වැඩිමහල්ලෙනි ඔබේ විශ්වාසය ආරක්ෂා කර ගන්න
දෙවියන්වහන්සේ විසින් තමන්ගේම [පුත්‍රයාණන්ගේ NW] රුධිරයෙන් මිලේට ගත් තමන්ගේ සභාව පෝෂණයකරන්ට ශුද්ධාත්මයාණන්වහන්සේ යම් රැළෙක්හි නුඹලා නායකයන් කොට නියම කළ සේක්ද, ඒ මුළු රැළ ගැනත් නුඹලාම ගැනත් ප්‍රවේසම්වෙයල්ලා.”—ක්‍රියා 20:28
යෙහෝවඃ දෙවියන් වහන්සේ ස්වකීය භූමික සංවිධානයේ අයට මහඟු විශ්වාසයක් ප්රදානය කර ඇත. එහෙත් විශ්වාසයක් යනු කුමක් ද? එය වනාහී ගණන් දීමක් කළ යුතු වූ යම් පුද්ගලයෙකුට පවරා ඇති වටිනා යමක් වනු ඇත. ක්‍රිස්තියානි විශ්වාසයට “සාරවූ වචනවල ආදෘශය,” එනම්, ශුද්ධ වූ ලියවිල්ල තුළින් දැනුම් දී “විශ්වාසවූ නුවණ ඇති දාසයා” තුළින් “නියම වේලාවට කෑම” ලෙස බෙදා දෙන ලද සත්‍යය අයත් වනු ඇත. (2 තිමෝති 1:13, 14; මතෙව් 24:45-47) මෙම විශ්වාසයට සභාව ඇතුළත, පිටතත් දේශනා කළ යුතු වූ සත්‍ය හා බැඳි සේවයට අයත් වනු ඇත. (2 තිමෝති 4:1-5) ආත්මයෙන් ආලේප ලත් වැඩිමහල්ලන් ද ඇතුළු රාජ්‍ය ප්‍රචාරකයන්, මෙම විශ්වාසය උපරිම වටිනාකමින් යුක්ත වූ එකක් ලෙස සැලකිය යුතු ය.
2 ක්‍රිස්තියානි වැඩිමහල්ලන්ට තවත් අමතර විශ්වාසයක්—දෙවියන් වහන්සේගේ රැළ රැකබලා ගැනීමේ වගකීම—ඇත. මේ සම්බන්ධයෙන් ප්‍රේරිත පේතෘස් මෙසේ ලීවේ ය: “වැඩිමහල්ලෙක්ද ක්‍රිස්තුස්වහන්සේගේ දුක්විඳීමට සාක්ෂිකාරයෙක්ද එළිදරව්වෙන්ට තිබෙන තේජසට පංගුකාරයෙක්ද වන මම, නුඹලා අතරේ සිටින වැඩිමහල්ලන්ට අනුශාසනා කරමි. නුඹලා අතරෙහි සිටින දෙවියන්වහන්සේගේ රැළ බලාගනිමින්, බලාත්කාරය නිසා නොව දේව කැමැත්ත ලෙස සතුටු සිතින්ද නින්දිත ලාභය නිසා නොව මනාප සිතකින්ද, නුඹලාගේ භාරයට දෙනලද්දවුන් කෙරෙහි අධිපතිකම් කරන්නාක්මෙන් නොව නුඹලාම රැළට ආදර්ශව සිටිමින්ද එය රැකබලාගනිල්ලා. එවිට ප්‍රධාන එඬේරාණන් ප්රකාශවන කල්හි නුඹලා තේජසේ නොමැළවෙන්නාවූ ඔටුන්න ලබන්නහුය.”—1 පේතෘස් 5:1-4.
3 ක්‍රිස්තියානි වැඩිමහල්ලන් “සුළඟෙන් මුවාවෙන ඉඩමක් සහ කුණාටුවෙන් ආවරණයක් මෙන්ද වියලි ප්‍රදේශයක ජල ගංගා මෙන්ද විඩාවූ දේශයක මහ පර්වතයක සෙවණ මෙන්ද” සිටිය යුතුයි. (යෙසායා 32:1, 2) මෙය, වැඩිමහල්ලන්, දෙවියන් වහන්සේගේ බැටළු ගුණැති සේවකයන්ගේ රැළට සුරක්ෂිතභාවයේ, සාමයේ හා ස්ථායිතාවයේ උල්පත් විය යුතු යයි අදහස් කරයි. රැළේ වැඩිමහල්ලන් නොහොත් උපඑඬේරුන් කෙරෙහි ‘බොහෝ දේ භාරදෙන ලද’ බැවින්, ඔවුන්ගෙන් “වඩා ඉල්ලනු ලබන්නේය.” (ලූක් 12:48) එමෙන් ම ඔවුන්ට ඇත්ත වශයෙන් ම ආරක්ෂා කළ යුතු අනගි විශ්වාසයක් ඇත.
ඔබට පවරා ඇත්තේ මක්නිසා ද?
4 ලෝක ව්‍යාප්ත ව යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකාරයින්ගේ සභා 60,000කට වැඩියෙන් තිබීම, දෙවියන් වහන්සේගේ රැළ රැකබලා ගැනීම සඳහා ආත්මීක වශයෙන් සුදුසුකම් ලත් පුරුෂයින් දහස් සංඛ්‍යාවක් අවශ්‍ය කරවයි. සෑම රටක ම වැඩිමහල්ලන් බොහොමයක් සිටින අතර මෙය ප්‍රීතියට හේතුවකි. ලොව පුරා සෑම සභාවක ම ප්රචාරකයින් 60ක පමණ සාමාන්‍යයක් සිටිනු ඇත. එනිසා, වැඩිමහල්ලන්ට කිරීමට විශාල කාර්යභාරයක් ඇත.—1 කොරින්ති 15:58.
