මී මැසි පාලනය “රසවත්” කතන්දරයක්
ග්‍රීසියේ පිබිදෙව්! වාර්තාකරු විසින්
අරුණාලෝකයේ ළහිරු රැස් කෙමෙන් කෙමෙන් ගුවන සිසාරා පැතිරෙයි. හිමිදිරි සිසිලස හා මීදුම අතරින් සෙමින් ඇදෙන ට්‍රක් රථයක්, කඳු බෑවුම පාමුල පාරේ පැත්තකට කර නවත්වයි. රූ සටහන් දෙකක් මතු වෙයි; ඔවුන් අත් වැසුම්, සපත්තු, කපු කබා සහ මුහුණු වැස්මවල්ද, පළල් වාටියක් සහිත හිස් වැසුම්ද පැළඳ සිටියි. පරෙස්සමින්, නමුත් මහත් උනන්දුවකින් ලී පෙට්ටි තොගයක් ට්‍රක් රථයට පටවයි. ලේසියෙන්ම සොරකම් කරගෙන යන්න ආව හොරු දෙන්නෙක්ද? නෑ; තම අනගි මී මැසි හමුදාව ගැන දැඩි සැලකිල්ලක් දක්වන මී මැසි පාලක යුවළක්—මල් පැණි නිපදවන පැළ තියෙන තවත් තැනක් කරා යන්න සූදානමින් සිටියි.
මී මැසි පාලකයන්, විශේෂාකාර කෘමියෙක් එක්ක අන්‍යොන්‍ය සම්බන්ධකමක් තියෙන බවට උදම් අනන විශේෂාකාර සෙනඟක්. එක් අතකට, පැණිත්, මී ඉටිත් නිපදවන, නානාවිධ බෝග බොහොමයක් පරාගණය කරන පැණි මී මැස්සා, භාග වෙලාවට, කෘමීන් සියල්ලන්ගෙන්ම ආර්ථික වශයෙන් වැඩියෙන්ම වටින කෘමියා වෙන්න පුළුවන්. අනිත් අතට, මී මැස්සන් ඇති කරමින් ජීවිකාව ගැටගහගන්නා අතරම, මේ කුඩා සතුන්ට ආදරේ ඇති, “මී මැස්සන් ගැන අවබෝධයක් තියෙන” අයත් ඉන්නවා කියලා ඔවුන්ගෙන්ම කෙනෙක් කියනවා.
“දිනපතා ප්රාතිහාර්යයන්” රැකබලාගන්නෙක්
මී මැසි පාලකයෙක් වෙන එක පහසුයි කියලා හිතෙන්න පුළුවන්: මී මැසි ජනපද ගණනාවකින් පිරුණු මී වද ලබාගෙන මල් පැණි නිපදවන ස්ථානයක ඒවා තියලා, මාස කීපයකට පස්සේ යළි පැමිණ අස්වැන්න නෙළනවා. නමුත් මේක එහෙම දෙයක් නෙවෙයි. ඇත්තෙන්ම ඊට ඇතුළත් දේ සොයා බලන්න, වෘත්තීය මී මැසි පාලකයන් වන ජොන් සහ මාරිය එක්ක අපි කතා කළ විට, ඔවුන්ගේ ප්‍රිය වෘත්තිය ගැන සතුටෙන් අපිට කිව්වා.
ඇරී තිබෙන මීවදයකට එබිකම් කරමින් ජොන්, “මී මැසි පාලනය දිනපතා ප්‍රාතිහාර්යයන්වල අභ්‍යාසයක්” බව ප්‍රකාශ කරයි. “ඒ වුණත්, උසස් අන්දමකට තනා තියෙන ප්‍රජා ජීවිතය, වැඩිදියුණු වූ අදහස් හුවමාරුවේ කුසලතා සහ පැණි මී මැස්සාගේ අතිදක්ෂ පුරුදු ගැන තාමත් කිසි කෙනෙක්ට පැහැදිලි අවබෝධයක් නෑ.”
