ලෝකයේ ආලෝකය අනුගමනය කරමින් සිටින්නේ කවරහු ද?
“ඔබ ලෝකයේ ප්‍රදීපක මෙන් බැබළෙන්නහු ය.”—පිලිප්පි 2:15, NW.
1. ව්‍යාජ වූ ආගම්වල ආලෝක ගැන බයිබලය පවසන්නේ කුමක් ද?
යේසුස් වහන්සේ වනාහි “මහත් ආලෝකයක්,” “ලෝකයේ ආලෝකය” වශයෙන් බයිබලය පැහැදිලි ව හඳුන්වා දෙයි. (යෙසායා 9:2; යොහන් 8:12) එහෙත් උන් වහන්සේ පොළොව මත සිටි විට, උන් වහන්සේ ව අනුගමනය කළේ සාපේක්ෂ වශයෙන් ස්වල්ප දෙනෙකු පමණි. බහුතරයක් තෝරා ගත්තේ, ව්‍යාජ වූ ආලෝකයන්, එනම් ඇත්තෙන් ම අන්ධකාරය දරන්නන් ව අනුගමනය කිරීමට ය. මේ අය සම්බන්ධ ව දේව වචනය මෙසේ කියයි: “එබඳු මනුෂ්‍යයෝ බොරු ප්‍රේරිතයෝය, ක්‍රිස්තුස්වහන්සේගේ ප්‍රේරිතයන්ගේ වෙස් ගන්නාවූ වංචාකාර සේවකයෝය. ඒක පුදුමයක් නොවේ; මක්නිසාද සාතන් පවා ආලෝකයේ දූතයෙකුගේ වෙස් ගනියි. එබැවින් ඔහුගේ සේවකයෝ ධර්මිෂ්ඨකමේ සේවකයන්ගේ වෙස් ගනිත් නම් ඒක පුදුමයක් නොවේ; ඔවුන්ගේ අන්තිමය ඔවුන්ගේ ක්‍රියා ලෙස වන්නේය.”—2 කොරින්ති 11:13-15.
2. ජනයා ව විනිශ්චය කිරීම සඳහා පදනම කුමක් වනු ඇතැයි යේසුස් වහන්සේ පැවසූ සේක් ද?
2 මෙසේ, එම ආලෝකය කොතරම් මහිමාන්විත දෙයක් වුවද, සියලු ම ජනයාට ආලෝකය වුවමනා නොවේ. යේසුස් වහන්සේ මෙසේ පැවසූ සේක: “විනිශ්චය [විනිශ්චය සඳහා පදනම NW] නම් මේය—ලෝකයට ආලෝකය පැමිණ තිබෙන නුමුත්, මනුෂ්‍යයන්ගේ ක්‍රියා නපුරු බැවින් ඔවුන් ආලෝකයට වඩා අන්ධකාරයට ඇලුම්වූ බවය. නපුරුකම් කරන සෑමදෙනම ආලෝකයට වෛරවී, තමුන්ගේ ක්‍රියා වැරදි බව ඔප්පු නොවන පිණිස ආලෝකයට නොඑති.”—යොහන් 3:19, 20.
අන්ධකාරයට ප්‍රේම කරන්නෝ
3, 4. යේසුස් වහන්සේගේ දවස්වල සිටි ආගමික නායකයන්, ආලෝකය අනුගමනය කිරීමට තමන්ට වුවමනා නොවූ බව පෙන්වූයේ කෙසේ ද?
3 යේසුස් වහන්සේ පොළොව මත සිටි විට, තත්ත්වය එය වූ අයුරු සලකා බලන්න. යේසුස් වහන්සේ මෙසියස් වහන්සේ බව ඔප්පු කිරීමට ක්‍රමයක් වශයෙන් දෙවියන් වහන්සේ යේසුස් වහන්සේ හට විස්මයජනක ප්රාතිහාර්යන් කිරීමට බලය දානය කර තිබුණේ ය. නිදසුනක් වශයෙන්, සබත් දිනක, උන් වහන්සේ උපතින් අන්ධ ව සිටි මිනිසෙකුට පෙනීම ලබා දුන් සේක. දයාවේ මොනතරම් පුදුමාකාර ක්‍රියාවක් ද! එම මිනිසා කොතරම් අගය කරන සුලු වූවා ද! පළමු වතාවට ඔහුට සියැසින් දේවල් දැක ගත හැකි විය. එනමුත් ආගමික නායකයන්ගේ ප්‍රතික්‍රියාව වූයේ කුමක් ද? යොහන් 9:16 මෙසේ විස්තර කරයි: “ඵරිසිවරුන්ගෙන් සමහරෙක්: ඒ මනුෂ්‍යයා [යේසුස් වහන්සේ] සබත් දවස නොපවත්වන බැවින් ඔහු දෙවියන්වහන්සේ වෙතින් ආ කෙනෙක් නොවේයයි කීවෝය.” ඔවුන්ගේ හෘදයන් කොතරම් විකෘති වී තිබුණා ද! මෙහි සිදු වී තිබුණේ පුදුමාකාර ප්රාතිහාර්යකි, නමුත් කලින් අන්ධ ව සිටි මිනිසා වෙත ප්‍රීතිය හා සුවකරන්නා වෙත අගය පළ කරනවා වෙනුවට, ඔවුන් කළේ යේසුස් වහන්සේ ව හෙළා දැකීමයි! එසේ කිරීමෙන්, දෙවියන් වහන්සේගේ ශුද්ධාත්මයේ දිස්වීමකට එරෙහි ව ඔවුන් පව් කළ බවට කිසිදු සැකයක් නැත, එය සමාව දිය නොහැකි පාපයකි.—මතෙව් 12:31, 32.
