මිනිසා සකස් කරන ලද “සාමය සහ සුරක්ෂිතභාවය” ඉක්මවා බැලීම
සැබෑව නම්, නියම, දිගු කාලීන සාමය ගෙන එන්නට මිනිසාට නොහැකි බවයි. නොහැක්කේ මන්ද? මක්නිසාදයත් ලේ තැවරුණු තම ඉතිහාසයේ වරදකාර භාවයට ඔවුන් හවුල් වී සිටිය ද, සැබෑ සාමය කඩන්නන් මිනිසුන් ම නොවීමයි. සාමය කඩන නියම තැනැත්තා මිනිසාට වඩා බොහෝ බලවත් ය. ඒ වෙන කිසිවෙකු නොව, “මුළු ජනාවාස පොළොව ම රවටන්නා” යනුවෙන් බයිබලයේ විස්තර කොට ඇති සාතන් වන යක්ෂයා ය.—එළිදරව් 12:9, NW.
බයිබලය මෙසේ කියයි: “මුළු ලෝකය ම පවතින්නේ දුෂ්ට තැනැත්තාගේ [සාතන්ගේ] බලය යටතේ ය.” (1 යොහන් 5:19 NW) එබැවින්, නියම සාමය සහ දිගු කාලීන සුරක්ෂිතභාවය අත් කර ගැනීමට, සාතන් සමඟ ඔහු විසින් ගොඩ නගා, පැහැදිලි ව ම ඔහු විසින් පාලනය කරන බව පෙනෙන්නට තිබෙන ලෝක පිළිවෙළ දසුනෙන් ඉවත් කොට දැමීම ඇතුළත් විය යුතුයි. (යෙසායා 48:22; රෝම 16:20, සසඳන්න.) මිනිසුන්ට මෙය කරන්නට නොහැක.
එසේ නම්, සාමය සහ සුරක්ෂිතභාවය අත් කර ගත හැක්කේ කෙසේ ද? සාතන්ට වඩා අනන්ත සහගත ලෙස බලවත් වූ තැනැත්තාණන්ගේ බලයෙනි. මිනිස් වර්ගයා අතර සාතන්ගේ ක්‍රියාවන් සඳහා සර්ව බලධාරී දෙවියන් වහන්සේ කාල සීමාවක් තබා ඇත. එම කාල සීමාව ළං වන විට, සාතන්ගේ බලය තුළ රැඳී පවතින ලෝකය මත ‘හදිසි විනාශය’ පැමිණෙනු ඇත. (1 තෙසලෝනික 5:3-7) සියලු ම සාක්ෂි මඟ පෙන්වන්නේ මෙය ඉතා ඉක්මනින් සිදුවනු ඇති බවට වූ නිගමනය කිරීමකට ය.
සාමය සහ සුරක්ෂිතභාවය දැන්!
එහෙත් අද, මේ දැන් ගැන කුමක් කිව හැකි ද? අද දින පවා සැබෑ සාමය සහ සුරක්ෂිතභාවය යම් ප්‍රමාණයකට අත් කර ගැනීමට පුළුවන. කෙසේ ද? බොහෝ ආගමික නායකයන් උත්සාහ කර ඇත්තාක් මෙන් මේ ලෝකයේ දේශපාලනයට හවුල් වීමෙන් නොවේ, නමුත්, ඒ වෙනුවට, දෙවියන් වහන්සේගේ අණ පනත් හා උපදෙස් අනුගමනය කිරීමෙනි.
එවැනි ක්‍රියා මාර්ගයක් සැබවින් ම සාමය ගෙන එනවා ද? එසේය, එය සාමය ගෙන එයි. නිදසුනක් වශයෙන්, නියම සාමය එමෙන් ම, යම් පමණක සුරක්ෂිතභාවය භුක්ති විඳීමට ඇත්තට ම හැකියාවක් තිබෙන බව යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් එය පරීක්ෂා කොට සොයා ගෙන තිබේ. බයිබලය හෙළි කොට තිබෙන ලෙස දෙවියන් වහන්සේගේ අණ පනත් අනුගමනය කිරීමෙන්, තමන්ගේ වර්ගය, ජාතිය, හෝ භාෂාව කුමක් වුවත් සැබෑ සාමයෙන් යුත් ජාත්‍යන්තර සංවිධානයක් බවට එක්සත් වීමට ඔවුන්ට හැකි වී තිබේ.—ගීතාවලිය 133:1.
දිව්‍ය නීතියට කීකරු වී සිටින මොවුහු සංකේතාත්මක ව ‘කඩුවලින් හී වැල් තනා ගෙන තවත් යුද්ධ ඉගෙන නොගනිති.’ (යෙසායා 2:2-4) දෙවියන් වහන්සේගේ ප්‍රේමය තුළ ඔවුනට ආරක්ෂාවක් හැඟෙන අතර, තමන්ගේ ආත්මික සහෝදරයන් තමන් ගැන සැලකිල්ල දක්වන බවට නිසැකකමෙන් සිටිත්. (රෝම 8:28, 35-39; පිලිප්පි 4:7) මෙය සත්‍යයක් දැයි ඔබ ප්‍රශ්න කරනවා නම්, ඔවුන්ගේ රාජ්‍යය ශාලාවකට ගොස් ඔබ ම එය දැක බලා ගන්නා ලෙස අපි ඔබට ඇරයුම් කරමු.
