ජීවත් වෙලා ඉඳීම දැන් මට සතුටක්!
“ඔයා මැරෙන්නයි යන්නේ කියලා ඔයා දන්නවනෙ, නේද” කියලා වෛද්‍යවරයා ඇහැව්වා. ඊට වඩා වෙනස්ව, මීට ඉස්සෙල්ලා දෙවතාවක්ම, මැරෙන එක සහනයක් කියලයි හිතුවේ. නමුත් මේ අවස්ථාවේ එහෙම නෙවෙයි. මට පැහැදිලි කරන්න ඉඩහරින්න.
මම ඇති දැඩි වුණේ නියූ යෝක්වල උපනගරයක් වන ලෝං දූපතකයි; මගේ තාත්තා එහේ රේස්-කාර් එළෙව්ව ප්‍රසිද්ධ රියැදුරෙක්. ඔහු දේවල් අකුරටම කළ කෙනෙක්, ඒ වගේම තරඟයට ප්‍රිය කළ කෙනෙක්. ඒ විතරක් නෙවෙයි, ඔහු සතුටට පත් කරන්න හරිම අමාරු විනාඩියෙන් විනාඩියට වෙනස් වෙන කෙනෙක්. අම්මා ඊට වඩා වෙනස්, ඉතා සාමකාමී, නිවිච්ච කෙනෙක්; තාත්තා මෝටර් රථ ධාවන තරඟවලට සහභාගි වෙන කොට අම්මා ඒ දිහා බලන්නත් භය වුණා.
අම්මා ඒ වෙන කොටත් පුරුදු වෙලා හිටිය විදිහටම මගේ අයියයි, මමයි කුඩා කාලෙදීම තාත්තව කේන්තිගස්සන දේවල් ගෙදරදී නොකර ඉන්න ඉගෙනගත්තා. නමුත් ඒක ඒ තරම් පහසු දෙයක් වුණේ නෑ. අපි හැමෝම ජීවත් වුණේ තාත්තට භයෙන්. මට කිසි දෙයක් හරියට කරන්න බැහැයි කියලා හැඟෙන තරමටම ඒක මට බලපෑවා. මගේ නව යොවුන් වියේ මුල් කාලේ, පවුලේ “මිතුරෙක්” මට ලිංගිකව අතවර කරපු අවස්ථාවේ මගේ ආත්ම-ගෞරවය තවත් පහත බැස්සා. මගේ හැඟීම්වලට සාර්ථකව මූණ දෙන්න බැරුව, මම දිවි නහගන්න උත්සහ කළා. මැරෙන එක හොඳයි කියලා මම මුල් වතාවට හිතුව අවස්ථාවයි ඒ.
මට නොවටිනාබවකුත්, ආදරය නොලැබෙන බවකුත් හැඟුණා; අඩු ආත්ම-ගෞරවයක් තියෙන තරුණ ස්ත්රීන්ට සාමාන්‍යයෙන් ඇති වෙන ආහාර ගැනීමේ අක්රමිකතාවකුත් ඇති වුණා. [ඉංග්‍රීසි] සිංදුවක පද පේලියක තියෙන විදිහට “වැරදි තැන්වල ආදරය සොයමින්” මම සතුට සොයා යන ජීවිතයක් ගත කරන්න පටන්ගත්තේ, මත්පැන් හෝ මත්ද්‍රව්‍ය වැනි දෑ අනිසි විදිහට පාවිච්චි කරලා, වේශ්‍යාකම් කරලා, ඒ වගේම ගබ්සාවනුත් කරලයි. මෝටර්සයිකල් පැදීමේ, මෝටර් රථ ධාවන තරඟවලට යෑමේ හා ස්කූබ උපකරණය පැළඳගෙන දිය යට කිමිදීමේ නිරත වුණ මම, සූදුවේ නියැලෙන්නත් ලාස් වේගාස්වලට ඉඳලා හිටලා ගියා. භූතවාදයේ තියෙන අනතුරු තේරුම් නොගෙන මම සාත්තරකාරයෙක්ගෙන් උපදෙසුත් ගත්තා, විනෝදයට වීජා ලෑල්ලත් පාවිච්චි කළා.—ද්විතීය කථාව 18:10-12.
