දකුණු අප්‍රිකාවේ යෙහෝවඃ වහන්සේගේ සංවිධානය සමඟ වැඩීම
ෆ්රාන්ස් මර්ලර් විසින් පවසන ලදී
මගේ වැඩිමහල් සහෝදර ඩේවිඩ් හා මා සාමාන්‍යයෙන් සවස දුම්රියට ගොඩ වීම සඳහා කේප් ටවුන් හි මධ්‍යම දුම්රිය ස්ථානයට ළඟා වූ විට, “සුදු ජාතිකයන්ට පමණයි” යන දැන්වීම දැකීමෙන් අප පුදුමයට පත් වුණා. වර්ෂ 1948 මැතිවරණයෙන් ජාතික පක්ෂය ජය ගෙන තිබූ අතර ආපාතයිඩ් ප්‍රතිපත්තිය [කළු සහ සුදු ජාතිකයන් අතර ඇති උස් පහත් භේදය] හඳුන්වා දී තිබුණා.
ඇත්ත වශයෙන් ම, යටත් විජිත කාලවල අප්‍රිකාවේ රටවල් බොහොමයක කරන ලද ආකාරයට, දකුණු අප්‍රිකාවේත් වාර්ගික වෙන් කිරීම ක්‍රියාවට නංවනු ලැබුවා. එහෙත් දැන් එය නීතියෙන් ක්‍රියාත්මක කරමින් තිබූ අතර අපට තවදුරටත් තද පාට සමෙන් යුත් දකුණු අප්‍රිකානුවන් සමඟ එක ම මැදිරියේ යාමට අවසර ලැබුණේ නැහැ. වසර හතලිස් පහකට පසු ව, ආපාතයිඩ් දැන් ඉවත් කෙරෙමින් පවතිනවා.
අපගේ සේවය අපට කැමති ආකාරයෙන් කිරීමට එරෙහි ව අභියෝග ඉදිරිපත් කළ, ආපාතයිඩ් නීතිය වලංගු ව පැවති මුළු කාල පරිච්ඡේදය පුරා, මම යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්ගේ පූර්ණ කාලීන සේවකයෙක් හැටියට සේවය කළා. දැන්, 65වන වියට පැමිණ සිටින මට, දකුණු අප්‍රිකාවේ යෙහෝවඃ වහන්සේගේ සංවිධානයේ පුදුම සහගත වර්ධනය දෙස හැරී බැලිය හැකි අතර ඒ සමඟ වැඩෙන්නට ලැබුණු වරප්‍රසාදය සඳහා මම කෘතඥ පූර්වක වෙනවා.
ක්‍රිස්තියානි උරුමයක්
මගේ පියා යෞවනයෙක් ව සිටිය දී, උදෑසනින් ම මගේ සීයාට බයිබලය හඬ නඟා කියවන්නට ඔහුට සිද්ධ වුණා. කල්යාමේ දී පියා තුළ දේව වචනය සඳහා ගැඹුරු ප්‍රේමයක් ඇති වුණා. මා වර්ෂ 1928 ඉපදුණ විට, මගේ පියා පොට්ගීටර්ස්රස් නගරයේ ඇති ලන්දේසි ප්‍රතිසංස්කෘත සභාවේ, සභා කවුන්සලයේ සේවය කරමින් සිටියා. ඒ අවුරුද්දේ මගේ මාමා ද හාප් ඔෆ් ගෝඩ් නම් පොතේ පිටපතක් ඔහුට දුන්නා.
කෙසේ වෙතත්, පියා, එය නිකායකින් යයි පවසමින්, එම පොත පුලුස්සන්නැයි මවට කිව්වා. එහෙත් ඇය එය තබා ගත් අතර, දිනක් එය පියාට අහම්බෙන් හමු වූ විට, එය විවෘත වූයේ “දෙවියන් වහන්සේ කවරෙකුටවත් වද වේදනා දෙන සේක් ද?” යන මාතෘකාවට ය. එවකට යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් ව හඳුන්වන ලද ආකාරයට, බයිබල් ශිෂ්‍යයන් වැරදි සහගත තත්ත්වයක සිටි බව ඔහු නිසැක ව සිටියත්, ඔහු තුළ ඇති වූ කුතුහලය නිසා, ඔහු එය කියවන්නට පටන් ගත්තා. ඔහුට පොත කියවීම නවත්වන්නට පුළුවන්කමක් තිබුණේ නැහැ. උදේ පාන්දර ම, ඔහු ඇඳට එන විට, “අම්මී, මට හිතෙනවා ඔවුන් ළඟ සත්‍යය තිබෙනවා කියලා” යයි බිරිඳට පැවසුවා.
