අන්තිමේදී මං සත්‍යය සොයාගත්තා
වර්ෂ 1939 අගෝස්තු අගභාගයේදී, මං මගේ වාස භූමිය වූ හංගේරියාවේ බූඩපෙස්ට් වෙත යන ගමනේදී මොස්කව්වල නැවතුණා. ජ’මානු-සෝවියට් සටන් නොකිරීම සඳහා එළැඹුණු ගිවිසුම අත්සන් කර තිබුණේ ඊට ටික දවසකට කලිනුයි, එනම් අගෝස්තු 23වෙනිදායි; නාට්සි ස්වස්තික කොඩිවලින් ක්‍රෙම්ලින් තාප්පය සරසා තිබුණා. මම රුසියාවේ සිටියේ ඇයි? ඒ වගේම ගෙදර යාමෙන් මාව රඳවාගත්තේ මොකක්ද?
මුලින්ම, 1918 ජනවාරි 15වෙනිදා මං ඉපදුණු පුංචි හංගේරියානු ටවුම වූ වෙස්ප්රාම් වෙත යන්න ඉඩ දෙන්න. පවුලේ ළමයි හතරදෙනාගෙන් වැඩිමලා මමයි; අපි නිතිපතාම පල්ලි යන බවට අපේ දෙමාපියෝ වගබලා ගත්තා. අවුරුදු පහක් විතර වෙනකොට මම රෝමානු කතෝලික මඩමක පූජාවට උදව් වෙමින් හිටියා. ගෙදරදී, මං හදාගත්තු කඩදාසි පූජක ඇඳුම ඇඳගෙන මගේ සහෝදර සහෝදරියන් වෙනුවෙන් පූජාව පවත්වනවා වගේ මම සෙල්ලමට රඟපානවා.
මට වයස අවුරුදු අටේදී, තාත්තා පවුල අතෑරලා ගියා; අම්මා ආච්චිගේ උදව් ඇතුව අපිව හදාවඩා ගත්තා. ඊළඟ අවුරුද්දේදී, පිළිකාවක් හේතුවෙන් අම්මා මියගියා. ඊළඟ අවුරුදුවලදී, අපිව වෙන් කරල විවිධ අනත්දරු නිවාසවලට සහ දරුවන් බලාගන්න කැමති තැන්වලට දැම්මා. මම අන්තිමට හිටිය අනත්දරු නිවාසය තිබුණේ, බූඩපෙස්ට්වලට කිට්ටුවෙන්. ඒක පාලනය කළේ, ෆ්රා මාරිස්ට් (මරිය සහෝදරයෝ) කියන ප්‍රංශ කතෝලික ගුරුවරුන්ගේ පිළිවෙත මගිනුයි. මට දෙවි කෙරෙහි සැබෑ ආදරයක් තිබුණ හින්දා අවුරුදු 13 වෙද්දිම, ඔවුන්ගේ ආගමික පිළිවෙත් මගින් ඉදිරිපත් කරන අධ්‍යාපනය පිළිගත්තා.
සවිස්තර ආගමික පුහුණුව
ඊළඟ අවුරුද්දේදී, ගුරුවරයෙකු විදිහට පුහුණු වෙන්න, ප්‍රංශ භාෂාවෙන් පැවැත්වූ ෆ්රා මාරිස්ට් පාසැලකට සහභාගි වීම සඳහා මාව ග්‍රීසියට යැව්වා. අවුරුදු හතරකට පස්සේ, ඒ කියන්නෙ 1936දී, ප්‍රාථමික පාසැලට ඉගැන්වීම සඳහා සුදුසුකම් සහතිකයක් සමඟ උපාධියක් ලැබුවා. උපාධිය ලැබුවාට පසු, දිළිඳුකමේ, කීකරුකමේ සහ පිරිසිදුකමේ තෙවැදෑරුම් භාරයක් පිළිගනිමින් ආගමික පිළිවෙත් අනුව, බ්රද’ කෙනෙක් බවට පත් වුණා. අපි බ්රද’ලා වගේ ලෝගුවක් ඇඳගත්තට, ප්‍රශ්නෝත්තර ක්‍රමයට ඉගැන්නුවාට, කිසිම දවසක බයිබලය පාඩම් කරල තිබුණේ නැහැ.