ඊට අමතරව, සතුට සොයා යෑම, මත්ද්‍රව්‍ය විකිණීම හා සාප්පු සොරකම් කිරීම වැනි නීති විරෝධී ක්‍රියාවල පටලැවෙන්න මඟ පෑදුවා. ඒ වගේම ආදරය හා අනුමැතිය සොයා යද්දී ප්‍රතිඵලය වුණේ පෙම්වතුන් හා විවාහ වෙන්න සිතාගෙන සිටින පෙම්වතුන් බොහෝදෙනෙක් ඇති කරගැනීමයි. මේ සාධක සියල්ලෙන්ම මම හිතුවටත් වඩා ගොඩක් අනතුරු සහිත ජීවන-රටාවක් බිහි වුණා.
දවසක්දා රාත්‍රියේ, ධාවන පථයේ පැත්තකින් පිහිටුවා තිබෙන මෝටර් රථ නඩත්තු වැඩපොළකදී මත්පැනුයි මත්ද්‍රව්‍යයි අරගත්තට පස්සේ, මම මෝඩකමට මගේ ප්‍රේමවන්තයාට මාව ගෙදර ඇරලවන්න ඉඩ දුන්නා. ඉදිරි ආසනයේදී මට සිහිය නැතුව ගියාට පස්සේ පැහැදිලිවම ඔහුටත් එහෙම වෙන්න ඇති. වාහනය හැප්පුණ නිසා මාව ගැස්සිලා ඇහැරුණා. තුවාල ගොඩක් එක්ක මාව රෝහල් ගත කළත්, අන්තිමේදී සුව වෙන කොට ආබාධයක් තිබුණේ දකුණු දණහිසේ විතරයි.
වඩාත් හොඳ දෙයක් කෙරෙහි ආශාව
මගේම ජීවිතයට මම අගයක් දැක්වුවේ නැති වුණත්, දරුවන්ගේ හා සතුන්ගේ ආරක්ෂාව හා අයිතිවාසිකම් ගැනත්, පරිසරය සුරැකීම ගැනත් මම ගොඩක් සැලකිල්ලක් දැක්වුවා. වඩාත් හොඳ ලෝකයක් දකින්න මම ලොකු ආශාවකිනුයි හිටියේ. ඒ නිසා එවැන්නක් බිහි කරන්න උපකාර කිරීමේ වෑයමක් වශයෙන් බොහෝ සංවිධානවලට බැඳිලා වැඩ කළා. මාත් එක්ක වැඩ කරපු යෙහෝවාගේ සාක්ෂිකාරියක් කිව්ව දේවලට මාව මුලින්ම ඇදිලා ගියේ, වඩාත් හොඳ ලෝකයක් සඳහා මා තුළ තිබුණ මේ ආශාව නිසයි. වැඩ කරද්දී මොනවා හරි වැරැද්දක් වුණහම, ඈ කලකිරිලා “මේ පිළිවෙළ” කියලා නොවරදවාම කියනවා. ඈ අදහස් කළේ මොකක්ද කියලා මම ඇගෙන් ඇහැව්වාම, කවදාහරි වැඩි කල් නොගොස් ජීවිතයේ හැම කනස්සල්ලක්ම නැති වෙනවා කියලා එයා පැහැදිලි කළා. මම ඇයට හුඟක් ගරු කළ නිසා, මම උනන්දුවෙන් ඇහුම්කන් දුන්නා.
