මෙසියස් වහන්සේ පැමිණීමට තිබීමේ හේතුව අගය කිරීම
“අපට මෙසියස්වහන්සේ සම්බවූසේක.”—යොහන් 1:41.
වසර 1950 කටත් වඩා ඉහත දී අන්දෘ නම්ලත් යුදෙව්වෙක් ඉහත සඳහන් මවිත කරවන ප්‍රකාශය කළේ ය. ක්‍රිස්තියානි ප්‍රේරිත යොහන් විසින් වාර්තා කරන ලද, එම වචනවල උද්යෝගය ඔබට වටහා ගත හැකි ද? එම අමතක නොවන වසර වශයෙන් ක්‍රිස්තියානි ඉතිහාසඥ ලූක් විසින් පෙන්නුම් කළේ “තිබේරියස් කායිසර් රාජ්‍යයට පැමිණි පසළොස්වෙනි අවුරුද්ද” වශයෙනි. පො.යු. 28 සැප්තැම්බර් හි ඔහු ව රෝම අධිරාජ්‍යයා වශයෙන් ප්‍රකාශයට පත් කළ විට, තිබේරියස්ගේ පසළොස්වෙනි වසර ආරම්භ වී, පො.යු. 29 සැප්තැම්බර් හි එය අවසාන විය.—ලූක් 3:1-3, 21, 22; යොහන් 1:32-35, 41.
2 මෙසියස් වහන්සේගේ පෙනී සිටීමේ වසර නිවැරදි ව පුරෝකථනය කර තිබිණ. පො.යු.පෙ. 455හි පර්සියානු රජ වන අර්තක්ෂස්තා විසින් තමාගේ පාලනයේ 20වන අවුරුද්දෙහි යෙරුසලම නැවත ගොඩනැගීමට ආඥාව දී හරියට ම වසර 483 ගෙවී ගොස් තිබිණ.a (නෙහෙමියා 2:1-8) “යෙරුසලම නැවත පිහිටුවා ගොඩනගන්ට ආඥාවක් ලැබෙන තැන් පටන් අධිපතියාවූ ආලේපලත් තැනැත්තා දක්වා සති සතක්ද සති සැටදෙකක්ද තිබෙන බව” අනාගතවක්තෘ දානියෙල් විසින් පුරෝකථනය කරන ලදි. (දානියෙල් 9:25) මෙසේ, 7+62 = අනාගතය හෙළි කරන සති 69ක කාලපරිච්ජේදයකින් මෙම වැදගත් සිද්ධීන් දෙක වෙන් වී තිබිණ. නියම සති 69ක් දින 483කට සමාන වේ. “අවුරුද්දකට දවසක්” යන අනාගතය හෙළි කරන රීතිය අනුව, අවුරුදු 483කට පසු, එනම් පො.යු. 29හි මෙසියස් වහන්සේ පෙනී සිටිනු ඇත.—එසකියෙල් 4:6.
3 සාධාරණ ලෙස, පො.යු. 29වන වසරෙහි මෙසියස් වහන්සේගේ පැමිණීම ගැන “සෙනඟ බලාපොරොත්තුවෙන්” සිටියහ. (ලූක් 3:1, 15) “මෙසියස්” යන පදවි නාමයට ග්‍රීක් භාෂාවෙන් “ක්‍රිස්තුස්” යන අර්ථය ඇත; ඒ නාම දෙකෙන් ම අදහස් කරන්නේ “ආලේපලත් තැනැත්තා” යනු ය. (යොහන් 1:41) බොහෝ යුදෙව්වරු අතරෙහි තිබූ දැවෙන ප්රශ්නය වූයේ, ‘ඊශ්‍රායෙල් පමණක් නොව නමුත් මුළු මනුෂ්‍යවර්ගයා ම පාලනය කිරීමට යෙහෝවඃ වහන්සේ ආලේප කරනු ඇත්තේ කවරෙක් ද?’ යන්න ය. අනාගතවාක්‍ය කරණකොටගෙන, ආබ්‍රහම්ගේ මුනුබුරාගේ දරුවකු වන යුදාගේ පැවතෙන්නකුට තෝරා ගැනීම සීමා කර තිබිණ. තවදුරටත්, මෙසියස් වහන්සේ, යුදා රජ දාවිත්ගේ සිංහාසනයට උරුමකාරයකු වීමට සිටී අතර, දාවිත්ගේ නුවර වූ බෙත්ලෙහෙම් හි ඉපදීමට සිටිසේක.—උත්පත්ති 17:5, 6; 49:10; ගීතාවලිය 132:11; දානියෙල් 7:13, 14; මීකා 5:2; යොහන් 7:42.
නොවරදින හඳුනා ගැනීම
4 පොදු යුගයේ 29වන එම වැදගත් වසරෙහි, සිදු වූයේ මෙයයි: “දෙවියන්වහන්සේගේ වචනය වනයෙහිදී සෙකරියස්ගේ පුත්‍රවූ යොහන් වෙතට පැමිණියේය . . . යොහන් පව් කමාව පිණිස පසුතැවිල්ලේ බව්තීස්මය දේශනාකරමින්, යොර්දාන් වටකර මුළු පළාතට ආවේය.” (ලූක් 3:2, 3) මෙසියස් වහන්සේගේ වහා පැමිණීම පිළිගැනීමට යොහන්ගේ සේවය පසුතැවිලි වූ යුදෙව්වරුන් ව සූදානම් කළේ ය. තවදුරටත්, යෙහෝවඃ වහන්සේ යොහන්ට ලකුණක් දුන් සේක. “ආත්මයාණන් [ආත්මය NW] යමෙකු පිට බැස නවතිනවා” දකින්නා වූ කෙනකු දෙස ඔහු බලා සිටිය යුතු ය.—යොහන් 1:33.
