ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • yb17 66-75 පි.
  • යුරෝපය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යුරෝපය
  • 2017 යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ වාර්ෂික පොත
  • උපමාතෘකා
  • ආවේගයට කරුණාව
  • පිහියට කතා කරන්න දෙන එක හරිද?
  • ජංගම පුවරුව තියලා තිබුණේ එයා හැමදාම ගිය පාරේ
  • ඉස්කෝලේ යන ගමන් බස් එකේදි සාක්ෂි දැරුවා
  • කියවන්න බැරි කෙනෙක්ට ලැබුණ පොතක්
  • ලොකු හිස්කමක් දැනුණා
  • පුංචි සටහනක වටිනාකම
  • එයාගේ විශ්වාසය ගැන හෙදියත් පැහැදුණා
  • වාහනයෙන් වාහනයට ගිහින් සාක්ෂි දැරුවා
2017 යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ වාර්ෂික පොත
yb17 66-75 පි.
අසර්බයිජානයේ සහෝදරියන් දෙන්නෙක් යුවළකට දේශනා කරමින්

අසර්බයිජානය

ලොව වටා සේවය

යුරෝපය

  • රටවල් ගණන 47

  • ජනගහනය 74,44,82,011

  • ප්‍රචාරකයන් ගණන 16,11,290

  • බයිබල් පාඩම් ගණන 8,34,121

ආවේගයට කරුණාව

දවසක් එක පුද්ගලයෙක් ජෝර්ජියාවේ අපේ ජංගම පුවරුවක් ළඟට ආවා. එයා කෑගහලා මෙහෙම කිව්වා. “දැන්මම මෙතනින් පිට වෙලා යනවා. මේක ඕතඩොක්ස් රටක්.” එතකොට එතන හිටපු සහෝදරයෙක් හරිම කාරුණිකව මෙහෙම ඇහුවා. “මහත්මයා අපේ සඟරා එහෙම කියවලා තියෙනවාද?” එතකොට එයා කිව්වා “නැහැ” කියලා. ඊටපස්සේ සහෝදරයා අපේ සඟරා කියවලා බලන්න එයාව උනන්දු කෙරුවා. ඒ විදිහට කාරුණිකව කතා කරපු නිසා එයා සන්සුන් වුණා. සඟරා වගයකුත් අරන් ගියා. දවස් කිහිපයකට පස්සේ එයා ඇවිත් එදා හැසිරුණ විදිහ ගැන සමාව ඉල්ලුවා. එයා කිව්වා එයා ඒ සඟරා ගෙනියලා ඇස් පේන්නේ නැති එයාගේ අම්මාට ඇහෙන්න කියෙව්වා කියලා. දැන් එයා නිතරම අපේ පුවරුවලින් සඟරා ලබාගන්න කෙනෙක්.

පිහියට කතා කරන්න දෙන එක හරිද?

අසර්බයිජානයේ සාක්ෂිකරුවන් දෙන්නෙක් පාරේ හිටන් හිටපු කෙනෙක්ට සාක්ෂි දැරුවා. එතකොටම එයා මෙහෙම කිව්වා. “මට ඔය විකාර අහ අහා ඉන්න වෙලාවක් නැහැ.” එහෙම කියලා සාක්කුවෙන් පිහියක් එළියට ඇදලා අරන් “මට වළ කපන්න හදපු එකාව මම අද ඉතුරු කරන්නේ නැහැ” කියලා කිව්වා.

ඒක දැකලා ගැස්සුණත් සහෝදරයන් මෙහෙම කිව්වා. “කෙනෙක්ව මරණ එක පාපයක්.”

එතකොට එයා කිව්වේ “මට වුණු අසාධාරණයට වෙන කරන්න දෙයක් නැහැ” කියලයි. සහෝදරයන් දෙන්නා රෝම 12:17-21 පෙන්නුවා. යුක්තිය ඉටු කරන්න අයිතිය තියෙන්නේ දෙවිට කියලත් “නපුරු දේවලට ඔබව පරාජය කරන්න ඉඩ නොදෙන්න” කියලත් කිව්වා. ඒ වගේම මෘදු වදන් කොච්චර බලවත්ද කියලත් කෙනෙක්ව මරණ එකෙන් එයාට ඉතුරු වෙන්නේ දුක විතරයි කියලත් එයාලා පෙන්නලා දුන්නා. කියපු දේවල්වලට හොඳින් ඇහුම්කන් දීලා එයා එතනින් යන්න ගියා.