අභාග්‍යයකට, අපිට මුණගැහෙන්න බැරුව ගියත්, ඈ මට කිව්ව දේවල් මට කවදාවත් අමතක වුණේ නෑ. දෙවිව සතුටු කරන්න නම්, කවදාහරි මගේ ජීවන රටාවේ විශාල වෙනස්කම් කරන්න මට සිද්ධ වෙයි කියලා මට වැටහුණා. නමුත් මම සූදානම් වෙලා හිටියේ නෑ. ඒ වුණත්, විවාහ වෙන්න බලාපොරොත්තුවෙන් ආශ්‍රය කරපු හැම කෙනෙක්ටම මම කිව්වේ මම කවදාහරි සාක්ෂිකාරියක් වෙනවා, ඕගොල්ලන් ඒකට කැමති නැත්නම්, දැන්මම මේ සම්බන්ධය නතර කරන එක හොඳයි කියලයි.
ප්‍රතිඵලයක් වශයෙන්, ඔයා උනන්දු වෙනවා නම් මමත් උනන්දු වෙනවා කියලා කියමින් මගේ අන්තිම ප්‍රේමවන්තයාට ඕනෙ වුණා තවත් දැනගන්න. ඉතින් අපි සාක්ෂිකරුවන්ව හොයන්න පටන්ගත්තා. ඒ වෙනුවට ඒගොල්ලො අපිව හොයාගත්තා අපේ ගෙදරට සේවයේ ආවහම. බයිබල් පාඩමක් ආරම්භ කළත් අන්තිමේදී මගේ ප්‍රේමවන්තයා තීරණය කළා පාඩම නවත්වලා, ආපහු එයාගේ භාර්යාව ළඟට යන්න.
මගේ බයිබල් පාඩම එක දිගටම කෙරුණේ නෑ. ජීවිතයේ පවිත්රත්වය පිළිබඳ යෙහෝවාගේ දෘෂ්ටිය අගය කරන්න මට කාලයක් ගියා. කොහොමවුණත්, මම කල්පනා කරන විදිහ වෙනස් කරගත්ත ගමන්ම මම තේරුම්ගත්තා, ගුවන්යානයෙන් පැනලා ගුවනේ කරණම් ගැසීමත්, දුම්පානයත් නතර කරන්න ඕනෙයි කියන එක. මට ජීවිතය වටිනා එකක් බව පෙනීයද්දී, තවදුරටත් අවදානම් තත්වයන් ගන්නේ නැතුව, පිළිවෙළක් වෙන්න මම හිත හදාගත්තා. මම 1985 ඔක්තෝබර් 18වෙනිදා බව්තීස්මය මගින් යෙහෝවාට මගේ කැපවීම සංකේතවත් කළා. වැඩි කල් නොගොස් මගේ ජීවිතය උවදුරේ තියෙයි කියන එක මට තේරුම්ගියේ නෑ.
යළිත් මැරෙන්න කැමැත්තෙන්
මාස කීපයකට පස්සේ—1986 මාර්තු 22වෙනිදා රාත්‍රියේ—ලොන්ඩරියෙන් ගෙනාපු ඇඳුම් මගේ කාර් එකෙන් එළියට අරගනිමින් මගේ ගේ ඉස්සරහ ඉන්දැද්දී, වේගයෙන් ආව කාර් එකක් මාව හප්පලා, මීටර් තිහකටත් වඩා දුරකට මාව ඇදගෙන ගියා! හප්පලා පැනලා යන කෙනෙක්ගේ ගොදුරක් බවට මාව පත් වුණා. මගේ ඔළුව තුවාල වුණත්, දිගටම මට සිහිය තිබුණා.