අතීතයේදී ගස් බෙනවල හා වෙනත් කුහරවල ජනාවාසව තිබුණු ජනපද විනාශ කරමින්, මී මැසි පාලකයන් මී පැණි එකතු කළ බව, වෘත්තීය මී මැසි පාලනයේ ඉතිහාසය කිට්ටුවෙන් අධ්‍යයනය කරන ජොන් සඳහන් කරනවා. කොහොමවුණත්, මී මැස්සන්, මී ඉටි කෝෂ අතර අඟලකින් හතරෙන් එකක පමණ ඉඩ ප්‍රමාණයක් තියන බව අමෙරිකානු මී මැසි පාලකයෙක් වන ලරෙන්සෝ ලරේන් ලැන්ඥස්ට්රෝත් 1851දී සොයාගත්තා. මෙලෙස, මීවදයේ කෝෂ රාමු අතර එවැනිම ඉඩ ප්‍රමාණයක් තබා මිනිස්සු හැදුව ලී මීවද යොදාගන්න පුළුවන්. ජනපද විනාශ නොකර මීවදයකින් එක් එක් කෝෂ රාමුව ගළවා, පැණි සහ මී ඉටි එකතු කරන්න දැන් පුළුවන්කම ලැබුණා.
“සාර්ථක මී මැසි පාලනයක් සඳහා ඔබේ මී මැසි ජනපද කෙරෙහි ඔබට බලවත් ඇල්මක් තිබිය යුතුයි. ඔබේ මී මැස්සන්ට ඔබ පියෙක් වගෙයි; උන් මෙය වටහාගෙන, ඒ අනුව ප්‍රතිචාරය දක්වනවා කියලා මම විශ්වාස කරනවා. ඔබ උන්ගේ වෛද්‍යවරයා, රැකබලා ගන්නා, ශීත ඍතුවේ අමාරු කාලවලදී උන්ව පෝෂණය කරන්නා බවටත් පත් වෙනවා” කියා ජොන් පවසයි.
මාරිය තවදුරටත් මෙහෙම කියනවා: “දක්ෂ මී මැසි පාලකයෙකුට සාමාන්‍යයෙන්ම මී මැස්සන් 8 දාහක් සහ 80 දාහක් ඉන්න මීවදයක් දෙස බැලූ බැල්මටම බොහෝ දේවල් කියන්න පුළුවන්. ඔබ පළපුරුදු කෙනෙක් නම්, ඔබ මීවදය ඇරියහම ඇසෙන ගුමු ගුමු නාදයම ජනපදය වැඩිවර්ධනය වෙනවද, සඵලව හා ‘සන්තෝෂයෙන්’ ඉන්නවද, උන් කුසගින්නේ ඉන්නවද, රැජින මියගොස් ඇති නිසා උන් ‘අනාථ’ වෙලාද, අප්‍රසන්න දෙයක් හේතුවෙන් උන් කලබලයට පත් වෙලාද කියලා ඔබට කියයි; තව බොහෝ දේවලුත් කියන්න ඔබට පුළුවන්.”
සාර්ථක මී මැසි පාලනය සඳහා වැදගත් සාධක
“මී මැසි පාලකයෙක් තම මීවද තබන ස්ථානය පරෙස්සමින් තෝරාගැනීම තීරණාත්මක දෙයක්” කියා ජොන් පැහැදිලි කරයි. “මී මැස්සන්ට ආහාර සොයාගත හැකි, මලින් පිරි බිම් හොයාගන්න අපි දැඩි වෙහෙසක් දරනවා.
