ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ijwyp 115 ලිපිය
  • ආදරේ කරන කෙනෙක් මැරුණොත් . . .

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ආදරේ කරන කෙනෙක් මැරුණොත් . . .
  • යොවුන් සිතේ ගැටලු
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • මං ඕනෑවට වඩා දුක් වෙනවාද?
  • මේ දුක දරාගන්නේ කොහොමද?
  • මම දුක දරාගන්නේ කොහොමද?
    ඔබ ආදරය කළ කෙනෙක් මිය ගිය විට
  • දුක දරාගන්නේ කෙසේද?
    2011 පිබිදෙව්!
  • දුක දරාගන්න ඔයාට කරන්න පුළුවන් මොනවාද?
    2018 පිබිදෙව්!
  • මම ඕනෑවට වඩා දුක් වෙනවාද?
    ඔබ ආදරය කළ කෙනෙක් මිය ගිය විට
තව තොරතුරු
යොවුන් සිතේ ගැටලු
ijwyp 115 ලිපිය
යෞවනියක් එයා සීයා එක්ක ඉන්න ෆොටෝ එකක් බලබල ඇඳට වෙලා අඬනවා.

යොවුන් සිතේ ගැටලු

ආදරේ කරන කෙනෙක් මැරුණොත් . . .

ඔයාගේ කිට්ටු යාළුවෙක්, පවුලේ කෙනෙක් ළඟකදී නැති වෙලා තියෙනවාද? එහෙමනම් ඒ දුක දරාගන්න මේ ලිපිය ඔයාට උදව් වෙයි.

මේ ලිපියෙන්

  • මං ඕනෑවට වඩා දුක් වෙනවාද?

  • මේ දුක දරාගන්නේ කොහොමද?

  • ඔයාගේ වයසේ ඉන්න අය කියන දේ

මං ඕනෑවට වඩා දුක් වෙනවාද?

ආදරේ කරන කෙනෙක් මැරුණ දුක දරාගන්න හුඟක් අයට ලේසි නැහැ. ඒ දුක තුනී කරගන්න සෑහෙන කාලයක් යනවා.

“මගේ සීයා නැති වෙලා දැන් අවුරුදු දෙකක් වෙනවා. මට එයාව මතක් වෙන්නේ නැති දවසක් නෑ. අදටත් එයා ගැන කතා කරන හැම වෙලාවකම මගේ ඇස්වලට කඳුළු එනවා.”—ඔලීවියා.

“ජීවිතේ ඉලක්කවලට යන්න මගේ ආච්චි අම්මා මට ගොඩක් උදව් කරලා තියෙනවා. ඒත් මං ඒ ඉලක්කවලට ගියාම ඒ සතුට බෙදාගන්න අද එයා මගේ ළඟ නෑ. මං ජීවිතේ ඉස්සරහට අඩියක් තියන වාරයක් වාරයක් ගාණේ ‘අනේ, ආච්චි අම්මා මගේ ළඟ හිටියා නං’ කියලා මට හිතෙනවා.”—ඇලිසන්.

ආදරේ කරන කෙනෙක් මැරුණාම දැනෙන දුක වචනවලින් විස්තර කරන්න බැරි තරම්. ඒ වගේ වෙලාවට හිතේ ඇති වෙන ගොඩක් සිතුවිලි එක්ක හැප්පෙන්න අපිට සිද්ධ වෙනවා.

“මාමා නැති වුණාම මගේ හිතේ ඇති වුණ කම්පනය සෑහෙන කාලයක් යන කල් තිබ්බා. ඒක තමයි මට ගොඩක් කිට්ටු කෙනෙක් නැති වුණ පළවෙනි වතාව. මට දැනුණේ කෝච්චියක් මාව යට කරගෙන ගියා වගේ.”—නාඩීන්.

“සීයා නැති වුණ වෙලාවේ මට එයාත් එක්ක පුදුම කේන්තියක් ආවේ. වෙලාවට බෙහෙත් ටික බීලා පරෙස්සම් වෙන්න කියලා අපි එයාට කොච්චර නං කිව්වාද! ඒත් එයා ඒක කනකටවත් ගත්තේ නෑ.”—කාලොස්.

