යෞවනයන් අසති . . .
මා මෙතරම් මහත ඇයි?
“බර ලකුණු කිරීමේ සටහන් අනුව, මගේ බර වැඩි නොවුවත්, මා සැබවින්ම මහතයි කියා මට හැඟෙනවා.”—පැටි.
“මහතවීමෙන් . . . ඔබේ ආත්ම-අභිමානය අඩියටම බහිනවා. හතරවන ශ්‍රේණියේ පටන් මගේ බර වැඩිවී තිබුණා . . . එක එක නම්වලින් කථා කරන්නට ගත්තේ එවිටයි.”—ජඩ්.
බර. එය සැබවින්ම ඇතැම් යෞවන අය අතර, විශේෂයෙන්ම ගැහැනු ළමුන් අතර සිතේ පවතින කරදරයකි. පාසැල්-වියේ ගැහැනු ළමුන් කණ්ඩායමකින් විමසූ විට, ඔවුන්ගෙන් සියයට 58දෙනෙකු සිතුවේ තමන් මහත බවය.
එක් එ.ජ. සමීක්ෂණයකට අනුව, බර වැඩි නව යොවුන් ගැහැනු ළමුන්ගෙන් සියයට 34ක් බර අඩු කරගැනීමට ආහාර පාලක පෙති ලබාගෙන ඇත. හතර දෙනෙකුගෙන් එක්කෙනෙකු පමණ කෑම වමනය කිරීමේ පිහිට පතයි! වෙනත් සමීක්ෂණයක් ගැන වාර්තා කරමින්, ද නිව් ටීන්ඒජ් බොඩි බුක් මෙසේ පවසයි: “නව-හැවිරිදි අයගෙන් අඩක් පමණ හා දහ-හැවිරිදි හා එකළොස්-හැවිරිදි වූවන්ගෙන් සියයට 80ක් පමණ ආහාර පාලනයකොට ගනිමින් සිටීම කම්පිත කරවන්නකි. දොළහේ සිට දාසය අතර වයසේ ගැහැනු ළමුන්ගෙන් සියයට 70ක් පමණ බර අඩු කරගැනීමට වෑයම් කරමින් සිටින අතර දාහත්-හැවිරිදි වූවන්ගෙන් සියයට 90ක් ආහාර පාලනය කරමින් සිටියහ.”
කෙට්ටුවීමේ ආශාව
ශතවර්ෂ ගණනාවක් පුරා, පිරිමින්ට හා ස්ත්‍රීන්ට තරමක පිරුණු දේහයක් තිබීම සිත්ගන්නා බවට සැලකීය. එහෙත් 1920 ගණන් තුළදී, එ.ජ. මෝස්තර කර්මාන්තය යම් ප්‍රමාණයකට විපර්යාසයක් අත්දිටීය. හදිසියෙන්ම කෙට්ටු සිරුර වඩාත් කදිම ස්වරූපය බවට පත්විය. දශක ගණනාවකට පසු, කෙට්ටුවීම තවමත් ජනප්‍රියව පවතී. රූපවාහිනිය හා සඟරා, කෙට්ටු සිරුරක් ඇති පිරිමි හා ස්ත්‍රී නිරූප නිරූපිකාවන් විශේෂ කොට දක්වන දක්ෂ ප්‍රචාරයන් සමඟින් මෙම ආකල්පය වැඩි දියුණු කිරීමට උපකාරවත් වී ඇත. සිහින් සිරුරක් ඇති මෙම නිරූප නිරූපිකාවන්ගෙන් බොහෝ දෙනෙක් සාගින්නට ආසන්න තත්ත්වයක තමන්ව තබාගත්තත් ප්‍රචාරකයන්ට ඒ ගැන තැකීමක් නැත! කෙට්ටු අය සිත් ඇදගන්නා බව විශ්වාස කිරීමට මිලියන සංඛ්‍යාත යෞවනයන්ව (හා වැඩිහිටියන්ව) සූක්ෂ්ම ලෙස පුහුණු කර ඇත. එසේ නම්, එතරම්-කෙට්ටු-නොවන යෞවනයන් තමන් මහත මෙන්ම සිත් ඇද නොගන්නා අය බව පොදුවේ සිතීම පුදුමයක් නොවේ.
