ඔබ බයිබලය අගේ කොට සලකන්නෙහිද?
දැනට වසර 200කට ස්වල්පයක් කලින්, මේරි ජෝන්ස් නමැත්තිය අත්ලාන්තික් වෙරළ තීරුවට නුදුරින් වේල්ස්හි පිහිටි පිටිසර ගමක් වන, ලන්ෆියන්ෂෙල්හි උපත ලැබුවාය. ඇයගේ මව්පියෝ, බයිබලයක් හිමිකර ගන්නට පවා වත්කමක් නොතිබුණ—දිළිඳු වියන්නෝ වූහ. එහෙත් ඔවුන් දෙවියන්වහන්සේ සඳහා ප්‍රේමයක් සිය දියණිය තුළ පැලපදියම් කළේ, බයිබල් කථාන්තර කීමෙන් හා තමන්ට මතක තිබූ පද නැවත පැවසීමෙනි. අසල්වැසියෙකුගේ වේල්ස් බසින් ලියන ලද බයිබලයක් මේරි නිතර කියවූ අතර තමාගේම පිටපතක් මිල දී ගැනීමේ අධිෂ්ඨානයෙන්, ඇයට හැකි සුළු මුදල ඇය ඉතුරු කරන්නට පටන් ගත්තාය.
වර්ෂ 1800දී, මේරිට 16ක්ව තිබියදී, වේල්ස් භාෂාවෙන් වූ බයිබල් කිහිපයක් සැතපුම් 25ක් දුරින් පිහිටි කුඩා නගරයක් වන බලහි විකිණීමට ඇති බව ඇයට සැල වුණි. නිර්භයව, එතැනට පයින් යෑමට ඇය ස්ථිර තීරණයක් ගත්තාය. ඇය එසේ කළේ, කඳු හරහා පාවහන්වත් නොමැතිව ගමන් කිරීමෙන්ය. කෙසේවෙතත්, ඇය එතැනට ළඟා වූ විට, එම පිටපත් සියල්ල විකුණා තිබුණි. තමා ඉතුරු කර තිබූ මුදල් ප්‍රමාණය කොහෙත්ම ප්‍රමාණවත් නොවන බවද මේරි දැන ගත්තාය.
එහි සිටි ප්‍රාදේශීය දේවගැති මේරිගේ දැනුමෙන් හා බයිබලය කෙරෙහි වූ ප්‍රේමයෙන් මහත් සේ පෙලඹුණේය. ඇය ගෙන තිබූ මහත් උත්සාහයෙන් පසුව අසාර්ථකවීම හේතුවෙන් ඇගේ දෙනෙතට පැමිණි බලාපොරොත්තු සුන්වීමේ කඳුළු දැක, හේ කරුණාවන්තව තමාගේ පෞද්ගලික පිටපත ඇයට දෙමින් කීවේ මෙසේය: “මෙය සැලකිල්ලෙන් කියවා, උත්සාහයෙන් මෙය ඉගෙන, මෙහි පරිශුද්ධ වදන් ඔබගේ මතකයේ නිධන් කරගෙන මෙහි ඉගැන්වීම් අනුව ක්‍රියා කරන්න.”
මෙම කථාන්තරය පසු කලෙක ලන්ඩනයේ ආගමික පත්‍රිකා සමිතියේ කාරක සභා රැස්වීමකදී සඳහන් කරනු ලැබීය. එහිදී වේල්ස්හි ජනයාට පමණක් නොව මුළු ලෝකයටම බයිබල් පරිවර්තන සැපයීමේ තීරණය ගනු ලැබීය. 19වන සියවසේ බයිබල් සමාගම් බොහොමයෙන් පළමුවැන්න කල එළි දුටුවේ මෙම සුළු ආරම්භයෙන් පසුවය. එතැන් පටන්, විදේශ භාෂාවලින් බයිබලයේ පිටපත් නිතර නිතර බිහිවීම දක්නට ලැබුණි.
එක්දහස් අටසිය අසූ හතරේ සංස්ථාගත කරන ලද, වොච් ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයිටිය භාෂා 200කට වැඩි සංඛ්‍යාවකින් බයිබල් හා බයිබල් අධ්‍යාපන ආධාරක අදදින, මුද්‍රණය කරයි. එය නවීන භාෂාවෙන්වූ නිව් වර්ල්ඩ් ට්‍රාන්ස්ලේෂන් ඔෆ් ද හෝලි ස්ක්‍රිප්චර්ස් නමැති බයිබලයේ පිටපත් මිලියන 72කට වැඩි සංඛ්‍යාවක්, ලෝක ව්‍යාප්තව බෙදා හැර ඇත. ප්රාරම්භක හෙබ්‍රෙව් හා ග්‍රීක් වෙතින් පරිවර්තනය කරන ලද නිව් වර්ල්ඩ් ට්‍රාන්ස්ලේෂන්, මුළුමනින්ම හෝ කොටස් වශයෙන් දැන් භාෂා 18කින් ලබා ගත හැකි අතර දැනට තවත් භාෂා 12කට පරිවර්තනය කරනු ලබමින් පවතී.
සෑම කෙනෙකුටම පාහේ දැන් බයිබලය ලබා ගත හැකිව තිබියදී, ඔබ ඒ දෙස බලන්නේ කෙසේද? ඔබ බයිබලය අගේ කොට සලකන්නෙහිද? ඔබ ඉතා වටිනා යමක් සේ සලකන සහ කියවන පිටපතක් ඔබටත් තිබෙනවාද?
[3වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
ද ස්ටෝරි ඔෆ් මේරි ජෝන්ස් ඇන්ඩ් හර් බයිබල් යන පොතෙනි