1989දී සොකුමි මුහුදු වෙරළේ රැස්වීමක් පවත්වමින්
ජෝර්ජියාව | 1924-1990
මුලින්ම සත්‍යය හොයපු අය
ජෝර්ජියාවේ බයිබල් ශිෂ්‍යයන් මුලින්ම අවංක හදවත් ඇති අයව හොයන්න පටන්ගත්තේ 1920 ගණන්වලදි. 1924දී ආර්මේනියාවේ, ජෝර්ජියාවේ, තුර්කියේ සහ සිරියාවේ දේශනා සේවය ගැන බලන්න ලෙබනන්වල බේරූට් නගරයේ කාර්යාලයක් විවෘත කළා.
මුලදී ජෝර්ජියාවේ ශුභාරංචිය දේශනා කළත් ලොකු වර්ධනයක් දකින්න තිබුණේ නැහැ. (මතෙ. 13:33) ඒත් කාලයක් යද්දී හුඟදෙනෙක් ශුභාරංචිය පිළි අරන් ජීවිතවල වෙනස්කම් කරගත්තා.
යුක්තිය ඉටු වෙන කල් බලන් හිටියා
දෙවෙනි ලෝක මහා යුද්ධය පටන්ගත්ත කාලේ වාසෝ වෙනිආෂ්වෙලි යෞවනයෙක්. ජෝර්ජියාව, සෝවියට් දේශයට අයිති රටක් වුණ නිසා වාසෝගේ තාත්තාට හමුදා සේවයට බැඳෙන්න වුණා. ඒ වෙද්දී වාසෝගේ අම්මා මිය ගිහින්. පවුලේ වැඩිමලා හැටියට වාසෝට තමයි එයාගේ නංගිලා, මල්ලිලා බලාගන්න වගකීම පැවරුණේ. ගෙදර වියදම් හොයාගන්න බැරුව එයා හොරකම් කරන්න පුරුදු වුණා.
පස්සේ කාලෙක එයා කල්ලියකට සම්බන්ධ වෙලා මංකොල්ල කන්නත් පුරුදු වුණා. එයා මෙහෙම කියනවා. “සාධාරණය ඉටු කරනවා කියලා කියන පාලකයන්ට වඩා පාතාල ලෝකයේ අය ගාව සාධාරණකම තියෙනවා කියලයි මට හිතුණේ.” ඒත් පස්සේ එයාට තේරුණා නියම යුක්තිය, සාධාරණකම කොහේවත් නැහැ කියලා. එයා මෙහෙම කියනවා. “මට ඕන වුණේ යුක්තිය ඉටු වෙන සමාජයක ජීවත් වෙන්න.”
1964දී හිරෙන් නිදහස් වුණු වාසෝ වෙනිආෂ්වෙලි
වාසෝ කරපු නීති විරෝධී වැඩ නිසා පොලීසියෙන් එයාව අල්ලගෙන සයිබීරියාවේ සිරකඳවුරකට යැව්වා. එහෙදී විශ්වාසය නිසා සිරදඬුවම් විඳින සාක්ෂිකරුවෙක්ව එයාට හම්බ වුණා. වාසෝ මෙහෙම කියනවා. “යුක්තිය ඉටු වෙන කාලයක් ගැන එයා මට කිව්වා. පොත් පත් තිබුණේ නැති වුණත් එයා මට ගොඩක් දේවල් කියලා දුන්නා.”
වාසෝ 1964දී නිදහස් වෙලා ජෝර්ජියාවට ගියා. එහෙදී එයා සාක්ෂිකරුවන්ව හෙව්වත් ඒකෙන් වැඩක් වුණේ නැහැ. සිරකඳවුරේ හම්බ වුණු සාක්ෂිකරුවා එක්ක ලිපි හුවමාරු කරගත්තා. පස්සේ කාලෙක එයාත් මිය ගියා. අවුරුදු 20ක් යන කල් වාසෝට එක සාක්ෂිකරුවෙක්වත් හම්බ වුණේ නැහැ. වාසෝ ගැන තවත් තොරතුරු පස්සේ දැනගමු.