5 ඔබ වැඩිමහල්ලෙක් ව සිටින්නේ නම්, මෙම ආශිර්වාද ලත් වරප්‍රසාද ඔබට දෙනු ලැබුවේ මක්නිසා ද? ඊට හේතුව ඔබ යම් දේවල් කර තිබීමත්, ඔබට ආත්මීක සුදුසුකම් තිබීමත් ය. උදාහරණයක් වශයෙන්, ඔබ දේව වචනය සාවධාන ව ඉගෙන ගන්නට ඇත. (යෝෂුවා 1:7, 8) ඔබ අන්‍යයන්ට ද රාජ්‍ය ප්රචාරකයින් වීමට උපකාර කරමින් ක්ෂේත්‍ර සේවයේ ජ්වලිත ව සහභාගී වන්නට ඇත. ‘පළමුකොට සෝදිසි කරනු ලැබීමෙන්’ ඔබ ඇදහිලිවන්ත ලෙස උපස්ථායක සේවකයෙකු හැටියට සේවය කළේහි ය. අවේක්ෂකයෙකු වීම ‘යහපත් වැඩක්’ බව අගයමින්, ඔබ වැඩිමහල්ලෙක් වීම සඳහා ‘අත්කරගැනීමට වීර්යය කළා’, නොඑසේ නම් සුදුසුකම් ලැබීමට වෑයම් කළේ ය. (1 තිමෝති 3:1, 10) තිමෝති මෙන්, ඔබ “සහෝදරයන් අතරේ යහපත්යයි ප්රසිද්ධවූ කෙනෙක්” වූයෙහි ය. (ක්‍රියා 16:2) වැඩිමහල්ලෙක් ලෙස නිර්දේශ කරනු ලැබූ විට, ඔබ ඔබේ 20 ගණන්වල අවසානයේ හෝ ඊටත් වඩා වයසැති ව, ජීවිතයේ අත්දැකීම් ලැබ සිටියෙහි ය. ඔබ ආත්මීක ව මේරූ, ශුද්ධ ලියවිලිමය උපදෙස් බලපෑමෙන් යුක්ත ව දීමට හැකියාව ඇති එමෙන් ම රහස්‍යභාවය රැකිය හැකි, එළඹෙනු ලැබිය හැකි සහෝදරයෙකු ලෙස ගෞරව කරන්නට සභාව පටන් ගෙන ඇත.—හිතෝපදේශ 25:9, 10.
ඔබගේ විශ්වාසය ආරක්ෂා කර ගත හැකි ආකාරය
6 එසේ ය, ඔබ වැඩිමහල්ලෙක් නම්, ක්‍රිස්තියානි අවේක්ෂකත්වය ඔබට පිරිනමනු ලැබුවේ පිළිගත හැකි හේතූන් නිසා ය. ඔබට හැඟුන වරප්‍රසාද ලත් භාවය මොනතරම් ද! එහෙත් ඔබට ඔබගේ විශ්වාසය ආරක්ෂා කළ හැක්කේ කෙසේ ද?
7 වැඩිමහල්ලෙක් ලෙස ඔබේ විශ්වාසය ආරක්ෂා කළ හැකි එක් ක්‍රමයක් වනුයේ, ඔබේ යුතුකම්වලට සැලකිල්ල දැක්වීමෙහිලා ඒකාන්ත මෙන් ම කඩිසර වීම ය. අප සැමට ම යෙහෝවඃ වහන්සේගේ සංවිධානය තුළ විවිධ වගකීම්වලින් යුත් පැවරුම් ඇත. එනිසා ඔබේ පැවරුම් රක්ෂා කර ගනිමින් ‘ඔබ ව සැම අතරේ ඉතා ම කුඩා තැනැත්තා’ ලෙස හැසිරීමෙන් සෑහිමට පත් වන්න. (ලූක් 9:46-48; පො. න. අ. විනිශ්චයකාරයා 7:21 සසඳන්න.) ඔබේ වරප්‍රසාද ආදරයෙන් රැකබලා ගෙන කිසි විටෙක ‘අලස අතකින් ක්‍රියා’ නොකරන්න. (හිතෝපදේශ 10:4) එක තැන රැඳී නොසිට, යෙහෝවඃ වහන්සේගේ උපකාරය ඇති ව සේවයේ සියලු අංශයන්හි ම දියුණු වන්න. ඇත්ත වශයෙන් ම, පාවුල් විසින් තිමෝතිට දුන්නා වූ මෙම උපදේශය අනුගමනය කරන්න: “කියවීමෙහිද අවවාදකිරීමෙහිද ඉගැන්වීමෙහිද යෙදී සිටින්ට බලාගනින්න. වැඩිමහල්ලන්ගේ අත් තැබීම ඇතුව අනාගතවාක්‍යයෙන් නුඹට දෙනලද නුඹ තුළ තිබෙන දීමනාව ව්‍යවහාර නොකර නොසිටින්න. නුඹේ දියුණුවීම සියල්ලන්ට පෙනෙන පිණිස ඒ දේවල් කඩිසරලෙස භාවිතාකරමින් එහිම යෙදී සිටපන්න.”—1 තිමෝති 4:13-15.