“සීයා නැති වෙද්දී පවුලේ හැමෝම එයා ළඟ හිටියා. මායි, අක්කායි විතරයි හිටියේ නැත්තේ. ඒ ගැන මතක් වෙන හැම වතාවකදීම මගේ හිත වධ දෙනවා. අන්තිම මොහොතේදීවත් මට එයා ළඟ ඉන්න බැරි වුණානේ.”—ඒඩ්‍රියානා.

“අපි හොඳට දන්න අඳුරන කපල් එකක් කාර් ඇක්සිඩන්ට් එකකින් නැති වුණා. එදායින් පස්සේ අපේ ගෙදර කෙනෙක් එළියට බහිද්දීත් මට පුදුම බයක් ඇති වුණේ. එයාටත් මොනවා හරි වෙයිද කියලා හිතුණා.”—ජැරඩ්.

“මගේ ආච්චි අම්මා නැති වුණේ මීට අවුරුදු තුනකට කලින්. එයා ගැන මතක් වෙද්දී අදටත් මං දුක් වෙනවා. එයා ජීවතුන් අතර හිටපු කාලේ මීට වඩා එයාත් එක්ක තව ඉන්න තිබුණානේ කියලා මට හිතෙනවා.”—ජුලියානා.

හිතට සමීප කෙනෙක් නැති වුණාම කම්පනයක්, කේන්තියක්, බයක්, දුකක් දැනෙන එක වගේම හිත වධ දෙන එක සාමාන්‍යයි. ඔයාටත් එහෙම දැනෙනවා නම් කලබල වෙන්න එපා. කාලයත් එක්කම ඒවා ඇරිලා යයි. හැබැයි දුක දරාගන්න ඔයාගේ පැත්තෙනුත් කරන්න පුළුවන් දේවල් තියෙනවාද?

මේ දුක දරාගන්නේ කොහොමද?

යාළුවෙක්ට කියන්න. බයිබලේ කියනවා හොඳ යාළුවෙක් “විපතකදී උපකාර කරන්න ඉපදුණු සහෝදරයෙක්” කියලා. (හිතෝපදේශ 17:17) ඒ නිසා ඔයාගේ දුක හිතේ තද කරගෙන ඉන්නේ නැතුව ඒක යාළුවෙක් එක්ක බෙදාගන්න. එතකොට ඒකෙන් ගොඩ එන්න එයා ඔයාට උදව් කරයි.

“දුකක් දැනෙන එක සාමාන්‍යයි. සමහරවිට ඔයාට හිතෙයි ඒක තනියම දරාගන්න පුළුවන් කියලා. හැබැයි දිගටම ඒක කරන්න ගියොත් නම් ඔයා ඒ දුකේම ගිලිලා යයි. ඒ නිසයි හිතේ තියෙන දේ තව කෙනෙක්ට කියන එක වටින්නේ.”—ඉවෙට්.

සොඳුරු මතකයන් අවදි කරන්න. බයිබලේ කියනවා “යහපත් මිනිසෙක් තමාගේ සිතේ ගබඩා කර තිබෙන යහපත් දේ පිටතට ගෙන එයි” කියලා. (ලූක් 6:45) ඉතින් ඔයාටත් පුළුවන් ඔයාගෙන් වෙන් වුණ කෙනා ගැන තියෙන සොඳුරු මතකයන්, ෆොටෝස් එකතු කරලා පොතක් හදන්න. එයා ගැන ඒකේ ලියන්න.

“මගේ යාළුවා මැරෙන්න කලින් මට කියපු දේවල් පොතක ලියන්න මං තීරණය කළා. එතකොට එයා කියපු කරපු දේවල් අමතක වෙලා යන්නේ නෑනේ. එයා නැති පාළුව මකාගන්න ඒක මට ගොඩක් උදව් වුණා.”—ජෙෆ්රි.

යෞවනියක් පොතක ලියනවා.

