යෞවන අය අසති . . .
චණ්ඩිකම ඒකෙ ඇති හානිය මොකක්ද?
‘අයියෝ! මම විහිළුවක්නෙ කළේ. ඕක මහ ලොකු දෙයක්ද? අනිත් එක රොන්ට එහෙම වෙන්න ඕනෙ.’
ඔබේ තුල්‍යයන්ට වැඩිය ඔබ උස මහතින් වැඩි වෙන්න පුළුවන්. එහෙම නැතිනම් ඔබ සමහරවිට කවටකමට දක්ෂයෙකු හෝ කැපිලි කෙටිලිවලට ඉක්මන් හෝ කලහකාරි කෙනෙක් පවා වෙන්න පුළුවන්. ඒ කෙසේවෙතත්, භයගැන්වීම, පාච්චල් කිරීම හෝ තවත් කෙනෙකුව අමාරුවේ දමා සිනාසීම ඔබට එතරම් අපහසු දෙයක් නොවේ.
වෙනත් අයට චණ්ඩිකම් පෑමෙන් ඔබගේ මිත්‍රයන්ව සිනා ගැස්සිය හැකි වුවද, එය සුළුපටු කාරණාවක් නොවේ. ඇත්තෙන්ම කියනවා නම්, පර්යේෂකයන් සොයාගෙන ඇත්තේ චණ්ඩිකම් පෑම එයට ගොදුරු වෙන්නාට, ඔවුන් පෙර කවරදාක හිතුවාටත් වඩා හානිකර බවය. එක්සත් ජනපදයේ පාසැල් යන වයසේ යෞවනයන් අතර කළ සමීක්ෂණයකදී සොයාගත්තේ, “චණ්ඩිකමට ගොදුරු වූ අයගෙන් සියයට 90ක් ඔවුන් අතුරු ඵලවිපාකයන්ට මුහුණ දුන් බවට පවසා ඇති බවයි—එනම් ලකුණු මට්ටම්වල පහත වැටීමක්, කාන්සාවේ වැඩිවීමක් හා මිත්‍රයන්ගේ හෝ සමාජ ආශ්‍රයේ පවා අඩුවීමක් දක්නට ලැබුණු බවයි.” ජපානයේ එක් 13 හැවිරිද්දෙක් “අවුරුදු තුනක කාලයක් පුරා චණ්ඩිකම් පෑමකට ගොදුරු වීම ගැන සවිස්තරව කියා ඇති දිග ලියමනක් ලිවීමෙන් පසු ඔහු බෙල්ලේ වැල දාගෙන මියගියා.”a
කෙනෙකුව ඇත්තටම චණ්ඩියෙක් බවට පත් කරවන්නේ කුමක්ද? එමෙන්ම ඔබ චණ්ඩියෙක් මෙන් හැසිරෙනවා නම්, ඔබට වෙනස් විය හැක්කේ කොහොමද?
චණ්ඩියෙක් කියන්නෙ කවුද?
නෝවාගේ ජලගැල්මට පෙර ජීවත් වූ චණ්ඩීන් ගැන බයිබලය කතා කරනවා. ඔවුන්ව නෙඵිලිම්වරු හැටියට හැඳින්වූවා—එනම් “අන්‍යයන්ව වැටෙන්න සලස්වන අය” මෙම වචනයේ අරුතයි. ත්‍රාසයෙන් යුතු ඔවුන්ගේ පාලනය ලොව රජකම් කළ කල්හි, “පොළොව බලාත්කාරයෙන් පිරී තිබුණාය.”—උත්පත්ති 6:4, 11.
කෙසේවෙතත්, චණ්ඩියෙකු වෙන්න මිනිසුන්ට තඩිබාන්න හෝ කටින් මෙල්ල කරවාගන්නම අවශ්‍ය නැහැ. වෙනත් අයට—විශේෂයෙන්ම දුර්වල හෝ අනතුරට පාත්‍ර වෙන්න වැඩි හැකියාවක් ඇති අයට—කුරිරු හෝ නින්දාසහගත අයුරකින් සලකනවා නම් එවැන්නෙක් චණ්ඩියෙක්. (දේශනාකාරයා 4:1, සසඳන්න.) චණ්ඩීන් තර්ජනය කරන්න, භයගන්වන්න හා පාලනය කරන්න උත්සාහ කරනවා. එහෙත් බොහෝදෙනෙකු ඔවුන්ගේ අත් වෙනුවට කටවල් පාවිච්චි කරනවා. ඇත්තෙන්ම කියනවා නම්, චිත්තවේගයන්ට බලපාන අයුරින් චණ්ඩිකම් පෑම පීඩා කිරීමෙහිලා වැඩියෙන්ම දක්නට ලැබෙන ක්‍රමයයි. ඒ හේතුවෙන් ගැරහීම, කැපිලි කෙටිලි, සමච්චල් කිරීම හා නම් දැමීම පවා එයට ඇතුළත් වෙන්න පුළුවන්.