සම වයසේ අයගෙන් ඇතිවන බලපෑමද උපකාරවත් නොවේ. බර වැඩි යෞවනයන්ව බොහෝ විට කෙළවරක් නොමැති සරදමට, නින්දාවට හා අගතියට භාජන වේ, මෙමගින්—“සැලකිය යුතු මනෝවිද්‍යාත්මක වේදනාවක්—වශයෙන් එක් ලේඛිකාවක් විස්තර කළ වැඩිහිටිභාවය දක්වා පැවතිය හැකි වේදනාවක් ඇති කරයි.
ඔබ මහතයි කියලා කියන්නේ කවුද?
භාග්‍යයකට, ඔබ නියම වශයෙන්ම බර වැඩිද නැතහොත් නැද්ද යන ප්‍රශ්නයට අඩුම තරමින් වෛද්‍ය දෘෂ්ටිකෝණයකින් බලනවා නම්, ඔබ නාන ඇඳුමක් ඇඳ සිටින විට පෙනෙන ආකාරයට වඩා වැඩි දෙයක් ඇතුළත් වේ. පුද්ගලයෙකුට සුදුසුම බරට වඩා සියයට 20කින් ඔහු බර වැඩි නම් වෛද්‍යවරු සාමාන්‍යයෙන්ම ඔහු මහත යයි නිර්වචනය කරති. එහෙත්, උසට සරිලන මහතෙහි සටහන් පදනම් වී තිබෙන්නේ සාමාන්‍ය ගණන් අනුව වන අතර සෞඛ්‍යසම්පන්න පුද්ගලයෙකුට තිබිය යුතු බර ගැන දිය හැක්කේ දළ අදහසක් පමණකි. සමහර වෛද්‍යවරු ස්ථූලතාව නැතහොත් තරබාරුකම මනින්නේ හුදෙක් බර අනුව පමණක් නොව නමුත් අතිරේක ශාරීරික මේදය අනුවය. ඒ පේරන්ට්’ස් ගයිඩ් ටු ඊටිං ඩිස්ඕර්ඩර්ස් ඇන්ඩ් ඔබීසිටි පොතට අනුව, “ස්ත්‍රීන්ගේ ශරීර පටක ගත් කල ඉන් සියයට 20 සිට 27කද පුරුෂයන්ගේ ශරීර පටක ගත් කල ඉන් සියයට 15 සිට 22කද මේද තිබිය යුතුය.”
ඇත්තෙන්ම සාපේක්ෂ වශයෙන් ගත් කල බරෙන් වැඩි යෞවනයන් සිටින්නේ ස්වල්ප දෙනෙකු යයි ඇතැම් පර්යේෂකයෝ විශ්වාස කරති. සෞඛ්‍යය හා සම්බන්ධ දෘෂ්ටියෙන් සලකා බලන කල, ඔබේ බර අඩුවීමට කොහෙත්ම හේතුවක් නොතිබෙනවා විය හැක. මුලදී සඳහන් කරන ලද සමීක්ෂණයේදී, විමසන ලද ගැහැනු ළමුන්ගෙන් අඩකටත් වඩා තමන්ගේ බර වැඩි යයි කල්පනා කළ නමුත්, සැබවින්ම එසේ සිටියේ සියයට 15ක් පමණි.
මගේ පෙනුම ඇයි මෙහෙම?
ඔබ කණ්ණාඩියකින් ඔබ දෙස බලන විට මෙය ඔබට සැනසීමක් නොදෙනවා විය හැක; ඔබ සිතන පරිදි ඔබට කොහෙත්ම සිත්ගන්නා ශරීරයක් නොතිබෙන්නට පුළුවන. එක් නව යෞවනියක් මෙසේ ශෝක වූවාය: “බර අඩු කරගැනීමට, උස යෑමට මෙන්ම මීට වඩා නාරි දේහයක් ඇතිව සිටීමට මා කැමතියි.”
