ස්වර්ගික පුරවැසිභාවය සතු ක්‍රිස්තියානි සාක්ෂිකරුවෝ
“නුමුත් අපේ නාගරිකත්වය [පුරවැසිභාවය, NW] ස්වර්ගයෙහිය.”—පිලිප්පි 3:20.
1. ඇතැම් මිනිසුන් සම්බන්ධයෙන් යෙහෝවඃවහන්සේට තිබෙන පුදුමාකාර අරමුණ කුමක්ද?
මිනිසුන් ලෙස ඉපදුණු පුද්ගලයෝ දේවදූතයන්ටත් වඩා ඉහළින් ස්වර්ගයේ රජවරුන් හා පූජකයන් වශයෙන් පාලනය කරන්නෝය. (1 කොරින්ති 6:2, 3; එළිදරව් 20:6) එය කෙතරම් පුදුමාකාර සත්‍යයක්ද! එහෙත්, යෙහෝවඃවහන්සේ එය අරමුණු කළසේක, තවද උන්වහන්සේ එය ස්වකීය ඒකජාතක පුත්‍රයාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළින් ඉටු කරනසේක. අපගේ මැවුම්කරුවාණන් එවැනි දෙයක් කරන්නේ මන්ද? තවද අදදින ක්‍රිස්තියානියෙකුට ඒ පිළිබඳ දැනුම බලපෑ යුත්තේ කෙසේද? බයිබලය මෙම ප්‍රශ්නවලට පිළිතුරු දෙන ආකාරය අපි සලකා බලමු.
2. යේසුස්වහන්සේ විසින් කරනු ඇති බවට යොහන් බව්තීස්ත නිවේදනය කළාවූ අලුත් දෙය කුමක් වීද, තවද මෙම අලුත් දෙය කුමකට සම්බන්ධ වීද?
2 යොහන් බව්තීස්ත යේසුස්වහන්සේ උදෙසා මාර්ගය පිළියෙළ කරමින් සිටින විට, යේසුස්වහන්සේ යම් අලුත් දෙයක් කරනු ඇතැයි ඔහු නිවේදනය කළේය. වාර්තාව මෙසේ කියයි: “[යොහන්] දේශනාකරමින්: මට වඩා බලවත් කෙනෙක් මට පසුව එනසේක, මම නැමී උන්වහන්සේගේ වහන්වල පටිය මුදන්ටවත් නොවටිමි. මම නුඹලා වතුරෙන් බව්තීස්ම කෙළෙමි, නුමුත් උන්වහන්සේ නුඹලා ශුද්ධාත්මයාණන්ගෙන් [ශුද්ධාත්මයෙන්, NW] බව්තීස්ම කරනසේක.” (මාර්ක් 1:7, 8) එම වකවානුවට පෙර, කිසිම කෙනෙක් ශුද්ධාත්මයෙන් බව්තීස්ම වී සිටියේ නැත. මෙය ශුද්ධාත්මය හා සම්බන්ධ නව විධිවිධානයක් වූ අතර, ස්වර්ගික පාලකත්වයක් සඳහා මිනිසුන්ව සූදානම් කිරීම සම්බන්ධව හෙළි කිරීමට ඉතා ආසන්නව තිබූ, යෙහෝවඃවහන්සේගේ අරමුණට එය සම්බන්ධ විය.
“නැවත ඉපදීම”
3. යේසුස්වහන්සේ නිකොදේමුස්ට පැහැදිලි කළේ ස්වර්ග රාජ්‍යය පිළිබඳව කිනම් අලුත් දේවල්ද?
3 ප්‍රධාන පෙළේ ඵරිසියෙක් රහසිගතව උන්වහන්සේව හමුවීමට පැමිණි අවස්ථාවේ, යේසුස්වහන්සේ මෙම දිව්‍ය අරමුණ ගැන තවත් දේ හෙළි කළසේක. නිකොදේමුස් නම් මෙම ඵරිසිවරයා රාත්රියේදී යේසුස්වහන්සේ වෙතට පැමිණි අතර, යේසුස්වහන්සේ ඔහුට මෙසේ පැවසූසේක: “යමෙක් අලුතෙන් නූපන්නොත් ඔහුට දෙවියන්වහන්සේගේ රාජ්‍යය දකින්ට නොහැ[ක].” (යොහන් 3:3) නිකොදේමුස්, ඵරිසියෙකු වශයෙන් හෙබ්‍රෙව් ශුද්ධ ලියවිලි අධ්‍යයනය කර තිබුණා විය යුතු අතර, දෙවියන්වහන්සේගේ රාජ්‍යය පිළිබඳ උදාර සත්‍යයන් ගැන යමක් දැන සිටියා විය යුතුය. මෙම රාජ්‍යය, ‘මනුෂ්‍ය පුත්‍රයෙකුට සමාන කෙනෙකුටද,’ ‘මහෝත්තමයාණන්ගේ ශුද්ධවන්තයන් වන සෙනඟටද’ දෙනු ලබන බව දානියෙල්ගේ පොත පුරෝකථනය කළේය. (දානියෙල් 7:13, 14, 27) මෙම රාජ්‍යය, අනිකුත් සියලුම ආණ්ඩු “පොඩිකර නැති කරන්නේය, එයද සදාකාලේටම පවතින්නේය.” (දානියෙල් 2:45) සමහරවිට මෙම අනාවැකි යුදෙව් ජාතිය සම්බන්ධයෙන් ඉටුවනු ඇතැයි නිකොදේමුස් සිතුවා විය හැක; නමුත් යේසුස්වහන්සේ පැවසුවේ එම රාජ්‍යය දැකීමට නම්, යමෙකු නැවත ඉපදිය යුතු බවයි. නිකොදේමුස් මෙය තේරුම්ගත්තේ නැත, එමනිසා යේසුස්වහන්සේ තවදුරටත් පැවසුවේ මෙසේයි: “යමෙක් වතුරෙන්ද ආත්මයාණන්ගෙන්ද නූපන්නොත් ඔහුට දෙවියන්වහන්සේගේ රාජ්‍යයට ඇතුල්වෙන්ට බැරිය.”—යොහන් 3:5.
