බයිබලය—කියවිය යුතු පොතකි
යමෙක් බයිබලය ගැන කථා කරන විට, එහි ගුණය වර්ණනා කිරීමට ප්‍රමාණවත් විශේෂණ නැති තරම්ය. ඉතිහාසය පුරා වඩාත්ම පුළුල්ව බෙදා හරින ලද පොත එයයි. බයිබලය වනාහි වඩාත්ම පැරණි, වැඩියෙන්ම පරිවර්තනය කර ඇති, වැඩියෙන්ම උපුටා දක්වා ඇති, වැඩියෙන්ම බලපෑමක් කළ හැකි හා වැඩියෙන්ම ගෞරවයක් ලබන පොත වන්නේය. ඇතැම්විට එය වැඩියෙන්ම විවාදයට භාජන වන පොතද වන්නට පුළුවන. තවද ඒකාන්තයෙන්ම වැඩිම තහංචි, පිළිස්සුම් හා දරුණු විරුද්ධවාදීකම් යනාදියෙන් බේරී ඇති පොතද එය වන්නේය. කෙසේවෙතත්, තවදුරටත් බයිබලයට අදාළ කළ නොහැකි ගුණ වර්ණනයක් තිබීම කනගාටුවට කරුණකි. එය වැඩිදුරටත් ලෝකයේ පුළුල්ව කියවනු ලබන පොත බව දැන් කිව නොහැකි බවත් පෙනෙන්නට ඇත.
මිනිසුන් නිවසේ යම් තැනක බයිබලයක් තබාගෙන සිටියත්, බොහෝ දෙනෙකුට හැඟෙන්නේ ඇත්ත වශයෙන්ම එය කියවමින් කාලය ගත කිරීමට තමන්ට විවේකයක් නොමැති බවයි. කියවීම වරක් ජනප්‍රිය වූ කාලය ගත කිරීමට විනෝදාත්මක ක්‍රියාවක් විය. කෙසේවෙතත්, දැන්, වැඩි දෙනෙක් කැමැත්තක් දක්වන්නේ සිය විවේක කාලය රූපවාහිනිය නැරඹීමෙහි හෝ වෙනත් යමක් කිරීමෙහි ගත කරන්නටය. තවදුරටත් යමක් කියවන අය සාමාන්‍යයෙන් කැමැත්තෙන් සිටින්නේද සරල හා පහසු යමකටය. බයිබලය කියවීම සඳහා චිත්ත ඒකාග්‍රතාව ඕනෑ කරන අතර වැඩි දෙනෙක් තවදුරටත් තමන් කියවන දේවල් කෙරෙහි දැඩිව සිත ඒකාග්‍ර කොට තැබීමක් කරන්නේ නැත.
එහෙත්, බයිබලය දිගටම බේරී පැවතුණේ නිකම්ම අපගේ පොත්රාක්ක මත පවතින්නට ඉඩ හරිනු පිණිස නොවේ. එය කියවිය යුතු වීමට හොඳ හේතු ඇත. ඒ පිළිබඳ ඇතැම් සත්‍යයන් සලකා බලන්න.
එය බේරී පැවතීම පුදුමයක් නොවේ!