ගනඳුරු පාරක් මැද මුණින් අතට වැටිලා හිටිය මට හිතාගන්න පුළුවන් වුණේ, තවත් වාහනයක් ඇවිල්ලා මාව හප්පයි කියන භයානක සිතුවිල්ල විතරයි. මට දරාගන්න බැරි තරමට වේදනාව උග්‍ර වෙලා තිබුණා. ඒ නිසා මට මැරෙන්න ඉඩහරින්නයි කියලා මං දිගටම යෙහෝවට යාච්ඤා කළා. (යෝබ් 14:13) ස්ත්‍රියක් ආවා; ඇය සාත්තු සේවිකාවක්. මගේ කකුල් කැපිලා කෙටිලා තිබුණ නිසා මගේ කකුල් හරියට හදන්න කියලා මම ඇයට කිව්වා. ඈ එහෙම කරලා, එක කකුලක විවෘත කැපුම්වලින් ගලන ලේ නතර කරන්න ඇගේ ගවුමෙන් කොටසක් ඉරලා තිරිංගයකුත් හැදුවා. ලේවලින් පිරිලා තිබුණ මගේ සපත්තු හම්බ වුණේ ඊළඟ ගෙවල් පේළිය ළඟ තිබිලයි!
මාව පහු කරලා යන අය, මම පාරේ ගමන් කළ කෙනෙක් බව තේරුම්ගන්නේ නැතුව, මගේ කාර් එක තිබුණේ කොහේද කියලා තොරතෝංචියක් නැතුව ඇහැව්වා. මාව කොච්චර දුරකට ඇදගෙන ඇවිල්ලද කියන එක දන්නැතුව මම හිතුවේ මම තාමත් ඉන්නේ කාර් එක ළඟ කියලයි! ජංගම වෛද්යාධාරකයන් ආවහම ඔවුන් හිතුවේ මං මැරෙයි කියලයි. රථවාහන පිළිබඳ මිනීමැරුමක් බරපතළ අපරාධයක් වෙන්න පුළුවන් නිසා, ඔවුන් පොලිස් රහස් පරීක්ෂකයන්ව කැඳෙව්වා. අන්තිමේදී රියැදුරාව අත්අඩංගුවට ගත්තා. අපරාධයක් සිද්ධ වුණ තැනක් වශයෙන් ඔවුන් ඒක සිද්ධ වුණ හරිය කොටු කර, මගේ කාර් එක සාක්ෂියක් හැටියට නීතිය භාරයේ තියාගත්තා. එක පැත්තක දොරවල් දෙකම ගැළවිලා ගිහින් තිබුණා.
අර්බුදයකට මූණ දී
මේ අතරතුරේදී, ඒ හරියෙම තිබුණ සාත්තු සායනයකට මාව ගෙනිච්චහම, ඔක්සිජන් මුව වැස්මක් දාගෙන හිටියත් මම නොනවත්වාම මෙහෙම කිව්වා: “ලේ එපා, ලේ එපා. මම යෙහෝවාගේ සාක්ෂිකාරියක්!” ලොකු කතුරකින් මගේ පිට පැත්තේ ඇඳුම කපනවාත්, සාත්තු කණ්ඩායම උමතුවෙන් මෙන් නියෝග දෙනවා ඇහෙනවත් විතරයි මට මතක.
මට සිහිය ආවම, මං ජීවත් වෙලා ඉන්න එක ගැන මටම පුදුම හිතුණා. මට එක දිගටම හොඳ සිහිය තිබුණේ නෑ. මට සිහිය ආව හැම වෙලාවකම, මාත් එක්ක බයිබලය පාඩම් කළ යුවළව මට මුණගස්සන්නයි කියලා මම මගේ පවුලේ අයට කිව්වා. මම සාක්ෂිකාරියක් වීම ගැන මගේ පවුලේ අයට ප්‍රසාදයක් තිබුණේ නැති නිසා, ඔවුන් ඒගොල්ලන්ට දන්වන එක පහසුවෙන්ම “අමතක” කළා. නමුත් මගේ උත්සාහය අත්ඇරියේ නෑ—මං ඇස් ඇරිය හැම මොහොතකම ඇහැව්ව මුල්ම දේ ඒකයි. අන්තිමේදී, මගේ උත්සාහයට ප්‍රතිඵල ලැබුණා; දවසක් මම ඇහැරිලා බලන කොට, ඔවුන් ඇවිත් හිටියා. කොයිතරං සහනයක්ද! යෙහෝවාගේ සෙනඟ දැනගෙන හිටියා මම කොහෙද කියන එක.
