න්‍යෂ්ටික යුද්ධ ගැන බයිබලේ කියන්නේ මොනවාද?
ලෝක බලවතුන් න්‍යෂ්ටික ආයුධ තව තව නිෂ්පාදනය කරන නිසා, නඩත්තු කරකර ඒවා ළඟ තියාගෙන ඉන්න නිසා න්‍යෂ්ටික යුද්ධයක් ඇති වෙන අවදානමක් තියෙනවා. න්‍යෂ්ටික ආයුධ ගාණ වැඩි වෙන තරමට න්‍යෂ්ටික යුද්ධයක් ඇති වෙයිද කියලා මිනිස්සුන්ගේ හිතේ තියෙන බයත් වැඩි වෙනවා. හුඟක් අය හිතනවා එක රටක පුපුරන එක න්‍යෂ්ටික බෝම්බයක් මුළු ලෝකෙම අවුළන ලොකු යුද්ධයක් පටන්ගන්න හේතුවක් වෙයි කියලා. එක සංවිධානයක කියන විදිහට ඇත්තටම අපි ජීවත් වෙන්නේ “න්‍යෂ්ටික යුද්ධයක් ඇති වෙන්න තියෙන අවදානම වෙන කවදාටත් වඩා වැඩි කාලෙක.”—Bulletin of the Atomic Scientists.
ඇත්තටම න්‍යෂ්ටික යුද්ධයක් ඇති වෙයිද? එහෙම වුණොත් මේ පොළොව ඉතුරු වෙයිද? න්‍යෂ්ටික යුද්ධයක් ඇති වෙයිද කියලා අපේ හිතට බයක් දැනෙනවා නම් ඒකට මූණ දෙන්න පුළුවන් කොහොමද? බයිබලේ ඒ ගැන කියන්නේ මොනවාද?
මේ ලිපියෙන්
න්‍යෂ්ටික යුද්ධයක් ඇති වෙයි කියලා බයිබලේ කියලා තියෙනවාද?
ඒ ගැන බයිබලේ නිශ්චිතවම කියලා නැහැ. හැබැයි න්‍යෂ්ටික යුද්ධයක් ඇති වෙන්න අවදානමක් තියෙන්නේ අද මිනිස්සුන්ට තියෙන ගුණාංග සහ අද ලෝකේ වෙන සිද්ධීන් නිසයි. අන්න ඒ ගුණාංග සහ සිද්ධීන් ගැන නම් බයිබලේ කියලා තියෙනවා.
බයිබලේ කියලා තියෙන දේවලුයි, අද ලෝකේ සිද්ධ වෙන දේවලුයි සන්සන්දනය කරලා බලන්න.
බයිබලේ තියෙන දේ: යේසුස්ගේ ගෝලයෝ ඔහුගෙන් මෙහෙම ඇහුවා. “ඔබ ආයෙත් පැමිණෙන කාලය දැනගන්නත් පවතින සමාජයේ අවසාන කාලය පටන් අරන් කියලා දැනගන්නත් මොකක් හරි ලකුණක් තියෙනවාද?” එතකොට යේසුස් මෙහෙම කිව්වා. “ජාතියක් ජාතියකට විරුද්ධවත් රාජ්‍යයක් රාජ්‍යයකට විරුද්ධවත් සටන් කරයි.”—මතෙව් 24:3, 7.
ලෝක සිදුවීම්: න්‍යෂ්ටික ආයුධ ළඟ තියන් ඉන්න, ඒවා නිෂ්පාදනය කරන්න හැකියාව තියෙන රටවල් නිතර නිතර යුද්ධවලට පැටලෙනවා.
“මෑත කාලේ ඉඳන් ලෝකේ සිද්ධ වෙන දේවල් එන්න එන්න දරුණු වෙනවා. සිද්ධ වෙන ගැටුම් වුණත් එන්න එන්න වැඩියි.”—The Armed Conflict Location & Event Data Project.
බයිබලේ තියෙන දේ: ‘අවසාන කාලයේදී දකුණේ රජ උතුරේ රජත් එක්ක දිගටම ගැටෙනවා.’—දානියෙල් 11:40.