8 ඔබ පුද්ගලීක පාඩම පිණිස හොඳ, ඵලදායී කාලසටහනක් දිගට ම පවත්වා ගන්නා බවට නිසැක වන්න. වැඩිමහල්ලෙක් හැටියට, ඔබ අර්ථවත් නිවැරදි ශුද්ධ ලියවිලිමය උපදෙස් දීම ඔබෙන් බලාපොරොත්තු වන යමකි. මෙම වගකීම සඳහා ඔබ ව සූදානම් කිරීමට ඔබ මුළු බයිබලය ම මෙනෙහි කිරීම සහිත ව, සමහරවිට කීප වතාවක්වත් කියවා තිබෙනවා ද? (හිතෝපදේශ 15:28) ඔබේ වේදිකා පැවරුම් පිළිබඳ ව කුමක් කිව හැකි ද? අපගේ රැස්වීම්වලට පැමිණ සිටින අයට ආත්මීක වශයෙන් පෝෂ්‍යදායී යමක් ඔබට බෙදා දිය හැකි වන ලෙසින්, යාච්ඤා පූර්වක ව යෙහෝවඃ වහන්සේගේ උපකාරය සොයමින්, ඒවාට හොඳින් සූදානම් වන්න. වැඩිමහල්ලන් විශේෂාකාරයෙන්, ‘අසන්නන්ට ප්‍රයෝජන ලැබෙන පිණිස ඕනෑකරන වර්ධනයවීම සඳහා යහපත් දෙය ම’ පැවසිය යුතු ය.—එපීස 4:29; රෝම 1:11.
9 වැඩිමහල්ලෙක් හැටියට, පාවුල්ගේ මෙම අවවාදයට අවනත වන්න: “වචනය දේශනා කරපන්න; කලටත් අකලටත් වැඩේ යෙදී සිටපන්න; සියලු ආකාර ඉවසිලිවන්තකමෙන් සහ ඉගැන්වීමෙන් තරවටුකර, අවවාදකර, අනුශාසනාකරපන්න.” (2 තිමෝති 4:2) සභාවේ සමහරෙක් ‘මෝඩ විවාදවල’ තමන් නිරත කරවමින් ද, ‘වචන ගැන තරඟ’ කරමින් ද, ‘සැබෑවට’ හිතකර ව ක්‍රියා නොකළ බැවින්, පාවුල් ධර්මභේදය ගැන සැලකිලිමත් විය. (2 තිමෝති 2:14-18, 23-25; 3:8-13; 4:3, 4) සභාව ගැටලු සහිත නොඑසේ නම් හිතකර කාල පරිච්ඡේදයකට මුහුණ දී තිබුණත් නැතත්, කෙසේ හෝ, තිමෝති “වචනය දේශනා” කළ යුතු විය. මෙය ධර්මභේදයට විරද්ධ ව සිටීමට හවුල් ඇදහිලිවන්තයින් ශක්තිමත් කරනු ඇත. සමානාකාරයෙන් අද දවසේ ද, වැඩිමහල්ලන් හෘදයට කිඳා බසින්නා වූ, යෙහෝවඃ වහන්සේගේ ප්‍රමිතිවලට අනුකූල වීමට දිරිගන්වන්නා වූ, දෙවියන් වහන්සේගේ කාවදින වචනය, නොහොත් පණිවුඩය දේශනා කළ යුතු ය.—හෙබ්‍රෙව් 4:12.
10 අධිකාරිත්වයක් සහිත ව කථා කිරීමට නම්, වැඩිමහල්ලෙක් දෙවියන් වහන්සේගේ වචනයට එකඟ ව ජීවත් විය යුතු ය. එහෙත් හෙතෙම සභාව තුළ වේදිකාව මත පමණක් ‘වචනය දේශනා කරන්නේ’ නම්, තමාගේ විශ්වාසය සහමුලින් ම රක්ෂා නොකරන්නේ ය. මේ සම්බන්ධයෙන්, පාවුල් තිමෝතිට මෙසේ උනන්දු කළේ ය: “ශුභාරංචිය ප්‍රකාශකරන්නෙකුගේ වැඩේ කරපන්න.” වැඩිමහල්ලෙක් ලෙසට ‘ඔබේ සේවය සම්පූර්ණ ව කිරීම’ සඳහා ඔබ දෙවියන් වහන්සේගේ වචනය “ප්‍රසිද්ධයෙන්ද ගෙයින් ගෙටද” දේශනා කළ යුතු ය. (2 තිමෝති 4:5; ක්‍රියා 20:20, 21) එනිසා, ක්ෂේත්‍ර සේවයේ ඔබේ පවුලේ සාමාජිකයන් සමඟ වැඩ කරන්න. මෙය ඔබ හා ඔබේ භාර්යාව අතර ආත්මීක බැඳියාවට දායක විය හැකි අතර, ඔබේ දරුවන්ට ද අතීශයින් ප්‍රයෝජනවත් විය හැකි ය. සභාවේ අනික් සාමාජිකයන් සමඟ දේශනා සේවයේ හවුල් වීමෙහි ද යම් කාලයක් ගත කරන්න. මෙය ආත්මීක බන්ධනය ශක්තිමත් කරන අතර සහෝදර ප්‍රේමය ද වැඩි කරයි. (යොහන් 13:34, 35) ඇත්ත වශයෙන් ම, වැඩිමහල්ලෙක් තමාගේ පවුල හා සභාව අතර වටිනා කාලය බෙදීමෙහි සමබර වීමට වෑයම් දැරිය යුතු ය. මෙහිලා ඔහු සියුම් නුවණ භාවිතා කරන විට එකක් නොසලකා ඊට පාඩු වන ලෙසින් අනිකට වැඩි කාලයක් කැප කිරීම ඔහු ව වළක්වනු ඇත.
