ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g94 9/8 20-22 පි.
  • “සැබෑ අත්තිවාරම් ඇති නගරය”

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • “සැබෑ අත්තිවාරම් ඇති නගරය”
  • 1994 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • යම් දුරකට පරස්පරවිරෝධීය
  • තුන්වන රෝමයද?
  • බලාපොරොත්තුවේ අගනුවර?
  • උස් කඳුකරයේ
  • සැබෑ අත්තිවාරම් සතු නගරයක්
  • “සියලු නගරවල සංචාරයක්”
    1994 පිබිදෙව්!
  • ‘නගරය පීඩාවෙන් පිරී තිබේ’
    1994 පිබිදෙව්!
  • “එයාලගේ සැලකිල්ල පුදුම විදිහට අපේ හිතට දැනුණා”
    2017 පිබිදෙව්!
  • ‘අපිටම නගරයක් ගොඩනගා ගනිමු’
    1994 පිබිදෙව්!
තව තොරතුරු
1994 පිබිදෙව්!
g94 9/8 20-22 පි.

“සැබෑ අත්තිවාරම් ඇති නගරය”

සෑම නගරයකටම අත්තිවාරම් තිබේ, එබැවින් සැබෑ අත්තිවාරම් තිබෙන බවට නගරයක් ගැන විස්තර කෙරේ නම්, එය සැබවින්ම බොහෝ කල්පවතින ස්වභාවයේ එකක් විය යුතුය. බබිලෝනිය, පෙට්රා, අෂූර් සහ ටෙයො ටිවොකාන් වැනි පුරාණ අගනුවරවල්, එම විස්තරයට කිසිසේත් නොගැළපෙනු ඇත. කලක කඩිසරභාවයෙන් සපිරි, මිනිසුන්ගේ ඝෝෂාවෙන් පිරුණු මෙම නගර, අදදින මියගොස් නිශ්ශබ්දතාවෙන් වටවී ඇත. ඒවා නියෝජනය කළා වූ ජාතීන්ගේ තත්ත්වයද එසේමය.

නවීනදින ජාතික අගනුවරවල්ද පොදු වශයෙන් තමන්ගේ අත්තිවාරම් ගැන ඉතා ස්ථිරව සිටී. එම නගර හැමවිටම ඒවා නියෝජනය කරන්නාවූ රටවල විශාලතම එක නොවිය හැකි නමුත්, නගරයක් එය පිහිටා තිබෙන රටේ අගනුවර වීම, එහි විශාලත්වය කුමක් වුවද එයට ප්‍රසිද්ධියක් ලබාදෙයි. අපි දැන් ආදර්ශ හතරක් දෙස බලමු.

යම් දුරකට පරස්පරවිරෝධීය

එක්සත් ජනපද ආණ්ඩුවේ චිරස්ථායි ආසනය, පවතින රාජ්‍යවලින් එකක සීමාවන් තුළවත් පිහිටා නොතිබිය යුතු බව 1790දී එම රටේ කොංග්‍රස් සභාව තීන්දු කළේය. එමනිසා කොලම්බියා දිස්ත්‍රික්කය යනුවෙන් හඳුන්වනු ලැබූ විශේෂ ප්‍රාන්තයක් ඒ අරමුණ උදෙසා සකස් කරන ලදි. එක්සත් ජනපදයේ කොලොම්බියා දිස්ත්‍රික්කයේ පෙරදිග මුහුදු වෙරළේ පිහිටා තිබෙන වොෂිංටන් නගරය, වොෂිංටන් ජනපදය සමඟ පටලවා නොගත යුතුය, මෙය ජාතික අගනුවරට වයඹ දිගින් සැතපුම් දහස් ගණනක් ඈතින් පැසිෆික් වෙරළ බඩ තීරයේ පිහිටා තිබේ.