ඊළඟ දවසේ, පියා ළඟ ම සිටින බයිබල් ශිෂ්‍යයාගෙන් තවත් පොත් ලබා ගැනීමට සැතපුම් 30ක් බයිසිකලයෙන් ගියා. ඔහු නිති පතා ම හුඟක් රෑ වනතුරු කියවන්නට වුණා. පල්ලිය වෙනස්කම් කරාවි යන බලාපොරොත්තුවෙන්, ඔහු තමා ඉගෙන ගනිමින් සිටි බයිබල් සත්‍යයන් ගැන ලන්දේසි ප්‍රතිසංස්කෘත දේවගැති තැනට පවා ඒත්තු ගැන්වීමට වෑයම් කළා. ඔහුගේ වෑයමෙන් ඵලක් නොවූ නිසා, ඔහු පල්ලියෙන් ඉවත් වී ජ්වලිත ව දේශනා කරන්නට පටන් ගත්තා. බයිබල් සත්‍යය ඔහුගේ ජීවිතය බවටත් අපගේ නිවසේ වඩාත් ම වැදගත් දෙය බවටත් පත් වුණා. මා වැඩුණේ මෙම පරිසරය තුළයි.
පසු ව, පියා පුරෝගාමියෙක්, නැතහොත් පූර්ණ කාලීන දේව සේවකයෙක් බවට පත්වුණා. ඔහු දේශනා කිරීමට, පැරණි මොඩල් ටී ෆෝඩ් රථයකින් බොහෝ දුර ගමන් කළා. වසර කිහිපයකට පසු, වර්ධනය වූ අපගේ පවුලේ අවශ්‍යතා නිසා පුරෝගාමි සේවයේ යෙදීම නැවැත්වීමට ඔහුට සිදු වූ නමුත්, ඔහු තවදුරටත් දේශනා කිරීමේ කාර්යයෙහි ඉතා ක්‍රියාශීලී ව සිටියා. ඇතැම් ඉරුදිනවල පීටර්ස්බර්ග් නගරයේ ඔහු සමඟ දේශනා කිරීමට අපි සැතපුම් 60ක් දක්වා ගමන් කළා.
සාර්ථක වෙළෙඳ ව්‍යාපාරයක්
අවසානයේ දී පියා කුඩා සිල්ලර බඩු කඩයක් විවෘත කළා. ඉක්මනින් එය ප්‍රමාණයෙන් දෙගුණයක් වී, දෙවන කඩයක් ද විවෘත කරනු ලැබුවා. ධනවත් ගොවීහු කීපදෙනෙක් පියා සමඟ වෙළෙඳ ව්‍යාපාරයේ හවුල් වූ අතර කලක් යන විට ඔවුන් ද එකතු වී තොග වෙළෙඳ හලක් හා විශාල ප්‍රදේශයක් පුරා විහිදුනු සිල්ලර වැල් වෙළෙඳ හල් හයක් ක්‍රියාත්මක කළා.
මගේ වැඩිමහල් සහෝදරයන් කීපදෙනෙක් වෙළෙඳ ව්‍යාපාරයට එක් වෙමින් මෙහි දී ධනවත්වීමේ අපේක්ෂාව ඇති ව සිටියා. කෙසේ වෙතත්, අපගේ ආත්මිකත්වයට මින් හානි සිදු වුණා. අප ලෝකයේ මිත්‍රයන් හා අසල්වැසියන් විසින් වඩාත් පිළිගත හැකි තත්ත්වයට පත් වූ අතර ඔවුන් අප ව තමන්ගේ ප්‍රියසම්භාෂණවලට ආරාධනා කළා. මෙහි අන්තරාය දකිමින්, පියා පවුලේ සාකච්ඡාවක් කැඳවා, යෙහෝවඃ වහන්සේගේ සේවයේ අපට වැඩියෙන් ක්‍රියා කළ හැකි වනු පිණිස ව්‍යාපාරය විකිණීමටත්, ප්රෙටෝරියාවේ පදිංචියට යාමටත් තීරණය කළා. කුලී වැඩකරුවන් යොදා පවත්වා ගෙන ගිය එක් වෙළෙඳ හලක් පමණක් අප තබා ගත්තා.
මගේ අයියලා වන ක්විස් හා ඩේවිඩ් පුරෝගාමි සේවය පටන් ගත් අතර එසේ ඔවුහු මගේ අක්කා වන ලීනා හා ලොකු අයියා හා එක් වුණා. කෙසේ වෙතත්, මගේ වැඩිමහල් ම සොහොයුරා පසු ව සැබෑ නමස්කාරය අත්හළ බව පැවසීම කනගාටුවට කරුණකි. දසදෙනෙකුගෙන් සමන්විත අපගේ පවුල, 1942 එක් මාසයක් ඇතුළත, දේශනා සේවයේ පැය 1,000ක් ගත කළා. එම වසරේ මම වතුර බව්තීස්මය ලබා මගේ ජීවිතය යෙහෝවඃ වහන්සේට කැප කිරීම සංකේතවත් කළා.