දුක සතුටට පෙරළෙයි
කැලෑවේ රැස්වීමක් පවත්වමින්
සිරදඬුවම් විඳින එක දුකක් වුණත් වැලන්ටීනා මිමිනොෂ්විලිට නම් ඒක සතුටක් වුණා. මොකද මුලින්ම එයාට සාක්ෂිකරුවන්ව මුණගැහුණේ නාට්සි කඳවුරකදී. ඒ අයට තිබුණු ශක්තිමත් විශ්වාසය ගැන එයාගේ හිතේ ලොකු පැහැදීමක් ඇති වුණා. සාක්ෂිකරුවන් බයිබලයෙන් කියලා දුන්න දේවල් ඇත්ත කියලා එයාට තේරුණා.
යුද්ධය අවසන් වුණාට පස්සේ වැලන්ටීනාව නිදහස් කළා. ඊටපස්සේ එයා බයිබල් සත්‍යයන් අනිත් අයටත් කියන්න පටන්ගත්තා. ඒත් වැඩි කල් යන්න කලින් නිලධාරීන් එයාව අල්ලගෙන අවුරුදු දහයකට රුසියාවේ කඳවුරකට යැව්වා. එහෙදී වැලන්ටීනාට ආයෙත් සාක්ෂිකරුවන්ව මුණගැහුණා. පස්සේ එයා බව්තීස්ම වුණා.
1967දී වැලන්ටීනා නිදහස් වෙලා බටහිර ජෝර්ජියාවට ගිහින් හොර රහසේම දේශනා කරන්න පටන්ගත්තා. පස්සේ කාලෙක අවංක කෙනෙක්ගේ යාච්ඤාවට උත්තර දෙන්න දෙවි එයාව පාවිච්චි කළා.
යෙහෝවා දෙවි එයාගේ යාච්ඤාවට උත්තර දුන්නා
සහෝදරී ඇන්ටෝනියා ගුඩාඩ්සේ සයිබීරියානු ජාතික කෙනෙක්. එයාට සත්‍යය ලැබුණේ සයිබීරියාවට පිටුවහල් කරලා හිටිය සාක්ෂිකරුවන්ගෙන්. 1962දී ඇන්ටෝනියා සයිබීරියාවේ ඉඳන් ජෝර්ජියාවට ආවේ සාක්ෂිකරුවෙක් නොවන එයාගේ සැමියා තමන්ගේ මව්රටට එන්න තීරණය කරපු නිසයි. ඇන්ටෝනියා පදිංචියට ආපු කෂූරිවල ඒ වෙද්දී කිසිම සාක්ෂිකරුවෙක් හිටියේ නැහැ.
1960 ගණන්වලදී ගුඩාඩ්සේ පවුලේ අය
ඇන්ටෝනියා ඒ කාලෙදි කරපු යාච්ඤාවට දෙවි උත්තර දුන්න විදිහ ගැන එයා මෙහෙම කියනවා. “දවසක් සයිබීරියාවේ ඉන්න මගේ අම්මාගෙන් මට පාර්සලයක් ලැබුණා. ඒකේ බයිබල් පොත් පත් හංගලා තිබ්බා. ඒ විදිහට අවුරුදු 6ක්ම පොත් පත් ලැබෙන්න සලස්වලා මාව ශක්තිමත් කරපු එක ගැන මම දෙවිට ස්තුති කෙරුවා.”
ඒත් ඇන්ටෝනියාට ලොකු තනිකමක් දැනුණා. එයා මෙහෙම කියනවා. “සහෝදරයන්ව මුණගස්සන්න කියලා මම හැමදාම යෙහෝවා දෙවිට යාච්ඤා කෙරුවා. දවසක් කාන්තාවන් දෙන්නෙක් මං වැඩ කර කර හිටපු සාප්පුවට ඇවිත් මගෙන් මෙහෙම ඇහුවා. ‘ඔයාගෙ නම ඇන්ටෝනියාද?’ අහපු විදිහෙන්ම මට තේරුණා එයාලා සාක්ෂිකරුවන් කියලා. ඒ වෙලාවේ මං එයාලාව බදාගෙන ඇඬුවා.”