එහෙත්, ඔබ නහඹර වයසේ සිටින නිසා, ඔබේ ශරීරය ශීඝ්‍රයෙන් වෙනස්වෙමින් පවතින බව මතක තබාගන්න. “වැඩිවියට පැමිණීමේදී පිරිමි ළමුන් හා ගැහැනු ළමුන් යන දෙගොල්ලන්ගේම බර වැඩිවේ,” යයි වෛද්‍ය අයිරිස් ලිට් පැහැදිලි කරන්නීය. “එහෙත් පිරිමි ළමුන්ට වැඩියෙන් පේශි පටක ඇති වෙද්දී, ගැහැනු ළමුන්ගේ මේද පටක වර්ධනය වේ. වැඩිවියට පැමිණීමේදී, ළමා වියේදී පක්ෂ දෙකටම පොදුව තිබූ සාමාන්‍යයක්—එනම් ශරීරයේ සියයට අටක් පමණ මේදය ඇති ශරීරයක සිට ගැහැනු ළමයෙකුගේ ශරීරයේ මේදය සියයට 22කින් පමණ වැඩිවේ. ඒ අතරතුරේදීම, සැකිල්ලේ වෙනස්වීම් ගැහැනු ළමුන්ගේ බර වැඩිවීම වැඩි කරයි. ගැහැනු ළමුන්ට බෙහෙවින් පළල් ඉණවල් ඇති වන අතරේදී, පිරිමි ළමුන්ගේ කරවල් පළල්වේ.” මෙම වෙනස්වීම්වලට කාලයක් ගතවේ. එහෙත් 11 හෝ 12-හැවිරිදි මහත ගැහැනු ළමයෙකු වැඩිවියට පත්වීමේදී නාරි දේහයකින් යුතු නව යෞවනියක් වශයෙන් මතුවෙන්නට පුළුවනි. එමෙන්ම ඇයට එසේ නොවන්නත් පුළුවනි.
ඔබ සම්බන්ධයෙන් මෙය සැබෑවක් බව ඔප්පුවී තිබේ නම්, එය තරමක් දුරට ඔබේ දෙමව්පියන්ගෙන් ඔබ උරුමකරගෙන ඇති ජන්ම පිටපත හේතුවෙන් විය හැක. ගීතිකාකරු ලියුවාක් මෙන්, පිළිසිඳ ගැනීමේදී ප්‍රවේණි සංග්‍රහයේ, ඔබේ සමේ වර්ණය, හිසකේවල ස්වභාවය හා උස සමඟ, ඔබේ ප්‍රධාන ශරීර හැඩය “ලියනලද්දෝය.” (ගීතාවලිය 139:16) ගීතිකාකරු ලිවීමට ආනුභාවය ලත් කරුණම සඳහන් කරමින්, වෛද්‍ය ලෝරන්ස් ලෑම්, ද වේටිං ගේම් නමැති සිය පොතෙහි මෙසේ පවසයි: “ඔබේ ජීවිතයේ විවිධ අවස්ථාවන්හිදී, ඔබේ බර කුමක් විය යුතුද, ඔබට කෙතරම් මේද ප්‍රමාණයක් තිබිය යුතුද, කියා තීරණය කරන ජීවන ලියවිල්ලක් සමඟින් ඔබ ඉපදී ඇත.”
ශරීරයේ හැඩය කෙරෙහි ජානවල බලපෑම තිබෙන බවට අධ්‍යයනයන් මගින් ස්ථිර කර තිබේ. හදාගැනීමට ගත් දරුවන්ට, ඔවුන්ව හදාගත් දෙමව්පියන්ට තිබෙන හැඩය කුමක් වුවත්, ඔවුන් ජනිත කළ දෙමව්පියන්ගේ මෙන්ම ශාරීරික හැඩයන් ඇතිව සිටීමට නැඹුරුවාවක් තිබේ. තවද නිඹුල්ලුන්ට එක වාගේම ප්‍රවේණි පිටපතක් තිබෙන බැවින්, නිඹුල්ලුන්ට එකම බරක් තිබීමේ නැඹුරුවාවක් ඇති බවට පුදුම නොවිය යුතුය.
