ලෝක සාමය ක්ෂිතිජයේ පෙනෙන්නට තිබේ ද?
ඉතිහාසය පුරා, නොයෙක් ආකාරයන්ගෙන් වූ සාම සැලසුම් සහ සාම ප්රකාශනයන්ගෙන් කිසිදු අඩුවක් තිබී නැත. අභාග්‍යයකට, ඒවා නිෂ්ප්රභා කිරීමට ඒ හා සමාන ම යුද්ධ බොහොමයක් ම සිදු වී තිබේ. සාම ගිවිසුම් හා ප්රකාශනයන් ගැන සලකා බලන විට, ඒවා ගැන එතරම් විශ්වාසයක් නොදැක්වීමට බොහෝ දෙනා අවබෝධ කරගෙන සිටිත්.
කෙසේ වෙතත්, පසුගිය වසර කිහිපය ඇතුළත, බොහෝ නිරීක්ෂකයන් සහ ප්රවෘත්ති විශ්ලේෂකයන් හට හැඟීයාමට පටන් ගෙන ඇත්තේ ඊට වඩා වෙනස් දෙයක් සිදු වෙමින් තිබෙන බවයි. ප්‍රාදේශීය මට්ටමෙන් ගැටලු පැවතුන ද, මෙවර වේදිකාව ලෝක සාමය සඳහා සකසාලීමට හැකියාවක් තිබෙන බවට කියා සිටිති. “දෙවන ලෝක යුද්ධයෙන් පසු කිසිම වසරකට වඩා, යුද්ධය පිළිබඳ සාමකාමී සම්මුතියක බලාපොරොත්තුවක් දැන් ගොඩ නැගිය හැක” යනුවෙන් ස්ටොක්හෝම් ජාත්‍යන්තර සාම ආයතනය පැවසී ය. නැගෙනහිර යුරෝපයේ වේගයෙන් සිදුවෙන්නාවූ සිද්ධීන් හේතුවෙන් එක් ප්‍රධාන ප්රවෘත්ති වාර්තාකරුවෙකු මෙසේ ලියන්නට පෙලඹී ය: “දෙවෙනි ලෝක යුද්ධයෙන් පසු ව කිසි යම් කලකට වඩා දැන් පොළොව මත සාමය වඩාත් හොඳින් දැකිය හැකි ය.” ද බුලටින් ඔෆ් ද ඇටමික් සයන්ටිස්ට්ස් නැමැති ප්රකාශනය ද මෙම මතය ත්රිනාද කළේ ය. එම මණ්ඩලය 1988 දී ලෝක විනාශයේ ආසන්නබව අඟවන සුප්‍රකට මනඃකල්පිත ඔරලෝසුව, මධ්‍යම රාත්‍රියට පෙර මිනිත්තු තුනේ සිට මධ්‍යම රාත්‍රියේ පෙර මිනිත්තු හය දක්වා වෙනස් කළ අතර, ඊළඟට, 1990 අප්‍රියෙල් මාසයේ දී එය මධ්‍යම රාත්‍රියට පෙර මිනිත්තු දහය දක්වා තවත් ආපස්සට වෙනස් කරනු ලැබුවේ ය.
මැද පෙරදිග යුද්ධය හට ගැනීමට පෙර, මේ සියලු අදහස්, බොහෝ සර්වශුභවාදී මතයන් හා ප්‍රබෝධමත් කරවන සුලු ආකල්පයක් ඇතිවීමට තුඩු දුණි. නමුත් එතැන් සිට පවා, බොහෝ ජනයා, සීතල යුද්ධය සහ සුපිරි බලවතුන් අතර අවි තරඟය නිමා වී ඇතැයි පවසමින් සිටිත්. සමහරුන් කල්පනා කරමින් සිටියේ ආණ්ඩු විසින් අපේක්ෂා කරන අන්දමට යුද්ධමය වියදම් අඩු කිරීමෙන් ඉතිරිවන මුදල්වලින් කුමක් කරන්නේ ද යන්නයි. කල්පවතින සාමය සඳහා සැබවින් ම කාලය පැමුණුනා විය හැකි ද? ජාතීහු ඇත්තට ම “තමුන්ගේ කඩුවලින් හී වැල් ද හෙල්ලවලින් දෑකැති ද තලා ගැනීමට” ඉගෙන ගනිමින් සිටිත් ද? (යෙසායා 2:4) සැබෑ සාක්ෂිවලින් පෙන්නුම් කරන්නේ කුමක් ද?