ආපු සහෝදරියන් දෙන්නාගෙන් එක් කෙනෙක් වැලන්ටීනා මිමිනොෂ්විලි. බටහිර ජෝර්ජියාවේ සාක්ෂිකරුවන්ගේ රැස්වීම් තියෙනවා කියලා එයාලා ඇන්ටෝනියාට කිව්වාම එයාට දැනුණේ ලොකු සතුටක්. රැස්වීමට යන්න කිලෝමීටර් 300කට වැඩිය තිබුණත් එයා කොහොමහරි මාසෙකට සැරයක් රැස්වීම් ගියා.
බටහිර ජෝර්ජියාවේ වර්ධනයක්
1960 ගණන්වලදි සෝවියට් දේශයට අයිති සමහර රටවල සාක්ෂිකරුවන්ට බලධාරීන්ගෙන් ගොඩක් පීඩා එල්ල වුණා. ඒ නිසා එයාලා වෙන රටවල්වල පදිංචියට ගියා. එහෙම ගිය කෙනෙක් තමයි සහෝදර ව්ලැඩමියර් ග්ලැඩ්යුක්. 1969දී එයා යුක්‍රේනයේ ඉඳන් බටහිර ජෝර්ජියාවේ සුග්ඩිඩිවලට ආවා.
ලූබා සහ ව්ලැඩමියර් ග්ලැඩ්යුක්
මුලින්ම ඒ ආපු අය රැස්වීම් පැවැත්තුවේ රුසියානු භාෂාවෙන්. ඒත් ජෝර්ජියන් භාෂාව කතා කරපු අය රැස්වීමට එන්න ගත්තාම ජෝර්ජියන් භාෂාවෙන් රැස්වීම් පවත්වන්න පටන්ගත්තා. දේශනා සේවයත් සාර්ථකව කෙරීගෙන ගියා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට 1970 අගොස්තු මාසයේ ජෝර්ජියානුවන් 12දෙනෙක් බව්තීස්ම වුණා.
1972දී ව්ලැඩමියර්, පවුලේ අයත් එක්ක සොකුමිවල පදිංචියට ගියා. ඒ ගැන එයා මෙහෙම කියනවා. “මේ පළාතට එන්න ලැබුණ එක ගැන අපිට හුඟක් සතුටුයි. යෙහෝවා දෙවි අපිට ගොඩක් ආශීර්වාද කරලා තියෙනවා. සභාවට එන අයගේ ගාණත් එන්න එන්නම වැඩි වුණා.” ඒ අවුරුද්දේ සොකුමිවල මුල්ම වතාවට තිබුණු යේසුස්ගේ මරණය සිහි කිරීමට 45දෙනෙක් ආවා.
“මම ඒක අහන් හිටියේ පුදුම ආසාවකින්”
සහෝදරී බබුට්සා ජෙජෙලාවා සත්‍යය පිළිගත්තේ 1973දී. දැන් වයස අවුරුදු 90කටත් වඩා වැඩි ඒ සහෝදරිය ඒ කාලේ වෙච්ච දේවල් ගැන මේ විදිහට මතක් කරනවා. “දවසක් බර සාකච්ඡාවක් කර කර ඉන්න හතරදෙනෙක්ව මං දැක්කා. ඒ අයගෙන් දෙන්නෙක් කන්‍යා සොහොයුරියන්. අනිත් දෙන්නා සාක්ෂිකරුවන්.” ඒ දෙන්නාගෙන් එක් කෙනෙක් ව්ලැඩමියර් ග්ලැඩ්යුක්ගේ බිරිඳ ලූබා. අනිත් කෙනා ඉට්ටා සුඩාරෙන්කෝ. එයා යුක්රේනයේ ඉඳලා ආපු පුරෝගාමියෙක්.
