ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w95 7/1 3-4 පි.
  • “සත්‍යය නම් කිමෙක්ද?”

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • “සත්‍යය නම් කිමෙක්ද?”
  • 1995 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • සත්‍යය මතට ප්‍රහාරයක්
  • සාපේක්ෂතාවාදය නමැති සංස්කෘතියක්
  • පොන්තියුස් පිලාත් කියන්නේ කවුද?
    2005 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සත්‍යය සෙවිය යුත්තේ මන්ද?
    1995 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • පිලාත් වෙතින් හෙරොද් වෙතට ආපසු පිලාත් වෙතට
    මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා
  • පිලාත් සහ හෙරොද් යේසුස් නිර්දෝෂ බව පිළිගනියි
    මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
තව තොරතුරු
1995 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w95 7/1 3-4 පි.

“සත්‍යය නම් කිමෙක්ද?”

එකිනෙකාට මුහුණ දී සිටි මිනිසුන් දෙදෙනා තුළ කොයියම් අන්දමකින්වත් සමානකම් තිබුණායයි කොහෙත්ම සිතන්ට බැරිය. එක් අයෙක්, නුරුස්නා ගති ඇති, අභිලාෂකාමී, ධනවත්, එමෙන්ම තමාගේම වෘත්තිය දියුණු කරගැනීමට ඕනෑම යමක් කිරීමට සූදානම්ව සිටි දේශපාලකයෙකු වූයේය. අනික් තැනැත්තා වූයේ, ධනය හා කීර්තිය එපා කළ, අන්‍යයන්ගේ ජීවිත ගැළවීම සඳහා තම ජීවිතය පූජා කිරීමට සූදානමින් සිටි ගුරුවරයෙකි. මෙම පුරුෂයන් දෙදෙනාගේ අදහස් කොහෙත්ම එකිනෙකට නොගැළපුණ බව කීම අවශ්‍ය නැත! විශේෂයෙන්ම එක් කාරණයකදී, ඔවුහු සම්පූර්ණයෙන්ම එකඟ නොවී සිටියහ—ඒ නම්, සත්‍යය නමැති කාරණයයි.

මෙම පුරුෂයන් දෙදෙනා වූයේ පිලාත් සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේයි. යේසුස්වහන්සේ පිලාත් ඉදිරියේ සිටගෙන සිටියේ ශාප ලත් අපරාධකාරයෙකු විලසිනි. මන්ද? යේසුස්වහන්සේ මේ සඳහා හේතුව පැහැදිලි කළසේක—ඇත්තවශයෙන්ම, පොළොවට පැමිණ තම දේවසේවය භාරගත් එකම හේතුව එය විය—ඒ එක දෙයකටය: එනම් සත්‍යය උදෙසාය. “ඒ පිණිස මම ඉපද සිටිමි, මා ලෝකයට ඇවිත් සිටින්නේ සත්‍යයට සාක්ෂිදෙන පිණිසය” යයි උන්වහන්සේ පැවසූසේක.—යොහන් 18:37.

පිලාත්ගේ පිළිතුර මතක හිටින ප්‍රශ්නයක් විණ: “සත්‍යය නම් කිමෙක්ද”? (යොහන් 18:38) ඔහුට ඇත්තටම පිළිතුරක් වුවමනා වීද? සමහරවිට නොවන්ට ඇත. යේසුස්වහන්සේ වනාහි තමාගෙන් අවංක ලෙස අසන ලද ඕනෑම ප්‍රශ්නයකට පිළිතුරු දිය හැකි කෙනෙකු වූසේක, නමුත් උන්වහන්සේ පිලාත්ට පිළිතුරු දුන්නේ නැත. තවද මෙම ප්‍රශ්නය ඇසූ පසු, පිලාත් කෙළින්ම සභා ගැබෙන් පිටතට ගිය බව බයිබලය පවසයි. පෙනෙන විදිහට මෙම රෝම ආණ්ඩුකාරවරයා මෙම ප්‍රශ්නය ඇසුවේ, හරියට, “සත්‍යය? ඒ මොකක්ද? එහෙම දෙයක් නැහැ!” යනුවෙන් පවසන්නාක් මෙන් සරදම්ශීලී අවිශ්වාසකිනි.a