4. ශුද්ධාත්මයෙන් ඉපදුණු අය උදෙසා, යෙහෝවඃවහන්සේ සමඟ තිබූ ඔවුන්ගේ සම්බන්ධය වෙනස්වනු ඇත්තේ කෙසේද?
4 ශුද්ධාත්මය සමඟින් බව්තීස්ම කරනු ලැබීම ගැන යොහන් බව්තීස්ත කතා කොට තිබිණ. දැන්, යේසුස්වහන්සේ මෙහිදී තවදුරටත් කියා සිටින්නේ, යම් පුද්ගලයෙකු දෙවියන්වහන්සේගේ රාජ්‍යයට ඇතුළත් වීමට නම්, ඔහු ශුද්ධාත්මයෙන් ඉපදිය යුතු බවය. මෙම අසහාය උපත මගින්, අසම්පූර්ණ පුරුෂයෝද ස්ත්‍රීහුද යෙහෝවඃ දෙවියන්වහන්සේ සමඟ අතිවිශේෂ සම්බන්ධතාවකට ඇතුළත් වෙති. ඔවුහු දෙවියන්වහන්සේගේ දරුකමට ගත් දරුවෝ බවට පත්වෙති. අපට මෙසේ කියවීමට තිබේ: “නුමුත් යම් පමණ දෙනෙක් [යේසුස්වහන්සේ] පිළිගත්තෝද, එනම් උන්වහන්සේගේ නාමය කෙරෙහි අදහාගන්නෝද, ඔවුන්ට දෙවියන්වහන්සේගේ දරුවන්වෙන්ට උන්වහන්සේ බලය දුන්සේක. ඔව්හු ලෙයෙන්වත් මාංසයේ කැමැත්තෙන්වත් මනුෂ්‍යයාගේ කැමැත්තෙන්වත් නොව දෙවියන්වහන්සේගෙන් උපන්නෝය.”—යොහන් 1:12, 13; රෝම 8:15.
දෙවියන්වහන්සේගේ දරුවෝ
5. පළමු ඇදහිලිවන්ත ගෝලයන් ශුද්ධාත්මය සමඟින් බව්තීස්ම වූයේ කවදාද, එම වකවානුවේදී ශුද්ධාත්මයේ ක්‍රියාකාරිත්වයට සම්බන්ධ කිනම් සිදුවීම් වූයේද?
5 යේසුස්වහන්සේ නිකොදේමුස්ට කතා කළ අවස්ථාවේ, දෙවියන්වහන්සේගේ රාජ්‍යයේ අනාගත පාලකත්වය සඳහා යේසුස්වහන්සේව අභිෂේක කරමින්, එවිටමත් උන්වහන්සේ මතට ශුද්ධාත්මය පැමිණ තිබූ අතර, යේසුස්වහන්සේ වනාහි ස්වකීය පුත්‍රයාණන් බවට දෙවියන්වහන්සේ විසින් ප්‍රසිද්ධියේම පිළිගෙන තිබිණ. (මතෙව් 3:16, 17) පොදු යුගයේ 33දී, යෙහෝවඃවහන්සේ තවත් ආත්මික දරුවන් ජනිත කළසේක. යෙරුසලමේ ඉහළ කාමරයක එක්රැස්වූ විශ්වාසවන්ත ගෝලයන්ව ශුද්ධාත්මය සමඟින් බව්තීස්ම කරන ලදි. ඒ අතරම, ඔවුහු දෙවියන්වහන්සේගේ ආත්මික පුත්‍රයන් වීම පිණිස, ශුද්ධාත්මයෙන් යළිත් උත්පාදනය කරනු ලැබූහ. (ක්‍රියා 2:2-4, 38; රෝම 8:15) තවදුරටත්, අනාගත ස්වර්ගික උරුමයක් ලැබීමේ අරමුණින් ඔවුන්ව ශුද්ධාත්මයෙන් අභිෂේක කරනු ලැබූ අතර, එම ස්වර්ගික බලාපොරොත්තුවේ සහතිකයක අත්තිකාරමක් වශයෙන්, ඔවුන්ව ශුද්ධාත්මය සමඟින් පළමුවෙන් මුද්‍රා කරන ලදි.—2 කොරින්ති 1:21, 22.