ඒ ගිම්හානයේදී, චීනයේ තියෙන පාසැලේ උගන්වන්න ඉල්ලුම් කළ අතර, එය අනුමත කර තිබුණා. වර්ෂ 1936 ඔක්තෝබර් 31වෙනිදා, ප්‍රංශයේ මාසේස්වලින් නැව් නැඟ්ගා. ඒ අවුරුද්දෙම දෙසැම්බර් 3වෙනිදා මම ෂැංහයි වෙත ළඟා වුණා. එතන ඉඳලා මම උතුරු චීනයේ පිහිටි, රටේ අගනුවර වන බෙයිජිංවලට කෝච්චියෙන් ගියා.
ෆ්රා මාරිස්ට් ආගමික පිළිවෙතට අයත් විශාල පාසැලක්, නිදනශාලා සහ ගොවිපොළ ගොඩනැඟිලි, බෙයිජිං ඉඳලා කිලෝමීටර් 25ක් විතර එහායින් කඳුකර පෙදෙසක පිහිටා තිබුණා. ඒක පිහිටල තිබුණේ අධිරාජ්‍යයාගේ ගිම්හාන නිවාසය අසල වූ අතර, ඊට අයිති වගා කළ ලස්සන වතු සහ පළතුරු ගස් තිබුණා. එහිදී මම චීන සහ ඉංග්‍රීසි යන භාෂා දෙක සවිස්තරව ඉගෙනගැනීමේ යෙදුණා. එහෙත් අපි කිසිදාක බයිබලය ඉගෙනගත්තේ නැහැ.
වියවුල මැද්දේ
වර්ෂ 1930 ගණන්වල මුල් අවධියේදී, චීනයේ කොටසක් වූ මැංචූරියාව, ජපානය විසින් අල්ලාගත්තා. වර්ෂ 1937 ජූලි මාසයේදී, ජපන් සහ චීන හමුදා බෙයිජිං අසලදී ගැටුණා. විජයග්‍රාහි ජපන් ජාතිකයන්, තෝරාගත් චීන පාලකයන්ගෙන් සැදුණු අලුත් ආණ්ඩුවක් පිහිටෙව්වා. මෙය අලුත් ආණ්ඩුවට විරුද්ධව සටන් කිරීමට චීන ගරිල්ලා භටයන්ව මඟ පෑදුවා.
අපේ පූජකාරාමය බෙයිජිංවලට එපිටින් තිබුණු හින්දාත්, ප්‍රංශ බලප්‍රදේශය හැටියට පිළිගෙන තිබුණු හින්දාත්, කෙළින්ම සිදු වන සටන්වලින් වැළකිලයි තිබුණේ. ඒත්, වැරදී යන කාලතුවක්කු උණ්ඩ සහ වෙඩි තැබීම් හින්දා, සරණ පතා පූජකාරාමයට පැමිණ සිටි චීන ජාතිකයන් 5,000කට වැඩිදෙනෙකුගෙන් සමහරෙක් තුවාල ලැබුවා. මේ අතරතුරේදී, චීන ගරිල්ලා භටයෝ පිටිසරබද පළාත් පාලනය කරමින් සිටියා.
වර්ෂ 1937 සැප්තැම්බර් මාසයේදී, ආයුධ සන්නද්ධ චීන ගරිල්ලා භටයෝ 300ක් විතර, ආයුධ, මුදල් සහ කෑම සෙවීමේ අටියෙන් අපේ ගොඩනැඟිලිවලට පහර දුන්නා. මම, ප්‍රාණ ඇපකරුවන් හැටියට අල්ලගත්තු යුරෝපීයයන් දහදෙනාගෙන් කෙනෙක් වගේම, ඒ විදිහට දවස් හයක් තියාගෙන මුලින්ම නිදහස් කළ ප්‍රාණ ඇපකරුවන්ගෙන් කෙනෙක්ද වුණා. පිළුණු වෙච්ච කෑම කාලා මං ලෙඩ වුණා; ඒ හින්දා මට මාසයක් ඉස්පිරිතාලෙ ලගින්න සිද්ධ වුණා.
