය කිරීමට, අතිවිශේෂ ප්‍රකාශයක් පාවිච්චි කරන බවට වාර්තා වන තැන් 70ක් සුවිශේෂ වාර්තාවල තිබේ. යම් වාක්‍යයක් ආරම්භ කිරීමට “ආමෙන්” (“සැබවින්ම” NW) කියා බොහෝවිට උන්වහන්සේ පවසනසේක. මීට අනුරූප හෙබ්‍රෙව් වදනින් අදහස් කළේ, “සහතිකය, සැබෑය” යන්නය. ද නිව් ඉන්ටර්නැෂනල් ඩික්ෂනරි ඔෆ් නිව් ටෙස්ටමන්ට් තියොලජි මෙසේ සටහන් කරයි: “තම වචනය ආමෙන් සමඟින් හඳුන්වා දීමෙන් සනිටුහන් කළේ, ඒවා ස්ථිර, රඳාපැවතිය හැකි ඒවා බවයි. උන්වහන්සේ ඒවාට ස්ථිර ලෙස ඇලී සිටිය අතර, ඒවා තමා මතත්, තමාගේ ශ්‍රාවකයන් මතත් බැඳ තැබූසේක. උන්වහන්සේගේ වචන, උන්වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වය හා අධිකාරය එයින් කියා පෑවේය.”
b “සත්‍යය” සඳහා වූ ග්‍රීක් වචනය, අ·ලෙʹති·ආ, යන්නෙහි වචනාර්ථය නම්, “සැඟවී නොතිබෙන” යන්නයි, එබැවින්, කලින් සැඟවී තිබූ යමක් හෙළිදරව් කිරීම සත්‍යයට සෑමවිටම ඇතුළත් වෙයි.—ලූක් 12:2 සසඳන්න.
[6වන පිටුවේ කොටුව]
සත්‍යය කවදා හෝ වෙනස් වේද?
මෙම ප්‍රශ්නය අසනු ලැබුවේ, දි ආර්ට් ඔෆ් තිංකිං නම් තම පොත තුළ වී. ආර්. රූජෙරෝ විසිනි. ඔහුගේ පිළිතුර නම් නැත යන්නයි. ඔහු තවදුරටත් මෙසේ විස්තර කරයි: “එය එසේයයි පෙනෙන්ට පුළුවන, නමුත් ඉතා සමීපව පරීක්ෂා කර බලන විට, එය වෙනස් වී නැති බව පෙනී යනු ඇත.”
ඔහු මෙසේ පවසයි: “බයිබලයේ පළමු පොත වන උත්පත්ති පොත පිළිබඳ සිද්ධිය සලකා බලන්න. මෙම පොත එක් කර්තෘවරයෙකු විසින් පමණක් ලියන ලද බව සියවස් ගණනාවක් පුරා, ක්‍රිස්තියානීහු සහ යුදෙව්වෝ එක සමාන ලෙස විශ්වාස කළහ. කල්යත්ම, මෙම දෘෂ්ටියට අභියෝග එල්ල වූ අතර, කර්තෘවරුන් පස්දෙනෙකු පමණ සංඛ්‍යාවක් උත්පත්ති පොත ලිවීමට දායක වී ඇතිය යන විශ්වාසයෙන් මෙය අනුයුක්ත විණ. අනතුරුව, 1981දී, උත්පත්ති පොත පිළිබඳව වසර 5ක භාෂාමය විශ්ලේෂණයක ප්‍රතිඵල ප්‍රකාශයට පත් කරනු ලැබූ අතර, මූලාරම්භයේදී සිතුවාක් මෙන්, මේ සඳහා තනි කර්තෘවරයෙකු සිටීමේ සම්භාවිතාව සියයට 82ක් වී ඇතැයි සඳහන් කෙරිණ.
“උත්පත්ති පොතේ කර්තෘමයභාවය පිළිබඳ සත්‍යය වෙනස් වී තිබේද? නැත. වෙනස් වී ඇත්තේ අපගේ විශ්වාසයන් පමණි. . . . අපගේ දැනුම මගින් හෝ අපගේ නොදැනුවත්කම මගින් හෝ සත්‍යය වෙනස් නොවනු ඇත.”
[7වන පිටුවේ කොටුව]
සත්‍යය උදෙසා ගෞරවය
“සත්‍යය උදෙසා ගෞරවය යනු, කිසිවෙකුටත්, කිසිවකටත් සත්‍යය තමන් සතුව තිබෙනවායයි අව්‍යාජ ලෙස කියා සිටින්ට නොහැකිය යන විශ්වාසය තුළ සිට, සෑම දෙයක්ම ‘හාරා බැලීමට’ යත්න දරන්නාවූ, සෑම දෙයක් ගැනම වපර ඇසින් බලන අපගේ යුගයේ පවතින ව්‍යාජ ශ්වනවාදය නොවේ. එය වනාහි, ඇත්තටම සත්‍යය සොයාගත හැකිය, එමෙන්ම සත්‍යය මතු වන කොයියම් තැනක හෝ කොයියම් මොහොතක හෝ ඊට කැමැත්තෙන්ම යටත් වනවාය යන ප්‍රීතිමත් නිසැකකම මුසු වූ ආකල්පයකි. සත්‍යතාවේ දෙවියන්වහන්සේට ප්‍රේම කරන අයට, සත්‍යය කෙරෙහි එවන් විවෘත මනසක් අවශ්‍යය; ඒ අතරම, මිනිසෙකු තම අසල්වැසියා සමඟ කටයුතු කරන විට, වචනයෙන්ද, ක්‍රියාවෙන්ද අවංකකම සහතික කිරීමක් සත්‍යය සඳහා වූ නියම ගෞරවයට තිබේ. අප දැක තිබෙන පරිදි, ප[රණ] [ගිවිසුමත්] අ[ලුත්] [ගිවිසුමත්] සාක්ෂි දරන ආකල්පය එයයි.”—ද නිව් ඉන්ටර්නැෂනල් ඩික්ෂනරි ඔෆ් නිව් ටෙස්ටමන්ට් තියොලජි, 3 වෙළුම, 901 පිටුව.
[7වන පිටුවේ පින්තූර]
විද්‍යාත්මක ප්‍රගතිය පදනම් වී ඇත්තේ, විද්‍යාත්මක සත්‍යයන් නිරාවරණය කිරීම මතය
[8වන පිටුවේ පින්තූරය]
රාජ්‍යය සහ එහි ආශීර්වාද වටා සත්‍යය ගෙතී තිබේ