6. ස්වර්ගික රාජ්‍යය සම්බන්ධයෙන් යෙහෝවඃවහන්සේගේ අරමුණ කුමක්ද, මිනිසුන් මෙහි කොටසක් ඇති ව සිටීම යෝග්‍ය වන්නේ මන්ද?
6 රාජ්‍යයට ඇතුළත්වීම සඳහා දෙවියන්වහන්සේ විසින් තෝරාගනු ලැබූ පළමු අසම්පූර්ණ මිනිස්සු වූයේ මොවුහුය. එනම්, ඔවුන්ගේ මරණින් හා නැවත නැගිටීමෙන් පසු, මිනිසුන් සහ දේවදූතයන් කෙරෙහි පාලනය කරනු ඇති ස්වර්ගික රාජ්‍ය සංවිධානයේ කොටසක් බවට ඔවුහු නියමිතව සිටියහ. යෙහෝවඃවහන්සේ ස්වකීය රාජ්‍යය මාර්ගයෙන් එය අරමුණු කරන අතර, සියලුම මැවිලි ඉදිරියේ, උන්වහන්සේගේ මහත් නාමය විශුද්ධ වී, උන්වහන්සේගේ පරමාධිපත්‍යය නිදොස් කරනු ලබනවා ඇත. (මතෙව් 6:9, 10; යොහන් 12:28) මිනිසුන්ට එම රාජ්‍යයේ කොටසක් වීමට ලැබීම මොනතරම් සුදුසුද! මීට පෙර, ඒදන් උයනේදී යෙහෝවඃවහන්සේගේ පරමාධිපත්‍යයට එරෙහිව පළමු අභියෝගය නැංවීමට සාතන් මිනිසුන්ව යොදාගත් අතර, එම අභියෝගයට පිළිතුරු දීමෙහිලා මිනිසුන් ඊට සම්බන්ධ වනු ඇති බවට යෙහෝවඃවහන්සේ දැන් අරමුණු කරනසේක. (උත්පත්ති 3:1-6; යොහන් 8:44) එම රාජ්‍ය පාලනයට තෝරාගනු ලැබූ පුද්ගලයන්ට ප්‍රේරිත පේතෘස් මෙසේ ලීවේය: “අපගේ ස්වාමීවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පියවූ දෙවියන්වහන්සේට ප්‍රශංසාවේවා. . . . නුඹලා උදෙසා ස්වර්ගයෙහි තබා තිබෙන්නාවූ, ජරාවට නොපැමිණෙන්නාවූ, නොකිලුටුවූ, පහ නොවන්නාවූ උරුමයක් ගැන, ජීවන බලාපොරොත්තුවක් ලැබෙන පිණිස යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ මළවුන්ගෙන් නැගිටීම කරණකොටගෙන උන්වහන්සේ තමන්ගේ මහත් දයාව ලෙස අප නැවත උත්පාදකළසේක.”—1 පේතෘස් 1:3-5.
7. ශුද්ධාත්මය සමඟින් බව්තීස්ම වූවන් විසින් යේසුස්වහන්සේ සමඟ භුක්තිවිඳිනු ලබන්නේ කිනම් අසහාය සම්බන්ධතාවද?
7 දෙවියන්වහන්සේගේ දරුකමට ගත් දරුවන් වශයෙන්, තෝරාගනු ලැබූ මෙම ක්‍රිස්තියානීහු යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සහෝදරයන් බවට පත්වෙති. (රෝම 8:16, 17; 9:4, 26; හෙබ්‍රෙව් 2:11) යේසුස්වහන්සේ වනාහි ආබ්‍රහම්ට පොරොන්දු කරන ලද වංශය බවට ඔප්පු වූ නිසා, ආත්මයෙන් අභිෂේක-ලත් මෙම ක්‍රිස්තියානීහු, ඇදහිලිවන්ත මිනිස්වර්ගයා මත ආශීර්වාදයක් වගුරුවන්නාවූ එම වංශයේ සහයකයෙක් හෙවත් ආදේශකයෙක් වෙති. (උත්පත්ති 22:17, 18; ගලාති 3:16,26, 29) කිනම් ආශීර්වාදයක්ද? පාපයෙන් මුදනු ලැබ, දෙවියන්වහන්සේ හා සමගි වී දැනුත්, සදහටමත් උන්වහන්සේට සේවය කිරීමේ ප්‍රස්තාවය. (මතෙව් 4:23; 20:28; යොහන් 3:16, 36; 1 යොහන් 2:1, 2) පොළොව මත වෙසෙන අභිෂේක ලත් ක්‍රිස්තියානීහු, තම ආත්මික සහෝදර යේසුස්වහන්සේට සහ තමන් දරුකමට ගත් පියාණන් වන යෙහෝවඃ දෙවියන්වහන්සේට සාක්ෂිදැරීම මගින්, හරි හෘදයක් ඇති අයව මෙම ආශීර්වාදය වෙතට මඟ පෙන්වති.—ක්‍රියා 1:8; හෙබ්‍රෙව් 13:15.
8. දෙවියන්වහන්සේගේ ආත්මයෙන් ජනිත වූ පුත්‍රයන්ගේ “එළිදරව් කිරීම” කුමක්ද?
