සාමය සහ සුරක්ෂිතභාවය පිළිබඳ බයිබලයේ මතය
ලෝක එක්සත්කම කෙරෙහි පෙනෙන්නට තිබෙන වඩාත් ප්‍රබල නැඹුරුවාව සහ ඒ තුළින් ගෙන දිය හැකි සාමය සහ සුරක්ෂිතභාවය බොහෝ ජනයා එය දකින්නේ එහි මතුපිට අගයෙනි. වඩාත් හොඳ ලෝකයක් ඇති කිරීමට එවැනි පරිශ්‍රමයක් හේතු වේ යයි ඔවුහු බලාපොරොත්තු වෙති. නමුත් බයිබලය අඟවන්නේ, ඇසට පෙනෙන්නට තිබෙන දෙයට වඩා දෙයක් මීට සම්බන්ධ වෙන බවයි.
සාමය සහ සුරක්ෂිතභාවය ක්‍රිස්තියානින් හට විශේෂයෙන් වැදගත් දෙයක් වනුයේ පළමු සියවසේ ක්‍රිස්තියානි සභාවකට ප්‍රේරිත පාවුල් දේවානුභාවය යටතේ ලියූ දෙයක් නිසා ය. ඔහුගේ එම වචන බයිබලයේ 1 තෙසලෝනික 5:3 හි සඳහන් වෙයි: “සමාදානයය, අනතුරක් නැත කියා කියන විට ගර්බභිණියට විලිරුජාව පැමිණෙන්නාක්මෙන් හදිසියෙන් ඔවුන් පිටට විනාශය පැමිණේ; ඔව්හුද කිසිසේත් නොගැළවෙන්නෝය.” මෙම ශුද්ධ ලියවිලි පාඨය වැදගත් ප්‍රශ්න මතු කරයි.
සාමය සහ සුරක්ෂිතභාවය—කුමක් සඳහා පෙර ලකුණක් ද?
ඉහත උපුටා දක්වා ඇති පාවුල්ගේ වචනවල පසුබිම ගැන ඔබ කියවා බැලුවහොත්, “සමාදානය, අනතුරක් නැත [සුරක්ෂිතභාවය, NW]” යයි පවසන්නේ නිරතුරු ව ම අවදියෙන් සිටින ක්‍රිස්තියානින් නොව, නමුත්, සැබවින් ම සිදු වෙමින් තිබෙන දේවල් ගැන නිදා ගෙන ඉන්නා වූ පුද්ගලයන් බව ඔබට වැටහී යනු ඇත. ඔවුන් භයානක තත්ත්වයක සිටින නමුත්, දේවල් හොඳින් දියුණු වෙමින් තිබෙන බව ඔවුහු සිතන බැවින් ඒ ගැන සාවධාන ව නොසිටිති. එහෙත් ක්‍රිස්තියානින් සම්බන්ධ ව පාවුල් මෙසේ පැවසී ය: “නුමුත් සහෝදරයෙනි, කාලවල්ද ප්‍රස්තාවන්ද ගැන නුඹලාට යමක් ලියන්ට වුවමනා නැත.” (1 තෙසලෝනික 5:1) එසේය, සිද්ධින් සම්බන්ධ ව දෙවියන් වහන්සේගේ කාල සටහන ගැන අප සාවධානයෙන් සිටිය යුතු ය. ඒ මන්ද? මක්නිසාදයත්, “යෙහෝවඃ වහන්සේගේ දවස” යනුවෙන් හැඳින්වෙන ක්ෂණික විනාශයේ කාලය “රාත්‍රියේ සොරෙකු එන්නාක් මෙන්” පැමිණෙන නිසා ය.—1 තෙසලෝනික 5:2.
පූර්වයෙන් පවසා ඇති සාමය සහ සුරක්ෂිතභාවය පිළිබඳ කියමන්වලට ඇතුළත් වන්නේ කුමක් ද? එය නිකම් ම කථාවලට වඩා වැඩි යමක් විය යුතු බව පැහැදිලි ය. මිනිසුන් යුද්ධ කර ඇති තාක්කල්, සාමය ගැන ද කථා කොට තිබේ. පාවුල්ගේ වචන යොමු දැක් විය යුත්තේ ජාතීන් විසින් කැපී පෙනෙන අයුරකින් සාමය සහ සුරක්ෂිතභාවය අත් කර ගෙන තිබෙන බවට පෙනෙනන්ට තිබෙන කාලයකට ය. නමුත් මෙය හුදෙක් මතුපිට පෙනුමක් පමණයි. ක්ෂණික විනාශයට තුඩු දෙන්නා වූ පෙනෙන හැටියට ඇති සාමය සහ සුරක්ෂිතභාවය, සැබෑ සාමයවත්, නියම සුරක්ෂිතභාවයවත් නොවේ.
