කල්පවතින සාමය සැබවින් ම පැමිණෙනු ඇත්තේ කවදා ද?
“යුද්ධය වනාහි ඉතිහාසය පුරා නියත වශයෙන් ම සිදු වී තිබෙන්නක් වන අතර, ශිෂ්ටාචාරය හෝ ප්රජාතන්ත්රවාදය සමඟ ක්ෂය වී ගොස් නැත.” යැයි විල් සහ අරියෙල් ඩියුරන්ට් තම ද ලෙසන්ස් ඔෆ් හිස්ටරි නැමැති පොතේ ලියූහ. “සාමය වනාහී පිළිගත් අධිශ්රේෂ්ඨත්වයක් හෝ සමාන බලයක් මඟින් පමණක් රැක ගත හැකි අස්ථාවර සමතුලනයකි.”
ඇත්ත වශයෙන් ම, කොතරම් තද බල ප්රයත්නයන් දැරුව ද, කල්පවතින සාමය මිනිස් වර්ගයා ලබා ගෙන නැත. මන්ද? හේතුව නම්, යුද්ධයකට තුඩු දෙන හේතු මූලයන්, අපට මතුපිටින් දක්නට ලැබෙන දේශපාලන, භෞමික, හා සමාජීය අරගලයන්ට වඩා බොහෝ ගැඹුරින් මුල් බැස තිබීමයි. මෙම ඩියුරන්ට් ලේඛකයෝ මෙසේ නිරීක්ෂණය කළහ: “යුද්ධයේ හේතු මූලයන්, පුද්ගලයන් අතර ඇති වන තරඟකාරිබවේ හේතු මූලයන්ට සමාන ය, එනම්: ලාභ ප්‍රයෝජන අත් කරගැනීම, ප්රහාරාත්මකගතිය, හා උඩඟුකම; ආහාර, වතුපිටි, ද්‍රව්‍යමය දේවල්, ඉන්ධන, පාලකත්වය යන දේවලට ඇති තෘෂ්ණාව ය.”
කෙසේ වෙතත්, පුද්ගලයන් අතර සහ මහා පරිමාණයෙන් ඇතිවන ආරාවුල් සහ යුද්ධවලට හේතුවන මූලයන් බයිබලය විශේෂයෙන් හඳුන්වා දෙයි. අපට මෙසේ කියවීමට තිබේ: “නුඹලා අතරෙහි යුද්ධත් ඩබරත් කොයින්ද? [කුමන උල්පතෙන් ද? NW] ඒවා පැමිණෙන්නේ නුඹලාගේ අවයවයන් තුළෙහි යුද්ධකරන නුඹලාගේ තෘෂ්ණාවලින් නොවේද? නුඹලා ආශාවන්නහුය, නුමුත් නොලැබෙන්නේය. නුඹලා මිනී මරන්නහුය, ඊර්ෂ්‍යාවන්නහුය, නුමුත් ලබාගන්ට බැරිවන්නේය. නුඹලා ඩබරද යුද්ධද කරන්නහුය; නුඹලා නොඉල්ලන බැවින් නුඹලාට නොලැබෙන්නේය.”—යාකොබ් 4:1, 2
එසේ නම්, ප්රශ්නය මේවා මත කේන්ද්‍රගත ව පවති: සැබෑ සාමය පැමිණීමට නම්, අප යුද්ධ, කැරලිගැසීම්, කුමන්ත්‍රණ, විප්ලව වැනි රෝග ලක්ෂණ පමණක් නොව, සියලු මිනිසුන් තුළ තිබෙන සැකය, ගිජුකම, වෛරය, එදිරිවාදිකම් වැනි හේතු මූලයන් ද මුලිනුපුටා දැමිය යුතුය. මේවා වෙනුවට නියත ක්‍රියාවන්ගෙන් හෙබි ප්‍රේමය, කරුණාවන්තකම, විශ්වාසය, සහ ත්‍යාගශීලිකම වැනි පරාර්ථකාමී ගුණාංග අනුයුක්ත කළ යුතු ය. මේ දෙය ඉටු කිරීමට හැකි යම් පවතින පුද්ගලයෙක් වේද? එය අසම්පූර්ණ, පොළොව මත ජීවත් වන මැරෙණ සුලු මිනිසුන් මත රඳා පවතී නම්, පිළිතුර වනු ඇත්තේ නැත ය. නමුත් මෙය එතරම් අසීරු දෙයක් නොවන යමෙක් සිටී. සාමය සැබවින් ම පැමිණෙනු ඇත්තේ කවදා ද? යන ප්‍රශ්නයට පිළිතුර තිබෙන්නේ එම තැනැන් වහන්සේ ළඟ ය:
සාමය ගෙන ආ හැකි තැනන් වහන්සේ