8 දෙවියන්වහන්සේගේ ආත්මයෙන් ජනිත වූ මෙම පුත්‍රයන්ගේ ‘එළිදරව්වීමක්’ ගැන බයිබලය කතා කරයි. (රෝම 8:19) යේසුස්වහන්සේගේ සහය රජවරු ලෙස එම රාජ්‍යයට ඇතුල්වීමෙන්, සාතන්ගේ ලෞකික දේවල පිළිවෙළ විනාශ කිරීමට ඔවුහු හවුල් වෙති. ඉන්පසුව, වසර දහසක කාලයකට, මිනිස්වර්ගයාහට මිදීමේ මිල පූජාවේ ප්‍රයෝජන ගලා ඒමටත්, මෙසේ ආදම් අහිමි කරගත් පරිපූර්ණත්වයට පැමිණීමටත්, මිනිස් ජාතියට ඔවුහු උපකාර කරති. (2 තෙසලෝනික 1:8-10; එළිදරව් 2:26, 27; 20:6; 22:1, 2) ඔවුන්ගේ එළිදරව් වීමට මේ සියල්ලම ඇතුළත් වෙයි. ඒ වනාහි ඇදහිලිවන්ත මිනිස් මැවිල්ල ඉතා උනන්දුවෙන් බලා සිටින යමක්ය.
9. බයිබලය, අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ගේ ලෝක ව්‍යාප්ත මණ්ඩලයට යොමු දක්වන්නේ කෙසේද?
9 අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ගේ ලෝක ව්‍යාප්ත මණ්ඩලය වනාහි, “ස්වර්ගයෙහි නාම ලියා තිබෙන කුලුඳුලන්ගේ . . . සභාව[ය].” (හෙබ්‍රෙව් 12:23) ඔවුහු වූ කලි යේසුස්වහන්සේගේ මිදීමේ මිල පූජාවෙන් පළමුවෙන් ප්‍රයෝජන ගන්නෝ වෙත්. තවද ඔවුන් “ක්‍රිස්තුස්වහන්සේගේ ශරීරය” වන අතර, ඔවුන් එකිනෙකා සහ යේසුස්වහන්සේ සමඟ ඇති ඔවුන්ගේ ඉතා කුළුපග සම්බන්ධතාව මින් පෙන්වයි. (1 කොරින්ති 12:27) පාවුල් මෙසේ ලීවේය: “මක්නිසාද ශරීරය එකක්ව බොහෝ අවයව ඇතුවාක්මෙන්ද, ශරීරයේ අවයව සියල්ල බොහෝ වූවත් එක ශරීරයක්ව තිබෙන්නාක්මෙන්ද, ක්‍රිස්තුස්වහන්සෙත් එසේව සිටිනසේක. මක්නිසාද යුදෙව්වරු නොහොත් ග්රීක්වරු වෙත්වා, දාසයෝ නොහොත් නිර්දාසයෝ වෙත්වා, අපි සියල්ලෝ එකම ආත්මයාණන්වහන්සේ තුළ එකම ශරීරයට බව්තීස්මකරනු ලැබ, සියල්ලෝ එකම ආත්මයාණන්ගෙන් පොවනු ලැබීමුව.”—1 කොරින්ති 12:12, 13; රෝම 12:5; එපීස 1:22, 23; 3:6.
“දෙවියන්වහන්සේගේ ඉශ්රායෙල්”
10, 11. පළමු සියවසේදී, නව ඉශ්‍රායෙලයක් අවශ්‍ය වූයේ මන්ද, තවද මෙම නව ජාතිය සමන්විත වූයේ කාගෙන්ද?
10 යේසුස්වහන්සේ, පොරොන්දු වූ මෙසියස්වහන්සේ ලෙස පොළොවට පැමිණීමට වසර 1,500කට පෙර, මාංසික ඉශ්රායෙල් ජාතිය, යෙහෝවඃවහන්සේගේ විශේෂ ජනයා වූහ. නිතර නිතර සිහිගැන්වීම් කරනු ලැබුවද, සමස්තයක් වශයෙන් ජාතියම ඇදහිලිවන්ත නොවූ බව ඔප්පු කළහ. යේසුස්වහන්සේ පැමිණි විට, එම ජාතිය උන්වහන්සේව ප්‍රතික්ෂේප කළහ. (යොහන් 1:11) මෙසේ, යේසුස්වහන්සේ යුදා ආගමික නායකයන්ට මෙසේ පැවසූසේක: “දෙවියන්වහන්සේගේ රාජ්‍යය නුඹලාගෙන් අහක්කොට එහි ඵල උපදවන ජාතියකට දෙනු ලබන්නේය.” (මතෙව් 21:43) එම “[රාජ්‍යයේ] ඵල උපදවන ජාතිය” හඳුනාගැනීම ගැළවීම සඳහා අතිශයින් වැදගත්ය.
