ජෝර්ජියාව | 1924-1990
විශ්වාසය ශක්තිමත් කරගන්න උදව් වෙන රැස්වීම්
අලුතෙන් සත්‍යයට එන අයට දෙවි ගැන තියෙන විශ්වාසය වැඩි කරගන්න උදව් වෙන ප්‍රධාන දෙයක් තමයි අපේ රැස්වීම්. කාලයක් තිස්සේ සත්‍යයේ ඉන්න අය වගේම අලුතෙන් දෙවිට කැප වෙලා බව්තීස්ම වෙන අයත් රැස්වීම් තියන්න එයාලාගේ ගෙවල් ලබා දෙන්නේ හරිම කැමැත්තෙන්. රැස්වීම්වලට එන හැමෝවම අපේ සහෝදර සහෝදරියන් ආදරයෙන් පිළිගත්තා. ඒ නිසා ඒ අය අතර තියෙන බැඳීම එන්න එන්නම ශක්තිමත් වුණා.
ඒ කාලේ බව්තීස්ම වෙන්න සුදුසුකම් තියෙන අය වෙනුවෙන් විශේෂ රැස්වීමක් තිබ්බා. 1973 අගෝස්තු මාසයේ සොකුමිවල සහෝදරයන් කලු මුහුද ළඟ ඒ වගේ රැස්වීමක් සූදානම් කළා. එදා බව්තීස්ම වෙන්න 35දෙනෙක් ලෑස්ති වෙලා හිටියා. ඒත් පොලීසිය එතැනට ආපු නිසා එයාලාට බව්තීස්ම වෙන්න බැරි වුණා. ව්ලැඩමියර් ග්ලැඩ්යුක් ඇතුළු සහෝදර සහෝදරියන් කිහිපදෙනෙක්වම අත්අඩංගුවටත් ගත්තා.
ඒත් ඒ අයව ඉක්මනින්ම නිදහස් කළා. මේ සිද්ධිය වෙලා දවස් දෙකකට පස්සේ බව්තීස්ම වෙන්න හිටපු අයව ආයෙත් ගෙන්නලා එයාලාව බව්තීස්ම කළා. ව්ලැඩමියර් ඒ ගැන මෙහෙම මතක් කරනවා. “යෙහෝවා ඉන්නේ අපේ පැත්තේ. ඒක අපිට හොඳට දැනුණා. බව්තීස්මයෙන් පස්සේ අපි ඔක්කොම එකතු වෙලා යාච්ඤා කරලා යෙහෝවා දෙවිට ස්තුති කළා.”
විරුද්ධවාදිකම් නිසා පණිවිඩය වේගයෙන් පැතිරුණා
35දෙනා බව්තීස්ම වෙලා දවස් දෙකකින් ව්ලැඩමියර් ග්ලැඩ්යුක්ව ආයෙත් අත්අඩංගුවට ගත්තා. පස්සේ එයාටයි, ඉට්ටා සුඩාරෙන්කෝටයි, නාටෙලා චාගෙයිෂ්විලිටයි අවුරුදු කිහිපයක සිරදඬුවම් නියම කළා. මේ දේ වුණත් අනිත් සහෝදර සහෝදරියන් දේශනා සේවය නැවැත්තුවේ නැහැ.
ඒ කාලේ බලධාරීන් සාක්ෂිකරුවන් ගැන විමසිල්ලෙනුයි හිටියේ. ඒ නිසා සාක්ෂිකරුවන් තමන් ජීවත් වෙලා හිටපු ප්‍රදේශයේම දේශනා කරන්නේ නැතුව පණිවිඩය අරන් වෙන නගරවලට, ගම්වලට ගියා. ඇත්තටම විරුද්ධවාදිකම්වලින් වුණේ ශුභාරංචිය අනිත් ප්‍රදේශවලටත් වේගයෙන් පැතිරුණ එකයි.
කොමියුනිස්ට් පාලනය තිබුණු කාලයේ විශාල නගරවල ජීවත් වුණු සාක්ෂිකරුවන්, වැඩිය සෙනඟ ගැවසෙන්නේ නැති තැන්වල දේශනා සේවය කළා. පිට පළාත්වලින් ආපු හුඟදෙනෙක්ව එයාලාට හම්බ වුණා. කවුරු හරි ශුභාරංචිය ගැන වැඩිපුර දැනගන්න කැමතියි කිව්වොත් එයාගේ ලිපිනය ඉල්ලගෙන ආයෙත් එයාව මුණගැහෙන්න සැලසුම් දාගත්තා.