පැයකට විතර පස්සේ ඒ කෙනාව ආයෙත් මුණගැහුණා. එයා මෙහෙම කිව්වා. “මම ගියා මට අසාධාරණ විදිහට සලකපු කෙනාව හම්බ වෙන්න. හැබැයි මං එයාත් එක්ක හොඳින් කතා කරලා ප්‍රශ්නේ විසඳගත්තා. ලොකු විනාශයක් කරන එකෙන් මාව වැලැක්කුවාට ඔයාලාට ස්තුතියි.” එයාව ඇත්තටම බේරගත්තේ යෙහෝවා දෙවියි කියලා සහෝදරයෝ දෙන්නා කිව්වා.

ජංගම පුවරුව තියලා තිබුණේ එයා හැමදාම ගිය පාරේ

නෝර්වේවල හිටපු සහෝදරියක් සත්‍යයෙන් ටිකෙන් ටික ඈත් වෙලා ගියා. සාක්ෂිකරුවන් ජංගම පුවරුව තියලා තිබුණේ එයා හැමදාම ගිය පාරේ වුණාට එයා කවදාවත් සඟරාවක්වත් ගත්තේ නැහැ.

ඒත් පුවරුවේ තිබුණු ලස්සන පෝස්ටර් ඒ වගේම සඟරා ප්‍රදර්ශනය කරලා තිබුණ විදිහ එයා දැක්කා. එතන හිටන් හිටපු සහෝදරයන් කොච්චර මිත්‍රශීලීද ඒ වගේම එයාලාගේ ඇඳුම් කොච්චර පිළිවෙළයිද කියලත් එයා දැක්කා. මේ දේවල් සත්‍යය ගැන ආයෙත් එයාගේ හිතේ පොඩි උනන්දුවක් ඇති කළා.

jw.org කියන අපේ වෙබ් අඩවියේ නමත් පුවරුවේ සඳහන් වෙලා තියෙනවා එයා දැක්කා. එයා වෙබ් අඩවියට ගිහින් ළඟම තියෙන නමස්කාර මධ්‍යස්ථානයක ලිපිනය හොයාගත්තා. ඒ විතරක් නෙමෙයි එයා සඟරා පොත් පත් වගයකුත් ඩවුන්ලෝඩ් කරගත්තා. පස්සේ දවසක එයා රැස්වීමකටත් සහභාගි වුණා. එතකොට සහෝදරයන් එයාව පිළිගත්තේ හරිම ආදරයෙන්. වැඩිමහල්ලන් එයා එක්ක පාඩමක් කරන්න සහෝදරියක්වත් ලෑස්ති කළා. වැඩි කල් යන්න කලින් එයා ආයෙත් නමස්කාර කටයුතුවලට ලොකු උනන්දුවකින් හවුල් වුණා. ප්‍රේමණීය යෙහෝවා දෙවිට ආයෙත් ළං වෙන්න ලැබුණ එක ගැන එයා දැන් ඉන්නේ ගොඩක් සතුටින්.

ඉස්කෝලේ යන ගමන් බස් එකේදි සාක්ෂි දැරුවා

නෝර්වේවල ජීවත් වෙන අවුරුදු 15ක් වයස රොන්යා බස් එකේ ඉස්කෝලෙ යන ගමන් පිරිමි ළමයි තුන්දෙනෙක් එක්ක පරිණාමවාදය ගැන කතා කළා. ඒ ළමයි රොන්යා කියපු දේවල් විශ්වාස කළේ නැහැ. ඒ නිසා එයා ගෙදර ගිහින් ඒ දේවල් තව හොඳට විස්තර කරලා දෙන්න අම්මාගෙන් උදව් ඉල්ලුවා.