මම පාසලෙන් කල් තබා අස්වීමට හේතුව
වර්ෂ 1944, IIවන ලෝක යුද්ධය ඉතා බලවත් ව තිබූ විට, යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්ගේ සංචාරක අවේක්ෂකයෙක් වන කර්ට් නෙල්, මා පුරෝගාමි සේවයට ඇතුල්වීමට සැලසුම් කරන්නේ දැයි මගෙන් ඇසුවා. “ඔව්, තව අවුරුදු දෙකකින්, මා උසස් පාසලෙන් අස් වූ පසු” කියා මා පිළිතුරු දුන්නා.
ඒ කාලයේ විසූ යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් බොහෝ දෙනෙකුගේ බලාපොරොත්තු පිළිබිඹු කරමින් ඔහු “ඔබ පාසලේ බංකු මත වාඩි වී සිටින අතරතුර, අර්මගෙදොනය පැමිණ ඔබ ව අල්ලා නොගන්නා බවට ප්‍රවේසම් වන්න” කියා මට අනතුරු ඇඟෙව්වා. එවැන්නක් සිදුවෙන්නට මා කැමති නොවූ නිසා, මම පාසලෙන් අස් වී, 1945 ජනවාරි 1වන දින පුරෝගාමි සේවයට ඇතුල් වුණා.
මගේ මුල් පත්වීම ජොහැන්නස්බර්ග් අසල, වෙරීනිගිං වූ අතර, පෙට් වෙන්ට්සෙල් හා ඩනී ඔටෝ එහි මා සමඟ හවුලේ සේවය කළා. බොහෝ විට මා දේශනා කිරීමෙහි පැය 200කට වැඩි කාලයක් ගත කළා. කලකට පසු පෙට් ව ප්‍රෙටෝරියා නගරයට මාරු කරන ලද අතර සිය වයෝවෘද්ධ පියාට ගොවිපොළේ උපකාර කිරීම පිණිස ඩනීට පුරෝගාමි සේවය නැවැත්වීමට සිදු වුණා. මෙනිසා වෙරීනිගිං නගරයේ තිබූ නිවාස බයිබල් පාඩම් 23ට එක ම සාක්ෂිකරු වශයෙන් සැලකිල්ල දැක්වීමේ කාර්යය තනි ව මට පැවරුණා.
ඉන් වැඩි කලක් යන්නට මත්තෙන්, ප්‍රෙටෝරියා වෙතට ස්ථාන මාරු කළ බවට ලිපියක් මට ශාඛා කාර්යාලයෙන් ලැබුණා. අලුත් පැවරුම සඳහා හේතුව මා එවිට වටහා නොගත්ත ද, අවුරුදු 17ක් වයසැති අත්දැකීම් අඩු කෙනෙක් ව තනි ව ඉන්නට හැරීම ඥානවන්ත දෙයක් නොවන බව මා පසු ව තේරුම් ගත්තා. මට තවදුරටත් සෑහෙන පුහුණුවක් අවශ්‍ය ව තිබූ අතර ඒ ආකාරයට ම සිටියේ නම් අධෛර්යයට පත් වන්නට ඉඩ තිබුණා.
ප්රෙටෝරියාවේ සේවය කර අවශ්‍ය අත්දැකීම් ලැබීමෙන් පසු, මම විශේෂ පුරෝගාමියෙක් වීමට ආරාධනයක් ලැබුවා. පෙට් වෙන්ට්සෙල් හා මා එවිට පුරෝගාමින් හැටියට සේවය කරන්නට ප්රෙටෝරියාවට පැමිණි යෞවනයන්ට ප්‍රායෝගික දේව සේවා පුහුණුව ලබා දීමට සැලසුම් කළා. ඒ වන විට, පෙට් ව එම ප්‍රදේශයේ සංචාරක අවේක්ෂකයෙක් හැටියට පත් කර තිබුණා. ඔහු පසු කලෙක මගේ සහෝදරිය වන ලීනා ව විවාහ කර ගත් අතර ඔවුන් දෙදෙනා දැන් එක් ව දකුණු අප්‍රිකාවේ ශාඛා කාර්යාලයේ සේවය කරනවා.