කොහොමනමුත්, මගේ ලේ මට්ටම අඩු වෙන්න පටන්ගත්ත නිසාත්, තදින් උණගත්ත නිසාත් මගේ ප්‍රීතිය පැවතුණේ ටික වෙලාවකටයි. රෝග බීජ පතුරුවයි කියලා සැක කළ ඇට කටු අරන් දැම්ම අතර, මගේ කකුල ඇතුළට කූරු හතරක් දාලා සවි කළා. නමුත් විගස මගේ උණ ආයිත් වැඩි වෙලා, මගේ කකුල කළු වුණා. කකුල කුණු වෙන්න පටන්ගෙන තිබුණ නිසා කකුල කපන එක විතරයි විසඳුමකට තිබුණේ.
ලේ ගන්න බල කළා
මගේ ලේ මට්ටම ශීඝ්‍රයෙන් අඩු වෙලා තිබුණ නිසා, රුධිර ප්‍රවේශනයකින් තොරව ශල්‍යකර්මයක් කරන්න බැරි තත්වයකටයි පත් වෙලා තිබුණේ. වෛද්‍යවරු, සාත්තු සේවිකාවන්, පවුලේ සාමාජිකයන් සහ කලින් හිටිය මිත්රයන්ව කැඳෙව්වා මට බල කරන්න. ඊට පස්සේ මගේ දොර ළඟ රහසින් කතා කරන්න පටන්ගත්තා. වෛද්‍යවරු මොකක් හරි සැලැස්මක් යොදන්න යන බව මට ඇහුණත් මොකක්ද කරන්න යන්නේ කියන එක තේරුම්ගන්න බැරි වුණා. ප්‍රවේශනයක් ලබාගන්න මට බල කරන්න සැලැස්මක් යොදන බව, මාව බලන්න ආව සාක්ෂිකාරියකට ඇහුණේ හොඳ වෙලාවට. ඒ මොහොතෙම ඇය ප්‍රදේශයේ ක්‍රිස්තියානි වැඩිමහල්ලන්ට දැන්නුවා; ඔවුන් මගේ සහයට පැමිණුණා.
මගේ මානසික තත්වය උසස් කරන්න මනෝචිකිත්සකයෙක්ව ගෙනාවා. පැහැදිලිවම අභිප්‍රාය වෙලා තිබුණේ, මට හරි තීරණයක් අරගන්න බැහැයි කියා ප්‍රකාශ කර, මගේ කැමැත්තට විරුද්ධව කටයුතු කිරීමයි. මේ සැලැස්ම අසාර්ථක වුණා. ඊට පස්සේ, ලේ ගත්තට වරදක් නෑ කියලා මට ඒත්තුගන්වන්න, රුධිර ප්‍රවේශනයක් ලබාගෙන තිබුණ පූජකයෙක්ව ගෙනාවා. අන්තිමේදී, මට ලේ ගන්න බල කරන්න මගේ පවුලේ අය අධිකරණ නියෝගයක් ඉල්ලා හිටියා.
පාන්දර දෙකට විතර, වෛද්‍යවරු කණ්ඩායමක්, අධිකරණ ලඝුලේඛිකාවක්, පිස්කල් මුලාදෑනියෙක්, රෝහල නියෝජනය කරන නීතිඥයන් හා විනිශ්චයකාරවරයෙක් රෝහලේ මගේ කාමරයට ඇතුල් වුණා. නඩු විභාගය පැවැත්තුවා. මට කලින් දන්වලවත්, බයිබලයක්වත් තිබුණේ නෑ; මා වෙනුවෙන් පෙනී සිටින්න කෙනෙක්වත් හිටියේ නෑ; වේදනාවට මට බෙහෙත් කීපයක්ම දීලයි තිබුණේ. නඩු විභාගයේ ප්‍රතිඵල? පෙරටත් වඩා තමා යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ අඛණ්ඩතාව සම්බන්ධයෙන් පැහැදුණ බව පවසමින් විනිශ්චයකාරවරයා අධිකරණ නියෝගය අහෝසි කළා.
