ඔයා දෙන සම්මාදම් පාවිච්චි කරන විදි
ඩිජිටල් ලෝකෙක මුද්‍රිත ප්‍රකාශන
2026 අප්‍රියෙල් 1
ඔයාට බයිබලේ හරි අපේ වෙන ප්රකාශනයක් හරි කියවන්න ඕනෙ වුණාම ඔයා අතට ගන්නේ මොකක්ද? ගොඩක් වෙලාවට ෆෝන් එක හරි ටැබ් එක හරි නේද? අපෙන් හුඟදෙනෙක් දැන් මුද්‍රිත ප්‍රකාශන පාවිච්චි කරන්නේ නැති තරම්. කොටින්ම කියනවා නම් ඔයා මේ ලිපිය කියවනවා ඇත්තෙත් ඉන්ටනෙට් එකෙන්. ඇත්තටම, අපේ ප්‍රකාශන jw.org එකේ සහ ‘JW ලයිබ්‍රරි’ ඇප් එකේ තියෙන එක කොච්චර නම් වටිනවාද!
ඇයි දැන් අපේ ප්‍රකාශනවලින් වැඩි හරියක්ම ඩිජිටල් මාධ්‍යයෙන් එන්නේ? යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් හුඟදෙනෙක්ට දැනිලා තියෙනවා ඒක ලේසියි කියලා. ඒ වගේම මුද්‍රණය කරපු පොත් පත්වල නැති සමහර විශේෂාංග මේ ඩිජිටල් ප්රකාශනවල තියෙනවා. අපේ සේවේ ගැනත් ටිකක් හිතන්න. ඇත්ත, අපි තාමත් සේවේ යද්දී අපිට හම්බ වෙන අයට අපේ ප්‍රකාශන දෙනවා. හැබැයි දැන් අපි වැඩිපුරම අවධානය දෙන්නේ කතාබහක් පටන්ගන්න එකට.
මේ වගේ හේතු නිසා මීට අවුරුදු 10කට කලින් අපි මුද්‍රණය කරපු පොත් පත් ප්‍රමාණය එක්ක බලද්දී දැන් අපි ඒ ගාණෙන් භාගයක්වත් මුද්‍රණය කරන්නේ නැහැ. 2015දී හුඟක් අය ‘JW ලයිබ්‍රරි’ ඇප් එකට හුරු වෙන්න කලින් අපේ මුද්‍රණාලවලට වැඩ කන්දරාවක් කරන්න තිබ්බා. ඒවා දවසකට පැය 16ක් වැඩ කළා. සමහර මුද්‍රණාල දවසකට පැය 24ක් වැඩ කරන්නත් සැලසුම් කරකරයි හිටියේ. මොකද එච්චරට ලොකු ඉල්ලුමක් තිබුණා. හැබැයි දැන් අපේ මුද්‍රණාලවල වැඩ වෙන්නේ දවසට පැය 8යි.
මුද්‍රණ වැඩ අඩු කරලා තියෙන එකම සංවිධානය අපි විතරක් නෙවෙයි. සමීක්ෂණවලින් හොයාගෙන තියෙනවා දැන් දැන් පුවත්පත්, සඟරා වගේ දේවලුත් මුද්‍රණය වෙන්නේ හරිම අඩුවෙන් කියලා. දවසින් දවස මුළු ලෝකෙම ඩිජිටල් ලෝකයක් වේගෙන එන කාලෙක අපි පොත් පත් මුද්‍රණය කරන්නම ඕනෙද? ඔව්. ඒ ඇයි කියලත් සංවිධානයේ මුද්‍රණ වැඩවලට ඔයාගේ සම්මාදම් උදව් වෙන්නේ කොහොමද කියලත් දැන් අපි බලමු.
මලාවිවල ඉන්න සහෝදරියන් දෙන්නෙක් ‘හැමදාටම සතුටින් ජීවත් වෙන්න!’ සඟරාවේ මුද්‍රිත පිටපතෙන් බයිබල් පාඩමක් කරනවා
ඇයි අපි තාමත් මුද්‍රණය කරන්නේ?