ලෝක ව්‍යාප්ත සාමය සහ සුරක්ෂිතභාවය
කෙසේ වෙතත්, සාමය සහ සුරක්ෂිතභාවය ගැන බයිබලය පොරොන්දු වන අවසාන ඉෂ්ට වීම මෙය නොවේ. කොහෙත් ම නැත! එය, සෑම කෙනෙකු ම දෙවියන් වහන්සේගේ නීති අනුගමනය කළහොත් මේ ලෝකය කෙබඳු එකක් වේවි ද යන්න සම්බන්ධ හුදෙක් පෙර දැක්මක් පමණි. මෙම පෙර දැක්ම ඉතා ඉක්මනින් ම සැබෑවක් බවට පත් වනු ඇත.
ප්‍රේරිත පාවුල් කීවේ: “සමාදානයය, අනතුරක් නැත කියා [දෙවියන් වහන්සේට සේවය නොකරන අය] කියන විට [අවසානයේ දී තමන්ගේ ක්‍රමවලින් සාමය සහ සුරක්ෂිතභාවය ගෙනවිත් තිබේ යයි ඔවුන් සිතන විට] . . . හදිසියෙන් ඔවුන් පිටට විනාශය පැමිණේ,” කියා ය. (1 තෙසලෝනික 5:3) සාතන් මිනිස් වර්ගයා ව මුළා කොට ඇති කාලයේ තරම දෙවියන් වහන්සේ තීරණය කරන සේක. ඔහුවත්, ඔහුගේ බලය යටතේ තිබෙන දූෂිත ලෝක පිළිවෙළත් දර්ශනයෙන් ඉවත් කිරීමට කාලය එවිට පැමිණෙනු ඇත. එවිට පැමිණෙනු ඇත්තේ දානියෙල්ගේ අනාවැකිය ඉටුවීමට කාලයයි: “ඒ රජුන්ගේ දවස්වලදී ස්වර්ගයේ දෙවියන්වහන්සේ කිසිකලක නැති නොවන්නාවූ රාජ්‍යයක් පිහිටුවනසේක. ඒකේ ආණ්ඩුව අන් සෙනගකට අත්අරිනු නොලබන්නේය; . . . ඒක ඒ සියලු රාජ්‍යවල් පොඩි කර නැති කරන්නේය, එයද සදාකාලේටම පවතින්නේය.”—දානියෙල් 2:44, 45.
මෙය දෙවියන් වහන්සේගේ පැත්තෙන් අසාධාරණ ක්‍රියාවක් වනු ඇත් ද? කිසිසේත් නැත. හදිසි විනාශය පැමිණෙන්නේ, දෙවියන් වහන්සේගේ විනිශ්චයන්වලට, දෙවියන් වහන්සේගේ ප්රමිතීන්වලට අනුව එය ලැබීමට සුදුසු පුද්ගලයන් මතට පමණි. මේ කාරණය සම්බන්ධයෙන් යුක්ති සහගත ව තීරණයක් ගැනීමට ඔබ මැවුම්කරුවාණන් කෙරෙහි දැඩි සේ විශ්වාස කරන්නෙහි ද? සහතික ව ම අපට මේ කාරණය සුරක්ෂිත ලෙස උන් වහන්සේගේ හස්තයට භාර කළ හැක! උන් වහන්සේගේ විනිශ්චමය ක්රියාවේ ප්‍රතිඵලය කුමක් වනු ඇත් ද? හිතෝපදේශය මෙසේ පවසයි: “අවංක අය මිහි පිට දිගු කල් වසති; නිදොස් අය එහි යෙහෙන් කල් යවනු ඇත. එහෙත් දුදනෝ පොළොවෙන් පහකර දමනු ලබති; ද්‍රෝහියෝ එයින් මුලිනුපුටා දමනු ලබති.” (හිතෝපදේශ 2:21, 22 නව අනුවාදය) දුෂ්ටයන් නැති වී යාම ගැන කිසිවෙක් දුකින් වැළපෙනු ඇත් ද?
සාමය කඩකරන්නන් ඉවත යාමත් සමඟ ම, දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ හිතකර පාලනය යටතේ ලොව පුරා මිනිස් වර්ගයා මත සැබෑ සාමය සහ සුරක්ෂිතභාවය බහුල ලෙස පවතිනු ඇත. “සමිඳාණන් වහන්සේගේ [යෙහෝවඃ වහන්සේගේ NW] ශුද්ධ කන්දේ සීමාව තුළ කිසි නපුරක් වත්, අනතුරක් වත් නොවන්නේය. මුහුද ජලයෙන් පිරී තිබෙන්නාක් මෙන් සමිඳාණන් වහන්සේ [යෙහෝවඃ වහන්සේ NW] පිළිබඳ දැනගැන්මෙන් පොළොව පිරී යන්නේ ය.” (යෙසායා 11:9 නව අනුවාදය) බයිබලයේ මෙම පොරොන්දුව ඔබ විශ්වාස කරන්නෙහි ද? මේ දේවල් ඉතා ඉක්මනින් සිදුවේ යයි ඔබට සහතික ද? ඔබට මේ ගැන යම් සැකයක් තිබේ නම්, මේ කාරණය පිළිබඳ ව තවදුරටත් පරීක්ෂා කිරීමට අපි ඔබ ව දිරිගන්වන්නෙමු. ඇත්තෙන් ම, මිනිසා බොහෝ කලක් ආශාවෙන් බලා සිටි සැබෑ සාමයේ සහ සැබෑ සුරක්ෂිතභාවයේ ඉලක්කය ඉටු කර ගනු ඇති එක ම මාර්ගය දෙවියන් වහන්සේගේ මාර්ගය පමණි. w91 9/1
[8වන පිටුවේ පින්තූර]
අද දින යෙහෝවඃ වහන්සේගේ ජනයා සැබෑ සාමය සහ සෑහෙන තරමක සුරක්ෂිතභාවයක් භුක්ති විඳිති