11 වැඩිමහල්ලෙක් හැටියට ඔබගේ විශ්වාසය ආරක්ෂා කර ගැනීමටත්, ගුරුවරයෙක් ලෙස ඔබගේ කුසලතාවයන් වර්ධනය කර ගැනීමටත් වෙහෙසා වැඩ කරන්න. “උගන්වන්නා තමාගේ ඉගැන්වීමටත්, උපදේස දෙන්නා තමාගේ උපදේශ දීමටත් භාරවේවා,” යයි පාවුල් පැවසී ය. (රෝම 12:7, 8) ගුරුවරයෙක් අන්‍යයන් ඉදිරියේ උපදේශකයෙක් ලෙස සිටින බැවින්, ඔවුනට ඔහුගෙන් බොහොමයක් අපේක්ෂා කිරීමට අයිතිය ඇත. වැඩිමහල්ලෙක් ඔහුගේ ඉගැන්වීමෙහි බරපතළ ලෙස වැරදි කර මෙය සහකාර ඇදහිලිවන්තයන්ට ගැටලු ඇති කරන්නේ නම්, හෙතෙම දෙවියන් වහන්සේගෙන් විනිශ්චය කරනු ලැබිය යුත්තෙක් වන්නේ ය. එසේ ය, ගුරුවරු “වඩා බරපතළ විනිශ්චය” ලබන්නෝ ය. (යාකොබ් 3:1, 2; මතෙව් 12:36, 37) මෙසේ වැඩිමහල්ලන් දෙවියන් වහන්සේගේ වචනය බරපතළ ලෙස සලකන ශිෂ්‍යයන් විය යුතු අතර, එය ජීවිතයට අදාළ කර ගත යුතුයි. එවිට පුද්ගලීක අදාළ කර ගැනීමෙන් අනුබල ලබන, ඔවුන්ගේ ශුද්ධ ලියවිලිමය ඉගැන්වීම්, සහකාර ඇදහිලිවන්තයින් විසින් මහත් සේ අගය කරනු ලබනවා ඇත. එය ධර්මභේදය ඇතුළු ව සනීපදායී නොවන බලපෑම්වලින් සභාව ද ආරක්ෂා කරනු ඇත.
බොරුවලවල් මගහරින්න
12 බොරුවලවල් මගහැරීමෙන් ද වැඩිමහල්ලෙක් හැටියට ඔබේ විශ්වාසය ආරක්ෂා කරන්න. මින් එකක් වනුයේ ගුරුවරයෙක් හැටියට ඔබගේ දිව වැරදි ලෙස පාවිච්චි කිරීම ය. මෙහිලා ප්‍රවේසම් වීමේ අවශ්‍යතාව යෙහෝවඃ වහන්සේගේ සංවිධානය විසින් දීර්ඝ කලක සිට අවධාරණය කර ඇත. උදාහරණයක් හැටියට, 1897, මැයි 15 දිනැති කලාපයේ මෙම සඟරාව යාකොබ් 3:1-13 සාකච්ඡා කර, විශේෂාකාරයෙන් වැඩිමහල්ලන් සම්බන්ධයෙන් පැවසුවේ මෙසේ ය: “ඔවුන්ට කථාවෙහි දක්ෂ දිවක් ඇත්තේ නම්, එය ස්වාමීන් වහන්සේ, සත්‍යය මෙන් ම ධර්මිෂ්ඨකමේ මාවත වෙත විශාල සංඛ්‍යාවක් නම්ය කරවන්නා වූ, මහත් ආශිර්වාද සඳහා මාධ්‍යයක් වනු ඇත. එසේ නොවී, අනෙක් අතට, එය වැරදිවලින් දූෂිත විය හැකි නම්, එම දිව කිව නොහැකි තරම් හානියක්—ඇදහිල්ලට, සදාචාරයට, යහපත් ක්‍රියාවන්ට—කළ හැක. ඉගැන්වීමේ දීමනාව පාවිච්චි කරන්නා වූ කවරෙක් නමුත් තමා ව දෙවියන් වහන්සේ හා මනුෂ්‍යයින් ඉදිරියේ වැඩිමනත් වගකීම් සඳහා අනාවෘත කරන බව ඇත්ත වශයෙන් ම සැබෑවකි. . . . ආශිර්වාදය, සහනය හා ශක්තිය දරන, දිව්‍ය වචනය ගලන්නා වූ දිය උල්පතක් වන කවරෙක් නමුත් තමා අන්තරාවක්, යම් ශාපයක් ගෙන දිය හැකි—දෙවියන් වහන්සේට අගෞරවය කරමින් උන් වහන්සේගේ වචනය විකෘති කරන—තිත්ත වතුර මෙන් වූ, මිථ්‍යා ඉගැන්වීම්වල ජල ධාරා මාධ්‍යයක් නොවීමට වගබලා ගත යුතුයි. රැස්වීම් සඳහා මගපෙන්වන්නන් තෝරා ගැනීමේ දී, මෙහි දක්වා ඇති ලෙසින් ‘දිවේ’ සුදුසුකම් ගැන පරීක්ෂාකාරී විය යුතු ය. ගිනි අවුලන්නා වූ දිවක් තෝරා නොගත යුතුමුත් මෘදු වූ, විනීත වූ, ‘දෙවියන් වහන්සේ වෙනුවෙන් කථා කරන්නන් ලෙස කථා කිරීමට’ සිය දිව් දමනය කර ගනිමින් ප්‍රවේශමෙන් විඳදරා ගන්නා වූ අය තෝරා ගත යුතු ය.” වැඩිමහල්ලෙක් සිය දිව නිවැරදි ව පාවිච්චි කිරීම කොතරම් වැදගත් ද!