4 පසු ව, එම කුහකයන් කලින් අන්ධ ව සිටි මිනිසාගෙන් යේසුස් වහන්සේ ගැන ප්‍රශ්න කළ විට, එම මිනිසා මෙසේ පවසන්නට විය: “ඇයි, [සහතික ව ම NW] මේක පුදුමයක්ය, උන්වහන්සේ මාගේ ඇස් පාදා තිබියදීත් උන්වහන්සේ [යේසුස් වහන්සේ] කොතැනින් ආසේක්ද කියා නුඹලා නොදන්නහුය. දෙවියන්වහන්සේ පව්කාරයන්ගේ බස් නොඅසන බවත් යමෙක් දෙවියන්වහන්සේට නමස්කාරකරන්නෙක්ව [දේව භයැති ව NW] උන්වහන්සේගේ කැමැත්ත කරන්නේ නම් ඒ අයගේ බස් අසන බවත් අපි දනිමුව. කිසිවෙක් අන්ධව උපන් කෙනෙකුගේ ඇස් පෑදූ බව ලෝකයේ පටන්ගැන්මේ සිට කවදාවත් නෑසූ දෙයක්ය. මුන්වහන්සේ [යේසුස් වහන්සේ] දෙවියන්වහන්සේ කෙරෙන් නාසේක් නම් කිසිදෙයක් කරන්ට උන්වහන්සේට නුපුළුවන.” ආගමික නායකයන් ප්‍රතිචාර දැක්වූයේ කෙසේ ද? “ඔව්හු උත්තරදෙමින්: සියලු ආකාරයෙන් පාපවල උපන් නුඹ අපට උගන්වනවාදැයි කියා ඔහු අහක්කළෝය.” මොනතරම් දයානුකම්පා විරහිත බවක් ද! ඔවුන්ගේ හෘදයන් ගල් මෙන් දැඩි ව තිබිණි. එමනිසා, ඔවුන්ට තම මාංසික ඇස්වලින් දැකිය හැකි ව සිටිය ද, ඔවුන් ආත්මික ව අන්ධයෝ යයි යේසුස් වහන්සේ ඔවුන්ට පැවසූ සේක.—යොහන් 9:30-41.
5, 6. පළමු සියවසේ ආගමික නායකයන් අන්ධකාරයට ප්‍රේම කළ බව පෙන්වූයේ ඔවුන් කළ කුමන දේවලින් ද?
5 මෙම ආගමික කුහකයන් දෙවියන් වහන්සේගේ ආත්මයට විරුද්ධ ව පව් කරමින් සිටි බව තවත් අවස්ථාවක, එනම් යේසුස් වහන්සේ ලාසරුස් ව මළවුන්ගෙන් නැවත නැගිටෙවූ අවස්ථාවේ පහසුවෙන් දැකිය හැක. එම ප්රාතිහාර්ය හේතු කොට ගෙන, පොදු ජනයාගෙන් බොහෝ දෙනෙක් යේසුස් වහන්සේ කෙරෙහි ඇදහිල්ල තැබූහ. කෙසේ වුවද, ආගමික නායකයන් කළ දේ ගැන සටහන් කර ගන්න. “අපි කුමක් කරමුද? මේ මනුෂ්‍යයා බොහෝ හාස්කම් කරයි. අපි ඔහුට මෙසේ ඉඩහැරියෙමු නම් සියල්ලන් ඔහු කෙරෙහි අදහාගන්නවා ඇත. එවිට රෝමවරුන් ඇවිත් අපේ ස්ථානයත් අපේ ජාතියත් පැහැරගන්නවා ඇත.” (යොහන් 11:47, 48) ඔවුන් කරදර වෙමින් සිටියේ ඔවුන්ගේ තත්ත්වයන් හා නම්බුව ගැන ය. ප්‍රතිඵලය කුමක් වුවත්, ඔවුන්ට වුවමනා වූයේ, දෙවියන් වහන්සේ ව නොව රෝමවරුන් ව සතුටු කිරීමට ය. ඉතින්, ඔවුන් කළේ කුමක් ද? “එදා පටන් ඔව්හු [යේසුස් වහන්සේ] මරන්ට මන්ත්‍රණයකළෝය.”—යොහන් 11:53.