“මී මැසි පාලකයෙක් තම ජනපද කාර්යබහුලව තබාගැනීම සඳහා දොඩම් හා දෙහි වර්ගයට අයත් ගෙඩි සඵලව වැඩෙන තැන් සොයා යන්න පුළුවන්. ග්‍රීෂ්ම හා ශරත් ඍතුවේදී පයින් සහ දේවදාර ගස්වලින් පිරි ප්‍රදේශ, වෙළඳාම්පොළේ හොඳට විකිණෙන, පැහැදිලි රතු පැහැයෙන් යුතු හොඳ වර්ගයේ පැණි නිපදවන්න උපකාර කරනවා. කැලෑ තයිම් ගස් බහුලව වැඩෙන වතු යායවල් හොඳම වර්ගයේ පැණි—මී මැසි පාලකයන් කියන පරිදි පැණි රාජයා—සාදනවා. සුදු මල් සහිත තණ, කහ මල් සහිත තණ සහ ඇල්ෆැල්ෆාවලින් මී මැස්සෝ ආහාර සපයාගන්නවා.”
සාමාන්‍ය බුද්ධිය ඉතා වැදගත්. මාරිය මෙහෙම පැහැදිලි කරනවා: “අපි කඳුකර ප්‍රදේශවල මීවද තියන කොට, ඒවා කඳු පාමුල තැබීම වාසිදායකයි. එතකොට මී මැස්සන්ට කන්දේ ඉහළට පියඹලා, මලින් බර ගස්වල වහලා, මල් පැණි උරාගෙන පහසුවෙන් තමන්ගේ මීවදවලට පහළට පියාඹන්න පුළුවන්. ගස්වලට උඩින් බෑවුමේ බොහෝ ඈතකින් මීවද තිබෙනවා නම්, මෙය මී මැස්සන්ව වෙහෙසට පත් කර, ජනපදයේ වැඩිවර්ධනයට අහිතකර ලෙස බලපාන්න පුළුවන්.”
“ජනපදයක ශුභසිද්ධිය හා වැඩිවර්ධනය සඳහා රැජිනකගෙන් ඉටු වන වැදගත් මෙහෙය සෑම මී මැසි පාලකයෙක්ම දන්නා දෙයක්” කියා ජොන් පවසන්නේ තරුණ මී මැසි රැජිනක් ඉන්න කෝෂ රාමුවක් පරෙස්සමින් අල්ලමිනුයි. “පැටව් සහ පැණි නිසරු ප්‍රමාණවලින් උපදවන මීවදවල රැජිනව මරා, ඒ වෙනුවට වෙන රැජිනක් දැමිය යුතුයි. තරුණ රැජිනියන් සහිත ජනපද තමයි වැඩියෙන්ම පැණි සාදන්නේ. එමෙන්ම, අපිට අලුත් ජනපද හදන්න ඕනෙ වුණාම, මී මැස්සන්ගෙන් ගහන ශක්තිමත් ද්වි මීවදයක් ගෙන, උඩ සහ යට පෙට්ටිවලට වෙන් කරනවා. එකක රැජිනට ඉන්ඩ හැර, අනිකට අපි මෛථුනයේ යෙදුණු තරුණ රැජිනක් දානවා. මල් පිපෙන කාලයේදී, අලුත් රැජින බිත්තර දමයි; මීවදය වැඩකාර තරුණ මී මැස්සන්ගෙන් පිරී යයි.”
මී මැස්සෙක් කොයිතරම් කාලයක් ජීවත් වෙයිද? වැඩකාර මී මැස්සෙකුගේ ආයු කාලය, උගේ කඩිසරකමට සමානුපාතිකව වෙනස් වන බව අපට පවසා තිබෙනවා. ග්‍රීෂ්ම කාලයේදී, දවසකට පැය 15ක පමණ කාලයක් පුරා මී මැස්සෙක් මල්වලින් පැණි බොන විටත්, පැයට කිලෝමීටර් 21ක වේගයකින් පියඹන විටත් ඌ ජීවත් වෙන්නේ සති හයක් පමණයි. ශීත ඍතුවේදී මී මැස්සන් දිනකට පැය දෙකේ සිට තුනක් දක්වා පමණක් වැඩ කරන නිසා අඩුවෙන් උන්ගේ කය වෙහෙසෙන අතර, මෙසේ උන්ට මාස කීපයක් ජීවත් වෙන්න හැකිකම ලැබෙන්න පුළුවන්.