මෙම හදිසි විනාශය ගැන යේසුස් වහන්සේ ද කථා කළ සේක. උන් වහන්සේ එය හැඳින් වූයේ, “ලෝකයේ පටන්ගැන්මේ සිට මේ දක්වා නුණවූ, මතු කොයිකලෙකවත් නොවන්නාවූ මහත් පීඩාවක් . . . ” ලෙස ය. යේසුස් වහන්සේට ශතවර්ෂයන් කිහිපයකට පෙර අනාගතවක්තෘ දානියෙල් ද මේ ගැන කථා කළ අතර, “ඒ වනාහී මනුෂ්‍ය ජාතියක් පැවති තැන් සිට ඒ කාලය දක්වා නොවූ ආකාර විපත්ති කාලයක්” යනුවෙන් ඔහු ඒ ගැන විස්තර කළේ ය.—මතෙව් 24:21; දානියෙල් 12:1.
අනාවැකිවලට අනුව, එය මහත් පීඩාව ලෙස හැඳින් වුවද, මහත් විපත්ති කාලයක් ලෙස හැඳින් වුවද එය සාතන්ගේ භූමික පිළිවෙළේ සෑම අංගයක් ම පිස දමනු ඇත. ඉන් දිව්‍ය අනුමැතියක් අඟවනවා වෙනුවට, පුරෝකථනය කරන ලද සාමයේ සහ සුරක්ෂිතභාවයේ කථා බහ මඟ පෙන්වන්නේ හරියට ම එහි විරුද්ධ පැත්තටයි!—ශෙපනියා 3:8 සසඳන්න.
කාලය පිළිබඳ සාධක හෙළි වීම
මහත් ලෝක එක්සත්කමක් හා ඉන් හේතු කරවන සාමය සහ සුරක්ෂිතභාවය කෙරෙහි මෑතක දී දක්නට තිබූ නැඹුරුවාව පාවුල්ගේ අනාවැකිමය අනතුරු ඇඟවීමේ ඉටුවීමක් ද? හොඳයි, මේ සඟරාව නිතර නිතර ගෙන හැර දැක්වූවාක් මෙන්, 1914 සිට රාජ්‍යය බලයෙන් යුතු ව යේසුස් වහන්සේගේ ස්වර්ගික පැමිණ සිටීමට සම්බන්ධිත බයිබල් අනාවැකි ගණනාවක ඉටුවීම අපි දැක ඇත්තෙමු. (මතෙව්, 24, 25 වෙනි පරිච්ඡේද; 2 තිමෝති 3:1-5; එළිදරව් 6:1-8) යෙහෝවඃ වහන්සේගේ දවස, එනම් දුෂ්ටයන් මත ක්ෂණික විනාශය පැමිණෙන විට, මෙම කාලයේ ආරම්භය සියැසින් දුටුවා වූ මිනිස් පරම්පරාවේ සාමාජිකයන් තවමත් ජිවත් ව සිටින විට යයි යේසුස් වහන්සේ ඇඟ වූ සේක.—ලූක් 21:29-33.
ප්‍රේරිත පාවුල් ද කාලය පිළිබඳ සාධකයක් ඉදිරිපත් කළේ ය. ඔහු මෙසේ පැවසී ය: “ඔවුන් සාමය හා සුරක්ෂිතභාවය ගැන කථා කරමින් සිටින විට, එක වරම ඔවුන් මත විපත්තිය පැමිණෙනු ඇත.” ද න ඉංග්ලිෂ් බයිබලයේ ගෙන හැර දක්වන පාවුල්ගේ මෙම වචනවලින් පැහැදිලි ව පෙන්වන්නේ, මහත් පීඩාව සිදු වන්නේ “ඔවුන් කථාකරමින් සිටින විට” දී බවයි. රාත්‍රියේ නොපෙනී එන්නා වූ සොරෙකු මෙන්, විනාශය පැමිණෙන්නේ ඒ ගැන අවම අපේක්ෂාවකින් සිටින විට ය, එනම්, බොහෝ මිනිසුන්ගේ අවධානය, ඔවුන් සිතා සිටින සාමය සහ සුරක්ෂිතභාවය ගැන යොමු කරවමින් සිටින විට ය. මෙබැවින්, සාමය හා සුරක්ෂිතභාවය පිළිබඳ වර්තමාන තත්ත්වය පාවුල්ගේ වචන ඉටු කරනවාද—නැතහොත් සාමය සහ සුරක්ෂිතභාවය පිළිබඳ කථා බහ වර්ධනය වීමට ඇත්තේ තව කොතරම් ප්‍රමාණයකට ද කියා අපට මේ මොහොතේ කියන්නට නොහැක, කෙසේ වෙතත් එක් කරුණක් නම්, පෙර නොවූ විරූ ප්‍රමාණයකින් එවැනි කථා බහ අසන්නට ලැබීම, සෑම මොහොතක දී ම අවදියෙන් සිටීමේ ඇති අවශ්‍යතාවය ගැන ක්‍රිස්තියානින් හට අනතුරු අඟවන බව ය.