6 සියල්ල ම එපමණ වී ද? නැත. ඔවුන් අන්ධකාරයට කොතරම් ප්‍රේම කළා ද කියා ඔවුන් ඊළඟට කළ දෙයින් පෙන්වයි: “නායක පූජකයෝ ලාසරුස්වත් මරන්ට මන්ත්‍රණය කළෝය. මක්නිසාද ඔහු නිසා යුදෙව්වරුන්ගෙන් බොහෝදෙනෙක් අහක්ව ගොස් යේසුස්වහන්සේ කෙරෙහි අදහාගත්තෝය.” (යොහන් 12:10, 11) මොනතරම් ඇදහිය නොහැකි දුෂ්ටකමක් ද! ඔවුන් මේ සියල්ල කළේ තමන්ගේ තත්ත්වයන් ආරක්ෂා කර ගැනීමට වුවත්, සිදු වූයේ කුමක් ද? එම පරම්පරාව තුළ දී ම, ඔවුන් රෝමවරුන්ට විරුද්ධ ව කැරලි ගැසූ අතර, පො.යු. 70 අවුරුද්දේ දී ඔවුනට එරෙහි ව පැමිණි රෝමවරු, ඔවුන්ගේ ස්ථානය, ඔවුන්ගේ ජාතිය මෙන් ම ඔවුන්ගේ ජීවිත ද පැහැර ගත්හ.—යෙසායා 5:20; ලූක් 19:41-44.
යේසුස් වහන්සේගේ දයානුකම්පාව
7. සත්‍යයට ප්‍රේම කරන්නන් යේසුස් වහන්සේ වෙතට එක් රොක් වූයේ ඇයි?
7 ඒ හා සමාන ව අපගේ කාලයේ ද සියල්ලන්ට ම ආත්මික ඥානාලෝකය වුවමනා නැත. එහෙත් සත්‍යයට ප්‍රේම කරන අයට සැබවින් ම ආලෝකය වෙත පැමිණෙන්නට වුවමනා ය. දෙවියන් වහන්සේ තමන්ගේ පරමාධිපතියාණන් වීමට ඔවුන්ට වුවමනා කරන අතර, ආලෝකය යනු කුමක් ද කියා පැහැදිලි කිරීමට දෙවියන් වහන්සේ විසින් එවන ලද්දා වූ යේසුස් වහන්සේ වෙතට ඔවුන් ඉතා ඕනෑකමින් හැරී, උන් වහන්සේ ව අනුගමනය කරති. යේසුස් වහන්සේ පොළොව මත සිටි විට, යටහත් පහත් මිනිසුන් කළේ එයයි. ඔවුහු උන් වහන්සේ වෙතට එක් රොක් වුණෝ ය. ඵරිසිරුවන්ට පවා එය පිළිගන්නට සිදු විණි. “ලෝකයා ඔහු පස්සේ ගියෝයයි” ඔවුහු මැසිවිලි දෙඩුවෝ ය. (යොහන් 12:19) බැටළු ගුණැති ජනයා යේසුස් වහන්සේට ප්‍රේම කළෝ ය, මන්දයත්, ආත්මාර්ථකාමී, උඩඟු, බලයට කෑදර ව සිටි ආගමික නායකයන්ට වඩා උන් වහන්සේ හාත්පසින් ම වෙනස් වූ බැවිනි, උන් වහන්සේ ඔවුන් ගැන පැවසුවේ මෙසේයි: “ඔව්හු උසුලන්ට අමාරු මහත් බර බැඳ මනුෂ්‍යයන්ගේ කරේ තබති; නුමුත් තමුන්ගේ ඇඟිල්ලවත් ඒවාට තබන්ට කැමති නොවෙති. ඔවුන් කරන සියල්ලම කරන්නේ මනුෂ්‍යයන්ට පෙනෙන පිණිසය.”—මතෙව් 23:4, 5.
8. ආගමික කුහකයන්ට වඩා වෙනස් ව, යේසුස් වහන්සේට තිබූ ආකල්පය කුමක් ද?