වර්ෂ 1791දී ප්‍රංශ ඉංජිනේරුවෙකු වූ පියේ ලොන්ෆොන් විසින් සම්පූර්ණ කරනු ලැබූ මුල් සැලැස්මට අනුව, කැපිටෝල් මන්දිරය මෙන්ම වෙනත් පෙඩරල් ගොඩනැගිලි වඩා හොඳින් කැපී පෙනෙන්නට සැලැස්විය හැකි පසුතලයක් සඳහා පොදුජන උද්‍යාන සහ විවෘත භූමි භාග අඩංගු විසිතුරු සැලසුම් පද්ධතියක් ඇතුළත් විය. අවසානයේදී ජනාධිපතිගේ මන්දිරය නිර්මාණය කරනු ලැබුවේ අයර් ජාතික නිර්මාණ ශිල්පි ජේම්ස් හෝබන් විසිනි. එහි සුදට-හුරු අළු පැහැති වැලිගල් බිත්ති, අවට පිහිටි රතු ගඩොල් ගොඩනැගිලි අතුරින් කොතරම් කැපී පෙනුණාද කිවහොත්, වැඩිකල් යන්ට මත්තෙන් එයට ධවල මන්දිරය යනුවෙන් පට බඳින ලදි, මෙම නාමය 1902දී නිලමය වශයෙන් පිළිගනු ලැබීය.

ඕනෑම මිම්මකින් මැන බැලුවත් වොෂිංටන් අද්විතීය වේ. පෙඩරල් ගොඩනැගිලිද, 300කටත් වඩා වැඩි සිහිවටන සහ පිළිමද සමඟින්, සිය ගණන් දේශපාලනඥයන්ගේ අර්ධ-කාලීන නිවස වූ මෙම නගරය අලංකාරවත් කෙරේ. තවද එක් මූලාශ්‍රයකට අනුව, මෙම නගරය අඩුම වශයෙන් නීතිඥවරුන් 55,000කටද පුවත්පත් වාර්තාකරුවන් 10,000කටද නිවස වේ!

වොෂිංටන් නගරය “අමෙරිකාවේ නරකම මෙන්ම හොඳම තත්ත්වය පිළිඹිබු කරයි” යනුවෙන් කියා තිබේ. එක්සත් ජනපදයේ නගරවල් සියල්ලක්ම පීඩා විඳින ගැටලු නරකම තත්ත්වයට ඇතුළත් වේ: විරැකියාව, පරිසර දූෂණය, අපරාධ, පිළිගත් මිම්මට වඩා පහත් නිවාස සහ ජාතිවාදී නොසන්සුන්කම ඉන් සමහරකි. එක් ආශ්‍රේය කෘත්‍යයක සඳහන් වූ පරිදි, වොෂිංටන් නගරය වනාහි, “අසුන්දරතාව සහ අපරාධ සඳහා අපකීර්තිය ලැබූ මෙන්ම එහි නානාප්‍රකාර සහ විශිෂ්ට අලංකාරය සඳහා සුප්‍රසිද්ධ වූ පරස්පර විරෝධී පුරවරයක් බඳුය.”

තුන්වන රෝමයද?

මෑත කාලය දක්වා, වොෂිංටන් සහ මොස්කව් යන නගරවලට පොදු වූ එකම දෙය වූයේ ධවල මන්දිරයක් තිබීමය—රුසියානු සමූහාණ්ඩුවේ මෙම ප්‍රධාන කාර්යාලයටද මෙම පටබැඳි නාමය දෙනු ලැබීමට හේතුව වූයේ එම ගොඩනැගිල්ලේ කිරිගරුඩ ඉදිරි පසය—තවද මෙට්රෝ යනුවෙන් හඳුන්වනු ලැබූ පොළොව යටින් පිහිටි විශිෂ්ට දුම්රිය පද්ධතියක් තිබීමය.