ලෝක බලවතුන් අතර ඇති ‘තල්ලුව’
අනාගතවක්තෘ දානියෙල් විපත්ති කාලය ගැන කථා කරන විට, ඔහු ද කාලය පිළිබඳ සාධකයක් හඳුන්වා දුන්නේ ය. කෙනෙක් “උතුරේ රජ” වශයෙන් ද, අනෙක් කෙනා “දකුණේ රජ” වශයෙන් ද හැඳින්වෙන ලෝක බලවතුන් දෙදෙනා අතර දිගු කාලීන ඝට්ටනය නිමාවේ දී විපත්ති කාලය ඇති වන බව ඔහු පෙන්නුම් කළේ ය. (දානියෙල් 11:5-43) දෙවන ලෝක යුද්ධයේ නිමාව පටන් මෙම බලවතුන් ව නියෝජනය කරනු ලැබ තිබෙන්නේ ධනවාදී “දකුණේ රජ” සහ සමාජවාදී “උතුරේ රජ” ලෙසට ය.
පසුගිය වසර 45 අතර කාලය තුළ දක්නට ලැබී ඇති පරිදි, වාසියක් ලබා ගැනීමට අරඅඳින්නා වූ මල්ලවපොර බදන්නන් දෙදෙනෙකු මෙන්, මෙම බලවතුන් දෙදෙනා අතර උග්‍ර තරඟය, “තල්ලුවක්” වනු ඇති බව දානියෙල් පුරෝකථනය කළේ ය. මෑතක දී, මෙම තල්ලු කිරීම හීන වී ගොස් ඇති බවක් පෙනෙන්නට තිබේ. මේ අයුරින්, 1990 මැයි මාසයේ දී, සෝවියට් විදේශ ඇමතිවරයා සීත යුද්ධය නිම වී ඇතැයි ප්‍රකාශයට පත් කළේ ය. ජූනි මස ටයිම් සඟරාව, එක්සත් ජනපදයේ හා සෝවියට් සංගමය අතර සමුළු සැසිවාරයක් ගැන ගෙන හැරපාමින් මෙසේ පැවසී ය: “අවි පාලනය සහ න්‍යෂ්ටික පිරික්සුම පිළිබඳ ව කරන ලද ඇතැම් ගිවිසුම් මීට වසර කිහිපයකට පෙර, අත් කර ගත් මවිතකර ජයග්රහණයන් බව පෙනෙන්නට තිබුණි. දැන්, ඒ සියල්ල එකට ගත් කළ, ඒවා පරස්පර විරෝධි අන්දමින් නිමාවකට පත් වී ඇති බව පෙනෙන්නට තිබෙයි.”
සුපිරි බලවතුන් දෙදෙනා අතර පෙනෙන්නට ඇති මෙම මිත්‍රත්වය තාවකාලික එකක් ද නැත්නම් ස්ථිර එකක් ද යන්න කාලය විසින් පවසනු ඇත. එහෙත්, එක දෙයක් පැහැදිලි ය. යේසුස් වහන්සේ විසින් සඳහන් කළ කාල පරිච්ඡේදය හොඳින් ගෙවී ගොස් තිබේ. ලෝකයේ සිදු වන දේවල් අඟවන්නේ ප්‍රේරිත පාවුල් සහ අනාගතවක්තෘ දානියෙල් විසින් පුරෝකථනය කරන ලද සිද්ධීන්වලට අප ළං වී ඇති බව ය. ක්‍රිස්තියානි ලෝකයේ පල්ලිවල බලපෑම හේතුවෙන් මෑතක දී දේශපාලනික තත්ත්වයන් හි යම් තරමක දියුණු තත්ත්වයක් තිබුණ ද, එය දිගු කාලීන සාමයට හේතු නොවනු ඇත. පැහැදිලි ව පෙනෙන්නට ඇති දේ නම්, එය ලෝකයේ ජාතීන් උදෙසා ඊට ප්‍රතිවිරුද්ධ දෙයට මඟ පෙන්වනු ඇති බවයි. w91 9/1
[6වන පිටුවේ පින්තූර]
සුපිරි බලවතුන් දෙදෙනා අතර පෙනෙන්නට ඇති මෙම මිත්‍රත්වය කොතරම් කල් පවතිනවා දැයි කාලය විසින් පවසනු ඇත
[හිමිකම් විස්තර]
USSR Mission to the UN