නෝර්වේවල රොන්යා පන්තියේ ඉන්න ළමයින්ට එයාගේ විශ්වාසය ගැන කියමින්

නෝර්වේ: තම විශ්වාසයන් ගැන බය නැතුව කතා කළ රොන්යා

ඊළඟ දවසේ එයා අම්මාගෙන් අහගත්ත දේවල් ළමයින්ට කියලා දෙන්න හැදුවත් ඒ ළමයි රොන්යාට විහිළු කරන්න පටන්ගත්තා. එක ළමයෙක් කෑගහලා මෙහෙම කිව්වා. “ඕන ඔට්ටුවක්. මේ බස් එකේ හැම ළමයෙක්ම විශ්වාස කරන්නේ පරිණාමය. යෙහෝවාව විශ්වාස කරන එක ළමයෙක්වත් නැහැ. කෝ කට්ටිය, අත් උස්සන්න බලන්න. යෙහෝවාව විශ්වාස කරන අය ඉන්නවාද?” එක පොඩි ළමයෙක් හෙමීට අත උස්සලා “මම යෙහෝවාව විශ්වාස කරනවා” කිව්වාම රොන්යාට පුදුම හිතුණා. පස්සේ තව ළමයි දෙන්නෙක් අත් උස්සලා කිව්වා “අපිත් යෙහෝවාව විශ්වාස කරනවා” කියලා. රොන්යා පිරිමි ළමයි තුන්දෙනාට යෙහෝවා දෙවි ගැන කියලා දෙද්දී අත් උස්සපු අයත් බස් එකේ පිටිපස්සේ ඉඳගෙන ඒවා අහන් ඉඳලා. ඒකෙන් එයාලාට දෙවි ගැන ලොකු විශ්වාසයක් ඇති වෙලා තිබුණා.

කියවන්න බැරි කෙනෙක්ට ලැබුණ පොතක්

දවසක් අරාබි ජාතිකයන් දෙන්නෙක් ඩෙන්මාර්කයේ ශාඛා කාර්යාලයට ඇවිත් තිබුණා. එයාලා පිළිගැනීමේ නිලධාරිනිය විදිහට වැඩ කරපු සහෝදරියගෙන් ඇහුවා මේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ කාර්යාලයද කියලා. සහෝදරිය ඔව් කියලා කිව්වාම එයාලා හුඟක් සතුටු වුණා. ඒත් එයාලා ශාඛා කාර්යාලය හොයාගත්තේ කොහොමද? එයාලා ළඟ අරාබි භාෂාවෙන් තියෙන ‘බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු’ කියන පොතේ ප්‍රකාශකයන්ගේ විස්තර තියෙන පිටුවේ ෆොටෝ එකක් තිබිලා තියෙනවා. ඒ ෆොටෝ එක පුස්තකාලයකට පෙන්නලා ඒ මාර්ගයෙන් තමයි එයාලා ඩෙන්මාර්කයේ ශාඛා කාර්යාලයේ ලිපිනය හොයාගෙන තියෙන්නේ.

මේ දෙන්නාටම ඩෙන්මාර්කයේ කතා කරන භාෂාව එච්චර බැහැ. ඒ නිසා අරාබි භාෂාව කතා කරන සහෝදරයෙක් ඇවිත් එයාලා එක්ක කතා කළා. ඒ දෙන්නාගෙන් එක් කෙනෙක්ට බයිබලය ගැන තවත් දැනගන්න ලොකු උනන්දුවක් තියෙනවා කියලා සහෝදරයාට තේරුණා. එයා අරාබි කෙනාගේ විස්තර ඉල්ලගෙන එයාව බලන්න එන්න පොරොන්දු වුණා.

ඒ සහෝදරයා අරාබි කතා කරන තවත් සහෝදරයෙක් එක්ක එයාව බලන්න ගියා. එතකොට එයා දැනගත්තා ඒ අරාබි කෙනාට කවදාවත් සාක්ෂිකරුවන්ව මුණගැහිලා තිබුණේ නැහැ කියලා. ‘බයිබලයේ ඉගැන්වීම්’ පොතක් කවුරු හරි එයාගේ ලියුම් පෙට්ටියට දාලා ගිහින් තිබුණා. ගෙදර ඉන්නේ අරාබි භාෂාව කතා කරන කෙනෙක් කියලා දැනගන්න ලියුම් පෙට්ටියේ නමක්වත් ලියලා තිබුණේ නැහැ. ඒත් පුදුමේ කියන්නේ දාලා ගිහින් තිබුණේ අරාබි භාෂාවෙන් තියෙන පොතක්. එයා කියවන්න දන්නේ නැති නිසා එයා යාළුවෙක්ට පොත දීලා ඒකේ තියෙන දේවල් එයාට ඇහෙන්න කියවන්න කියලා කිව්වා. එයාලා දවස් තුනෙන් පොත කියවලා. ඒ දැනගත්ත දේවල් නිසා බයිබලය ගැන තවත් ඉගෙනගන්න එයාට ලොකු ආසාවක් ඇති වෙලා තියෙනවා.