“බයිබලය” යන වදන පැමිණෙන්නේ, “කුඩා පොත්” යන අදහස දෙන, බි·බ්ලිʹයා යන ග්‍රීක් වචනයෙනි. මෙය අපට මතක් කරන්නේ බයිබලය—එතරම් කුඩා නොවූ ඇතැම් පොත්ද සහිතව—පොත් ගණනාවකින් නිර්මිත වී ඇති බවයි! ඒවා ලියනු ලැබුවේ අවුරුදු එක්දහස් හයසියයක කාල පරිච්ඡේදයක් තුළය. එහි ලේඛකයන් පුරුෂයන් වූ අතර ඔවුන්ව පොලඹවනු ලැබුවේ වඩාත් උසස් ප්‍රභවයකිනි. එක්තරා බයිබල් ලේඛකයෙක් පැවසුවේ මෙසේය: “මක්නිසාද කිසි අනාගතවාක්‍යයක් මනුෂ්‍ය කැමැත්තෙන් කිසි කලක නොපැමිණියේය. නුමුත් මනුෂ්‍යයෝ ශුද්ධාත්මයාණන් [ශුද්ධාත්මය, NW] විසින් පොලඹවනු ලැබ, දෙවියන්වහන්සේගෙන් ලැබූ ලෙස කථාකළෝය.” (2 පේතෘස් 1:21) ශුද්ධ ලියවිලිමය අනාවැකි සම්බන්ධයෙන් සත්‍යය වන්නාවූ දෙය බයිබලයේ ඉතිරි කොටස සම්බන්ධයෙන්ද සැබෑ වන්නේය. දේවානුභාවයෙන් ලියන ලද මෙම “කුඩා පොත්” සපිරී ඇත්තේ යෙහෝවඃ දෙවියන්වහන්සේගේ උදාර සිතුවිලිවලින්ය. (යෙසායා 55:9) බයිබලය මෙතරම් දීර්ඝ කාලයක් බේරී පැවතීම පුදුමයක් නොවේ!
දේව සේවකයන්හට, හැම විටම පාහේ ප්‍රමුඛතම පොත වී තිබෙන්නේ බයිබලයයි. බයිබල් ලේඛකයෙක්ව සිටි, ප්‍රේරිත පාවුල් සමඟ ඔවුහු එකඟ වෙති. ඔහු පැවසුවේ, “දේවානුභාවයෙන් දුන් මුළු ලියවිල්ල ඉගැන්වීමට . . . ප්‍රයෝජනවත්ව තිබේ” යනුවෙනි. (2 තිමෝති 3:16) ඊට එකඟව, බයිබලය අදදින යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ ඇදහිල්ල සඳහා පදනම වන්නේය. එය ඔවුන්ගේ ධර්ම ඉගැන්වීම් නිශ්චය කරන අතර ඔවුන්ගේ හැසිරීම පාලනය කරමින් සිටී. ඔවුන් පූර්ණ හෘදයෙන් නිර්දේශ කරන්නේ සෑම කෙනෙක්ම දිනපතා දේව වචනයෙන් යම් කොටසක් කියවිය යුතු බවත් එහි කරුණු මත අගය පූර්වකව මෙනෙහි කළ යුතු බවත්ය.—ගීතාවලිය 1:1-3.
බයිබලය කියවීමේ පුරුද්ද
ශුද්ධ ලියවිල්ල කියවීමේ පුරුද්ද අතීතයේ ප්‍රයෝජනදායක යමක් විය. ඉශ්‍රායෙලයේ රජවරුන්ට අණ කරනු ලැබුවේ—දැන් බයිබලයේ වැදගත් කොටසක් වන—ව්‍යවස්ථාවේ තමන්ගේම පිටපතක් සකසාගෙන, තමන් සඳහා දේව කැමැත්තේ නියත සිහිපත් කරවීමක් හැටියට දිනපතා එය කියවන හැටියටය. (ද්විතීය කථාව 17:18-20) මෙය කිරීමට අසමත්වීම රජවරුන් බොහෝ දෙනෙකුගේ වැටීමට හේතු විය.
ශුද්ධ ලියවිල්ල අධ්‍යයනය කිරීමේ වටිනාකම වයස්ගත අනාගතවක්තෘ දානියෙල් සම්බන්ධ සිද්ධියෙන් පැහැදිලි වේ. සිය දවසේ තිබූ බයිබල් කොටස් ආශ්‍රිතව ඔහු පෞද්ගලික අධ්‍යයනයේ නිරතවූ නිසා, දානියෙල්, තවදුරටත් බබිලෝනියේ වහල්භාවයේ සිටියදී, යෙරෙමියා විසින් වාර්තා කොට තබන ලද වැදගත් අනාවැකියක් ඉෂ්ට වන්නට ආසන්නව තිබූ බව ‘පොත්වලින් තේරුම් ගන්නට’ සමත් විය.—දානියෙල් 9:2.