13 සීමාව ඉක්මවා විනෝදාංශවල නිරත වීම ද වැළැක්විය යුතු තවත් බොරුවලකි. විනෝදාංශ ක්‍රිස්තියානියෙකු ව ප්‍රබෝධවත් කර වර්ධනය කළ යුතුවා මිස වෙහෙසට පත් කර වෙනතකට යොමු නොකළ යුතු ය. මීට අමතර ව, අවේක්ෂකයන් “පමණ දැන හැසිරෙන්නාවූ” අය විය යුතු ය. (1 තිමෝති 3:2) පමණ දැන හැසිරීම ඔබ විනෝදය වෙනුවෙන් කරන දෙය පාලනය කරනුයේ නම්, මෙය ඔබත්, ඔබේ පවුලත් ආරක්ෂා කරනු ඇති අතර සභාවට ද අනගි ආදර්ශයක් සපයනු ඇත. ඔබේ සහකාර ඇදහිලිවන්තයින් කඩිසර ව ක්ෂේත්‍ර සේවයේ නිරත වන අතර ඔබ නැවත නැවතත් විනෝදාත්මක අරමුණු සඳහා සති අන්තවල ඉවත් ව යන්නේ නම් ඔබ එතරම් හොඳ ආදර්ශයක් නොතබනු ඇත. ශුභාරංචිය දේශනා කරනු ලැබිය යුතු අතර වැඩිමහල්ලෝ උද්යෝගිමත් රාජ්‍ය ප්‍රකාශකයන් ලෙස පෙරමුණ ගත යුතුයි.—මාර්ක් 13:10; තීතස් 2:14.
14 ලිංගික දුරාචාරය, වැළැක්විය යුතු තවත් බොරුවලකි. දෙවියන් වහන්සේගේ ජනයාගේ අඛණ්ඩතාවය කැඩීමට වූ සිය වෑයමෙහි සාතන් විසින් පාවිච්චි කරනු ලබන පරීක්ෂාවන් හෙතෙම මර්ධනය නොකරනුයේ නම් ලෝකයේ සදාචාර බිඳවැටීම, වැඩිමහල්ලෙකුට පවා බලපෑම් කළ හැකි ය. (මතෙව් 4:1-11; 6:9, 13 සසඳන්න) ඉශ්රායෙල්වරුන්ට ශාප කිරීමෙහි අසාර්ථක වූ දිවැස්වර බාලාම්, ලිංග නමස්කාරයෙහි නිරත වීමට ඔවුන් ව කැමති කරවා ගත හැක්කේ නම් යෙහෝවඃ වහන්සේ ම ඔවුන්ට ශාප කරනු ඇතැයි කල්පනා කළ බව මතකයට නගන්න. මෙනිසා බාලාම් මොවබ්වරුන්ගේ රජ වූ බාලාක්ට “දේවතා රූපවලට පිදූ දේ කන්ටත් වේශ්‍යාකම්කරන්ටත් ඉශ්රායෙල් පුත්‍රයන් ඉදිරියෙහි බාධාවක්” තැබීමටත් ඉගැන්වී ය. ඔවුන් එම බොරුවල මගහැරියෝ ද? නැත, ඔවුන් මොවබ් ස්ත්‍රීන් සමඟ දුරාචාර සම්බන්ධකම් පවත්වා ඔවුන්ගේ දෙවිවරුන්ට නමස්කාර කළ බැවින්, ඉශ්රායෙල්වරු 24,000ක් යෙහෝවඃ වහන්සේගෙන් වූ මහත් ශාපයකින් මිය ගියහ. (එළිදරව් 2:14; ගණන්කථාව 25:1-9) ‘දෙවියන් වහන්සේගේ සිතට එකඟ වූ මනුෂ්‍යයෙක්’ වූ දාවිත් පවා, ලිංගික දුරාචාරයේ බොරුවලකට වැටුනු බව මතක තබා ගන්න. (1 සාමුවෙල් 13:14; 2 සාමුවෙල් 11:2-4) එසේ නම්, වැඩිමහල්ලෙක් හැටියට, කිසි විටෙක තනි ව ම ආත්මීක සහෝදරියකට සහය නොවීමටත්, මෙම වගකීම පිළිබඳ ව සැලකිලිමත් වීමේ දී තවත් වැඩිමහල්ලෙකු එතැන තබා ගැනීමටත් වූ “නුවණ ඇති ගබඩාකාරයාගේ” නැවත නැවත ගෙන හැර පාන්නා වූ අවවාදයට අනුකුල වන්න.—ලූක් 12:42.