අපේ සමහර සහෝදර සහෝදරියන්ට මුද්‍රණය කරපු ප්‍රකාශන නැතුවම බැහැ. මේ අද්දැකීම් ටික බලන්න.
“මට ෆෝන්, ටැබ් ගන්න සල්ලි නෑ. කොහොමහරි සල්ලි හොයාගෙන එකක් ගත්තත් ඒකෙන් වැඩක් වෙන්නේ නෑ. මොකද මෙහේ නිතරම කරන්ට් එක යනවා. ඒ නිසා ඕක චාජ් කරගන්න ලේසි නෑ. ඉතින්, මට හරියන්නේ පොත් පත්ම තමයි.”—ඕඩෙටේ, මොසැම්බික්.
“මං එච්චර සල්ලි බාගේ තියෙන කෙනෙක් නෙවෙයි. අමාරුවෙන් කීයක් හරි එකතු කරගෙන අඩුවට තියෙන ෆෝන් එකක් ගත්තත් ඒකෙන් වැඩක් නෑ. මොකද ඒවා එච්චර කල් පාවිච්චි කරන්න බෑ. අනික ඒවා ගත්තාම නිතරම හදහද තමයි ඉන්න වෙන්නේ. එතකොට මට නමස්කාරේ වැඩක් කරගන්න හම්බ වෙන එකක් නෑ.”—ලිනලී, මලාවි.
“අපේ පවුලේ සත්‍යයේ ඉන්නේ මායි, දුවලා දෙන්නායි විතරයි. අපි තුන්දෙනාටම තියෙන්නේ එක ෆෝන් එකයි. ඉතින්, රැස්වීම් වෙලාවට එක් කෙනෙක් ෆෝන් එක පාවිච්චි කරනවා, අනිත් දෙන්නා පොත් පත්වලින් බලනවා. මොකද ෆෝන් තුනක් ගන්න තරම් අපිට වත්කමක් නෑ.”—සිනිනා, මයික්‍රෝනීසියාව.
තවත් සහෝදර සහෝදරියන්ට ෆෝන්, ටැබ් තියෙනවා. හැබැයි එයාලා වැඩියෙන් කැමති පොත් පත්වලින් බලන්නයි. මේ අද්දැකීම් ටික බලන්න.
“සාමාන්‍යයෙන් මං ෆෝන් එකෙන් තමයි දේවල් බලන්නේ. හැබැයි රැස්වීම්වලට ලෑස්ති වෙද්දී මං කැමතියි පොතෙන්ම ලෑස්ති වෙන්න. මොකද එතකොට මට ප්‍රධාන කරුණු හයිලයිට් කරගන්න පුළුවන්. අමතර අදහස් පොඩියට ලියාගන්නත් පුළුවන්. ඇත්ත, ඔය දේවල් ෆෝන් එකෙන් කරන්නත් බැරිකමක් නෑ. ඒත් අතින්ම ලියද්දී ඒක හිතට දැනෙනවා වැඩියි. හොඳට මතකත් හිටිනවා.”—මාර්සීයා, බ්‍රසීලය.
“ෆෝන් එකෙන් කියවනවාට වඩා මට ලේසි පොතෙන් කියවන එක. මොකද ඒක ඇස්වලට අමාරු නෑ. අනික ඔය ගැජට් ගැන මට එච්චර දැනුමකුත් නෑ. ඩවුන්ලෝඩ් කරන විදිහ, ටයිප් කරන විදිහ, තොරතුරු හොයන විදිහ කොච්චර ඉගෙනගත්තත් ඕවා මට අල්ලගන්න අමාරුයි.”—සලීනා, මොසැම්බික්.
