දෙවියන් වහන්සේ දෙන ශක්තිය මත රඳා සිටින්න
දෙවෙනි තිමෝති පෙතෙන් මූලික කරුණු
යෙහෝවඃ වහන්සේ ස්වකීය සේවකයන් හට පරික්ෂා සහ පීඩා විඳදරා ගැනීමට ශක්තිය දෙන සේක. එමෙන් ම තිමෝතිට හා අනෙකුත් ක්‍රිස්තියානීන්ට දෙවියන් වහන්සේ දෙන ශක්තිය කෙතරම් අවශ්‍ය වූවා ද! පො.යු. 64 දී රෝමය ගින්නෙන් වැනසී ගිය අතර, එයට වගකිව යුත්තා නීරෝ අධිරාජ්‍යයා බවට රාවයක් පැතිර ගොස් තිබිණ. තමා ව ආරක්ෂා කරගනු වස් ඔහු ක්‍රිස්තියානීන් මත වරද පැටවූ අතර පෙනෙන අයුරින් මෙය පීඩාවේ රැල්ලක් ඉපදවී ය. මෙම කාලයේ දී (පො.යු. 65 දී පමණ) ප්‍රේරිත පාවුල් රෝමයේ දී නැවත සිර ගත කරනු ලැබූ බවට පෙනෙන්නට තිබේ. සිය මරණයට ආසන්න ව සිටියත්, ඔහු තම දෙවෙනි ලිපිය තිමෝතිට ලීවේ ය.
පාවුල්ගේ ලිපිය, ධර්මභේදීන්වලට විරුද්ධ ව සිට, පීඩාවලට මුහුණ දෙමින් ස්ථීර ව සිටීමට තිමෝති ව සූදානම් කළේ ය. ආත්මික වර්ධනයක් ඇතිකරමින් සිටීමට එය ඔහු ව දිරිගැන්වූ අතර, සිර ගෙදර තුළ පාවුල්ගේ තත්ත්වයන් පිළිබඳ ව කථා කළේ ය. මෙම ලිපිය, එය කියවන්නන් හට දෙවියන් වහන්සේ දෙන ශක්තිය කෙරෙහි රඳා පැවත සිටීමට ද උපකාර කරයි.
දුක් විඳදරාගන්න සහ මෘදුකමින් උගන්වන්න
ශුභාරංචිය ප්‍රකාශකයන් වශයෙන්, පීඩාවල් විඳදරා ගැනීමට දෙවියන් වහන්සේ අපට ශක්තිය දානය කරන සේක. (1:1-18) පාවුල් සිය යාච්ඤාවල දී කිසිදා තිමෝති ව අමතක නොකළ අතර, ඔහුගේ අවංක ඇදහිල්ල ගැන මතක් කළේ ය. දෙවියන් වහන්සේ තිමෝතිට දුන්නේ ‘බයාදුකමේ ආත්මයක් නොව බලයෙත් ප්‍රේමයෙත් හික්මවීමෙත් [හොඳ සිහියෙන් යුත් NW] ආත්මයකි.’ එමනිසා ඔහු සාක්ෂි දැරීමේ දී ලජ්ජා නොවී, ශුභාරංචිය උදෙසා දුක් විඳදරා ගත යුතු ය. පාවුල්ගෙන් ඇසූ “සාරවූ වචනවල ආදෘශය [සෞඛ්‍ය සම්පන්න වචනවල රටාව NW] අල්ලාගෙන සිටීමට” ද ඔහුගෙන් දැඩි සේ ඉල්ලා සිටිනු ලැබුයේ, අන්‍යයන් නියම ක්‍රිස්තියානි සත්‍යයන්ගෙන් ඉවත ඇදී ගියත් අප තදින් ඒවාට ඇලී සිටිය යුත්තාක් මෙනි.
පාවුල් ඉගැන්වූ දේවල් අන්‍යයන්ට උගන්වන පිණිස විශ්වාසවන්ත මනුෂ්‍යයන්ට භාර දිය යුතු ව තිබිණි. (2:1-26) දුක් විඳදරා ගන්න විට විශ්වාසවන්ත ව සිටින ක්‍රිස්තුස් වහන්සේගේ කදිම හේවායෙක් වීමට තිමෝතිගෙන් අයැද සිටිණ. ශුභාරංචිය දේශනා කිරීම හේතුවෙන් පාවුල් ම සිර බැඳුම් තුළ දුක් වින්දේ ය. ඔහු තිමෝති ව දිරිගන්වා සිටියේ, ශුද්ධ දේ කෙලසන හිස් කථාවලින් වැළකී සිට, දෙවියන් වහන්සේගේ අනුමැතිය ලත් සේවකයෙකු වශයෙන් තමා ව ම ඉදිරිපත් කිරීමට ඔහුගේ උපරිමය කරන ලෙසටයි. එමෙන් ම, ස්වාමීන් වහන්සේගේ දාසයෙක් අන්‍යයන්ට මෘදුකමින් උපදෙස් දිය යුතු බව ඔහුට පවසන ලදි.
වචනය දේශනා කරන්න!