යේසුස්වහන්සේගේ උපත අවට කාලයේදී, සිමියොන් නම් “ධර්මිෂ්ඨවූ භක්තිවන්තවූ” මිනිසෙක්, නිසැකව අපේක්ෂා කරමින් සිටියේ ක්‍රිස්තුස්, නැතහොත් මෙසියස් වන්නට යන තැනැත්තා සියැසිත් දැකගැනීමටයි. සිමියොන්ට පොරොන්දු දී තිබුණේ ක්‍රිස්තුස් නොදැක ඔහු මිය නොයනු ඇති බවටයි. සිය හස්තයේ ළදරු යේසුස්වහන්සේව දරා සිටියදී යෙසායාගේ අනාවැකිවලට ඔහු කළ යොමු දැක්ම පෙන්වන්නේ, තමාගේ දවස වන විට ලියා තිබූ බයිබලයේ පොත්, සිමියොන් අවධානයෙන් කියවන්නෙක්ව සිටි බවයි.—ලූක් 2:25-32; යෙසායා 42:6.
යොහන් බව්තීස්ත දේශනා කරමින් සිටියදී, “සෙනඟ බලාපොරොත්තුවෙන්” සිටියේ මෙසියස්වහන්සේවය. මෙය කුමක් අඟවයිද? ඉන් අඟවන්නේ යුදෙව්වන්ගෙන් බොහෝ දෙනෙක් ශුද්ධ ලියවිල්ලේ වාර්තා කොට තිබූ මෙසියස්වහන්සේ පිළිබඳ අනාවැකි හොඳින් දැන සිටි බවය. (ලූක් 3:15) ඒ කාලයේ පොත් සුලභව ලබා ගත නොහැකි තත්ත්වයක් තිබූ බැවින්, මෙය සිත්ගන්නා යමක් වන්නේය. බයිබල් පිටපත් වෙහෙස දරා අතින් පිටපත් කරන්නට සිදු වූ අතර ඒවා ඒ අනුව වියදම් අධික හා ලබා ගැනීමට දුෂ්කර විය. ඒවායේ අන්තර්ගත දේවල් ජනයා හොඳින් දැන සිටියේ කෙසේද?
බොහෝ අවස්ථාවන්හි, ප්‍රසිද්ධියේ කියවීමෙන්ය. උදාහරණයක් වශයෙන්, මෝසෙස් අණ කළේ නියමිතවූ ඇතැම් වේලාවන්හි, දෙවියන්වහන්සේ විසින් දානය කරන ලද මුළු ව්‍යවස්ථාව රැස්ව සිටි ඉශ්‍රායෙල්වරුන්ට කියවිය යුතු බවය. (ද්විතීය කථාව 31:10-13) පොදු යුගයේ පළමුවන ශතවර්ෂය වන විට, බයිබලයේ පොත් ප්‍රසිද්ධියේ කියවීම සෑම තැනකම සිදු වූවකි. ශ්‍රාවක යාකොබ් ප්‍රකාශ කළේ මෙසේය “මක්නිසාද ආදි පරම්පරාවල සිට මෝසෙස්ගේ ව්‍යවස්ථාව ප්‍රකාශකරන්නෝ සියලු නුවරවල සිටිති, ඔව්හු සියලු සබත් දවස්වල එය සිනගෝගවලදී කියවති”—ක්‍රියා 15:21
අදදින, බයිබලයේ පෞද්ගලික පිටපතක් තමන් සතුව තබා ගැනීම පහසුය. අඩුතරමින් මෙම “කුඩා පොත්වලින්” කිහිපයක්වත් ලෝක ජනගහනයෙන් සියයට 98කට අයත් භාෂාවන්ගෙන් ලබා ගත හැකි තත්ත්වයක ඇත. ඒ අනුව බයිබලයට කියන්නට ඇති දෙය සෙවීමට බොහෝ දෙනෙකු උනන්දු නොවීම කනගාටුවට කරුණකි. අප ජීවත්ව සිටින්නේ විද්‍යාත්මක යුගයක විය හැක, නමුත් දේව වචනය වන බයිබලය, තවදුරටත් අතිවිශිෂ්ට ලෙස “ඉගැන්වීමට . . . ප්‍රයෝජනවත්ව තිබේ.” එය සාරධර්ම, මානව සම්බන්ධකම් මෙන්ම, වෙනත් බොහෝ විෂයන් සම්බන්ධයෙන් ස්ථිරසාර උපදෙස් ඉදිරිපත් කරයි. එපමණක් නොව, සාමකාමි අනාගතයක් සඳහා තිබෙන එකම ස්ථිර බලාපොරොත්තුව ඉදිරිපත් කරන්නේද බයිබලයයි.