“දවස තිස්සේම මං ඉන්නේ ෆෝන් එකෙයි, කම්පියුටරෙයි. හැබැයි යෙහෝවා ගැන අධ්‍යයනය කරන වෙලාවට මං කැමතියි ඒවායින් ටිකක් ගැලවෙන්න. ඒ නිසා තමයි මං පොත් පත්වලට කැමති. පොතකින් කියවද්දී මෙසේජ් එන කරදරෙත් නෑනේ. හොඳට අවධානය දෙන්න පුළුවන්.”—ගීයෝම්, කැනඩාව.
“සේවේදී කෙනෙක්ව මුල්ම වතාවට හම්බ වුණාම එයාගේ අතට සඟරාවක් දෙන එක තමයි ලේසි. මොකද ලින්ක් එකක් යවන්න නං එයාගේ ෆෝන් නොම්බරේ ඕනෙනේ. මෙහේ අඳුරන්නේ නැති කෙනෙක්ගෙන් ෆෝන් නොම්බරේ ඉල්ලන එක ටිකක් අමුතුයි. අනික අපි සේවේ යන්නෙත් භයානක පැතිවල. ඒ නිසා ෆෝන් එක අතේ අරන් යන එක නුවණට හුරු දේකුත් නෙවෙයි.”—දකුණු ඇමරිකාවේ චාරිකා සේවකයෙක්.
මුද්‍රිත ප්‍රකාශනවලින් රැස්වීම්වලට ලෑස්ති වෙන්න හුඟක් අය ආසයි
ඒ අද්දැකීම්වලින් පේනවා සමහරුන්ට මුද්‍රණය කරපු ප්‍රකාශන නැතුවම බැහැ කියලා. තවත් අය පොත් පත්වලින් කියවන්න තමයි වැඩියෙන් කැමති. අපේ සංවිධානයෙන් මේ දෙගොල්ලන්ටම උදව් කරන්නේ කොහොමද?
ඉල්ලුමට සැපයුම
මේ වෙද්දී අපේ මුද්‍රණ වැඩකටයුතු ශාඛා කාර්යාල නමයක සිද්ධ වෙනවා. 2025 සේවා වසරේදී අපි බයිබල් මිලියන 3කට වැඩිය මුද්‍රණය කළා. පොත් මිලියන 18කට වැඩියෙනුත් පත්‍රිකා සහ ආරාධනා පත්‍රිකා මිලියන 941කට වැඩියෙනුත් අපි මුද්‍රණය කළා. එහෙම බලද්දී ඒ සේවා වසරේදී විතරක් අපි ප්‍රකාශන බිලියන 1.5කට වැඩියෙන් මුද්‍රණය කරලා තියෙනවා. ඒවාට ගිය වියදම ඩොලර් මිලියන 35කටත්a වැඩියි. ඒ කියන්නේ රුපියල් බිලියන 11කට වැඩියි. ඊට අමතරව, පහුගිය අවුරුදු තුන ඇතුළත මුද්‍රණ යන්ත්‍ර අලුත් කරන්න අපි ඩොලර් මිලියන 10ක් විතර ඒ කියන්නේ රුපියල් බිලියන තුනකට වැඩිය වියදම් කරලා තියෙනවා.
දැන් අපි මුද්‍රණය කරන්නේ අපේ සහෝදර සහෝදරියන්ට අවශ්‍යයම ප්‍රකාශන විතරයි. ඒක නිසා සම්මාදම් අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්න අපිට පුළුවන් වෙලා තියෙනවා. කලිනුත් කිව්වා වගේ සේවේදී අපි සඟරා පොත් පත් දුන්නාට දැන් අපේ ඉලක්කය ඒවා දෙන එකම නෙවෙයි, කතා බහක් පටන්ගන්න එක. ඉතින්, ගිය අවුරුදු දහය පුරා අපි ‘පිබිදෙව්!’ සඟරා මුද්‍රණය කරන ප්‍රමාණය ගොඩක් අඩු කරලා තියෙනවා. කලින් අපි ගණන් බැලුවේ එක ප්‍රචාරකයෙක්ට අවුරුද්දකට සඟරා 86ක් ඕනෙ කියලා. හැබැයි දැන් අපි ඒ ගාණ 11ට බස්සලා තියෙනවා. ඒත් කන්ටැක්ට් කාඩ් පාවිච්චි කරන ප්‍රමාණය නම් දැන් වැඩි වෙලා තියෙනවා. ඒ නිසා 2020ට කලින් අපි ඒවා මුද්‍රණය කළා වගේ තුන් ගුණයක් විතර දැන් මුද්‍රණය කරනවා.
