සිංගප්පූරුව ආසියාවේ පලුදු වූ මැණික
ඩාං! අනතුරක පෙර නිමිත්තක් අඟවමින් අවුරුදු 71ක් වයස බෙලහීන ක්‍රිස්තියානි ස්ත්‍රියකව සිංගප්පූරුවේ චැන්ජී කාන්තා සිර ගෙදරට දමා, එහි විශාල යකඩ දොරවල් හයියෙන් වැසුවා. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගෙන් කෙනෙක් වන ඈ මෙසේ පවසමින් තමාගේ ස්ථාවරය මුලසුන හොබවන විනිසුරුට පැහැදිලි කර දෙන්න උත්සාහ කළා: “මම මේ ආණ්ඩුවට කොහොමටවත් තර්ජනයක් වෙන කෙනෙක් නෙමෙයි.”
දඩාං! තවත් ක්‍රිස්තියානියෙක් වන 72 හැවිරිදි ආච්චි කෙනෙක්ව ඒ එක්කම සිරගත කළා. ඈ කළ වරද? ශුද්ධ බයිබලයේ ඇගේ පෞද්ගලික පිටපත ඇතුළු, වොච් ටවර් සමිතියේ බයිබල් ප්‍රකාශන හතරක් ළඟ තබාගැනීමයි.
සමස්තයක් හැටියට, සිංගප්පූරු වැසියන් 64දෙනෙකුව එනම් අවුරුදු 16 සිට 72 දක්වා වයසැති අයව අත්අඩංගුවට ගෙන වරදකරුවන් හැටියට ප්‍රකාශ කළා. හතළිස්හත්දෙනෙක් ප්‍රතිපත්තියක් හැටියට දඩ මුදල් ගෙවීම ප්‍රතික්ෂේප කළ අතර, සතියක සිට සති හතරක කාලයක් දක්වා එකිනෙකට වෙනස් කාලපරිච්ඡේදයන් සඳහා ඔවුන්ව සිරගත කළා. ජීවත් වීම සඳහා මුළු ලෝකයේම හොඳම තැන්වලින් එකක් හැටියට විස්තර කරන නගර රාජ්‍යයක මේ වගේ දෙයක් වෙන්නේ කොහොමද? එහි ආර්ථික ස්ථාවරත්වය, අතිවිශාල වර්ධනය සහ නවීන ගොඩනැඟිලි මෙන්ම ආගමික සහනය පවතිනවායයි කියා සිටීම යනාදි දේවල් සම්බන්ධව ලොව පුරා ප්රකටව තිබෙන නගර රාජ්‍යයක මේ වගේ දෙයක් වෙන්නේ කොහොමද?
නවීන දින නගර රාජ්‍යයක්
මුලින්ම එහි ඉතිහාසයෙන් බිඳක්. සිංගප්පූරුවේ නවීන දින ඉතිහාසයේ ආරම්භය සිදු වූයේ, 1819දී බ්‍රිතාන්‍යයේ ශ්‍රීමත් තෝමස් ස්ටැම්ෆඩ් රාෆල්ස්ගේ පැමිණීමත් සමඟයි. නැඟෙනහිර ඉන්දියානු සමාගමේ නියෝජිතයෙකු වන රාෆල්ස්, නැඟෙනහිර ලෝකයේ ව්‍යාපාර කටයුතු මෙහෙය වීමේ මධ්‍යස්ථානයක් සොයමින් සිටියා. සිංගප්පූරුව ගැන කල්පනා කර බලන්න ඔහු තීරණය කළා. අද දවස දක්වා නැඟෙනහිර ආසියාවේ දියුණුවට මහත් බලපෑමක් සිදු කර තියෙන වෙළඳ මධ්‍යස්ථානයක් මෙසේ ආරම්භ වුණා.
නිදහස ලබාගන්න කලින් සිංගප්පූරුව ගැන කතා කරන විට එය විස්තර කළේ, අපිරිසිදු නගරයක් හැටියටයි. සිංගප්පූරුව අපිරිසිදු නගරයක් කියා අද කිසි කෙනෙක් කියන්නේ නැහැ. එහි විරුද්ධ දෙය සත්‍යයක් වෙනවා. පසුගිය අවුරුදු 30 පුරා, පැරණි ගොඩනැඟිලිවල ඉදිරිපස ඒ විදිහටම තබාගැනීමෙන් හෝ ඓතිහාසික ගොඩනැඟිලි මුළුමනින්ම නවීන ගොඩනැඟිලි බවට පත් කිරීමෙන් හෝ පරණ නගරවල රැකගත හැකි තැන් එසේම තබාගැනීමෙන්, මුළු නගරයම වගේ නැවත ගොඩනඟා තිබෙනවා. බොහෝවිට, වරායේ එකවර නැව් 800ක් නවතා තබාගත හැකි, නැඟෙනහිර සාගරයේ නාවික ගමන් මාර්ගවල සන්ධිස්ථානයක් බවට සිංගප්පූරුව පත් වී තියෙනවා. එහි තිබෙන නවීන උසස් තාක්ෂණික උපකරණ මගින් විශාල කන්ටේනර් නැවක, කන්ටේනර් බෑම හා නැවත පැටවීම සුළු වේලාවකින් කළ හැකියි. ඉල්ලුම හා සැපයුම අනුව තීරණය කෙරෙන නගරයේ මූල්‍ය මධ්‍යස්ථානයේ ගොඩනැඟිල්ලක වර්ග මීටරයක මිල රුපියල් 34,20,000ක් පමණ වෙනවා.