මොස්කව්හි මෙට්රෝ පද්ධතිය ඉක්මන් මෙන්ම මිල අඩු ක්‍රමයකි, එමෙන්ම පොළොව යට පිහිටි දුම්රිය මාර්ගවල කලාතුරකින් දකින්නට ලැබෙන අලංකාරයක් එහි දක්නට තිබේ. වර්ෂ 1993 අගෝස්තු මස පටන්, දුර කොපමණ වුවත්, ගමනකට අයකරනු ලැබුවේ අමෙරිකානු ශතයකට සමාන මුදලකි. ඇතැම් දුම්රිය පොළවල් කිරිගරුඩෙන් ගොඩනගා තිබෙන අතර ඒවායේ චිත්තාකර්ෂණීය පින්තූරු, ප්‍රතිමා සහ සීලිම්වල වර්ණවත් බිතු සිතුවම් තිබේ. ආරෝහකයන් මාර්ගයෙන් අසාමාන්‍ය වේගයකින් මගීන්ව පාර මට්ටමේ සිට ඉක්මනින් දුම්රියවල් දක්වාද ආපසු පාරවල් දක්වාද ගෙනයනු ලබයි.

මොස්කව් වනාහි රුසියාවේ පැරණිතම නගරවලින් එකකි, සම්ප්‍රදායේ සඳහන් පරිදි එය 1147දී පිහිටුවනු ලැබීය. පහළොස්වන ශතවර්ෂයේදී එය අලුත සකස්කරන ලද එක්සත් රුසියානු රාජ්‍යයක අගනුවර බවට පත්විය, කෙසේවෙතත්, මොස්කව් නගරයට එම ස්ථානය 1712දී අහිමි විය, ඒ වෙනුවට සාන්ත පීටර්ස්බර්ග් අගනුවර බවට පත්විය. ශතවර්ෂ දෙකකට පසුව, එනම් බොල්ෂෙවික් විප්ලවයෙන් පසුව 1918දී, රුසියාවේ අගනුවර යන තත්ත්වය මොස්කව් නගරයට නැවත ලැබුණු අතර නව සෝවියට් සංගමයේ අගනුවර බවටද එය පත්විය.

දශක ගණනාවකට කොමියුනිස්ට්වාදයේ සංකේතය වූද, මොස්කව් ඇලී සිටින කේන්ද්‍රස්ථානයද වන ක්‍රෙම්ලින්ට නැගෙනහිරින් රතු චතුරස්‍රයේ නමැති සංකීර්ණය පිහිටා තිබේ.

රතු චතුරස්‍රයේ දකුණු කෙළවරේ තිබෙන්නේ සාන්ත බැසිල්ගේ දෙව් මැදුරයි, මෙය 16වන ශතවර්ෂයේ මැදභාගයේදී, කෲර අයිවන් යනුවෙන් වඩාත් ප්‍රසිද්ධ වූ, IVවන අයිවන් මහරජ විසින් ගොඩනගනු ලැබීය. එහි නිර්මාණය මෙන්ම දීප්තිමත් වර්ණ අද්විතීය වේ. ඊට සමාන කිසිවක් නැවත ගොඩනැගීම වැළැක්වීම සඳහා එය නිර්මාණ කළ ගෘහ ශිල්පියාව අන්ධ කරනු ලැබූ බව පරම්පරාගත කථාවල කියැවේ.

ශතවර්ෂ ගණනාවකට ක්‍රෙම්ලින් පවුරු පිටුපසින් දේශපාලනය සහ ආගම අත්වැල් බැඳගත්හ—මෙයට එහි පිහිටි දෙව් මැදුරු ගොළු සාක්කිකරුවෝ වෙත්, එය විශේෂයෙන් එසේ වූයේ මොස්කව් 1326දී රුසියානු ඔර්තඩොක්ස් පල්ලියේ මධ්‍යස්ථානය බවට පත්වීමෙන් පසුවය. ඉන් පසුව මොස්කව් “තුන්වන රෝමය” යනුවෙන් ප්‍රසිද්ධ වූ අතර “තමන් විශේෂ ස්ථානයක සිටි බව රුසියානුවරු ඒත්තු ගත්හ—එනම් ආගමික සත්‍යයේ අන්තිම ආරක්ෂකයාණන් වන දෙවියන්වහන්සේගේ අනුමැතිය ලත් තත්ත්වයකය.” එහෙත් ලෙනින්ගේ මළසිරුර ආරක්ෂා සහිතව තබා තිබෙන රතු චතුරස්‍රය සොහොන් කොත සහ ක්‍රෙම්ලින් පවුරේ ඇති වෙනත් කොමියුනිස්ට් අදේවවාදීන්ගේ සොහොන් ගෙවල් මෙය අසත්‍යයක් බව ඔප්පු කරයි.