බබුට්සා ජෙජෙලාවා බටහිර ජෝර්ජියාව පුරා ශුභාරංචිය අරන් ගියා. එයා කිව්වේ මෙහෙමයි. “කවුරුත් මාව සැක කරේ නැහැ. මොකද ඒ හැම පැත්තකම වගේ මගේ නෑයෝ හිටියා. බලධාරීන් හිතුවේ මම එයාලාව බලන්න යනවා කියලයි. අවුරුදු දෙකක් විතර යද්දී මට සුග්ඩිඩිවල පාඩම් 20කට වඩා තිබුණා. චකොරොට්ස්කුවල පාඩම් 5ක් තිබුණා. ඒ හැම කෙනෙක්ම බව්තීස්ම වුණා.”
ජෝර්ජියන් භාෂාවෙන් පොත් පත් සඳහා ලොකු අවශ්‍යතාවක්
ඒ කාලයේ ජෝර්ජියන් භාෂාවෙන් පොත් පත් තිබුණේ නැහැ. ඒ නිසා නැවත බැලීම්, බයිබල් පාඩම් කරන එක ගොඩක් අමාරු වුණා.a
බබුට්සාටත් බයිබල් පාඩම් කරන එක ලේසි වුණේ නැහැ. එයා ඒ ගැන මෙහෙම කිව්වා. “මං ගාව බයිබලයකුයි, තව පොත් පත් කිහිපයකුයි තිබුණා. හැබැයි ඒ රුසියානු භාෂාවෙන්. ඒ නිසා පාඩම් කරන පොත් පරිවර්තනය කරන්න මට සිද්ධ වුණා.” ඒ වගේම එයා ජෝර්ජියන් භාෂාවට අපේ සඟරාවල සමහර ලිපිත් බයිබලයේ මතෙව් පොතත් පරිවර්තනය කළා. ඒ වැඩවලට එයාට තිබුණේ ශබ්දකෝෂයක් විතරයි.
සාක්ෂිකරුවන් ගෙවල්වල පොත් පත් හදන්න කුඩා මුද්‍රණ යන්ත්‍ර පාවිච්චි කළා
තමන්ගේම මව්භාෂාවෙන් ලිපි කියවන්න පුළුවන් වුණු එක ගැන බයිබලය පාඩම් කරපු අය හුඟක් සතුටු වුණා. ඒ නිසා එයාලාත් පරිවර්තනය කරපු ලිපිවල පිටපත් හදාගෙන එයාලාගේ පාවිච්චියට තියාගත්තා. බයිබලයේ පිටපත් ජෝර්ජියන් භාෂාවෙන් ලබාගන්න හුඟක් අමාරු වුණු නිසා සමහර බයිබල් ශිෂ්‍යයන් බයිබලය පවා පිටපත් කරන්න පටන්ගත්තා.
“මං දවස පුරාම පිටපත් කළා”
ජෝර්ජියන් භාෂාවට පරිවර්තනය කරපු පොත් පත් හැමෝටම කියවන්න පුළුවන් වෙන්න එකිනෙකා අතරේ යවාගත්තා. පොතක් ලැබුණාම වැඩි කාලයක් ගන්නේ නැතුව පුළුවන් තරම් ඉක්මනට ඒක කියවලා තවත් කෙනෙක්ට යවනවා. මේ විදිහට යවපු නවීන ජෝර්ජියන් භාෂාවෙන් තියෙන අලුත් ගිවිසුම එක පවුලකට ලැබුණාම එයාලා එයාලාටම කියලා පිටපතක් හදන්න පටන්ගත්තා.
රාවුල් කර්චාවාගේ තාත්තා එයාට බයිබලේ අලුත් ගිවිසුම පිටපත් කරන්න කියලා කියද්දී රාවුල්ට අවුරුදු 13යි. ඒ ගැන රාවුල් මෙහෙම කියනවා. “ඒකට ආසාවක් ඇති කරන්න පෑන්, පැන්සල්, පොත් තියෙන ලොකු පෙට්ටියක් තාත්තා ගෙනාවා. පිටපත් කරන එක ලේසි වැඩක් නෙමෙයි. ඒත් මං දවස පුරාම පිටපත් කළා. ටිකකට හරි නැවැත්තුවේ අත හොඳටම රිදෙන්න ගත්තාම විතරයි.”