ආසන්න වශයෙන් 34,00,000ක් වන ජනගහනය, චීන, ජා, ඉන්දියානු, යුරෝපීය සහ වෙනත් ජාතිකයන්ගෙන් සමන්විත වෙනවා. ඔවුන් කතා කරන භාෂා අතර චීන, මැලේ, දෙමළ සහ ඉංග්‍රීසි තිබෙනවා.
කිලෝමීටර් 83ක දුරකින් යුත් පොළොව මතුපිට හා පොළොව යට ඇති කඩිනම් ප්‍රවාහණ සේවාව මගින්, ලෝකයේ තිබෙන කාර්යක්ෂම ප්‍රවාහණ පද්ධතිවලින් එකක් සිංගප්පූරුවට හිමි වෙනවා. නවීන ඉදි කිරීම් අතර තිබෙන විශාල භූ දර්ශන සමඟින් කොළ පැහැති උද්‍යාන විශාල ලෙස නගරය පුරා විසිරී තිබෙනවා. පළමු වතාවට පැමිණෙන සංචාරකයෙකුගේ “සිත් ඇදගන්නා” දෙයක් නම්, නවීන අංගෝපාංග එක් කර සිත්ගන්නා පෙනුමක් දී තිබෙන රෆල්ස් හෝටලයයි. එය මුලින්ම ගොඩනඟා තිබෙන්නේ 1889දී නිසා, දැන් ජාතික සිහිවටනයක් ලෙස නම් කර තියෙනවා. ඊළඟට සිත්ගන්නා දෙය වන්නේ, හෙක්ටාර 52කින් යුත් උද්භිද හා උද්‍යාන විද්‍යා මධ්‍යස්ථානයි; සංරක්ෂිත වනාන්තරයක් හැටියට එහි වෙන් කර තියෙන හෙක්ටාර හතරේ එක් අවස්ථාවකදී ව්‍යාඝ්‍රයන් නිදැල්ලේ හැසිරෙමින් සිටියා.
ආගමික නිදහස සහතික කෙරේ
එහි අසමසම ආර්ථික වර්ධනයට අනුපූරකයක් හැටියට, සිංගප්පූරුව එහි සියලුම වැසියන්ට ආගමික නිදහස සපයන්න පොරොන්දු වෙනවා. කනගාටුදායක දෙයක් නම්, සිංගප්පූරුව දී තිබෙන පොරොන්දුව කඩ කිරීමයි. විශේෂයෙන්ම, යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ සභාව සමඟ ඇසුරු කරන අය සම්බන්ධයෙන් මෙය සැබෑවක් වෙනවා.
සිංගප්පූරු ජනරජයේ ව්‍යවස්ථාවේ 15(1)වන වගන්තිය මගින් නමස්කාර කිරීමේ නිදහස පිළිබඳ මූලික සහතික කිරීම මෙසේ ඉදිරිපත් කෙරෙනවා: “සෑම කෙනෙකුටම තමන්ගේ ආගම අදහන්නත් එය ප්‍රසිද්ධියේ ප්‍රචාරය කරන්නත් අයිතිය තියෙනවා.”
එරට ව්‍යවස්ථාවේ 15(3)වන වගන්තියේ මෙසේ සහතික කෙරෙනවා: “සෑම ආගමික කණ්ඩායමකටම අයිතිය තියෙනවා—
(අ) එහි ආගමික කටයුතු පවත්වාගෙන යෑමට;
(ආ) ආගමික හා පුණ්‍ය කටයුතු ක්‍රියාත්මක කිරීමේ අරමුණින් ආයතන පිහිටුවීමට හා ඒවා පවත්වාගෙන යෑමට සහ
(ඇ) ව්‍යවස්ථාවට අනුකූලව දේපොළ අත් පත් කරගෙන, ඒවා එහි අයිතිය යටතේ පාලනය කිරීමට.”
වර්ෂ 1936 තරම් ඈත කාලයක සිට යෙහෝවාගේ සාක්ෂිකරුවන් සිංගප්පූරු ප්‍රජාවේ කොටසක් වෙලා සිටියා. අවුරුදු ගණනාවක සිට, ඔවුන් 8වන එක්ස්ටර් පාරේ, කාර්යබහුල වෙළෙඳසැලක් ඉදිරිපිට පිහිටා තිබෙන ඔවුන්ගේම රාජ්‍ය ශාලාවේ නිතිපතා සභා රැස්වීම් පැවැත්වූවා. ඒ සභාව ජන ජීවිතයේ ස්ථාවරත්වයට අද්විතීය ලෙස දායක වෙමින් වර්ධනය වුණා.
යෙහෝවාගේ සාක්ෂිකරුවන්ව තහනම් කෙරේ
මේ සියල්ලක්ම 1972 ජනවාරි 12වනදා වෙනස් වුණා. අවුරුදු 23ක් සිංගප්පූරුවේ පදිංචි වී සිටි ක්‍රිස්තියානි මිෂනාරිවරයෙකු වන නෝමන් ඩෙවිඩ් බෙලොටීට සහ ඔහුගේ බිරිඳ වන ග්ලැඩිස්ට රටින් පිට වී යන මෙන් නියෝග කරමින්, ආණ්ඩුවේ පිටුවහල් කිරීමේ පනතේ 109වන වගන්තිය යටතේ පිටුවහල් කිරීමේ නියෝගයක් නිකුත් කළා. මේ සමඟම සිංගප්පූරුවේ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ සභාවේ ලියාපදිංචිය අහෝසි කිරීමේ නියෝගයක් විගස නිකුත් කළා. පැය කිහිපයක් ඇතුළත, රාජ්‍ය ශාලාවේ ඉදිරිපස දොර කඩා බිඳ දමා ඇතුල් වූ පොලීසිය, එය අත් පත් කරගත්තා. අනතුරුව වොච් ටවර් සමිතියේ සියලුම පොත් පත් සඳහා තහනම් නියෝගයක් ඉක්මනින්ම නිකුත් කළා. මේ විදිහට යෙහෝවාගේ සාක්ෂිකරුවන්ව මර්දනය කිරීමේ කාලපරිච්ඡේදයක ආරම්භය සිදු වුණා.
