ගින්න පාලනය කළ නොහැකි විට
ඝානාවේ එවේක්! වාර්තාකරු විසිනි
ගින්න. එය පාලනය යටතේ තිබෙන විට, එය ප්‍රයෝජනවත් සේවකයෙකි. එහෙත් එය පාලනය කළ නොහැකි තත්ත්වයට පත් වන විට, එය දිවෙන මාර්ගයේ ඇති සෑම දෙයක් ම—එනම් මිනිසුන්, මෘගයන්, ගස්, වෘක්ෂලතාදිය—විනාශ කර දමන විනාශකාරී යෝධයෙක් බවට පත්විය හැක.
වර්ෂ 1983 දී ඕස්ට්‍රේලියාවේ හටගත් ලැව් ගින්නකින් දකුණු ඕස්ට්‍රේලියාවේ හා වික්ටෝරියාවේ ප්‍රාන්ත විනාශ කර දැමී ය. ගවයන් 36,000ක් ද, බැටළුවන් 3,20,000ක් ද, නිවාස 2,000කට වඩා ද විනාශ කිරීමත් සමඟ ම පුද්ගලයන් 70 දෙනෙකුට වඩා මරා දැමී ය.
එම වර්ෂයේ දී ම, ඝානාවේ හටගත් ලැව් ගින්නක ප්‍රතිඵලය වූයේ රටේ වර්ග සැතපුම් 92,100යෙන් සියයට 72ක් විනාශ වී යාම ය. අඩු ම තරමින් 29 දෙනෙක් මිය ගියහ; වෙනත් 34 දෙනෙක් තුවාල ලැබූහ.
ලැව් ගිනිවල කුඩා ප්‍රමාණයක් ඇති වන්නේ විදුලි කෙටීම වැනි ස්වාභාවික ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් වශයෙනි. බොහොමයක් සිදු වන්නේ මිනිසුන් මගිනි. ඝානාවේ ලැව් ගින්න සඳහා ප්‍රධානත ම හේතුව වන්නේ වයින් සෑදීම සඳහා තල්ගස් මැදීම ය. තල් යුෂ වෑස්සීමට ඉඩ සැලසීම සඳහා තල් ගසට උණුසුම ලබා දීමට වැඩකරුවෝ කෝටු පොදි බැඳ පුලුස්සති. එහෙත්, බොහෝ විට සිදු වන්නේ අත්වැරැද්දකින් ගින්න පැතිර යාමේ ප්‍රතිඵලයක් වශයෙන් ලැව් ගින්න හට ගැනීම ය.
ඇතැම් අප්‍රිකානු රටවල, වනලැහැබක සිටින සතුන් ඉන් පිටතට එලවා දැමීම සඳහා දඩයක්කාර කණ්ඩායමක් එකතු වී වනලැහැබ වටකර ගිනි ඇවිළවීම සාමාන්‍ය දෙයකි. මී පැණි සඳහා මී වද කඩන්නට යන්නෝ, මීමැස්සන් ව උන්ගේ මී වදවලින් එලවීම සඳහා ගිනි අවුළුවති. සමහර අවස්ථාවල දී ඔවුන් ඇවිළූ ගිනි නිවා දැමීමට ඔවුන් කිසි වුවමනාවක් ගන්නේ නැත.
නිවර්තන අප්‍රිකාවේ බොහෝ ගොවීහු හේන් ගොවිතැන් කිරීම සඳහා ගස් කපා, පුළුස්සා දැමීමේ ක්‍රමය යොදා ගනිති. ඔවුහු තමන් ගොවිතැන් කිරීමට අදහස් කරන ප්‍රදේශයක තිබෙන ගස් පඳුරු කපා දමා, රොඩු බොඩු පුළුස්සා දමති. පාලනය කළේ නැත්නම් විගස ගින්න පැතිර යා හැක.
ඇතැම් ප්‍රදේශවල, වර්ෂා කාලය එන විට එඬේරු තම සිවුපාවන් සඳහා හොඳ තණ කොළ වැඩෙයි යන විශ්වාසය ඇතුව වියළි තණ පුළුස්සා දමති. බොහෝ විට සිදු වන ලෙස, මෙම ගිනි රිසි සේ ඇවිළී යාමට ඉඩ හැරීමෙන්, ඒවා පහසුවෙන් ම පැතිර යා හැක. එමෙන් ම කඳවුරු ගසා ගන්නන් සහ ක්ෂේත්රයේ වැඩ කරන්නන් ද කෑම පිසීම සඳහා අවුළුවන ලද ගිනි නිවා දැමීමට අසමත් වීමෙන් ඇතැම් අවස්ථාවල දී ලැව් ගිනි ඇති කිරීමේ වරදකරුවෝ බවට පත් වෙති.
එසේ නම්, ලැව් ගිනි වැඩි ප්‍රමාණයක් සඳහා හේතු වන්නේ නොසැලකිලිමත්කම බව සක්සුදක් සේ පැහැදිලි ය. එහෙත්, එම ගිනි හටගැනීම් වළක්වා ගැනීමට මාර්ග තිබේ ද? වළක්වා ගැනීමට සාධාරණ වෑයමක් දැරීමෙන් විශාල වෙනසක් ඇති කළ හැක. උදාහරණයක් වශයෙන්, ගිනි අවුළුවා ඇති ක්ෂේත්රය වටා අඩි 15 සිට 30 පළලට එළිපෙහෙළි කිරීම මගින් යාබද ක්ෂේත්රයන්ට ගින්න පැතිර යාම වළක්වා ගැනීමට ඔබට හැක. තවත් වැදගත් ආරක්ෂිත මාර්ගයක් වනාහි ඔබ අවුළුවන ලද ගිනි සියල්ල ම සම්පූර්ණයෙන් ම නිවා දැමීම ය. ගින්න නිවා දැමීම සඳහා පොර බදනවාට වඩා ලැව් ගින්නක් ඇති වීම කලින් වළක්වා ගැනීම වඩා පහසු බව මතක තබා ගන්න.
වැරදිකරුවන්ගේ නොසැලකිලිමත්කම සහ ගිනි ඇවිළ වීමේ ක්‍රියා අඩු කිරීම සඳහා දඬුවම් තවත් දැඩි කළ යුතු යයි ඇතැමෙක් විශ්වාස කරති. ලැව් ගිනි වළක්වා ගැනීමට හොඳ ම මාර්ගය වනාහි අධ්‍යාපනය සහ සියල්ලන් ම කැමැත්තෙන් සහාය වීම යයි වෙනත් අය තර්ක කරති.
සැලකිය යුතු ප්‍රමාණයකට ගින්න ගැන සැලකිලිමත් වන්න. සාධාරණ සැලකිල්ලක් දැක්වීම මගින්, මෙම ප්‍රයෝජනවත් සේවකයා විනාශකාරී යෝධයෙකු බවට පත්වීමට ප්‍රකෝප කිරීමෙන් වළක්වා ගැනීමට අපට හැක. g93 10/8
[හිමිකම් වඟන්තිය]
P.Riviere/Gamma Liaison