5 නාසෙරෙත් හි යේසුස් වහන්සේ ව බව්තීස්ම කිරීමෙන් පසු, මෙම නොවරදින ආලේප කිරීම යොහන් දුටුවේ ය. යේසුස් වහන්සේ ව ආලේප කරන ලද්දේ යෙහෝවඃ වහන්සේගේ ශුද්ධාත්මයෙන් මිසක, උන් වහන්සේගේ භූමික ආදි පියා වූ දාවිත් මෙන් තෛලයකින් නොවේ. (1සාමුවෙල් 16:13; ක්‍රියා 10:38) ඒ සමඟ ම, දෙවියන් වහන්සේගේ ම හඬ මෙසේ ඇසිණ: “මොහු මාගේ ප්‍රේමවන්ත පුත්‍රයාය, මොහු කෙරෙහි ඉතා ප්‍රසන්නව සිටිමි.” (මතෙව් 3:16, 17) පසු කලෙක යොහන් සාක්ෂි දැරූ පරිදි: “ආත්මයාණන් [ආත්මය NW] පරෙවියෙකු මෙන් අහසින් බසිනවා දුටිමි; එය උන්වහන්සේ පිට නැවතුණේය. මමද එය දැක: මුන්වහන්සේ දෙවියන්වහන්සේගේ පුත්‍රයාණෝයයි සාක්ෂිදුනිමි.”—යොහන් 1:32, 34.
6 එබඳු වචනවලින්, යොහන් බව්තීස්ත යේසුස් වහන්සේ ව තමන්ගේ ගෝලයන්ට විශ්වාසවන්ත ලෙස හඳුන්වා දුන්නේ ය, තවද “ලෝකයේ පාපය දුරුකරන දෙවියන්වහන්සේගේ බැටළුපැටියාණෝ” වශයෙනුත් උන් වහන්සේ ව හැඳින්වූයේ ය. (යොහන් 1:29) ප්‍රතිචාරය දැක්වීමට ගෝලයන් දෙදෙනෙක් ඉක්මන් වූහ. යේසුස් වහන්සේගේ ඇසුරෙහි දවසක් ගත කිරීමෙන් පසු, ඔව්හු මුළුමනින් ම විශ්වාස කළහ. ඔවුන්ගෙන් කෙනකුගේ නාමය අන්දෘ විය, ඔහු තමාගේ සහෝදර, සීමොන් පේතෘස් ව ඕනෑකමින් සෙව්වේ ය. අනෙක් ගෝලයා සෙබදිගේ පුත්‍ර යොහන් බවට පිළිගෙන තිබේ, මොහු යේසුස් වහන්සේගේ ප්‍රේමවන්ත ගෝලයා බවට පත් විය. මෙසියස් වහන්සේ පිළිබඳ ව වසර සැත්තෑවකට පමණ සාක්ෂිදැරීමෙන් පසු, ඉහත සඳහන් තොරතුරු අපගේ ප්‍රයෝජනය සඳහා ලිවීමට මෙම යොහන් පෙලඹිණ. ඔහුගේ සහ අන්දෘගේ ආදර්ශයෙන් ඔබ පෙලඹී සිටින්නෙහි ද? මෙසියස් වහන්සේ පිළිබඳ විස්මජනක සත්‍යයන් ප්‍රකාශ කිරීමට ඔවුන් සහ ‘බැටළුපැටවාණන්ගේ වෙනත් ප්‍රේරිතවරු මෙන් ඔබත් උනන්දුවෙන් සිටින්නෙහි ද?—එළිදරව් 1:9; 21:14; යොහන් 1:35-41; ක්‍රියා 5:40-42.
රජාණන් හා උත්තම පූජකයාණන් වශයෙන් ආලේප කරන ලදි
7 යුදෙව් ජාතියට ඉපදීම නිසා, යේසුස් වහන්සේ ‘ව්‍යවස්ථාව යටතට’ පැමිණි සේක. (ගලාති 4:4) එනිසා, යුදෙව් ගෝත්‍රයට අයත් වූ බැවින්, යෙහෝවඃ වහන්සේගේ ආකෘතික දේවමාලිගාවෙහි පූජකයෙකු ලෙස සේවය කිරීමට උන් වහන්සේට නොහැකි විය, එහි පූජකයෝ ලෙවීගේ ගෝත්‍රයට අයත් ආරොන්ගෙන් පැවතෙන්නන් වූහ. “අපගේ ස්වාමීන්වහන්සේ යුදා ගෝත්‍රයෙන් නැගුටුණු බව ඉතා පැහැදිලිය; ඒ ගෝත්‍රය ගැන පූජකයන් සම්බන්ධවූ කිසිවක් මෝසෙස් කිවේ නැතැ”යි ප්‍රේරිත පාවුල් සෙසු ක්‍රිස්තියානින්ට මතක් කළේ ය.—හෙබ්‍රෙව් 7:14.