මා ගැන බලන්න නියූ ජ’සි, කැම්ඩන්වල රෝහලක් එකඟ වුණා. නියූ යෝක්වල රෝහලේ පරිපාලකයන් දැඩි කෝපයකින් හිටිය නිසා, ඔවුන් මට වේදනා නාශකවත්, කිසිම ප්රතිකාරයක්වත් නොදී ඇරියා. නියූ ජ’සි රෝහලට මාව ගෙනියන්න තිබුණ හෙලිකොප්ටරය බස්සන්න පවා ඔවුන් ඉඩ දුන්නේ නෑ. ගිලන් රථයේ ඇවිත් මාව බේරුණ නිසා ස්තුතිවන්ත වෙන්න ඕනෙ. එන අතරතුරේදී, මේ කතන්දරේ මුලදී සඳහන් කළ වචන මට ඇහුණා: “ඔයා මැරෙන්නයි යන්නේ කියලා ඔයා දන්නවනෙ, නේද?”
ශල්‍යකර්මය—සාර්ථක වුණා
මං කොච්චර දුර්වලව හිටියද කිව්වොත්, ශල්‍යකර්මය සඳහා අවසර දෙන බවට කැමැත්ත පළ කරන පෝරමයේ X ලකුණ දාන්න, හෙදියකට සිද්ධ වුණා මට උපකාර කරන්න. මගේ දකුණු කකුලේ දණහිසට උඩින් කපන්න සිද්ධ වුණා. ඊට පස්සේ, මගේ හිමොග්ලොබින් මට්ටම 2ට වඩා අඩු වුණ අතර, මොළේ බරපතළ හානියක් වෙයි කියලා වෛද්‍යවරු සැක කළා. ඒකට හේතුව, ඔවුන් මගේ කනට කරලා “ව’ජිනියා, ව’ජිනියා” කිව්වත් ඔවුන්ට උත්තරයක් ලබාගන්න බැරිවීමයි. මගේ ප්‍රවේශ ලියකියවිලිවල තිබුණේ ඒ නමයි. ඒත් ඊට ටිකකට පස්සේ “ජින්ජ’, ජින්ජ’” කියලා මෘදු හඬින් මුමුණන හඬ ඇහිලා, මම මගේ ඇස් ඇරියාම මම මීට කලින් කවදාවත් දැකලා නැති මහත්තයෙක්ව මම දැක්කා.
නියූ ජ’සිවල යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රාදේශීය සභාවකින් පැමිණි කෙනෙක්, බිල් ට’පින්. මගේ ජීවිත කාලය පුරාම මට පටබැඳිලා තිබුණ ජින්ජ’ කියන නම, ඔහු නියූ යෝක්වල ඉන්න සාක්ෂිකාරයන්ගෙන් දැනගෙන තිබුණා. මට ස්වාසකයක් දාලා, කොහොමටවත් කතා කරගන්න බැරුව හිටිය නිසා, මට ඇස්පිල්ලන් ගහලා උත්තර දෙන්න පුළුවන් වෙන විදිහට ඔහු ප්‍රශ්න ඇහැව්වා. “මම ඔයාව නිතර බලන්න ඇවිත්, ඔයා ගැන නියූ යෝක්වල ඉන්න සාක්ෂිකාරයන්ට කියනවට ඔයා කැමතිද” කියලා ඔහු ඇහැව්වා. මම දිගටම ඇස්පිල්ලන් ගැහැව්වා! මාව බලන්න කිසිම සාක්ෂිකාරයෙකුට ඉඩ දෙන්න එපා කියලා මගේ පවුලේ අය නියම කරලා තිබුණ නිසා, සහෝදර ට’පින් මගේ කාමරයට හොරෙන් ඇතුල් වෙලා තියෙන්නේ ඕන එකක් වුණාවේ කියලා හිතලයි.