ලෝක සිදුවීම්: බයිබලේ කියන විදිහට එකිනෙකාට විරුද්ධ ලෝක බලවතුන් බලවත්ම කෙනා වෙන්න පොරකනවා. බලවත්ම න්‍යෂ්ටික ආයුධ තියෙන රටවල් ඒ ආයුධවලින් එළිපිට සටන් නොකළාට එයාලා ළඟ තියෙන න්‍යෂ්ටික අවිආයුධ තව තවත් වැඩි දියුණු කරනවා.
“පහුගිය අවුරුදු දහය දිහා බැලුවාම රට රටවල් අතර සිද්ධ වෙන යුද්ධ ගොඩක් වැඩි වෙලා තියෙනවා. ඒ යුද්ධවලදී එක ලෝක බලවතෙක් එක රටකට සහයෝගය දෙද්දී තවත් ලෝක බලවතෙක් ඒ රටේ විරුද්ධ පිලට සහයෝගය දෙනවා.”—The Uppsala Conflict Data Program.
බයිබලේ තියෙන දේ: ‘අන්තිම දවස්වලදී හරිම අනතුරුදායක, ජීවත් වෙන්න අමාරු කාලයක් එනවා. මොකද ඒ කාලේ ජීවත් වෙන්නේ කිසිම දෙයක් ගැන එකඟ වෙන්නේ නැති, බොරු කියලා අනිත් අයට නින්දා කරන, තමන්වම පාලනය කරගන්න බැරි, දරුණු අය.’—2 තිමෝති 3:1-3.
ලෝක සිදුවීම්: අද ඉන්න හුඟක් මිනිස්සු වගේම ලෝක බලවතුන් අතරත් කිසිම එකඟතාවක් නැහැ. එයාලා ප්‍රශ්න සාමකාමීව විසඳගන්න හදනවා වෙනුවට තර්ජනේ කරලා, බලපුළුවන්කාරකම් පෙන්නලා තමයි ඒවා විසඳගන්න හදන්නේ. ඒ නිසා න්‍යෂ්ටික යුද්ධයක් ඇති වෙන්න තියෙන අවදානම වැඩියි.
“එකමුතු වෙලා මේ ප්‍රශ්න විසඳගන්න හැදුවේ නැත්නම් මේ ගැටුම් තව තවත් දරුණු වෙනවා.”—එස්. සාරාන් සහ ජේ. හාමන්, World Economic Forum.
න්‍යෂ්ටික යුද්ධයක් ඇති වෙන්න දෙවියන් ඉඩහරියිද?
බයිබලේ ඒ ගැන කියන්නේ නැහැ. ඒ වෙනුවට අපි ජීවත් වෙන මේ කාලේ අපි “හුඟක් බය හිතෙන දේවල් දකියි,” ගැස්සිලා යන විදිහේ දේවල් වෙයි කියලා බයිබලේ කියනවා. (ලූක් 21:11) දෙවෙනි ලෝක මහ යුද්දේ කාලේදී දාපු පරමාණු බෝම්බ ඒකට එක උදාහරණයක්. බයිබලේ දෙවියන් යුද්ධවලට ඉඩ දීලා තියෙන්නේ ඇයි කියලත් පැහැදිලි කරලා තියෙනවා. ඒ ගැන තව විස්තර දැනගන්න ‘දෙවියන් දුක් වේදනාවලට ඉඩහරින්නේ ඇයි?’ කියන වීඩියෝ එක බලන්න.
මේ පොළොව ඉතුරු වෙයිද?
ඔව්. මිනිස්සු න්‍යෂ්ටික අවිආයුධ ආයෙත් පාවිච්චි කළත් දෙවියන් මුළු පොළොවම විනාශ වෙලා යන්න කවදාවත් ඉඩහරින්නේ නැහැ. බයිබලේ කියන විදිහට මේ පොළොව ආරක්ෂා වෙනවා විතරක් නෙවෙයි, ඒකේ මිනිස්සුන්ට හැමදාටම ජීවත් වෙන්නත් අවස්ථාව ලැබෙනවා.