ආණ්ඩුව ගත් අත්තනෝමතික ක්‍රියාමාර්ගයේ කොටසක් හැටියට පසුව රාජ්‍ය ශාලාව විකුණා දැම්මා; මේ සියල්ලම කළේ, දැන්වීමකින් තොරවයි; කිසිම දෙයක් ඇසුවේ නැහැ; විධිමත් පරීක්ෂණයක් පැවැත්වූයේ නැහැ; චෝදනාවලට උත්තර දෙන්න අවස්ථාවක් කොහොමටවත් දුන්නේ නැහැ.
යෙහෝවාගේ සාක්ෂිකරුවන් මත පනවා තිබෙන සම්පූර්ණ තහනම යුක්තිසහගත බව පෙන්වීම සඳහා, සිංගප්පූරු ආණ්ඩුව විසින් ඔවුන් හමුදා සේවයට හවුල් නොවීම ගැන නැවත නැවත සඳහන් කළා. ඉතා මෑතකදී, එනම් 1995 දෙසැම්බර් 29වනදා, ජිනීවාහි සිටින එක්සත් ජාතීන්ගේ සිංගප්පූරු නිත්‍ය නියෝජිතයා වන කසොවොපොනී මහතා විසින් ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ආයතනයේ සහකාර මහ ලේකම් වන ගරු ඉබ්රාහිම් ෆාල්ට ලියූ ලිපියක මෙසේ සඳහන් කළා:
“මගේ ආණ්ඩුව යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ප්රයත්නය මත තහනම් නියෝගයක් පනවා තිබෙන්නේ ජාතික ආරක්ෂාව සැලකිල්ලට ගෙනයි. ඔවුන්ගේ ප්රයත්නයේ අඛණ්ඩ පැවැත්ම සිංගප්පූරුවේ පොදු ශුභසාධනයට සහ යහපත් පිළිවෙළට තර්ජනයක් වෙනවා. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ලියාපදිංචිය අහෝසි කිරීමට ගත් තීන්දුව හේතුවෙන් ඇති වූ අනිවාර්ය ප්‍රතිඵලය වූයේ, ඔවුන්ගේ ප්රයත්නය මතට පනවා තිබෙන තහනම වඩාත් ශක්තිමත් කර, ඔවුන්ගේ ඇදහිලි පතළ වීම හා ප්‍රචාරය කිරීම මැඩපැවැත්වීමට හැකි වන පරිදි, ඔවුන්ගේ සියලුම ප්‍රකාශන තහනම් කිරීමයි.”
සිංගප්පූරුවේ ජාතික ආරක්ෂාව අවදානමට ලක් කරන දෙයට විරෝධය පෑම සලකා බලද්දි, සැලකිල්ලට ගත යුතු දෙයක් වන්නේ, හමුදා සේවය ප්‍රතික්ෂේප කළ තරුණයන් ගණන අවුරුද්දකට පස්දෙනෙකුට ආසන්න තරම් සුළු සංඛ්‍යාවක් වීමයි. සිංගප්පූරුවේ හමුදා භටයන් 3,00,000ක් සිටිනවා. මේ ප්‍රශ්නයට සම්බන්ධ ස්වල්පදෙනා වෙනුවෙන් ජාතික සිවිල් සේවය ගැන සාකච්ඡා කිරීම පවා සිංගප්පූරු ආණ්ඩුව ප්‍රතික්ෂේප කර තියෙනවා.
ප්‍රසිද්ධියේ සිදු කෙරෙන මර්දනය
අවුරුදු කිහිපයක අඩමාන සහිත සහනදායී කාලපරිච්ඡේදයකින් පසු, 1992දී මිනිසුන් කිහිපදෙනෙකුව අත්අඩංගුවට ගෙන, නුසුදුසු ප්‍රකාශන පනත යටතේ තහනම් කළ පොත් පත් ළඟ තබාගැනීම සම්බන්ධයෙන් වරදකරුවන් බවට ප්‍රකාශ කළ විට, මානව හිමිකම් ප්‍රසිද්ධියේ මර්දනය කිරීමේ නව පිටුවක් පෙරළුණා. වර්ෂ 1994දී වොච් ටවර් සමිතිය විසින් බ්‍රිතාන්‍යයේ රැජිනගේ උපදේශකයෙක් හා නීතිඥයෙක් මෙන්ම තම ජීවිත කාලය පුරා යෙහෝවාගේ සාක්ෂිකරුවෙක් වන 75 හැවිරිදි ඩබ්. ග්ලීන් හව් නමැත්තාව සිංගප්පූරුවට පිටත් කර හැරියා. බ්‍රිතාන්‍ය රැජිනගේ උපදේශකයෙක් හැටියට ඔහු දැරූ නිලය මගින් ඔහුට ලැබුණු පිළිගැනීම නිසා, සිංගප්පූරුවේ අධිකරණ හමුවෙහි පෙනී සිටින්න ඉඩ දුන්නා. ව්‍යවස්ථාවේ සඳහන් ආගමික නිදහස සැලකිල්ලට ගනිමින්, අත්අඩංගුවට ගැනීම්වල සහ 1972දී නිකුත් කළ තහනම් නියෝගයේ නීත්‍යනුකූලභාවය ඇතුළත් කරමින්, සිංගප්පූරු මහාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කළා. වර්ෂ 1994 අගෝස්තු 8වනදා, සිංගප්පූරු මහාධිකරණයේ අග්රවිනිශ්චකාර යොං පෙං හව් එම අභියාචනය නිෂ්ප්‍රභ කළා. ඒ තීන්දුව නැවත අභියාචනය කිරීමට ගත් අමතර උත්සාහයන් අසාර්ථක වුණා.