11 එම අලුත් ජාතිය නම්, පො.යු. 33 පෙන්තකොස්තයේදී උපත ලැබූ අභිෂේක ලත් ක්‍රිස්තියානි සභාවය. එහි පළමු සාමාජිකයන් වූයේ, තම ස්වර්ගික රජු වශයෙන් යේසුස්වහන්සේව පිළිගත් උන්වහන්සේගේ යුදෙව් ගෝලයන්ය. (ක්‍රියා 2:5, 32-36) කෙසේවුවද, ඔවුහු තම යුදෙව් උරුමක්කාරකම මත නොව, යේසුස්වහන්සේ තුළ ඇදහිල්ල තැබීමේ පදනම මත දෙවියන්වහන්සේගේ අලුත් ජාතියේ සාමාජිකයෝ වූහ. මෙසේ, දෙවියන්වහන්සේගේ මෙම නව ඉශ්රායෙල්, යම් අසහාය දෙයක් විය—එනම් ආත්මික ජාතියක් විය. යුදෙව්වන්ගෙන් බහුතරයක් යේසුස්වහන්සේව පිළිගැනීම ප්‍රතික්ෂේප කළ විට, නව ජාතියක කොටසක් බවට පත්වීමේ ආරාධනය සමාරිතානුවන්ටද පසුව අන්‍යජාතීන්ටද විහිදුවන ලදි. අලුත් ජාතිය හඳුන්වන ලද්දේ, “දෙවියන්වහන්සේගේ ඉශ්රායෙල්” යනුවෙනි.—ගලාති 6:16.
12, 13. නව ඉශ්රායෙලය වනාහි හුදෙක් යුදෙව් ආගමේ නිකායක් නොවූ බව පැහැදිලි වූයේ කෙසේද?
12 ඉපැරණි ඉශ්රායෙලයේ, යුදෙව්-නොවන්නන් යුදෙව් ආගමට හැරුණු අය බවට පත්වූ විට, ඔවුන්ට මෝසෙස්ගේ නීතියට යටත් වීමට සිදුවූ අතර, චර්මච්ඡේදනය කරනු ලැබීම මගින් මෙය සංකේතවත් කිරීමට පිරිමින්ට සිදුවිණ. (නික්මයාම 12:48, 49) එම දෙයම, දෙවියන්වහන්සේගේ ඉශ්රායෙලයේ යුදෙව්-නොවන්නන්ටද අදාළ විය යුතුයයි ඇතැම් යුදෙව් ක්‍රිස්තියානීන්ට හැඟිණ. කෙසේවුවද, යෙහෝවඃවහන්සේගේ මනසේ වෙනත් දෙයක් තිබිණ. ශුද්ධාත්මය, ප්‍රේරිත පේතෘස්ව අන්‍යජාතික කොර්නේලියස්ගේ නිවසට මඟ පෙන්වූයේය. කොර්නේලියස් සහ ඔහුගේ පවුලේ අය පේතෘස්ගේ දේශනා කිරීමට ප්‍රතිචාරය දැක්වූ විට, ඔවුන්ව වතුරෙන් බව්තීස්ම කරනු ලැබීමට පෙර පවා, ඔවුහු ශුද්ධාත්මය ලැබුවෝය. මින් පැහැදිලිව පෙන්වූයේ, මෝසෙස්ගේ නීතියට යටත්වීමට බල කරනු ලැබීමකින් තොරව, යෙහෝවඃවහන්සේ මෙම අන්‍යජාතිකයන්ව දෙවියන්වහන්සේගේ ඉශ්රායෙල්හි සාමාජිකයන් ලෙසට පිළිගත් බවය.—ක්‍රියා 10:21-48.
13 ඇදහිලිවන්තයන් ගණනාවකට මෙය පිළිගැනීමට අසීරු දෙයක් වූ අතර, වැඩිකල් යෑමට මත්තෙන්, මෙම මුළු කාරණයම යෙරුසලමේ ප්‍රේරිතයන් සහ වැඩිමහල්ලන් විසින් සාකච්ඡා කරනු ලැබීමට සිදුවිය. යුදෙව්-නොවන ඇදහිලිවන්තයන් මත ශුද්ධාත්මය ක්‍රියාත්මක වී ඇති ආකාරය ගැන විස්තරාත්මක සාක්ෂිවලට එම අධිකාරමය මණ්ඩලය සවන් දුන්හ. බයිබල් පර්යේෂණවලින් පෙන්නුම් කළේ, මෙය වනාහි ආනුභාවය ලත් අනාවැකියක ඉටුවීමක් වූ බවයි. (යෙසායා 55:5; ආමොස් 9:11, 12) නිවැරදි තීරණයකට එළඹිණ: යුදෙව්-නොවන ක්‍රිස්තියානීන්ට මෝසෙස්ගේ නීතියට යටත් වීමට නොතිබිණ. (ක්‍රියා 15:1, 6-29) මෙසේ, ආත්මික ඉශ්රායෙලය, හුදෙක් යුදෙව් ආගමේ නිකායක් නොව, සැබෑ නව ජාතියක් වූයේය.
14. යාකොබ් විසින් ක්‍රිස්තියානි සභාව, “විසිරී සිටින්නාවු ගෝත්‍ර දොළොස” ලෙස හැඳින්වීමෙන් අඟවන්නේ කුමක්ද?