එහෙත්, යම් අවස්ථාවන්හිදී, චණ්ඩිකම කූට ස්වරූපයක් ගන්න පුළුවන්. උදාහරණයක් හැටියට, ලීසාට සිදු වූ දෙය ගැන කල්පනා කර බලන්න.b ඇය යෙහෙළියන් කණ්ඩායමක් සමඟ හැදී වැඩුණා. නමුත් ඇයට වයස අවුරුදු 15 වූ විට, දේවල් වෙනස් වෙන්න පටන්ගත්තා. ලීසා රූපශ්‍රීයෙන් වැඩි වූ අතර, ඇය බොහෝදෙනෙකුගේ අවධානයට පාත්‍ර වුණා. ඇය මෙසේ පැහැදිලි කරයි: “මගේ යාළුවෝ මාව අයින් කරන්න පටන්ගත්තා; ඒ වගේම ඒගොල්ලන් මම නැති තැන මං ගැන කැත කතා කියන්න පටන්ගත්තා—සමහර වෙලාවට මගේ මූණටම කියලා දැම්මා.” ඇයගේ චරිතය ඝාතනය කරන්න උත්සාහ කරමින් ඔවුන් ඇය ගැන බොරුත් පැතුරුවා. ඔව්, ඊර්ෂ්‍යාවෙන් පෙලඹී ඔවුන් ඇයට කර්කශ හා කුරිරු අන්දමකින් චණ්ඩිකම් පෑවා.
චණ්ඩියෙකු බවට පත් වෙන ආකාරය
කලහකාරි හැසිරීම බොහෝවිට කෙනෙකුගේ නිවසේ වාතාවරණයට සම්බන්ධ වන්නකි. “මගේ තාත්තා හරිම කලහකාරි කෙනෙක්; ඒ හින්දා මමත් කලහකාරි වුණා” යයි ස්කොට් පවසයි. ඒරන්ටත් අපහසුකාරි පසුබිමක් තිබුණා. ඔහු මෙසේ මතකයට නඟයි: “මගේ ගෙදර තත්වය—ඒක වෙනස් කියලා—වෙන මිනිස්සු දැනගෙන හිටියා කියලා මම තේරුම්ගත්තා; ඒ හින්දා මම කැමති වුණේ නැහැ ඒගොල්ලන් මං ගැන දුක් වෙනවාට”. එමනිසා ඒරන් ක්‍රීඩාවල නියුතු වූ විට, ඔහුට දිනන්නම උවමනා වුණා. හැබැයි දිනුමෙන් පමණක් ඔහු සෑහීමට පත් වුණේ නැහැ. ඔහුට ඔහුගේ ප්‍රතිමල්ලවයන්ව පාගලා දාන්න ඕන වුණා—එනම් ඔවුන්ගේ පරාජය ගැන අඬබෙර ගහලා, ඔවුන් පැරදුණු බව අඟවන්නත් ඔහුට උවමනා වුණා.
ඊට වෙනස්ව, බ්‍රෙන්ට් දේවභයැති දෙමාපියන් යටතේ හැදී වැඩුණා. නමුත් ඔහු මෙසේ පිළිගනී: “මම මිනිස්සුන්ව හිනාගස්සනවා, හැබැයි සමහර වෙලාවට මම දැනගෙන හිටියේ නැහැ ඒක කොයි වෙලාවේද නවත්තන්නෙ කියලා, ඒකෙන් අන්තිමට වුණේ මම කෙනෙක්ගෙ හිත රිද්දවන එක විතරයි.” විනෝද වෙන්න මෙන්ම තමන් වෙතට අවධානය ලබාගන්න තිබූ බ්‍රෙන්ට්ගේ ආශාව හේතුවෙන් ඔහුට අන්‍යයන්ගේ හැඟීම් ගැන කල්පනා කරන්න අමතක වුණා.—හිතෝපදේශ 12:18.