මීට සියවස් 28කට පෙර, ප්‍රොපේත යෙසායා මෙසේ ප්‍රකාශ කරන්නට ආනුභාව ලැබී ය: “මක්නිසාද අපට ළදරුවෙක් උපන්නේය, අපට පුත්‍රයෙක් දෙනලද්දේය; ආණ්ඩුවද උන්වහන්සේගේ කර පිට තිබෙන්නේය. උන්වහන්සේගේ නාමය අපූර්වය, මන්ත්‍රීවරයාය, [පුදුමාකාර උපදේශකයාණන් ය NW] පරාක්‍රමවත් දෙවියන්වහන්සේය, සදාකාල පියාණෝය, සමාදානයේ කුමාරයායයි කියනු ලබන්නේය. . . . උන්වහන්සේගේ ආණ්ඩුවේ විශාලත්වයටත් සමාදානයටත් කෙළවරක් නොවන්නේය.”—යෙසායා 9:6, 7
නිමක් නැති සාමය ගෙනෙන මෙම තැනන් වහන්සේ කිසිවෙකු නොව “මහෝත්තමයාණන්ගේ පුත්‍රයා” වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ බව පසුව හෙළි කරන ලදි. (ලූක් 1:30-33; මතෙව් 1:18-23) නමුත් අනෙකුත් සියලු කුමරුන් සහ පාලකයන් අසමත් වී සිටිද්දී මෙම තැනන් වහන්සේ සාර්ථක වනු ඇත්තේ මන්ද? සියල්ලට ම පෙර සැලකිය යුතු දෙයක් නම්, සමහරුන් පිංතූරුවල ඇඳ තිබෙන්නාක් මෙන්, මෙම පොරොන්දු වූ “ළදරුවා” අසරණ සිඟිත්තෙකු ලෙස සදහට ම සිටින්නට යන්නේ නැති බවයි. ඒ වෙනුවට, උන් වහන්සේ “සාමයේ කුමාරයා” වශයෙන් මිනිස් වර්ගයාගේ සදාකාලික ප්‍රයෝජනය උදෙසා “කුමාර පාලනයක්” පැවැත්වීමට සිටි සේක.
යේසුස් වහන්සේගේ පාලනයට මීටත් වඩා දේවල් තිබේ. “පුදුමාකාර උපදේශකයාණන්” ලෙස මිනිස් ස්වභාවය ගැන අසාමාන්‍ය අවබෝධයක් ද අති විශේෂමය බලයක් ද තිබෙන හෙයින්, අසීරු ප්රශ්නවල කේන්ද්‍රස්ථානයට ම ගොස් අද දින ලෝක පාලකයන් මුහුණපාන සහ ව්‍යාකූලත්වයට පත් ව සිටින අති දුෂ්කර ගැටලු විසඳාලීමට හැකි වන සේක. (මතෙව් 7:28, 29; මාර්ක් 12:13-17; ලූක් 11:14-20) එසේ ම නැවත නැගිටවනු ලැබූ, දෙවිකෙනෙකුට සමාන මෙසියානු රජ වශයෙන් දැනට ස්වර්ගයේ අභිෂේක ලැබ සිටින යේසුස් ක්‍රිස්තුස් වහන්සේ, “පරාක්‍රමවත් දෙවියන් වහන්සේ” ලෙස උන් වහන්සේ පොළොව මත දී කළ දෑ—එනම්, සුවකළ නොහැකි අසනීප තිබූ අය සුවකිරීම, මහත් ජනකායකට ආහාර පාන සැපයීම, කාලගුණය පවා පාලනය කිරීම—මහා පරිමාණයකින් නැවත සිදු කිරීමෙන් සාමය සඳහා ක්‍රියා කරන සේක. (මතෙව් 14:14-21; මාර්ක් 4:36-39; ලූක් 17:11-14; යොහන් 2:1-11) “සදාකාල පියාණන්” වශයෙන් මරණය තුළ නැති වූ අය යළි ජීවනයට ගෙන ඒමටත්, ඔවුන්ට සදාකාලික ජීවිතය දානය කිරීමටත් යේසුස් වහන්සේට හැකියාව තිබේ. එමෙන් ම උන් වහන්සේ ම සදාකල් ජීවත් වන බැවින්, උන් වහන්සේගේ පාලනයටත් සමාදානයටත් කෙළවරක් නොවන බව ට එමඟින් සනාථ කරනු ඇත.—මතෙව් 20:28; යොහන් 11:25, 26; රෝම 6:9.
