‘එක් කොළයකට තාරකාවක් මෙන් අඳුර තුළින් විනිවිද යා හැක’
අදදින, ශුද්ධ ලියවිල්ලේ පරිවර්තන බොහෝ දුරට සෑම තැනකින්ම වාගේ ලබා ගත හැක. කෙසේවෙතත්, බයිබලය සඳහා කරන ලද සටන නොයෙක් විට ජීවිතය හා මරණය සම්බන්ධ කාරණයක් විය.
ෆිෆ්ටීන් සෙන්චරි බයිබල්ස් නම් පොතේ, වෙන්ඩල් ප්‍රයිම් ලිව්වේ මෙසේය: “මුද්‍රණ ශිල්පය සොයා ගැනීමෙන් වසර තිහකට පසු, කතෝලික අධර්ම මර්දනාධිකරණය ස්පාඤ්ඤයේ පූර්ණ සඵලත්වයකින් ක්‍රියාත්මක වෙමින් තිබුණි. එම රටේ දඬුවමට ලක් කරන ලද 3,42,000දෙනා අතරින් 32,000ක් පන පිටින් පුළුස්සනු ලැබීය. ජීවිත පරිත්‍යාගිකයන්ගේ ගිනිදැල් වෙතට ඔවුන්ව රැගෙන ගියේ බයිබලයයි. විනාශකාරී වූ මෙම පරීක්ෂක සභාව උතුරු හා දකුණු ඉතාලියේ ක්‍රියා කළේද සමාන දරුණු ආකාරයකටය. මෙම කතෝලික අධර්ම මර්දනාධිකරණයෙන් අනුබලය ලද අග්‍ර රාජගුරු ප්‍රසාදිවරුන්, බයිබල් හා එහි පාඨකයන් සඳහා ඇවිළෙන ගින්නක් බවට පත්විය. නීරෝ ඇතැම් ක්‍රිස්තියානින්ට ලෝකයේ ආලෝකයන් මෙන් බැබළෙන්නට සැලැස්වීය. ඔහු එසේ කළේ තමාගේ සල්ලාල උත්සව භූමි ආලෝකවත් කරන්නට ඔවුන්ව පන්දම් හැටියට පාවිච්චි කිරීම සඳහා, ගෝනිවලට දමා බැඳ, ගල් තාරවලින් මුළුමනින්ම ආලේප කොට, ඔවුන්ට ගිනි තැබීමෙනි. එහෙත් යුරෝපීය නගරවල වීදි ගිනි තබන ලද බයිබල් ගොඩවල්වලින් ඇවිළුණි. බයිබල් වනාහි බෙලහීන කිරීමක්, ක්‍රියා විරහිත කිරීමක්, හිංසා පැමිණ වීමක්, අත් පා කපා දැමීමක් මෙන්ම සමාජයෙන් පිටමං කිරීමක් කළ හැකි එහි පාඨකයන් මෙන් නොවීය. ඉතිරිවන කොළයකට පවා තාරකාවක් මෙන් මෙම අන්ධකාරයේ කළුවර ස්වභාවය තුළින් විනිවිද යා හැකිව තිබුණි.” (ඇල අකුරු අපගේය.)
ලේඛක ප්‍රයිම් විස්තර කළ දෙය ඇත්ත වශයෙන්ම සිදුවූයේ මෙහි චිත්රයෙන් දක්වන ලද බයිබල් පිටුව සම්බන්ධයෙනි. එය මුද්‍රණ තොරතුරු සටහන් පිටුවය, එනම්, පරිවර්තකයාව හඳුන්වාදෙන සටහනක් සහිත පොතේ අවසාන පිටුවය. ඉහළ තිබෙන සමාන්තර තීරු දෙක දර්ශන පොතේ, නැතහොත් එළිදරව් පොතේ අන්තිම වදන්ය.
මෙම පොත සම්බන්ධයෙන්, ද කේම්බ්‍රිජ් හිස්ටරි ඔෆ් ද බයිබල් පවසන්නේ මෙසේය: “බොනිෆාසියෝ ෆෙරර්ගේ කැටලාන් භාෂා බයිබල් පරිවර්තනය මුද්‍රණය කරනු ලැබුවේ 1478 වසරේ, වාලෙන්සියාහිදීය; ලබා ගත හැකිව තිබූ සියලුම පිටපත් අධර්ම මර්දනාධිකරණය විසින් 1,500ට පෙර විනාශ කරනු ලැබුවද එක් පිටුවක් අමෙරිකානු පුස්තකාලයේ ස්පාඤ්ඤ සමිතියේ බේරී පවතී. (ඇල අකුරු අපගේය.)
වෙන්ඩල් ප්‍රයිම් තවදුරටත් මෙසේද සඳහන් කළේය: “භීතියට පත් පූජකයන්හට බයිබලය යහපත් යමක් නොවූ නමුත් එය පිළිස්සිය යුතු යමක්ව තිබුණි. මෙම ශුද්ධ ගිනි ගොඩවල්වලට තවත් ඉන්ධන (බයිබල්) තිබුණානම්, ඒවා තව වැඩියෙන් හා වඩාත් දීප්තිමත්ව පවතින්නට ඉඩ තිබුණි. බොහෝ ස්ථානයන්හි ගිනි තබන ලද බයිබල් ගොඩවල් තවදුරටත් නොතිබුණේ, පිළිස්සීමට බයිබල් නැතිවී යන තරමට බලධාරින් බයිබල් පිළිබඳව දැඩි සෝදිසියකින් සිටි නිසාය.” පොදු ජනයා සඳහා අරමුණු කරන ලද බයිබල් සහමුලින් නැති කර දැමීමට මෙවන් මහත් වෑයම් තිබුණද, පිටපත් බොහොමයක් විනාශ වීමෙන් බේරුණි. ප්‍රයිම් වැඩිදුරටත් මෙසේද සඳහන් කළේය: “පිටුවහල් කරන ලද අය විසින් තමන් සමඟ රැගෙන යෑමෙන්, නැතහොත් විපත්ති හා අනතුරු සහිත කාලවල වටිනා ගල් හා ලෝහ වර්ග මෙන් සඟවනු ලැබීමෙන් බයිබල් ආරක්ෂා කරනු ලැබීය.”
දෙවියන්වහන්සේගේ අනාගතවක්තෘ යෙසායා ලිව්වේ, “මාංසමයවූ සියල්ලෝ තෘණය, . . . තණකොළ වියළෙයි, මල පරවෙයි. නුමුත් අපේ දෙවියන්වහන්සේගේ වචනය සදාකාලේටම පවත්නේය” යනුවෙනි. (යෙසායා 40:6, 8) ගතවූ සියවස් ගණනාව පුරා, බයිබලයට ප්‍රේම කරන විශාල පිරිසක් මෙන්ම එඩිතර පරිවර්තකයන් බොහෝ දෙනෙක් දේව වචනය උදෙසා මහත් අවදානම්වලට මුහුණ දී, බොහෝ සේ දුක් විඳ ඇත්තාහ. එසේදවුවත්, මනුෂ්‍ය වෑයම්වලට පමණක් එහි කල්පැවැත්ම සහතික කරන්නට නොහැකිවනු ඇත. මෙම කල්පවත්වා ගැනීම උදෙසා, බයිබලයේ කර්තෘ වන, යෙහෝවඃවහන්සේට අපි ස්තුති කරන්නෙමු.
[7වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
Courtesy of The Hispanic Society of America, New York