NASA Photo
සෝදිසියෙන් ඉන්න!
බලාපොරොත්තු සුන් කරන්නේ නැති ආණ්ඩුවක් මුළු පොළොවටම! - ඒ ගැන බයිබලයේ කියන්නේ මොකක්ද?
ලෝකේ කොහේ බැලුවත් පාලකයන් නිසා මිනිස්සුන්ගේ ජීවිත අවුල් ජංජාලයක් වෙලා. ප්‍රශ්න අඩුයි කියලා පේන්න තියෙන රටවල වුණත් දේශපාලනඥයන් කරන නොහොබිනා දේවල් ගැන ආරංචි වෙනවා. දේශපාලන මතභේද, අරගල, එක කණ්ඩායමකට පැහැදිලි බහුතරයක් නැති ඡන්ද ප්‍රතිඵල වගේ දේවල් ඒ රටවලත් දකින්න තියෙනවා.
කාටවත් පෙරළන්න බැරි, විශ්වාසවන්ත ආණ්ඩුවක් ගැන බයිබලේ කතා කරනවා. ඔයා දැනටමත් ඒ ආණ්ඩුව ගැන අහලා ඇති. ඒ තමයි යේසුස් ක්‍රිස්තුස් ඔහුගේ අනුගාමිකයන්ට යාච්ඤාවෙන් ඉල්ලන්න කියපු ආණ්ඩුව.
“ඔයාලා යාච්ඤා කරන්න ඕනෙ මෙහෙමයි. ‘ස්වර්ගයේ ඉන්න අපේ පියාණෙනි, ඔබේ නම හැමදාටම ශුද්ධව පවතීවා! ඔබේ රාජ්‍යය පැමිණේවා! ඔබේ කැමැත්ත ස්වර්ගයේ ඉටු වෙනවා වගේ පොළොවෙත් ඉටු වේවා!’”—මතෙව් 6:9, 10.
ඒ රාජ්‍යය නැත්නම් ආණ්ඩුව ගැන බයිබලේ කියන්නේ මොනවාද?
කාටවත් හොල්ලන්න බැරි ආණ්ඩුවක්
ඒ ආණ්ඩුව පාලනය කරන්නේ ස්වර්ගයේ ඉඳන්.
යේසුස් ඒ ආණ්ඩුව හැඳින්නුවේ “ස්වර්ග රාජ්‍යය” කියලයි. (මතෙව් 4:17; 5:3, 10, 19, 20) “මගේ රාජ්‍යය මේ ලෝකයට සම්බන්ධ නැහැ” කියලා ඔහු කිව්වේ ඒ නිසයි.—යොහන් 18:36.
ඒ ආණ්ඩුව අනිත් හැම ආණ්ඩුවක්ම අයින් කරලා දානවා.
බයිබලේ මෙහෙම කියනවා. “ඒ රාජ්‍යය මේ හැම රාජ්‍යයක්ම පොඩි කරලා නැති කරලාම දානවා. සදහටම තියෙන්නේ ඒ රාජ්‍යය විතරයි.”—දානියෙල් 2:44.
ඒ ආණ්ඩුවේ රජ යේසුස් ක්‍රිස්තුස් නිසා ඒක විනාශ කරන්න කාටවත් බැහැ.
බයිබලේ මෙහෙම කියනවා. “ඔහුගේ පාලනය කවදාවත් නැති වෙන්නේ නැති හැමදාටම තියෙන පාලනයක්. ඔහුගේ රාජ්‍යය කවදාවත් විනාශ වෙන්නේ නැහැ.”—දානියෙල් 7:13, 14.
ඒ ආණ්ඩුවෙන් මුළු ලෝකෙටම සාමය, සුරක්ෂිතභාවය ගේනවා.
බයිබලේ මෙහෙම කියනවා. “ඔවුන් එක් එක් කෙනා තම තමන්ගේ මිදිවැල යටත් අත්තික්කා ගස යටත් සුවෙන් කල් ගෙවයි. කවුරුත් ඔවුන්ව බයගන්වන්නේ නැහැ.”—මීකා 4:4.
ඒ ආණ්ඩුව ගැන තව දැනගන්න
පොළොවේ ඉද්දී යේසුස් වැඩියෙන්ම කළේ ‘රාජ්‍යය ගැන ශුභාරංචිය දේශනා කරන’ එකයි. (මතෙව් 9:35) ඉස්සරහට මෙහෙම වෙනවා කියලා ඔහු කිව්වා.
“රාජ්‍යය ගැන ශුභාරංචිය සියලු ජාතීන්ට සාක්ෂියක් විදිහට පොළොව පුරාම මිනිස්සු ජීවත් වෙන හැම තැනකම දේශනා කරයි. ඊටපස්සේ අවසානය එයි.”—මතෙව් 24:14.
අද රටවල් 240කට වඩා වැඩි ගාණක ඒ ශුභාරංචිය ගැන මිනිස්සුන්ට දැනුම් දෙනවා. ඒ ආණ්ඩුව ගැනයි, ඒකෙන් ඔයාට සහනයක් ලබාගන්න පුළුවන් විදිහ ගැනයි තව හොයලා බලන්න ඔයා කැමතිද?
එහෙනම් මේ වීඩියෝ එක බලන්න ‘දේවරාජ්‍යය කියන්නේ මොකක්ද?’