සරණාගතයෙක් හැටියට පවුලේ අයගෙන් වෙන් වෙලා ජීවත් වෙන එක ලේසි දෙයක් නෙමෙයි. ඒත් බයිබලයේ තියෙන දේවල් ඉගෙනගන්නකොට එයාට ඒකෙන් ලොකු සහනයක් ලැබෙනවා. සහෝදරයෙක් මුල්ම වතාවට එයාව බලන්න ආපු වෙලාවේ එයා මෙහෙම ඇහුවා. “ඇයි මාව බලන්න මීට කලින් ආවේ නැත්තේ? බයිබලයේ තියෙන දේවල් මට ගොඩක් වටිනවා.” එයා අදටත් ලොකු උනන්දුවකින් බයිබලයේ තියෙන දේවල් ඉගෙනගන්නවා.

ලොකු හිස්කමක් දැනුණා

දිමිත්‍ර යුක්රේනයේ දුම්කොළ ෆැක්ටරියක මැනේජර් කෙනෙක්. ඒත් දුම්කොළවලින් ශරීරයට හානියක් වෙනවා කියලා දැනන් හිටිය නිසා ඒක එයාගේ හිතට වධ දුන්නා. පස්සේ එයා ඒ රස්සාවෙන් අස් වෙන්න තීරණය කළා. අස් වෙලා මාස තුනක් යන්න කලින් එයාගේ අම්මායි නැන්දම්මායි නැති වුණා. ඒ නිසා එයා හිටියේ ගොඩක් දුකෙන්. එයා සහනයක් බලාපොරොත්තුවෙන් ඕතඩොක්ස් පල්ලියට ගියා. ඒත් වැඩක් වුණේ නැහැ. “ඕතඩොක්ස් ආගම පිටින් ඔප දාපු ලස්සන දෙයක් වගේ පෙනුණාට ඇත්තටම ඒකෙ ඉන්නකොට ලොකු හිස්කමක් දැනෙනවා” කියලා එයාගේ යාළුවෙක් කියපු දෙයක් දිමිත්‍රිට මතක් වුණා. එයා ඒ හිස්කම අද්දැක්කා. එයා උදව් ඉල්ලලා දෙවිට යාච්ඤා කළා. එයා සාක්ෂිකරුවන් ගැන අහලා තිබුණත් එයාලා ගැන හොයලා බලලා තිබුණේ නැහැ. දවසක් සාක්ෂිකරුවන්ගේ වෙබ් අඩවිය ගැන දිමිත්‍රිට දැනගන්න ලැබුණා. බයිබලයේ තියෙන දේවල් ගැන පල්ලියෙන් කිසිම දෙයක් එයා ඉගෙනගෙන තිබුණේ නැහැ. ඒත් වෙබ් අඩවියෙන් එයා බයිබලය ගැන ගොඩක් දේවල් ඉගෙනගත්තා. ළඟම තියෙන නමස්කාර මධ්‍යස්ථානය තියෙන තැනත් එයා හොයාගත්තේ වෙබ් අඩවියෙන්. එයා රැස්වීමකට ආවාම පරිවාරක සහෝදරයා ඇතුළට එන්න කියලා එයාව පිළිගත්තා. දිමිත්‍රි ඒ වෙලාවෙම “මට බයිබල් පාඩමක් ඕනේ” කියලා කිව්වා. එයා දැන් මාස 6ක් තිස්සේ සාක්ෂිකරුවන් එක්ක බයිබලය පාඩම් කරනවා. රැස්වීම්වලටත් දිගටම එනවා.