8 ප්‍රේරිත යොහන් මෙසේ ලීවේ ය: “ලෝකයට එන්නාවූ සියලු මනුෂ්‍යයන් ආලෝකකරන්නාවූ ආලෝකය සත්‍යයවූ ආලෝකයය.” (යොහන් 1:6-9) යේසුස් වහන්සේගේ බව්තීස්මයෙන් පසු, මහා ආත්මික දේවමාලිගාවක් බිහි වූවාක් මෙන් විය, සාතන්ගේ ආත්මික අන්ධකාර ලෝකයට වහල් වී සිටින මනුෂ්‍යවර්ගයා ව ගලවා ගැනීමට හැකි ආත්මික උත්තම පූජකයෙක් දැන් සිටියි.—හෙබ්‍රෙව් 8:1-5; 9:24.
9 තමාගේ බව්තීස්ම වේලාවේ දී යේසුස් වහන්සේ යාච්ඤා කරමින් සිටී සේක. පසු කලෙක ප්‍රේරිත පාවුල් විසින් උපුටා දැක්වූ පරිදි, උන් වහන්සේගේ වැදගත් වචන සමහරක් බයිබලය මෙසේ වාර්තා කරයි: “ඔබ පූජාවටත් පඬුරටත් කැමති නොවී, ශරීරයක් මට සූදානම්කරදුන්සේක; මුළු දවන පූජාවලටත් පාප පූජාවලටත් ඔබ ප්‍රසන්න නොවූසේක. එවිට මම කථාකොට: දෙවියන් වහන්ස, මෙන්න, (පොත් කාණ්ඩයේ මා ගැන ලියා තිබෙන ලෙස) ඔබගේ කැමැත්ත කරන්ට ඇවිත් සිටිමියි කීසේක.”—හෙබ්‍රෙව් 10:5-7; ලූක් 3:21.
10 මෙසේ, ගීතාවලිය 40:6-8හි ඇති අනාගතවාක්‍ය යේසුස් වහන්සේ තමන්ට ම අදාළ කළ සේක, යෙරුසලමේ දේවමාලිගාවෙහි ආරොන්ගෙන් පැවතෙන පූජකයන් විසින් පූජා කරන ලද සත්ත්ව පූජාවලට අවසානයක් ගෙන ඒමේ යෙහෝවඃ වහන්සේගේ අරමුණ එය පුරෝකථනය කළේ ය. එම පූජා කෙරෙහි යෙහෝවඃ වහන්සේ “ප්‍රසන්න” නොවූ සේක, මක්නිසා ද ඒවා ආදර්ශයක් පමණක් වූ අතර, මනුෂ්‍ය පාප සඳහා මුළුමනින් ම සමගිකමක් කිරීමට ඒවාට නුපුළුවන. එබැවින්, පූජා කිරීම සඳහා යෙහෝවඃ වහන්සේ පරිපූර්ණ මනුෂ්‍ය ශරීරයක් යේසුස් වහන්සේට සූදානම් කර දුන් සේක. දෙවියන් වහන්සේ ස්වකීය ස්වර්ගීක පුත්‍රයාණන්ගේ ජීවිතය යුදෙව් කන්‍යාවකගේ ගර්භාශය තුළට මාරු කළ සේක. යේසුස් වහන්සේ මෙසේ ආදම්ගේ පාපයෙන් දූෂිත නොවී උපන් සේක. උන් වහන්සේ වනාහි දෙවියන් වහන්සේගේ පරිපූර්ණ මනුෂ්‍ය පුත්‍රයෙකු වූ සේක, උන් වහන්සේගේ ජීවිතයෙන් මනුෂ්‍ය වර්ගයාගේ පාපය සමගි කළ හැක. (ලූක් 1:30-35) ගීතාවලිය 40:8 පුරෝකථනය කළ පරිදී, තම පියාණන්ගේ කැමැත්ත කිරීම යේසුස් වහන්සේගේ හෘදයාංගම ආශාව වූසේක. “ඒ කැමැත්ත පරිද්දෙන් යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශරීරය එකම වරක් පූජාකරීම කරණකොටගෙන අපි පිරිසිදුකරනු ලැබ සිටිමුව.”—හෙබ්‍රෙව් 10:10, 11.
11 සියලු කාල සඳහා එක ම වරක් යේසුස් වහන්සේගේ මනුෂ්‍ය ජීවිතය පූජා කිරීම නිසා යෙරුසලමේ ආදර්ශ දේවමාලිගාවෙහි අමතර පූජාවල අවශ්‍යතාව අවලංගු කළේ ය. තවදුරටත්, පො.යු. 33 පාස්කු දවසේ දී උන් වහන්සේගේ මරණය සිදු විය, එය වනාහි උන් වහන්සේගේ බව්තීස්මයෙන් අවුරුදු තුනහාමාරකට පමණ පසු ව ය. අවුරුදු තුනහාමාර අනාගතය හෙළි කරන සති භාගයකට සමාන වනු ඇත. (ගණන් කථාව 14:34) එබැවින් මෙසියස් වහන්සේගේ සිඳදැමීම ගැන දානියෙල් නිවැරදි ව පුරෝකථනය කළ පරිදි කාරණා සිදු විය: “සතිය මැදදී යාගයත් ආහාර පූජාවත් නවත්වන්නේය.” (දානියෙල් 9:26, 27) පො.යු. 70හි දේවමාලිගාව විනාශ වන තෙක් යෙරුසලමෙහි ආකෘතික පූජකත්වය ක්‍රියාත්මක වූවත්, එම අවුරුදු තුළ දී පූජකයන් විසින් ඔප්පු කරන ලද පූජාවලට කිසිදු වටිනාකමක් තිබුණේ නැත, මක්නිසාද යේසුස් වහන්සේගේ වඩා උතුම් පූජාවෙන් ඒවා ඉවත් කරන ලදි.—මතෙව් 23:37, 38.
