2වෙනි කොටස
විශ්වාසය බිඳෙන්න දෙන්න එපා
“දෙවි ඔවුන්ව එලෙස එක් කළ නිසා කිසි මිනිසෙක් ඔවුන්ව වෙන් නොකළ යුතුයි.”—මාක් 10:9
පක්ෂපාත, විශ්වාසවන්ත අයව යෙහෝවා දෙවියන් හුඟක් අගය කරනවා. (ගීතාවලිය 31:23) විශේෂයෙන්ම විවාහ වුණු දෙන්නෙක් එකිනෙකාට විශ්වාසවන්තව ඉන්න එක දෙවියන් බලාපොරොත්තු වෙනවා. එහෙම ඉන්නවා නම් ඒ දෙන්නා අතරේ තියෙන ආදරේ, බැඳීම තවත් වැඩි වෙනවා.
තමන්ගේ සැමියාට, බිරිඳට ද්‍රෝහි වෙන නිසා අද හුඟක් විවාහයන් බිඳ වැටිලා. එහෙම නොවී ඔයාගේ විවාහය ආරක්ෂා කරගන්න නම් කරන්න ඕනෙ දේවල් 2ක් තියෙනවා.
1 දෙන්නාගේ බැඳීමට මුල් තැනක් දෙන්න
බයිබලයේ මෙහෙම කියනවා: “වඩා වැදගත් දේවල් මොනවාද කියා පැහැදිලිව අවබෝධ කරගන්න.” (ෆිලිප්පි 1:10) ඔය දෙන්නාගේ බැඳීම ජීවිතේ වටිනාම දේවලින් එකක් කියලා මතක තියාගන්න. ඒ බැඳීමට වැදගත් තැනක් දෙන එක අත්‍යවශ්‍යයි.
යෙහෝවා දෙවිත් කැමති ඔයා ඔයාගේ සැමියා, බිරිඳ එක්ක ‘සතුටින් කල් ගෙවනවටයි.’ (දේශනාකාරයා 9:9) එයා ගැන හිතන්නේ නැතුව ඔයා ගැන විතරක් හිතලා වැඩ කරනවට දෙවියන් කැමති නැහැ. දෙවිට ඕනෙ ඔය දෙන්නා එකිනෙකාව සතුටින් තියෙනවා දකින්නයි. (1 කොරින්ති 10:24) එයා ඔයාගේ ජීවිතේ කොටසක් කියලත් එයාව හුඟක් අගය කරනවා කියලත් දැනෙන්න සලස්වන්න.
මෙහෙම කරලා බලන්න:
නිතරම වගේ එයාත් එක්ක කාලය ගත කරන්න. එහෙම ඉද්දී අනිත් දේවලට වඩා එයාට වැඩි අවධානයක් දෙන්න
හැම වෙලාවෙම “මම” වෙනුවට “අපි දෙන්නා” කියලා හිතන්න
2 හිත වෙනතකට යන්න දෙන්න එපා
බයිබලයේ මෙහෙම කියනවා: “කාමාශාවකින් ස්ත්‍රියක් දෙස දිගින් දිගටම බලමින් සිටින සෑම කෙනෙකුම ඒ වන විටත් සිතින් ඇය සමඟ අනාචාරයේ හැසිරී ඇත.” (මතෙව් 5:28) කෙනෙක් කාමුක දේවල් ගැන නිතරම වගේ හිතන එකත් එයාගේ බිරිඳට, සැමියාට කරන ද්‍රෝහිකමක්.
යෙහෝවා දෙවියන් කියන්නේ “ඔබේ සිත ආරක්ෂා කරගන්න” කියලයි. (හිතෝපදේශ 4:23; යෙරෙමියා 17:9) ඒක කරන්න නම් ඔයා බලන, දකින දේවල් ගැන පරෙස්සම් වෙන්න ඕනේ. (මතෙව් 5:29, 30) යෝබ් වගේ වෙන්න. තමන්ගේ බිරිඳ හැර වෙන ස්ත්‍රියක් දිහා වැරදි චේතනාවෙන් නොබලා ඉන්න ඔහු තුළ ලොකු අධිෂ්ඨානයක් තිබුණා. (යෝබ් 31:1) කාමුක දර්ශන නොබලා ඉන්න අදිටන් කරගන්න. ඒ වගේම වෙන කෙනෙක්ට ඔයාගේ හිත ඇදිලා යන්න කවදාවත් ඉඩ දෙන්න එපා.
මෙහෙම කරලා බලන්න:
එයා ගැන මිසක් වෙන කිසිම කෙනෙක්ට ඔයාගේ හිතේ ඉඩක් නැහැ කියලා අනිත් අයට පැහැදිලිව පෙන්නන්න
ඔයා කවුරු හරි කෙනෙක්ව ළඟින් ආශ්‍රය කරනවට එයා කැමති නැත්නම් ඒ ආශ්‍රය නවත්වන්න