සිංගප්පූරුවේ ව්‍යවස්ථාව මතට එල්ල කළ නෛතික අභියෝගය හේතුවෙන්, මර්දනකාරි කටයුතු වඩ වඩා සිදු කරන්න පටන්ගත් අයුරු 1995 මුල් කාලය වන විට දකින්න තිබුණා. අපේක්ෂා මෙහෙයුම යනුවෙන් හැඳින්වූ යුද්ධමය ස්වරූපයක සැලැස්මක් යටතේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රහස් සමිති ශාඛාවේ රහසිගතව මෙහෙයුම් කරන නිලධාරීන් පෞද්ගලික නිවෙස්වල රැස්වීම් පවත්වමින් සිටි කුඩා කණ්ඩායම් කිහිපයකට හදිසියේම කඩා වැද, රැස්ව සිටි අයව අත්අඩංගුවට ගත්තා. නිලධාරීන් 70කට ආසන්න පිරිසක් සහ සහයක කාර්ය මණ්ඩලයක් විසින් කොමාන්ඩෝ සටන් ක්රමයක ස්වරූපය ගත් ආක්‍රමණයක් දියත් කළා; එහි ප්‍රතිඵලය 69දෙනෙකුව අත්අඩංගුවට ගැනීමයි. සියලුදෙනාවම ප්‍රශ්න කිරීමේ මධ්‍යස්ථානවලට රැගෙන ගියා; එදා මුළු රාත්‍රියේම සමහරුන්ගෙන් ප්‍රශ්න කළා; යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ රැස්වීම්වලට යෑම සහ බයිබල් ප්‍රකාශන ළඟ තබාගැනීම නිසා සියලුදෙනාටම නඩු පැවරුවා. තමන්ගේ පවුල්වල සාමාජිකයන්ට දුර ඇමතුමක්වත් දෙන්න බැරි විදිහට සමහරුන්ව පැය 18ක කාලයක් අදහස් හුවමාරු කරගත නොහැකි තත්වයක තැබුවා.
විදේශිකයන්ට එරෙහිව ඉදිරිපත් කළ චෝදනා ඉවත් කරනු ලැබුවා. ඒත් සිංගප්පූරු පුරවැසියන් 64දෙනාට එරෙහිව 1995 අවසානයේදී හා 1996 මුල් කාලයේදී නඩුව විභාග කළා. හැටහතරදෙනාවම වරදකරුවන් බවට තීන්දු කළා. වයස අවුරුදු 16 සිට 72 අතර වයස්වල සිටි 47දෙනෙක් ඩොලර් දහස් ගණනක් වූ දඩ මුදල් ගෙවීම ප්‍රතික්ෂේප කළ අතර, ඔවුන්ව සතියක සිට සති හතර දක්වා කාලයක් සිරගත කළා.
ඔවුන්ව සිරමැදිරිවලට යවන්න කලින්, මිනිසුන් ඉදිරිපිට ඇඳුම් ගළවා ඔවුන්ව පරීක්ෂා කළා. ඔවුන්ගේ අත් දිග අරින්නත්, පස්වතාවක් ඇනතියාගන්නත් කට ඇර දිව එළියට දාන්න කියලත් සමහර ස්ත්රීන්ට කිව්වා. එක ස්ත්‍රියකට කිව්වා ඇගේ ඇඟිලිවලින් ගුද මාර්ගය අරින්න කියල. සිර ගෙදරදී සමහර පුරුෂයන්ට වතුර බොන්න සිදු වුණේ, වැසිකිළියට පාවිච්චි කරන භාජනවලයි. යෞවනියන් සමහරදෙනෙකුට සැලකුවේ හරියට දරුණු අපරාධකාරියන්ට වගෙයි; ඔවුන්ට නියම කළ කාලය පුරා හුදකලාව සිරගත කොට තබා, සිරකරුවන්ට දෙන කෑමවලින් භාගයක් පමණයි දුන්නේ. සිරකරුවන් භාරව සිටින සමහර නිලධාරීන් ඔවුන්ගේ බයිබලයවත් තියාගන්න සාක්ෂිකරුවන්ට ඉඩ දුන්නේ නැහැ.
සිරගත කළ ස්ත්‍රීන් කිහිපදෙනෙක් අදහස් දැක්වූ ආකාරය බලමු. ඔවුන් විසින්ම සැපයූ වාර්තාවලින් හෙළි වූ දෙය, මේ නවීන නගරයේ මූනිච්චාවට පෙන්වන නොකැළැල්භාවයට වඩා සම්පූර්ණයෙන්ම වෙනස්.
“මා සිටි සිරකුටිය හරිම අපිරිසිදුයි. මුහුණ සෝදන බේසම සහ වැසිකිළිය අපිරිසිදු තත්වයක තිබුණා. ඒවායේ සෙවල බැඳිලා ජරා වෙලා තිබුණා. මම වාඩි වූ බංකුව යට මකුළු දැල් හා දූවිලි පිරිලා.”
“මට ඇඳුම් ගළවා දමන්න කියලා, සිරකරුවන්ගේ ඇඳුම් කට්ටලයකුයි, (සබන් නැති) සබන් පෙට්ටියකුයි, දත් බුරුසුවකුයි දුන්නා. කෙටි කාලීන සිරකරුවන්ට දන්තාලේප හා වැසිකිළි කඩදාසි ලැබුණේ නැහැ කියා මගේ සිරකුටියේ සිටි සිරකරුවන් මට කිව්වා.”