අනේකවිධ නිෂ්පාදන
මී මැසි පාලනය ගැන අපි කතා කරන විට මනසට ඉස්සෙල්ලම එන දේ පැණි බවට ස්ථිරයි. මෙම පැණි රස, ඇලෙන ද්‍රවය වැඩකාර මැස්සියක් විසින් පරිවර්තනය කළ මල් පැණියි. සාමාන්‍යයක් වශයෙන්, වාණිජ මීවදයකට වසරකට කිලෝග්‍රෑම් 29ක් නිපදවන්න පුළුවන්. මී මැස්සෙකුගේ ක්‍රියාකාරිත්වයේ තවත් අගනා අතුරු නිෂ්පාදනයක් තමයි, මී ඉටි. මීවදයක් වසර පහක හයක පමණ කාලයකට ප්‍රයෝජනවත්. ඒ වන විට, එහි වෙසෙන විවිධ ක්ෂුද්‍ර ජීවීන් හා පරපෝෂිතයන් නිසා එහි වර්ණය තද පැහැගැන්වී ඇති අතර, ඒ වෙනුවට අලුත් එකක් යෙදිය යුතුයි. ඉවත ලූ මේ මීවද, ඒවායේ මී ඉටි සඳහා පිළියෙළ කරනු ලබයි. සාමාන්‍ය වාණිජ නිෂ්පාදනය නම්, එකතු කළ සෑම පැණි ටොන් එකකටම මී ඉටි කිලෝග්‍රෑම් 9 සිට 18ක්.
පරාග—රැජින, වැඩකාර සහ පිරිමි මැස්සාගේ වැඩීම සඳහා අවශ්‍ය ප්‍රෝටීන්, විටමින්, ඛනිජ සහ මේදයේ ප්‍රධාන උල්පතයි; තවද මේවා ශාරීරික අසනීප කීපයකටම කදිම ස්වාභාවික බෙහෙතක් හැටියටද සමහරු ප්‍රශංසා මුඛයෙන් කතා කරනවා. වසරකට ඒවා කිලෝග්‍රෑම් 5ක් පමණ ලබා දෙන්න මීවදයකට හැකියි. තමන්ගේ මීවදය ආරක්ෂා කරන්නත්, ඉවත් කරන්න බැරි තරම් විශාල ඕනෑම ආක්රමිකයෙක්ව ආවරණය කරන්නත් මී මැස්සන් පාවිච්චි කරන ද්‍රව්‍ය ඉටියි.
කෙළින්ම හෝ වක්‍රව, අපි කෑමට ගන්න ආහාරවලින් හතරෙන් එකක පමණ නිෂ්පාදනය රඳන්නේ පැණි මී මැස්සාට ඵල බෝග පරාගණය කිරීමට ඇති හැකියාව මතයි. ඇපල්, කොට්ටම්බා, දියකොමඩු, මිදි, පෙයාස්, පිපිඤ්ඤා සහ විවිධ මල්බෙරි ජාති යන සියල්ලේ පරාගණය රඳා පවතින්නේ මී මැස්සන් මතයි. කැරට්, ලූනු සහ සූර්යකාන්ත මල්ද ඇතුළු බීජවලින් හටගන්න විවිධ බෝගද එසේමයි. ඇති කරන සතුන්ට ආහාර පිණිස දෙන ඇල්ෆැල්ෆා පරාගණය කරන නිසා මී මැස්සාගෙන්, මස් හා කිරි නිෂ්පාදනයන් සඳහාද බලපෑමක් තියෙනවා.