සමහරු හිතනවා න්‍යෂ්ටික යුද්ධ ඇති වෙලා, හැම දෙයක්ම විනාශ වෙලා ටිකදෙනෙක් විතරක් මේ පොළොවේ ඉතුරු වෙයි කියලා. එයාලටත් ගත කරන්න වෙන්නේ නිසරු, දූෂණය වුණ වටපිටාවක හරිම අමාරු ජීවිතයක් කියලයි එයාලා කියන්නේ. හැබැයි බයිබලේ කියනවා යුද්ධ නිසා මේ පොළොවට වුණ හැම හානියක්ම දෙවියන් සම්පූර්ණයෙන්ම හරිගස්සනවා කියලා.
දෙවියන්ට ඕනෙ ලස්සන පොළොවක අපි සතුටින් ජිවත් වෙනවා දකින්න
අපේ නිර්මාතෘ පොළොව හදලා තියෙන්නේ හානියක් වුණත් ආයෙත් ඒකට තිබ්බ තත්වෙටම එන්න පුළුවන් හැකියාව ඇතුව. දෙවියන් ඔහුගේ බලය පාවිච්චි කරලා පොළොවට සිද්ධ වෙලා තියෙන හැම හානියක්ම හරිගස්සනවා. ඒ නිසා මේ පොළොව සදහටම මිනිස් වර්ගයාගේ ලස්සන නිවහන වෙනවා.—ගීතාවලිය 37:11, 29; එළිදරව් 21:5.
න්‍යෂ්ටික යුද්ධයක් ඇති වෙයිද කියන බයට මූණ දෙන්න පුළුවන් කොහොමද?
න්‍යෂ්ටික යුද්ධයක් එයිද, ඒක නිසා මොන මොන දේවල් වෙයිද කියලා හිතලා සමහරු බය වෙනවා. හැබැයි බයිබලේ දීලා තියෙන පොරොන්දු සහ මඟ පෙන්වීම් උදව් වෙනවා ඒ බය පරාද කරන්න. ඒත් ඒ කොහොමද?
මේ පොළොව ගැනයි, ඒකේ ජීවත් වෙන මිනිස්සු ගැනයි ලස්සන බලාපොරොත්තුවක් බයිබලේ සඳහන් වෙලා තියෙනවා. ඒ බලාපොරොත්තුව අපේ “ජීවිතේට නැංගුරමක් වගේ” වෙලා අපිට දැනෙන බය අඩු කරගන්න උදව් කරනවා. (හෙබ්‍රෙව් 6:19) ඒ වගේම අපිට කරන්න පුළුවන් තව දෙයක් තමයි ඉස්සරහට වෙන්නේ මොනවාද කියලා හිතහිත කනස්සලු වෙන්නේ නැතුව අද දවසේ ප්‍රශ්න ගැන විතරක් හිතන එක. මොකද යේසුත් කිව්වා “හැම දවසකම කරදර තියෙනවා කියලා මතක තියාගන්න” කියලා.—මතෙව් 6:34.
අපි හැමෝම අපේ මානසික සෞඛ්‍යය ගැන සැලකිලිමත් වෙන එක වැදගත්. ඒ නිසා කනස්සල්ල වැඩි කරන දේවල් බලන එක, කියවන එක, ඒවාට ඇහුම්කන් දෙන එක අපි පුළුවන් තරම් අඩු කරනවා. උදාහරණෙකට න්‍යෂ්ටික අවිආයුධ ගැන තියෙන සාකච්ඡාවලට, ඒ ගැන මිනිස්සු දරන මතවලට කන් දෙන එක අපි අඩු කරනවා. ඒකෙන් අදහස් වෙන්නේ නැහැ අපි රටේ ලෝකේ සිද්ධ වෙන දේවල් ගැන කිසිම දෙයක් හොයන්නේ බලන්නේ නැතුව ඉන්නවා කියලා. අපි එහෙම කරන්නේ ඒ වගේ දේවල්වලින් අපේ මනස බර කරගන්නේ නැතුව ඉන්නයි. මොකද ඒ දේවල් අපිට පාලනය කරන්නත් බැහැ, සමහරවිට ඒවා කවදාවත් වෙන එකකුත් නැහැ.