“අපි 20දෙනෙක් එක සිරකුටියක හිටියා. එහි තිබූ වැසිකිළිය මගේ ඉණ තරම් උස බිත්තිවලින් වට කර තියෙන, ඇනතියාගෙන වාඩි විය යුතු වැසිකිළියක්. නාන කාමරයේ තිබුණේ, එක වතුර මලක් හා කුඩා කරාමයක් තියෙන එක බේසමක් විතරයි. අපිට නාන්න වුණේ හයදෙනෙකුගෙන් යුත් කණ්ඩායම් හැටියටයි; සිරකුටියේ හිටිය අපි ඔක්කොමදෙනාට නාන්න ලැබුණේ උදේ වරුවේ පැය බාගයක් විතරයි.”
සිරගත වීමෙන් ඇති වන මානසික පීඩනය ගණන් ගන්නේ නැතුව, ඕනෑම අවස්ථාවක, ඕනෑම තැනක මුහුණපෑමට සිදු වන තත්වයන් මොකක් වුණත්, සිරගත වීම සියලුදෙනාම සැලකුවේ දෙවිට සේවය කිරීමේ වරප්‍රසාදයක් හැටියටයි. නහඹර වියේ පසු වන ගැහැනු ළමයෙක් මතු දැක්වෙන පරිදි අදහස් දැක්වූ ආකාරය සලකා බලන්න:
“මම සිර ගෙදරට පය තැබූ මොහොතේ ඉඳලා මම එහි සිටීමට හේතුව, නිතරම මතක් කරගත්තා. මගේ යාච්ඤාවලට ඇහුම්කන් දෙන්න කියලත්, මාව අත් නොහරින්න කියලත්, මම හැමදාම යෙහෝවාට යාච්ඤා කළා. එයා මගේ යාච්ඤාවලට උත්තර දුන්නා කියලා මට හැඟුණා; මොකද මට විඳදරාගන්න උපකාර වුණේ, එයා සැපයූ ශුද්ධාත්මයයි. මං එයාට හුඟාක් ළං වෙලා හිටියා කියල මට තේරුණේ එතකොටයි; එයා අපි දිහා බලාගෙන ඉන්නවා කියා දැන සිටීමෙන්, මාව හුඟක් ශක්තිමත් වුණා. එයාගේ නාමය වෙනුවෙන් මේ වගේ පරීක්ෂාවලට මුහුණ දෙන්න ලැබීම වරප්‍රසාදයක් කියල මට හැඟෙනවා.”
ලොව පුරා තිබෙන පුවත්පත්වලට මේ සිද්ධිය පිළිබඳ තොරතුරු ඉක්මනින්ම දැනගන්න ලැබුණා. ඕස්ට්‍රේලියාවේ, කැනඩාවේ, යුරෝපයේ, හොංකොං, මැලේසියාවේ, එක්සත් ජනපදයේ සහ වෙනත් රටවල සිටින පුවත්පත් වාර්තාකරුවන් විසින් මේ සිද්ධිය නැවත නැවත වාර්තා කළා. “බයිබලය ළඟ තබාගැනීම නිසා ආච්චි කෙනෙක්ව වරදකාරියක් බවට තීන්දු කෙරේ” නමැති මාතෘකාව යටතේ, කැනඩාවේ ද ටොරොන්ටො ස්ටා නමැති පුවත්පත, ඒ අවස්ථාවේදී පැවති උද්වේගය හොඳින් කැටි කොට දැක්වුවා. මීට වඩා හුඟක් මිනිසුන්ට බලපාන බරපතළ ප්‍රශ්න බොහොමයක් ලෝකයේ තිබීම පිළිගත යුතු දෙයක්; ඒත් මේ සිද්ධියේදී, හැමතැනම පුදුම වී සිටින මිනිස්සු අහන ප්රශ්නය එක හා සමානයි. “මේ වගේ දෙයක් සිංගප්පූරුවේ වෙනවාද?”
ලොව පුරා රටවල් 200කට වඩා නීතියේ පූර්ණ ආරක්ෂාව ඇතුව නිදහසේ ක්‍රියාත්මක වන ආගමක් සිංගප්පූරුවේ වධහිංසාවල ඉලක්කය වෙලා තියෙන්නේ ඇයි කියන එක තේරුම්ගන්න අමාරුයි. සිංගප්පූරුවේ වෙන කිසිම ආගමක් මේ වගේ අසාධාරණ හා අත්තනෝමතික ක්‍රියාවන්ට ලක් වී නැති බව අපි සලකා බලන විට, එය තේරුම්ගන්න තවත් අමාරුයි.
ඇත්තෙන්ම, ආගමික රැස්වීමක් කඩාකප්පල් කර දමන්න කියා තමාටත් තම නිලධාරීන්ටත් නියෝග කළ පළමුවන අවස්ථාව මෙය පමණක් බව, යෙහෝවාගේ සාක්ෂිකරුවන්ව වැටලීමේ කණ්ඩායමක් මෙහෙයවූ සහකාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයෙක් උසාවියේදී පිළිගත්තා. පහත සඳහන් උපුටාගැනීම් පිටපත් කළ සාක්ෂිවලින් ලබාගත් ඒවා:
ප්‍ර: (සාක්ෂිකරුට ඉදිරිපත් කළ) ඔබගේ දැනීමට අනුව, රහස් සමිති ශාඛාව මින් පෙර යෙහෝවාගේ සාක්ෂිකරුවන් හැර ලියාපදිංචි නොවූ වෙනත් ආගමික කණ්ඩායම් සෝදිසි කර, ඒවාට විරුද්ධව අධිකරණයක් ඉදිරියෙහි චෝදනා කර තිබෙනවාද?