අමතක වී ගිය යුද්ධ
“සීතල යුද්ධය නිමා වීම සහ පෙරදිග සහ අපරදිග අතර ඇති වී තිබෙන නව සන්සුන් බව නිසා සාමය එදිනෙදා ජීවිතයේ අංගයකැයි සමහරු සිතති” යනුවෙන් ලන්ඩන් හි ද ඉකොනොමිස්ට් සඟරාව නිරීක්ෂණය කරයි. “එය එසේ නොවේ. ලොව පීඩිතභාවයේ එක් විශාල උල්පතකින් මිදුණත්, එවැනි කුඩා ඒවා බොහොමයක් තවමත් තිබේ.” මෙවැනි “කුඩා” පීඩන මාධ්‍යයන් හෝ කලහකාරී ගැටුම් මොනවා ද?
වර්ෂ 1990 සැප්තැම්බර් මාසය වන විට, ලොව වටා අවම වශයෙන් යුද්ධ 15ක් සිදුවෙමින් තිබූ බව එක්සත් ජනපදයේ ස්වාධීන පර්යේෂණ සංවිධානයක් වන ලෙන්ට්ස් පීස් රිසර්ච් ලැබොරටරි පවසයි. මෙම වාර්තාවට ඇතුළත් වුණේ එම කාලය දක්වා වසරකට මිනිසුන් අඩුතරමින් දහසක්වත් මිය ගියා වූ යුද්ධ පමණක් බැවින්, ඉරාකය කුවේට් රාජ්‍යය ආක්‍රමණය කිරීම මීට ඇතුළත් නොවී ය. මෙම යුද්ධ සමහරක් වසර 20ක් හෝ ඊට වඩා වැඩි කාලයක් මුළුල්ලේ සිදුවෙමින් තිබේ. මෙම යුද්ධ සියල්ල ම ජීවිත 29,00,000ක් බිලි ගෙන ඇති අතර, මේ අතරින් වැඩි දෙනෙක් සාමාන්‍ය පුරවැසියන් ය. උගන්ඩාවේ, ඇෆ්ගැනිස්ථානයේ, සහ ඉරාන-ඉරාක වැනි පසුගිය වසරේ මෑතක දී නිමාව දුටු ලේ වගුරුවනු ලැබූ ඇතැම් යුද්ධවලින් මිය ගියා වූ අය මෙම සංඛ්‍යාවට ඇතුළත් නැත.
ලොවේ සාමය තිබේ යයි සිතා සිටි අවස්ථාවේ, ආසන්න වශයෙන් මිලියන තුනක් පමණ ජනයා මිය ගියාහ! එය ම අති ශෝචනිය දෙයකි. කෙසේ වෙතත් අතීශයින් ම මහත් ශෝකජනක දෙය නම්, මෙම යුද්ධ බොහොමයක් ඇවිලෙමින් තිබෙන්නේ සෙසු ලෝකයා නොදැනුවත්ව ම ය—ලෝකයාගේ විරෝධි හඬක් නොනැගෙද්දීම ය. මේවා අමතක වී ගිය යුද්ධ ලෙස හඳුන්වනු ලැබිය හැක්කේ මේවායින් බොහොමයක්—එනම් රාජ්‍ය විරෝධි කැරලිගැසීම්, සිවිල් යුද්ධ හා විප්ලව—ඌන සංවර්ධිත රටවල් එකක හෝ තවෙකක සිදුවෙමින් තිබෙන හෙයිනි. දියුණු ධනවත් රටවල වෙසෙන බොහෝ දෙනෙකුට, සුඩානයේ මිය ගිය අඩ මිලියනයක ජනයා සහ ඇංගෝලාවේ මිය ගියා වූ මිලියන තුනෙන් පංගුවකින් යුත් ජනයා ගැන එතරම් උනන්දුවක් නැත. ඇත්ත වශයෙන් ම, දියුණු වූ ජාතීන් අතර යුද්ධ සිදු වී නොමැති හෙයින් ද, අති මහත් පීඩාකාරී තත්ත්වයක් හා යුද අවි දියුණුවක් තිබුණ ද, සුපිරි බලවතුන් එකිනෙකාට විරුද්ධ ව යුද්ධයට ගොස් නොමැති හෙයින් දෙවන ලෝක යුද්ධයේ නිමාවෙන් පසු කාල පරිච්ඡේදය සාමයේ පෙර නොවූ විරූ කාලයක් තුළ සිටින බවට සමහරු තර්ක කරති.
සාමය උදෙසා බලාපොරොත්තුවක් තිබේ ද?