15 ද්‍රව්‍යවාදය වැඩිමහල්ලන්ට මගහැරීමට තවත් බොරුවලකි. යෙහෝවඃ වහන්සේ අවශ්‍ය තරම් සැපයුම් කරන බව දැන මූලික අවශ්‍යතා සමඟින් සතුටුවන්න. (මතෙව් 6:25-33; හෙබ්‍රෙව් 13:5) නාස්ති කිරීම, පවුලේ අයට උපකාර කිරීමට මෙන් ම ක්ෂේත්‍ර සේවයේ නියැලීමටත්, සභාව ශක්තිමත් කිරීමටත්, රාජ්‍ය සැලකිල්ලට අනුබල දීමටත්, පාවිච්චි කළ හැකි වන්නා වූ කාලයේ හා සම්පත්වල සොරෙකු වන බැවින්, පිරිමැසුම්දායක වීමට ඔබේ පවුලේ අයට පුහුණු කරන්න. මේ සම්බන්ධයෙන් ඔහුගේ පවුලේ සහයෝගයෙන් වැඩිමහල්ලෙක් ප්‍රයෝජන ලබන අතර සැබවින් ම අවශ්‍ය නොවන්නා වූ දෑ වෙනුවෙන් ඔවුන් ඔහුට බල නොකිරීම පිළිබඳ ව කෘතඥ වනු ඇත. ඇත්ත වශයෙන් ම, “කරදර ඇතුව බොහෝ වස්තු ඇති වීමට වඩා ස්වාමීන්වහන්සේ [යෙහෝවඃ NW] කෙරෙහි භයවීම ඇතුව ස්වල්පයක් හොඳය.”—හිතෝපදේශ 15:16.
“නුඹලා ගැන ප්රවේසම්වෙයන්න”
16 වැඩිමහල්ලන් සිය විශ්වාසය ආරක්ෂා කර ගන්නට යන්නෝ නම්, ඔවුන් එපීසයේ සිටි අවේක්ෂකයන්ට වූ පාවුල්ගේ උපදේශය අදාළ කර ගත යුතුයි. ඔහු ඔවුන්ට මෙසේ පැවසුවේ ය: “දෙවියන්වහන්සේ විසින් තමන්ගේම [පුත්‍රයාණන්ගේ NW] රුධිරයෙන් මිලේට ගත් තමන්ගේ සභාව පෝෂණයකරන්ට ශුද්ධාත්මයාණන්වහන්සේ යම් රැළෙක්හි නුඹලා නායකයන් කොට නියමකළ සේක්ද, ඒ මුළු රැළ ගැනත් නුඹලාම ගැනත් ප්‍රවේසම්වෙයල්ලා. මාගේ පිටත්ව යාමෙන් පසු රැළට අනුකම්පා නොකරන රෞද්‍රවූ වෘකයන් නුඹලා අතරට පැමිණෙන බව දනිමි; නුඹලා අතරෙන්ම මනුෂ්‍යයන් නැගිට, තමුන් පස්සේ යන්ට ගෝලයන් ඇදගන්නා පිණිස කාරණා පෙරළා කථාකරනවා ඇත. එබැවින් මා තුන් අවුරුද්දක් මුළුල්ලෙහි රෑ දාවල් දෙකේ කඳුළුවලින් යුක්තව සියල්ලන්ට නිරතුරු අවවාද දුන් බව සිහිකොට, අවදිව සිටපල්ලා.”—ක්‍රියා 20:28-31.
17 දැනට වසර 80 කට පෙරාතුව, ද වොච් ටවර් (1909 මාර්තු 1) සහකාර වැඩිමහල්ලන්ට වූ පාවුල්ගේ කලින් සඳහන් කළ උපදේශය උපුටා දක්වමින් මෙසේ පැවසුවේ ය: “සෑම තැන ම සිටින වැඩිමහල්ලන් විශේෂ අනුකූලතාවයක් දැක්විය යුතු ය; මන්දයත් සෑම පරීක්ෂාවක දී ම වැඩියෙන් ප්‍රසාදයට ලක්වන එමෙන් ම වැඩියෙන් ප්‍රසිද්ධ අය ප්‍රභලත ම පසුබෑම් හා පරීක්ෂාවන්ට මුහුණ දෙති. එනිසා යාකොබ් මෙසේ අනුශාසනා කළේ ය: ‘බොහෝ දෙනෙක් ගුරුවරු වෙන්ට නොසොයල්ලා, මක්නිසාද බොහෝ වර අපි සියල්ලෝ පැකිලෙමුව.’ අප සමානාකාරයෙන්, හෘදයෙන් පවිත්‍ර, පරාර්ථකාමී වැඩිමහල්ලන්ට අනුශාසනා කරනුයේ, ඔවුන්ට අන් යමක් නොව, සියලු මනුෂ්‍ය වර්ගයා කෙරෙහි ප්‍රේමය හා ශුභ ප්‍රාර්ථනා ඇති ව සිටින ලෙසත්, රැළ ගැනත් අවධානය යොමු කරමින් වැඩි වැඩියෙන් ශුද්ධාත්මයේ ඵල හා අනුග්‍රහයෙන් පූර්ණ ව සිටින ලෙසත් ය. රැළ ස්වාමීන් වහන්සේගේ බවත්, ඔබට, ස්වාමීන් වහන්සේට මෙන් ම ඔවුන්ට ද වගකීමක් ඇති බවත් මතක තබා ගන්න. ඔබ ශ්‍රේෂ්ඨ වූ ප්‍රධාන එඬේරාණන්ට ගණන් දිය යුතු ලෙසින් ඔවුන්ගේ ආත්ම (ආත්මික ආශාවන්) රැකබලා ගත යුතු බවත් මතක තබා ගන්න. සැමෙකක දී ම, මූලික දෙය ප්‍රේමය බව මතක තබා ගන්න; එමෙන් ම ධර්මය නොසලකා නොහරින අතර, ස්වාමීන් වහන්සේගේ ආත්මය උන් වහන්සේගේ ශරීරයේ විවිධ සාමාජිකයන් අතර වර්ධනය වීම පිළිබඳ ව විශේෂිත අවධානය යොමු කරන්න. එසේ ඔවුන් ‘ආලෝකයේ සිටින ශුද්ධවන්තයන්ගේ උරුමයෙන් කොටසකට සුදුස්සන්’ වීමට, දිව්‍ය කැමැත්තට අනුව මෙම දුෂ්ට දවසෙහි පැකිලීමෙන් වැළකී සියල්ල කිරීමෙන් පසු, ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය, සිය සාමාජිකයන්, සිය හවුල් ජීවිත පරිත්‍යාගිකයින්, සහ සිය හවුල් උරුමක්කාරයන් උන් වහන්සේ තුළ සම්පූර්ණ ව සිටින පිණිස එසේ ම කළ යුතු ය.”