සෞඛ්‍යය ගැන සැලකිලිමත් වෙන්න. එළියට පහළට බැහැලා ක්‍රීඩාවක් කරන එකෙන් අපිට ප්‍රයෝජන ලැබෙනවා. (1 තිමෝති 4:8) ඒ නිසා ව්‍යායාම් කරන්න, හොඳ විවේකයක් ගන්න. ඒ වගේම පෝෂ්‍යදායී කෑම ගන්න අමතක කරන්නත් එපා.

“ආදරේ කරන කෙනෙක් මැරුණාම සමහර වෙලාවට මනස අවුල් වෙනවා. වෙලාවට කෑමක් ගන්නේ නෑ, හරිහමන් නින්දක් නෑ. ඒත් එහෙම කරන්න එපා. ඔයාගේ සෞඛ්‍යය ගැන සැලකිලිමත් වෙන්න.”—මරියා.

යෞවනයෙක් ව්‍යායාම් කරනවා.

අනිත් අයට උදව් කරන්න. බයිබලේ කියනවා “ලැබීමට වඩා දීමෙන් වැඩි සන්තෝෂයක් ලැබෙනවා” කියලා.—ක්‍රියා 20:35.

“තව කෙනෙක්ට උදව් කරන්න. විශේෂයෙන්ම ආදරේ කරපු කෙනෙක් මැරුණ නිසා වේදනාවෙන් ඉන්න කෙනෙක්ට. ඒක උදව් වෙයි ඔයා තනි වෙලා නෑ, ඔයා වගේම වේදනාව උහුලන් ඉන්න තවත් අය ඉන්නවා කියන එක තේරුම්ගන්න.”—කාලොස්.

යෞවනියක් වැඩිහිටි කාන්තාවකට ටැබ් එක පාවිච්චි කරන විදිහ කියලා දෙනවා.

හිතේ තියෙන හැම දේම යාච්ඤාවෙන් කියන්න. බයිබලේ කියනවා යෙහෝවා දෙවියන් “යාච්ඤා අසන තැනැත්තාණන්” කියලා. (ගීතාවලිය 65:2) ඒ වගේම “බිඳුණු සිත් ඇත්තන්ට ඔහු සහනය දෙන්නේය. ඔවුන්ගේ වේදනාකාරී තුවාල ඔහු සුව කරන්නේය” කියලත් බයිබලේ කියනවා.—ගීතාවලිය 147:3.

“ඔයාගේ දුක දරාගන්න ශක්තිය ඉල්ලලා, දිරිගැන්වීම් ඉල්ලලා දෙවියන්ට යාච්ඤා කරන්න. සමහර දවස් ටිකක් අමාරු වෙයි. හැබැයි ඒ මොන දවසක වුණත් යෙහෝවා ඔයාගේ ළඟින්ම ඉන්නවා.”—ජැනට්.

සාධාරණ වෙන්න. හැම කෙනෙක්ම දුක දරාගන්නේ එකම විදිහට නෙවෙයි. බයිබලේ කියනවා යාකොබ් එයාගේ පුතා මැරුණා කියලා හිතලා ගොඩක් දුක් වුණා කියලා. කොච්චරද කියනවා නම් කවුරු කොහොම එයාව සනසන්න හැදුවත් එයා දිගින් දිගටම ‘ගොඩක් ඇඬුවා.’ (උත්පත්ති 37:35) ඉතින් ඔයා හිතපු තරම් ඉක්මනට දුක තුනී වෙලා ගියේ නැත්නම් කලකිරෙන්න එපා.

“මගේ ආච්චි අම්මාගේ අක්කා මට ගොඩක් ආදරෙයි. එයා නැති වෙලා දැන් අවුරුදු 15ක් වෙනවා. ඒත් අදටත් සමහර තැන්, සමහර දේවල් දකිද්දී මට එයාව මතක් වෙනවා.”—ටේලර්.

හිතන්න ඔයාගේ අතක් හරි, කකුලක් හරි කැඩුණා කියලා. ඒක හරිම වේදනාකාරීයි. ඒ වගේම ඒක හොඳ වෙන්නත් කාලයක් යයි. හැබැයි ඩොක්ට ඔයාට කියනවා ඉක්මනට සනීප වෙන්න, වේදනාව දරාගන්න කරන්න හොඳ මොනවාද, හොඳ නැත්තේ මොනවාද කියලා.