උ: මා දන්නා තරමින් නැහැ.
ඉන්පසු ප්‍රශ්න කිරීම දිගටම සිදු වුණා.
ප්‍ර: (සාක්ෂිකරුට ඉදිරිපත් කළ) සමිති පනත යටතේ ලියාපදිංචි නොවී, නිවසක රැස්වී සිටි කුඩා ආගමික කණ්ඩායමක් සිටි තැනකට ඔබ පෞද්ගලිකව මොනයම් හෝ අවස්ථාවකදී, ඒ හා සමාන ආකාරයකින් කඩා වැදුණාද?
උ: මම එහෙම දෙයක් කරලා නැහැ.
නීතිමය පියවර ගැනීමට ඉල්ලා සිටීම
මේ නඩුවල අවංකභාවය පරීක්ෂා කර බැලීම සඳහා ඇම්නෙස්ට් ඉන්ට’නැෂනල් සහ අන්තර්ජාතික නීතිඥවරුන්ගේ සංගමය විසින් ඔවුන්ගේ විශේෂ නිරීක්ෂකයෙකුව යැව්වා. ඇම්නෙස්ට් ඉන්ට’නැෂනල්හි අපක්ෂපාත නිරීක්ෂකයෙක් හා හොංකොංහි බැරිස්ටර්වරයෙක් වන ඇන්ඩෲ රාෆල් මෙසේ පැවසුවා: “යුක්තිය හා සාධාරණත්වය මේ නඩුවේ දකින්න නැති බව, මගේ වාර්තාවේ මා සඳහන් කරනවා.” යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ පොත් පත් නුසුදුසුයයි සැලකීමට හේතු අධිකරණයට පැහැදිලි කරන්න, සාක්ෂිකරුවන් හැටියට ඉදිරිපත් වූ රජයේ නිලධාරීන්ට නොහැකි වූ බව ඔහු තවදුරටත් පැහැදිලි කළා. සන්තෝෂය—එය සොයාගත හැකි අන්දම (ඉංග්‍රීසියෙන්) සහ ඔබේ යෞවනය—ඉන් උපරිමය නෙළාගන්න (ඉංග්‍රීසියෙන්) යන පොත් ඇතුළුව තහනම් කළ බයිබල් ප්‍රකාශන සමහරක් රාෆල් ලැයිස්තුගත කළා. ඇත්තෙන්ම ඒවා කිසිම ආකාරයකින්වත් නුසුදුසුයි කියා සලකන්න බැහැ කියා ඔහු තවදුරටත් සඳහන් කළා.
අන්තර්ජාතික නීතිඥ සංගමයේ නිරීක්ෂක, සිසිල් රාජේන්ද්‍ර මෙසේ සඳහන් කළා:
“මේ මුළු නඩු විභාගයම, සිංගප්පුරුවේ තවමත් ප්රජාතන්ත්රවාදය ක්‍රියාත්මක වෙනවා කියා ලෝකයට මවාපෙන්වන්න උත්සාහ කරන්න හැදූ දෙයකට වඩා වැඩි යමක් නොවන බව, මේ පිළිබඳ නිරීක්ෂණයක යෙදුණු මාහට මුල සිටම පැහැදිලිව පෙනී ගියා.
“මේ නඩු විභාගයේ අවසන් තීන්දුව නොවැළැක්විය හැකි දෙයක් වූ අතර, චූදිතයන් සියලුදෙනාවම වරදකරුවන් හැටියට තීන්දු කරන බවට, මේ නඩුවේ අවසන් තීන්දුව ගන්න කලින් හෝ නඩු විභාගය පැවැත්වූ කාලයේදී හෝ තීන්දුව ගන්නා අවස්ථාවේදී හෝ අල්පමාත්රයක තරම්වත් සැකයක් තිබුණේ නැහැ.
“මේ නඩුව පහළ උසාවියක විභාග කිරීම සිදු වුවත්, සමිති පනත කඩ කිරීම ගැන කළ චෝදනා ඉතාමත් සුළු ඒවා වුණත්, උසාවියේ තිබූ වටපිටාව මහත් බියක් ඇති කරවන තත්වයක තිබුණා.
“නිල ඇඳුමින් සැරසී සිටි පොලිස් භටයන් 10දෙනෙකුට වැඩි පිරිසක්, (6දෙනෙක් උසාවිය ඇතුළේ සහ 4දෙනෙක් පිටත) උසාවියේ ගැලරියේ වාඩි වී සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රහස් සමිති ශාඛාවේ කිහිපදෙනෙක් සමඟ සිටි නිසා, මහත් බයක් ඇති කරවන වාතාවරණයක් එහි තිබුණා.”
මෙම නඩුව විභාග කළ ආකාරය ගැන අදහස් දක්වමින් රාජේන්ද්‍ර තවදුරටත් මෙසේ සඳහන් කළා:
“මේ නඩුව නිරීක්ෂණ කළ කාලපරිච්ඡේදයේදී, (මෙන්ම පිටපත්වල සඳහන් සාක්ෂිවලට අනුව, නඩු විභාගය පැවැත්වූ මුළු කාලයේදී) ඉහත සඳහන් විනිසුරු කටයුතු කළ ආකාරයෙහි අඩුපාඩුකම් තිබූ බව පැහැදිලිව දකින්න තිබුණා. . . . සාධාරණ නඩු විභාගයක තිබිය යුතු සියලුම නියමයන්ට පටහැනිව, එම විනිසුරු නැවත නැවත පැමිණිලි පාර්ශ්වයේ පැත්ත ගත් අතර, චූදිත පාර්ශ්වයේ ප්‍රකාශන තහනම් නියෝගයකට යටත් කළ යුතු බව පෙන්වීම සඳහා පැමිණිලි පාර්ශ්වය විසින් බයිබලයේ කිං ජේම්ස් අනුවාදය සාක්ෂියක් හැටියට ඉදිරිපත් කර, පැමිණිලි පාර්ශ්වයේ සාක්ෂිකරුවන්ගෙන් හරස් ප්‍රශ්න ඇසීමෙන් විත්ති පාර්ශ්වයේ බලාපොරොත්තු කඩ කළා.”