වෙනත් යෞවනයන්ව රූපවාහිනිය මගින් බලපෑමට ලක් වෙන බව පෙනෙන්න තියෙනවා. සාහසික නාට්‍යවල “චණ්ඩියාගේ” චරිතය ප්‍රශංසාවට ලක් කෙරෙන අතර, කරුණාව පෙන්වීම පිරිමිකමටත් නින්දාවක් බව ඒවායින් ගෙනහැරපානවා. ප්‍රසිද්ධ විකට ජවනිකා කැපිලි කෙටිලිවලින් පිරිලා තියෙනවා. ක්‍රීඩා තරඟවලදී ඇති වන සණ්ඩුසරුවල් සහ සැරපරුෂ කතා ප්‍රවෘත්ති වාර්තාවල ඉස්මතු කොට දක්වනවා. අප අන්‍යයන්ට සලකන ආකාරය කෙරෙහි අපගේ මිත්‍රයන්ටත් බලපෑමක් ඇති කරන්න පුළුවන්. අපගේ තුල්‍යයන් චණ්ඩීන් නම්, අපවත් ඔවුන්ගේ සරදමට ලක්වීමෙන් වළක්වා ගන්න, එම කල්ලියට එකතු වෙන්න අපිවත් පෙලඹෙන එක හිතාගන්න අමාරු දෙයක් නෙමෙයි.
ඔබගේ තත්වය කොයික වූවත්, ඔබ චණ්ඩි ක්‍රමෝපායන් යොදාගන්නවා නම්, අනතුරට ලක් වෙන්න යන්නේ ඔබෙන් හිරිහැරයට ලක් වෙන අය පමණක්ම නොවේ.
ජීවිත කාලයටම ප්‍රතිවිපාක
සයිකොලජි ටුඩේ යන සඟරාව මෙසේ වාර්තා කරයි: “චණ්ඩිකම් පෑම ළමාවියේදී ආරම්භ විය හැකි මුත්, එය වැඩිහිටිවියට පවා ඇතුල් වෙන්න පුළුවන්.” ද ඩැලස් මෝ’නිං නියූස්හි පළ වූ එක් පර්යේෂණ අධ්‍යයනයකදී “දෙවන ශ්‍රේණියේදී චණ්ඩීන් හැටියට හඳුන්වනු ලැබූ පිරිමි ළමයින්ගෙන් සියයට 65ක් අවුරුදු 24 වන විට දාමරික ක්‍රියාවලට වැරදිකරුවන් වූ බව” සොයාගත්තා.
හැම චණ්ඩියෙක්ම අපරාධකරුවන් බවට පත් නොවන බව අමුතුවෙන් කිව යුතු නැහැ. නමුත් අනුන්ගේ සිතුම් පැතුම් ගණනකට නොගෙන කටයුතු කිරීම පුරුද්දක් බවට පත් කරගැනීමෙන්, ජීවිතයේ පසු කාලයකදී එයින් ඔබට ප්‍රශ්න ඇති වෙන්න ඉඩ තියෙනවා. එය විවාහය තුළටත් ඇතුල් වුණොත්, ඔබගේ කලත්‍රයාගේ හා දරුවන්ගේ බලවත් සංවේගයට එය හේතු වෙන්න ඉඩ තියෙනවා. සේව්‍යයෝ වැඩියෙන් කැමති වන්නේ වෙනත් අය සමඟ හොඳින් ගැවසෙන්න දන්න අයට නිසා, එමගින් ඔබට ඇති රැකියා ප්‍රස්තා නොලැබී යන්න පුළුවන්. ක්‍රිස්තියානි සභාවේ අනාගත වරප්‍රසාද පවා ඔබගෙන් ඈත් වෙන්න පුළුවන්. “කවදාහරි දවසක මම කැමතියි වැඩිමහල්ලෙක් හැටියට සේවය කරන්න සුදුසුකම් ලබන්න” යයි බ්‍රෙන්ට් පවසයි; “ඒත් මිනිසුන්ට හිතෙනවා නං මම ඇනුම්පදයක් කියයි කියලා, ඒගොල්ලන් කැමති වෙන්නෙ නැහැ ඒගොල්ලන්ගේ ප්‍රශ්න අරගෙන මං ගාවට එන්න කියලා මගේ තාත්තා මට තේරුම්ගන්න උදව් කළා.”—තීතස් 1:7.