සත්‍යය පිළිබඳ පිලාත්ගේ සැක සහිත දෘෂ්ටිය අදදින අසාමාන්‍ය දෙයක් නොවේ. බොහෝදෙනෙකු විශ්වාස කරන්නේ සත්‍යය යනු සාපේක්ෂී දෙයක් යනුවෙනි—වෙනත් වචනවලින් කියතොත්, එක්කෙනෙකුට සත්‍යය වන දෙයක්, තවත් කෙනෙකුට අසත්‍ය යමක් වන්ට පුළුවන, එබැවින් දෙදෙනාම “හරි” විය හැකිය. මෙම විශ්වාසය කොතරම් පැතිර පවතින්නේද යත්, ඒ සඳහා වචනයක්ද තිබේ, එය නම් “සාපේක්ෂතාවාදයයි.” සත්‍යය නමැති කාරණය සම්බන්ධයෙන් ඔබ දකින්නේ මෙයාකාරයටද? එය එසේනම්, මෙම දෘෂ්ටිය ගැන කිසිදු ප්‍රශ්න කිරීමකින් තොරව ඔබ එය පිළිගෙන තිබෙනවා විය හැකිද? ඔබ එසේ කර නැතත්, මෙම දර්ශනවාදය ඔබගේ ජීවිතයට කොතරම් බලපානවාද කියා ඔබ දන්නවාද?

සත්‍යය මතට ප්‍රහාරයක්

පරම සත්‍යය නමැති අදහස ප්‍රශ්න කළ පළමු තැනැත්තා පොන්තියුස් පිලාත් වීම උගහටය. ඇතැම් ඉපැරණි ග්‍රීක දර්ශනවාදීහු, එවැනි සැකයන් පිළිබඳ ඉගැන්වීම් මුළුමනින්ම පාහේ තමන්ගේ ජීවිකාව කරගත්හ! පිලාත්ට සියවස් පහකට පෙර, පාර්මෙනිඩීස් (යුරෝපීය පාරභෞතික විද්‍යාවේ පියා ලෙසට සලකනු ලැබූ), නියම දැනුම ලැබිය නොහැකි යමක්යයි විශ්වාස කළේය. “ඉපැරණි දර්ශනවාදීන්ගේ උත්තමයා” ලෙසට ජය කෙහෙලි නැංවූ ඩිමොක්‍රිටස්, “සත්‍යය ඉතා ගැඹුරට වැළලී තිබේ. . . . ඒ ගැන සහතිකවම අපි කිසිවක් නොදනිමු” යයි තහවුරු කළේය. සමහරවිට මොවුන් අතුරින් වඩාත් ගෞරව කරනු ලැබූ සොක්‍රටීස් පැවසුවේ, තමා ඇත්තටම දැනගෙන සිටි එකම දේ නම්, තමා කිසිවක් නොදන්නා බවයි.

සත්‍යය දැනගත හැකිය යන අදහස මතට එල්ල වූ ප්‍රහාරය, අපගේ දවස දක්වා නොකඩවා පැවතවිත් තිබේ. නිදසුනක් වශයෙන්, ඇතැම් දර්ශනවාදීන් පවසන්නේ, දැනුම අප වෙතට ළඟාවන්නේ, රවටනු ලැබිය හැකි අපගේ හැඟීම් තුළින් වන බැවින්, කිසිම දැනුමක් සනාථ කළ හැකි සත්‍යයන් නොවන බවය. ප්‍රංශ දර්ශනවාදී සහ ගණිතඥ රෙනේ දෙකාට්, සහතික ලෙසටම තමා දන්නා බවට සිතා සිටි සියල්ලම පරීක්ෂා කර බැලීමට තීරණය කළේය. ප්‍රශ්න කළ නොහැකියයි ඔහු සිතා සිටි එක් සත්‍යයක් ඔහු බැහැර කළේය: “කෝගිටෝ එර්ගො සුම්” හෙවත්, “මම සිතමි එනිසා මම වෙමි” යන්නයි.

සාපේක්ෂතාවාදය නමැති සංස්කෘතියක්

සාපේක්ෂතාවාදය දර්ශනවාදීන්ට පමණක් සීමා වූ යමක් නොවේ. එය මූලධර්මවලට යා කරගෙන ආගමික නායකයන් විසින් උගන්වනු ලබන අතර, ජනමාධ්‍ය මගින් ව්‍යාප්ත කරනු ලැබේ. එපිස්කෝපල් බිෂොප්වරයෙකු වූ ජෝන් එස්. ස්පොං වසර ස්වල්පයකට පෙර මෙසේ පැවසුවේය: “අපට සත්‍යය තිබෙනවාය, එමෙන්ම පරම සත්‍යය අප සියල්ලන්ගෙන් ඔබ්බට ඇතැයි යන අපගේ වටහාගැනීමට අන්‍යයන් පැමිණිය යුතුය යන සිතිවිල්ලෙන් . . . අප බැහැර විය යුතුය.” අදදින පූජක පංතියේ බොහෝදෙනෙකු මෙන්, ස්පොංගේ සාපේක්ෂතාවාදය, “එකිනෙකා තම තමාගේම” දර්ශනවාදය අනුව යෑමට අනුග්‍රහ දැක්වීම පිණිස, බයිබලයේ සදාචාර ඉගැන්වීම් අත්හැරීමට යුහුසුලු වෙයි. නිදසුනක් වශයෙන්, එපිස්කෝපල් පල්ලිය තුළ, සමලිංගිකයන්ට වඩාත් “පහසුබවක්” හැඟෙනු පිණිස ගත් උත්සාහයේදී, ස්පොං, ප්‍රේරිත පාවුල් සමලිංගිකයෙකු බවට කියාපාන පොතක් ලීවේය!