“යෙහෝවා හැම කෙනෙක් ගැනම කොච්චර හිතනවාද!”
සංවිධානය දිගටම මුද්‍රණ වැඩ කරගෙන යන එක ගැන සහෝදරයෝ ගොඩක් සතුටු වෙනවා. බ්‍රසීලයේ ඉන්න සහෝදර රිකාඩෝ මෙහෙම කියනවා. “ඇත්තටම අපේ සංවිධානය ගැන මට හරි ආඩම්බරයි. මොකද ඩිජිටල් ප්‍රකාශන පාවිච්චි කරන අයට විතරක් නෙවෙයි හැමෝටම යෙහෝවාගේ පෝෂණය දෙන්න සහෝදරයෝ මහන්සි වෙනවා. ඒ නිසා සත්‍යය ගැන ‘තිබහෙන් ඉන්න ඕනෙම කෙනෙක්ට’ ජීවන වතුර බොන්න පුළුවන්.” (එළිදරව් 22:17) ටහිටිවල ඉන්න සහෝදර බර්නාඩ් කියන දේ බලන්න. “යෙහෝවා දෙවියන් අපි එක් එක් කෙනා ගැන ගොඩක් හිතනවා. ඔහුගේ සංවිධානය මිනිස්සු ගැන හිතන්නෙත් ඒ විදිහටමයි. එක් එක් කෙනාගේ අවශ්‍යතාවයට ගැලපෙන විදිහට ප්‍රකාශන මුද්‍රණය කරන විදිහෙන් ඒක හොඳටම පේනවා. බාල මහලු, දුප්පත් පොහොසත් හැම කෙනෙක්ටම දේවරාජ්‍යය ගැන ශුභාරංචිය දැනුම් දෙන්න සංවිධානය මහන්සි වෙන එකෙන් යෙහෝවාගේ ආදරය, ප්‍රඥාව, සාධාරණකම තමයි ඔප්පු වෙන්නේ.”
බ්‍රසීලයේ ඉන්න ඇන්ඩ්‍රියා කියනවා ප්‍රකාශන මුද්‍රණය කරන්න එයාගේ සම්මාදම් පාවිච්චි කරන එක ගැන එයාට ගොඩක් සතුටුයි කියලා. එයා මේ වගේ දේකුත් කිව්වා. “ෆෝන්, ටැබ් පාවිච්චි කරන්න බැරි අය වෙනුවෙන් ප්‍රකාශන මුද්‍රණය කරන්න සංවිධානය ලොකු මුදලක් යට කරනවා. ඒ වෙනුවෙන් ලොකු කාලයක් වැය කරනවා විතරක් නෙවෙයි සෑහෙන්න මහන්සියකුත් දරනවා. ඒකෙන් මට දැනෙනවා යෙහෝවා හැම කෙනෙක් ගැනම කොච්චර හිතනවාද කියලා. ඇත්තටම කියනවා නං, මුද්‍රණ වැඩ වෙනුවෙන් විතරක් මගේ සම්මාදම් පාවිච්චි කළත් මං දිගටම සම්මාදම් දෙනවා.”
donate.jw.org හරහා වගේම වෙනත් විදිවලිනුත් ඔයා සම්මාදම් දීලා මේ මුද්‍රණ වැඩවලට අතහිත දෙන එක ගැන අපි ඔයාට ගොඩක් ස්තුති කරනවා!
a මේ ලිපියේ ඩොලර් කියලා කියන්නේ ඇමරිකානු ඩොලර්වලටයි.