බලාපොරොත්තුවේ අගනුවර?

බ්‍රසීලයේ අභ්‍යන්තර ප්‍රදේශයේ අගනුවරක් පිහිටුවීමේ අදහස 1789 තරම් කල් ඇතිව ප්‍රකාශ කරනු ලැබූ අතර, 1891දී ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ පවා එය ඇතුළත් කරන ලදි. එහෙත්, 1956 වන තෙක් ඒ සඳහා සුදුසු ස්ථානයක් තෝරාගනු නොලැබීය. වසර හතරකට පසුව බ්‍රසීලයේ ෆෙඩරල් ආණ්ඩුව එහි නව නිවස කරා ළඟා වීමට සැතපුම් 600ක ගමනක් ආරම්භ කළේය.

සාපේක්ෂ වශයෙන් එතරම් කෙටි කාලයක් ඇතුළත සම්පූර්ණ නගරයක්ම ගොඩනගනු ලැබීම විශිෂ්ට දෙයකි. බ්‍රසීල ජාතිකයෝ බොහෝ දෙනෙක් තම රටේ අනාගත උදාරභාවයේ සංකේතයක් වශයෙන් එම නගරය ආඩම්බර ලෙස සැලකූහ. ලෝකයේ වඩාත්ම නවීන පන්නයේ අගනුවර වශයෙන් ඔවුහු එය වර්ණනා කළ අතර, “බලාපොරොත්තුවේ අගනුවර” යයි එය හැඳින්වූහ. බ්‍රසිලියාවට සිත්ගන්නා නවීන ගෘහ නිර්මාණ ශිල්පයක් යොදවා තිබෙන අතර, එහි පිළිවෙළක් සහිත වර්ධනය, විශාල ප්‍රමාණයේ නගරයක සැලසුම සඳහා විශිෂ්ට ආදර්ශයක් වේ.

“බ්‍රසිලියාව අගනුවරක් බවට පත්කිරීම පිටුපස තිබූ අරමුණ වූයේ, රට අභ්‍යන්තරය කෙරෙහි අවධානය යොමු කිරීමටත් එම ප්‍රාන්තයේ ජනයා පදිංචි කරවීම සහ මේතාක් භාවිතා නොකළ ස්වාභාවික සම්පත්වල වර්ධනය ඉක්මන් කිරීමටත්ය.” මෙම පරමාර්ථ යම් ප්‍රමාණයකට ඉටු කර තිබේ. එහෙත් කොලොම්බියා දිස්ත්‍රික්කය මෙන් 40 ගුණයක් පමණ විශාල පුරවරයක් ඇති වොෂිංටන් නගරයට සමානව, බ්‍රසිලියාවද වර්ධනය වී ඇත. එය 6,00,000ක ජනගහනයකට නිර්මාණය කරනු ලැබුවත්, දැන් එහිද ඒ අවට වූ චන්ද්‍රිකා නගරවලද 16,00,000කටත් වඩා වැඩි ජන සංඛ්‍යාවක් වාසය කරත්. ඇතැම් පැතිවල ජීවිතය බලාපොරොත්තු වූ තත්ත්වයේ නොපවතී.