18 එම වදන් ඒ මුල් කාලයේ යෙහෝවඃ වහන්සේගේ සංවිධානයේ අවබෝධය හා තත්ත්වයන් එල්ලේ ආත්මයෙන් ආලේප ලත් වැඩිමහල්ලන්ට මෙන් ම සහකාර ඇදහිලිවන්තයින්ට යොමු කරනු ලැබී ය. එහෙත්, එම උපදේශය අද දින කොතරම් හොඳින් අදාළ වේ ද! තමන්ගේ බලාපොරොත්තුව ස්වර්ගීක හෝ භූමික වුවත්, ක්‍රිස්තියානි වැඩිමහල්ලන් තමන් කෙරෙහි අවධානය යොමු කරමින්, සිය විශ්වාසය ආරක්ෂා කර ගත යුතු අතර දෙවියන් වහන්සේගේ රැළේ අභිවෘද්ධිය පිණිස ප්‍රේමනීය ව සැලකිලිමත් විය යුතු ය.
ඔබේ විශ්වාසය ආරක්ෂා කිරීමෙන් ප්‍රීතිය ඇතිවේ
19 සන්තෝෂය—ඇත්ත වශයෙන්, හෘදයාංගම ප්‍රීතිය—ක්‍රිස්තියානි වැඩිමහල්ලෙක් හැටියට ඔබගේ විශ්වාසය ආරක්ෂා කිරීමෙන් හටගන්නේ ය. බරපතළ වගකීමක් හොඳින් ඉටු කිරීමෙන් සතුටක් ඇති වනු ඇත. එනිසා පරීක්ෂාකාරී, යාච්ඤා පූර්වක හා කඩිසර වන්න. වැඩිමහල්ලෙක් ලෙස ඔබේ විශ්වාසය ආරක්ෂා කර ගනිමින්, හණ වස්ත්‍ර හැඳගෙන තමාගේ පැත්තක එල්ලෙන තීන්ත කූඩුවක් ඇති ව සිටි මනුෂ්‍යා කළාක් මෙන්: “ඔබවහන්සේ අණකළ ලෙස කෙළෙමි,” යයි ඔබට කිව හැකි කාලය දෙස බලා සිටින්න.—එසකියෙල් 9:3, 4, 11.
20 එසේ ය, නෝවා සම්බන්ධයෙන්: “දෙවියන්වහන්සේ ඔහුට අණකළ සියල්ල ලෙස ඔහු කෙළේය” යයි කියැවුනු ලෙසින්, ඔබ සම්බන්ධයෙන් ද කිව හැකි වනු පිණිස වැඩිමහල්ලෙකු හැටියට පක්ෂපාතී ව වැඩ කරන්න. (උත්පත්ති 6:22) මෙවන් කඩිසර සේවයකින්, සභාව ආකාර බොහොමයකින් ප්‍රයෝජනය ලබනු ඇත. සියල්ලට වඩා, සිය විශ්වාසය ආරක්ෂා කරන්නා වූ ඇදහිලිවන්ත වැඩිමහල්ලන්ගෙන් සේවය ලබන ශක්තිමත්, ක්‍රියාකාරී සභාවන්ගෙන් යෙහෝවඃ වහන්සේ ගෞරවය ලබන සේක. එහෙත් විපාකයක් වශයෙන් ඔබට: “ඉතා හොඳය, යහපත්වූ දාසය” යයි කියන්නට නම්, වැඩියමක් අවශ්‍ය කරන්නේ ය. (ලූක් 19:17) වැඩිමහල්ලෙක් හැටියට, ඔබ මුදුමොළොක් භාවයෙන් යුක්ත ව දෙවියන් වහන්සේගේ රැළට සැලකිය යුතු ය. w89 9⁄15
ඔබ පවසනු ඇත්තේ කුමක් ද?
▫ ක්‍රිස්තියානි වැඩිමහල්ලන් හට කිනම් අමතර විශ්වාසයක් ඇත් ද?