ඉස්පිරිතාලෙන් ආවට පස්සේ, ආගමික පිළිවෙත් මගින්ම ක්‍රියාත්මක වූ, බෙයිජිංහි වඩාත් ආරක්ෂිත ප්‍රදේශයක තිබුණු පාසැලකට මාව මාරු කළා. වර්ෂ 1938 ජනවාරි මාසෙදි, උගන්වන්න මාව ෂැංහයිවලට යැව්වා; ඒත් සැප්තැම්බර් මාසෙදි බෙයිජිංවල උගන්වන්න ආයෙත් එහෙට ගියා. කොහොම වුණත්, පාසැල් වසරෙන් පස්සේ මම මගේ ආගමික භාරය අලුත් කළේ නැහැ. අවුරුදු හතක් තිස්සේ ධාර්මික ජීවිතයක් සහ අධ්‍යාපනය ලුහුබැන්දත්, සත්‍යය සෙවීම තුළ තෘප්තිය සොයාගන්න අසමත් වුණා. ඒ නිසා මම ආගමික පිළිවෙත හැරදා බූඩපෙස්ට්හි මගේ වාසය කරා ගියා.
මේ වන විට IIවන ලෝක සංග්‍රාමය සඳහා අවදානම් සහිත සිදුවීම් එක්රැස් වෙමිනුයි තිබුණේ. ප්‍රංශයේ සිටි මගේ උසස් දේවගැතිවරු, එක්සත් සෝවියට් සමූහාණ්ඩුවේ විවිධ ප්‍රදේශ හරහා ගමන් කරන ට්‍රාන්ස්-සයිබීරියන් දුම්රිය මාර්ගයෙන් එන්න කියා දිරිගැන්නුවා. මෙන්න මේ ගමනෙදි, ඒ කියන්නේ, 1939 අගෝස්තු 27වෙනිදා මං මොස්කව් වෙත ළඟා වෙද්දී තමයි, ක්‍රෙම්ලින් තාප්පය නාට්සි කොඩිවලින් සරසල තියෙනවා දැක්කේ.
ලෝකයක් සංග්‍රාමයක
වර්ෂ 1939 අගෝස්තු 31වෙනිදා, මම බූඩපෙස්ට්හි මගේ වාස භූමියට පැමිණියා. ඊළඟ දවසේදී ජ’මනිය පෝලන්තය ආක්‍රමණය කරනවාත් එක්කම IIවන ලෝක මහා සංග්‍රාමය ඇරඹුණා. ඊටපසුව ජ’මනිය එක්සත් සෝවියට් සමූහාණ්ඩුව සමඟ සටන් නොකිරීම සඳහා එළැඹුණු ගිවිසුම කැඩූ අතර, 1941 ජූනි 22වෙනිදා, හිට්ල’ගේ යුද හමුදාව එක්සත් සෝවියට් සමූහාණ්ඩුව ආක්‍රමණය කළා. ඔවුන් මොස්කව්හි නගරාසන්න පෙදෙස් පීරාගෙන ඇතුල් වුණත් නගරය අල්ලාගැනීමට පුළුවන් වුණේ නැහැ.
හංගේරියානු ආණ්ඩුකාරයා ජ’මනිය සමඟ සාම ගිවිසුමකට අත්සන් තැබූ අතර, ජ’මානු යුද හමුදාවට හංගේරියාව හරහා යාමට නිදහස දෙනු ලැබුවා. මම 1942දී විවාහ වුණා; 1943දී මාව හංගේරියානු හමුදාවට බලෙන් බන්දගත්තා. හිට්ල’ගේ යුද්ධ ප්රයත්නයට තෘප්තිකර සහයක් හංගේරියාවෙන් නොලද හෙයින් 1944 මාර්තු මාසයේදී ජ’මනිය, හංගේරියාව ආක්‍රමණය කළා. ඒ අවුරුද්දේදීම අපේ පුතා ඉපදුණා. බූඩපෙස්ට්හි අධික බෝම්බ හෙළීමෙන් ආරක්ෂා වෙන්න මගේ බිරිඳ පුතාවත් අරං ඇගේ දෙමාපියන් එක්ක පිටිසරබද පෙදෙසට ගියා.