ජෝර්ජියන් භාෂාවෙන් තියෙන අතින් පිටපත් කරපු ‘මුරටැඹ’ සඟරා සහ ‘දිනපතා ශුද්ධ ලියවිලි පරීක්ෂා කිරීම’ කියන පොත
බයිබලය වැඩි දවසක් තියාගන්නේ නැතුව ඒක ඉක්මනටම යවන්න ඕනෙ කියලා රාවුල්ගේ පවුලේ අය දැනගෙන හිටියා. ඒත් රාවුල් බයිබලේ පිටපත් කරනවා කියලා දැනගත්තාට පස්සේ ඒක තව ටික කාලයක් තියාගන්න කියලා සහෝදරයෝ කිව්වා. රාවුල් මාස දෙකක් ඇතුළත අලුත් ගිවිසුමේ පොත් 27ම පිටපත් කළා.
රාවුල් වගේ තවත් අයත් මහන්සි වෙලා පිටපත් හැදුවා. ඒත් බයිබල් ශිෂ්‍යයන්ගේ ගාණ වැඩි වෙද්දී ඒ පිටපත් ප්‍රමාණවත් වුණේ නැහැ. ඒ නිසා සහෝදරයන් තමන්ගේ ගෙවල්වල ඉඳන් බයිබල් පොත් පත් මුද්‍රණය කරන්න පටන්ගත්තා. ඒක අනතුරුදායක දෙයක් වුණත් එයාලා නිර්භීතව ඒක කළා.
ඒ නිසා බටහිර ජෝර්ජියාවේ දේශනා සේවයේ ලොකු වර්ධනයක් ඇති වුණා. ඒත් නැඟෙනහිර ජෝර්ජියාවේ තිබුණේ කොයි වගේ තත්වයක්ද? ජෝර්ජියාවේ අගනගරය වන ටිබිලිසිවල ජීවත් වුණු වාසෝ වෙනිආෂ්වෙලි වගේ අවංකව සත්‍යය හෙව්ව අයට උදව් කෙරුවේ කවුද?
අගනුවරේ සත්‍යය පැතිරෙයි
1970 ගණන්වලදී සෝවියට් බලධාරීන් සාක්ෂිකරුවන්ගේ වැඩ නවත්තන්න හිතාගෙන එයාලාව ගෙවල්වලින් පන්නලා දැම්මා. යුක්රේනයේ ඉඳන් ටිබිලිසිවලට ආපු ඔලෙක්සි සහ ලිදියා කොර්ඩාසේස්ටත් වුණේ ඒකයි. එයාලා කලින් විශ්වාසය නිසා අවුරුදු ගණනාවක් සිරදඬුවම් විඳපු යුවළක්.
ලරීසා කෙසේව් (ගුඩාඩ්සේ) 1970 ගණන්වලදී
ඒ දෙන්නා, සවුර් සහ එටෙරී කෙසේව් කියලා ආගමට හුඟක් ළැදි යුවළකට බයිබල් සත්‍යය කියලා දුන්නා. ඒ යුවළට ලරීසා කියලා අවුරුදු 15ක දුවෙක් හිටියා. ඔලෙක්සි සහ ලිදියාව මුලින්ම මුණගැහුණු අවස්ථාව ගැන ලරීසා මෙහෙම කියනවා. “අපිට ඕන වුණේ ඕතඩොක්ස් ආගම හරි කියලා ඔප්පු කරන්න. අපි ගොඩක් තර්ක කළා. ඒත් එයාලා අපිට ඒ දේවල් ලස්සනට බයිබලයෙන්ම පැහැදිලි කරලා දුන්නා.”