8 මීට වෙනස් ව, යේසුස් වහන්සේගේ දයානුකම්පිත ආකල්පය සැලකිල්ලට ගන්න: “උන්වහන්සේ සමූහයන් දැක, ඔවුන් එඬේරකු නැති බැටළුවන් ලෙස හිරිහැර විඳිමින් විසිර ගොස් සිටිය බැවින් ඔවුන් කෙරෙහි අනුකම්පාකළසේක.” (මතෙව් 9:36) එමෙන් ම, උන් වහන්සේ ඒ ගැන කළේ කුමක් ද? සාතන්ගේ පිළිවෙළ මගින් වැරදි ලෙස යොදා ගනු ලැබ සිටි අයට යේසුස් වහන්සේ මෙසේ පැවසූ සේක: “වෙහෙසවෙන්නාවූ, බර උසුලන්නාවූ සියල්ලෙනි, මා වෙතට වරෙල්ලා, මම නුඹලාට සහනය දෙමි [නැවුම් බවක් ගෙන දෙමි NW]. මම සිතින් මෘදුව [හෘදයෙන් NW] යටත්ව සිටින බැවින්, මාගේ වියගහ නුඹලා පිටට ගෙන, මාගෙන් ඉගෙනගනිල්ලා, එවිට නුඹලාගේ ආත්මවලට සහනය [නැවුම් බව NW] ලැබෙන්නේය. මක්නිසාද මාගේ වියගහ පහසුය, මාගේ බරද සැහැල්ලුය.” (මතෙව් 11:28-30) යේසුස් වහන්සේ කළේ යෙසායා 61:1-3 හි පුරෝකථනය කොට තිබූ දෙයයි, එහි මෙසේ පැවසේ: “ස්වාමිවූ දෙවියන්වහන්සේගේ ආත්මය මා කෙරෙහිය; මක්නිසාද දිළිඳුන්ට [මොළොක් ගුණැති අයට NW] ශුභාරංචිය දේශනාකරන්ට ස්වාමීන්වහන්සේ [යෙහෝවඃ වහන්සේ NW] මා ආලේප කළසේක; බිඳුණු සිත් [හදවත් NW] ඇත්තන් සුවකරන්ටද, වහලුන්ට නිදහසත් හිරකාරයන්ට හිරගෙයින් මිදීමත් [ඇස් මනාව පැහැදීමත් NW] ප්‍රකාශකරන්ටද, ස්වාමීන්වහන්සේගේ [යෙහෝවඃ වහන්සේගේ] කරුණවේ අවුරුද්ද සහ අපේ දෙවියන්වහන්සේගේ පළිගැනීමේ දවසත් ප්‍රකාශකරන්ටද, වැලපෙන සියල්ලන් සනසන්ටද, . . . උන්වහන්සේ මා එවූසේක [ආලේප කළ සේක NW].”
ආලෝකය දරන්නන් එක්රැස් කිරීම
9. වර්ෂ 1914 දී සිදු වූ අති වැදගත් සිදුවීම් මොනවා ද?
9 තම ස්වර්ගාරෝහණයෙන් පසු, දෙවියන් වහන්සේ විසින් තමන්ට රාජ්‍යය බලය දෙන කාලය පැමිණෙන තෙක් බලා සිටීමට යේසුස් වහන්සේට සිදු විණි. එවිට උන් වහන්සේ “එළුවන්” කෙරෙන් “බැටළුවන්” වෙන් කරනවා ඇත. (මතෙව් 25:31-33; ගීතාවලිය 110:1, 2) එම කාලය පැමිණියේ “අන්තිම දවස්” ආරම්භ වූ 1914 දී ය. (2 තිමෝති 3:1-5) දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ රජු වශයෙන් බලය ලැබ සිටි යේසුස් වහන්සේ, ආලෝකය අනුගමනය කිරීමට වුවමනා වූ අය ව අනුග්‍රහය නමැති තමන්ගේ දකුණු හස්තය වෙත එක්රැස් කිරීමට පටන් ගත් සේක. පළමු ලෝක යුද්ධයෙන් පසු, එම එක්රැස් කිරීමේ වැඩය වැඩිවන වේගයකින් සිදු වුණේ ය.
10. යේසුස් වහන්සේ විසින් එක්රැස් කිරීමේ වැඩයට යොදා ගනිමින් තිබෙන අය සම්බන්ධයෙන් කුමන ප්රශ්නය ඇසිය හැකි ද?
10 ක්‍රිස්තුස් යේසුස් වහන්සේගේ නායකත්වය යටතේ, එක්රැස් කිරීමේ වැඩය, මහත් සාර්ථකත්වයක් සමඟින් ජය කෙහෙළි නැංවී ඇත. ඉතිහාසයේ මීට පෙර කවරදාකවත් සියලු ජාතීන්ගෙන් සෑදුණු මෙතරම් සෙනඟක් ඥානාලෝක වූ සත්‍යය නමස්කාරය සඳහා එක්රැස් කරනු ලැබ නැත. තව ද, අද දින දෙවියන් වහන්සේගෙන් හා ක්‍රිස්තුස් වහන්සේගෙන් පැමිණෙන ආලෝකය අනුගමනය කරන අය කවරහු ද? ‘එන්න, ජීවනයේ ජලය නොමිලේ ලබා ගන්න’ යනුවෙන් අන්‍යයන්ට ආරාධනා කරමින්, “ලෝකයේ ප්‍රදීපක මෙන් බැබළෙන” මෙන් පිලිප්පි 2:15 හි [NW] පැවසෙන දෙය කරමින් සිටින්නේ කවරහු ද?—එළිදරව් 22:17.
11. ආත්මික ආලෝකය සම්බන්ධයෙන් ක්‍රිස්තියානි ලෝකයේ තත්ත්වය කුමක් ද?