ඇතැම් කරුණුවලට අනුව නගරයේ ඒකාන්ත පාර්ශ්වයන් පවා පසුබැසීම්වලට හේතු වී තිබෙන බව ඔප්පු වී තිබේ. “බ්‍රසිලියාවේ චරිතය විස්තර කරනවා නම්, එය කැටයම් ප්‍රතිමා ඇති උද්‍යානයක් සහ හඳේ තිබිය හැකි ජනාවාසයක් අතර යමක් සේ පවතියි” යනුවෙන් නැෂනල් ජියෝග්‍රැෆික් සඟරාව වාර්තා කරයි. ඩාස් බිල්ට් උන්සරර් වෙල්ට් (අපගේ ලෝකයේ චිත්‍රයක්) නමැති පොත මෙලෙස සටහන් කරයි: “නව අගනුවර වන බ්‍රසිලියාව තුළට මේතාක් දුරට නාගරික ජීවිතයේ ස්වභාවය ඇති කිරීමට නොහැකි වී තිබේ. ඒ වෙනුවට, නළ-දරුවෙකු වැනි වූ කෘත්‍රිම ලෙස සකසන ලද මෙම නගරයේ, වෙනත් ඕනෑම තැනකට වඩා වැඩියෙන් ගුප්තවාදය, රහස්‍ය චාරිත්‍ර සිදු කරන කණ්ඩායම්, එමෙන්ම නිකායන් ආදිය හටගෙන තිබේ—හිස්භාවය සහ තනිකම කෙරෙහි ජනයා දක්වා තිබෙන ප්‍රතිචාරය එයයි.

එබැවින්, “බලාපොරොත්තුවේ අගනුවරට” පැහැදිලිවම ඇතැම් දුර්වලතා තිබේ. සති අන්තවල සහ නිවාඩු දිනවල දේශපාලනඥයෝ සහ කාර්යාලීය සේවකයෝ නගරය අත්හැර යන විට, එම නගරයේ බොහෝ දුරට උදාසීන වූ අප්‍රාණික ගතිය සහ විශාල නගරවල සාමාන්‍යයෙන් ප්‍රිය කරනු ලබන ඉතා විවෘත භූමිභාග විශේෂයෙන් පැහැදිලිව පෙනෙන්ට තිබේ.

උස් කඳුකරයේ

ලෝකයේ වඩාත්ම උස් වූ කඳු දහයෙන් අටක් මඳ වශයෙන් හෝ සම්පූර්ණ වශයෙන් නේපාලයේ මායිම් තුළ පිහිටා තිබේ. එබැවින්, එහි අගනුවර මුහුදු මට්ටමින් අඩි 4,300කට වඩා උසින් පිහිටා තිබීම පුදුමයක් නොවෙයි. විශාල නගර සමඟ සන්සන්දනය කිරීමේදී, කත්මණ්ඩුහි 2,35,000ක ජනගහනය මඳ එකක් වෙයි. එහි වැසියන්ගෙන් සෑම කෙනෙකුටම, වෙනත් නේපාල් ජාතික වැසියන් 80දෙනෙක් වෙනත් තැන්වල වාසය කරත්.a

අගනුවර කත්මණ්ඩු නිම්නයේ පිහිටා තිබෙන අතර, මෙය පුරාණ කාලයේදී වැවක්ව තිබුණි. එම නිම්නයේ විශාලත්වය, එනම් දිගින් කිලෝමීටර 24ක් හා පළලින් කිලෝමීටර 19ක්, එහි වැදගත්කමට මිම්මක් නොවෙයි. ශතවර්ෂ ගණනාවකට එය ඉන්දියාව, චීනය සහ ටිබෙට් සම්බන්ධ කළ ප්‍රධාන මාර්ග ඔස්සේ පිහිටා තිබූ බලවත් වෙළඳ මධ්‍යස්ථානයක්ව තිබුණි. කඳුකරයේ පිහිටි රටවල කෘෂිකර්මය සඳහා තිබෙන බිම් ප්‍රමාණය ඉතා ස්වල්පයක්ව තිබෙන හෙයින්, නිම්නයේ පිහිටි නගර විශාලත්වයෙන් අධික ලෙස වැඩි වී ක්‍රමක්‍රමයෙන් වටිනා සරුබිම් ප්‍රදේශය, ඒවාට යොමු වනු ඇතැයි බිය පළ කෙරේ. මෙම බියට සාධක නොමැතිව නොවේ. වර්ෂ 1960 සිට කත්මණ්ඩුහි ජනගහනය දෙගුණයකටත් වඩා වැඩි වී තිබේ. වර්ෂ 2020වන විට නගරය පැතිර යෑම හේතුවෙන් නිම්නයේ බිම් ප්‍රමාණයෙන් සියයට 60ක් පමණ අහිමි විය හැකි බව තක්සේරු කර තිබේ.