ඔබට මින් අදහස් කරන්නේ කුමක්ද? උදාහරණයක් වශයෙන්, ඔබේ දෙමව්පියන් දෙදෙනාම මහත යයි සිතමු. එසේනම් ඔබ මහත වීමට සියයට 80ක ඉඩක් තිබේ. එක් දෙමව්පියෙකු පමණක් මහත නම් එසේ වීමට ඇති ඉඩකඩ ඉන් භාගයකි. ව්‍යායාමය හා ආහාරය යම් දුරකට උපකාරවත් විය හැක. එහෙත් වැඩි වශයෙන්, අපට අපගේ ප්‍රධාන ශරීර හැඩයන් සමඟ කෙසේ හෝ ජීවත්වන්නට සිදුවනවා ඇත. ඔබ කෙසඟ සිරුරක් ඇති කෙනෙකු නම්, සාමාන්‍යයෙන්ම ඔබ සිහින් කෙනෙකි. එහෙත් ඔබේ ජාන ඔබ වටකුරු සිරුරක් ඇත්තෙකු බවට නියම කර ඇත්නම්—එනම් වඩා වටකුරු දේහයකින් හා ශරීරයේ මේද වැඩියෙන් ඇති කෙනෙකු නම්—ඔබ ඇත්තෙන්ම සිහින් කෙනෙකු වීමට නියමිතව නොතිබුණි. වෛද්‍යමය ලෙස ගත් කල ඔබගේ කදිම බර ප්‍රමාණයේදී පවා, ඔබ කැමති වනවාට වඩා ඔබ බරෙන් වැඩි වී පෙනෙයි.
ඔබේ ශරීරය ගැන සෑහීමට පත්වීම
අධෛර්යයට පත්වීමක්ද? සමහරවිට. එහෙත් ශුභාරංචිය නම් යෙහෝවඃ දෙවියන්වහන්සේ ආදම් සහ ඒව නමැති මුල් මිනිස් යුවළ, ශාරීරික ආකාරයෙන් පරිපූර්ණව මවා තිබීමය. ඔවුන් අසම්පූර්ණත්වයට පත්වී, තම ජනිතයන්ට අසම්පූර්ණත්වය යැවූ නමුත්, උන්වහන්සේගේ ධර්මිෂ්ඨ නව ලෝකයේදී උරුම වී ඇති ඕනෑම ශාරීරික දෝෂයක් නිවැරදි කිරීමට දෙවියන්වහන්සේ වග බලාගන්නාසේක.—යෝබ් 14:4; රෝම 5:12; 2 පේතෘස් 3:13.
සමාජීය තත්ත්වයට හා පෞද්ගලික කැමැත්තට අනුව අලංකාරය පිළිබඳ ප්‍රමිති තිබිය හැකි බව මතක තබාගන්න. මෙබැවින්, අලංකාර යයි සැලකෙන දෑ ලොව පුරා වෙනස් වන අතර කාලයාගේ ඇවෑමෙන් වෙනස් විය හැක. එබැවින් “ඔබ අවට ලෝකයේ අච්චුවට ඔබව දමා මිරිකීමට ඉඩ හරින්නේ” මන්ද? (රෝම 12:2, ෆිලිප්ස්) බොහෝ විට එහි විකෘති වූ ප්‍රමිතිවලට හා දෘෂ්ටීන්ට යටත් වන්නේ මන්ද?
ඔබ කෙට්ටු නොවන නිසාම ඔබවම පහත් කරගැනීමට හෝ කලකිරීමට පත්වීමට ඇත්තෙන්ම අවශ්‍යතාවක් නැත. දෙවියන්වහන්සේ අපගේ ශාරීරික උස හෝ හැඩය අනුව අපව විනිශ්චය කරන්නේ නැත. “මනුෂ්‍ය තෙමේ පිටාතර පෙනීම බලන්නේය, නමුත් ස්වාමීන්වහන්සේ [යෙහෝවඃවහන්සේ, NW ] සිත [හෘදය, NW ] බලන සේක,” යයි බයිබලය පවසයි. (1 සාමුවෙල් 16:7) එසේය, දෙවියන්වහන්සේ ගණන් ගන්නේ ඔබේ උකුළ හෝ ඔබේ ඉණේ ප්‍රමාණය නොව “සිතේ [හෘදයේ, NW ] ඇතුල් මනුෂ්‍යයා[ය].” (1 පේතෘස් 3:4) තවද ඔබ ප්‍රීතිමත්, මෘදු ගතියෙන් යුත්, ත්‍යාගශීලී හා අන්‍යයන් ගැන සැලකිලිමත්වන කෙනෙකු නම්, ජනයෝ සාමාන්‍යයෙන්ම ඔබ වෙත ඇදී එති.