දෙවියන් වහන්සේ දානය කරන ශක්තිය, අන්තිම දවස්වලට මුහුණ දීමට සහ ශුද්ධ ලියවිලිමය සත්‍යයන්හි පැවතීමට අවශය වනු ඇත. (3:1-17) අභක්තික මිනිසුන් අතරින්, ‘සැමවිටම ඉගෙනගන්නා නමුත් සත්‍යයේ ඒකාන්ත දැනුමකට පැමිණීමට කිසි දා නොහැකි අය නැගී සිටිනු ඇත.’ එවැනි ‘නපුරු මනුෂ්‍යයොත් රැවටිලිකාරයොත් රවටමින් ද රැවටෙමින් ද වඩ වඩා නරක් වන්නෝය.’ කෙසේ වෙතත්, තිමෝතිට ‘තමා ඉගෙනගත් දේවල් කෙරෙහි දිගට ම පැවතීමට තිබිණ.’ ‘දෙවියන් වහන්සේගේ මනුෂ්‍යයා සම්පූර්ණ ව, සියලු යහපත් ක්‍රියාවලට සූදානම් ව සිටින පිණිස දේවානුභාවයෙන් දුන් මුළු ලියවිල්ල ඉගැන්වීමටත්, තරවටුවටත්, හික්මවීමටත්, ධර්මිෂ්ඨකම ගැන ගුරුකම් දීමටත් ප්‍රයෝජනවත්ව තිබෙන’ බව දන්නා අපි ද එලෙස ම විය යුතුය.
තිමෝති හට ධර්ම භේදයට එරෙහි ව සිට තම දේව සේවය සම්පූර්ණ කිරීමට අවශ්‍ය විණ. (4:1-22) ‘වචනය දේශනා කිරීමෙන්’ හා ඊට එකඟ ව සිටීමෙන් ඔහුට එය කළ හැක. සමහරු බොරු මූල ධර්මයන් උගන්වමින් සිටි හෙයින් සභාව “කරදර සහිත අවදියකට” මුහුණ දෙමින් සිටි නිසා මෙය අතිශයින් වැදගත් විය. අහිතකර තත්ත්වයන්වල දී පවා සභාව තුළ සහ පිටත සිටින අයට දේව වචනය හදිසිතාවයෙන් යුතු ව දේශනා කරමින් යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකාරයෝ ඊට ඇලී සිටිති. සමහරු පාවුල් ව අත් හැර ගියත් ඔහු “ඇදහිල්ල රක්ෂා කළේ ය.” නමුත් ‘ඔහු කරණකොටගෙන පණිවුඩය සම්පූර්ණ ලෙස ප්රකාශවන පිණිස . . . ස්වාමීන් වහන්සේ ඔහු ළඟ සිට ඔහු ශක්තිමත් කළ සේක.’ අපි ද දෙවියන් වහන්සේ දානය කරන ශක්තිය මත රඳා සිටිමින් ශුභාරංචිය දේශනා කරමින් සිටිමු. w91 1/15
කදිම හේවායෙක්: “යේසුස් වහන්සේගේ කදිම හේවායෙක් වශයෙන් දුක් විඳදරා ගැනීමේ ඔබේ කොටස භාර ගන්න. යමෙක්, තමා ව හේවායෙකු වශයෙන් පත්කොට ගත් තැනැත්තාගේ අනුමැතිය දිනාගන්නා පිණිස, හේවායෙකු ලෙස සේවය කරන කිසිවෙක් තමා ව ම වාණිජ ව්‍යාපාරවලට සම්බන්ධ කරගන්නේ නැත.’ (2 තිමෝති 2:3, 4, NW) රෝම පාබල හේවායෙක් බරැති යුද අවි, පොරොවක්, භාජනයක්, දවස් තුනකට අවශ්‍ය ආහාර, සහ වෙනත් දෑ රැගෙන යද්දී ‘දුක් විඳ දරා ගත්තේ ය’. (ජොසපස්ගේ වෝර්ස් ඔෆ් ජූස් 3 වෙනි පොතේ 5 වෙනි පරිච්ඡේදය) වාණිජත්වයට සම්බන්ධ දෑ ලුහු බැඳ යාම තම ස්වාමියා ව සතුටු නොකරන හෙයින් එය ඔහු නොකළ අතර, ඔහුගේ වියහියදම් පියවනු ලැබිණ. ඒ හා සමාන ව ම, “ක්‍රිස්තුස් වහන්සේගේ කදිම හේවායෙකු වීම” නිසාවෙන් ක්රිස්තියානිවරයෙකු තමා එසේ වීම සම්බන්ධ ව පැමිණෙන පරික්ෂා විඳදරා ගනී. ශුද්ධ ලියවිලිමය ආඥාවන් ඉටු කිරීම පිණිස ඔහු බාහිර රැකියාවක් කළ ද, ඔහු ව ආත්මික යුද්ධයෙන් වැළැක්වීමට ද්‍රව්‍යවාදී දේවල් සමඟ මුසු වූ අනවශ්‍ය බැඳීම්වලට ඔහු ඉඩ නොදෙයි. (1 තෙසලෝනික 2:9) ගෙයින් ගෙට දේශනා කිරීමෙන්, “ආත්මයාණන්ගේ කඩුව, එනම්, දෙවියන් වහන්සේගේ වචනය” හසුරුවන අතර, ආගමික වැරදිවලින් ජනයා ව නිදහස් කිරීමට උපකාරී වෙයි. (එපීස 6:11-17; යොහන් 8:31, 32) ජීවිතය හට මෙය තීරණාත්මක වන සියලු ක්‍රිස්තියානින් මේ මාර්ගයෙන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ව සහ දෙවියන් වහන්සේ ව ප්‍රසන්න කරමින් සිටිත්වා.