ප්රෙටෝරියාවේ පුරෝගාමින් හැටියට සේවය කරන්නට පැමිණි අය අතර සාක්ෂිකාර පවුලක් විසින් හදාවඩා ගන්නා ලද පියකරු කාන්තාවක් වන මාර්ටි ෆොස් ද සිටියා. අප ආදරය නිසා එකිනෙකාට ප්‍රේමයෙන් බැඳුණ ද අප තවදුරටත් විවාහ වීමට ළාබාල වැඩි නව යොවුන් වියේ අය ව සිටියා. කෙසේ හෝ, අප වෙනත් තැන්වලට ස්ථාන මාරු ලබා වෙන් වුවත්, අපි දිගට ම ලිපි මගින් අපගේ සම්බන්ධතාවය පැවැත්වූවා.
බෙතෙල් සේවය හා ගිලියඩ් පාසල
වර්ෂ 1948 දී, කේප් ටවුන් හි පිහිටි වොච් ටවර් සමිතියේ ශාඛා කාර්යාලයේ සේවය කරන්නට මට ආරාධනයක් ලැබුණා. ඒ අවස්ථාවේ දී, කුලියට ගන්නා ලද කාර්යාල තුනේත් අසල පිහිටි කුඩා කර්මාන්තශාලාවේත් සේවය කළ 17 දෙනෙකුගෙන් සමන්විත අපට පොදු නවාතැනක් තිබුණේ නැහැ. අපගෙන් කීපදෙනෙක් වෙනත් පවුල් සමඟ වාසය කළ අතර වෙනත් අය නේවාසිකාගාරවල ජීවත් වුණා.
වැඩ කරන සෑම දවසක ම බෙතෙල් පවුලේ සාමාජිකයන් 17 දෙනා උදෑසන නමස්කාරය පිණිස කුඩා වූ කර්මාන්තශාලාවේ ඇඳුම් තබන කාමරයේ එක්රැස් වුණා. අපගෙන් බොහෝ දෙනෙකුට තමන්ගේ දිවා ආහාර සඳහා යම් පුද්ගලික සැලැස්මක් සකසා ගන්නටත් සිදු වුණා. අනතුරුව, සම්පූර්ණ දවසක් වැඩ කිරීමෙන් පසු, අප කේප් ටවුන් හි විවිධ කොටස්වල ඇති අපගේ නවාතැන් වෙත හැරී යනවා. කලින් සඳහන් කළ පරිදි “සුදු ජාතිකයන්ට පමණයි” යන සංඥාව මගේ සහෝදර ඩේවිඩ් හා මා දුටුවේ මෙසේ හැරී යන එක් ගමන් වාරයක දී ය.
මා පළමු වතාවට කේප් ටවුන් හි පිහිටි ශාඛා කර්යාලයට පැමිණි විට, මට ඉගෙන ගැනීමට තවත් බොහෝ දෑ තිබෙන බව වටහා ගත් නිසා, අපගේ ශාඛා අවේක්ෂක, සහෝදර ෆිලිප්ස්ගෙන් “ඉස්සරහට එන්න මා කුමක් කළ යුතු ද?” යනුවෙන් ඇසුවා.
ඔහු පිළිතුරු දුන්නේ, “ෆ්රාන්ස්, ඉස්සරහට එන එක ගැන කරදර වෙන්න එපා. කරන දේ අත්නොහැර කරන්න!” යනුවෙනි. මා නිතර එය කරන්නට වෑයමක් දරා ඇති අතර, ආත්මික ආහාර හා මඟ පෙන්වීම යනාදී ආකාරයන්ගෙන් යෙහෝවඃ වහන්සේගේ සංවිධානය සපයන දෑ අනුව අත්නෑර වැඩ කර සිටීමෙන්, පුද්ගලයෙක් ඒ සමඟ වැඩෙන බව මා ඉගෙන ගෙන තිබෙනවා.
වර්ෂ 1950 දී, මිෂනාරි පුහුණුව සඳහා වූ වොච්ටවර් බයිබල් ස්කූල් ඔෆ් ගිලියඩ් පාසලේ 16වන පන්තියට සහභාගි වීමට මා ආරාධනයක් ලැබුවා. එවිට පාසල පිහිටා තිබුණේ, න්යූ යෝක් හි, බෘක්ලිනයේ සිට සැතපුම් 250ක් පමණ උතුරෙන්, න්යූ යෝක්, දකුණු ලැන්සිං හි ය. බෘක්ලිනයේ යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්ගේ ලෝක මූලස්ථානයේ තාවකාලික වැඩ කරමින් සිටින අතර, මම කෙළින් ම යෙහෝවඃ වහන්සේගේ දෘශ්‍යමාන සංවිධානයේ කේන්ද්‍රය නිරීක්ෂණය කළා. එහි සිටින පෙරමුණ ගන්නා අයගේ හෘද පූර්ණ කැපවීම යෙහෝවඃ වහන්සේගේ සංවිධානය සඳහා ගැඹුරු අගැයීමක් මා තුළ ඇති කළා.