14 මීට අනුකූලව, පළමු සියවසේ අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ට ලියන විට, ශ්‍රාවක යාකොබ්, සිය ලිපියෙන් “විසිරී සිටින්නාවූ ගෝත්‍ර දොළොස” ඇමතීය. (යාකොබ් 1:1; එළිදරව් 7:3-8) ඇත්තවශයෙන්ම, නව ඉශ්රායෙලයේ පුරවැසියන් විශේෂිත ගෝත්‍රවලට වෙන් නොකරන ලදි. මාංසික ඉශ්රායෙලයේ මෙන්, ආත්මික ඉශ්රායෙලය තුළ වෙන වෙනස් ගෝත්‍ර 12කට බෙදීමක් තිබුණේ නැත. කෙසේවෙතත්, යාකොබ්ගේ ආනුභාවය ලත් ප්‍රකාශයෙන් ඇඟවූයේ, යෙහෝවඃවහන්සේගේ ඇස් හමුවේ, එම දෙවියන්වහන්සේගේ ඉශ්රායෙල්, ස්වාභාවික ඉශ්‍රායෙල්ගේ ගෝත්‍ර 12හි තැන ගත් බවයි. ඉශ්‍රායෙලිතයෙක් ලෙස ඉපදුණු යම් තැනැත්තෙක්, නව ජාතියේ කොටසක් බවට පත්වී නම්, ඔහු යුදා හෝ ලෙවී ගෝත්‍රයේ වේවා, ඔහුගේ මාංසික පෙළපත කිසිදු වැදගත්කමක් ගත්තේ නැත.—ගලාති 3:28; පිලිප්පි 3:5, 6.
නව ගිවිසුමක්
15, 16. (අ) යෙහෝවඃවහන්සේ, දෙවියන්වහන්සේගේ ඉශ්‍රායෙල්ගේ යුදෙව්-නොවන සාමාජිකයන් දෙස බලන්නේ කෙසේද? (ආ) නව ඉශ්රායෙලය ස්ථාපිත කරනු ලබන්නේ කිනම් නීතික පදනමක් මතද?
15 යෙහෝවඃවහන්සේගේ ඇස් හමුවේ, මෙම අලුත් ජාතියේ ඉශ්රායෙල්-නොවන සාමාජිකයෝ පූර්ණ සුදුසුකම් ලැබූ ආත්මික යුදෙව්වෝ වූහ! ප්‍රේරිත පාවුල් මෙසේ පැහැදිලි කළේය: “මක්නිසාද පිටාතර පෙනීමෙන් යුදෙව්වෙක්ව සිටින්නා යුදෙව්වෙක් නොවේ; මාංසයේ පිටාතර චර්මඡේද්‍යය චර්මජේද්යයක් නොවේ. නුමුත් ඇතුළතින් යුදෙව්වෙක්ව සිටින්නා යුදෙව්වෙක් වේ; චර්මඡේද්‍යය නම් ලියවිල්ලේ හැටියට නොව ආත්මයේ හැටියට සිතෙහි වූ එකය; එබඳු අයට මනුෂ්‍යයන්ගෙන් නොව දෙවියන්වහන්සේගෙන් ප්‍රශංසාව ලැබේ.” (රෝම 2:28, 29) දෙවියන්වහන්සේගේ ඉශ්රායෙල්හි කොටසක් බවට පත්වීමට වූ ආරාධනයට බොහෝ අන්‍යජාතිකයන් ප්‍රතිචාරය දැක්වූ අතර, මෙම වර්ධනය බයිබල් අනාවැකි ඉටු කළේය. නිදසුනක් වශයෙන්, අනාගතවක්තෘ හොෂෙයා මෙසේ ලීවේය: “කරුණාව නොලත් ඇත්තීට අනුකම්පාකරන්නෙමි; මාගේ සෙනඟ නොවූවන්ට: නුඹ මාගේ සෙනගයයි කියන්නෙමි; ඒ අයද: ඔබ මාගේ දෙවියන්වහන්සේයයි කියනවා ඇත.”—හොෂෙයා 2:23; රෝම 11:25, 26.
16 ආත්මික ඉශ්රායෙල්වරුන් මෝසෙස්ගේ ව්‍යවස්ථා ගිවිසුම යටතේ නොසිටියා නම්, ඔවුන්ට නව ජාතියේ කොටසක් වීමට තිබුණේ කිනම් පදනමක් මතද? යෙහෝවඃවහන්සේ යේසුස්වහන්සේ තුළින් මෙම ආත්මික ජාතිය සමඟ නව ගිවිසුමක් කළසේක. (හෙබ්‍රෙව් 9:15) පොදු යුගයේ 33 නීසාන් 14දා, යේසුස්වහන්සේ සිය මරණය සිහිකිරීම ස්ථාපිත කළ අවස්ථාවේ, උන්වහන්සේ රොටි සහ මුද්‍රික පානය විශ්වාසවන්ත ගෝලයන් 11දෙනා අතිනත යැවූ අතර, මුද්‍රික පානයෙන්, “ගිවිසුමේ ලේ” සංකේතවත් කළ බව පැවසූසේක. (මතෙව් 26:28; යෙරෙමියා 31:31-34) ලූක්ගේ වාර්තාවේ සඳහන් කර ඇත්තාක් මෙන්, මුද්‍රික පාන කුසලානෙන්, “අලුත් ගිවිසුම” සංකේතවත් කළ බව යේසුස්වහන්සේ පැවසූසේක. (ලූක් 22:20) යේසුස්වහන්සේගේ වචන ඉටු කරමින්, පෙන්තකොස්තයේදී ශුද්ධාත්මය වගුරවනු ලැබ, දෙවියන්වහන්සේගේ ඉශ්රායෙල් උපත ලැබූ විට, එම රාජ්‍යය මාංසික ඉශ්‍රායෙල්ගෙන් ඉවත් කර, නව ආත්මික ජාතියකට දෙන ලදි. මාංසික ඉශ්රායෙලය වෙනුවට, දැන් යෙහෝවඃවහන්සේගේ සේවකයා වූයේ, ස්වකීය සාක්ෂිකරුවන්ගෙන් සැදුම් ලත් මෙම නව ජාතියයි.—යෙසායා 43:10, 11.