එය නිතිපතා කියවන්න
එබැවින් යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් බයිබලය නිතිපතා කියවීමට දිරිගැන්වීම සිය සේවයේ ප්‍රමුඛ අංගයක් කරගෙන ඇත්තාහ. නිව් යෝක්, බෘක්ලින්හි පිහිටි සිය ලෝක මූලස්ථානයේ කර්මාන්ත ශාලා ගොඩනැගිල්ල මත තද අකුරෙන් “දේව වචනය වන ශුද්ධ බයිබලය දිනපතා කියවන්න” යන අවවාදය දක්නට ලැබේ. මෙතැනින්, එහාමෙහා යන මිලියන සංඛ්‍යාත අය මෙම වදන් දැක ඇති අතර බොහෝ දෙනෙක් ඒවාට එකඟව කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වෙමු.
ලොව වටා ඇති යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ සභාවන් 73,000ට වැඩි සංඛ්‍යාවෙහි දිව්‍යාණ්ඩු සේවා පාසැලෙහි සැසිවාර සෑම සතියකම පැවැත්වේ. බයිබලයෙන් තෝරා ගත් කොටසක් ප්‍රසිද්ධියේ කියවීම එම පාඨමාලාවේ කොටසක් වේ. බයිබලයෙන් පරිච්ඡේද කීපයක් සතිපතා පෞද්ගලිකව තමන්ගේ නිවසේ කියවීම එහි පැමිණ සිටින සියල්ලන්ට ලැබෙන පැවරුමකි. මෙම වැඩසටහන අනුව කටයුතු කරන අයට, අවසානයේ මුළු බයිබලයම කියවා අවසන් කිරීමට හැකියාව ලැබේ.
මෙම විධිවිධානය මෙම පාසැලේ පාවිච්චි කරනු ලබන අභ්‍යාස පොතක් සමඟ එකඟ වේ. දිව්‍යාණ්ඩු සේවා පාසල් ගුරුපොත මෙසේ පවසයි: “බයිබලය කියවීමට අවශ්‍ය කාලයද ඔබගේ පෞද්ගලික කාල සටහනට ඇතුළත් විය යුතුය. මුල් පිටුවේ සිට අවසාන පිටුව දක්වා බයිබලය කියවීම මහත්සේ වටිනා ක්‍රියාවකි. . . . කෙසේ වුවත්, කියවන විට, ඔබේ නිෂ්ටාව විය යුත්තේ, තෝරා ගත් දෙය කියවා නිම කිරීම නොව, මතක තබා ගැනීමේ අදහසින් එහි සමස්ත අදහස තමා වටහා ගැනීමය. එහි පැවසෙන දෙය මෙනෙහි කිරීමට කාලය මිඩංගු කරන්න.”
යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් විසින් සකසන ලද තවත් ප්‍රකාශන සමානාකාරයෙන් බයිබලය කියවීම දිරිගන්වයි. උදාහරණයක් වශයෙන්, මෙම සඟරාවේ සහකාර සඟරාව වන, පිබිදෙව්! සඟරාවේ යෞවන අය සඳහා මතු දැක්වෙන දිරිගැන්වීම පළ විය: “ඔබ . . . බයිබලය මුළුමනින්ම කියවා තිබෙනවාද? ඔව්, බයිබලය ලොකු පොතක්, එහෙත් එය කියවීම කුඩා කොටස් වශයෙන් නොකරන්නේ මන්ද? . . . ‘වඩා උතුම්’ අයව සිටි බෙරීයවරු ‘දවස්පතා ලියවිලි පරෙස්සමෙන් විභාගකර බැලූහ. (ක්‍රියා 17:11) දිනකට හුදෙක් විනාඩි 15ක් කියවීමේ දෛනික කාල සටහනක් අනුව ඔබ කටයුතු කළොත් . . . ඔබට බයිබලය කියවීම වසරකින් නිම කළ හැක.” එසේය, යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ට හැඟෙන්නේ, පුරාතන කාලවල විසූ දේව සේවකයන් මෙන්, නවීන-දින ක්‍රිස්තියානින්ද ශුද්ධ ලියවිලි හොඳින් දැන සිටිය යුතු බවයි.