දිගට ම මගේ සේවාව
දකුණු අප්‍රිකාවට නැවත පැමිණීමෙන් පසු, මා හැදුනු වැඩුනු උතුරු ට්‍රාන්ස්වාල් හි සංචාරක අවේක්ෂකයෙක් හැටියට සේවය කිරීමට, මට පත්වීමක් ලැබුණා. වසර හයකට ලිපි හුවමාරු කර ගැනීමෙන් පසු, මාර්ටී හා මා 1952 දෙසැම්බර් මාසයේ විවාහ වූ අතර ඇයත් මා සමඟ සංචාරක කටයුතුවල එකතු වුණා. අපගේ බැහැදැකීම් සඳහා අපගේ ක්‍රිස්තියානි සහෝදරයන්ගේ අගැයීම හද උණුසුම් කරවන අත්දැකීමක් විය.
උදාහරණයක් වශයෙන්, වරක් ගොවි ප්රජාවකට අයත් සභාවක සේවය කරන අතර, තේ හෝ කෝපිවලට කිරි නොමැතිකම නිසා කනගාටුව ප්‍රකාශ කළ පවුලක් සමඟ අප නවාතැන් ගත්තා. ගොවීන්ට සාක්ෂි දැරීමට අප ව තමන්ගේ ප්‍රදේශයේ දුරස්තර කොටස්වලට කැඳවා ගෙන යාමට අවශ්‍ය ඉන්ධන ගැනීම සඳහා, අවශ්‍ය තරම් මුදල් ලබා ගැනීමට, ඔවුන් තමන්ගේ එක ම කිරි එළදෙන විකුණා තිබූ බව අපි පසු ව සොයා ගත්තා. අප එයාකාර සහෝදරයන්ට කොතරම් ප්‍රේම කළා ද!
ඇතැම් අවස්ථාවන්හි, විශේෂාකාරයෙන් වැඩිමහල් අය හා සම්බන්ධ ගැටලු සමඟ ක්‍රියා කිරීමේ දී, චාරිකා වැඩ සඳහා මා ප්‍රමාණවත් තත්ත්වයක නොසිටි බවක් මට දැනුනා. වරක් මා චිත්ත වේගී වශයෙක් කොතරම් දුබල තත්ත්වයකට පත් ව සිටියේ ද කියතොත්, මගේ අත්දැකීම් නොමැතිකම නිසා අප ව යළි පුරෝගාමි සේවයට යවනු ලැබුවේ නම්, ඇය පුදුම නොවිය යුතු බව මම මාර්ටීට කීවා. අපට පූර්ණ කාලීන සේවයේ රැඳී සිටිය හැකි නම් ඇය ඕනෑ ම තත්ත්වයක් යටතේ සේවය කිරීමට සතුටු වන බව ඇය මට සහතික වුණා.
අප ඊළඟ සභාවට පැමිණි විට, අපට ලැබුණු තැපැල් ලිපියක දිස්ත්‍රික්ක වැඩවල නිරත වීම සඳහා දෙනු ලැබූ පත්වීමෙන් අප පුදුම වූ ආකාරය සිතින් මවා ගන්න! අවුරුදු දෙකකට ආසන්න කාලයක් අප දකුණු අප්‍රිකාව හා, එවකට නිරිතදිග අප්‍රිකාව ලෙස හැඳින්වූ නැමීබියාව පුරා සංචාරය කළා. කෙසේ වෙතත්, ආපාතයිඩ් ප්‍රතිපත්ති නිසා, අපගේ සේවය ඉතා අමාරු වුණා. නිතර කළු ජාතිකයන් වෙසෙන නගරවලට ඇතුල්වීමට අපට අවසර පත් දෙනු නොලැබූ අතර ඇතැම් අවස්ථාවන්හි අපට එක්රැස්වීම් පැවැත්වීමට අවසර ලැබුණේ නැහැ.
උදාහරණයක් හැටියට, 1960 දී, අප සොවේටෝ නගරයේ දිස්ත්‍රික්ක සමුළුවක් පැවැත්වීමට අවසර ගත්තා. දුරස්තර සභාවල සිට කළු සහෝදරයන් එහි පැමිණීමට දුම්රිය හා බස්රිය ටිකට් පවා ලබා ගෙන තිබුණත්, ආණ්ඩුව අපගේ සැලසුම් දැනගෙන අවසරය අවලංගු කළා. ඥානවන්ත ලෙස, අප ජොහැන්නස්බර්ග් නගරයට සැතපුම් 12ක් දුරින් අනෙක් පැත්තේ පිහිටි නගරයක මිත්‍රශීලී අධිකාරී නිලධාරියෙක් හමු වුණා. ඔහු කාරුණික ආකාරයකට අපට ඊටත් වඩා වැඩි පහසුකම් සලසා දුන් අතර අප 12,000කට වැඩි පිරිසක් සතුටින් භුක්ති විඳි ආශ්චර්යවත් සමුළුවක් පැවැත්වූවා!