“නව යෙරුසලම”
17, 18. අභිෂේක ලත් ක්‍රිස්තියානීන් උදෙසා වූ මහිමතාව පිළිබඳව, එළිදරව් පොතේ කිනම් විස්තර දී තිබේද?
17 ස්වර්ගික කැඳවීමට පංගුකාරකම ලැබීමට වරප්‍රසාද ලබා ඇති අයට මොනතරම් ගෞරවයක් හිමිවේද! ඔවුන්ට ලැබෙන්ට යන පුදුමාකාර දේවල් ගැන ඉගෙනගැනීම මොනතරම් ප්රබෝධජනකද! ඔවුන්ගේ ස්වර්ගික උරුමයන් ගැන එළිදරව් පොත අපට මන්මත් කරවන දර්ශන දෙයි. නිදසුනක් වශයෙන්, එළිදරව් 4:4හි අපට මෙසේ කියවීමට තිබේ: “ඒ [යෙහෝවඃවහන්සේගේ] සිංහාසනය වටේට සිංහාසන විසිහතරක් තිබුණේය. ඒ සිංහාසන මත්තෙහි වැඩිමහල්ලන් විසිහතර දෙනෙක් සුදු වස්ත්‍ර පැළඳ, තමුන්ගේ හිස් මතුයෙහි රන් ඔටුනු ඇතුව, වාඩිවී හිඳිනවා දුටිමි.” මෙම වැඩිමහල්ලන් 24දෙනා වනාහි, නැවත නැගිටුවනු ලැබුවාවූද, යෙහෝවඃවහන්සේ තමන්ට පොරොන්දු වූ ස්වර්ගික තත්වයන් දැන් හොබවන අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ය. ඔවුන්ගේ ඔටුනු සහ සිංහාසනවලින් අපට සිහිගැන්වෙන්නේ ඔවුන්ගේ රාජකීයත්වයයි. යෙහෝවඃවහන්සේගේ සිංහාසනය අවට සේවය කිරීමේ ඔවුන්ගේ පුදුමාකාර උසස් වරප්‍රසාදය ගැනද සිතා බලන්න!
18 එළිදරව් 14:1හි, අපි ඔවුන් පිළිබඳ තවත් දර්ශනයක් ග්‍රහණය කරගනිමු: “තවද බැටළුපැටවාණන්ද උන්වහන්සේ සමඟ එක්ලක්ෂ සතළිස් සාරදහස් දෙනෙක්ද සියොන් කන්දේ සිටිනවා දුටිමි, උන්වහන්සේගේ නාමයද උන්වහන්සේගේ පියාණන්ගේ නාමයද ඔවුන්ගේ නළල්වල ලියා තිබුණේය.” අපට මෙහි මෙම අභිෂේක ලත් අයගේ සීමිත සංඛ්‍යාවක්—එනම්, 1,44,000ක්—දකින්ට ලැබේ. ඔවුන් යෙහෝවඃවහන්සේගේ සිංහාසනාරූඪ කරන ලද රජු, හෙවත් “බැටළුපැටවාණන්” වන යේසුස්වහන්සේ සමඟ සිටීමෙන් ඔවුන්ගේ රාජකීය තත්වය වටහාගත හැකිය. තවද, ඔවුන් සිටින්නේ ස්වර්ගීය සියොන් කන්දේය. භූමික සියොන් කන්ද වනාහි ඉශ්‍රායෙල්ගේ රාජකීය නගරය වූ යෙරුසලම පිහිටි ස්ථානය වූයේය. ස්වර්ගික සියොන් කන්දෙන් නියෝජනය කරන්නේ, ස්වර්ගික යෙරුසලම, එනම් එම රාජ්‍යය සැකසී ඇති, යේසුස්වහන්සේගේ සහ උන්වහන්සේගේ හවුල් උරුමක්කාරයන්ගේ උසස් කරන ලද තත්වයය.—2 ලේකම් 5:2; ගීතාවලිය 2:6.
19, 20. (අ) අභිෂේක ලත් ක්‍රිස්තියානීන් කොටසක් වන්නේ කිනම් ස්වර්ගික සංවිධානය සමඟද? (ආ) ස්වර්ගවල පුරවැසිභාවය ලබනු ඇති අයව යෙහෝවඃවහන්සේ විසින් තෝරනු ලැබුවේ කිනම් කාලපරිච්ඡේදයක් තුළද?
