ජීවිත වෙනස් වුණේ බයිබලේ නිසයි
මේ අපි බලන්න යන්නේ වියට්නාමයේ ජීවත් වෙන පුරුෂයන් දෙන්නෙක්ගේ ජීවිත කතා. එයාලා හිතාගන්න බැරි විදිහට එයාලාගේ ජීවිත වෙනස් කරගත්තා. සෑහෙන කාලයක් යන කල්ම එයාලා හිතුවා ජීවිතේට නියම සතුට, සුරක්ෂිතභාවය ලැබෙන්නේ සල්ලි තියෙනවා නම් විතරයි කියලා. ඒ නිසා එයාලාගෙයි, අනිත් අයගෙයි ජීවිත පරදුවට තියලා එයාලා සල්ලි පස්සේ හඹා ගියා. හැබැයි ජීවිතයේ එක මොහොතකදී එයාලා හිතන විදිහ සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. එයාලා තේරුම්ගත්තා බයිබලේ කියන විදිහට ජීවත් වුණොත් විතරයි ජීවිතේට නියම සතුට, සාමය ලැබෙන්නේ කියලා. එයාලාගේ අද්දැකීම් දිහා බලද්දී පේනවා බයිබලේ කියන විදිහට ජීවත් වෙනවා නම් ඕනම කෙනෙක්ට අවංක, බලධාරීන්ට කීකරු වෙන, සමාජයට වැඩදායී පුද්ගලයන් වෙන්න පුළුවන් කියලා.
නියම සතුට හොයාගත්තා
ලෑන් වෑන් උවාන් කියන්නේ පුංචි කාලේ ඉඳලාම ගොඩක් දුක් විඳපු කෙනෙක්. එයා දේශපාලනය නිසා, යුද්ධ නිසා, දුප්පත්කම නිසා සෑහෙන්න බැට කෑවා. කාලයත් එක්කම එයා හිතන්න පටන්ගත්තා ඇත්තටම සතුටින් ඉන්න නම් ගොඩක් සල්ලි තියෙන්න ඕනෙ කියලා. ඉතින් 1988දී එයා රස්සාවක් හොයාගෙන ජර්මනියට ගියා. එහෙදී රැයක් දවාලක් නොබලා එයා සෑහෙන්න මහන්සි වුණා.
අවුරුදු 10කට පස්සේ ලෑන්ට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ව හම්බ වුණා. එයාලා ලෑන්ට හිතෝපදේශ පොත පෙන්නුවා. ඒකේ තියෙන්නේ ප්‍රඥාවන්ත කියමන්. ලෑන්ට ඒකට හිත ගියා. මොකද එයා ඒ වගේ කියමන් එකතු කරපු කෙනෙක්. බයිබලේ තියෙන දේවල් කොච්චර ප්‍රයෝජනවත්ද කියලා දැක්කාම එයාටත් හිතුණා බයිබලේ ගැන ඉගෙනගන්න. ඉතින් එයා අපේ සහෝදරියකගෙන් ඇහුවා එයාට බයිබලයක් සල්ලි දීලා ගන්න පුළුවන්ද කියලා. එතකොට අපේ සහෝදරි කිව්වා ‘ඔයා මායි, මගේ මහත්තයයි එක්ක බයිබලේ ඉගෙනගන්න කැමති නම් අපි නොමිලේම ඔයාට බයිබලයක් දෙන්නම්’ කියලා. ඉතින් ඊළඟට ඒ සහෝදරි ආවේ බයිබලයකුයි, ‘සදාකාල ජීවනයට මඟ පෙන්වන දැනුම’ කියන පොතකුයි අරගෙන.
ලෑන් ඔහොම බයිබලේ ඉගෙනගෙන යද්දී එයාට තේරුණා එයා කරකර හිටපු බිස්නස් එක නවත්තන්න වෙනවා කියලා. මොකද එයා කළේ ආයුධ විකුණපු එක. ඉතින් වැඩි දවසක් යන්න කලින් එයා ඒක නැවැත්තුවා. ඊටපස්සේ එයාගේ ආදායම 80%කින් විතර අඩු වුණා. ඉතින් එයා ඒ ගැන දෙවියන්ට කියලා ඔහුගෙන් උදව් ඉල්ලුවා. පස්සේ එයා වෙන බිස්නස් එකක් පටන්ගත්තා. කාලයත් එක්කම ආයෙත් එයාට හොඳ ආදායමක් ලැබුණා.