මේ ආකාරයෙන් සැරසී සිටින යේසුස් ක්‍රිස්තුස් වහන්සේ, යුද්ධ සහ ආරාවුල්වලට තුඩු දෙන මුල් බැස ගත් හේතු සමඟ කටයුතු කිරීමට හැකියාව තිබෙන තැනන් වහන්සේ බවට පැහැදිලි වෙයි. ජාතීන්ගේ සාමකාමී සහජීවනය උදෙසා යැයි කියනු ලබන සාම පොරොන්දුවක් හෝ සැලැස්මක් පිහිටුවා එය යුද්ධයක් මඟින් සුනුවිසුනු වන ආකාරය දැක ගැනීම පිණිස උන් වහන්සේ ක්‍රියා නොකරන සේක. එසේ නොව, ස්වකීය මෙසියානු පාලනය, එනම්, මුළු මිනිස් සංහතිය එක පාලනයක් යටතට ගෙන ඒමෙන්, උන් වහන්සේ සෑම දේශපාලනික, දේශ සීමා, සමාජීය, සහ ආර්ථික අසමානතාවයන් ඉවත් කොට දමන සේක. එක ම සැබෑ වූ දෙවියන් වහන්සේ වන යෙහෝවඃ වහන්සේට නමස්කාර කිරීමට සියලු ජනයා ව මෙහෙයවනු ලැබීම මඟින්, යුද්ධයට බොහෝ සෙයින් හේතු වන්නා වූ දෙය වන බොරු ආගම මුලිනුපුටා දමන සේක. සාමයේ කුමාරයා, යේසුස් වහන්සේ, මෙය ඉටු කරනු ඇති බවට කිසිම සැකයක් නැත. ප්රශ්නය නම්, කවදා ද?
කල් පවතින සාමයට මග පෙන්වන සිද්ධීන්
පොදු යුගයේ 33 වසරේ දී සිය උත්ථානය සහ ස්වර්ගාරෝහණයට පසු, ක්‍රියා කිරීම සඳහා නියමිත කාලය වන තෙක් බලා සිටීමට උන් වහන්සේට සිදු විය. මෙය යෙහෝවඃ වහන්සේගේ ආඥාවට අනුකූල විය: “මා විසින් නුඹේ සතුරන් නුඹේ පාපුටුව කරනතෙක් මාගේ දකුණු පැත්තෙහි හිඳින්නැයි කීසේක. ස්වාමීන්වහන්සේ [යෙහෝවඃ NW] සියොන්හි සිට ඔබගේ ශක්තිය නැමති සැරයටිය එවන සේක. ඔබගේ සතුරන් මැද ආණ්ඩු කළ මැනව.” (ගීතාවලිය 110:1, 2; ලූක් 22:69; එපීස 1:20; හෙබ්‍රෙව් 10:12, 13) එය සිදුවන්නේ කවදා ද? වසර 70කට වඩා වැඩි කාලයක් මුළුල්ලේ, යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකාරයෝ, 1914 සිට, යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ස්වර්ගයේ දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ පාලනය ආරම්භ කොට ඇතැයි යන ශුභාරංචිය ලොව වටා ප්‍රකාශ කරමින් සිටිත්.a
නමුත් ඔබ මෙසේ පවසනවා විය හැක. ‘1914 පටන් කිසිම සමාදානයක් නැහැ. ඊට පටහැනි ව එතැන් පටන් තත්ත්වයන් තිබුණාටත් වඩා නපුරුයි.’ ඔබ හරියට හරි. මෙයින් ඇත්තට ම ඔප්පු වෙන්නේ පුරෝකථනය කළාක් මෙන් ම සිද්ධීන් සිදුවේගන යන බවයි. “ලෝකයේ අධිපතිකම අපගේ ස්වාමින්වහන්සේටද තමන් ක්‍රිස්තුස්වහන්සේටද” ලැබූ කල, හා ජාතීන් උදහස් වූ” කල එය එසේ වූ බව බයිබලය අපට පවසයි. (එළිදරව් 11:15, 18) යෙහෝවඃ වහන්සේගේ සහ උන් වහන්සේගේ සාමයේ කුමාරයාණන්ගේ පාලනයට යටත් වෙනවා වෙනුවට, ලෝක පාලනය සඳහා ජාතීහු ඉදිරියට පැන වියරු අරගලයක යෙදුණු අතර, විශේෂයෙන් ම දෙවියන් වහන්සේගේ ස්ථාපිත රාජ්‍යය ගැන සාක්ෂි දරමින් සිටි ක්‍රිස්තියානීන් හට උදහස පළ කලහ.