12 ඊශ්‍රායෙල් උත්තම පූජකයන්ගේ දීර්ඝ අනුපිළිවෙළෙක ආරොන් එහි පළමුවැන්නා විය. ඔහු ව ශුද්ධ තෛලයෙන් ආලේප කිරීමෙන් පසු ව, උත්තම පූජකයා වශයෙන් සේවය කිරීමට බලය පැවරීමට පෙර දින සතක් මණ්ඩපයෙහි සිටීමට ඔහුට සිදු විය. (ලෙවි කථාව 8:12, 33) එලෙස ම, මනුෂ්‍යවර්ගයා උදෙසා මැදහත් වීමට බලය ලැබීමට පෙර යේසුස් වහන්සේට බලාසිටීමේ කාලයක් තිබිණ. උත්තම පූජකයෙකු වශයෙන් උන් වහන්සේගේ ආලේප කිරීමේ සිට උන් වහන්සේගේ නැවත නැගිටීම දක්වා වූ කාලය එය විය. ආරොන් මෙන් නොව, දෙවියන් වහන්සේගේ අමරණීය පුත්‍රයාණන්ට අනුප්රාප්තිකයන් වුවමනා නොකෙරේ, තවද “මෙල්කිසදෙක්ගේ පිළිවෙළින්” උන් වහන්සේ පූජකයෙකු හා රජෙකු වශයෙන් සේවය කරන සේක.—ගීතාවලිය 110:1-4; උත්පත්ති 14:18-20; හෙබ්‍රෙව් 6:20; 7:1-3, 11-17, 23-25.
13 පුරාණ ඊශ්‍රායෙල් හි, නිවැරදි ආගමික ඉගැන්වීමේ ප්‍රධාන වගකීම උත්තම පූජකයා පිට පැවරිණ. (ලෙවි කථාව 10:8-11; මලාකි 2:7) ඒ අනුව යේසුස් වහන්සේ ද රාජ්‍යය හා සදාකාල ජීවනය උරුමකර ගැනීමට කැමති සියල්ලන් සඳහා යෙහෝවඃ වහන්සේගේ ධර්මිෂ්ඨ නියමයන් ප්‍රකාශ කළ සේක. (මතෙව් 6:9, 10, 33; 7:28, 29; 11:12; 25:34, 46) උන් වහන්සේ නාසරෙත් හි සිනගෝගයක සිටින විට, යේසුස් වහන්සේ මෙම අනාගතවාක්‍ය කියවා එය තමාට ම අදාළ කළ සේක: “ස්වාමීන්වහන්සේගේ [යෙහෝවඃ NW] ආත්මය මා කෙරෙහිය; මක්නිසාද . . . ශුභාරංචිය දේශනාකරන්ට උන්වහන්සේ මා ආලේපකළසේක.” ඊළඟට, කපර්ණවුමෙහි කාලය ගත කිරීමෙන් පසු, උන් වහන්සේ මෙසේ පැවසූ සේක: “මා විසින් අනික් නුවරවලත් දෙවියන්වහන්සේගේ රාජ්‍යයේ යහපත් ආරංචිය දේශනාකරන්ට ඕනෑය. මක්නිසාද ඒ පිණිස එවනලද්දෙමි.” (ලූක් 4:18, 19, 43; යෙසායා 61:1, 2) මෙම රාජ්‍යය දේශනා කිරීමේ වැඩය පුළුල් කිරීමට යේසුස් වහන්සේ තමන්ගේ ගෝලයන් 70 දෙනෙක් ද පුහුණු කළ සේක, තවද තමන් කළාට වඩා මහත් වැඩ ඔවුන් කරනු ඇතැයි උන් වහන්සේ පුරෝකථනය කළ සේක. (ලූක් 10:1-9; යොහන් 14:12) තමන්ගේ අභිෂේකලත් අනුගාමිකයන්ගෙන් සමන්විත වූ ‘විශ්වාසවන්ත දාසයා’ කරණකොටගෙන යේසුස් වහන්සේ විසින් මගපෙන්වනු ලබන ලෝක ව්‍යාප්ත බයිබල් අධ්‍යාපනික වැඩකට මෙය පදනම දැමී ය.—මතෙව් 24:45-47; 28:19, 20.