නරක ආරංචිවලට කන් දෙන එක පොඩ්ඩක් නවත්තලා ජීවිතේ හොඳ දේවල් ගැන හිතන්න.
ලස්සන අනාගතයක් ගැන බලාපොරොත්තුවක් බයිබලේ තියෙනවා
දෙවියන්ගේ පොරොන්දු ගැන ඉගෙනගද්දී ඔයාගේ ජීවිතේට බලාපොරොත්තුවක්, සතුටක්, සමාදානයක් ලැබෙනවා.
බයිබලේ කතා කරන අර්මගෙදොන් යුද්ධය න්‍යෂ්ටික යුද්ධයක් වෙයිද?
සමහරු බයිබලේ කතා කරන අර්මගෙදොන් යුද්ධය මුළු ලෝකෙටම බලපාන න්‍යෂ්ටික යුද්ධයක් වෙයි කියලා හිතනවා. එයාලා එහෙම හිතනවා ඇත්තේ න්‍යෂ්ටික යුද්දෙකින් කොච්චර ලොකු විනාශයක් වෙනවාද කියලා දන්න නිසයි.
බයිබලේ “අර්මගෙදොන්” කියන වචනය පාවිච්චි කරලා තියෙන්නේ “පොළොව පුරාම ඉන්න රජවරුන්” එහෙම නැත්නම් මිනිස් ආණ්ඩු සහ දෙවියන් අතර වෙන යුද්ධයක් විස්තර කරන්න.a (එළිදරව් 16:14, 16) න්‍යෂ්ටික බෝම්බයක් පුපුරද්දී වගේ අර්මගෙදොන්වලදී එකපාරටම මේ පොළොවයි, මිනිස්සුයි විනාශ වෙලා යන්නේ නැහැ. ඒ වෙනුවට අර්මගෙදොන්වලදී දෙවියන් විනාශ කරන්නේ දුෂ්ට මිනිස්සුන්ව විතරයි. ඊටපස්සේ මේ පොළොවට සාමය, සුරක්ෂිතභාවය උදා වෙනවා.—ගීතාවලිය 37:9, 10; යෙසායා 32:17, 18; මතෙව් 6:10.
යුද්ධවලට බයිබලේ තියෙන විසඳුම මොකක්ද?
යෙහෝවාb දෙවියන් තමන්ගේ බලය පාවිච්චි කරලා ජාතීන් අතරේ වෙන යුද්ධ නවත්තනවා. එයාලාගේ අවිආයුධ විනාශ කරලා දානවා. ඔහු ඒක කරන්නේ ස්වර්ගයේ ඔහු පිහිටුවලා තියෙන ඔහුගේ ආණ්ඩුව මාර්ගයෙන්. ඒ ආණ්ඩුව මේ මුළු පොළොවම පාලනය කරන්න යනවා.—දානියෙල් 2:44.
දෙවියන්ගේ ආණ්ඩුවෙන් මිනිස්සුන්ට උගන්නනවා සාමයෙන්, එකමුතුව ජීවත් වෙන්නේ කොහොමද කියලා. එදාට මේ මුළු පොළොවම පාලනය කරන්නේ එක ආණ්ඩුවකින් නිසා ආණ්ඩු අතර ඇති වෙන මතභේද එදාට නැහැ. මිනිස්සු එකිනෙකාට විරුද්ධව සටන් කරන්නේ කොහොමද කියලවත් ඉගෙනගන්නේ නැහැ. (මීකා 4:1-3) එදාට “ඔවුන් එක් එක් කෙනා තම තමන්ගේ මිදිවැල යටත් අත්තික්කා ගස යටත් සුවෙන් කල් ගෙවයි. කවුරුත් ඔවුන්ව බයගන්වන්නේ නැහැ.”—මීකා 4:4.
a “හර්–මගෙදොන් යුද්ධය කියන්නේ මොකක්ද?” කියන ලිපිය බලන්න.
b යෙහෝවා කියන්නේ සැබෑ දෙවියන්ගේ නමයි. (ගීතාවලිය 83:18) “යෙහෝවා කියන්නේ කවුද?” කියන ලිපිය බලන්න.