සිංගප්පූරුවේ සිදු කෙරෙන මානව හිමිකම් මර්දනය ගැන අන්තර්ජාතික මට්ටමින් මොනතරම් සැලකිල්ලක් දක්වනවාද කියනවා නම්, හ්‍යුමන් රයිට්ස් විතෞට් ෆ්රන්ටිය’ස් (සීමාවලින් තොර මානව හිමිකම්) යන මාතෘකාව යටතේ බෙල්ජියමේ පළ කෙරෙන සඟරාවක, යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට සිංගප්පූරු ආණ්ඩුව විසින් සිදු කරන විරුද්ධවාදිකම් සම්බන්ධ තොරතුරු පමණක් ඇතුළත් පිටු 18ක වාර්තාවක් පළ කළා. එම සඟරාවේ ප්‍රධාන කර්තෘ වන විලී ෆොරේ කතුවැකියක් ලියමින්, ඕනෑම රජයක තිබෙන මිනිස් නිදහස පිළිබඳ නියමයන් මෙසේ කෙටියෙන් විග්රහ කළා:
“ආගමික නිදහස, ඕනෑම සමාජයක මිනිස් නිදහස සම්බන්ධයෙන් සාමාන්‍යයෙන් දක්නට තිබෙන හොඳම ඇඟවීම්වලින් එකක් වුවත්, ආගම හෝ ඇදහිල්ල මත පදනම්ව සිදු කෙරෙන වෙනස් ලෙස සැලකීමේ හා නොඉවසීමේ එම අංග ඉවත් කර දැමීමේ හෝ ආගමික නිදහස ආරක්ෂා කර, එයට අනුබල දෙන ප්‍රතිපත්ති වර්ධනය කිරීමේ ක්‍රියාවලියට සම්බන්ධ වී තිබෙන්නේ, ලෞකික කාරණා සම්බන්ධව කටයුතු කරන මානව හිමිකම් සංවිධාන කිහිපයක් පමණයි.”
සීමාවලින් තොර මානව හිමිකම් යනුවෙන් නම් කර තිබූ ලිපියේ පළ වූ වාර්තාවේ අවසාන පිටුවේ තද කළු පැහැති අකුරින් මුද්‍රිත එහි නිර්දේශයන්ගේ ලැයිස්තුවක් පළ කළා.
යෙහෝවාගේ සාක්ෂිකරුවෝ සිංගප්පූරුවට ප්‍රයෝජනවත් සෙනඟක්. ඔවුන් තම අසල්වැසියන්ගේ අයිතිවාසිකම්වලට ගරු කරන අතර, ඔවුන්ට විරුද්ධව කිසිම අපරාධයක් කරන්නේ නැහැ. යෙහෝවාගේ සාක්ෂිකරුවෙකු විසින් තමන්ගේ ගෙවල් බිඳීම ගැන හෝ මුදල් පැහැරගැනීම හෝ පහර දීම හෝ දූෂණය කිරීම සම්බන්ධයෙන් සිංගප්පූරුවේ කිසිම වැසියෙකුට කනස්සල්ලෙන් සිටින්න අවශ්‍ය නැහැ.
ඔවුන් ස්වේච්ඡාවෙන් කරන ප්‍රසිද්ධ දේවසේවය, පවුල් ජීවිතය ශක්තිමත් කර වැඩිදියුණු කරන අතර, යහපත් පුරවැසියන් බිහි කරවීමට අනුබල දෙනවා. බයිබලයේ සඳහන් ගොඩනංවනසුලු ප්‍රමිති ඉගෙනගෙන, ඒවා ඔහුගේ හෝ ඇයගේ ජීවිතයට අදාළ කරගන්නා ආකාරය ඉගෙනගන්න කැමති ඕනෑම කෙනෙකු සමඟ, ඔවුන් නොමිලේ බයිබල් පාඩම් පවත්වනවා. බයිබලය හැදෑරීම සහ යාච්ඤා කිරීම සඳහා පවත්වන රැස්වීම්, ඔවුන්ගේ ක්‍රිස්තියානි අධ්‍යාපනයේ අංගයක් වෙනවා. මෙය ඔවුන්ව යහපත් පුරවැසියන් බවට පත් කිරීමට හේතු වී තිබෙනවා.
තම ජනරජයට ගරු කරන මෙන්ම සිංගප්පූරුවේ අනාගතය වඩ වඩා සාර්ථක වෙනවා දකින්න කැමති වන එහි සිටින පුරවැසියන්, සිංගප්පූරු සමාජයෙහි යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට හිමි නිසි තැන ලබා දෙන්න කියා ආණ්ඩුවෙන් ඕනෑකමින් ඉල්ලා සිටිය යුතුයි. ඔවුන්ට එරෙහිව පනවා තිබෙන බාධකයන් ඉවත් කර, සෑම පුරවැසියෙකුටම ලැබිය යුතු දෙයක් වන ආගමික නිදහස නැවත ඔවුන්ට ලබා දීමට කාලය දැනුයි.