පුංචි සටහනක වටිනාකම

පෝල් සහ ෆේත් ජීවත් වෙන්නේ බ්‍රිතාන්‍යයේ. දවසක් එයාලාට සූසන් කියන කාන්තාවත් එක්ක දේවරාජ්‍යය ගැන කතා කරන්න අවස්ථාව ලැබුණා. එයාලා ආයෙත් සූසන්ව බලන්න එයාගේ ගෙදරට ගියාට එයා හිටියේ නැහැ. 2014 නොවැම්බර් මාසයේ ‘අපගේ රාජ්‍ය සේවාවේ’ කියලා තිබුණා උනන්දුව දක්වපු කෙනා ගෙදර නැත්නම් පුංචි සටහනක් තියලා එන්න කියලා. ඒ නිසා හෙට එන්නම් කියලා පුංචි සටහනක් එයාලා තියලා ගියා. අනිත් දවසේ ආවාම ඒ කාන්තාවත් පුංචි සටහනක් දොරේ එල්ලලා තිබුණා. “මට දුවගේ වෙඩින් එකට බඩු වගයක් ගන්න එළියට යන්න වෙනවා.” ලබන සතියේ එන්නම් කියලා සාක්ෂිකරුවන් දෙන්නා තව සටහනක් තියලා ගියා. එදා යද්දී නම් සූසන් මේ දෙන්නා එන කල් බලාගෙන හිටියා. ‘බයිබලයේ ඉගැන්වීම්’ පොතෙන් පාඩමකුත් පටන්ගත්තා.

බ්‍රිතාන්‍යයේ පෝල් සහ ෆේත් දොර ළඟ තියලා යන්න පුංචි සටහනක් ලියමින්

බ්‍රිතාන්‍යය: පුංචි සටහනක් ලියන එකේ වැදගත්කම තේරුම්ගත්ත පෝල් සහ ෆේත්

ඒත් දුවගේ විවාහ මංගල්‍යය නිසා ඊළඟ සතියේ එන්න එපා කියලා සූසන් කිව්වා. විවාහයෙන් පස්සේ සතියේ පෝල් සහ ෆේත් සූසන්ගේ ගෙදර ගියත් කවුරුත් හිටියේ නැහැ. ඒ නිසා එයාලා පුංචි සටහනක් ලියලා ඒකේ දුරකථන අංකයත් ලියලා දොරේ එල්ලුවා. සූසන් ඒ අංකයට පණිඩයක් එවලා තිබුණා. එයාලා ආව වෙලාවේ සූසන් ඉඳලා තියෙන්නේ වත්ත පහළ. ඒ ගැන එයා සමාව ඉල්ලලාත් තිබුණා. එදායින් පස්සේ වරද්දන්නේ නැතුව සූසන් බයිබල් පාඩම කළා. ළඟදි රැස්වීමකටත් ආවා.

පුංචි සටහනක් තියලා එන එකේ වටිනාකම පෝල් සහ ෆේත් තේරුම්ගත්තා. එයාලා මෙහෙම කිව්වා. “මේ ක්‍රමය නිසා උනන්දුව දක්වපු කිහිපදෙනෙක්වම ආපහු මුණගැහෙන්න අපිට පුළුවන් වුණා.”

එයාගේ විශ්වාසය ගැන හෙදියත් පැහැදුණා

2014 අගෝස්තු මාසයේ හංගේරියාවේ සහෝදරයෙක්ට හෘදයාබාධයක් වැලඳිලා රෝහලට ඇතුල් කෙරුවා. ටික දවසකට පස්සේ එයා මැරුණා. ඒ හදිසි අවස්ථාවේ සහෝදරයාට උදව් කරපු ටන්ඩේ කියන හෙදිය ගැන ඒ සහෝදරයාගේ බිරිඳ මෙහෙම ලියලා තිබුණා.

“2015 ‘යේසුස් වගේ වෙමු!’ කියන තුන්දින සමුළුවට මායි මගේ පුතායි ගියා. තුන්වෙනි දවසේ සමුළුව ඉවර වෙලා අපි වාහනය ළඟට යද්දී ගැහැනු කෙනෙක් අපි ගාවට ඇවිත් මාව බදාගෙන අඬන්න පටන්ගත්තා. ඒ කෙනා තමයි මීට අවුරුද්දකට කලින් මගේ මහත්තයාට උදව් කරපු නර්ස්. එයා කිව්වා එයා මගේ මහත්තයාට සාත්තු කළේ හරිම කැමැත්තෙන් කියලා. ඒ වගේම හැමදාම ඒකට අවස්ථාව ලබා දෙන්න කියලා එයා දෙවිට යාච්ඤා කරලත් තියෙනවා.

