දෙවියන් විශ්වය නිර්මාණය කරන්න පටන්ගත්තේ කවදාද?
බයිබලයේ ඒ ගැන කියන දේ
දෙවියන් විශ්වය නිර්මාණය කරන්න පටන්ගත්තේ කවදාද, ඒකට කොච්චර කාලයක් ගත වුණාද කියලා බයිබලයේ කියලා නැහැ. බයිබලයේ කියන්නේ “පටන්ගැන්මේදී දෙවි අහසත් පොළොවත් නිර්මාණය කළේය” කියලයි. (උත්පත්ති 1:1) “පටන්ගැන්මේදී” කියලා පරිවර්තනය කරලා තියෙන යෙදුමෙන් යොමු දැක්වෙන කාල පරිච්ඡේදය ඇරඹුණේ කවදාද කියලා බයිබලයේ හරියටම කියලා නැහැ. ඒත් උත්පත්ති පොතේ සිද්ධීන් වාර්තා කරලා තියෙන අනුපිළිවෙළ දිහා බලද්දී පැහැදිලි වෙනවා ඒ දේ සිද්ධ වුණේ නිර්මාණය සඳහා ගත වුණු “දවස්” හයට ඒ කියන්නේ කාලපරිච්ඡේද හයට කලිනුයි කියලා.
නිර්මාණය සඳහා ගත වුණු දවස් හය පැය 24 දවස්ද?
නැහැ. බයිබලයේ “දවස” කියන වචනය එක් එක් අවස්ථාවට අනුව විවිධ කාල පරිච්ඡේද හඳුන්වන්න යොදාගෙන තියෙනවා. උදාහරණයකට එක අවස්ථාවක නිර්මාණය සඳහා ගත වුණු දවස් හයම හඳුන්වලා තියෙන්නේ එක දවසක් හැටියටයි.—උත්පත්ති 2:4.
නිර්මාණය සඳහා ගත වුණු දවස් හය තුළදී සිද්ධ වුණේ මොනවාද?
මුලදි “හිස්ව, පාළුව” තිබුණු පොළොව දෙවියන් ජීවත් වීමට සුදුසු තැනක් බවට පත් කළා. (උත්පත්ති 1:2) ඊටපස්සේ දෙවියන් පොළොව මත ජීවය නිර්මාණය කළා. නිර්මාණය සඳහා ගත වුණු දවස් හය ඒ කියන්නේ කාල පරිච්ඡේද හය තුළදී සිද්ධ වුණු දේවල් බයිබලයේ වෙන වෙනම විස්තර කරලා තියෙනවා.
1වෙනි දවස: දෙවියන් ආලෝකය පොළොවට පතිත වෙන්න සැලැස්සුවා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට දහවල සහ රාත්‍රිය දැකගන්න පුළුවන් වුණා.—උත්පත්ති 1:3-5.
2වෙනි දවස: දෙවියන් ජලය දෙපැත්තට බෙදී යන්න සලස්වලා ඒ කියන්නේ ජලයෙන් කොටසක් පොළොවෙන් ඉහළට යවලා ඉතුරු කොටස දිගටම පොළොවේ රඳවලා ඒ දෙක අතරේ අවකාශයක් හැදුවා.—උත්පත්ති 1:6-8.
3වෙනි දවස: දෙවියන් වියළි බිම මතු වෙන්න සැලැස්වුවා. ඒ වගේම විවිධ ශාක විශේෂයන් නිර්මාණය කළා.—උත්පත්ති 1:9-13.
4වෙනි දවස: පොළොවේ ඉන්න කෙනෙක්ට පැහැදිලිව දකින්න පුළුවන් වෙන විදිහට ඉර, හඳ, තරු කියන ආලෝක වස්තූන් දෙවියන් අහසේ දිස් වෙන්න සැලැස්වුවා.—උත්පත්ති 1:14-19.
5වෙනි දවස: දෙවියන් ජලයේ ඉන්න ජීවීන්ව සහ පියාසර කරන ජීවීන්ව නිර්මාණය කළා.—උත්පත්ති 1:20-23.
6වෙනි දවස: දෙවියන් පොළොවේ ජීවත් වෙන සතුන්ව සහ මිනිසුන්ව නිර්මාණය කළා.—උත්පත්ති 1:24-31.