යෙහෝවඃ වහන්සේගේ පරමාධිපත්‍යයේ ප්‍රධාන නිදොස් කරන්නා
14 දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් පොළොවට පැමිණි ඉතා වැදගත් ම හේතුව වූයේ මනුෂ්‍යවර්ගයා ගලවා ගැනීම නොවේ. ඒ වෙනුවට, යෙහෝවඃ වහන්සේගේ පරමාධිපත්‍යය පිළිබඳ ව සාතන් විසින් මතු කරන ලද අපහසකාරී ප්‍රශ්න විසඳීමට ය. ඊශ්‍රායලයේ වාර්ෂික සමගිකිරීමේ දවස කල්පනාවට ගැනීමෙන් අපට මේ ගැන අවබෝධයක් ලබා ගත හැක, එවිට ආකෘතික උත්තම පූජකයාට වාර කිහිපයක් ම අති ශුද්ධ ස්ථානයට ඇතුළුවීමට සිදු විය. පළමු ඇතුළුවීමේ දී ඔහු සුවඳ ද්‍රව්‍ය රැගෙන, ඒවා ගිනි අඟුරු තිබෙන භාජනය පිට දමන්නේ ය. (ලෙවි කථාව 16:12-16) තමාගේ මනුෂ්‍ය ජීවිතයේ වටිනාකම ඇතු ව යෙහෝවඃ වහන්සේ ඉදිරියෙහි පෙනී සිටීම සඳහා ස්වර්ගයට නැගීමට ප්‍රථම, පොළොව මත සිටිද්දී, ප්‍රතිරූපක උත්තම පූජකයා විසින් කිරීමට තිබෙන දෙය මෙය මනා ලෙස නියෝජනය කළේ ය.b (හෙබ්‍රෙව් 9:24) සුවඳ ද්‍රව්‍යවලින් අඟවා තිබූ පරිදි, යේසුස් වහන්සේගේ විශ්වාසවන්ත ක්‍රියාමාර්ගය අවංක යාච්ඤා, සැබෑ නමස්කාරය සඳහා දැවෙන ජ්වලිතයක්, සහ යෙහෝවඃ වහන්සේ සඳහා ගැඹුරු ප්‍රේමයක් මගින් ලකුණු කෙරිණ. (ගීතාවලිය 141:2; මාර්ක් 1:35; යොහන් 2:13-17; 12:27, 28; 14:30, 31; හෙබ්‍රෙව් 5:7) සාතන් සහ ඔහුගේ නියෝජිතයන් විසින් උන් වහන්සේ පිට පමුණුවන ලද සියලු සූක්ෂම පරීක්ෂා, සමච්චල්, සහ කුරීරු පීඩා ඉදිරියෙහි නොකැලැල් අඛණ්ඩතාවයක් පවත්වා ගැනීමෙහි යේසුස් වහන්සේ සාර්ථක වූසේක.—හිතෝපදේශ 27:11; මතෙව් 22:15-18; මාර්ක් 14:60-65; 15:16-32; ලූක් 4:13, 29; යොහන් 8:44, 59.
15 යෙහෝවඃ වහන්සේගේ පරමාධිපත්‍යය නිදොස් කිරීම නිසා, ස්වර්ගයෙහි අමරණීය ජීවිතයකට නැවත නැගීටීම විපාකයක් වශයෙන් යේසුස් වහන්සේට ලැබිණ. එබඳු විශිෂ්ට උත්තම පූජකයෙක් අපට සැපයීම ගැන අප යෙහෝවඃ වහන්සේට මොනතරම් කෘතඥ විය යුතු ද! “එබැවින් අහස පසුකරගියාවූ දෙවියන්වහන්සේගේ පුත්‍රවූ යේසුස් නම් මහා උත්තම පූජකයෙක් අපට සිටින නිසා, අපේ ඇදහිල්ල තදින් අල්ලාගෙන සිටිමු.” (හෙබ්‍රෙව් 4:14) යක්ෂයා කුමක් කළ හැකි වූවත්, යේසුස් වහන්සේගේ අඛණ්ඩතාවයේ ආදර්ශය අනුගමනය කිරීම ඔබගේ අවංක අශාව වන්නෙහි ද? එසේ නම්, ඔබට උපකාරය ලැබීම ගැන විශ්වාසය තැබිය හැක, තවද ඔබට සාර්ථක විය හැක. එසේ වන්නේ ඉතා හොඳ ම උපකාරය ලබා ගැනීමට තිබෙන නිසා ය. “අපට සිටින්නේ අපේ දුර්වලකම්වලදී අපේ දුක නොදැනෙන උත්තම පූජකයෙක් නොව, සියලු ආකාරයෙන්ම අප වාගේ පරීක්ෂාකරනු ලැබූ උත්තම පූජකයෙක්ය. එබැවින් අපට දයාව ලැබෙන පිණිසද අපේ ඕනෑකම්වලදී අපට උපකාරයට අනුග්‍රහය සම්බවන පිණිසද නිසැකකමින් කරුණාවේ සිංහාසනයට ළඟාවෙමු.”—හෙබ්‍රෙව් 4:15, 16; 5:7-10; පිලිප්පි 4:13; 1 යොහන් 2:1, 2.