වෙනස් වන අයුරු
අපේ වැරදි අපිට හැම අවස්ථාවේදීම පැහැදිලිව පේන්නේ නැහැ. යමෙකුට “තමාගේ ඇස් හමුයෙහි තමාටම චාටුකරග[න්න]” පුළුවන් බව බයිබලය අනතුරු අඟවයි. (ගීතාවලිය 36:2) එමනිසා දෙමාපියෙක්ගෙන්, විශ්වාස කටයුතු මිත්‍රයෙක්ගෙන් හෝ මේරූ ක්‍රිස්තියානියෙකුගෙන් ඔබට ඔවුන්ගේ අදහස් විමසා බලන්න පුළුවන්. සමහරවිට ඇත්ත රිදෙන්න පුළුවන්; එහෙත් ඔබට කරන්න සිදු වන්නේ මොන වෙනස්කම්ද යන්න තේරුම්ගන්න අවශ්‍ය ඒ උපකාරය ඔබට එයින් ලැබෙන්න පුළුවන්. (හිතෝපදේශ 20:30) “මට උපකාර කරපු ලොකුම දේ තමයි ඇහුම්කන් දෙන එක” යයි ඒරන් පවසයි. “ඇත්ත කතා කරන අය මට කිව්වා මට වැරදුණේ කොතනද කියලා. ඇත්තටම මට අහන්න ඕන වුණේ ඒක නෙවෙයි, හැබැයි මට ඕන කළේ නං ඒක තමයි.”
ඔබගේ පෞද්ගලිකත්වයේ චමත්කාරජනක වෙනස්වීමක් කරන්න අවශ්‍ය බව මෙයින් අදහස් කරනවාද? නැහැ. ඔබගේ කල්පනාව මෙන්ම යම් දුරකට ඔබේ හැසිරීම යළි සකස් කිරීම එයින් අදහස් වෙන්න ඉඩ තියෙනවා පමණි. (2 කොරින්ති 13:11) උදාහරණයක් හැටියට, ඔබගේ ප්‍රමාණය, සවි ශක්තිය හෝ ඔබ කවටකමට දක්ෂ වීම හේතුවෙන් ඔබ අනුන්ට වඩා උසස් කියලා, මේ වන තුරුම ඔබ ඔබ ගැනම හිතන්න ඇති. එහෙත් “එකිනෙකා තම තමාට වඩා වෙන කෙනෙක් උතුමැයි යටහත්කමින් සිතා” කටයුතු කරන හැටියට බයිබලය උනන්දු කරයි. (පිලිප්පි 2:3) ඔවුන්ගේ ප්‍රමාණය හෝ සවි ශක්තිය නොතකා—ඔබට නැති ප්‍රශංසනීය ගුණාංග ඔවුන්ට තියෙන බව මතක තබාගන්න.
කලහකාරි වීමට හෝ යටත් කරගෙන සිටීමට තියෙන ඔබගේ නැඹුරුවාව අයින් කරගන්න ඔබට අවශ්‍ය වෙන්න පුළුවන්. “නුඹලා එක් එක්කෙනා තම තමාගේම කාරණා නොව අනුන්ගේ කාරණත් බලන්න” යන කාරණාවේද වැඩ කරන්න. (පිලිප්පි 2:4) ඔබට යම් අදහසක් ඉදිරිපත් කරන්න තියෙනවා නම්, නින්දාසහගත වීමෙන් හෝ කැපීමෙන් හෝ ගැරහීමෙන් තොරව එසේ කරන්න.—එපීස 4:31.
චණ්ඩිකම් පෑම තෝරාගන්න ඔබව පෙලඹෙනවා නම්, චණ්ඩිකම් පෑ නෙඵිලිම්වරුන්ව දෙවි විනාශ කළ බව මතක තබාගන්න. (උත්පත්ති 6:4-7; 7:11, 12, 22) සියවස් ගණනාවකට පසු, ප්‍රොපේත එසකියෙල්ගේ දවස්වලදී, කිසිම හව්හරණක් නැති අයව “තල්ලු කර”, ඔවුන්ට ‘ඇන්න’ වරදට වගකිව යුතු වූ අය ගැන දෙවි ඔහුගේ දැඩි අප්‍රසන්නබව පළ කළා. (එසකියෙල් 34:21) යෙහෝවා චණ්ඩිකම් පෑමට ද්වේෂ කරන බව දැනගැනීම අවශ්‍ය වෙනස්කම් කරන්න හොඳ පොලඹවනකාරකයක්!