“ටන්ඩේ මට මෙහෙම කිව්වා. ‘ඔයාගේ මහත්තයාට දෙවි ගැන ලොකු විශ්වාසයක් තිබුණා. එයා නිතරම අනාගතය ගැන තිබ්බ බලාපොරොත්තුව ගැනත් මාත් එක්ක කතා කළා.’ ඒ දේවල් සාක්ෂිකරුවන් එක්ක බයිබල් පාඩමක් පටන්ගන්න ටන්ඩේට ලොකු දිරිගැන්වීමක් වෙලා තියෙනවා.

“ටන්ඩේ දැන් ආසාවෙන් බලන් ඉන්නේ මගේ මහත්තයා නැවත නැගිටලා ආවාම එයාගේ ශක්තිමත් විශ්වාසය දෙවි ගැන ඉගෙනගන්න තමන්ට උදව් වුණු විදිහ ගැන කියන්නයි.”

වාහනයෙන් වාහනයට ගිහින් සාක්ෂි දැරුවා

බල්ගේරියාවේ සාක්ෂිකාර යුවළක් ට්‍රක් රියදුරෙක්ට සාක්ෂි දරමින්

බල්ගේරියාව: දේශ සීමා මුරපොළ ළඟ වාහනවලට සාක්ෂි දරමින්

බල්ගේරියාව සහ ග්‍රීසිය අතර දේශ සීමා මායිම් මුරපොළ සමහර වෙලාවට පෙළපාලි වගේ දේවල් නිසා වහනවා. ඒ වගේ වෙලාවට දේශ සීමා මායිම ළඟ ඉඳන් කිලෝමීටර් ගාණක් යන කල් වාහන එක පේළියට නවත්තලා තියෙනවා. බල්ගේරියාවේ සභාවක සහෝදරයන් ඒ වාහනවල ඉන්න අයට බයිබල් පොත් පත් බෙදාහරින්න සැලසුම් කළා. සහෝදරයන් ළඟ භාෂා 12කින් පොත් පත් තිබුණා. වාහන තදබදයක් තියෙද්දී ගොඩක් ට්‍රක් රියදුරන් ඉන්නේ කේන්තියෙන්. ඒත් සහෝදරයන් එක්ක කතා කරන්න එයාලා අකමැත්තක් පෙන්නුවේ නැහැ. සහෝදරයනුත් බොහොම ඉවසීමෙන් එයාලාට ඇහුම්කන් දීලා පණිවිඩේ කිව්වා. එක ට්‍රක් රියදුරෙක් මෙහෙම ඇහුවා. “ඔයාලා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ද?” ඒකට එයාට උත්තර දුන්නාට පස්සේ එයා මෙහෙම කිව්වා. “මම හිතුවා, මොකද ඔයාලා විතරයි මේ විදිහට දේශනා කරන්නේ.” ඔස්ට්‍රියානු ජාතික ට්‍රක් රියදුරෙක් මෙහෙම කිව්වා. “ඔයාලා මෙහෙත් ඉන්නවානේ. හොඳයි, හොඳයි. මිනිසුන්ට ඔයාලාගේ පණිවිඩේ කියලා සහනයක් දෙන්න. දිගටම ඔයාලාගේ සේවේ කරගෙන යන්න.” තව රියදුරෙක් මෙහෙම කිව්වා. “මම නම් ඔයාලාගේ පොත් පත් කියවන්න ආස නැහැ. ඒත් ඔයාලා ළඟටම ඇවිල්ලා දීපු නිසා අද කියවන්නම්.” සහෝදරයෙක් තවත් රියදුරෙක්ට දේශනා කරද්දී එයාගේ ඇස්වලට කදුළු ආවා. එයා කලින් සාක්ෂිකාරයෙක් කියලා කිව්වා. ඒ වෙලාවේ සහෝදරයන් එයාට පොත් පත් කියවන්න කියලත් රැස්වීම්වලට යන්න කියලත් දිරිගැන්නුවා.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න