හරිගැස්සීම සඳහා ඇති අවශ්‍යතාව
16 අන්දෘ සහ යොහන් ඉක්මනින් සැබෑ මෙසියස් වහන්සේ ව හඳුනා ගත්හ, නමුත් ඔවුන්ට සහ අනෙක් මුල් ගෝලයන්ට බොහෝ දේ ඉගෙන ගැනීමට තිබිණ. (යොහන් 16:12, 13) එවකට සිටී බොහෝ ආගමික යුදෙව්වරු මෙන්, මෙසියානු රාජ්‍යය ඒ කාලයේ දී ම පාලනය කරනු ඇතැයි කියා ද, එමෙන් ම අන්‍ය ජාතික පාලනයෙන් එය ඊශ්‍රායෙල් ජාතිය හා එහි අගනුවර වන, යෙරුසලම ගලවා ගනු ඇතැයි කියා ද ඔව්හු බලාපොරොත්තු වූහ. (ලූක් 2:38; 3:15; 19:11; 23:51; 24:21) නමුත්, පව්කාර මනුෂ්‍යවර්ගයාට එයින් ලබාදුන්නා වූ කල්පවතින ප්‍රයෝජනය කවරේ ද?
17 තමාගේ අනාගත රාජ්‍යය යටත් වැසියන්ගෙන් පාපය සහ මරණය ඉවත් කිරීම සඳහා මෙසියස් වහන්සේ පූජා කරන ලද බැටළුවකු මෙන් පළමු ව සිඳදමනු ලැබීම ඉතා වැදගත් ය. (යොහන් 1:29; යෙසායා 53:7, 12) මෙය සිදුවන ආකාරය හා උන් වහන්සේ නැවත නැගිටුවනු ලබන ආකාරය යේසුස් වහන්සේ පුරෝකථනය කළ විට, පේතෘස් මෙසේ ප්‍රතිචාරය දැක්වී ය: “ස්වාමීනි, එය ඔබ කෙරෙන් දුරුවේවා. ඔබට කිසිකලකත් එසේ සිද්ධ නොවන්නේය.” (මතෙව් 16:21, 22) කෙසේවුවද, ‘ඒ කීම තමන්ගේ ගෝලයන්ට තේරුණේ නැති’ බව යේසුස් වහන්සේ දැන සිටියසේක.—මාර්ක් 9:31, 32; මතෙව් 17:22, 23, සසඳන්න.
18 යෙරුසලමට ගිය තමන්ගේ අන්තීම ගමනේ දී, යේසුස් වහන්සේ මෙය ඊටත් වඩා පැහැදිලි කළසේක. (මතෙව් 20:18, 19) තමන් වහන්සේගේ මරණයෙන් ගෙන එනු ලබන ඉමහත් ප්‍රයෝජනය ද උන් වහන්සේ මෙසේ පෙන්නුම් කළසේක: “මනුෂ්‍ය පුත්‍රයා . . . බොහෝ දෙනෙක් උදෙසා මිදීමේ මිලයක් කොට තමන්ගේ ජීවිතය දෙන්ට ආවේය.” (මතෙව් 20:28) වැරදි අපේක්ෂා නිසා මෙය වටහා ගැනීම උන් වහන්සේගේ ගෝලයන්ට දුෂ්කර විය. ලූක් මෙසේ වාර්තා කරයි: “උන්වහන්සේ යෙරුසලමට සමීපව සිටි බැවින්ද, දෙවියන්හන්සේගේ රාජ්‍යය වහාම එළිදරව්වේ” යයි ඔව්හු සිතූහ. ඔවුන්ගේ කල්පනාව හරිගැස්සීම සඳහා, යේසුස් වහන්සේ උපමාවක් දුන්සේක, තවද “රාජ්‍යයක් ලබාගෙන නැවත එන පිණිස දුර රටකට ගිය” වංශවත් මනුෂ්‍යයකුට උන් වහන්සේ තමන් ව ම සමාන කළ සේක. (ලූක් 19:11, 12) තමන් වහන්සේ මරණය හා නැවත නැගිටීමෙන් පසු යේසුස් වහන්සේ ඉහළට නැගුණා වූ ස්වර්ගය එම ‘රටෙන්’ දැක්වී ය.
19 කෙසේ වුවද, යේසුස් වහන්සේගේ ස්වර්ගස්ථවීමට ටිකකට කලින්, උන් වහන්සේගේ ගෝලයෝ මෙසේ ඇසූහ: “ස්වාමීනි, මේ කාලයේදී ඔබ ඉශ්රායෙල්ට රාජ්‍යය නැවත පිහිටුවාදෙනසේක්ද? (ක්‍රියා 1:6) මෙය ඇසීම නිසා යේසුස් වහන්සේ ඔවුන් ව ප්‍රතික්ෂේප කළසේක් ද? නැත, ඒ සඳහා තව ම කාලය පැමිණ නැති බවත් සැබෑ මෙසියස් වහන්සේ පිළිබඳ සාක්ෂි දැරීමේ වැදගත් වැඩයෙහි ඔවුන් කාර්යය බහුල ව සිටි යුතු බවත් උන් වහන්සේ විස්තර කළ සේක. (ක්‍රියා 1:7, 8) ස්වාභාවික ඊශ්‍රායෙල් සමඟ තිබූ දෙවියන් වහන්සේගේ ගිවිසුම් සබඳතාවය වැඩි කලක් යාමට ප්‍රථම අවසානවීමට තිබිණ. එමනිසා, අනාගත මෙසියානු රාජ්‍යය එම අවිශ්වාසවන්ත භූමික ජාතිය කෙරෙහි නැවත පිහිටු වන්නේ නැත. යුදෙව් විරුද්ධවාදීන්ට යේසුස් වහන්සේ මෙසේ පැවසූසේක: “දෙවියන්වහන්සේගේ රාජ්‍යය නුඹලාගෙන් අහක්කොට එහි ඵල උපදවන ජාතියකට දෙනු ලබන්නේය.” (මතෙව් 21:43) යේසුස් වහන්සේ ස්වර්ගයට නැගී දින දහයකට පසු, එම ජාතිය උපත ලැබුවා ය. යේසුස් වහන්සේගේ ගෝලයන් 120 දෙනා පිට ශුද්ධාත්මය වගුරවනු ලැබූ අතර, පැමිණෙන මෙසියානු රාජ්‍යයෙහි දෙවියන් වහන්සේගේ “ශුද්ධවන්තයන්” වීමට සහ ‘ක්‍රිස්තුස්වහන්සේ හා සමඟ හවුල් උරුමක්කාරයන්’ වීමට මෙසේ ඔවුන් ව ආලේප කරන ලදි.—දානියෙල් 7:13, 14, 18; රෝම 1:7; 8:1, 16, 17; ක්‍රියා 2:1-4; ගලාති 6:15, 16.