බයිබල් ප්‍රමිති මත යාච්ඤාපූර්වකව මෙනෙහි කරන්නත් එය උපකාරි වෙනවා. රන් අණ මෙසේ පවසයි: “එබැවින් මනුෂ්‍යයන් විසින් නුඹලාට යමක් යමක් කරනවාට නුඹලා කැමතිද නුඹලාත් එසේම ඔවුන්ට කරන්න.” (මතෙව් 7:12) කෙනෙක්ව භයගන්වන්න ඔබව පෙලඹෙන විට, ඔබගෙන්ම මෙසේ අසන්න: ‘මම කැමති වෙයිද මාව ගොනාට අන්දනවා නං, භයගන්වන්න හදනවා නං එහෙම නැත්තං මට සමච්චල් කරනවා නං? එහෙම නං මම ඇයි වෙන අයට ඒ විදියට සලකන්නේ?’ “නුඹලා එකිනෙකා කෙරෙහි ගුණවන්තව අනුකම්පාව ඇතුව සි[ටින්න]” කියා බයිබලය අපට ආඥා කරයි. (එපීස 4:32) යේසුස් මේ සම්බන්ධයෙන් සම්පූර්ණ ආදර්ශයක් තැබුවා. යේසුස් වෙනත් සියලු මනුෂ්‍යයන්ට වඩා උසස් වූවත්, ඔහු සියලුදෙනා සමඟම කරුණාවෙන්, අනුකම්පාවෙන් හා ගෞරවයෙන් යුතුව කටයුතු කළා. (මතෙව් 11:28-30) ඔබට වඩා දුර්වල හෝ ඔබගේ කේන්තිය අවුස්සන කෙනෙකුව ඔබට මුණ ගැසුණොත් එසේම කරන්න උත්සාහ කරන්න.
එනමුදු, ඔබට නිවසේදී සලකනු ලබන ආකාරය නිසා ඇති වන තරහ හේතුකොටගෙන ඔබගේ කලහකාරි හැසිරීම නැවත ඉස්මතු වුණොත්? සමහර තත්වයන්වලදී, එසේ තරහ ඇතිවීමට සාධාරණ හේතු තියෙන්න පුළුවන්. (දේශනාකාරයා 7:7, සසඳන්න.) එහෙත්, ධර්මිෂ්ඨ මිනිසා වූ යෝබ්ට මෙසේ අනතුරු ඇඟවූ බව බයිබලය පවසයි. “උදහස කුඩුකේඩු [ක්‍රියාවලට] ඔබව අසු කර නොගන්නා හැටියට වගබලා ගන්න . . . වේදනාකාරි දේ කිරීමට නැඹුරු නොවන පිණිස පරෙස්සමින් සිටින්න.” (යෝබ් 36:18, 21, NW ) ඔබට වැරදි ආකාරයට සලකනු ලැබුවත් අන්‍යයන්ට වැරදි ආකාරයට සලකන්න ඔබට අයිතියක් නැහැ. ඔබේ දෙමාපියන් සමඟ කතා කර එය සමථයකට පත් කරගැනීම වඩා හොඳ එළඹීමක් වෙන්න යනවා. ඔබ අඩන්තේට්ටම්වලට ගොදුරු වූවෙක් නම්, තවදුරටත් හිංසාවට ලක් නොවන පරිදි ආරක්ෂාව ලබාගන්න පවුලෙන් පිට උපකාර අවශ්‍ය වෙන්න පුළුවන්.
වෙනස් වීම ලෙහෙසි දෙයක් නොවුවද, එය කළ හැක්කක්. බ්‍රෙන්ට් මෙසේ පවසයි: “මම මේ ගැන හැමදාම වගේ යාච්ඤා කරනවා; ඒ වගේම හොඳ වෙනස්කම් ටිකක් කරගන්න යෙහෝවා මට උදව් කරලා තියෙනවා.” ඔබ මිනිසුන්ට සලකන ආකාරය සම්බන්ධව වෙනස්කම් ඇති කරගැනීමත් සමඟම, මිනිසුන් ඔබට වැඩියෙන් කැමති වෙන බව ඔබට නොඅනුමානවම දැකගන්න ලැබේවි. මිනිසුන් චණ්ඩීන්ට භය වෙන්න ඉඩ තියෙනවා; නමුත් කවුරුත් ඔවුන්ට ඇත්තෙන්ම කැමති නැති වග මතක තබාගන්න.
[පාදසටහන්වල]
a චණ්ඩිකම් පාන්නන්ට ගොදුරු වන අයට හිරිහැර විඳීම මඟහැරිය හැකි ආකාරය ගැන කරන සාකච්ඡාවක් සඳහා, අපගේ 1989 අගෝස්තු 8 දිනැති අ’වේක්! කලාපයේ, “යෞවන අය අසති . . . මට පාසැලේ චණ්ඩීන් ගැන කළ හැක්කේ කුමක්ද?” යන ලිපිය බලන්න.
b සමහර නම් වෙනස් කොට ඇත.
[21වන පිටුවේ වාක්‍ය කණ්ඩය]
“චණ්ඩිකම් පෑම ළමාවියේදී ආරම්භ විය හැකි මුත්, එය වැඩිහිටිවියට පවා ඇතුල් වෙන්න පුළුවන්”
[20වන පිටුවේ පින්තූරය]
වාචිකව හිරිහැර කිරීම චණ්ඩිකමේ එක් ස්වරූපයකි