මෑත කාලයේ තත්ත්වය කොතරම් වෙනස් වී තිබෙනවා ද! දැන් ආපාතයිඩ් ඉවත් කරනු ලබමින් තිබෙන හෙයින්, අපට කළු, සුදු, මිශ්‍ර වර්ණ, හෝ ඉන්දියානු යනාදී ඕනෑ ම ප්‍රදේශයක නිදහසේ හමු වන්නට පුළුවන. වර්ගය ගැන තැකීමකින් තොර ව, සෑම කෙනෙකුට ම, එකට හිඳගෙන ඇසුර භුක්ති විඳින්නට පුළුවන. කෙනෙකුට අසුන් ගැනීමට ඕනෑ කරන තැන තෝරන එක ම සාධකය භාෂා වෙනස්කම පමණයි.
වේදනාකාරී පාඩමක්
අතීතයේ 1947 දී, මගේ පියා ලොකු වැරැද්දක් කළා. ඔහුත්, මවත් ජීවත් වූ ස්ථානයට සැතපුම් 120ක් පමණ ඈතින් පිහිටා තිබූ ඔහුගේ වෙළෙඳ සැල, වංක පාලනය නිසා ලාභදායී නොවූ තත්ත්වයකට පත් වූ අතර එනිසා, තමා විසින් ම එය පාලනය කරනු පිණිස ඔහු තනි ව එහි හැරී ගියා. දීර්ඝ කාලයක් මවගෙන් වෙන් වී සිටීම, ඔහු ව පරීක්ෂාවට අසු වීමට හේතු වුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන්, ඔහු ව සභා ඇසුරෙන් ඉවත් කරනු ලැබුවා.
බයිබල් සත්‍යය තුළ ජ්වලිත ව සිටීම පමණක් ප්‍රමාණවත් නොවන බව මෙය, පුද්ගලික ආකාරයකින් මා තුළ වේදනාකාරී බලපෑමක් ඇති කළා. සියල්ලන් ම බයිබල් ප්‍රතිපත්තිවලට ඇලී සිටිය යුතුයි. (1 කොරින්ති 7:5) වසර ගණනාවකට පසු, පියා ව සභාවේ කොටසක් හැටියට යළි පිහිටුවනු ලැබූ අතර 1970 ඔහුගේ මරණය තෙක් ඇදහිලිවන්ත ව සේවය කළා. මගේ පෙම්බර මව 1991 ඇයගේ මරණය තෙක් ඇදහිලිවන්ත ව සිටියා.
වැඩිමනත් ආශීර්වාද
වර්ෂ 1958 දී, මාර්ටීත් මාත්, න්යූ යෝක් යැංකි ක්‍රීඩාංගනයේ හා පෝලෝ ක්‍රීඩා පිටියේ යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් මෙතෙක් පැවැත් වූ විශාලත ම සමුළුවට සහභාගි වුණා. යෙහෝවඃ වහන්සේගේ පුදුම සහගත සංවිධානයේ කොටසක් ව සිටීම ගැන අප සතුටින් ඉපිල ගියා. ඉරුදින සවස් භාගයට සහභාගි වූ 2,53,000කට වැඩි විශාල පිරිස අතර සිටීම අපට කවදාවත් අමතක නොවන අත්දැකීමක්. මෙහි, සාමකාමී ව එක්රැස් වී සිටින ‘සියලු ජාතීන්ට අයත් මහත් සමූහයක්’ පිළිබඳ සැබෑ දර්ශනයක් අපට දැක ගත හැකි වුණා. (එළිදරව් 7:9, 10) මාර්ටි ගිලියඩ් පාසලට සහභාගි වීම සඳහා න්යූ යෝක් හි නැවතුන අතර මම දකුණු අප්‍රිකාවේ දිස්ත්‍රික්ක වැඩ සඳහා හැරී ආවා.
වර්ෂ 1959, මාර්ටි, ගිලියඩ් පාසලේ 32වන පන්තියට සහභාගි වී ආපසු පැමිණි පසු, එවකට ජොහැන්නස්බර්ග් නගරයට නැගෙනහිරෙන් එලන්ඩ්ස්ෆොටෙයින් අසල පිහිටා තිබූ දකුණු අප්‍රිකාවේ ශාඛා කාර්යාලයේ සේවය කිරීමට අප ආරාධනයක් ලැබුවා. ගත වූ කාලය පුරා, මම ආකාර ගණනාවකින් සංවිධානයේ ප්‍රගතිය, සුවිශේෂී ආකාරයකින් එහි ප්‍රේමයේ හා සංවේදනයේ වර්ධනය දැක තිබෙනවා. යෙහෝවඃ වහන්සේ, යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළින් ස්වකීය සංවිධානය මෙහෙයවන බවත්, උන් වහන්සේ තමන් ව ඉදිරිපත් කරන අය ව පාවිච්චියට ගනු ඇති බවත් මම ඉගෙන ගෙන තිබෙනවා.
