පාඨකයන්ගේ ප්‍රශ්න
▪ යෙරෙමියා 4:10 සහ 20:7න් පෙන්වන හැටියට යෙහෝවඃ වහන්සේ ස්වකීය සේවකයන් ඇතුළු ජනයා ප්‍රෝඩාවෙන් රවටන සේක් ද?
නැත, මැවුම්කාරයාණන් ස්වකීය කටයුතුවල දී රැවටිලිකාර, කූට හෝ කපටි ලෙස ක්‍රියා නොකරන සේක. එනමුත්, මනුෂ්‍යයා කුමක් අපේක්ෂා කළත්, ස්වකීය ධර්මිෂ්ඨ කැමැත්ත ඉෂ්ට කිරීමට උන් වහන්සේට පුළුවන, තව ද උන් වහන්සේ එසේ කරන සේක.
මෙහි එක් පැත්තක් සම්බන්ධයෙන් යෙරෙමියා පැවසූ දෙයක් පිළිබඳ ව යෙරෙමියා 4:10හි අපට මෙසේ කියවීමට තිබේ: “අපගේ ස්වාමීවූ දෙවියන්වහන්ස, නුඹලා මට සමාදානය වන්නේය කියා සැබවින්ම ඔබ මේ සෙනගත් යෙරූසලමත් බොහෝ සෙයින් රැවටූසේක. එහෙත් කඩුව ප්‍රාණය දක්වාම වදින්නේය.”
තමන් වහන්සේට සේවය කළා යැයි කියනු ලැබූ ධර්ම විරෝධි ජාතිය මත පැමිණෙන්නට යන විපත්තිය ගැන පුරෝකථනය කිරීමට යෙහෝවඃ වහන්සේ යෙරෙමියා ව පාවිච්චි කළ සේක. (යෙරෙමියා 1:10; 15-19; 4:5-8; 5:20-30) එහෙත්, තමන් ද ප්‍රොපේතවරුන් යැයි කියා ගත්තා වූ වෙනත් අය ද වූහ. (යෙරෙමියා 4:9) ජනයා, ඒ ආකාරයෙන් ප්‍රොපේත වරුන් යැයි කියනු ලැබූ අයගෙන් ඔවුන්ට අසන්නට ලැබූණේ කුමක් ද? දෙවියන් වහන්සේ මේ ආකාරයෙන් එය විවරණය කළ සේක: “අනාගතවක්තෘවරු බොරුවට අනාගත වාක්‍ය කියති. . . . මාගේ සෙනග එසේ වීමට ප්‍රිය වෙති.”—යෙරෙමියා 5:31; 20:6.
යෙහෝවඃ වහන්සේ මෙම බොරු ප්‍රොපේතවරුන් ව නොඑව්වාක් මෙන් ම, ඔවුන්ගේ පණිවුඩ ප්‍රචාරය කිරීමෙන් ඔවුන් ව වැළැක්වූයේ ද නැත. ඔවුන්ගේ පණිවුඩ මේවා විය. “නුඹලාට සමාදානය වන්නේය.” “විපතක් නුඹලා පිටට නොපැමිණෙන්නේය.” (යෙරෙමියා 23:16, 17, 25-28, 32) ජනයාට තෝරා ගැනීමට තිබුණේ පිළිගැනීමට අසීරු නමුත් යෙරෙමියා විසින් පවසන ලද සත්‍ය අනාවැකි පිළිගැනීමය, නැතහොත් හනනියා සහ ෂෙමායා වැනි තමන් ම ප්‍රොපේතවරුන් කර ගත්, බොරු ප්‍රොපේතවරුන්ගේ මුසාවන්ට තමන් ව ම මුලා වීමට ඉඩ දීම ය. (යෙරෙමියා 28:1-4, 11; 29:30-32) දෙවියන් වහන්සේ මෙම මුලා කරවන සුළු ප්‍රොපේත වරුන්ගේ ක්‍රියා කලාපය නොනැවැත් වූ හෙයින් උන් වහන්සේ පිළිබඳ ව මෙසේ පැවසිය හැකි විය: “නුඹලා මට සමාදනය වන්නේය කියා සැබවින්ම ඔබ මේ සෙනගත් යෙරුසලමත් රැවටූ සේක.”
වෙනස් අර්ථයකින් ගත් කල, යෙරෙමියා ව මෝඩයෙක් කරන ලදි. “අහෝ යෙහෝවඃ වහන්ස, ඔබ වහන්සේ මා ව මෝඩයෙක් කළ සේක. එම නිසා මම මෝඩයෙක් වූයෙමි. මට එරෙහි ව ඔබ ඔබගේ ශක්තිය පාවිච්චි කළ නිසා ඔබ ජයගත් සේක. මම සෑමදා ම අන්‍යයන්ගේ සිනහවට ලක් වී සිටිමි, සියල්ලන්ගේ සමච්චලයට භාජනය වී සිටිමි.”—යෙරෙමියා 20:7, NW.
ප්‍රමුඛ පූජකයෙක් වූ පෂෂූර්, යෙරෙමියාට ප්‍රසිද්ධියේ පහර දී, දඬු කඳේ ගැසීය. මිනිස් සිතිවිලිවල මට්ටමින්, තමන්, තමාගේ සීමාවට පැමිණ ඇති බවත් තමාට දක්වන නොසැලකිල්ල එපා කිරීම සමච්චලය හා ශාරීරික වධ හිංසා හමුවේ මුහුණ දීමට තමාට කිසි ශක්තියක් නොමැති බවත් යෙරෙමියාට හැඟුණා විය හැක. නමුත් එසේ නොවී ය. යෙරෙමියාගේ මිනිස් හැඟීම්වලට එරෙහි ව (හෝ ඊට පටහැනි ලෙස) යෙහෝවඃ වහන්සේ ස්වකීය ශක්තිය පාවිච්චි කළ සේක. දෙවියන් වහන්සේ යෙරෙමියා ව මෝඩයෙක් කළා ය කීමෙන් ගම්‍ය වන්නේ, මේ අසම්පූර්ණ මනුෂ්‍යයාට ඔහුගේ ම ශක්තියෙන් කරන්නට බැරි ව ගිය දේ කිරීමට උන් වහන්සේ ඔහු ව පාවිච්චි කළ බවයි. මෙහි දී යෙරෙමියා මෝඩ වී පුදුමයට පත් වූවාක් මෙන් පෙනෙන්නට තිබුණත් හොඳ අවසානයක් එහි දී උදා විණ. එනම් ඔහුට පීඩා කළවුන් ලජ්ජාවට පත් වීමත්, දෙවියන් වහන්සේගේ පණිවුඩය ප්‍රකාශ කරනු ලැබීමත් සිදු විය.—යෙරෙමියා 20:11.
එසේ නම් යෙරෙමියා 4:10 සහ 20:7හි අර්ථයේ පසුබිම සම්බන්ධ කර බැලූ විට, එය එලිහුගේ නිගමනයට එකඟ වන්නේ ය: “එසේය, සැබවින්ම දෙවියන්වහන්සේ දුෂ්ටකම් නොකරන සේක, සර්වපරාක්‍රමයාණන් යුක්තිය නොපෙරලන සේක.”—යෝබ් 34:12. w89 5/1