11 ක්‍රිස්තියානි ලෝකය එය කරමින් සිටිනවා ද? ක්‍රිස්තියානි ලෝකය, එහි භේද භින්න වූ ආගම් සමඟ, ප්රදීපකයක් මෙන් නොබැබළෙන බව සහතික ය. ඇත්ත වශයෙන් ම, පූජක පංතිය යේසුස් වහන්සේගේ දවස්වල සිටි ආගමික නායකයන්ට සමාන ය. ඔවුන් දෙවියන් වහන්සේගෙන් හා ක්‍රිස්තුස් වහන්සේගෙන් පැමිණෙන සැබෑ ආලෝකය පරාවර්තනය කරන්නේ නැත. වසර තිස් තුනකට පෙර, තියොලජි ටුඩේ නමැති සඟරාව මෙසේ පැවසී ය: “පල්ලිය තුළ ආලෝකය ප්‍රබල දීප්තියකින් දැල්වෙන්නේ නැති බව කනගාටුවෙන් වුවද පිළිගත යුතු ය. . . . තමන් අවට තිබෙන ප්‍රජාවක් මෙන් වීමට පල්ලිය වඩ වඩාත් නැඹුරු වෙමින් තිබේ. එය ලෝකය තුළ ම බැබළෙන ආලෝකයන්ගේ ප්‍රතිබිම්භනයක් වනවා මිස, ලෝකයේ ආලෝකයක් නොවේ.” තව ද ක්‍රිස්තියානි ලෝකයේ අද දින තත්ත්වය ඊටත් වඩා නරක ය. ඈ ලෝකයෙන් විහිදුවනවා යයි කියා සිටින එම ආලෝකය ඇත්තෙන් ම අන්ධකාරය ය, මන්ද, එහි තිබෙන්නේ සාතන් සහ ඔහුගේ ලෝකයට ඉදිරිපත් කිරීමට තිබෙන දෙය නිසා ය. නැත, වියවුල් සහගත හා මුළුමනින් ම ලෝකයට බර වී තිබෙන ක්‍රිස්තියානි ලෝකයේ ආගම්වලින් සත්‍යයේ කිසිදු ආලෝකයක් නොපැමිණෙයි.
12. අද දින සැබෑ ආලෝකය දරන සංවිධානය සෑදෙන්නේ කාගෙන් ද?
12 යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්ගේ නව ලෝක සමාජය, අද දින සැබෑ, ආලෝකය දරන්නා වූ සංවිධානය බව සහතික ලෙස ම පැවසිය හැකි ය. එහි සියලු සාමාජිකයන්—පුරුෂ, ස්ත්‍රී සහ දරුවන් එක සමාන ව—එක්සත් ව, යෙහෝවඃ වහන්සේ සහ ක්‍රිස්තුස් වහන්සේගෙන් පැමිණෙන ආලෝකය සියලු මිනිස් වර්ගයා ඉදිරියේ බැබළවීමට සලස්වති. පසුගිය වසරේ, ලොව වටා යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් සභාවන් 70,000කට ආසන්න සංඛ්‍යාවක, මිලියන හතරකට වඩා වැඩි ආලෝකය දරන්නෝ, දෙවියන් වහන්සේ සහ උන් වහන්සේගේ අරමුණු පිළිබඳ ව ක්‍රියාශීලී ව අන් අයට කථා කරමින් සිටියහ. එමෙන් ම, ආත්මික ව ඥානාලෝක වීමට වුවමනා වන ජනයාගේ විශාල එක්රැස් කිරීමක් දැන් අපට සෑම වසරක ම දක්නට ලැබේ. බයිබලය පාඩම් කිරීමෙන් සහ සත්‍යය පිළිබඳ ඒකාන්ත දැනුමක් ලබා ගැනීමෙන් පසු ව, සිය දහස් ගණන් බව්තීස්ම කරනු ලැබේ. සැබවින් ම, දෙවියන් වහන්සේගේ “කැමැත්ත නම්, සියලු ආකාර මනුෂ්‍යයන් ගලවනු ලැබ, සත්‍යයේ ඒකාන්ත දැනුමක් ලබා ගැන්මට පැමිණීම ය.”—1 තිමෝති 2:4, NW.
13. යෙහෝවඃ වහන්සේගෙන් පැමිණෙන ආලෝකය අපට කුමක් සමඟ සැසඳිය හැකි වේ ද?
13 දැන් යෙහෝවඃ වහන්සේ වෙතින් පැමිණෙන මෙම අවබෝධය, ඉපැරණි කාලවල දෙවියන් වහන්සේගේ ජනයා මිසරය හැර යන විට සිදු වූ දෙය සමඟ සැසඳීමට අපට හැක: “තවද ඔවුන් දවාලෙත් රාත්‍රියෙත් ගමන්කරන පිණිස ස්වාමීන්වහන්සේ [යෙහෝවඃ වහන්සේ NW] ඔවුන්ට මගපෙන්වීමට දාවල් වලා ටැඹකින්ද රාත්‍රියේ ඔවුන්ට එළිය දීමට ගිනි ටැඹකින්ද ඔවුන්ට පෙරටුව ගියසේක.” (නික්මයාම 13:21, 22) දෙවියන් වහන්සේ වෙතින් පැමිණි, දවාලේ වූ වලාකුළ ද, රාත්‍රියේ වූ ගින්න ද ඔවුන්ට රඳා පැවතිය හැකි මඟ පෙන්වීම් විණි. අපට දවල් කාලයේ ආලෝකය සැපයීමට දෙවියන් වහන්සේ මැවූ සූර්යයා මෙන්, ඒවා කෙරෙහි රඳා පැවතිය හැකි විණි. එසේ ම, මෙම නපුරු අන්තිම දවස්වල සිටින සත්‍යය සොයන්නන් උදෙසා මාවත දිගට ම ආත්මික ව ආලෝකවත් කිරීමට අපට යෙහෝවඃ වහන්සේ මත රඳා සිටිය හැක. හිතෝපදේශ 4:18 අපට මෙසේ සහතික කරයි: “ධර්මිෂ්ඨයන්ගේ මාවත ඉර මුදුන් වේලාව දක්වා වඩ වඩා ආලෝකවේගන යන්නාවූ අලුයම් ආලෝකය මෙන්ය.”