වර්ෂ 1962 දී, මාස දහයක ශාඛා පුහුණු පාඨමාලාවකට සහභාගි වන්නට මා යළිත් බෘක්ලින් වෙත ගියා. වර්ෂ 1967 මා ව දකුණු අප්‍රිකා ශාඛා අවේක්ෂක හැටියට පත් කරනු ලැබූ විට, මෙය ඇත්තෙන් ම උපකාරවත් වුණා. වර්ෂ 1976, ශාඛා කමිටු පත් කරනු ලැබූ බැවින්, දැන් දකුණු අප්‍රිකාවේ වැදගත් තීරණ ගැනීමේ වගකීම අත්දැකීම් ලත් ක්‍රිස්තියානි වැඩිමහල්ලන් පස්දෙනෙකු මත පැවරී තිබෙනවා.
ආපාතයිඩ් යටතේ ජීවිතය
ආපාතයිඩ් නීති අපගේ ශාඛාවේ ක්‍රියාකාරකම් සඳහා බලපෑවා. වර්ෂ 1952 එලන්ඩ්ස්ෆොටෙයින් බෙතෙල් නිවස ගොඩනගන ලද විට, කළු හා මිශ්‍ර වර්ණයේ සහෝදරයන්ගේ නවාතැන් සඳහා පිටුපස තවත් ගොඩනැගිල්ලක් තැනීම නීතියෙන් ඉල්ලා සිටියා. ඔවුන් සුදු ජාතිකයන්ගෙන් වෙන් ව අප්‍රිකානු නිවාස යයි හඳුන්වනු ලබන නවාතැන්වල ආහාර අනුභව කිරීමත් නීතියෙන් ඉල්ලා සිටියා. පසු ව, ඔවුන්ට බෙතෙල් මුළුතැන් ගෙයි හි ආහාර අනුභව කිරීමට කටයුතු සැලසුම් කරනු ලැබුවා. අප වර්ෂ 1959 බෙතෙල් වෙත පැමිණි විට ආහාර අනුභව කිරීමේ වැඩපිළිවෙළ මෙය විය. වාර්ගික පදනමක් මත මෙම වෙන් කිරීමට මා තුළ දැඩි විරුද්ධත්වයක් තිබුණා.
කලක් යනවිට, බෙතෙල් නිවසේ පසුපස ගොඩනැගිල්ලේ අපගේ කළු ජාතික සහෝදරයන්ට රැඳී සිටින්නට තිබූ අවසරය රජය විසින් ඉවත් කළා. එවිට මෙම සහෝදරයන්ට සැතපුම් 12ක් පමණ ඈතින් පිහිටි කළු ජාතිකයන්ට වෙන් වූ නගරයක ඉන්නට සිදු වුණා. සමහරෙක් කුලී නිවාසවලත් අන්‍යයන් තනිකඩයන්ට වෙන් වූ නේවාසිකාගාරවලත් ජීවත් වුණා. මෙම අප්‍රසන්න තත්ත්වය වසර ගණනාවක් පුරා පැවතුණා.
බෙතෙල් නිවස ලොකු කිරීම
මේ අතර, එලන්ඩ්ස්ෆොටෙයින් බෙතෙල් නිවස තවත් ලොකු කරන්නට සිදු වුණා. එය තුන් වරක් ලොකු කිරීමෙන් පසු, අප අපගේ භූමි භාගයේ සම්පූර්ණ සීමාවට ම පැමිණ තිබුණා. අපගේ කළු ජාතික සහෝදරයන්ටත් සිටිය හැකි බෙතෙල් සංකීර්ණයක් ගොඩනැගීමට ප්‍රාදේශීය අධිකාරීන් අපට ඉඩ දෙනු ඇති ස්ථානයක අලුත් ඉඩමක් සෙවිය යුතු යයි අපගේ පාලක මණ්ඩලය අපට මඟ පෙන්නුවා. මේ සඳහා කෙසේ හෝ මාර්ගය විවෘත කරන්නැයි බෙතෙල් පවුලේ සාමාජිකයන් සෑම උදෑසනක ම යෙහෝවඃ වහන්සේට යාච්ඤා කළා.