මෙසේ පවසන්නේ ඔබේ පෙනුම වැඩි වර්ධනය කරගැනීමට ඔබට කළ හැකි කිසිවක් නැතැයි පැවසීමට නොවේ. එහෙත් ඔබේ දේහ ලක්ෂණය සමඟ ඔබ මුළුමනින්ම සතුටු නොවන්නෙහි නම්, යම් අනවශ්‍ය ආහාරයකින් ඔබේ ශරීරයට දඬුවම් පැමිණවීමට ඔබට අවශ්‍ය නැත. සමහරවිට ඔබට හුදෙක් අවශ්‍ය වන්නේ දෝෂ සහිත යයි ඔබ සිතන දේ අඩුකොට දක්වන හා ඔබේ යහපත් දේහ ලක්ෂණ වැඩිකොට දක්වන ඇඳුම් හා වර්ණ තෝරාගනිමින්, ඔබ අඳින්නේ කුමන මෝස්තරද, වර්ණයන්ද යන්න ගැන හුදෙක් වැඩි සැලකිල්ලක් දැක්වීම පමණි.
තවදුරටත්, බර ස්වල්පයක් පමණක් අඩු කිරීම ඔබට ප්‍රයෝජනදායක යයි ඔබට හැඟෙන්නට පුළුවනි. නැතහොත් ස්ථූලතාව සම්බන්ධයෙන් ඔබට සැබෑ ගැටලුවක් තිබිය හැකි අතර වඩා හොඳ පෙනුමකට පමණක් නොව නමුත් සෞඛ්‍යය පිළිබඳ හේතු නිසා බර අඩු කරගත යුතු විය හැක. ඔබට හානි නොවී එසේ කළ හැකි ආකාරය අපගේ ඊළඟ ලිපියේ විෂය වනු ඇත. g 4/22/94
[19 පිටුවෙහි ඇති කොටුව]
“මා කෙට්ටු වැඩියි”
කෙට්ටුව සිටීම අලංකාරවත් බවට සියලුම යෞවනයෝ එකඟ නොවෙති. “මා ඉතා සිහින්, නිතරම සමච්චලයට ලක්වන 15-හැවිරිදි පිරිමි ළමයෙක්,” යයි යෞවන මාර්ක් පැමිණිලි කරයි. සිහින්බව බොහෝවිට වැඩිවියට පැමිණීමේ අතුරු ඵලයකට වඩා වැඩි දෙයක් නොවේ. වැඩෙන ශරීරයකට විශාල කැලරි ප්‍රමාණයක් අවශ්‍ය වේ. වැඩීම එකපාරටම නවතින තුරු යෞවනයෙකු මහත්වීමට පටන් නොගන්නට පුළුවනි. ජාන විද්‍යාවද කාර්යභාරයක් ඉටු කරයි. සැබවින්ම, අසනීප ගතිය හෝ හෝමෝන අසමබරතාවද අමතර කෙට්ටු බවක් ඇති කළ හැකි අතර, එවන් අයවලුන් සඳහා වෛද්‍ය අවධානය යොමු කිරීම අත්‍යවශ්‍ය වේ. කලකිරීම හෝ මානසික රෝගයක් කරණකොටගෙන ඇතිවන අග්නිමාන්ද්‍යය (ආහාර ගැනීමට දිගු කාලීන නොහැකියාවක් හෝ එය ගැනීම ප්‍රතික්ෂේප කිරීම) වැනි ආහාර ගැනීමේ දරුණු අක්‍රමිකතාවක වේදනාව හේතුවෙන් ආහාර ගැනීම නවතන යෞවනයන්ට එලෙසම වෛද්‍ය උපකාරය දීමට සිදුවිය හැක.
කාරණය කුමක් වුවත්, ඔබ අතිශයින් කෙට්ටු යයි ඔබ සිතන්නෙහි නම්, වෛද්‍යවරයෙකුගේ උපදෙස් ලබාගන්න. ඔබට කරන්නට ඉගෙනගැනීමට සිදුව තිබෙන්නේ, ඔබේ පෙනුම පිළිගැනීමට ඉගෙනගැනීම—තවද සමහරවිට එයට කැමතිවීමට ඉගෙනගැනීම පමණක් පවා—විය හැක.
[18 පිටුවෙහි ඇති පින්තූරය]
විලාසිතා සඟරාවල දැක්වෙන නිරූප නිරූපිකාවන්ගේ දේහ ලක්ෂණ තමන්ට නොමැති හේතුවෙන් තමන්ගේ බර වැඩි යයි බොහෝ දෙනෙක් සිතින් මවා ගනිති