යේසුස් ක්‍රිස්තුස් වහන්සේ රාජ්‍යය බලයට පත් වූ විගස, සාතන් සහ ඔහුගේ දූතයන් ව ස්වර්ගයෙන් නෙරපීමට පියවර ගත් බව ද එළිදරව් පොත හෙළිකරයි: “අපගේ දෙවියන්වහන්සේගේ ගැළවීමද බලයද රාජ්‍යයද තමන් ක්‍රිස්තුස්වහන්සේගේ ආණ්ඩුබලයද දැන් පැමුණුණේය. මක්නිසාද අපගේ දෙවියන්වහන්සේ ඉදිරිපිට රෑ දාවල් අපගේ සහෝදරයන්ට වරද තබන්නාවූ, ඔවුන්ගේ වරද තබන්නා පහත හෙළනු ලැබුවේය.” ප්‍රතිඵලය? වාර්තාව තව දුරටත් මෙසේ පවසයි: “එබැවින් ස්වර්ගයෙනි, එහි වසන්නෙනි, ප්රීතිවෙයල්ලා. ගොඩටත් මුහුදටත් දුක්වේ! මක්නිසාද යක්ෂයා තමාට ඇත්තේ ස්වල්ප කාලයක් බව දන්නා බැවින් මහත් උදහසින් යුක්තව නුඹලා වෙතට බැස ගියේයයි ස්වර්ගයෙහි කියන මහත් හඬක් මට ඇසුණේය.”—එළිදරව් 12:10, 12.
අවසාන සංඥාවක්
ඔවුන් කොතරම් යත්න දැරුවත් සාමය ගෙන ඒමට ඔවුන්ට නොහැකි වී තිබෙන්නේ මන්දැයි වටහා ගැනීම පිණිස මෙය අප හට සියුම් නුවණක් ලබා දෙයි. ජාතීන්ගේ උදහස තුළින් පිළිබිඹු වන, යක්ෂයාගේ මහත් කෝපය, මිනිස් ඉතිහාසයේ කිසිදා නොවූ විරූ අයුරින් ලෝකය කැලඹිලි සහිතවත් ආරාවුල්වලට මැදිවත් තබාගෙන ඇත. මේ සියල්ල අවසානයකට පැමිණෙනු ඇත්තේ කවදා ද? බයිබලය වැදගත් ඉඟියක් සපයයි: “සමාදානයය, අනතුරක් නැත කියා කියන විට . . . හදිසියෙන් ඔවුන් පිටට විනාශය පැමිණේ.”—1 තෙසලෝනික 5:3.
මෙම අනතුරු ඇඟවීමේ තිබෙන විශේෂත්වය ඔබ අගය කරන්නෙහි ද? අප මීට පෙර ලිපියේ විස්තර කළා වූ ලෝක සිදුවීම් වැන්නෙන් පෙන්වන්නේ ලෝක නායකයන් සහ බොහෝ ජනයා පෙර කවරදාටත් වඩා වැඩියෙන් සාමය ගැන කථා කර, එය අත් කර ගැනීමට අර අඳින බව ය. සීතල යුද්ධයේ නිමාවත් සමඟ ම, න්‍යෂ්ටික ව්‍යසනයක තර්ජනය අතීතයේ දෙයක් බවට පත්වෙයි කියා සමහරුන්ට හැඟී යයි. එසේ ය, ජාතීහු සාමය සහ සුරක්ෂිතභාවය ගැන බොහෝ දේවල් පවසමින් සිටිත්. නමුත් ලෝක තත්ත්වය ඇත්තට ම ඒ දෙසට ගමන් කරමින් තිබේ ද? 1914 සිට ආරම්භ වූ අවසාන දවස් තුළින් ජීවත් වන අය පිළිබඳ ව යේසුස් වහන්සේ පැවසූ දෙය මතක් කරන්න: “සැබවක් නුඹලාට කියමි—මේ සියල්ල සිදුවන තුරු මේ පරම්පරාව පහව නොයන්නේය.” (මතෙව් 24:34) එසේ ය, මේ පරම්පරාව තුළ දී ම සාමය සැබවින් ම පැමිණෙනු ඇත, නමුත් ඒ ජාතීන්ගේ ප්රයත්නයන් තුළින් නම් නොවේ. යෙහෝවඃ දෙවියන් වහන්සේ විසින් පොරොන්දු වී තිබෙන ස්ථීර ලෙස ස්ථාපිත කරන ලද, යුක්ති සහගත, එමෙන් ම ධර්මිෂ්ඨ සාමය පැමිණෙනු ඇත්තේ, උන් වහන්සේගේ සාමයේ කුමාරයා වන යේසුස් වහන්සේගේ එළැඹෙමින් තිබෙන පාලනය තුළින් පමණි.—යෙසායා 9:7.