ලරීසා තවදුරටත් මෙහෙම කියනවා. “පල්ලියට ගිය හැම වතාවකදීම මම බිත්තියේ ලියලා තියෙන දසපනත කියෙව්වා. ඒත් එදා ඔලෙක්සි නික්මයාම 20:4, 5 කියවද්දී එතන කියන දේ අහලා මට පුදුම හිතුණා. මට එදා රෑ නින්ද ගියෙත් නැහැ. ‘අපි රූප නමස්කාරයෙන් කරන්නේ ඇත්තටම දෙවිගේ ප්‍රතිපත්තියක් කඩන එකද’ කියලා මං මුළු රෑම කල්පනා කළා.”
ඒක ලරීසාගේ හිතට වධ දුන්න නිසා පහුවෙනිදා පාන්දරම එයා පල්ලියට ගිහින් බිත්තියේ ලියලා තියෙන දේ කියෙව්වා. ‘රූප සාදා නොගන්න. ඔබ ඒවා ඉදිරියේ වැඳ නොවැටෙන්න.’ ජීවිතේ මුල්ම වතාවට ලරීසාට ඒකේ තේරුම වැටහුණා. පස්සේ ලරීසායි එයාගේ අම්මායි තාත්තායි බව්තීස්ම වුණා. ටිබිලිසි නගරයේ මුල්ම සාක්ෂිකරුවන් අතර මෙයාලත් හිටියා.
යුක්තිය ඉටු කරන දෙවි ගැන එයා දැනගත්තා
සත්‍යය ලැබිලා අවුරුදු ගාණක් යන කල් වාසෝ වෙනිආෂ්වෙලිට සාක්ෂිකරුවන්ව මුණගැහුනේ නැහැ. ඒත් අවුරුදු 20කට පස්සේ ටිබිලිසි නගරයේ රැස්වීමට යන සාක්ෂිකරුවෙක්ව වාසෝට මුණගැහුණා. ඒ ගැන එයා ගොඩක් සතුටු වුණා.
වාසෝ වෙනිආෂ්වෙලි බව්තීස්ම වුණේ එයාට සාක්ෂිකරුවන්ව මුලින්ම මුණගැහිලා අවුරුදු 24කට පස්සේ
මුලින්ම ඒ ප්‍රදේශයේ හිටිය සාක්ෂිකරුවන් වාසෝව නමස්කාර කටයුතුවලට සම්බන්ධ කරගන්න කැමති වුණේ නැහැ. ඒ වාසෝ කලින් දරුණු අපරාධකාරයෙක් නිසයි. සහෝදරයන් හිතුවේ එයා සෝවියට් බලධාරීන්ගේ ඔත්තුකාරයෙක් කියලයි. ඒ නිසා අවුරුදු 4ක් යන කල් එයාලා වාසෝට රැස්වීම්වලට එන්න ඉඩ දුන්නේ නැහැ.
ඒත් වාසෝ හොඳ කෙනෙක් කියලා එයාලාට තේරුණාම සභාවේ වැඩකටයුතුවලට හවුල් වෙන්න එයාට ඉඩ දුන්නා. පස්සේ කාලෙක එයා බව්තීස්ම වුණා. අන්තිමේදී යෞවන කාලේ ඉඳන් හොයපු, “යුක්තිය ඉටු කරන දෙවිට” ළං වෙන්න වාසෝට අවස්ථාව ලැබුණා. (යෙසා. 30:18) වාසෝ මිය ගියේ 2014. එයා ඒ වෙන කල්ම දෙවිට විශ්වාසවන්තව සේවය කළා.
1990 වෙද්දී නැඟෙනහිර ජෝර්ජියාවෙත් බටහිර ජෝර්ජියාවෙත් දේශනා සේවය හොඳින් කෙරීගෙන ගියා. ප්‍රචාරකයන් 900දෙනෙක් බයිබල් පාඩම් 942ක් පැවැත්තුවා. මේ වර්ධනය ඉදිරියේදී ජෝර්ජියාව පුරාම විශාල වර්ධනයකට හොඳ අඩිතාලමක් වුණා.
a ක්‍රි.ව. 5වෙනි සියවස වෙද්දී බයිබලයේ සමහර කොටස් ජෝර්ජියන් භාෂාවට පරිවර්තනය කරලා තිබුණා. ඒත් කොමියුනිස්ට් පාලන කාලයේදී ඉතුරු වෙලා තිබුණේ ඒ පිටපත්වලින් කිහිපයක් විතරයි.—“බයිබලය ජෝර්ජියන් භාෂාවෙන්” යන කොටුව බලන්න.