20 ආලේප කිරීමෙන් පසු ව පවා, පළමු සියවසේ ක්‍රිස්තියානීන්ට වැරදි අපේක්ෂා තිබිණ. (2 තෙසලෝනික 2:1, 2) නමුත් නොසතුටට පත් අහක් ව යන්නන් වෙනවා වෙනුවට, ඔවුන් නිහතමානි ලෙස නිවැරදි කිරීම් පිළිගත්හ. දෙවියන් වහන්සේගේ ශුද්ධාත්මයෙන් බලවත් කරන ලදු ව, සාක්ෂිදැරීමට හා ‘සියලු ජාතීන් ගෝලයන් කිරීමට’ ඇති පැවරුම ඔව්හු සතුටෙන් පිළිගත්හ.—මතෙව් 28:19, 20; ක්‍රියා 1:8; කොලොස්සි 1:23.
21 අපගේ 20වන සියවස ගැන කුමක් කිව හැකි ද? යෙහෝවඃ වහන්සේගේ මෙසියානු රාජ්‍යයේ පිහිටුවීමට යෙහෝවඃ වහන්සේගේ නවීන-දින සේවකයෝ අවදියෙන් සිටියෙහු ද? තවද ඔවුන්ගේ පළමු සියවසේ ප්රතිමූර්තියන් මෙන්, ඇතැම් ආකාරවලින් ඔවුන්ගේ අපේක්ෂා හරිගැස්සීමට අවශ්‍යතාවයක් තිබුණි ද? w90 10⁄15
[පාදසටහන්වල]
a පොදු යුගයේ 424හි අර්තක්ෂස්තාගේ පාලනය අවසාන වූ බව ද එන්සයික්ලොපීඩියා අමෙරිකානා සහ ග්‍රේට් සෝවියට් එන්සයික්ලෙපීඩියා එකඟ වෙති. එය ආරම්භ වූයේ කවදා ද? පො.යු.පෙ. 474 දී ය. මෙය සනාථ කිරීමක් වශයෙන්, එක පුරාවිද්‍යාත්මක සෙල් ලිපියක කාලය නියම කර ඇත්තේ අර්තක්ෂස්තාගේ 50වන වසරෙහි ය; ඔහුගෙන් පසු තව කෙනකු එම තනතුරට පත් වූයේ ඔහුගේ 51වන වසරේ දී බව තව එකක් අඟවයි. පො.යු.පෙ. 424 සිට පූර්ණ අවුරුදු 50ක් ආපස්සට ගණන් කළ විට, පො.යු.පෙ. 474වන වසරට අප පැමිණෙන්නෙමු, එය ඔහු පාලනය පටන් ගත් අවුරද්ද වේ. එමනිසා, ආඥාව දුන් අර්තක්ෂස්තාගේ 20 වන වසර වනු ඇත්තේ, ඔහුගේ පාලනයේ පූර්ණ අවුරුදු 19 ක් ගෙවි ගිය විට ය, එනම්, පොදු යුගයට පෙර 455 දී ය. වැඩි විස්තර සඳහා, න්‍යු යොර්ක් හි වොච්ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයටි විසින් ප්‍රකාශයට පත් කරන ලද ඉන්සයිට් ඔන් ද ස්ක්‍රිප්චර්ස් යන පොතෙහි 2වන කාණ්ඩය, 616 වන පිටුව බලන්න.
b 1974 අප්‍රියෙල් 1වන දා ද වොච්ටවර් සඟරාවේ 22වන පිටුව බලන්න.
සමාලෝචන ප්‍රශ්න
◻ “මෙසියස්” යන පදවි නාමයේ අර්ථය කුමක් ද?
◻ පොදු යුගයේ 29 වන වසරේ දී සිදු වූ වැදගත් සිද්ධිය කුමක් ද?
◻ ‘සතියේ මැද දී පූජාව නැවැත්වීමට’ මෙසියස් වහන්සේ සැලැස්වූයේ කෙසේ ද?