රාජ්‍යය ආලෝකය පරාවර්තනය
14. ආලෝකය දරන්නන්ගේ ප්‍රධාන අරමුණ විය යුත්තේ කුමක් ද?
14 යෙහෝවඃ වහන්සේ වනාහි ඥානාලෝකයේ ප්රභවය ද, ක්‍රිස්තුස් වහන්සේ වනාහි එම ආලෝකයේ ප්‍රධාන පරාවර්තකයාණන් ද වන අතර, යේසුස් වහන්සේගේ අනුගාමිකයන් ද එය පරාවර්තනය කළ යුතු ය. උන් වහන්සේ ඔවුන් ගැන මෙසේ පැවසූ සේක: “නුඹලා ලෝකයේ ආලෝකයය. . . . මනුෂ්‍යයන් විසින් නුඹලාගේ යහපත් ක්‍රියා දැක ස්වර්ගයෙහි සිටින නුඹලාගේ පියාණන්වහන්සේට ගෞරව කරන පිණිස නුඹලාගේ ආලෝකය ඔවුන් ඉදිරියේ බබළාවා.” (මතෙව් 5:14, 16) උන් වහන්සේගේ අනුගාමිකයන්, මිනිස් වර්ගයා ඉදිරියේ බැබළ විය යුතු ආලෝකයේ ප්‍රධාන තේමාව වූයේ කුමක් ද? ලෝක ඉතිහාසයේ මෙම උච්චාවස්ථාවේ දී, ඔවුන් ඉගැන්විය යුත්තේ කුමක් ද? සිය අනුගාමිකයන්, ප්රජාතන්ත්ර වාදය, ඒකාධිපති වාදය, පල්ලිය සහ ආණ්ඩුව එක්සත් කිරීම හෝ වෙන යම් ලෞකික මත වාදයන් ගැන දේශනා කරනු ඇතැයි යේසුස් වහන්සේ පැවසුවේ නැත. ඒ වෙනුවට, මතෙව් 24:14 හි [NW] උන් වහන්සේ පුරෝකථනය කළේ, සමස්ත ලෝක විරුද්ධවාදිකම් හමුවේ, “රාජ්‍යයේ මේ ශුභාරංචිය සියලු ජාතීන්ට සාක්ෂියක් ලෙස ජනාවාස පොළොවේ දේශනා කරනු ඇත, එවිට අන්තිමය පැමිණෙනු ඇත” යනුවෙන් ය. මෙසේ, සාතන්ගේ ලෝකය එහි නිමාවට පමුණුවා, ධර්මිෂ්ඨ නව ලෝකය දියත් කරන්නා වූ දෙවියන් වහන්සේගේ රාජ්‍යය ගැන අද දින ආලෝකය දරන්නෝ අන්‍යයන් හට කථා කරති.—1 පේතෘස් 2:9, NW.
15. ආලෝකය වුවමනා කරන අය හැරෙනු ඇත්තේ කොතැනකට ද?
15 ආලෝකයට ප්‍රේම කරන අය, මේ ලෝකයේ බල පුළුවන්කාරකම් හා එහි ඉලක්කයන් මගින් පැත්තකට විසිවී යන්නේ නැත. මෙම ලෝකය එහි අවසානයට ළං වෙමින් සිටින හෙයින්, එම බල පුළුවන්කාරකම් සහ ඉලක්කයන් සියල්ල ම ළඟ දී ම අතුරුදහන් වී යනු ඇත. ඒ වෙනුවට, පොළොවේ සිව්කොන දක්වා දේව රාජ්‍යයේ ආලෝකය බැබළීමට සලස්වමින් සිටින අය මගින් මහ හඬ නංවමින් තිබෙන ශුභාරංචිය වෙතට හැරීමට ධර්මිෂ්ඨකමට ප්‍රේම කරන අයට වුවමනා ය. එළිදරව් 7:9, 10 හි පුරෝකථනය කර ඇත්තේ මේ අය ගැන ය, එහි මෙසේ කියයි: “ඉන්පසු සියලු ජාතීන්ගෙනුත් භාෂාවන්ගෙනුත් කිසිවෙකුට ගණන්කළ නොහැකි මහත් සමූහයක් සුදු සළු පැළඳ, තමුන්ගේ අත්වල තාලපත්‍ර ඇතුව, [දෙවියන් වහන්සේගේ] සිංහාසනය ඉදිරියෙහිත් බැටළුපැටවාණන් [ක්‍රිස්තුස් වහන්සේ] ඉදිරියෙහිත් සිටිනවා දුටිමි; . . . ඔව්හු: සිංහාසනයෙහි වැඩහිඳින අපේ දෙවියන්වහන්සේටත් බැටළුපැටවාණන්ටත් ගැළවීම අයිතිය කියා මහත් ශබ්දයකින් හඬගැසුවෝය.” දහහතර වෙනි පදය මෙසේ කියයි: “මොව්හු මහත් පීඩා මැදින් එන්නෝය.” එසේ ය, ඔවුහු මේ ලෝකයේ අවසානයෙන් බේරී ජීවත් වෙන්නේ, දෙවියන් වහන්සේගේ රාජ්‍යය යටතේ නිම නොවන නව ලොව තුළට ය.