[26වන පිටුවේ කොටුව]
ලෝකය ඇස ගසාගෙන සිටිනවා
1. “පසුගිය පෙබරවාරි මාසයේ එක් රාත්‍රියකදී, සිංගප්පූරු පොලීසිය ගෙවල් පහකට කඩා පැන හරියට යුද්ධයකදී කටයුතු කරන විදිහට පුරුෂයන්, ස්ත්‍රීන් සහ නහඹරයන් 69දෙනෙකුව අත්අඩංගුවට ගෙන, ප්‍රශ්න කිරීම සඳහා පොලිස් මූලස්ථානයේ රඳවාගත්තා. බයිබලය අධ්‍යයනය කිරීම සඳහා පවත්වන රැස්වීම් අවසන් වෙන්න තිබුණු විදිහ එය නොවෙයි.”−දි ඔට්ටොවා සිටිසන්, කැනඩාව, 1995 දෙසැම්බර් 28, A10වන පිටුව.
2. “සිංගප්පූරු ආණ්ඩුව, මේ නිර්දෝෂි අහිංසක මිනිසුන් සම්බන්ධයෙන් රැගෙන තිබෙන ස්ථාවරය යළි සකස් කරගෙන, බියෙන් හෝ බාධාවකින් තොරව තමන්ගේ ඇදහිල්ල හා බැඳි ක්‍රියාවන් කිරීමටත් ඒවා ප්‍රචාරය කිරීමටත් ඔවුන්ට ඉඩ දෙනවා නම්, එය ආගමික නිදහස ගැන සැලකිල්ල දක්වන සියලුදෙනාගේම සැබෑ සන්තෝෂයට හේතුවක් වේවි.”—මහාචාර්ය බ්‍රයන් ආර්. විල්සන්, ඔක්ස්ෆ’ඩ් විශ්වවිද්‍යාලය, එංගලන්තය.
3. “අන්තර්ජාතික සිවිල් නිදහස් කණ්ඩායම් විසින් විරෝධය දැක්වූ නඩු විභාග ගණනාවකදී, සිංගප්පූරු අධිකරණය පසුගිය නොවැම්බර් මාසයේ සිට යෙහෝවාගේ සාක්ෂිකරුවන් 63දෙනෙකුව වරදකරුවන් හැටියට ප්‍රකාශයට පත් කර තිබෙනවා.”—ආසාහි ඊව්නින් නියූස්, ජපානය, 1996 ජනවාරි 19, 3වන පිටුව.
4. “අත්අඩංගුවට ගැනීම හෝ සිරගත කිරීම ගැන බියක් නැතුව එක්රැස් වීමටත් සාමකාමී ලෙස ඔවුන්ගේ ආගමික කටයුතුවල නිරත වීමටත් යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට ඉඩ දිය යුතුයි. ආගමික නිදහස, සිංගප්පූරුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර තිබෙන මූලික අයිතිවාසිකමක් වෙනවා.”—ඇම්නෙස්ට් ඉන්ට’නැෂනල්, 1995 නොවැම්බර් 22.
5. හොංකොංහි කතෝලික බිෂොප්තැනගේ පාලනයට අයත් පළාතේ අධිකරණ හා සමාදාන කොමිසමේ සභාපති වන චෙන් සූ චින් විසින් අගමැති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ඇමති වන ලී ක්වන් යූ වෙත යවන ලද 1995 ජූනි 1 දිනැති ලිපියේ මෙසේ සඳහන් වුණා: “ප්‍රධාන ගැටලුව වන්නේ, හමුදා සේවයට බැඳීම ප්‍රතික්ෂේප කරන්නාවූ අය එරට නීතිය කඩ කරන නිසා, ඔවුන්ව වරදකරුවන් බවට පත් කළ යුතුයි කියා සිංගප්පූරු ආණ්ඩුව සිතුවත්, නමස්කාර කිරීම සඳහා ආගමික එක්රැස්වීම්වලට සහභාගි වන, හමුදා සේවයට බැඳීමෙන් නිදහස්ව සිටින අනිකුත් සමාජිකයන්ටද එය බල නොපෑමයි. . . .
“එනිසා අපි ඔබගේ ආණ්ඩුවෙන් මෙසේ ඉල්ලා සිටිනවා:
1. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට ආගමික නිදහස හා හෘද සාක්ෂියට එකඟව කටයුතු කිරීමේ නිදහස භුක්ති විඳීමට හැකි වන පිණිස, ඔවුන් කෙරෙහි තහනම් නියෝග පනවන්න එපා;
2. හුදෙක් ආගමික ක්‍රියාකාරකම් සඳහා එක්රැස් වන යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට චෝදනා කිරීම නතර කරන්න
3. හුදෙක් ආගමික ක්‍රියාකාරකම්වල නිරත වීම සඳහා පැමිණීම හේතුවෙන් මෑතකදී අත්අඩංගුවට ගත් යෙහෝවාගේ සාක්ෂිකරුවන්ව නිදහස් කරන්න.”
[23වන පිටුවේ පින්තූරය]
චෝදනා කිරීමෙන් පසු, අධිකරණ ශාලාවේ පෙනී සිටින යෙහෝවාගේ සාක්ෂිකරුවන්
[23වන පිටුවේ පින්තූරය]
මේ 71 හැවිරිදි සාක්ෂිකාරිය විනිසුරුට මෙහෙම කිව්වා: “මම මේ ආණ්ඩුවට කොහොමටවත් තර්ජනයක් වෙන කෙනෙක් නෙමෙයි.” ඒත් ඇයව සිරගත කළා