ඊටපස්සේ ලෑන් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් එක්ක එකතු වෙලා අනිත් අයට බයිබලේ ගැන කියලා දෙන්න ගොඩක් මහන්සි වුණා. එයාට ඕනෙ වුණේ එයා ඉගෙනගත්ත දේවල් අනිත් අයටත් කියන්න. හැබැයි පොඩි ප්‍රශ්නයක් තිබ්බා. එයාට ජර්මන් භාෂාව එච්චර බෑ. ඒ නිසා එයා වියට්නාමයට ගිහිල්ලා එයාගෙම මව් භාෂාවෙන් අනිත් අයට බයිබලේ තියෙන දේවල් ඉගැන්නුවා.
බයිබලේ නිසා ලෑන් හිතපු විදිහ, ජීවත් වුණ විදිහ හිතාගන්න බැරි තරමට වෙනස් වුණා. දැන් එයායි, එයාගේ බිරිඳයි, දරුවොයි හරිම සතුටින් ජීවත් වෙනවා.
ලෑන් සහ එයාගේ බිරිඳ
නියම ජීවිතය හොයාගත්තා
තාං වීට් ෆොං ඉපදුණේ 1976 වියට්නාමයේ නේයි ඇන්වල. එයා හීන මැව්වේ පොහොසතෙක් වෙන්න. ඉතින් වයස 19දී එයාගේ හීන හැබෑ කරගන්න එයා පවුලේ අයව දාලා ගෙදරින් පිටත් වුණා. කොහොමහරි නීති විරෝධී ක්‍රමයකින් එයා ජර්මනියට පැන්නා. එහෙදී එයා මැර කල්ලියකට බැඳුණා. තාංගේ අතේ කොයි වෙලාවෙත් තුවක්කුවක් තිබ්බා. එයා නිදාගත්තෙත් ඒක කොට්ටේ යට තියාගෙන. පස්සේ කාලෙක, එයා කරපු පැහැරගැනීමක් නිසා එයාව අත්අඩංගුවට ගත්තා. අවුරුදු හයකට එයාට හිරදඬුවම් නියම වුණා. හැබැයි අවුරුදු දෙකකින් එයා නිදහස් වුණා.
හිරෙන් නිදහස් වුණාට පස්සෙත් එයාගේ දරුණු ජීවිතේ පොඩ්ඩක්වත් වෙනස් වුණේ නෑ. එයා තවත් මැර කල්ලියකට බැඳුණා. සැරයක් එයාව ආපහු අත්අඩංගුවට ගත්තා. හැබැයි එයාව උසාවි ගෙනියන්න බැරුව ගියා. මොකද එයාට විරුද්ධව සාක්ෂි දෙන්න හැමෝම බය වුණා. එයා ප්‍රසිද්ධ වෙලා හිටියේ නම ගිය අපරාධකාරයෙක් විදිහට. අන්තිමට එයාව ආපහු අත්අඩංගුවට ගත්තා. එයාට අවුරුදු 10ක හිරදඬුවමක් නියම වුණා. හැබැයි හිරේ හිටපු අනිත් අයටයි, හිරගෙදර නිලධාරීන්ටයි තේරුණා තාං කියන්නේ කවදාවත් හැදෙන්නේ නැති හරි දරුණු කෙනෙක් කියලා.