සාමය යන්නෙන් හුදෙක් අදහස් කරන්නේ සමස්ත ලෝක න්‍යෂ්ටික යුද්ධයකින් තොර ව සිටීම නම්, ලෝක ජාතීන් දැනටමත් තම සාම ප්රයත්නයන්හි යම් සාර්ථකත්වයක් ලබා ඇති බවට සමහර විට ඇතැම් අය තර්ක කළ හැක. අන්‍යෝන්‍ය විනාශය සහතික වීමේ ප්‍රතිපත්තිය, [Mutual Assured Destruction] සුපිරි බලවතුන් ව මෙතෙක් ඉවසීමෙන් තබා ගැනීමට හැකි වී තිබේ. නමුත් එය ඇත්තෙන් ම සාමය ද? සැනෙකින් සහමුලින් ම ඝාතනය වීමේ නියත භියකින් ජනයා පෙළෙයි නම්, එය එසේ වන්නේ කෙසේ ද? ලොව වටා බොහෝ ජනයාගේ ජීවිත සුනුවිසුනුකර ඇත්නම්, ඔවුන්ගේ ජීවිකාවන් විනාශ කර ඇත්නම්, අර්ථවත් තෘප්තිකර පැවැත්මක් සඳහා වූ ඔවුන්ගේ අපේක්ෂාවන් ලොකු සහ කුඩා යුද්ධ මඟින් අහිමි කොට තිබෙයි නම් අපට සාමය ගැන කථා කළ හැක්කේ කෙසේ ද?
නොබෙල් ත්යාගිලාභියෙකු වූ එලී වයිසෙල් වරක් මෙසේ ප්‍රකාශ කළේ ය: “අනාදිමත් කලක සිට, ජනයා සාමය ඉටු කරගැනීමකින් තොර ව සාමය ගැන කථා කොට තිබේ. අපි අවශ්‍ය තරම් අත්දැකීමෙන් ඌන ව සිටින්නෙමු ද? අප සාමය ගැන කථා කළත්, අපි යුද්ධ කරමු. සමහර විට අපි සාමයේ නාමයෙන් යුද්ධ කරමු. . . . කවදාවත් උදුරා දැමිය නොහැකි තරමට යුද්ධය ඉතිහාසයේ කොටසක් බවට විය හැක.”
එමෙන් ම, මෑතක දී මැදපෙරදිග සිදු වූ යුද්ධය සාමයේ මිරිඟුව යළි සුනුවිසුනු කළේ ය. මිනිස් වර්ගයා සාමය සඳහා වැරදි උල්පත දෙස බලමින් සිටිනවා විය හැකි ද? w91 4/15
“පොළොව මත සිටින මේ මිනිස් පරම්පරාව, ශිෂ්ටාචාරයන්හි ඉතිහාසයේ යළිත් ආපස්සට හැරවිය නොහැකි සාමදායක කාලපරිච්ඡේදයක පහළ වීමක් දකිනු ලැබිය හැක.”—සෝවියට් ජනාධිපති මිකායෙල් ගොර්බචොව්, 1990 මැයි මාසයේ දී ඇ.එ.ජ. වොෂිංටන් ඩී.සී. හි පැවති සමුළු රැස්වීමක දී ය
UPI/Bettmann Newsphotos
“නිදහසේ නව ලොවක් අප ඉදිරියෙන් ඇත . . . , එය සාමය සදාකාලීන වූ, වාණිජත්වයට හෘදසාක්ෂියක් තිබෙන, කළ හැකි යයි පෙනෙන්ට තිබෙන සියල්ල කළ හැකි ලෝකයකි.”—එක්සත් ජනපද ජනාධිපති ජෝර්ජ් බුෂ්, 1990 ජූලි මස ඇ.එ.ජ., ටෙක්සස් හි, හ්‍යූස්ටන් හි පැවති ලෝක ආර්ථික සමුළු රැස්වීමක දී ය
UPI⁄Bettmann Newsphotos
“වරෙක ජනයා ව සහ අදහස් සීමා කර තිබූ බිත්ති බිඳ වැටෙමින් තිබේ. යුරෝපීයයෝ තමන්ගේ ම ඉරණම තීරණය කරමින් සිටිති. ඔවුහු නිදහස තෝරා ගනිමින් සිටිති. ඔවුහු ආර්ථික නිදහස තෝරා ගනිමින් සිටිත්. ඔවුහු සාමය තෝරා ගනිමින් සිටිත්.”—1990 ජූලි මස එංගලන්තයේ ලන්ඩන් නුවර පැවති සමුළුවක දී නේටෝ ආයතනය මඟින් කරන ලද ප්රකාශනය.