කකුල කැඩිලා ඉන්න යෞවනයෙක් එළියේ බයිසිකල් පදින අය දිහා ජනේලෙන් බලන් ඉන්නවා.

ආදරේ කරන කෙනෙක් මැරෙන එකත් හරිම වේදනාකාරීයි. ඔයාගේ හිතේ ඇති වෙන ඒ තුවාලේ සනීප වෙන්නත් කාලයක් යනවා. ඒ නිසා දිගටම ඉවසන්න. මේ ලිපියේ දීලා තියෙන යෝජනා අදාළ කරගන්න. මොකද ඒ වේදනාව දරාගන්න ඒවා ඔයාට උදව් වෙයි.

ඔයාගේ වයසේ ඉන්න අය කියන දේ

ඉසබෙල්.

“කාලෙත් එක්ක ඔයාගේ වේදනාව අඩු වෙනවා කියන්නේ ඔයාට එයාව අමතක වෙලා නැත්නම් ඔයා කොහොමහරි ඔයාගේ හිතින් එයාව අයින් කරලා දාලා කියන එක නෙවෙයි. ඉතින් කාලෙන් කාලෙට එයාගේ සොඳුරු මතකයන් අවදි කරන්න. ඔයාගේ හිතේ එයාට තියෙන තැන, ආදරේ නැති වෙන්න දෙන්න එපා.”—ඉසබෙල්.

ජෝඩන්.

“ඔයාගේ හිතට දැනෙන වේදනාව ටිකෙන් ටික අඩු වෙනවා කියන්නේ ඔයාගේ හිතේ එයා ගැන තියෙන ආදරේ, ගෞරවේ අඩු වෙනවා කියන එක නෙවෙයි. ඒ වෙනුවට ඒකෙන් පේනවා ඔයා දුක දරාගන්න ඉගෙනගෙන තියෙනවා කියලා. ඒක වරදක් නෙවෙයි. මොකද එයා ජීවතුන් අතර හිටියා නම් ඔයා හැම දවසකම අඬඅඬ ඉන්නවා දකින්න එයාත් කීයටවත් කැමති වෙන්නේ නෑ.”—ජෝඩන්.

සාරාංශය: ආදරේ කරන කෙනෙක් මැරුණොත් ඒ දුක දරාගන්නේ කොහොමද?

  • යාළුවෙක්ට කියන්න. ඔයාගේ දුක හිතේ තද කරගෙන ඉන්නේ නැතුව ඒක යාළුවෙක් එක්ක බෙදාගන්න. එතකොට ඒකෙන් ගොඩ එන්න එයා ඔයාට උදව් කරයි.

  • සොඳුරු මතකයන් අවදි කරන්න. ඔයාගෙන් වෙන් වුණ කෙනා ගැන තියෙන සොඳුරු මතකයන් මතක් කරගන්න. ඒවා පොතක ලියන්න.

  • සෞඛ්‍යය ගැන සැලකිලිමත් වෙන්න. ව්‍යායාම් කරන්න. හොඳ විවේකයක් ගන්න. ඒ වගේම පෝෂ්‍යදායී කෑම ගන්න අමතක කරන්නත් එපා.

  • අනිත් අයට උදව් කරන්න. අනිත් අය වෙනුවෙන් දේවල් කරන්න. විශේෂයෙන්ම ආදරේ කරපු කෙනෙක් මැරුණ නිසා වේදනාවෙන් ඉන්න අයට උදව් කරන්න.

  • හිතේ තියෙන හැම දේම යාච්ඤාවෙන් කියන්න. ඔයාගේ දුක දරාගන්න ශක්තිය, දිරිගැන්වීම් ඉල්ලලා යෙහෝවාට යාච්ඤා කරන්න.

  • සාධාරණ වෙන්න. හැම කෙනෙක්ම දුක දරාගන්නේ එකම විදිහට නෙවෙයි. ඒ නිසා ඔයාගෙන් ඕනෑවට වඩා දේවල් බලාපොරොත්තු වෙන්න එපා.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න