බොහෝ රටවල, පාසැල් පද්ධතිය තුළට ඒ සමාන සිතිවිලි ආකාරයක් රිංගමින් තිබෙන බවක් දකින්ට තිබේ. ඇලන් බ්ලූම්, ද ක්ලෝසිං ඔෆ් අමෙරිකන් මයින්ඩ් නමැති තම පොතේ ලීවේ මෙසේයි: “මහාචාර්යවරයෙකුට සහතික විය හැකි එකම දෙයක් ඇත: එනම්, විශ්වවිද්‍යාලවලට ඇතුළත් වන සෑම ශිෂ්‍යයෙක්ම, සත්‍යය වනාහි සාපේක්ෂ යමක්යයි විශ්වාස කරයි, නැතහොත් එසේ තමා විශ්වාස කරන බව කියයි.” මෙම කාරණය සම්බන්ධයෙන් තම විශ්වාසය ගැන එම ශිෂ්‍යයන්ගෙන් ප්‍රශ්න කළහොත්, තමා “ඔවුන්ගෙන් 2+2=4 වන්නේ කෙසේද කියා ප්‍රශ්න කරනවාක්” මෙන්, ඔවුන් තමන් දෙස පුදුමයෙන් බලනු ඇති බව බ්ලූම් සොයාගත්තේය.

එම සිතිවිලිම වෙනත් අසංඛ්‍යාත ක්‍රමවලින් වැඩිදියුණු කෙරේ. නිදසුනක් වශයෙන්, රූපවාහිනි සහ පුවත්පත් වාර්තාකරුවන් වඩාත් උනන්දු වන්නේ, යම් කතාවක සත්‍යය ගෙනහැර පානවාට වඩා, තමන්ගේ ප්‍රේක්ෂකයන් හෝ පාඨකයන්ව විනෝද කිරීමට බව පෙනී යයි. ඇතැම් ප්‍රවෘත්ති වැඩසටහන්, වඩාත් චමත්කාරජනක ලෙස පෙනීමට සැලැස්වීම සඳහා බොරු පින්තූරු ඉදිරිපත් කිරීම මගින් ඒවා රිසි පරිදි සකස් කරනු ලැබ පවා ඇත. තවද විනෝදාස්වාදයන්හි, සත්‍යය මතට බලවත් ප්‍රහාරයක් එල්ල කොට තිබේ. අපගේ දෙමාපියන් හා ආච්චිලා සීයලා පිළිපැදි සාරධර්ම සහ සදාචාරාත්මක සත්‍යයන්, යල්පැන ගිය ඒවා ලෙස පුළුල් සේ සලකනු ලබන අතර, බොහෝවිට ඒවා ඍජු සරදම්වලට භාජන වේ.

ඇත්තවශයෙන්ම, මෙම සාපේක්ෂතාවාදයෙන් වැඩි හරියක්, විවෘත මනසක් ඇතුව සිටීමට හේතුවන බවත්, එනිසා එය මිනිස් සමාජය මත ඒකාන්ත බලපෑමක් ඇති කරන බවත්, ඇතැම් අය තර්ක කරන්ට පුළුවන. එහෙත්, එය ඇත්තෙන්ම එසේද? තවද එය ඔබ මතට ඇති කරන බලපෑම ගැන කුමක් කිව හැකිද? සත්‍යය වනාහි සාපේක්ෂ හෝ නොපවතින යමක් බව ඔබ විශ්වාස කරන්නෙහිද? එය එසේනම්, එය සොයා යෑම කාලය නාස්ති කිරීමක් ලෙස ඔබ දකින්ට පුළුවන. එවැනි ආකල්පයක් ඔබගේ අනාගතයට බලපෑම් කරනවා නියතය.

[පාදසටහන්වල]

a බයිබල් විශාරද ආර්. සී. එච්. ලෙන්ස්කිට අනුව, පිලාත්ගේ “ස්වරය, ආගමික සත්‍යයක ස්වභාවයෙන් තිබෙන ඕනෑම දෙයක් නිෂ්ඵල විශ්වාසයක්යයි පැවසීමට තම ප්‍රශ්නය නැඟීමට අදහස් කරන උදාසීන පෘථග්ජනයෙකුගේ ස්වරයට සමානය.”

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න