යුද්ධයේ තත්වය වෙනස් වෙලා සෝවියට් හමුදාව 1944 දෙසැම්බර් 24වෙනිදා බූඩපෙස්ට් අල්ලාගත්තා. මාව රුසියානුවන් විසින් අල්ලාගෙන යන ලදුව යුද්ධයේ සිරකාරයෙක් බවට පත් වුණා. සිරකරුවන් දහස් ගණනකට කිලෝමීටර් 160ක් ඈතින් පිහිටි හංගේරියාවේ බෝයෝ වෙත පයින් යන්න බල කළා. එතන ඉඳලා හරක් ගෙනියන කෝච්චි පෙට්ටිවල පටවාගෙන තිමිසොආරාහි පිහිටි විශාල ගාල් කඳවුරට ගිහිං දැම්මා. සිරකරුවන් 45,000න් අඩුම තරමින් 20,000දෙනෙක්වත් 1945 මුල් අවධියේදී ටයිෆොයිඩ් වසංගතෙන් මියැදුණා.
අගෝස්තුවේදී, කඳවුරේ දිවි රැකී තිබුණු 25,000දෙනාව කළු මුහුද දක්වා ගෙන ගියා. එතනින් 20,000ක් විතර එක්සත් සෝවියට් සමූහාණ්ඩුවට නෙරපා දැම්මා. කෙසේවෙතත්, මාත් ඇතුළුව අසනීප වී සිටි 5,000දෙනෙක්ව, නිදහස් කර හංගේරියාවට පිටත් කර යැව්වා. මෙලෙස, දරුණු අට මස් වහල්භාවය කෙළවර වුණා. සති කිහිපයකට පසුව, මම නැවතත් මගේ බිරිඳ සහ පුතා සමඟ එකතු වී පදිංචිය සඳහා බූඩපෙස්ට් වෙත ආවා.
යුද්ධයෙන් පසුව බොහෝදෙනෙක් නොකඩවාම දුක් වින්දා. කෑම හිඟ වුණා; බඩු මිල ඉහළ යාම කොල්ලකෑමක් වගේ වුණා. එක්දහස් නවසිය තිස්අටේදී, හංගේරියානු පෙංග’ 1කින් මිල දී ගන්න පුළුවන් වුණු දේවල් 1946දී ලබාගැනීමට නම් නොනිලියනයකට (10,00,00,00,00,00,00,00,00,00,00,00,00,00,000) වඩා ඕනෙ කළා! කාලයාගේ ඇවෑමෙන්, මට දුම්රිය මාර්ග කාර්යාලයේ රැකියාවක් ලැබුණාම ජීවත්වීම පෙරට වඩා හොඳ තත්වයකට පත් වුණා.
සත්‍යය සොයාගැනීම
වර්ෂ 1955දී බූඩපෙස්ට්හි අපේ නවාතැන් ගොඩනැඟිල්ලේ සිටි යෙහෝවාගේ සාක්ෂිකාරයන්ගෙන් කෙනෙක් මගේ බිරිඳ වන අ’නා එක්ක බයිබලය ගැන කතා කරන්න පටන්ගත්තා. නිරය කියන්නේ වධ විඳින තැනක් කියල බයිබලය උගන්වන්නේ නැති බව අ’නා මට කියද්දී මගේ උනන්දුව පිබිදුණා. (දේශනාකාරයා 9:5, 10; ක්‍රියා 2:31) කතෝලිකයෙක් වශයෙන් මම කිසිදාක බයිබලය පාඩම් කරල නැහැ. පල්ලියේ පාසැල්වල විශේෂ පුහුණුව ලබද්දිවත් බයිබලය පාඩම් කරල නැහැ. නිරාගින්න වැනි ශුද්ධ ලියවිලිමය නොවන කතෝලික ඉගැන්වීම් මම නිකම්ම පිළි අරගෙනයි තිබුණේ. දැන් මම බයිබල් සත්‍යයන්වලට ප්‍රේම කරන්න පටන් අරගත්තා; විශේෂයෙන්ම, දේවරාජ්‍යය මගින් පොළොව පාරාදීසයක් කිරීමට වූ දෙවිගේ පොරොන්දුව ඉටු වන ආකාරය වගේ ඒවා. (මතෙව් 6:9, 10; ලූක් 23:42, 43; එළිදරව් 21:3, 4) මීට පෙර කිසිදාක අද්දැක නැති පුදුමාකාර සන්තෝෂයක් මට දැනුණා.