නේපාලයේ එකම ප්‍රධාන නගරය වන කත්මණ්ඩු, රටේ සමාජීය, ආර්ථිකමය සහ දේශපාලනමය කාරණාවලද එමෙන්ම ආගමික කාරණාවලද දිගු කලකට වැදගත් කාර්යභාරයක් දරා ඇත. කත්මණ්ඩු නිම්නය “බලවත් ආගමික බලපෑමක් සමඟින් වූ අතිපණ්ඩිත සංකල්ප සහ කලා ශෛලිය සහිත අනුපිළිවෙළක් අද්දැක තිබේ. . . . බෞද්ධ ධර්මය සහ හින්දු ධර්මය එතරම් සමීප ලෙස එකිනෙක සමඟ අන්තර්සම්බන්ධ වී තිබෙන වෙනත් ප්‍රදේශයක් හිමාලයේ නොමැත.” පසුකලෙක සම්බුද්ධයන්වහන්සේ නැතහොත් බුදුන් යනුවෙන් ප්‍රසිද්ධ වූ සිද්ධාර්ථ ගෞතම නමැත්තා උපත ලැබූ බවට සිතන ස්ථානය, කත්මණ්ඩුවලින් නිරිත දිගින් කිලෝමීටර 240කට වඩා අඩු දුරකින් පිහිටි නේපාලයේ ලුම්බිණි බව සිත්ගන්නා කරුණකි.

ඇත්ත වශයෙන්ම මෙය, වසර 2,500කට පමණ ඉහතදී සිදු වූ දෙයකි. වඩා මෑතකදී, “ඥානාලෝකය” ලබාගැනීම සඳහා වෙනත් අයද නේපාලයටත් කත්මණ්ඩුවලටත් පිවිසුණහ, එනම් හිපි පරම්පරාවේ සාමාජිකයන්ය.

සැබෑ අත්තිවාරම් සතු නගරයක්

ශතවර්ෂ ගණනාවකට සෙසු මනුෂ්‍යයන්ව පාලනය කිරීම සඳහා මනුෂ්‍යයන් විසින් නගර ගොඩනගා තිබේ. එහෙත් ඉතිහාසයෙන් අපට උගන්වා තිබෙන ශෝචනීය පාඩම වනුයේ “ගමනෙහි යෙදෙන මනුෂ්‍යයාට තමාගේ ගමන [නිවැරදි ලෙස] නියම කිරීම අයිති” නැති බවය.—යෙරෙමියා 10:23; දේශනාකාරයා 8:9.

නගර බරපතළ කරදරයට හසු වී තිබීම පැහැදිලිය. ඒවා නියෝජනය කරන්නාවූ දේශපාලනමය පිළිවෙළවල් බේරී පැවතීම සඳහා මහත් පරිශ්‍රමයක් දරනවාක් මෙන් මෙම නගර මගින්ද එසේ පරිශ්‍රමයක් දරනු ලැබේ. මනුෂ්‍ය පාලනයේ අස්ථිර අත්තිවාරම් බිඳවැටෙමින් පවතියි. කෙසේවෙතත්, සැබෑ “අත්තිවාරම් ඇත්තාවූ, දෙවියන්වහන්සේ විසින් යෝජනාකර සෑදුවාවූ නුවර” සම්බන්ධයෙන් තත්ත්වය එසේ නොවෙයි.—හෙබ්‍රෙව් 11:10.