බබුට්සා ජෙජෙලාවා 1979 සහ 2016
බබුට්සා ඒ සාකච්ඡාව හොඳට අහගෙන හිටියා. දෙවිට නමක් තියෙනවා කියලා ඇහුණාම බයිබලයේ ඒක කොතනද තියෙන්නේ කියලා එයා එකපාරටම ඇහුවා. ඊටපස්සේ තවත් ප්‍රශ්න ඇහුවා. සාකච්ඡාව ඉවර වුණේ පැය තුනකට පස්සේ.
ඒ සහෝදරියන්ව ආයෙත් හම්බ වෙන්නේ නැති වෙයි කියලා හිතලා බබුට්සා මෙහෙම ඇහුවා. “මට ඔයාලාව ආයෙත් හම්බ වෙන්න ඕනේ. ඔයාලා ආයෙත් එන්නේ නැද්ද මේ පැත්තේ?”
එතකොට සහෝදරියන් කිව්වේ “අපි ඊළඟ සෙනසුරාදා එන්නම් ඔයාව බලන්න” කියලයි.
පොරොන්දු වුණු දවසෙම එයාලා බබුට්සාව බලන්න ආවා. ඒ ගැන සතුටු වුණු බබුට්සා එදාම බයිබල් පාඩමක් පටන්ගත්තා. බබුට්සා මෙහෙම හිතුවා. “මේ හොයාගත්ත දේ මං කොහොමටවත් නැති කරගන්නේ නැහැ.”
එහෙම හිතපු බබුට්සා යෝජනාවක් කෙරුවා. ඒ ගැන එයා මෙහෙම කියනවා. “ලූබා බැඳලා කියලා මං දැනන් හිටිය නිසා මම ඉට්ටාගෙන් ඇහුවා එයා බැඳලාද කියලා. එයා නැහැ කිව්වාම මං මෙහෙම කිව්වා. ‘එහෙමනම් ඔයාට පුළුවන් මගේ ගෙදර නවතින්න එන්න. වැඩිපුර ඇඳකුත් තියෙනවා. එතකොට අපිට ඕන වෙලාවක බයිබලයේ තියෙන දේවල් ගැන කතා කරන්න පුළුවන්.’” ඉට්ටා ඒකට කැමති වුණා.
ඒ කාලේ වෙච්ච දේවල් ගැන බබුට්සා මෙහෙම කියනවා. “සමහර දවස්වලට රෑට නිදාගන්නෙත් නැතුව ඉගෙනගත්ත දේවල් ගැන හිත හිත හිටියා. ඒ වෙලාවේ ප්‍රශ්නයක් ආවොත් මං ඉක්මනටම ඉට්ටාව නැඟිට්ටවලා ඒ ගැන අහනවා. ඉට්ටාත් බොහොම අමාරුවෙන් නැඟිටලා ‘හරි මං කියලා දෙන්නම්’ කියනවා. ඊටපස්සේ එයා බයිබලය අරන් ඒ ගැන කතා කරනවා.” ඉට්ටා, බබුට්සාගේ ගෙදර නැවතිලා දවස් තුනකට පස්සේ බබුට්සා ශුභාරංචිය දේශනා කරන්නත් පටන්ගත්තා.
බබුට්සාට හොඳ යාළුවෙක් හිටියා. එයාගේ නම නාටෙලා චාගෙයිෂ්විලි. බබුට්සා මෙහෙම කියනවා. “එයා සල්ලිකාරයෙක් නිසා සත්‍යය පිළිගන්න එකක් නැහැ කියලා මං හිතුවා. පළවෙනි සාකච්ඡාවෙන්ම එයාට සත්‍යය ගැන පුදුම ආසාවක් ඇති වුණේ.” වැඩි දවසක් යන්න කලින් අපි දෙන්නා එකතු වෙලා හැමෝටම ශුභාරංචිය කියන්න පටන්ගත්තා.