ඒ කාලයේදී, දේවරාජ්‍යය පිළිබඳ සැබෑව දිරිමත්ව ඉගැන්වීම නිසා හංගේරියාවේ සිටි යෙහෝවාගේ සාක්ෂිකාරයන්ව ලුහුබැඳ ගොස් සිරගත කරනු ලැබුවා. හංගේරියානු භාෂාවෙන් සොයාගත හැකි සාක්ෂිකාරයන්ගේ සෑම ප්‍රකාශනයක්ම කියවූ අතර, හංගේරියානු භාෂාවට පරිවර්තනය කර නැති ඉංග්‍රීසි සහ ප්‍රංශ ප්‍රකාශනද ලබාගත්තා. මෙවැනි වෙනත් භාෂා ඉගෙනගෙන තිබීම සම්බන්ධයෙන් මම මොනතරම් කෘතඥපූර්වක වෙනවාද!
වර්ෂ 1956 ඔක්තෝබර් මාසයේදී, රුසියාව පනවා තිබුණු කොමියුනිස්ට් පාලනයට එරෙහිව හංගේරියාවේ වැසියන් කැරළි ගැසුවා. බූඩපෙස්ට්හි ඉතා තදබල සටන් පැවතුණා. යෙහෝවාගේ සාක්ෂිකරුවන් ඇතුළු බොහෝ අයව හිරෙන් නිදහස් කළා. මේ සමයේදී, මා සහ මගේ බිරිඳ යෙහෝවා දෙවිට අපේ කැපවීම බව්තීස්මයෙන් සංකේතවත් කළා. සතියකට පසුව, රුසියානු යුධ භටයෝ කැරැල්ල මර්දනය කළා. නිදහස් කළ සාක්ෂිකාරයන්ව යළිත් සිරගත කළා.
අනර්ඝ වරප්‍රසාදයක්
දේශනා කිරීමේ වැඩය සම්බන්ධයෙන් වගකීම් ලත් සහෝදරයන්ගෙන් හුඟදෙනෙක් සිරභාරයේ හිටිය හින්දා, එක් සෙසු ක්‍රිස්තියානියෙක් මා ළඟට ඇවිත්, මට බයිබල් පොත් පත් පරිවර්තනය කරන්න පුළුවන්ද කියල ඇහැව්වා. මුලින්ම ස්විට්ස’ලන්තයේ සිට එවූ ප්‍රංශ භාෂාවෙන් ටයිප් කර තිබූ මුරටැඹ ලිපි අඩංගු පෞද්ගලික ලිපි මට දුන්නා. මම එම ලිපි හංගේරියානු භාෂාවට පරිවර්තනය කර එම පිටපත් සභාවලට ලැබෙන්න සැලැස්සුවා.
ක්‍රිස්තියානි මධ්‍යස්ථභාවය හේතුවෙන් අවුරුදු 12ක් සිරභාරයේ සිටි හංගේරියානු ශාඛා කාර්යාල සේවක යානෝෂ් කෝන්රාඩ් 1959දී හිරෙන් නිදහස් වී පැමිණි අතර, මාව පරිවර්තකයෙකු ලෙස පත් කළා. ඉන්පසු පරිවර්තනය කිරීමට ඕනෙ කරන දේවල් ඉංග්‍රීසි භාෂාවෙන් ලැබුණා. සාමාන්‍යයෙන් මට ඒවා සැපයූ පණිවිඩකාරියගේ නම මම දැනං හිටියේ නැහැ. ඒක එහෙම වුණේ මාව අල්ලගෙන වද දුන්නත් ඇගේ නම හෙළි කරන්න බැරි වෙන්නයි.
මම මුරටැඹ පරිවර්තනය කළාම සහෝදර කෝන්රාඩ් නිරවද්‍යතාව පිළිබඳව පරීක්ෂා කරනවා. ඉන්පසු සහෝදරියන් පිටපත් 12ක් සදාගත හැකි වන විදිහට, ඒ පරිවර්තනය කළ ලිපි තීන්ත කඩදාසි පාවිච්චි කරමින් ඉතා තුනී කඩදාසිවල ටයිප් කරනවා. මේ විදිහට, සමහර අවස්ථාවල මුරටැඹ පාඩමට සහභාගි වන හැමදෙනාටම පාඩමේ ටයිප් කරපු පිටපතක් තිබුණා. ඊටපස්සේ, ඔවුන් ඔවුන්ගේ පිටපත් වෙනත් අධ්‍යයන කණ්ඩායමකට යවනවා. කෙසේවෙතත් බොහෝ අවස්ථාවලදී, සෑම අධ්‍යයන කණ්ඩායමක් වෙනුවෙන්ම එක පිටපත බැගිනුයි නිමවන්න පුළුවන් වුණේ. එතකොට සහභාගි වන හැමදෙනාටම බයිබල් සාකච්ඡාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න නම්, සාවධානීව ඉඳලා සටහන් ගන්න සිද්ධ වුණා.