ඥානාලෝක වූ නව ලෝකය
16. මහත් පීඩාවේ දී සාතන්ගේ ලෝකයට කුමක් සිදු වේවි ද?
16 මෙම නව ලෝකය, සත්‍යයේ දීප්තිමත් ආලෝකයෙන් නැහැවී තිබෙනු ඇත. දෙවියන් වහන්සේ, මෙම දේවල පිළිවෙළ එහි අවසානයට ගෙනාවායින් පසු ව දවසේ තත්ත්වය කුමක් වනු ඇති දැයි, ඇත්ත වශයෙන් ම සලකා බලන්න. සාතන්, ඔහුගේ භූතයන්, සහ ඔහුගේ දේශපාලනික, වාණිජමය, සහ ආගමික පිළිවෙළවල්—ඒවා සෑම එකක් ම—පහව ගොස් තිබෙනු ඇත. ඇරත්, සාතන්ගේ සියලු ම ප්රචාරක මෙවලම් පහවී ගොස් තිබෙනු ඇත. මෙසේ, මහත් පීඩාවෙන් පසු, මෙම දුෂ්ට ලෝකයට අනුබල දෙන්නා වූ, මුද්‍රිත එක් පුවත් පතක් වත්, සඟරාවක් වත්, පොතක් වත්, පොත් පිංචක් හෝ පත්‍රිකාවක් වත් යළි කිසිදාක නොතිබෙනු ඇත. ලෝකයේ රූපවාහිනි හෝ ගුවන් විදුලි මධ්‍යස්ථානවලින් විකාශනය කෙරෙන කිසිදු දූෂිත බලපෑමක් තිබෙන්නට යන්නේ නැත. සාතන්ගේ ලෝකයේ විස සහිත මුළු පරිසරය ම, එක් බලවත් පහරකින් ඉවතට විසි වී යනු ඇත!—මතෙව් 24:14; එළිදරව් 7:14; 16:14-16; 19:11-21.
17, 18. සාතන්ගේ ලෝකයේ අවසානයට පසු ව ඇති වන ආත්මික වාතාවරණය ගැන ඔබ විස්තර කරනු ඇත්තේ කෙසේ ද?
17 එය මොනතරම් අති මහත් සහනයක් වනු ඇත් ද! එවක් පටන්, යෙහෝවඃ වහන්සේගෙන් පැමිණෙන සනීපදායක, අභිවෘද්ධිදායක ආත්මික ආලෝකය සහ උන් වහන්සේගේ රාජ්‍යය පමණක් මිනිස් වර්ගයා හට බලපෑම් කරනවා ඇත. යෙසායා 54:13 හි මෙසේ පුරෝකථනය කරයි: “නුඹේ සියලු දරුවෝද ස්වාමීන්වහන්සේ [යෙහෝවඃ වහන්සේ NW] විසින් උගන්වනු ලබන්නෝ වෙති; නුඹේ දරුවන්ගේ සමාදානය මහත් වන්නේය.” මුළු පොළොව දේව පාලනයෙන් ආණ්ඩු කරනු ලැබීමත් සමඟ ම, යෙසායා 26:9 හි [NW] පවසන පරිදි, උන් වහන්සේගේ පොරොන්දුව නම්, “ඵලදායී දේශයේ වැසියන් සහතික ව ම ඉගෙන ගනු ඇත්තේ ධර්මිෂ්ඨකම ය.”
18 සැනෙකින්, මුළු මහත් මානසික හා ආත්මික වාතාවරණය වඩාත් හොඳ අතට වෙනස් වනවා ඇත. අද දින හාත්පස පැතිර පවත්නා වූ කලකිරවන සුලු දුරාචාරමය දේවල් වෙනුවට වර්ධනය කරවන සුලු දේවල් ජීවිතයේ ප්‍රධාන තැන් ගන්නවා ඇත. එවකට ජීවත් වන සෑම කෙනෙකුට ම දෙවියන් වහන්සේ සහ උන් වහන්සේගේ අරමුණු ගැන උගන්වනු ලබනවා ඇත. යෙසායා 11:9 හි අනාවැකිය සම්පූර්ණ අර්ථයකින් ඉෂ්ට වනු ඇත, එහි මෙසේ පවසයි: “ජලයෙන් මුහුද වැසී තිබෙන්නාක්මෙන්, ස්වාමීන්වහන්සේ [යෙහෝවඃ වහන්සේ NW] ගැන දැනගැන්මෙන් පොළොව පිරීයන්නේය.”