“සහජයෙන්ම ඥානවන්තයි”
“මී මැසි පාලකයන්ගෙන් වැඩිදෙනෙක් දෙවිව විශ්වාස කරනවා කියලා මම හිතනවා” කියා පවසන මාරිය, මී මැස්සාගේ සමාජ සැකැස්ම, උන්ගේ සංකීර්ණ ප්‍රජා ජීවිතයේ සිත්ගන්නා වර්ධනය සහ දිශාව සොයාගන්නත්, අදහස් හුවමාරු කරන්නත් උන්ට තිබෙන විශිෂ්ට හැකියාවන් සම්බන්ධයෙනුත් තේරුම්ගත නොහැකි දේ පැහැදිලි කරන්න අපේ නොහැකියාව ගැන අපට මතක් කර දෙනවා. මී මැස්සන් ගැන අධ්‍යයනය කරන හා සැලකිලිමත් වන බොහෝදෙනා මී මැස්සන් “සහජයෙන්ම ඥානවන්තයි,” එවැනි සහජ බුද්ධිය ත්‍යාගශීලීව උන්ට දීලා තියෙන්නේ අපේ උතුම් මැවුම්කාර යෙහෝවා දෙවිය යන කාරණයට යොමු දක්වනවා.—හිතෝපදේශ 30:24, සසඳන්න.
[29වන පිටුවේ කොටුව⁄පින්තූර]
මලේ සිට ඔබේ මේසය දක්වා
1 මල් පැණි සොයා යන පැණි මී මැස්සා මලක වහලා, පැණි උරයි
මලින් මලට යන මී මැස්සන් තම පැණි කෝෂය තුළට පැණි එකතු කරගනියි; එය උන්ගේ අන්නශ්රෝතය තරම් විශාලයි. මේ කෝෂය පිරවීම සඳහා එක් එක් පුෂ්පිකා වෙත මී මැස්සෙක් 1,000 සහ 1,500 අතර වාරයක් යා යුතුයි
2 යළි මීවදයට පැමිණ මීවදයේ කෝෂය තුළ පැණි අසුරයි
මීවදයට ඇතුල් වෙනවාත් එක්කම, පැණි ගෙනෙන මී මැස්සා තම කෝෂයේ ඇති පැණි තරුණ වැඩකාර මී මැස්සියෙකුගේ කට තුළට වමාරනවා. වැඩකාර මී මැස්සි මීවදයේ කෝෂයක් තුළ පැණි තැන්පත් කරන අතර, මල් පැණි මී පැණි බවට පරිවර්තනය කරන්න අවශ්‍ය කාර්යයන් සිදු කරනවා
3 මී මැසි පාලකයා පැණි එකතු කරයි
ඔහු සෑම රාමුවකම කෝෂ වැසී තිබෙන ඉටි, රත් කළ තලයකින් සූරා දමයි. ඉන්පසු ඔහු නිෂ්කර්ෂක යන්ත්‍රයක් තුළට රාමු දමන අතර එය, කේන්ද්‍රාපසාරී බලයකින් පැණි ඉවත් කරයි
4 බුජමවල හෝ තනි පංගු වශයෙන් පැණි අසුරනු ලබයි
මී මැස්සෝ ආහාරයට ගත්තේ මොන පැළද කියලා පැණි බුජමවල ලේබල් කියාපායි. බුජම විනිවිද පෙනෙනවා නම් පැණිවල පාටෙන් ඔබට ගුණය පරීක්ෂා කරන්න පුළුවන් වෙයි
5 ඔබේ සෞඛ්‍යයට පැණි හොඳයි!
ශරීරය, පහසුවෙන්ම පැණි උරාගන්නා අතර ශක්තිය බවට විගස පෙරළයි. පිලිස්සීම්වලට සහ සිරුරේ ඇති වුණ විවිධාකාර තුවාලවලට ප්‍රතිකාර කරන්න එය පාවිච්චි කළ හැකි බව වාර්තා පෙන්වයි