හයවෙනි දවස ඉවර වුණාට පස්සේ දෙවියන් නිර්මාණය කරන එක නවත්වලා විවේක ගත්තා.—උත්පත්ති 2:1, 2.
උත්පත්ති පොතේ සඳහන් වාර්තාව විද්‍යාත්මකව නිවැරදිද?
පෘථිවියේ නිර්මාණය ගැන බයිබලයේ තියෙන වාර්තාවේ විද්‍යාත්මක තොරතුරු හුඟක් විස්තර සහිතව ඉදිරිපත් කරලා නැහැ. ඒ වෙනුවට බයිබල් කාලවල ජීවත් වුණු කෙනෙක්ටත් දෙවියන් විවිධ දේවල් නිර්මාණය කරපු අනුපිළිවෙළ ලේසියෙන්ම තේරුම්ගන්න පුළුවන් වෙන විදිහටයි ඒ දේවල් වාර්තා කරලා තියෙන්නේ. නිර්මාණය ගැන බයිබලයේ තියෙන වාර්තාව විද්‍යාවෙන් තහවුරු වෙලා තියෙන තොරතුරු එක්ක කිසිම ගැටීමක් නැහැ. තාරකා භෞතික විද්‍යාඥයෙක් වන රොබට් ජැස්ට්‍රෝ මෙහෙම කියනවා. “හැම පුංචි තොරතුරක්ම සමාන නෑ. හැබැයි ජීවය පටන්ගත්ත විදිහ ගැන බයිබලයේ උත්පත්ති පොතේ තියෙන වාර්තාව සහ තාරකා විද්‍යාවෙන් හොයාගෙන තියෙන තොරතුරු අතර පැහැදිලි සමානකම් තියෙනවා. පටන්ගැන්මේ ඉඳලා මිනිසාව නිර්මාණය කරන එක දක්වා හැම දෙයක්ම යම් නිශ්චිත කාලයකදී ක්ෂණිකව තමයි සිද්ධ වෙන්න පටන් අරන් තියෙන්නේ.”
ඉර, හඳ සහ තාරකා නිර්මාණය කළේ කවදාද?
‘පටන්ගැන්මේදී අහස නිර්මාණය කළා’ කියලා කියද්දී ඒකට ඉර, හඳ, තරු නිර්මාණය කරපු එකත් ඇතුළත් වුණා. (උත්පත්ති 1:1) ඒත් පෘථිවිය ගන වලාකුළුවලින් වැහිලා තිබුණු නිසා ආලෝකය පොළොවට වැටුණේ නැහැ. (උත්පත්ති 1:2) පළවෙනි දවස තුළදී යම් තරමක ආලෝකයක් පොළොව මතට පතිත වුණත් ඒ ආලෝකය එන්නේ මොන ආලෝක වස්තුවෙන්ද කියලා හරියටම දැකගන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. හතරවෙනි දවසේදී ආලෝකය පැහැදිලිව දකින්න පුළුවන් වෙන විදිහට දෙවියන් වායුගෝලය සකස් කළා. ඒ නිසයි බයිබලයේ කියන්නේ “පොළොවට ආලෝකය ලැබෙන පිණිස දෙවි ඒවා අහසෙහි තැබුවේය” කියලා. ඒ කියන්නේ ඒ වෙද්දී පොළොවේ කෙනෙක් හිටියා නම් එයාට පැහැදිලිව දැකගන්න පුළුවන් විදිහට දෙවියන් ආලෝක වස්තු දිස් වෙන්න සැලැස්වුවා කියන එකයි.—උත්පත්ති 1:17.
බයිබලයට අනුව පෘථිවිය කොයි තරම් පැරණිද?
පෘථිවියේ වයස කොයි තරම්ද කියලා බයිබලය හරියටම කියලා නැහැ. උත්පත්ති 1:1 සරලව සඳහන් වෙන්නේ පෘථිවිය ඇතුළු මුළු විශ්වයටම පටන්ගැන්මක් තියෙනවා කියලයි. ඒ පදයේ කියන දේ පෘථිවියේ වයස ගැන විද්‍යාඥයන් ඇවිල්ලා තියෙන නිගමනවලට සහ පිළිගත්ත විද්‍යාත්මක නියමයන්වලට එකඟයි.