ආලෝකය අනුගමනය කිරීම හදිසි දෙයකි
19, 20. ආලෝකය අනුගමනය කිරීමට වුවමනා අය ආරක්ෂා සහිත ව ප්‍රවේසම් විය යුත්තේ මන්ද?
19 දැන්, මෙම නපුරු පිළිවෙළේ අවසාන අවුරුදුවල දී, ලෝකයේ ආලෝකය අනුගමනය කිරීම හදිසි දෙයකි. අප ආරක්ෂා සහිත ව ප්‍රවේසම් වීම අවශ්‍ය ය, මන්දයත් ආලෝකයේ ගමන් කරමින් සිටින අපට එරෙහි ව ප්‍රබල යුද්ධයක් කෙරෙමින් තිබෙන බැවිනි. මෙම විරුද්ධවාදිකම පැමිණෙන්නේ, අන්ධකාරයේ බලවේගයන් වන සාතන්, ඔහුගේ භූතයන් සහ ඔහුගේ භූමික සංවිධානයෙනි. ප්‍රේරිත පේතෘස් මෙසේ අනතුරු අඟවන්නේ එමනිසා ය: “සිහි ඇතිව, අවදිව ඉඳිල්ලා, නුඹලාගේ විරුද්ධකාරයාවූ යක්ෂයා ගොරවන සිංහයෙකු මෙන් කවරෙකු ගිලීම්දෝහෝයි සොයමින් ඔබ මොබ ඇවිදින්නේය.”—1 පේතෘස් 5:8.
20 ආලෝකය සමඟ සම්බන්ධකම් පැවැත්වීමට පැමිණෙන අය ව අන්ධකාරයේ දිගට ම ගමන් කරවීම සඳහා සාතන්ට වුවමනා නිසා ඔවුන්ගේ මාවතේ හැම බාධාවක් ම ඇති කිරීමට ඔහු මාන බලනවා ඇත. ඒ, සත්‍යයට විරුද්ධ වන නෑදෑයන්ගෙන් හෝ පවුලේ සාමාජිකයන්ගෙන් හෝ කලින් මිතුරන් ව සිටි අයගෙන් හෝ පීඩන ඇති වන්නට පුළුවන. එසේ වන්නේ, බොරු ආගමේ ඉගැන්වීම්වලින් හෝ ඇදහිල්ලකින් තොර අදේවවාදීන්ගේ සහ අඥේයවාදීන්ගේ අදහස් හේතුවෙන් අන්ධ කොට තිබීම නිසා, යමෙකු බයිබලය කෙරෙහි සැක කිරීම නිසා විය හැක. එය, දිව්‍ය අවශ්‍යතාවලට එකඟව ව යමෙකුට ජීවත්වීමට අසීරු කරවන තමාගේ ම පව්කාර නැඹුරුවාවන් නිසා විය හැකි ය.
21. දෙවියන් වහන්සේගේ නව ලෝකය තුළ ජීවත්වීමට කැමති සියල්ලන් විසින් ගත යුතු ක්‍රියා මාර්ගය කුමක් ද?
21 බාධාවන් කුමක් විය හැකි වුවද, දිළිඳුකමින්, අපරාධයෙන්, සහ අයුක්තියෙන් සහ යුද්ධයෙන් තොර වූ නව ලෝකයක ජීවිතය භුක්ති විඳින්නට ඔබට වුවමනා ද? පාරාදීස පොළොවක පිරිපුන් සෞඛ්‍ය හා සදා ජීවනය භුක්ති විඳීමට ඔබට වුවමනා ද? එසේ නම්, ලෝකයේ ආලෝකය වශයෙන් යේසුස් වහන්සේ ව පිළිගෙන, උන් වහන්සේ ව අනුගමනය කර, “ජීවනයේ වචනය” අල්ලා ගෙන සිටින, “ලෝකයේ ප්‍රදීපක මෙන් බැබළෙන” අයගේ පණිවුඩයට සවන් දෙන්න.—පිලිප්පි 2:15, 16, NW.
ඔබ පිළිතුරු දෙනු ඇත්තේ කෙසේ ද?
◻ තමන් අන්ධකාරයට ප්‍රේම කරන බව ආගමික නායකයන් පෙන්වන්නේ කෙසේ ද?
◻ යේසුස් වහන්සේ ජනයා කෙරෙහි දැක්වූයේ කුමන ආකල්පයක් ද?
◻ ආලෝකය දරන්නන්ගේ එක්රැස් කිරීම ඉදිරියට කරගෙන ගොස් තිබෙන්නේ කෙසේ ද?
◻ ළඟදී ම සිදු වනු ඇත්තේ ඉතා වැදගත් වූ කිනම් වෙනස්වීම් ද?
◻ අද දින ලෝකයේ ආලෝකය අනුගමනය කිරීම හදිසි දෙයක් වන්නේ මන්ද?
[14, 15වන පිටුවේ පින්තූරය]
දැඩි සිත් ඇති ඵරිසිවරු, යේසුස් වහන්සේ විසින් ඇස් සුව කොට තිබූ මිනිසා ව පිටතට පන්නා දැමූහ