මෙම නගරය බයිබලය හඳුන්වන්නේ ස්වර්ගීය යෙරුසලම හැටියටයි. (හෙබ්‍රෙව් 12:22) දෙවියන්වහන්සේගේ ජාතිය වූ, පුරාණ ඉශ්‍රායෙල් ජාතියගේ භූමික අගනුවර යෙරුසලම වූ නිසා එය අදාළ වෙයි. එහෙත් දෙවියන්වහන්සේගේ විශ්වනීය සංවිධානයේ අගනුවර වන ස්වර්ගීය යෙරුසලමට, සැබෑ අත්තිවාරමක් තිබේ, මන්දයත් එය ගොඩනැගුවේ සදාකාලික දෙවියන්වහන්සේමය. ගීතාවලිය 46:5 අනාවැකිමය වශයෙන් මෙසේ පවසයි: “දෙවියන්වහන්සේ ඒ [නගරය, NW ] මැද සිටිනසේක; එය නොසෙල්වන්නේය.”

මනුෂ්‍ය පාලනය එහි අවසානය කරා අස්ථිර ලෙස ගමන් කරමින් සිටියි. “සියලු ජාතීන්ගෙනුත් ගෝත්‍රවලිනුත් සෙනඟගෙනුත් භාෂාවන්ගෙනුත්” මෙම සත්‍යය හඳුනාගන්නා මිලියන සංඛ්‍යාත පුද්ගලයෝ දැඩි ආශාවකින් යුක්තව මෙන්ම ප්‍රඥාවන්ත ලෙස දිව්‍ය පාලනයට තමන්වම යටත් කරමින් සිටිති.—ගීතාවලිය 47:8; එළිදරව් 7:9, 10.

මෙය මතක තබාගන්න, නව යෙරුසලම කඳුකරයේ පිහිටි කත්මණ්ඩු නගරයට වඩා ඉහළින් පිහිටා තිබේ, මන්දයත් එය පිහිටා තිබෙන්නේ ස්වර්ගයේය. එමෙන්ම නව යෙරුසලම මැදින් ගලා යන “පළිඟු මෙන් දීප්තිමත්වූ ජීවනදායක වතුර ඇති ගංගාව” වොෂිංටන්හි පිහිටි පොටොමැක් ගංගාවටත් ක්‍රෙම්ලින් අසල පිහිටි මොස්කව් ගංගාවටත් වඩා නිර්මල මෙන්ම ගුණදායක වේ. (එළිදරව් 22:​1, 2) හිස්භාවයේ සහ පාළුකමේ හැඟීම් කිසිවක් ඇති කිරීම වෙනුවට, නව යෙරුසලම වනාහි ‘ජීවමාන සියල්ලන්ගේ ආශාව පූර්ණ කිරීම’ සඳහා වූ දෙවියන්වහන්සේගේ මාධ්‍යය වේ.—ගීතාවලිය 145:16.

මහත් සේ පීඩා විඳින ලෝකයේ නගරවල බරපතළ ගැටලු තිබියදීත්—“සැබෑ අත්තිවාරම් ඇති නගරය නිසා—බලාපොරොත්තු සුන් තත්ත්වයක් නොපවතින බව දැනගැනීමට තිබීම මොනතරම් පුදුමාකාර දෙයක්ද”!—නගර සම්බන්ධ ලිපි මාලාවේ අවසාන ලිපිය. g94 3/22

[පාදසටහන්වල]

a ඊට හාත්පසින්ම වෙනස්ව, නිකරාග්වාහි මනග්වා නගරය, සෑම නිකරාග්වා වැසියන් හයදෙනෙකුගෙන් එක්කෙනෙකුට වාසස්ථානය වන අතර, සෙනිගාල්හි ඩකාර් නගරය, සෑම සෙනිගාල් වැසියන් හතරදෙනෙකුගෙන් එක්කෙනෙකුට වාසස්ථානය වෙයි.

[20 පිටුවෙහි ඇති පින්තූරය]

ධවල මන්දිරය, වොෂිංටන්, ඩී.සී.

[21 පිටුවෙහි ඇති පින්තූරය]

රුසියාවේ මොස්කව්වල රතු චතුරස්‍රයේ පිහිටි සාන්ත බැසිල්ගේ දෙව් මැදුර

[22 පිටුවෙහි ඇති පින්තූරය]

නේපාලයේ, කත්මණ්ඩුහි හින්දු දේවාලයක්

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න