▫ වැඩිමහල්ලෙක් සිය විශ්වාසය ආරක්ෂා කර ගැනීමට කිනම් ඒකාන්ත පියවර ගත හැකි ද?
▫ සිය විශ්වාසය ආරක්ෂා කර ගැනීමට, වැඩිමහල්ලෙක් කිනම් බොරු වලවල් මගහැරිය යුතු ද?
▫ වැඩිමහල්ලන් සිය විශ්වාසය ආරක්ෂා කර ගන්නා විට, ප්‍රීතිය හටගන්නේ මක්නිසා ද?
[පාඩම සඳහා ප්‍රශ්න]
1. ක්‍රිස්තියානි විශ්වාසයට කුමක් ඇතුළත් වේ ද?
2. වැඩිමහල්ලන්ට තවත් කිනම් අමතර විශ්වාසයක් ඇත් ද එමෙන් ම පේතෘස් මේ සම්බන්ධයෙන් කුමක් පැවසී ද?
3. ක්‍රිස්තියානි වැඩිමහල්ලන් කුමක උල්පතක් විය යුත්තෝ ද?
4. මෙතරම් මහත් වැඩිමහල්ලන් සංඛ්‍යාවක් අවශ්‍ය කරවනුයේ මක්නිසා ද?
5. පුද්ගලයෙකුට වැඩිමහල්ලෙකු ලෙස සේවය කිරීමේ වරප්‍රසාදය පිරිනැමෙනුයේ කිනම් පදනමක් මත ද?
6, 7. පළමුවෙනි තිමෝති 4:13-15, වැඩිමහල්ලෙකු ලෙස සිය විශ්වාසය ආරක්ෂා කිරීම පිණිස මනුෂ්‍යයෙකුට උපකාර කිරීමට කිනම් උපදේශයක් පිරිනමයි ද?
8. වැඩිමහල්ලෙකුට අර්ථවත් නිවැරදි උපදෙස් දීමටත්, රැස්වීම්වල දී ආත්මීක වශයෙන් ඵලදායී යමක් බෙදා දීමටත් උපකාර කරනුයේ කුමක් ද?
9. දෙවෙනි තිමෝති 4:2 අනුව වැඩිමහල්ලෙක් කළ යුත්තේ කුමක් ද?
10. වැඩිමහල්ලෙක් සිය පවුලේ මෙන් ම අනෙක් සාමාජිකයන් සමඟ ක්ෂේත්‍ර සේවයේ නිරතුරු ව වැඩ කළ යුත්තේ මක්නිසා ද?
11. වැඩිමහල්ලෙක් ගුරුවරයෙක් ලෙසට වූ සිය කුසලතාවය දියුණු කිරීමට වෙහෙසා වැඩ කළ යුත්තේ මක්නිසා ද?
12. මෙම සඟරාවේ වරක් පළ කරන ලද කිනම් උපදේශය, දිව වැරදි ලෙස පාවිච්චි කිරීම වැළැක්වීමට වැඩිමහල්ලෙකුට උපකාර කරයි ද?
13. වැඩිමහල්ලෝ විනෝදය පිළිබඳ කිනම් දැනමිතිකම් පැවැත්විය යුත්තෝ ද?
14. (අ) ලිංගික දුරාචාරයට එරෙහි ව වැඩිමහල්ලෝ ආරක්ෂා වීමට ඇති අවශ්‍යතාව කිනම් ශුද්ධලියවිලිමය ආදර්ශයන් හුවා දක්වයි ද? (ආ) වැඩිමහල්ලන් ආත්මීක සහෝදරියන්ට සහය වීම පිළිබඳ කිනම් නැවත නැවත කී අවවාද නොසලකා හැරිය යුතු නොවන්නෝ ද?
15. වැඩිමහල්ලෙකුගේ පවුලේ අය ඔහුට ද්‍රව්‍යවාදයේ බොරුවලට වැටීමෙන් වැළකීමට උපකාර කළ හැක්කේ කෙසේ ද?
16. පාවුල් එපීසයේ වැඩිමහල්ලන්ට දුන්නේ කිනම් උපදේශය ද?
17, 18. දැනට වසර 80 කට පමණ ඉහත දී මෙම සඟරාවේ ප්රකාශනය කරන ලද කිනම් උපදේශයක් තවමත් ක්‍රිස්තියානි වැඩිමහල්ලන්ට අදාළ වේ ද?
19, 20. වැඩිමහල්ලන් සිය විශ්වාසය ආරක්ෂා කර ගන්නා විට, ප්‍රීතිය විපාක වන බව පැවසිය හැක්කේ මක්නිසා ද?
[25 පිටුවෙහි ඇති කොටුව]
ක්‍රිස්තියානි වැඩිමහල්ලන් “කුණාටුවෙන් ආවරණයක් මෙන්” සිටිය යුතු ය.
[27 පිටුවෙහි ඇති කොටුව]
වැඩිමහල්ලෙක් හැටියට ඔබගේ පවුලේ සාමාජිකයින් සමඟත් වෙනත් අය සමඟත් නිරතුරු ව ක්ෂේත්‍ර සේවයේ හවුල් වන්න.
[28 පිටුවෙහි ඇති කොටුව]
වැඩිමහල්ලෙක් හැටියට ඔබ ඔබේ විශ්වාසය ආරක්ෂා කරන්නෙහි නම්, සභාව ආකාර බොහොමයකින් ප්‍රයෝජනය ලබනු ඇත