◻ උන් වහන්සේ ආලේප කරනු ලැබූ දා සිට යේසුස් වහන්සේ උරදුන් වගකීම කුමක් ද?
◻ මෙසියස් වහන්සේගේ පළමු පැමිණිමේ ප්‍රධාන අරමුණ වූයේ කුමක් ද, මෙය අපට බලපෑ යුත්තේ කෙසේ ද?
[පාඩම සඳහා ප්‍රශ්න]
1. බයිබලයෙහි වාර්තා කර ඇත්තේ කුමන මවිත කරවන ප්‍රකාශය ද, සිදු කරන ලද්දේ කවදා ද?
2. පොදු යුගයේ 29වන වසර කෙරෙහි දානියෙල්ගේ අනාගතවාක්‍ය අවධානය යොමු කළේ කෙසේ ද?
3. (අ) “මෙසියස්” යන පදවි නාමයේ අර්ථය කුමක් ද? (ආ) මෙසියස් වහන්සේට ඉටු කිරීමට තිබූ අනාවැකි කවරේ ද?
4, 5. (අ) පොදු යුගයේ 29වන වැදගත් අවුරුද්දේ දී සිදු වූයේ කුමක් ද? (ආ) මෙසියස් වහන්සේ වශයෙන් තෝරාගත් තැනැත්තා හඳුනා ගනු ලැබුවේ කුමන නොවරදින ආකාරයකින් ද?
6. අන්දෘ සහ යොහන් අපට තැබුවේ කිනම් කදිම ආදර්ශය ද?
7. යෙරුසලමේ දේවමාලිගාවෙහි පූජකයෙකු වශයෙන් සේවය කිරීමට යේසුස් වහන්සේට නොහැකි වූයේ මන්ද?
8. යෙහෝවඃ වහන්සේගේ භූමික දේවමාලිගාවෙන් පෙරඡායාවක්කොට දක්වන ලද්දේ කුමක් ද?
9, 10. (අ) “ඔබ පූජාවටත් පඬුරටත් කැමති නොවී, ශරීරයක් මට සූදානම්කරදුන්සේකැ”යි යන වචනවලින් අදහස් වන්නේ කුමක් ද? (ආ) මේ ගැන යේසුස් වහන්සේට පෞද්ගලික ලෙස හැඟුණේ කෙසේ ද?
11. මෙසියස් වහන්සේගේ මරණයෙන් ඉටු කළ අනාවැකිය කුමක් ද, සහ ‘පූජාව නැවැත්වීමට’ එය සැලැස්වූයේ කෙසේ ද?
12. යේසුස් වහන්සේගේ පූජකත්වය ආරොන්ගේ පූජකත්වයට වඩා ශ්‍රේෂ්ඨ වන්නේ කෙසේ ද?
13. (අ) ඊශ්‍රායලයේ උත්තම පූජකයන් කෙරෙහි පැවරුනු බරපතළ වගකීම කුමක් ද? (ආ) ඊටත් වඩා වැඩි වගකීමකට යේසුස් වහන්සේ උර දුන්නේ කෙසේ ද?
14. (අ) සමගිකිරීමේ වාර්ෂික දවසේ දී ඊශ්‍රායලයේ උත්තම පූජකයා අති ශුද්ධ ස්ථානයට ඇතුළු වූයේ මන්ද? (ආ) සුවඳ ද්‍රව්‍යයෙන් පෙන්නුම් කළේ කුමක් ද?
15. එබඳු විශිෂ්ට උත්තම පූජකයෙකු සැපයීම නිසා යෙහෝවඃ වහන්සේට අපගේ කෘතඥතාවය දැක්විය හැක්කේ කෙසේ ද? (හෙබ්‍රෙව් 10:21-26)
16. උන් වහන්සේගේ රාජ්‍යය පාලනය සම්බන්ධයෙන් මෙසියස් වහන්සේගේ මුල් ගෝලයන්ට තිබූ අපේක්ෂා කවරේ ද?
17, 18. “වංශවත් මනුෂ්‍යයෙක්” පිළිබඳ උපමාව යේසුස් වහන්සේ දුන්නේ මන්ද?
19. (අ) උන් වහන්සේගේ නැවත නැගිටීමෙන් පසු ව යේසුස් වහන්වසේගේ ගෝලයන් ප්‍රකාශ කළ වැරදි අපේක්ෂාව කුමක් ද? (ආ) පො.යු. 33 පෙන්තකොස්ත දවසේ දී මනුෂ්‍යයන් සමඟ දෙවියන් වහන්සේගේ සබඳතාවයෙහි සිදු වූ වෙනස කුමක් ද? (හෙබ්‍රෙව් 8:7-9, 13)
20. වැරදි අපේක්ෂාවන් සමහරක් තිබුණත්, විශ්වාසවන්ත පළමු-සියවසේ ක්‍රිස්තියානීන් කළේ කුමක් ද?
21. අපගේ ඊළඟ ලිපියෙහි සලකා බලනු ලබන්නේ කිනම් ප්‍රශ්න ද?
උත්තම පූජකයා විසින් අති ශුද්ධ ස්ථානයට ඇතුළු වූ පළමු වතාවෙන් පෙරඡායාවක්කොට දක්වන ලද්දේ මනුෂ්‍යවර්ගයාගේ ගැලවීමට වඩා වැදගත් යම්කිසිවකි