මම පරිවර්තනය කිරීම ආරම්භ කළ 1956 සිට 1978 දක්වා කාලයේදී මුරටැඹ හංගේරියානු භාෂාවෙන් බෙදාහැරියේ යතුරු ලියනයේ නිමැවුමක් හැටියට විතරයි. වර්ෂ 1978 සිට 1990 තෙක් මුරටැඹ, ස්ටෙන්සිල් සටහන් ආධාරයෙන් ලබාගත් පිටපත් හැටියටයි සැපයුවේ. වර්ෂ 1990 ජනවාරි සිට හංගේරියානු භාෂාවෙන් මුරටැඹ සහ පිබිදෙව්! සඟරා දෙකම, සම්පූර්ණයෙන්ම වර්ණවත්ව මුද්‍රණය කරන්න ලැබීම මොනතරම් ආශීර්වාදයක් වුණාද!
කොමියුනිස්ට් පාලනය යටතේ සෑම කෙනෙක්ම බාහිර රැකියාවක් කළ යුතු වුණා. වර්ෂ 1978දී බාහිර රැකියාවෙන් විශ්‍රාම යන තුරු, මෙතෙක් අවුරුදු 22ක් තිස්සේ බාහිර වැඩවල නොයෙදෙන අවස්ථාවලදී මම පරිවර්තනය කළා. ඒ සාමාන්‍යයෙන් අලුයම සහ මධ්‍යම රාත්‍රියෙයි. විශ්‍රාම යාමෙන් පසුව මම පූර්ණ කාලීන පරිවර්තකයෙකු විදිහට සේවය කළා. පරිවර්තකයන් ගෙවල්වල සිට වැඩ කළ අතර, තහනම යටතේ සිටි නිසා අනිත් අය එක්ක කතා කිරීම අපහසු වුණා. එක්දහස් නවසිය හැටහතරේදී, පොලිසිය පරිවර්තකයන්ගේ නිවෙස්වලට එකවිට හදිසියේ කඩා වැදිල අපි පරිවර්තනය කරන දේවල් රාජසන්තක කළා. ඊළඟ අවුරුදු ගණනාව පුරාම, පොලිසියේ නිබඳ උකුසු ඇසට අපව ලක් වුණා.
මවිතාකාර ආශීර්වාද
වර්ෂ 1969දී මගේ විදේශ ගමන් බලපත්‍රය පිළිගත් නිසා, යෙහෝවාගේ සාක්ෂිකාරයන්ගේ “පොළොව මත සාමය” ජාත්‍යන්තර එක්රැස්වීමට, යානෝෂ් කෝන්රාඩ් එක්ක හංගේරියාවේ සිට පැරීසිය බලා ගමන් කරන්න පුළුවන් වුණා. වෙනත් දේශවලින් පැමිණ සිටි සෙසු සාක්ෂිකාරයන්ව හමු වෙන්න ලැබීම සහ ස්විට්ස’ලන්තයේ බ’න්හි යෙහෝවාගේ සාක්ෂිකාරයන්ගේ ශාඛා කාර්යාලයේ දින කිහිපයක් ගත කරන්න ලැබීම මොනතරම් ආශීර්වාදයක් වුණාද! වර්ෂ 1970 ගණන්වලදී, හංගේරියාවේ සිටි බොහෝ සාක්ෂිකාරයන්ට ඔස්ට්‍රියාවේ සහ ස්විට්ස’ලන්තයේ පැවැත්වූ සමුළුවලට සහභාගි වෙන්න පුළුවන් වුණා.