මාස හයක් රෝහලේ හිටියට පස්සේ, මට කරගන්න පුළුවන්කම තිබුණේ කෑම කන්න, දත් මැදගන්න එක වගේ එදිනෙදා කරන මූලික දේවල් විතරයි. අන්තිමේදී, මට කෘත්‍රිම කකුලක් ලැබුණා; හැරමිටියක ආධාරයෙන් එහෙට මෙහෙට යන්න පුළුවන්කම ලැබුණා. මම 1986 සැප්තැම්බර්වලදී රෝහලෙන් පිට වෙලා මගේ නවාතැනට ආයිත් ගියහම, තවත් මාස හයකට විතර මට සාත්තු කරන්න සාත්තු සේවිකාවක් මාත් එක්ක ගෙදර නතර වුණා.
අපේ සහෝදරත්වයෙන් උපකාර
ක්‍රිස්තියානි සහෝදරත්වයේ හවුල්කරුවෙකුව ඉන්නවා කියන එකේ අර්ථය ස්තුතිවන්තව තේරුම්ගන්න මම ඇත්තෙන්ම පටන්ගත්තේ නැවත ගෙදර එන්නත් ඉස්සෙල්ලා ඉඳලමයි. (මාර්ක් 10:29, 30) සහෝදර සහෝදරියන්, මගේ ශාරීරික අවශ්‍යතාවලට විතරක් නෙවෙයි, ආත්මික අවශ්‍යතාවලටත් ප්‍රේමයෙන් අත හිත දුන්නා. ඔවුන්ගේ ප්‍රේමනීය උපකාරයෙන්, මට යළිත් ක්‍රිස්තියානි රැස්වීම්වලට යන්නත්, කල්යත්ම, උපකාරික පුරෝගාමී සේවය ලෙස හඳුන්වන සේවයෙහි හවුල් වෙන්නත් පුළුවන්කම ලැබුණා.
අධිකරණ නඩු ලේඛනයට අනුව, මෝටර් රථ රියැදුරෙක්ට විරුද්ධව සිවිල් නඩුවක් පවත්වන්න සාමාන්‍යයෙන්ම අඩුම තරමින් අවුරුදු පහක කාලයක්වත් ගත වුණත්, මගේ නීතිඥයාවත් පුදුමයට පත් කරමින් මේ නඩුව මාස කීපයකින් විසඳුණා. ලැබුණ වන්දි මුදලෙන් වඩාත් පහසුවෙන් යන්න එන්න පුළුවන් ගෙදරකට මාරු වෙන්න මට පුළුවන් වුණා. එයිට අමතරව, රෝද පුටුවක් උස්සන ආරෝහකයක් සහ අත් පාලක තියෙන වෑන් රථයක් මිලට ගත්තා. මේ හේතුවෙන්, 1988දී හැම අවුරුද්දේම දේශනා වැඩයට අඩු ගානෙ පැය 1000ක්වත් වෙන් කරමින්, මම ස්ථාවර පුරෝගාමී සේවයට ඇතුල් වුණා. ගෙවිලා ගිය අවුරුදුවලදී, උතුරු ඩැකෝටා, ඇලබාමා සහ කෙන්ටකි ප්‍රාන්ත බලප්‍රදේශවල වැඩ කිරීමෙන් මහත් ප්‍රීතියක් ලැබුවා. මම මගේ වෑන් රථයේ කිලෝමීටර් 1,50,000කට වඩා ගිහින් තියෙනවා; වැඩිහරියක් ක්‍රිස්තියානි දේවසේවය සඳහායි.