සාමය සැබවින් ම පැමිණෙන දවස දකින්නටත්, එය ඔබගේ ප්‍රේමනීයයන් සමඟ අත්දකින්නටත් ඔබ ආශාවෙන් බලා සිටින්නේ නම්, එසේ නම්, සාමයේ කුමාරයා දෙස බලමින් උන් වහන්සේගේ මෙම වදන් හොඳින් සිහියේ තබා ගන්න: “එබැවින් ඒ සිදුවන සියල්ලෙන් ගැළවෙන පිණිසද මනුෂ්‍ය පුත්‍රයා ඉදිරියෙහි සිටින පිණිසද කන්නලව්කරමින්, සෑම කාලයේදීම අවදිව හිඳිල්ලා.”—ලූක් 21:36. w91 4/15
[පාදසටහන්වල]
a ඉටුවී ඇති බයිබල් අනාවැකි සහ බයිබල් කාල ගණිතය ගැන දැන ගැනීමට, වොච්ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයිටි ඔෆ් න්යූ යෝර්ක්, ඉන්ක්. මඟින් පළ කර ඇති “ලෙට් යුවර් කිංඩම් කම්” නැමැති පොතේ 12 සිට 14 පරිච්ඡේද දක්වා බලන්න.
සාමය අර්ථ දැක්වී
අද දින බොහෝ ජනයා සිතන්නේ සාමය යනු යුද්ධ සහ ආරාවුල්වලින් තොර ව සිටීම කියා ය. කෙසේ වුවද, මෙය, මෙම වචනයේ පටු අර්ථ දැක්මක් වෙයි. බයිබල් කාලවල දී “සාමය” යන වචනය (හෙබ්‍රෙව් ෂා·ලොම්ʹ) හෝ “ඔබට සමාදානය වේවා” යන යෙදුම භාවිතා වන ලද්දේ ආචාරකිරීමේ පොදු ආකාරයක් ලෙස ය. (විනිශ්චයකාරයන් 19:20; දානියෙල් 10:19; යොහන් 20:19, 21, 26) පැහැදිලි ව ම එහි යොමු දක්වන්නේ යුද්ධයකින් තොර ව සිටීම පමණක් නොවේ. ද කොන්සෙප්ට් ඔෆ් පීස් යන පොත පවසන දෙය ගැන කල්පනාවට ගන්න: “සාමය සඳහා ෂාලොම් යන වදන භාවිතා වූ විට, එය මුලින් ම භාවිතා කළ අයගේ මනසේ තිබුණේ, සම්පූර්ණත්වයකින්, එක්සත් බවකින්, පිරිපුන් බවකින් හෙබි ලෝකයේ හෝ මිනිස් සමාජයේ තත්ත්වයකි. . . . සාමය තිබෙන තැන, එහි සම්පූර්ණ සහ සංයුක්ත කොටස් ඒවායේ උපරිම, තෘප්තිකර මට්ටමට පැමිණ ඇත.” දෙවියන් වහන්සේ සාමය ගෙනෙන විට, මිනිසුන් “තවත් යුද්ධ ඉගෙනගන්නේ නැත” පමණක් නොව, නමුත් ‘එකිනෙකා තම තමාගේ මිදිවැල යටද අත්තික්කා ගස යටද වාසය කරනවා ඇත.’—මීකා 4:3, 4.
1 වෙනි ලෝක යුද්ධයේ පටන් සාමය නැති බව හොඳින් දැනී ගොස් තිබේ.