වසර ගණනාවක ආණ්ඩු තහංචිවලින් පසුව, 1986දී ආණ්ඩුවේ අනුමැතිය ඇතුව, අපේ පළවෙනි සමුළුව බූඩපෙස්ට්හි කමරාඅ’ඩ’ යූත් පාක්හිදී පැවැත්වූවා. උද්‍යානයට ඇතුල් වන දොරටුවේ ඉහළ දීප්තිමත් පාටවලින් අලංකාර කර තිබූ අපේ රැස්වීමට ආරාධනා කරන සංඥාව කියවද්දීත්, සහෝදර සහෝදරියන් එකිනෙකා සුභපතා ගනිද්දීත්, පැමිණ සිටි 4,000කට වැඩි පිරිසකගේ ඇස්වල සතුටු කඳුළු තිබුණා.
අවසානයේදී, 1989 ජූනි 27වෙනිදා, ආණ්ඩුව යෙහෝවාගේ සාක්ෂිකාරයන්ට නීතික පිළිගැනීම ලබා දුන්නා. අපේ සහෝදර සහෝදරියන්ව සතුටට පත් කරමින් හංගේරියානු රූපවාහිනියේ සහ ගුවන් විදුලියේ මේ පුවත නිවේදනය කළා. අපේ වැඩය අවුරුදු 40කට ආසන්න කාලයකට කලින් නවත්වා තිබූ හින්දා, ඒ අවුරුද්දේදී, කිසිම තහනමක් නැතුව අපේ පළවෙනි දිස්ත්‍රික් සමුළුව පැවැත්වුවා. බූඩපෙස්ට්හි පැවති හමුවට 10,000කට වැඩිය සහභාගි වූ අතර, රට පුරා පැවති අනිත් සමුළු හතරට තව දහස් ගණනක් පැමිණියා. බූඩපෙස්ට්හිදී මගේ බාලම සහෝදරයා වූ ලාස්ලෝ සහ ඔහුගේ බිරිඳ බව්තීස්ම වීම මාව මොනතරම් සතුටට පත් කළාද!
ඉන්පසු 1991 ජූලි මාසයේදී, අපේ සොඳුරු සිහිනයන් අභිභවා යමින් බූඩපෙස්ට්හි විශාල නාප්ෂ්ටාඩියෝන් ක්රීඩාභූමියේ පැවති සමුළුවකදී 40,000කට වැඩි නියෝජිත පිරිසක් පැමිණීමේ ආශීර්වාදය භුක්ති වින්දා. එහිදී, බෘක්ලින් මූලස්ථානයේ ක්‍රියාකාරි මණ්ඩලයේ සාමාජිකයන්ගේ කතා පරිවර්තනය කිරීමේ වරම මට ලැබුණා.
අද, මමත් අ’නාත් තව ප්‍රේමනීය සහෝදර සහෝදරියන් 40කට වැඩි ගණනකුත් බූඩපෙස්ට් නගරාසන්නයේ පිහිටි යෙහෝවාගේ සාක්ෂිකාරයන්ගේ අලංකාර ශාඛා කාර්යාලයේ වැඩ කරනවා. මෙහි, පරිවර්තන අංශයේ තරුණ කණ්ඩායමක් එක්ක මම සේවය කරන අතර, අ’නා ශාඛා පහසුකම්වල ගෘහස්ථ කටයුතුවල හවුල් වෙනවා.
අපේ පුතා එක්ක බයිබල් සත්‍යයන් බෙදාගැනීමේ අපේ වෑයම නොසලකා, ඔහු ලොකු වෙන කොට එය පිළිගත්තේ නැහැ. කෙසේවෙතත්, දැන් ඔහු තුළ සත්‍යය ගැන හොඳ ආකල්පයක් තියෙනවා; කාලයාගේ ඇවෑමෙන් ඔහු යෙහෝවාට සේවය කරයි කියල අපි බලාපොරොත්තු වෙනවා.
අපේ ආදර දෙවි යෙහෝවා සම්බන්ධ සත්‍යය සොයාගැනීමට පුළුවන් වීම ගැනත්, දැනට අවුරුදු 40කට වැඩි කාලයක් පුරා ඔහුට සේවය කරන්න ලැබීම ගැනත් මමයි මගේ බිරිඳයි කෘතඥපූර්වක වෙනවා.—එන්ඩ්රි සන්යි කී විදිහට.
[24වන පිටුවේ පින්තූරය]
මගේ බිරිඳ එක්ක