මගේ විද්‍යුත් ත්‍රී-රෝද ස්කූටරය පාවිච්චි කරන කොට සිනහ පහළ වෙන අද්දැකීම් හුඟක් මට ලැබුණා. සංචාරක අවේක්ෂකයන්ගේ භාර්යාවන් එක්ක වැඩ කරද්දී දෙවතාවක්ම මට අනතුරු වුණා. එක වතාවකදී, ඇලබාමාවලදී, පොඩි දිය පාරක් පන්නන්න පුළුවන් වෙයි කියලා වැරදියට හිතපු මම නැවතුණේ වැටිලා මඩගොඩේ එරිලයි. ඒත්, සිනාමුසුව, මා ගැන ඕනෑවට වඩා හිතන්නේ නැතුව සිටීමෙන් හරි ආකල්පයක් තියාගන්න මට උපකාර වෙලා තියෙනවා.
ස්ථිර බලාපොරොත්තුවකින් උසුලාගෙන
සමහර වෙලාවට තිබිලා තියෙන සෞඛ්‍ය ගැටලු දරාගන්නත් බැරි තරම්. මගේ අනිත් කකුලත් කපන්න වෙයි කියන තත්වයක් උදා වෙලා තිබුණ හින්දා, වසර කීපයකට පෙර අවස්ථා දෙකකදීම මට පුරෝගාමී සේවය නවත්තන්න සිද්ධ වුණා. මගේ කකුල නැතිවීමේ තර්ජනය දැන් දිගටම පවතින අතර, පහුගිය අවුරුදු පහ තුළ මට රෝද පුටුවටම වෙලා ඉන්න සිද්ධ වුණා. එක්දාස් නවසිය අනූහතරෙදී මගේ අත කැඩුණා. නාගන්න, ඇඳගන්න, උයාගන්න වගේම පිරිසිදු කරගන්න මට උපකාරය අවශ්‍ය වුණා; ඕනෙම තැනකට යන්න ප්‍රවාහණ පහසුකම් අවශ්‍ය වුණා. ඒත්, සහෝදරයන්ගේ සහයෝගය නිසා, මේ පසුබැසීම්වලදීත් දිගටම පුරෝගාමී සේවය කරන්න මට පුළුවන් වුණා.
මගේ ජීවිත කාලය පුරාම සතුටක් ලැබිය හැකියි කියලා පෙනුණ දේවල් කරන්න මම උත්සාහ කළත්, වඩාත්ම සතුටුදායක කාලවල් තියෙන්නේ ඉදිරියේදී බව දැන් මට වැටහෙනවා. ඉතාමත්ම ඉක්මනින් එන, දෙවිගේ අලුත් ලෝකයේදී ඔහු දැන් පවතින හැම ආබාධයක්ම සුව කරයි කියන මගේ ඒත්තුගැනීම තමයි, දැන් ජීවත් වෙලා ඉන්න මාව සතුටට පත් කරවන්නේ. (යෙසායා 35:4-6) ඒ නව ලෝකයේදී, තල්මසුන් හා ඩොල්ෆීනයන් එක්ක පීනන්නත්, සිංහදෙනක් හා ඇගේ පැටව් එක්ක කඳු තරණය කරන්නත්, මුහුදු වෙරළේ ඇවිදින එක වගේ සුළු දෙයක් කරන්නත් මං ලොකු ආසාවකින් බලා ඉන්නවා. ඒ පාරාදීස පොළොවේ අපිට භුක්ති විඳින්න දෙවි මවලා තියෙන හැම දෙයක්ම භුක්ති විඳින විදිහ සිතෙන් මවාගැනීමෙන් මම ඉමහත් සතුටක් ලබනවා.—ජින්ජ’ ක්ලව්ස් පවසන ලදි.
[29වන පිටුවේ පින්තූරය]
සූදුව මගේ ජීවිතයේ කොටසක් වෙලා තිබෙද්දී
[31වන පිටුවේ පින්තූරය]
දෙවිගේ පොරොන්දු මාව උසුලනවා