ජොහැන්නස්බර්ග්ට බටහිරෙන්, කෲගර්ස්ඩොර්ෆ් අවට ප්‍රදේශයේ සුදුසු භූමි භාගයක් අප අන්තිමේ දී සොයා ගත් විට, එය කොතරම් ප්‍රීතිදායක දිනයක් වී ද! කෙසේ වෙතත්, අපගේ කළු ජාතික සහෝදරයන් සඳහා වෙන ම ගොඩනැගිල්ලක් තැනීම අපෙන් යළි ඉල්ලා සිටියා. අප එසේ කළත්, කළු අය 20 දෙනෙකුට වැඩි පිරිසක් එහි රඳවා ගැනීමට අපට අවසර දුන්නේ නැහැ. ස්තුති විය හැකි ලෙසින්, වර්ෂ 1980 ගණන්වල මැද භාගයේ පටන් තත්ත්වය වෙනස් වන්නට පටන් ගත්තා. රජය සිය දැඩි ආපාතයිඩ් නීති ලිහිල් කළ අතර කළු, මිශ්‍ර වර්ණ හා ඉන්දියානු සහෝදරයන් වැඩි ප්‍රමාණයක් බෙතෙල්හි සේවයට කැඳවනු ලැබුවා.
පුද්ගලයන්ට, වාර්ගිකත්වය හෝ වර්ණය නොසලකා, තමන් තෝරා ගන්නා ඕනෑ ම ගොඩනැගිල්ලක වාසය කළ හැකි, සන්තෝෂවත්, එක්සත් බෙතෙල් පවුලක් දැන් අපට සිටිනවා. එසේ ම, වසර ගණනාවක දැඩි වෑයමකින් පසු, අපට ආගමක් හැටියට නීතියෙන් පිළිගැනීමකුත් ලැබී තිබෙනවා. “දකුණු අප්‍රිකාවේ යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවෝ” යනුවෙන් ලියා පදිංචි කරන ලද ප්‍රාදේශීය නීත්‍යානුකූල සංගමයක් පිහිටුවා තිබෙනවා. දැන් අපට අපගේ ම විවාහ පැවැත්විය හැකි නිලධාරීන් සිටින අතර, කළු ජාතිකයන් පදිංචි වී සිටින ප්‍රදේශවල, රාජ්‍යය ශාලා හතු පිපෙන්නා සේ මතු වෙමින් තිබෙනවා.
මා කේප් ටවුන් ශාඛා කාර්යාලයේ සේවය කළ මුල් දවස්වල පටන් යෙහෝවඃ වහන්සේගේ සංවිධානය කොතරම් වර්ධනයක් ලබා තිබෙනවා ද! බෙතෙල් නිවසක් නොමැති 17 දෙනෙකුගෙන් සමන්විත කුඩා පවුලක පටන්, අප දැන් නිපුණ පරිගණක, රෝටරි මුද්‍රණ යන්ත්‍ර, හා සුන්දර බෙතෙල් නිවසක් ඇති 400 දෙනෙකුගෙන් සමන්විත බෙතෙල් පවුලක් දක්වා වර්ධනය වී තිබෙනවා! එසේ ය, මට දකුණු අප්‍රිකාවේ යෙහෝවඃ වහන්සේගේ සංවිධානය සමඟ වර්ධනය වීමේ භාග්‍ය ලැබී තිබුණා. දැනට වසර 50කට පමණ පෙර, මා සේවය පටන්ගත් විට 460කට ආසන්න රාජ්‍යය ප්රචාරක පිරිසකගේ පටන් 55,000කට ආසන්න පිරිසක් දක්වා අද දින අප වර්ධනයක් ලබා තිබෙනවා!
පසුගිය වසර 40 පුරා, මගේ පැත්තෙන් උපකාරශීලී භාර්යාවක් මා හට සිටීම ගැන මම යෙහෝවඃ වහන්සේට ස්තුතිවන්ත වෙනවා. “මාගේ කුසලාන උතුරායයි.” (ගීතාවලිය 23:5) මාර්ටිත් මාත් යෙහෝවඃ වහන්සේගේ ආත්මයෙන් මඟ පෙන්වීම ලබන සංවිධානයේ කොටසක් වීම ගැන කෘතඥ පූර්වක වන අතර දිගට ම යෙහෝවඃ වහන්සේගේ නිවස වන, බෙතෙල්හි, සේවය කරමින්, ඉදිරියට ඇදෙන්නා වූ උන් වහන්සේගේ සංවිධානය සමඟ එකට සිටීමට අධිෂ්ඨාන කරගෙන සිටිනවා.
[20වන පිටුවේ පින්තූරය]
පෙට් වෙන්ට්සෙල් හා ෆ්රාන්ස් මර්ලර් (වම් පැත්තේ) 1945 පුරෝගාමි සේවයේ යෙදී සිටිය දී
[23වන පිටුවේ පින්තූරය]
ෆ්රාන්ස් සහ මාර්ටි මර්ලර්