19 මීට අනුකූලව, තම ස්වර්ගික මහිමතාවේ සිටින අභිෂේක ලත් අයව “අලුත් යෙරුසලම” ලෙසද හඳුන්වා තිබේ. (එළිදරව් 21:2) භූමික යෙරුසලම, “මහරජහුගේ නුවර” වූ අතර, එය දේවමාළිගාව පිහිටි ස්ථානයද විය. (මතෙව් 5:35) මෙම ස්වර්ගික නව යෙරුසලම වනාහි, උතුම් පරමාධිපතියාණන් වන යෙහෝවඃවහන්සේ සහ උන්වහන්සේ විසින් පත් කරන ලද රජ වන යේසුස්වහන්සේ පාලනය කරන රාජකීය රාජ්‍ය සංවිධානය වන අතර, මිනිස්වර්ගයාගේ සුව වීම පිණිස යෙහෝවඃවහන්සේගේ සිංහාසනයෙන් මහඟු ආශීර්වාද ගලා එත්ම, පූජක සේවය ක්‍රියාත්මක වන්නේ මෙහිය. (එළිදරව් 21:10, 11; 22:1-5) තවත් දර්ශනයක, යොහන්ට ඇසෙන්නේ, මෙම විශ්වාසවන්ත, නැවත නැගිටවනු ලැබූ, අභිෂේක ලත් ක්‍රිස්තියානීන් වනාහි “බැටළු පැටවාණන්ගේ මණාලිය” ලෙසට යොමු දක්වා ඇති බවය. යේසුස්වහන්සේ සමඟ ඔවුන් භුක්තිවිඳින කුළුපග සබඳතාව සහ ඔවුන් විසින් උන්වහන්සේට කැමැත්තෙන්ම යටත් වීම පිළිබඳව මෙය මොනතරම් උණුසුම් දසුනක් මවයිද! ඔවුන්ගේ අන්තිමයා ස්වර්ගයේ විපාකය ලබන විට එහි ඇතිවන ප්‍රීතිය සිතා බලන්න. අවසානයේදී, දැන්, “බැටළු පැටවාණන්ගේ සරණමංගල්‍යය” පැවැත්විය හැක! එම රාජකීය ස්වර්ගික සංවිධානය එවිට සම්පූර්ණ වී තිබෙනු ඇත.—එළිදරව් 19:6-8.
20 එසේය, “අපේ නාගරිකත්වය [පුරවැසිභාවය, NW] ස්වර්ගයෙහිය” යනුවෙන් ප්‍රේරිත පාවුල් කතා කළ අය සඳහා පුදුමාකාර ආශීර්වාද පැමිණීමට නියමිතය. (පිලිප්පි 3:20) වසර දෙදහසක පමණ කාලයක් පුරා, යෙහෝවඃවහන්සේ ස්වකීය ආත්මික දරුවන්ව තෝරාගනිමින් සිටින අතර, ස්වර්ගික උරුමයක් සඳහා ඔවුන්ව සූදානම් කරමින් සිටිනසේක. තිබෙන සියලු සාක්ෂිවලට අනුව, මෙම තෝරාගැනීමේ හා සූදානම් කිරීමේ වැඩය සම්පූර්ණ වීමට ආසන්නය. එහෙත්, එළිදරව් 7වන පරිච්ඡේදයේ යොහන්ගේ දසුන තුළ ඔහු විසින් වාර්තා කර ඇති පරිදි, තවත් දේ සිදුවීමට නියමිතය. එමනිසා, දැන්, ක්‍රිස්තියානීන්ගේ තවත් කණ්ඩායමක් අපගේ අවධානයට හසුවන අතර, මෙම කණ්ඩායම ගැන අපි ඊළඟ ලිපියේ සලකා බලන්නෙමු.
ඔබට මතකද?
◻ ස්වර්ගික උරුමයක් ඇති අය මතට ඇතිවූ ශුද්ධාත්මයේ විවිධ ක්‍රියාත්මක වීම් මොනවාද?
◻ අභිෂේක ලත් අය යෙහෝවඃවහන්සේ සමඟ කිනම් කුළුපග සම්බන්ධතාවක් භුක්තිවිඳිත්ද, යේසුස්වහන්සේ සමඟ කිනම් කුළුපග සම්බන්ධතාවක් භුක්තිවිඳිත්ද?
◻ බයිබලයේ අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ගේ සභාව විස්තර කර තිබෙන්නේ කෙසේද?
◻ දෙවියන්වහන්සේගේ ඉශ්රායෙල් ස්ථාපිත කරනු ලැබුවේ කිනම් නීතික පදනමක් මතද?
◻ අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ට ලැබීමට නියමිත ස්වර්ගික වරප්‍රසාද මොනවාද?
[10වන පිටුවේ පින්තූර]
වසර දෙදහක පමණ කාලයක් පුරා, යෙහෝවඃවහන්සේ, ස්වර්ගික රාජ්‍යයේ පාලනය කරනු ඇති අයව තෝරාගත්සේක