දවසක් හිරේ හිටපු කෙනෙක් තාංට කිව්වා හිරගේ ඇතුළේ තිබ්බ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ රැස්වීමකට එන්න කියලා. තාං මුලින් නම් ඒකට කැමති වුණේ නෑ. හැබැයි පස්සේ එයා ඒකට ගියා. එතනට ගියාම එයාට ලොකු සහනයක් දැනුණා. ඒ රැස්වීමේදී එයාට ‘බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු’ කියන පොත හම්බ වුණා. ඒක යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ පොතක්. ඉතින් එදා රෑම තාං ඒ මුළු පොතම කියෙව්වා. ඒකේ එක පරිච්ඡේදයක මැරිච්ච අය ඉන්න තත්වය ගැන විස්තර කරලා තිබ්බා. ඒකේ බයිබල් පදත් තිබුණා. ඒකේ තිබුණා එයාලා ඉන්නේ තද නින්දක වගේ තත්වයක කියලා. (දේශනාකාරයා 9:5; යොහන් 11:11-14) කලින් තාං හිතාගෙන හිටියේ එයාගේ මැරිච්ච නෑදෑයෝ කොහේ හරි ඉඳන් එයා දිහා බලං ඉන්නවා ඇති කියලා. ඉතින් එයා කල්පනා කරලා තිබුණා ‘මං මෙච්චර නරක දේවල් කරද්දිත් ඇයි එයාලා මාව නැවැත්තුවේ නැත්තේ’ කියලා.
තාං දිගටම යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ රැස්වීම්වලට ගිහින් බයිබලය ගැන ඉගෙනගත්තා. එයා දැනගත්තා දෙවියන් මිනිසුන්ට ගොඩක් ආදරෙයි කියලා. ඉතින් එයාට තේරුණා දෙවියන් එයාටත් ගොඩක් ආදරෙයි කියලා. එයා හරි වැරැද්ද අතර වෙනස අඳුරගන්නත් ඉගෙනගත්තා. ඒ වගේම සල්ලි පස්සේ යන එක, දාමරික වැඩ කරන එක නතර කරන්න එයා ගොඩක් මහන්සි වුණා. හැබැයි එයාට වෙනස් කරගන්න අමාරුම වෙච්ච දේ තමයි ඉක්මනට කේන්ති ගන්න එක. ඒත් කොහොමහරි දෙවියන්ට යාච්ඤා කරලා උදව් ඉල්ලලා ඒ වෙනුවෙන් ගොඩක් මහන්සි වෙලා එයා ඒ අභියෝගයත් ජය ගත්තා. 2009දී හිරගේ ඇතුළේ ඉද්දීම තාං යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් විදිහට බව්තීස්ම වුණා. පස්සේ එයා ආපහු වියට්නාමයට ගියා. තාං මෙහෙම කියනවා. “මායි, මගේ පවුලේ අයයි හරිම සතුටින් ජීවත් වෙනවා. අපි එකට එකතු වෙලා යෙහෝවාට නමස්කාර කරනවා. කලින් කරපු දේවල් මතක් වෙද්දී මට හැම තිස්සේම හිතෙනවා ‘යෙහෝවා නැත්තං අද මං කොහේ ඉඳීද’ කියලා. ඇත්තටම යෙහෝවා තමයි මගේ ජීවිතේ බේරුවේ. ඔහු මට ගොඩක් ආශීර්වාද කරලා තියෙනවා.”
තාං එයාගේ පවුලේ අයත් එක්ක
බයිබලේ නිසා සැබෑ වෙනසක්!
ලෑන්ගෙයි, තාංගෙයි අද්දැකීම් බලද්දී අපිට පේනවා ජීවිත වෙනස් කරන්න බයිබලේට කොච්චර ලොකු බලයක් තියෙනවාද කියලා. ඒ දෙන්නාම මුලදී සල්ලි පස්සේ ගිය අය. ලෑන් මුලදී හිතුවා පොහොසතෙක් වුණොත් තමයි ජීවිතේට නියම සතුට ලැබෙන්නේ කියලා. හැබැයි දැන් එයා එයාගේ පවුලේ අයත් එක්ක එකතු වෙලා දෙවියන්ට නමස්කාර කරලා නියම සතුට ලබනවා. තාං කියන්නේ සල්ලි හම්බ කරන්න නීති විරෝධී දේවල් වුණත් කරපු කෙනෙක්. හැබැයි දැන් එයා අනිත් අයට උදව් කරනවා අවංක, නීතිගරුක පුද්ගලයන් වෙන්න. ජීවිතේට සතුට ළං කරගන්න, හොඳ පුරවැසියන් වෙන්න බයිබලේ තියෙන උපදෙස් එයාලා දෙන්නාට ගොඩක් උදව් වුණා. දැන් එයාලා දෙන්නා ඒවා අනිත් අයටත් කියලා දෙනවා.