මෙය මනසේ තබාගෙන, සාක්ෂිකරුවන් බයිබලය ප්‍රසිද්ධියේ කියවීම සඳහා 20වන සියවසේ ක්‍රමයක් පොලඹවා ඇත. මුළු බයිබලයම අඩංගු කැසට් පටි භාෂා කීපයකින් ඔවුන් පටිගත කොට ඇත. බොහෝ දෙනෙකුහට බයිබලය කියවීමට ඇති සමහරක් බාධක මැඩපැවැත්වීමට මෙය කදිම උපකාරයක් වී ඇත. ඇතැමෙක් නිවසේ වැඩ කරන අතර, රථය පදවන අතර, නැතහොත් වෙනත් දේවල්වල නිරතවී සිටින අතර මෙම පටිවලට සවන් දෙති. ඔබගේම බයිබලයේ අදාළ කොටසට නෙත් යොමා බයිබලයේ කියවීම් ඛණ්ඩයකට නිහඬව සවන්දීම ප්‍රියඋපදවන අද්දැකීමකි.
මේවනවිටත් දෛනිකව ඔබ බයිබලය නොකියවනවා නම්, එසේ කිරීම ඔබගේ පුරුද්ද කර නොගන්නේ මන්ද? මේ සඳහා සෑම දිනකම දීර්ඝ කාලයක් වැය කිරීමට වුවමනාවක් නැතත්, ඉන් ලැබෙන ප්‍රයෝජන අතිමහත් වනු ඇත. මන්දයත් ශුද්ධ ලියවිලි අදාළ කර ගැනීම ඥානවන්තව ක්‍රියා කිරීමටත්, ආත්මික වශයෙන් විපාකදායි ජීවිතයක් ගත කිරීමටත් හැකිකම ලබා දෙන නිසාය. එමගින් ඔබ, දිගු කලකට පෙර ඉශ්‍රායෙල් නායක යෝෂුවාට දෙන ලද ආඥාවකට එකඟවද කටයුතු කරනවා ඇත: “මේ ව්‍යවස්ථා පොත නුඹේ මුඛයෙන් පහනොවේවා, එහි ලියා තිබෙන සියල්ල කරන්ට බලාගන්න පිණිස රෑ දාවල් ඒ ගැන මෙනෙහි කරපන්න. එවිට නුඹේ මාර්ගය සඵලවී නුඹට ශුභ සිද්ධවන්නේය.”—යෝෂුවා 1:8.
බයිබලයේ පිටු එළිදරව් කරන්නේ කීකරු මිනිස් වර්ගයා සඳහා යෙහෝවඃවහන්සේගේ ප්‍රේමනීය අරමුණයි. උන්වහන්සේගේ දේවානුභාවයලත් වචන පිළිබඳ එකාන්ත දැනගැන්මක විපාකය වන්නේ, සැබෑ සන්තෝෂය හා නිම නොවන ආශීර්වාදයන්ගෙන් යුත් ආශ්චර්යවත් නව ලෝක පාරාදීසයක සදාකාලික ජීවිතයේ බලාපොරොත්තුවය. (ලූක් 23:43; 2 පේතෘස් 3:13) බයිබලය කියවීමට හා ඉගෙන ගැනීමට තිබෙන ඔබගේ ප්‍රස්තාව අල්ලාගෙන මෙම පුදුමාකාර ජීවිතය අත්කර ගැනීමට වෙර දරන්න.